ප්‍රධාන සම්මන්ත්‍රණය
නැගී එන පරම්පරාව තුළ ගිවිසුම්ගත ජනතාවගේ හඬ සුරැකීම
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නැගී එන පරම්පරාව තුළ ගිවිසුම්ගත ජනතාවගේ හඬ සුරැකීම

අපගේ වඩාත්ම පරිශුද්ධ වගකීම්වලින් එකක් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව අපගේ දරුවන්ට ගැඹුරින් සහ නිශ්චිතව දැන ගැනීමට උපකාර කිරීමයි.

මෝර්මොන්ගේ පොතේ ඇති වඩාත් සිත්ගන්නා සුළු මොහොතක් නම්, බවුන්ටිෆුල් දේශයේ දේවමාලිගාවේ සිටි මිනිසුන් වෙත නැවත නැගිටුණු ලැබූ ගැළවුම්කරුවාණන්ගේ බැහැදැකීමයි. ඉගැන්වීමේ, සුවකිරීමේ, සහ ඇදහිල්ල ගොඩනැගීමේ දවසකට පසු, යේසුස්වහන්සේ මිනිසුන්ගේ අවධානය නැගී එන පරම්පරාව වෙතට යොමු කලා: “උන්වහන්සේ ඔවුන්ගේ කුඩා දරුවන් ගෙන ගෙන ඒමට ආඥා කලා:.”1 උන්වහන්සේ ඔවුන් එකිනෙකා රැගෙන ඔවුන්ට යාච්ඥා කර ආශිර්වාද කලා: එම අත්දැකීම එතරම්ම සංවේදී වූ නිසා ගැළවුම්කරුවාණන්ම කිහිපවරක් හැඬුවා.

ඉන්පසු සමූහයා අමතා යේසුස්වහන්සේ මෙසේ පැවසුවා.

“බලන්න, ඔබේ කුඩා දරුවන්.

“ඔවුන් බැලූවිට …, ඔවුන් ස්වර්ගය විවෘත වනවාද, දේවදූතයන් ස්වර්ගයෙන් පිටතට බසිනවාද දුටුවා.”2

මෙම අත්දැකීම ගැන මම බොහෙ විට මෙනෙහි කර තිබෙනවා. එය සෑම පුද්ගලයෙකුගේම හදවත මෘදු කරවන්න ඇති! ඔවුන් ගැළවුම්කරුවාණන්ව දුටුවා. ඔවුන්ට උන්වහන්සේව දැනුනා. ඔවුන් උන්වහන්සේව දැනගත්තා. උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූවා. උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා. සහ උන්වහන්සේ ඔවුන්ට ආදරය කළා. මෙම පූජනීය සිඳුවීමෙන් පසුව, මෙම දරුවන් සාමය ඇති, සෞභාග්‍යමත්, සහ ක්‍රිස්තුස්වහන්සේගේ ආදරය පරම්පරා ගනනාවකට නොනැසී පවතින සමාජයක් ගොඩනැගීමට උපකාරයක් වීමට වර්ධනය වූ බව පුදුමයක් නොවේ.3

ඔවුන්ගේ හදවත් උන්වහන්සේට බැඳී තබන—මෙවැනි අත්දැකීම් අපගේ දරුවන්ට තිබේ නම් එය කොතරම් අපූරුද! මෝර්මොන්ගේ ග්‍රන්තයේ සිටින දෙමාපියන්ට උන්වහන්සේ ආරාධනා කරනවා සේම අපගේ කුඩා දරුවන් උන්වහන්සේ වෙතට ගෙන ඒමට උන්වහන්සේ අපට ආරධනා කරනවා. මෙම දරුවන් හා සමානවම ඔවුන්ගේ ගැළැවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්ව දැනගැනීමට අපට ඔවුන්ට උපකාර කළ හැකියි. ගැළැවුම්කරුවාණන්ව ශුද්ධලියවිලි වල සොයාගන්නා ආකාරයත් උන්වහන්සේ මත ඔවුන්ගේ අත්තිවාරම ගොඩනගන ආකාරය ඔවුන්ට පෙන්වාදීමට අපට හැකියි.4

මෑතකදී, පර්වතයක් මත ඔහුගේ නිවස ගොඩනැගූ බුද්ධිමත් මිනිසාගේ උපමාවේ මේ වනතෙක් මා නොදැන සිටි දෙයක් හොඳ මිතුරෙකු මට ඉගැන්වූවා. ලූක්ගේ පොතේ ඇති වාර්තාවට අනූව, බුද්ධිමත් මිනිසා ඔහුගේ නිවස වෙනුවෙන් අත්තිවාරම දමන විට එය “ගැඹුරට හාරා” තිබෙනවා.5 එය සාමාන්‍ය හෝ සරළ වෑයමක් නොවේ—එයට උත්සහය අවශ්‍ය වුනා!

අපගේ ජීවිත අපගේ ගැළැවුම්කරුවාණන්, වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පර්වතය මත ගොඩ නැගීමට, අප ගැඹුරට හෑරීම අවශ්‍යයි. අපගේ ජීවිතයේ අස්ථීර හෝ අනවශ්‍ය සෑම දෙයක්ම අපි ඉවත් කරනවා. අපට උන්වහන්සේව මුණගැසෙන තෙක් අපි ගැඹුරටම හාරනවා. අපි අපේ දරුවන්ට පූජනීය වත්පිලිවෙත් සහ ගිවිසුම් තුළින් උන්වහන්සේට බැඳී සිටින ලෙස උගන්වනවා, එවිට නියතයෙන්ම පැමිණෙන විරුද්ධ කුණාටු හෝ ජලගැල්මවල් ඇතිවන විට, “[ඔවුන්] ගොඩනැගී තිබෙන්නාවූ පර්වතය හේතුවෙන්” ඔවුන්ට එතරම් බලපෑමක් වන්නේ නැහැ.6

මෙවැනි ආකාරයේ ශක්තියක් ඉබේම සිඳුවන්නේ නැහැ. එය ඊලඟ පරම්පරාවට උරුමයක් සේ දායාද වන්නේ නැහැ. පර්වතය සොයා ගැනීමට සෑම පුද්ගලයෙකුම ඉතා ගැඹුරට හෑරිය යුතුය.

මෝර්මොන්ගේ ග්‍රන්තයේ ඇති තවත් වාර්තාවකින් අපට මෙම පාඩම ඉගෙනගත හැකියි. බෙන්යමින් රජ ඔහුගේ අවසාන කතාව තම සෙනගට කළ විට, ඔහුගේ වචනය ඇසීමට ඔවුන් පවුල් වශයෙන් එක් රැස්වූවා.7 බෙන්යමින් රජ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ බලවත් සාක්ශි දැරුවා මෙන්ම ඔහුගේ සාක්ශි මිනිසුන්ව ගැඹුරු ලෙස පෙලඹීමට ලක්කළා. ඔවුන් මෙසේ ප්‍රකාශ කළා:

“ආත්මයාණන්… අපතුළ හෝ අපගේ හදවත් තුළ බලවත් වෙනස්කමක් සිඳුකර ඇත. …

“තවද අපි අපගේ සියලු ඉතිරි දවස් වලදී … දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ගිවිසුමකට ඇතුලත් වීමට කැමැත්තෙමු.”8

එවැනි ගැඹුරින් හැරුණු දෙමාපියන් සිටින කුඩා දරුවන් අවසානයේ හැරී ඔවුන් විසින්ම ගිවිසුම් ඇති කර ගනු ඇතැයි යමෙකු අපේක්ෂා කළ හැකියි. එහෙත්, වාර්තාවල සඳහන් කර නොමැති කිසියම් හෝ හේතුවක් නිසා, දෙමාපියන් විසින් සිඳුකර ඇති ගිවිසුම ඔවුන්ගේ ළමයින්ගෙන් සමහරෙකු තුළ උනන්දුවක් ඇතිකර නොමැත. වසර කිහිපයකට පසු, “නැගීඑන පරම්පරාවේ බොහෝමයකට බෙන්යමින් රජුගේ වචන තේරුම් ගැනීමට නොහැකි විය, මක්නිසාද ඔවුන් ඔහු ඔහුගේ ජනතාවට කතා කළ එම කාලයේදී කුඩා දරුවන් වූහ; තවද ඔවුහු ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් විශ්වාස නොකලහ.

“ඔවුන් මළවුන්ගේ නැවත නැගිටීම ගැන කී දේවල් ඔවුහු විශ්වාස නොකලහ, එසේම ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන විශ්වාස නොකලහ. …

තවද ඔවුහු බෞතිස්ම නොවූහ; ඔවුහු සභාවට සම්බන්ධ නොවූහ. තවද ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධව ඔවුන් වෙන්වූ ජනතාවක් විය.”9

මොනතරම් බරපතළ කාරනාවක්ද! නැගී එන පරම්පරාවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සඳහා “ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදාය” පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තමන් සතු කරගත යුතුයි. දෙවියන්වහන්සේගේ ගිවිසුම්ගත ජනතාව වශයෙන්, අපගේ දරුවන්ගේ හදවත් තුළ උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට සහ තබා ගැනීමට ආශාවක් ඇති කළ හැක්කේ කෙසේද?

නෙපිගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් අපට ආරම්භ කළ හැකිය: “තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි කියන්නෙමු, තවද අපගේ අනාවැකි ආකාරයට අපි ලියන්නෙමු, එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පවුවලට පවු කමාව ලබා ගැනීමට කුමණ උල්පත දෙස රැදීමට දැනගැනීම පිණිසය.”10 නෙපිගේ වචනවලින් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපගේ දරුවන්ට ඉගැන්වීමට නිරන්තර, අඛණ්ඩ උත්සාහයක් ගැන හැඟවනවා. නැඟී එන පරම්පරාවේ කන්වල ගිවිසුම්ගත ජනතාවගේ හඬ නිහඬ නොවන සහ යේසුස්වහන්සේ ඉරිදාට පමණක් සීමා වූ මාතෘකාවක් නොවන බවටත් අපට සහතික කළ හැකියි.11

ගිවිසුම්ගත සෙනඟගේ හඬ අපගේම සාක්ෂියේ වචනවලින් සොයාගත හැකියි. එය ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචනවලින් සොයාගත හැකියි. තවද එය ශුද්ධ ලියවිලිවල බලවත් ලෙස සංරක්ෂණය කර තිබෙනවා. අපේ දරුවන් යේසුස්වහන්සේව දැන හඳුනා ගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ එහිදීයි. එහිදී ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය ඉගෙන ගනු ඇත. ඔවුන්ට බලාපොරොත්තුවක් දැනෙන්නේ එහිදීයි. මෙය ඔවුන්ව ජීවිත කාලය පුරාම සත්‍යය සෙවීමට සහ ගිවිසුම් මාර්ගයේ ජීවත් වීමට සූදානම් කරයි

සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෙම උපදේශනයට මම කැමතියි:

“උන්වහන්සේට සවන්දීමට අපට යා හැක්කේ කොහේද?

“අපට ශුද්ධලියවිලි වෙත යා හැකියි. ඒවා අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ශුභාරංචිය ගැනත්, උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි විශාලත්වය ගැනත්, අපගේ පියාණන්ගේ සතුට හා මිදීමේ විශාල සැලැස්ම ගැනත් උගන්වනවා. බලවත් කැළඹීම් වැඩිවන මේ දිනවල, අධ්‍යාත්මික පැවැත්ම සඳහා දෙවියන්වහන්සේගේ වචනයෙහි දිනපතා ගිලීම ඉතා වැදගත් වෙනවා. අපි දිනපතා ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වචන අපට, මුහුණදෙනු ඇතැයි අප කිසිවිටෙකත් නොසිතූ දුෂ්කරතා වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය අපට කියාදෙනවා.”12

ක්‍රිස්තුස්වහන්සේගේ වචන අනුභව කර උන්වහන්සේට සවන් දීම පෙනෙන්නේ කෙබදු ලෙසද? ඔබට වඩාත් සරිලන ඕනෑම දෙයක් ලෙස එය පෙනෙනවා එය එන්න, මා අනුගමනය කරන්න භාවිතා කර ඔබගේ ශුද්ධ ලියවිලි අධ්‍යයනයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඉගැන්වූ දේවල් ගැන කතා කිරීමට ඔබගේ පවුලේ අය සමඟ එකතු වීම විය හැකියි. එය සෑම දිනකම ඔබේ දරුවන් සමඟ එක් රැස්වී ශුද්ධ ලියවිලිවලින් පද කිහිපයක් කියවා, ඔබ එකට කාලය ගත කරන විට ඉගෙන ගත් දේ සාකච්ඡා කිරීමට අවස්ථා සෙවීම විය හැකියි. ඔබට සහ ඔබේ පවුලට සරිලන දේ සොයා ඉන්පසු සෑම දිනකම පෙරට වඩා ටිකක් හොඳින් කිරීමට උත්සාහ කරන්න.

ගැළැවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම හි ඇති මෙම අදහස් හැලකිල්ලට ගන්න: තනි තනිව ගත් විට, එක් නිවාස සන්ධ්‍යාවක්, ශුද්ධලියවිලි අධ්‍යයන සැසියක්, හෝ ශුභාරංචි සංවාදයක් බොහෝ දේ ඉටුකරන බවක් නොපෙනේ. නමුත් කුඩා, සරල උත්සාහයන් එකතු කිරීමෙන්, කාලයත් සමඟ නිරන්තරයෙන් පුනරාවර්තනය වීමෙන්, ඉඳහිට විශේෂ අවස්තාවක උගන්වන හෝ ඉතා වැදගත් පාඩමකට වඩා ඒවා බලවත් හා ශක්තිමත් විය හැකිය. … එබැවින් අත්හරින්න එපා, එමෙන්ම සෑම අවස්ථාවකදීම විශිෂ්ට දෙයක් ඉටුකිරීම ගැන කරදර වෙන්න එපා. ඔබේ උත්සාහයන් තුළ ස්ථාවර වන්න.”13

අපට ඇති එක් පූජනීය වගකීමක් වන්නේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, ජීවමාන දෙවියන්ගේ පුත්‍රයාණන් බවත්, උන්වහන්සේගේ සභාවේ හිස ලෙස ක්‍රියාකරන උන්වහන්සේ ඔවුන්ගේ ගැළවුම්කරුවාණන් සහ මුදුම්කරුවාණන් බවත් ගැඹුරින් සහ නිශ්චිතව දැනගැනීමට අපගේ දරුවන්ට උපකාර කිරීමයි! උන්වහන්සේ ගැන සඳහන් කරන විට අපගේ ගිවිසුම්ගත හඬ නිහඬ කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට ඉඩදිය නොහැකියි.

මෙම භූමිකාව තුළ ඔබට මදක් ප්‍රමාණවත් නොවන බවක් හැඟෙන්නට පුළුවන, නමුත් ඔබට කිසිවිටෙක තනිකමක් දැනිය යුතු නැත. උදාහරණයක් වශයෙන්, කොට්ඨාශ මන්ත්‍රණ සභා වලට ගුරු මන්ත්‍රණ සභා රැස්වීම් සංවිධානය කිරීමට බලය ඇත. මෙම ත්‍රෛමාසික රැස්වීම්වලදී, දෙමාපියන්ට එකිනෙකාගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමටත්, ඔවුන් තම පවුල් ශක්තිමත් කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ඉගැන්වීමේ ප්‍රධාන ප්‍රතිපත්ති ඉගෙන ගැනීමටත් එක් රැස් විය හැකියි. මෙම රැස්වීම සභාවේ දෙවන පැයේදී පැවැත්විය යුතුය.14 එය මෙහෙයවනු ලබන්නේ සභානායකවරයා විසින් තෝරාගත් කොට්ඨාශ සාමාජිකයෙකු විසින් මෙන්ම සාමාන්‍ය ගුරු මන්ත්‍රන සභා රැස්වීම්වල ආකෘතිය අනුගමනය කරන අතර ගැළැවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම මූලික සම්පත ලෙස භාවිතා කරයි.15 සභානායකවරුනි, ඔබගේ කොට්ඨාශයේ දැනට දෙමාපියන් සඳහා ගුරු මන්ත්‍රණ සභා රැස්වීම් පවත්වන්නේ නැතිනම්, සංවිධානය කිරීම සඳහා ඔබේ ඉරිදා පාසල් සභාපති සහ කොට්ඨාශ මන්ත්‍රණ සභාව සමඟ කටයුතු කරන්න.16

ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින මගේ ආදරණීය මිත්‍රවරුනි, ඔබ සිතනවාට වඩා බොහෝ හොඳින් ඔබ කටයුතු කරමින් සිටිනවා. දිගටම එම කටයුතු කරන්න. ඔබේ දරුවන් බලාසිටිනවා, ඇහුම්කන්දෙනවා සහ ඉගෙනගන්නවා. ඔබ ඔවුන්ට උගන්වන විට දෙවියන්වහන්සේගේ ආදරණීය දූ පුතුන් ලෙස ඔවුන්ගේ සැබෑ ස්වභාවය ඔබට දැනගත හැකි වනවා. ඔවුන්ට යම් කාලයකට ගැලවුම්කරුවාණන් අමතක විය හැකි නමුත්, උන්වහන්සේ ඔවුන්ව කිසිදා අමතක නොකරන බව මම ඔබට පොරොන්දු වනවා! ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන්ට කතා කරන එම අවස්ථා ඔවුන්ගේ හදවත් හා මනස් තුළ පවතිනු ඇත. යම් දවසක ඔබේ දරුවන් ඊනොස්ගේ සාක්ෂිය ප්‍රතිරාවය කරනු ඇත: “මාගේ දෙමාපියන් ධර්මිෂ්ඨ බව දන්නෙමි, මක්නිසාද ඔවුන්ගේ භාශාවෙහිද, එසේම හික්මවීමෙහිද, ස්වාමින්වහන්සේගේ අවවාදයෙහිද, [ඔවුන්] මට ඉගැන්විය—තවද ඒ සඳහා මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා.”17

අපි ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගෙන අපගේ දරුවන් උන්වහන්සේ වෙතට ගෙනෙඑමු. අපි එසේ කරන විට ඔවුන් උන්වහන්සේව දකිනු ඇත. ඔවුන්ට උන්වහන්සේව දැනෙනු ඇත. ඔවුන් උන්වහන්සේව දැනගන්නවා ඇත. උන්වහන්සේ ඔවුන්ට උගන්වනවා ඇත. උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා ඇත, සහ උන්වහන්සේ ඔවුන්ට ආදරය කරනවා ඇත. ඇත්තටම, මම උන්වහන්සේට කෙතරම් ප්‍රේම කරනවාද. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 3 නෙපී 17:11.

  2. 3 නෙපි 27:-24; 3 නෙපි 31:-22 ද බලන්න.

  3. බලන්න 4 නෙපි 1:1-22.

  4. ලූක් 6:47-49; හිලමන් 5:12 බලන්න.

  5. ලූක් 6:48.

  6. හිලමන් 5:12.

  7. බලන්න මොසායා 2:5.

  8. මොසායා 5:2, 5. මතක තබාගන්න “කුඩාදරුවන් හැර ගිවිසුමට ඇතුළත්වී ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නොගත් එක් ප්‍රාණයක් වත් එහි නොවීය” (මොසායා 6:2).

  9. මොසායා 26:1–2, 4.

  10. 2 නෙපි 25:26.

  11. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළ ඉගැන්වීමට බොහෝ දේවල් තිබේ—ප්‍රතිපත්ති, ආඥා, අනාවැකි, සහ ශුද්ධලියවිලි කථා. නමුත් මේ සියල්ල එකම ගසක අතු වේ, මන්ද ඒ සියල්ලටම එක අරමුණක් ඇත: සියලු මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට උපකාර කිරීම (බලන්න යාරොම් 1:11; මොරෝනි 10:32). ඉතින්, ඔබ කුමක් උගන්වමින් සිටියත්, ඔබ සැබවින්ම උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේ හා සමාන වන්නේ කෙසේද කියා බව මතකතබාගන්න” ((ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන්ට [2022], 6).).

  12. රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා. 2020 මැයි, 89.

  13. ගැළැවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම 31.

  14. ප්‍රාථමික උගන්වන දෙමාපියන් සඳහා මිනිත්තු 20ක ප්‍රාථමික ගායන කාලය තුළ රැස්වීම හෝ වෙනත් වේලාවක වෙනම රැස්වීමක් පැවැත්වීම වැනි විශේෂ ප්‍රතියෝජන පහසුකම් සැලසිය හැක.(බලන්න General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 17.4, Gospel Library).

  15. සාමාජිකයන්ට සහ නායකයන්ට ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම බෙදාහැරීමේ සේවාවන් තුළින් ඇනවුම් කළ හැක. එය ශුභාරංචි පුස්තකාලයෙහි ඩිජිටල් ආකාරයටද ලබා ගත හැක.

  16. බලන්න ප්‍රධාන අත්පොත, 13.5.

  17. ඊනොස් 1:1. මතකතබා ගන්න මෝර්මොන්ගේ පොතේ නොඇදහිලිවන්ත නැගී එන පරම්පරවේ කුඩා ඇල්මා සහ මොසායාගේ පුතුන්ද සිටි බව. අවසානයේදී කුඩා ඇල්මා තම ජීවිතය වෙනස්කරගැනීමට ඇති අවශ්‍යතාව හඳුනාගත් විට, ඔහුගේ පියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වූ දේ—අතීතයේ ඔහු විසින් නොතකා සිටි දේවල් ඔහුට සිහිපත් විය. නමුත් එහි මතකයන් ඉතිරි වූ අතර එම මතකයන් ආත්මිකව ඇල්මාව ගළවා ගැනීමට සමත් විය.(බලන්න ඇල්මා 36:17–20).