ප්‍රධාන සම්මන්ත්‍රණය
නාස්තිකාරයා සහ නිවසට යන මාර්ගය
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නාස්තිකාරයා සහ නිවසට යන මාර්ගය

සමහර තේරීම් ඔබව ගැලවුම්කරුවාණන්ගෙන් සහ උන්වහන්සේගේ සභාවෙන් දුරස් කර ඇතත්, ප්‍රධාන සුව කරන්නා ඔබව සාදරයෙන් පිළිගනිමින් නිවසට යන මාර්ගය අසල බලා ඉන්නවා.

එක්තරා මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් සිටියා

එය මෙතෙක් කී ශ්‍රේෂ්ඨතම කෙටිකතාව ලෙස ඇතැම් අය විසින් හඳුන්වා තිබෙනවා.1 එය ලොව පුරා භාෂා දහස් ගණනකට පරිවර්තනය කර ඇති අතර, පසුගිය සහස්‍ර දෙකක කාලය තුළ, ලෝකයේ කොතැනක හෝ මේ කතාව සඳහන් නොකර හිරු බැස නොහිහින් තියෙන්න පුළුවන්.

එය කියා තිබෙන්නේ “නැති වූ දේ ගලවා ගැනීමට”2 පොළොවට පැමිණි අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස් විසින්. උන්වහන්සේ මෙම සරල වචන වලින් එය පටන් ගන්නවා: “එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය.”3

එසැණින්ම අපි හදවත කම්පා කරවන ගැටුමක් ගැන ඉගෙන ගන්නවා. තමා නිවසේ ගත කරන ජීවිතය එපා වී තිබෙන බව එක් පුතෙක්4 තම පියාට පවසනවා. ඔහුට ඔහුගේ නිදහස අවශ්‍යයි. ඔහුගේ දෙමාපියන්ගේ සංස්කෘතිය සහ ඉගැන්වීම් අත්හැරීමට ඔහුට අවශ්‍ය වෙනවා. ඔහු එවෙලම තම උරුමයේ කොටස ඉල්ලනවා.5

මේක ඇහුවම තාත්තට දැනුන දේ ඔබට හිතාගන්න පුලුවන්ද? තම පුතාට අන් සියල්ලටම වඩා අවශ්‍ය මේ පවුල හැර යාම සහ සමහර විට ආපසු නොඒමට බව ඔහු තේරුම් ගත් විට ඔහුට මොනවා හිතෙන්න ඇත්ද?

මහා වික්‍රමය

මේ පුතාට වික්‍රමයක සහ උද්වේගයක සතුටක් දැනෙන්න ඇති. ඒ හැමදෙයක්ම අන්තිමට, එයාට හිටියෙ එයා විතරයි. ඔහුගේ යෞවනයේ සංස්කෘතියේ ප්‍රතිපත්ති හා නීතිරීතිවලින් නිදහස් වූ ඔහුට අවසානයේ තම දෙමාපියන්ගේ බලපෑමට හසු නොවී තමාගේම තේරීම් කළ හැකි වුණා. ඔහුට වරදකාරී හැඟීමක් තිබුණේ නෑ. ඔහුගේ අදහස් වලට සමාන අදහස් ඇති ප්‍රජාවක පිළිගැනීම ලැබීමට සහ ඔහුගේම කොන්දේසි මත ජීවිතය ගත කරන්න ඔහුට පුළුවන් වුණා.

දුර රටකට පැමිණි ඔහු ඉක්මනින්ම නව මිතුරන් ඇති කර ගත් අතර ඔහු සැමවිටම සිහින මැවූ ජීවිතය ගත කිරීමට පටන් ගත්තා. ඔහු නිදහසේ මුදල් වියදම් කළ නිසා ඔහු බොහෝ දෙනාගේ ප්‍රියතමයෙක් වෙන්න ඇති. ඔහුගේ නව මිතුරන්—ඔහුගේ නාස්තිකාරත්වයේ ප්‍රතිලාභීන්—ඔහුව විනිශ්චය කළේ නෑ. ඔවුන් ඔහුගේ තේරීම් සමරමින්, ඒවාට අත්පොළසන් දෙමින්, ජය සැමරුවා.6

ඒ කාලයේ සමාජ මාධ්‍ය තිබුනා නම්, නිසැකවම ඔහු සිනාසෙන මිතුරන්ගේ සජීවිකරණ ඡායාරූප වලින් පිටු පුරවන්න තිබුණා: #මගේහොඳමජීවිතය! #කවදාවත්නැතිතරම්සතුටින්! #ගොඩක්කාලෙකටකලින්මෙහෙමකරන්නතිබුණා!

සාගතය

නමුත් සාදය එච්චර කාලයක් පැවතුණේ නෑ—එහෙම වෙන්නෙ කලාතුරකින්. දේවල් දෙකක් වුණා: පළමුව, ඔහුගේ මුදල් ඉවර වුණා, ඒවගේම දෙවනුව, දේශය පුරා සාගතයක් පැතිර ගියා.7

ප්‍රශ්න උග්‍ර වෙද්දී ඔහු කලබල වුණා. කලක් නතර කළ නොහැකි, ප්‍රීති ඝෝෂාකාරී වූ වියදම් කරන්නාට දැන් ඉන්නට තැනක් තබා එක ආහාර වේලක්වත් ලබා ගත නොහැකි වුණා. ඔහු ජීවත් වෙන්නෙ කොහොමද?

ඔහු ඔහුගේ මිතුරන්ට ත්‍යාගශීලී වුණා—ඔවුන් දැන් ඔහුට උදව් කරයිද? මට පේනවා එයා ආයෙත් නැගිටිනකම් පොඩි සහයෝගයක් ඉල්ලනවා—ඒ මොහොතට විතරක්.

ශුද්ධලියවිලි අපිට මෙහෙම කියනවා, “කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.”8

ජීවත්ව සිටීමට ඉතා උවමනාවෙන්, ඌරන් පෝෂණය කිරීමට ඔහුව කුලියට ගත් දේශීය ගොවියෙකුව ඔහු සොයා ගත්තා.9

දේවල් මෙතරම් දරුණු ලෙස, භයානක ලෙස වැරදී ගියේ කොහොමද කියලා, දැන් දැඩි කුසගින්නෙන් පෙළෙන, අතහැර දමා තනිව සිටින තරුණයා සිතන්නට ඇති.

ඔහුට කරදර කළේ බඩගිනි වුණු කුස පමණක් නොවේ. ඔහුට කරදර කළේ ඔහුගේ හිස්වුණු ප්‍රාණය. ඔහුගේ ලෞකික ආශාවන්ට යටත් වීම ඔහුව සතුටට පත් කරන බව ඔහුට කොතරම් විශ්වාසවන්ත වුණාද කියනවනම්, සදාචාර නීති එම සතුටට බාධාවක් වුණා. දැන් ඔහුට හොඳින් තේරුණා. ඇත්තෙන්ම, එම දැනුම ලබාගන්නට ඔහුට ගෙවිය යුතු වූ මිල කොච්චරක්ද!10

ඔහුගේ ශාරීරික හා අධ්‍යාත්මික කුසගින්න වැඩි වුණාම, ඔහුගේ සිතුවිලි ඔහුගේ පියා වෙත නැවත හැරුණා. මේ සියල්ල සිදු වූ පසුත් ඔහු ඔහුට උදව් කරයිද? ඔහුගේ පියාගේ නිහතමානීම සේවකයන්ට පවා කෑමට ආහාර සහ කුණාටු වලින් ආරක්ෂාව තිබුණා.

නමුත් ඔහුගේ පියා වෙත ආපසු යාම?

කවදාවත් බැහැ.

ඔහු තම උරුමය නාස්ති කළ බව ඔහුගේ ගමට පාපොච්චාරණය කරන එක?

කරන්නට බැරි දෙයක්.

ඔහු තම පවුල අපකීර්තියට පත් කරන බවටත් ඔහුගේ දෙමාපියන්ගේ හදවත් බිඳ දමන බවටත් නිසැකවම ඔහුට අනතුරු ඇඟවූ අසල්වැසියන්ට මුහුණ දෙන එක? ඔහු නිදහස් වූ ආකාරය ගැන පුරසාරම් දෙඩීමෙන් පසු ඔහුගේ පැරණි මිතුරන් වෙත ආපසු යන එක?

දරාගන්නට බෑ.

නමුත් “ඔහු සිහිඋපදවා” ගන්නා තුරු—කුසගින්න, තනිකම සහ පසුතැවිල්ල නැතිවෙලා යන්නෙ නෑ.11

ඔහු කරන්න ඕනෙ මොකක්ද කියලා ඔහු දැනගෙන හිටියා.

ආපසු යාම

දැන් අපි නැවතත් බිඳුණු සිත් ඇති නිවසෙහි ස්වාමියා වන පියා වෙත යමු. ඔහු තම පුතා ගැන කරදර වීමට පැය සිය ගණනක්, සමහර විට දහස් ගණනක් නම් ගත කර තිබුණාද?

ඔහු තම පුතා ගිය මාවත දෙස බලා කී වතාවක් තම පුතා ඉවත්ව යන විට ඔහුට දැනුණු විනිවිද දැනෙන අහිමිවීම නැවත නැවතත් වින්දාද? තම පුත්‍රයා නිරුපද්‍රිතව තබන ලෙසත්, ඔහු සත්‍යය සොයා ගත යුතු බවත්, ඔහු නැවත පැමිණිය යුතු බවත් කියමින් දෙවියන්ට කන්නලව් කරමින්, ගැඹුරු රාත්‍රියේ ඔහු යාච්ඤා කීයක් නම් ඉදිරිපත් කළාද?

ඊට පස්සේ දවසක්, තාත්තා ඒ පාළු පාර දිහා බලාගෙන ඉන්නවා—ඒ ගෙදරට යන පාර—ඔහු දිහාට ඈතින් එන රූපයක් ඔහු දකිනවා.

ඒක වෙන්න පුළුවන්ද?

ඒ පුද්ගලයා සිටියේ බොහෝ ඈතින් වුණත්, ඒ තම පුතා බව පියා ක්ෂණයකින් දැනගන්නවා.

ඔහු ඔහු වෙත දිව යනවා, ඔහු වටා දෑත් දමනවා, ඔහුව සිප ගන්නවා.12

“පියාණෙනි,” පුතා කෑගහනවා, ඔහු මේ කතාව දහස් වාරයක් පෙරහුරු කරන්න ඇති, “මම ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව් කළෙමි. “තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි මම කියන්නෙමි.”13

නමුත් පියා ඔහුට එය අවසන් කිරීමට ඉඩ දෙන්නේ යන්තමින් වගේ. ඔහුගේ ඇස්වල කඳුළු පුරවාගෙන, ඔහු තම සේවකයන්ට මෙහෙම අණ කරනවා: “ගෙදර ඇති ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවාපල්ලා. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමාපල්ලා. අපි කමින් ප්‍රීතිවෙමු. මේ මාගේ පුත්‍රයා නැවත පැමිණ තිබේ!”14

සැමරීම

මගේ කාර්යාලයේ ජර්මානු චිත්‍ර ශිල්පී රිචඩ් බර්ඩ්ගේ සිතුවමක් එල්ලලා තිබෙනවා. හැරියට් සහ මම එයට කැමතියි! එය ගැලවුම්කරුවාණන්ගේ මේ උපමාවේ එක් සියුම් දර්ශනයක් ගැඹුරු ඉදිරිදර්ශනයකින් නිරූපණය කරනවා.

රූපය
රිචඩ් බර්ඩ් විසින් රචිත නාස්තිකාර පුත්‍රයාගේ නැවත පැමිණීම.

මේ පුත්‍රයාගේ නැවත පැමිණීම ගැන සියලුදෙනාම ප්‍රීතියෙන් ඉපිල ගියත්, එක් කෙනෙක් ප්‍රීති වුණේ නෑ—ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයා.15

ඔහු චිත්තවේගීය ගමන් මලු කිහිපයක් දරාගෙන හිටියා.

ඔහුගේ සහෝදරයා ඔහුගේ උරුමය ඉල්ලා සිටින විට ඔහු එහි සිටියා. ඔහු තම පියාගේ ශෝකයේ දැවැන්ත බර සියැසින්ම දැක්කා.

ඔහුගේ සහෝදරයා ගිය දා සිට ඔහු තම පියාගේ බර උසුලා ගන්න උත්සහ කළා. සෑම දිනකම ඔහු තම පියාගේ බිඳුණු හදවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා.

දැන් ඒ නොසැලකිලිමත් දරුවා නැවත ඇවිත් ඉන්නවා, මිනිසුන්ට ඔහුගේ කැරලිකාර සහෝදරයා කෙරෙහි අවධානය යොමු කිරීම නැවැත්විය නොහැකි වෙලා.

“මෙපමණ අවුරුදු ගණනක්,” ඔහු තම පියාට කියනවා, “ඔබට සේවය කරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් නුඹ මා සැමරුවේ නැත.”16

ඒ ආදරණීය පියා මෙහෙම පිළිතුරු දෙනවා, “පුත්‍රය, නුඹ නිතරම මා සමග සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය. මෙය විපාක හෝ සැමරුම් සංසන්දනය කිරීමක් නොවේ. මෙය සුව වීම ගැන ය. මේ අවුරුදු ගණනාවක් මුළුල්ලේම අප බලාපොරොත්තු වූ මොහොතයි. නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි! ඔහු නැති වී සම්බවීය!”17

අපේ කාලය සඳහා උපමාවක්

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, හිතවත් මිත්‍රවරුනි, ගැලවුම්කරුවාණන්ගේ උපමා සියල්ලම මෙන්, මෙය බොහෝ කලකට පෙර ජීවත් වූ මිනිසුන් ගැන පමණක් නොවේ. මේ කියන්නෙ ඔබ සහ මම ගැන, අද ගැන.

අපගේ ආත්මාර්ථකාමී මාර්ගයෙන් වැඩි සතුටක් සොයා ගත හැකි යැයි අඥාන ලෙස සිතමින්, ශුද්ධ වූ මාර්ගයෙන් ඉවත් වී නැත්තේ අපි අතරින් කව්ද?

අප අතරින් නිහතමානී බව දැනුණු, හදවත බිඳුණු සහ සමාව සහ දයාව සඳහා මංමුලා සහගත බවක් නොහැඟී ඉන්නේ කවුද?

සමහරවිට අපි මෙහෙම කල්පනා කරන්න ඇති, “අපිට ආපසු යන්නවත් පුළුවන්ද? මගේ හිටපු මිතුරන් විසින් මාව සදහටම ලේබල් කරනු ලැබෙයිද ප්‍රතික්ෂේප කරනු ලැබෙයිද සහ මග හරිනු ඇත්ද? අතරමං වෙලා ඉන්න එක ඊට වඩා හොඳද? මම ආපහු එන්න හැදුවොත් දෙවියන්වහන්සේ කොහොම ප්‍රතිචාර දක්වයිද?”

මෙම උපමාව අපට එයට පිළිතුර දෙනවා.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අප වෙත දිව එයි, උන්වහන්සේගේ හදවත ආදරය හා දයාවෙන් පිරී යයි. උන්වහන්සේ අපව වැළඳගනියි; අපගේ උරහිස් වටා සළුවක්ද, අපගේ ඇඟිල්ලට මුද්දක් ද, අපගේ පාදවලට සෙරෙප්පු ද දමයි, ඒවගේම මෙහෙම කියයි, “අද අපි සමරමු! මොකද ආයෙත් වරක් මිය ගිය මගේ දරුවාට නැවත ජීවිතය ලැබී ඇත!

අපගේ නැවත පැමිණීම ගැන ස්වර්ගය ප්‍රීති වෙයි.

“තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතිය”

මට දැන් මොහොතක් ගත කර ඔබට තනි තනිව කතා කරන්න පුළුවන්ද?

මගේ ආදරණීය මිතුරා සහ සහෝදර ප්‍රේරිත වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ වචන මම ප්‍රතිරාවය කර ප්‍රකාශ කරනවා, ඔබේ ජීවිතයේ කුමක් සිදු වෙලා තිබුණත්: “ක්‍රිස්තුස්වහන්සේගේ [වන්දිගෙවීමේ පූජාවේ] බැබළෙන අසීමිත ආලෝකයට වඩා පහළට වැටීමට ඔබට නොහැක.”18

සමහර තේරීම් ඔබව ගැලවුම්කරුවාණන්ගෙන් සහ උන්වහන්සේගේ සභාවෙන් බොහෝ දුරකට ගෙන ගොස් තිබුණත්, ප්‍රධාන සුව කරන්නා ඔබව සාදරයෙන් පිළිගනිමින් නිවසට යන මාර්ගය අසල බලා ඉන්නවා. ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෙස අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමටත්, අපගේ සහෝදර සහෝදරියන් ලෙස, අපගේ මිතුරන් ලෙස ඔබව වැළඳ ගැනීමටත් උත්සාහ කරනවා. අපි ඔබ සමඟ ප්‍රීති වෙමින්, සමරනවා.

ඔබේ නැවත පැමිණීමෙන් අන් අයගේ ආශිර්වාද අඩු වෙන්නේ නෑ. මොකද පියාණන්වහන්සේගේ ත්‍යාගය අනන්තයි, යමෙකුට දෙන දෙයක් නිසා තවත් කෙනෙකුට ලබාදෙන දෙයින් අල්පයක්වත් අඩු වෙන්නෙ නෑ.19

ආපසු එන එක කරන්න පහසු දෙයක් ලෙස මම පෙන්නන්නෙ නෑ. මට ඒ ගැන සාක්ෂි දරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, එය ඔබ කවදා හෝ සිදු කරන දුෂ්කරම තේරීම වෙන්න පුළුවන්.

නමුත් ඔබ නැවත පැමිණ අපගේ ගැලවුම්කරුවාණන්ගේ, මිදුම්කරුවාණන්ගේ මාර්ගයේ ගමන් කිරීමට තීරණය කරන මොහොතේම, උන්වහන්සේගේ බලය ඔබේ ජීවිතයට ඇතුළු වන අතර ඔබ පරිවර්තනය වන බවට මම සාක්ෂි දරනවා.20

ස්වර්ගයේ සිටින දේවදූතයන් ප්‍රීති වෙයි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබේ පවුල වන අපිත් එහෙමයි. සියල්ලටම පස්සෙ, නාස්තිකාරයෙකු වීම කොයි වගේද කියලා අපි දන්නවා. අපි සියලු දෙනා දිනපතා රඳා සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේගේ එකම වන්දිගෙවීමේ බලය මතයි. අපි මේ මාර්ගය දන්නවා, අපි ඔබ සමඟ එහි ගමන් කරන්නම්.

නෑ, අපගේ මාර්ගය සන්තාපයෙන්, ශෝකයෙන් හෝ දුකෙන් නිදහස් වෙන්නෙ නෑ. නමුත් අපි “ගැලවීමට බලවත් වූ තැනැන්වහන්සේගේ ක්‍රියාවන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසයද, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සමග උන්වහන්සේ කෙරෙහි අචල ඇදහිල්ලෙන්” මෙතරම් දුරක් ආවා. අපි එකට එකතු වෙලා “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීරත්වය ඇතිව, බලාපොරොත්තුවේ පරිපූර්ණ ආලෝකය ඇතිව, තවද දෙවියන්වහන්සේට හා සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමය ඇතිව ඉදිරියට ගමන් කරමු.”21 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ශක්තිය නිසා23 අපි එක්ව “කිය නොහැකි ප්‍රීතියෙන් හා තේජසින් පූර්ණව ප්‍රීති වෙමු.”22

මෙම ගැඹුරු උපමාව තුළින්, නිවසට යන මාර්ගයට ඇතුළු වන ලෙස පියාණන්ගේ හඬ අප සෑම කෙනෙකුටම ඇසෙනු ඇතැයි කියාත්—පසුතැවිලි වීමට, සමාව ලබා ගැනීමට සහ අපගේ දයානුකම්පිත හා දයාවන්ත දෙවියන්වහන්සේ කෙරෙහි ආපසු යන මාර්ගය අනුගමනය කිරීමට අපට ධෛර්යය ලැබේවා කියා මම යාච්ඤා කරනවා. මේ ගැන මම සාක්ෂි දරන්නේත්, මාගේ ආශිර්වාදය ඔබ සමඟ තබන්නේත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. නැතිවූ දෙයක්, එම නැති වූ දෙය හමුවීමෙන් පසු ඇතිවන සැමරීමේ අගය ගැන නිරූපණය කරන උපමා තුනෙන් (නැතිවූ බැටළුවා, නැතිවූ කාසිය සහ නැතිවූ පුත්‍රයා) එකක් ලූක් 15 හි හමුවේ.

  2. ලූක් 19:10.

  3. ලූක් 15:11.

  4. මේ පුතා සමහරවිට තරුණ විය හැකියි. ඔහු අවිවාහක වූ අතර, එය ඔහුගේ යෞවනයේ ඇඟවීමක් විය හැකි නමුත්, ඔහුගේ උරුමය ඉල්ලා සිටීමට සහ එය ලබා ගත් පසු නිවස හැර යාමට නොහැකි තරම් තරුණ නොවන්නට ඇති.

  5. යුදෙව් නීතිය හා සම්ප්‍රදායට අනුව, පුතුන් දෙදෙනෙකුගෙන් වැඩිමහල් තැනැත්තාට පියාගේ උරුමයෙන් තුනෙන් දෙකක කොටසක් හිමි විය. ඒ නිසා බාල පුතාට, තුනෙන් එකක කොටසක් හිමි විය. (බලන්න ද්විතීය කථාව 21:17.)

  6. බලන්න ලූක් 15:13.

  7. බලන්න ලූක් 15:14.

  8. ලූක් 15:16.

  9. යුදෙව්වන්, ඌරන් “අපිරිසිඳු” ලෙස සලකනු ලැබීය (බලන්න ද්විතීය කථාව 14:8) සහ එය අප්‍රසාදාත්මක දෙයක් විය. යුදෙව්වන් ඌරන් ඇති නොකරනු ඇත, එයින් ඇඟවෙන්නේ ගොවිපළේ හිමිකරු අන්‍යජාතිකයෙකු බවයි. කුඩා පුත්‍රයා යුදෙව්වන්ගේ සම්ප්‍රදායන්ගෙන් ඈත් වී කොපමණ දුරක් ගමන් කර ඇත්ද යන්නද එයින් ඇඟවිය හැකිය.

  10. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්වුවා: “ඇත්ත වශයෙන්ම, තත්වයන් නිසා [නිහතමානී] වෙනවාට වඩා අපි ‘වචනය නිසා’ නිහතමානී වෙනවා නම් හොඳයි, නමුත් කොයි ආකාරයකින් හෝ එසේ වීම හොඳය! (බලන්න ඇල්මා 32:13–14). සාගතයට අධ්‍යාත්මික කුසගින්න ඇති කළ හැකිය” (“The Tugs and Pulls of the World,” Liahona, Jan. 2001, 45).

  11. ලූක් 15:17.

  12. බලන්න ලූක් 15:20.

  13. බලන්න ලූක් 15:18–19, 21.

  14. බලන්න ලූක් 15:22–24.

  15. මතක තබා ගන්න, බාල පුතාට ඔහුගේ උරුමය දැනටමත් ලැබී තිබුණි. වැඩිමහල් තැනැත්තාට, එයින් අදහස් කළේ අනෙක් සියල්ල ඔහුට අයිති බවයි. පොඩි පුතාට ඕනම දෙයක් දෙනවා කියන්නේ, හිටපු පුතාගෙන් උදුරාගෙන දීමක් ය.

  16. බලන්න ලූක් 15:29.

  17. බලන්න ලූක් 15:31–32.

  18. Jeffrey R. Holland, “The Laborers in the Vineyard,” Liahona, May 2012, 33.

  19. යමෙකුට දෙන දෙයක් නිසා තවත් කෙනෙකුට ලබාදෙන දෙයින් අල්පයක්වත් අඩු වෙන්නෙ නෑ. මතෙව් 20:1–16 හි කම්කරුවන් පිළිබඳ උපමාව ඉදිරිපත් කරන විට ගැලවුම්කරුවාණන් මෙම ධර්මය ඉගැන්වීය.

  20. බලන්න ඇල්මා 34:31.

  21. 2 නෙපි 31:19–20.

  22. 1 පේත්‍රැස් 1:8.

  23. බලන්න ගීතාවලිය 28:7.