ප්‍රධාන සම්මන්ත්‍රණය
සෑම දිනකම අපගේ ජීවිත තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සෑම දිනකම අපගේ ජීවිත තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය

අපගේ ශක්තියේ මූලාශ්‍රය වන්නේ අපි සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්නට සොයන විට උන්වහන්සේ තුළ ඇති ඇදහිල්ලයි.

හිතවත් සහෝදර සහෝදරියනි, මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි. උන්වහන්සේගේ සභාව ලෙස රැස් වීමට ලැබීම මොනතරම් සතුටක්ද? මේ කාගේ සභාවද සහ අප අනුගමනය කරන්නේ කාගේ ඉගැන්වීම්ද යන්න අපට මතක තබා ගැනීමට ස්වාමින්වහන්සේගේ සභාවේ නිවැරදි නම භාවිතා කරන ලෙස සභාපති රසල් එම්. නෙල්සන් සැමවිටම අපට මතක් කර දීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.

සභාපති නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “ඉදිරි දිනවලදී, ලෝකය මෙතෙක් දැක ඇති ගැලවුම්කරුවාණන්ගේ බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයන් අපි දකිනවා. … උන්වහන්සේ ඇදහිලිවන්තයින් මත අසංඛ්‍යාත වරප්‍රසාද, ආශිර්වාද සහ ප්‍රාතිහාර්යයන් ලබා දෙයි.”1

මට සහ මගේ බිරිඳ වන රෙනීට ලැබුණු ලොකුම වරප්‍රසාද සහ අවස්ථාවන්ගෙන් එකක් තමයි අප සේවය කරන ස්ථානයේ ශුද්ධවන්තයින්ව හමුවීමට ලැබීම. අපි ඔවුන්ගේ කතා අසනවා, ඔවුන්ගේ පාඩුව අපි දකිනවා, අපි ඔවුන්ගේ දුක බෙදා ගන්නවා, ඒවගේම ඔවුන්ගේ සාර්ථකත්වය ගැන අපි සතුටු වෙනවා. ගැලවුම්කරුවාණන් ඇදහිලිවන්තයන් වෙත ලබා දී ඇති බොහෝ ආශිර්වාද හා ප්‍රාතිහාර්යයන් අපි දැක තිබෙනවා. කළ නොහැකි දේ හරහා ගිය, සිතාගත නොහැකි දුක් විඳි මිනිසුන් අපට හමු වී තිබෙනවා.

රූපය
සභාපති හොසේ, බටල්ලා සහ ඔහුගේ බිරිඳ වන වැලෙරියා බටල්ලා සොයුරිය.
රූපය
ෆ්ලේවියා කෲසාඩෝ සහ ඇගේ පියා.

බොලිවියාවේ ස්වාමින්වහන්සේගේ රාජකාරියේ යෙදී සිටියදී තම ස්වාමිපුරුෂයාව අහිමි වූ වැන්දඹුවක් තුළ ගැලවුම්කරුවාණන්ගේ බලයේ ප්‍රකාශ වීම අපි දැක තිබෙනවා.2 යමෙකුට ආජන්ටිනාවේ තරුණියකගේ ජංගම දුරකථනය සොරකම් කිරීමට අවශ්‍ය වූ නිසා, ඇයව දුම්රියක යටට තල්ලු කර ඇයගේ කකුල අහිමි වූ එම තරුණිය තුළින් එය අපි දැක තිබෙනවා.3 එවැනි පැහැදිලි කළ නොහැකි කුරිරු ක්‍රියාවකින් පසු දැන් ඇයව සනසවමින්, තම දියණියව ශක්තිමත් කළ යුතු ඇගේ තනිකඩ පියා තුළ අපි එය දැක තිබෙනවා. 2022 නත්තලට දින දෙකකට පෙර චිලි හි ලැව්ගිනි හේතුවෙන් තම නිවාස සහ සෑම වස්තුවක්ම අහිමි වූ පවුල්වලින් අපි එය දැක තිබෙනවා.4 කම්පන සහගත දික්කසාදයකින් පසු දුක් විඳින අය සහ අපයෝජනයන්ට ගොදුරු වූ අහිංසකයින් තුළ අපි එය දැක තිබෙනවා.

රූපය
චිලී හි ලැව්ගිණි

දුෂ්කර දේ හරහා යාමට ඔවුන්ට බලය ලබා දෙන්නේ කුමක්ද? සෑම දෙයක්ම නැති වී ගොස් කියා පෙනෙන විට ඉදිරියට යාමට අමතර ශක්තියක් ලබා දෙන්නේ කුමක්ද?

ඒ ශක්තියේ මූලාශ්‍රය වන්නේ අපි සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්නට සොයන විට උන්වහන්සේ තුළ ඇති ඇදහිල්ල බව මට පෙනී ගියා.

අනාගතවක්තෘ යාකොබ් මෙසේ ඉගැන්වුවා, “තවද උන්වහන්සේ ලෝකය තුළට පැමිණෙන සේක, එනම් ඔවුන් උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්නේ නම්, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ව ගලවන සේක; තවදබලන්න, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ වේදනා, එසේය ආදම්ගේ පවුලට අයිති පුරුෂයින් සහ ස්ත්‍රීන්, සහ දරුවන් යන සෑම ජීවියෙකුගේම වේදනා වින්ද සේක.”5

සමහර අවස්ථාවලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම කළ නොහැකි දෙයක්, අත්කරගත නොහැකි දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට අපට නැති ශක්තියක්, බලයක් සහ පරිපූර්ණත්වයක් අවශ්‍ය බවත්, ඒ වගේම ඒ සියල්ල කිරීමට අපට ශක්තිය සොයාගන්න බැරි බවත් අප සිතනවා වෙන්න පුළුවන්. නමුත් මේ ගමන ආරම්භ කිරීමට අපට ශක්තිය ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල බව මම මේ සියලු දෙනාගෙන්ම ඉගෙන ගත් දේ වනවා. “මම යේසසුස්වහන්සේ වෙතට එන්නට කලින් මම මාව හදාගන්න ඕනෙ,” කියලා සමහර වෙලාවට අපි හිතනවා, ඒත් සත්‍ය නම් අපි යේසුස්වහන්සේ වෙතට එන්නෙ උන්වහන්සේ තුළින් අපේ ජීවිත හදාගන්න.

අපි යේසුස්වහන්සේ ලඟට එන්නෙ අපි පරිපූර්ණ නිසා නෙවේ. අපි උන්වහන්සේ ලඟට එන්නෙ මොකද අපිට දුර්වලතා තියනවා, ඉතින් අපිට උන්වහන්සේ තුළ “පරිපූර්ණ වෙන්න” පුළුවන්.6

අපිට හැම දවසකම ඇදහිල්ල ටිකින් ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්න පුළුවන් කොහොමද? මට නම් එය පටන් ගන්නෙ උදෙන්මයි: මම අවදි වුණාම, මම මගේ දුරකථනය දිහා බලනවා වෙනුවට, මම යාච්ඤාවක් කරනවා. ඒක බොහොම සරල යාච්ඤාවක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම ශුද්ධලියවිල්ලක් කියවනවා. මම සක්‍රමේන්තුව ලබාගනිද්දී “සැමවිටම උන්වහන්සේව සිහි කිරීමට” මම සතිපතා තබාගන්නා ගිවිසුමට මට මේක උදව් වෙනවා.7 මම යාච්ඤාවකින් සහ ශුද්ධලියවිල්ලක් සමඟ මගේ දවස පටන් ගද්දි මම මගේ දුරකථනය දිහා බලනකොටත් මට “උන්වහන්සේව සිහි කරන්න” පුළුවන්. මම ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙද්දි, ඒවගේම මම යේසුස්වහන්සේ කරන්න තිබුණු හැටියට ඒවාට මුහුණ දෙන්න උත්සහ කරද්දි, මට “උන්වහන්සේව සිහි කරන්න” පුළුවන්.

මම “උන්වහන්සේව සිහි කරද්දි”, මට වෙනස් වීමට, පසුතැවිලි වීමට ආශාවක් දැනෙනවා. මගේ ගිවිසුම් පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තියේ මූලාශ්‍රය මම සොයාගන්නවා, ඒ වගේම මට මගේ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනෙනවා, “ඒවගේම උන්වහන්සේගේ ආත්මය සෑම විටම [මා] සමඟ පවතින පිණිස, උන්වහන්සේ [මට] ලබාදුන් උන්වහන්සේගේ ආඥා තබනවා.”8 අවසානය දක්වා විඳදරාගැනීමට එය මට උදව් වෙනවා.9 එහෙම නැත්නම් දවස අවසාන වෙන තෙක්වත් එසේ කිරීමට මට එය උදව් වෙනවා! උන්වහන්සේව සිහි කිරීමට මම අපොහොසත් වන දවස් වලදී, උන්වහන්සේ මට ආදරය කරමින් ඒ වගේම “ඒක කමක් නෑ, ඔබට හෙට ආයෙත් උත්සහ කරන්න පුළුවන්” කියා මට කියමින් උන්වහන්සේ තවමත් රැඳී ඉන්නවා.

අපි උන්වහන්සේව සිහි කිරීමේදී පරිපූර්ණ නැති වුණත්, අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ කවදාවත් අපව සිහි කරන්නට අපොහොසත් වෙන්නෙ නෑ.

අපි නිතරම කරන වැරදි වලින් එකක් තමයි අපි ගිවිසුම් නැත්නම් දෙවියන්වහන්සේ සමග ඇතිකරගන්නා පොරොන්දු තබාගත්තහම, එය අපි උන්වහන්සේ සමඟ කරන ගණුදෙනුවක් කියලා අපි මෙහෙම හිතනවා: මම කීකරු වෙනවා, ඊට පස්සෙ මට වෙන්න පුළුවන් හැම නරක දෙයකින්ම උන්වහන්සේ මාව ආරක්ෂා කරනවා. මම මගේ දසයෙන් කොටස ගෙවනවා, මට කවදාවත් මගේ රැකියාව නැති වෙන්නේ නැහැ, ඒවගේම ගින්නෙන් මගේ ගෙදර පිළිස්සී යන්නෙ නෑ. ඒත් අපි බලාපොරොත්තු නොවුණු විදියට දේවල් වෙනකොට, “මම විනාශ වෙන එක ගැන ඔබවහන්සේ තකන්නෙ නැත්ද?” කියමින් ස්වාමින්වහන්සේ වෙතට හඬනවා.10

අපේ ගිවිසුම් හුදෙක් ගණුදෙණුවක් නොවේ; ඒවා පරිවර්තනීය යි.11 මගේ ගිවිසුම් තුළින් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ කිරීමේ, ශක්තිමත් කිරීමේ බලය ලැබෙනවා, එමගින් මට අලුත් පුද්ගලයෙකු වෙන්නත්, සමාව දෙන්න බැරි ලෙස පෙනෙන දේවල් වලට සමාව දෙන්නත්, කළ නොහැකි ලෙස පෙනෙන දේවල් අභිබවා යන්නත් පුළුවන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීම සැමවිටම බලවත්; “උන්වහන්සේ [මට] ලබා දුන් උන්වහන්සේගේ ආඥා තබා ගන්නට”12 එය මට අමතර ශක්තියක් ලබා දෙනවා. එය මට වඩා හොඳ වීමට, හේතුවක් නොමැතිව සිනාසීමට, සාමය ඇති කරන්නෙකු වීමට,13 ගැටුම් වළක්වා ගැනීමට, දෙවියන්වහන්සේට මගේ ජීවිතය ජය ගැනීමට ඉඩ සලසනවා.14

අපගේ වේදනාව හෝ අප ආදරය කරන වෙනත් අයෙකුගේ වේදනාව අපිට එය දරාගන්නට බැරි තරම් විශාලයි කියා දැනෙද්දි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීම සහ උන්වහන්සේ වෙතට පැමිණීම මගින් එම බර සැහැල්ලු වෙනවා, හදවත් මෘදු වෙනවා, ඒ වගේම වේදනාව ලිහිල් වෙනවා. මේ තමයි අර තාත්තට තමන්ගෙ දුවගේ පාදය නැති වීම නිසා ඇයට ඇති වුණු ශාරීරික සහ චිත්තවේගීය වේදනාවෙන් ඇයව ඔසවා ගැනීමට තරම් ස්වභාවික හැකියාවෙන් ඔබ්බට ලැබුණු බලය.

රූපය
වැඩිහිටි උලිසෙස් සෝරෙස් සමඟ ෆ්ලාවියා කෘසාඩෝ

වැඩිහිටි සෝරෙස් පසුගිය ජුනි මාසයේ ආර්ජන්ටිනාවට ගිය අවස්ථාවේ ෆ්ලේවියාගෙන් ඇගේ මේ ඛේදජනක අනතුර ගැන අහපු වෙලාවෙ, ඇය ඇදහිලිවන්තව මෙහෙම කිව්වා, “මම [මෙය සිදු වුණාම] කැලඹිල්ල, තිත්තකම, කෝපය, සහ වෛරය කියන දේවල් අත්වින්දා. මට උදව් වුණු එක දෙයක් තමයි, ‘ඇයි මටම?’ කියලා අහන්නෙ නැතුව ‘ඇයි එහෙම?’ කියලා අහන්න පුළුවන් වීම. මාව අනෙක් අය වෙතටත් ඒවගේම ස්වාමින්වහන්සේ වෙතටත් ලං කරපු දේ තමයි ඒ. … මාව උන්වහන්සේගෙන් ඈත් කරගන්නවා වෙනුවට, මම උන්වහන්සේට තව තවත් ලං වුණා.15

සභාපති නෙල්සන් මෙහෙම ඉගැන්වුවා: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පැවැත්වීමේ විපාකය ස්වර්ගීය බලයයි—ඒ බලය අපගේ අභියෝග, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට අපට තවත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන ලෙස අපව ශක්තිමත් කරන බලයයි. මේ අනුව, ගිවිසුම්-රකින්නන් විශේෂ ආකාරයේ සහනයක් සඳහා හිමිකම් ලබනවා.”16 අර වැන්දඹුවට ඇයගේ ස්වාමිපුරුෂයා නැති වීමෙන් සෑම දිනකම දැනුණු වේදනාව තිබියදීත්, ඇයගේ ඇස් වල මම දැකපු සාමය සහ සහනය ඒ ආකාරයේ එකක්.

රූපය
ගලීල මුහුදේ කුණාටුව.

යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් බෝට්ටුවක සිටි කතාවක් ගැන අලුත් ගිවිසුම අපට කියනවා:

“එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය. …

“උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.

“උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවවෙයි මුහුදට කී සේක.

උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කී සේක.”17

මට මේ කතාවෙන් නිතරම කුතුහලයක් ඇති වුණා. ඒ කුණාටුව සන්සුන් කරන්නට ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල භාවිතා කරයි කියා ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වුණාද? සුළඟට තරවටු කිරීමට? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල තමයි, උන්වහන්සේ අප සමඟ බෝට්ටුවේ සිටින නිසා අපි විනාශ නොවන බව දැනගෙන, ඒ කුණාටුවට එරෙහිව සිටීමට ලැබෙන සාමයේ හැඟීම.

චිලියේ ලැව්ගිනිවලින් පසු ඒ පවුල්වලට ගිය අපි දැක්කේ එවැනි ඇදහිල්ලක්. ඔවුන්ගේ ගෙවල් පිච්චිලා පොළොවට සමතලා වෙලා තිබුණා; ඔවුන්ට සෑම දෙයක්ම නැති වී ගිහින් තිබුණා. ඔවුන්ගේ ගෙවල් තිබුණු තැන් වලින් ඇවිද යද්දි ඔවුන් අපිට ඔවුන්ගේ අත්දැකීම් ගැන කිව්වා, එතකොට අපිට දැණුනෙ අපි ශුද්ධ භූමියක හිටගෙන ඉන්නවා කියලයි. එක සහෝදරියක් මගේ බිරිඳට මෙහෙම කිව්වා, “අහල පහළ ගෙවල් ගිනිගන්නවා මම දැක්කම, අපේ ගෙදරත් ගිනි ගන්න යනවා, අපිට හැමදේම නැතිවෙන්න යනවා කියලා මට හිතුණා. බලාපොරොත්තු සුන්වීම වෙනුවට, විස්තර කළ නොහැකි සාමයක් මම අත්වින්දා. කොහොම හරි හැමදේම හරි යයි කියලා මට දැනුනා.” දෙවියන්වහන්සේව විශ්වාස කිරීමෙන් සහ උන්වහන්සේ සමඟ තබාගෙන ඇති අපේ ගිවිසුම් තැබීම මගින් අපේ දුර්වලතා වලට බලයත්, අපේ ශෝකයට සැනසීමත් ගෙන එනවා.

ඔවුන්ගේ ඇදහිල්ලේ, ශක්තියේ, ඒවගේම නොපසුබට උත්සහයේ උදාහරණ නිසා, එම අපූරු ශුද්ධන්තයින්ව මුණගැසීමට මටත් රෙනීටත් ලැබුණු ඒ අවස්ථාව ගැන මම ස්තූතිවන්ත වෙනවා. කවදාවත් පුවත්පතක මුල් පිටුවේ පළ නොවන සහ ප්‍රසිද්ධ කතාවක්වත් බවට නොවන ඒ හදවත බිඳුණු, බලාපොරොත්තු සුන් වුණු කතා ගැනත්; අහිමි වීමකින් හෝ කම්පන සහගත දික්කසාදයකින් පසු වැටුණු කදුළු සහ කරන ලද යාච්ඤාවන්ගේ නොගත් පින්තූර සඳහාත් ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ල නිසා දරාගන්නට හැකි වුණු භීතිය, ශෝකය, සහ වේදනාව ගැන කෙදිනකවත් පළ නොවුණු පෝස්ටු සඳහාත් මම ස්තූතිවන්ත වෙනවා. මේ අය මගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා, ඒ නිසා මම ඒ ගැන ගැඹුරින්ම ස්තූතිවන්ත වෙනවා.

මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව බව මම දන්නවා. අපි සෑම දිනකම උන්වහන්සේ වෙතට එනවා නම්, උන්වහන්සේ අපව උන්වහන්සේගේ බලයෙන් සැරසවීමට සූදානම්ව ඉන්න බව මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.