ප්‍රධාන සම්මන්ත්‍රණය
ආත්මයාණන්ගේ මිමිණුම්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආත්මයාණන්ගේ මිමිණුම්

ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය පසුදවස් වල ශුද්ධවන්තයින් භුක්ති විඳින ශ්‍රේෂ්ඨතම ආත්මික දීමනාවලින් එකකි.

හැඳින්වීම

මෑතකදී, ක්‍රීඩා ලෝකයේ ඇස් යොමු වූයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය විසින් සත්කාරකත්වය දරන 2023 කාන්තා ලෝක කුසලානය වෙතයි. ලොව පුරා ජාතික කණ්ඩායම් 200කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාපන්දු ලෝකයේ ඉහළම ගෞරවය සඳහා තරඟ කරන විට ඔවුන්ගේ අධිශ්ඨානය, කැපවීම, දක්ෂතා සහ මලල හැකියාවන් ප්‍රදර්ශණය කළා.

ක්‍රීඩා සහ වෙනත් විෂයන් වල ඔවුන්ගේ කලාවේ ඉහළම මට්ටමට ළඟා වන බොහෝ දක්ෂයින් ගැන අපි පුදුම වෙනවා. ඔවුන්ට දෙවියන් දුන් දක්ෂතා හෝ දීමනා ගැන අපි කතා කරනවා. මෙයට නැටුම්, ජිම්නාස්ටික්, සංගීතය, චිත්‍ර, නාට්‍ය, ගණිතය, විද්‍යාව සහ තවත් බොහෝ දේවල දක්ෂ අය ඇතුළත් වනවා. එවන් සෑම පුද්ගලයෙකුම ජීවිත කාලය පුරාම වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, අධ්‍යයනය කිරීමෙන් සහ පුහුණුවීමෙන් මුවහත්කර කර ඔපනංවා,දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති දීමනාව පෙන්නුම් කරයි. දෙවියන්වහන්සේ දෙන දීමනාවන් දක්ෂ මිනිසුන් බිහි කරයි.

අධ්‍යාත්මික දීමන අභ්‍යාස කිරීම.

දෙවියන්වහන්සේ තම දරුවන්ට බොහෝ අධ්‍යාත්මික දීමනා ලබා දෙන අතර, ඔවුන්ව අධ්‍යාත්මික වශයෙන් ත්‍යාගශීලී පුද්ගලයන් බවට පත් කරනවා. සභාවේ ගිවිසුම් රකින සාමාජිකයින්ට පිරිනමා ඇති ආත්මයේ දීමනාවන් වලට අපගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියේ දීමනාව, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව, සුව කිරීමට සහ සුවය ලැබීමට ඇති ඇදහිල්ලේ දීමනාව, ආත්මයාණන් තේරුම්ගැනීමට ඇති දීමනාව, ප්‍රාතිහාර්යයන් ලැබීමේ දීමනාව සහ ප්‍රඥාව සහ දැනුමේ දීමනා ඇතුළත් වනවා.1 හොඳම ත්‍යාග, එනම් අධ්‍යාත්මික ත්‍යාග පවා උනන්දුවෙන් සොයන ලෙස ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරනවා. අපට ආශීර්වාද කිරීමට සහ අන් අයට ආශීර්වාද කිරීමට භාවිතා කිරීම සඳහා උන්වහන්සේ ආත්මික දීමනා ලබා දෙනවා.2

දක්ෂ ශිල්පීන් ගැන අපි කරපු කතාබහට නැවත යාමේදී, දීමනාවට පමණක් දක්ශයෙකු බිහි නොකරන බව මතක තබා ගැනීම වදගත්. අසාමාන්‍ය ස්වභාවික දක්ෂතා කෙසේ වෙතත්, ශිල්පීන් ඔවුන්ගේ ඉහළම කලාත්මක මට්ටමට ළඟා වීම සඳහා ඔවුන්ගේ ශිල්පය ශෝධනය කර ඔප්නංවන්නේ වේදනාකාරී සහ වෙහෙසකර පුහුණුවීම් සහ උත්සාහයන් තුළින් ය .ලැබෙන සමහර තෑගි පවා දිගහැර බලන විට “සැකසීම අවශ්‍යයි” යන වචන සඳහන් වනවා.

ඒ හා සමානව, අධ්‍යාත්මික දීමනා හා සම්බන්ධ ඉගෙනීමේ චක්‍රයක් මම නිරීක්ෂණය කර තිබෙනවා. අධ්‍යාත්මික දීමනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාත්මික ව්‍යායාම අවශ්‍ය වනවා. “ඔබේ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම ලැබීමට ආත්මික කාර්යයන් අවශ්ය වනවා. මෙම කාර්යයට දැඩි යාච්ඤාව සහ ස්ථාවර ශුද්ධ ලියවිලි අධ්‍යයනය ඇතුළත් වනවා. ඔබේ ගිවිසුම් සහ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම ද එයට ඇතුළත් වනවා. … සෑම සතියකම සක්‍රමේන්තුවට සුදුසු ලෙස සහභාගී වීම එයට ඇතුළත් වනවා.”3

ආත්මික දීමනා ක්‍රියාත්මක කිරීමේ ඵලය කුමක්ද? අපගේ දෛනික අවශ්‍යතාවලට මුහුණ දීමට උපකාර වන සහ කළ යුතු දේ සහ කිව යුතු දේ අපට පෙන්වා දෙන ආත්මයාණන්ගෙන් ලැබෙන පෙළඹවීම් සහ සාමයේ සහ සැනසිල්ලේ ආශීර්වාද ඒවාට ඇතුළත් වනවා. අප අධ්‍යාත්මික පෙළඹවීම් වලට සවන් දී ක්‍රියා කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හැකියාවන් සහ ප්‍රමාණයන් අපට තනිවම කළ හැකි ප්‍රමාණයට වඩා විශාල කරයි. මෙම වටිනා ආත්මික දීමනා අපගේ ජීවිතයේ සෑම අංශයකටම උපකාර වනු ඇත.4

ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය පසුදවස් වල ශුද්ධවන්තයින් භුක්ති විඳින ශ්‍රේෂ්ඨතම ආත්මික දීමනාවලින් එකකි.

මෙම දීමනාව කෙතරම් වැදගත්ද? සභාපති රසල් එම්. නෙල්සන් මෙම ප්‍රශ්ණයට මෙසේ පැහැදිළිව පිළිතුරු දුන්නා:“එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.5

ආත්මයාණන්ගේ පෙළඹවීම් වලට ආරාධනා කරන්නේ කෙසේද සහ හඳුනා ගන්නේ කෙසේද

මගේ දේවසේවයේ කාලය තුළ, ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම්වලට ආරාධනා කරන්නේ කෙසේද සහ හඳුනා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට සෑම දෙනෙකුටම ඇති සමස්ත ආශාවක් මට සොයාගැනීමට ලැබුණා. ආත්මයේ පෙළඹවීම් ඉතා පුද්ගලික වන අතර විවිධ ආකාරවලින් පැමිණෙනවා. කෙසේ වෙතත්, ආත්මයානන්ගේ මඟ පෙන්වීම ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් අපට ලබාදෙන, පැරණි සහ නූතන කාල දෙකටම අයත් අනාගතවක්තෘවරුන්ගේ වචන ලැබීම අපට ආශිර්වාදයක්.

ආත්මයාණන්ගේ පෙළඹවීම් වලට ආරාධනා කිරීමට සහ හඳුනා ගැනීමට ඔබට උපකාර විය හැකි මාර්ගෝපදේශක මූලධර්ම හතරක් ඉදිරිපත් කිරීමට මට ඉඩ දෙන්න.

ශුද්ධ ස්ථානවල පවතින්න

පළමුවැන්න ශුද්ධ ස්ථානවල පවතිමයි6 මම මෑතකදී ජපානේ ටෝකියෝ දේවමාළිගා නැරඹීමේ විවෘත සංචාරයට සහභාගි වුණා. මාධ්‍‍යයට සහ ප්‍රභූ අමුත්තන්ට යවන ලද විධිමත් ආරාධනාවලට ලැබුණු ප්‍රතිචාරය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩිවුවුනා. මෙම මඟ පෙන්වීම් සහිත දේවමාළිගා චාරිකා සඳහා සිය ගණනක් එක් වූනා. ගැඹුරු, සාම්ප්‍රදායික ජපන් සම්බන්ධතා සහිත රටා සහ මෝස්තර ඇතුළු දේවමාළිගාවේ අලංකාරය අමුත්තන්ව ගැඹුරින් ස්පර්ශ කළා. මුතුන්මිත්තන්ගේ වත්පිළිවෙත් සිඳුවන කාමරවලදී ඒවා පිළිබඳ විස්තර කිරීම්වලට අමුත්තන්ගෙන් ලැබුණු භක්තිමත් හා ගෞරවාන්විත ප්‍රතික්‍රියාවන් වඩාත් සිත් ඇදගන්නා සුළුවුනා. නමුත් වඩාත්ම හද උණුසුම් කළේ ආත්මයාණන්ගේ පෙළඹවීමයි.

ප්‍රකට රාජ්‍ය නිලධාරියෙකු සමඟ ඇහිවූ එවැනි එක් අවස්ථාවක් මගේ මනසෙහි සටහන්ව පවතිනවා. සෙලෙස්ටියල් කාමරයේ මොහොතක භාවනාමය නිශ්ශබ්දතාවයකින් පසුව, හැඟීම්බරව හා ආත්මයානන් විසින් ගැඹුරින් ස්පර්ශ ලැබ සිටි ඔහු මගේ කනට කොඳුරා, “මේ කාමරයේ මා හුස්ම ගන්නා වාතය පවා වෙනස් ලෙස දැනේ” යනුවෙන් පැවසුවා. සැබවින්ම පූජනීය අවකාශයන්හි වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම විස්තර කිරීමට ඔහු උත්සාහ කරන බව මම හඳුනා ගත්තා. ඔබ ආත්මය දැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ආත්මයට පහසුවෙන් වාසය කළ හැකි ස්ථානයක සිටින්න.

මෙම කැපකරන කද අවකාශයන්ගෙන් අති පූජනීයයි ස්ථාන වන්නේ අපගේ දේවමාළිගාවන් සහ නිවාසයි. ඒවා තුළ අපිට වඩාත් පහසුවෙන් ආත්මයාණන්ට ආරාධනා කර හඳුනා ගැනීමට පුළුවන්. අනෙකුත් ශුද්ධ ස්ථාන අතර රැස්වීම්ශාලා, සෙමනේරි ගොඩනැගිලි සහ ආයතනික පන්ති, සහ සභා ඉතිහාස ස්ථාන සහ අමුත්තන්ගේ මධ්යස්ථාන ඇතුළත් වනවා. ශුද්ධ ස්ථානවල පවතින්න.

ශුද්ධවූ මිණිසුන් සමඟ නැගී සිටින්න

දෙවනුව, ශුද්ධවූ මිණිසුන් සමඟ නැගී සිටින්න. තවත් මතකයක් සමඟ මම දෙවන මාර්ගෝපදේශ මූලධර්මය විස්තර කරන්නම්.

ජනප්‍රිය ක්‍රීඩා ගාරයක පැවැත්වූ ආගමික රැස්වීමකට සහභාගි වීම මට කිසිදා අමතක වන්නේ නැහැ. සාමාන්‍යයෙන්, මෙම ක්‍රීඩාංගනය තම මව් කණ්ඩායමට ඔල්වරසන් දෙන සහ සමහර විට තම ප්‍රතිවාදියාට සරදම් කරන රසික රසිකාවියන්ගෙන් පිරී තිබෙණවා. නමුත් මේ රාත්‍රියේ අවකාශය ඊට හාත්පසින්ම වෙනස් එකක් වුනා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ ජීවිතයට ගෞරව දැක්වීමට සහ අනුස්මරණය කිරීමට රැස්ව සිටි දහස් ගණන් තරුණ තරුණියන්ගෙන් ක්‍රීඩාංගනය පිරී ගියා. ඔවුන්ගේ ගෞරවනීය, නිහඬ ස්වරය; කෘතඥතාව; සහ යාච්ඤාවෙන් පිරුණු හදවත් ශුද්ධාත්මයාණන්ගෙන් වේදිකාව පිරෙව්වා. මට එය ඔවුන්ගේ මුහුණු වලින් පැහැදිළිවම දැකගත හැකිවුනා. එය ජෝසෆ් ස්මිත් සහ නැවත පිහිටුවීමෙන් බිහිවූ සාක්ෂි සනාථ කරමින්, ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරීත්වයයි.

ශුද්ධවූ මිනිසුන් එක්‍රැස්වන ස්ථානයකට පැමිණීමෙන් වැලකී සිටීමට ශුද්ධාත්මයාණන්ට නොහැකියි. ඔබ ආත්මය දැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ආත්මයට පහසුවෙන් වාසය කළ හැකි ස්ථානයක සිටින්න. ඔබ ආත්මයාණන්ව දැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ආත්මයට පහසුවෙන් වාසය කළ හැකි මිනිසුන් සමඟ සිටින්න.7 ගැළැවුම්කරුවාණන් එය මේ අකාරයෙන් ප්‍රකාශ කළා: “මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි”. යෞවනයිනී, ශුද්ධවූ පුද්ගලයන් සමඟ ඔබේ රැස්වීම් සලකා බලන්න: ගණපූර්ණ සහ පන්ති, FS‍Y සහ සෙමනේරි, කොට්ඨාශ සහ ස්ටේක ක්‍රියාකාරකම්—කොට්ඨාශ ගායන කණ්ඩායම් පවා. ධර්මිශ්ඨකම සොයාගතහැකි මිනිසුන් ආශ්‍රය කිරීමටත් ස්ථානවලට යාමටත් තෝරාගන්න. ඉලක්කම් වලින් ඔබේ ශක්තිය සොයන්න. යහපත් මිතුරන් සොයා ගන්න. හොඳ මිතුරන් වන්න. ශුද්ධවූ මිණිසුන් සමඟ නැගී සිටින්න.

ශුද්ධවු සත්‍යයන් ගැන සාක්ෂි දරන්න.

තෙවනුව, ඔබට හැකි සෑම විටම ශුද්ධවූ සත්‍යයන් ගැන සාක්ෂි දරන්න. අපි අපේ හඬින් සාක්ෂි දෙන විට සැනසිලිදායකයා නිතරම උන්වහන්සේගේ හඬ බෙදා ගන්නවා. ආත්මයාණන් කථිකයාට සහ සවන්දෙන්නාට එකසේ සාක්ෂි දරනවා.

නිව් යෝර්ක් නගරයේ විනාඩි 45ක පමණ ගමනක් කුලී රථයක ගියා මට මතකයි. ගුවන් තොටුපළට යන ගමන් කාලය පුරාම රියදුරු සමඟ උණුසුම් ශුභාරංචිය පිළිබඳ සංවාදයක යෙදී සිටි මම ඇයට මුදල් ගෙවා කුලී රථයෙන් පිටවීමට සූදානම් වුනා, එවිට මා බෙදාගත් දේ පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් නොකළ බව වැටහුණා. මදක් නතර වී, මම බෙදා ගත් සරල, කෙටි සාක්ෂිය, ආත්මයානන්ට ආරාධනා කරමින්, අප දෙදෙනාගේම දෑසට කඳුළු එක් කළා.

ඔබ ඔබේ සාක්ෂිය අන් අය සමඟ බෙදා ගැනීමට සොයන විට සහ අවස්ථා ලබා ගන්නා විට, ඔබ විසින්ම ආත්මයානන් හඳුනා ගැනීමට අවස්ථා නිර්මාණය කරනවා ඇත.

ආත්මයාණන්වහන්සේට සවන්දෙන්න

අවසාන මූලධර්මය නම් ශුද්ධාත්මයාණන්ට හොඳින් සවන් දීමයි. උන්වහන්සේ සියුම්, නිහඬ ස්වරයෙන් කතා කරන අපගේ නිරන්තර සහකරු විය හැකියි. ස්වාමින්වහන්සේගේ හඬ සුළඟේ, භූමිකම්පාවේ හෝ ගින්නෙහි නොතිබූ නමුත් එය “නිසල හඬක්” බව අනාගතවක්තෘ එලියා සොයා ගත්තා.8 එය “ගිගුරුම් හඬක් නොව” ඒ වෙනුවට “පරිපූර්ණ මෘදුකමේ නිශ්චල කටහඬකි, එය කෙඳිරියක් මෙන්” නමුත් එය “ආත්මය දක්වා පසාරු” කළ හැකියි.9

සභාපති බොයිඩ් කේ. පැකර් ප්‍රකාශ කළේ: “ආත්මය අපගේ අවධානයට ලක්වන්නේ කෑගැසීමෙන් හෝ බර අතකින් අපව සෙලවීමෙන් නොවේ. ඒ වෙනුවට එය මුමුණයි. එය කෙතරම් මෘදුද යත්, අප කල්පනාකාරීව නොසිටියහොත් අපට එය කිසිසේත් දැනෙන්නේ නැත. ”10 සමහර විට ඔහුගේ කටහඬ කෙතරම් සියුම්ද යත්, එසේත් නැතිනම් මම ඉතා උනන්දුවෙන් නොසිටින විට, ආදරය කරන කෙනෙකු එය මා වෙනුවෙන් ග්‍රහණය කර ගන්නා බව මම නිරීක්ෂණය කර තිබෙනවා. මගේ බිරිඳ ලෙසා හරහා ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් මා වෙත පැමිණි අවස්ථා බොහෝ තිබෙනවා. ධර්මිෂ්ඨ මාපියන් හෝ නායකයන් ඔබ වෙනුවෙන් දේවානුභාවයෙන් මඟ පෙන්වීම් ලබා ගත හැකියි.

ලෝකයේ බහුලව පවතින කෑගැසීම්, ඝෝෂාව සහ වාද විවාද, ශුද්ධාත්මයාණන්ගේ නිශ්ශබ්ද හැඟීම් යටපත් කළ හැකියි. ආත්මයාණන්ගෙන් මඟ පෙන්වීම ලබාගත හැකි නිස්කලංක ස්ථානයක්, ශුද්ධ අවකාශයක් සොයා ගන්න.

අනතුරු ඇඟවීමේ වචන කිහිපයක්

ආත්මයට ආරාධනා කිරීමට සහ හඳුනා ගැනීමට ඔබ මෙම මූලධර්ම සලකා බලන විට, පහත සඳහන් අනතුරු ඇඟවීමේ උපදෙස් සලකා බලන්න.11

ඔබේ අධ්‍යාත්මික හැඟීම් තහවුරු කරන්න. නිදසුනක් වශයෙන්, ආත්මයෙන් ලැබෙන හැඟීම් ශුද්ධ ලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් සමඟ සමපාත විය හැක.

ඔබට ලැබෙන හැඟීම් ඔබේ පැවරුමට අනුකූල වන බවට සහතික වන්න. ඔබ නිසි බලධාරියෙකු විසින් කැඳවනු ලැබුවහොත් මිස, අන් අයට උපදෙස් දීමට හෝ නිවැරදි කිරීමට ආත්මයෙන් හැඟීම් ඔබට ලබා නොදේ.

ආධ්‍යාත්මික කාරණා බලෙන් සිඳුකිරීමට නොහැකියි. ආත්මයානන්ට ආරාධනා කරන ආකල්පයක් සහ පරිසරයක් ඔබට රෝපණය කළ හැකි අතර, ඔබට ඔබව සූදානම් කළ හැකියි, නමුත් ඔබට පළඹවීම් පැමිණෙන්නේ කෙසේද හෝ කවදාද යන්න නියම කළ නොහැකියි. ඉවසිලිවන්ත වන්න සහ ඔබට අවශ්‍ය දේ නියම වේලාවට ලැබෙනු ඇතැයි විශ්වාස කරන්න.

ඔබේම හොඳම විනිශ්චය භාවිතා කරන්න. සමහර විට සෑම දෙයකදීම ආත්මයාණන්ගේ මෙහෙයවීම ලැබීම අපට අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, බොහෝ විට ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති බුද්ධිය භාවිතා කර අපගේ හොඳම අවබෝධයට අනුකූල වන ආකාරයට ක්‍රියා කිරීමයි. සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා:

“ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවීමට ඇති ආශාව අපගේ ශක්තියකි, නමුත් අපගේ ස්වර්ගීය පියාණන් අපගේ පුද්ගලික තෝරාගැනීම සඳහා බොහෝ තීරණවලට ඉඩතබන බව අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. … සියලු තීරණ ගැනීම් ස්වාමින්වහන්සේ වෙතට මාරු කිරීමට උත්සාහ කරන සහ සෑම තෝරාගැනීමකදීම හෙළිදරව් කිරීම සඳහා අයැද සිටින පුද්ගලයන් ඔවුන් මඟ පෙන්වීම සඳහා යාච්ඤා කරන විට එය නොලැබෙන තත්වයන් ඉක්මනින් සොයා ගනු ඇත. …

“අපි අපේ මනසේ තිබෙන දේවල් අධ්‍යයනය කළ යුතුයි. … එවිට අප මඟ පෙන්වීම සඳහා යාච්ඤා කර ඒ අනුව ක්‍රියා කළ යුතුයි. … අපට මඟ පෙන්වීමක් නොලැබුණවිට, අපි අපගේ හොඳම විනිශ්චය මත ක්‍රියා කළ යුතුයි.12

ආරාධනයක් සමඟ අවසානයක්

අවසාන වශයෙන්, පසුදවස් වල ශුද්ධවන්තයන් ආශිර්වාදිත, ගිවිසුම් රකින පුද්ගලයන් විය යුතුයි. එසේ වුවත්, අපගේ අධ්‍යාත්මික දීමනා ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීම සහ පසුව ආත්මයේ පෙළඹවීම් හඳුනා ගැනීම සඳහා ආත්මයාණන්ට ආරාධනා කිරීම සහ ඉගෙන ගැනීම ඉතිරිව පවතින්නේ අප මතයි. මෙම තීරණාත්මක අධ්‍යාත්මික ප්‍රයත්නයේදී අපට සහාය වන මාර්ගෝපදේශක මූලධර්ම හතරක් නම්:

  1. ශුද්ධ ස්ථානවල පැවතීම.

  2. ශුද්ධවූ මිනිසුන් සමඟ නැගී සිටීම

  3. ශුද්ධවූ සත්‍යයන් ගැන සාක්ෂි දැරීම.

  4. ශුද්ධාත්මයාණන්ට සවන්දීම

ආත්මයාණන්ගේ පෙළඹවීම් වලට ආරාධනා කර, හඳුනා ගැනීමට ඔබේ ඇති හැකියාවන් වර්ධනය වන්නේ පියවරෙන් පියවරයි. “ආත්මයාණන්ගේ භාෂාවට වඩාත් අනුගත වීම වෙනත් භාෂාවක් ඉගෙනීම හා සමානයි. එය කඩිසර, ඉවසිලිවන්ත උත්සාහයක් අවශ්‍ය වන ක්‍රමානුකූල ක්‍රියාවලියක්.”13

අපේ ගමන ආරම්භ කළ ස්ථානයට ආපසු යන විට, පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස ඔබ සහජයෙන්ම දක්ශ බව කරුණාකර මතක තබා ගන්න. මෑතකදී මට විස්තර කළ මෙම හුරුපුරුදු නිරාහාරශීලී ඉරිදා දර්ශනය සිතෙහි මවා ගන්න. දේශනා කූඩුව යන්තමින් පෙනෙන තරම් බංකුවක් මත සිටගෙන සිටිනකුඩා ළමයෙක්. ඇගේ පියා ඇය අසල සිටගෙන, ඇගේ කනට මෘදුලෙස මුමුණමින් ඇයට සහය වීමට දිරිමත් කරන විට ඇය “මම දෙවියන්ගේ දරුවෙක්” යැයි ආඩම්බරයෙන් බෙදාගත්තා.

ඊළඟ සාක්‍ෂිය බෙදාගත්තෙ “මගේ කනට කවුරුහරි එහෙම කොඳුරනවා නම් හොඳයි” යයි විහිළුවට මෙන් පැවසූ තනි තරුණ වැඩිහිටියෙක්. එවිට ඇයට ඇතිවූ පෙළඹවීම නිසා, “එලෙස මගේ කනට කොඳුරන කෙනෙකු සිටිනවා—ඒ ශුද්ධාත්මයාණන්!” කියා සාක්ෂි දැරුවා.

මම මෙය යෞවනයන්ට කෙරෙන විශේෂ ආරාධනයක් සමඟ අවසන් කරනවා! ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබේ දවස ආරම්භ කරන්නේ කැඩපතක් ඉදිරිපිට සිටගෙනයි. හෙට, මේ සතියේ, මේ වසරේ, සෑම විටම, ඔබ කණ්ණාඩියෙන් ඔබ දෙස බලන විට මදක් නතර වන්න. ඔබ ගැන සිතන්න, නැතහොත් ඔබ කැමති නම්, “වාව්, මා දෙස බලන්න! යයි ශබ්ද නඟා පවසන්න. මම හරි අපූරුයි! මම දෙවියන්වහන්සේගේ දරුවෙක්! උන්වහන්සේ මාව හඳුනනවා! උන්වහන්සේ මට ආදරෙයි! ශුද්ධාත්මයාණන් මගේ නිරන්තර සහකරු ලෙස ලබා දී තිබෙන නිසා—මම ආශිර්වාදිතයි! ”

ආශිර්වාදිත පසුදවස්වල ශුද්ධවන්තයන් වෙත මම මෙලෙස සාක්ශි දරනවා, දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ ගැන සාක්ශි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.