ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ ඔබව දනී සහ ප්‍රේම කරයි.
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේ ඔබව දනී සහ ප්‍රේම කරයි.

දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ඔබ ගැනයි. ඔබ උන්වහන්සේගේ මහත් වටිනාකමක් ඇති අනර්ඝ දරුවෙක්ය.

මීට වසර හයකට පෙර අපේ පවුල ඔක්ස්ෆර්ඩ් නගරයෙන් පිටත මහා මාර්ගයක රාත්‍රියේ ගමන් කරමින් සිටියා. කුඩා දරුවන් සිටින විට නිතරම සිඳුවන ආකාරයට, අපට වාහනය නතර කිරීමට අවශ්‍ය වූ නිසා අපි විවිධ සාප්පු සහ අවන්හල් සහිත ඉන්ධන පිරවුම්හලක් සොයාගත්තා. අපි මෝටර් රථයෙන් බැස අවශ්‍ය සේවාවන් සපුරා නැවත ගමන ආරම්භ කළා.

මිනිත්තු පහළොවකට පසු, අපේ වැඩිමහල් පුතා වැදගත් ප්‍රශ්නයක් ඇසුවා: “කෝ ජැස්පර්?” ජැස්පර් සෑම විටම වාඩිවන්නේ මෝටර් රථයේ පිටුපස තනිවමයි. ජැස්පර් නිදා සිටිනවා නැතිනම් සැඟවී අපව රැවටීමට උත්සහ කරනවා කියා අපි සිතුවා.

ඔහුගේ වැඩිමහල් සහෝදරයා වඩාත් සමීපව වාහනයේ පිටුපස පරීක්ශා කර බලන විට අපගේ පස්විදිරි පුතා වාහනයේ නොමැති බව පෙනී ගියා. අපේ හදවත් භීතියෙන් පිරී ගියා. අපි නැවත ඉන්ධන පිරවුම්හල වෙතට යාමට මෝටර් රථය හරවන විට, ජැස්පර්ව ආරක්ෂා කර දෙන ලෙස අපි ස්වර්ගික පියාණන්ගෙන් අයැද සිටියා. අපි පොලිසියට අමතා තත්ත්වය දැනුම් දුන්නා.

අපි කලබලයෙන් පැමිණ, විනාඩි 40කට වඩා වැඩි කාලයකට පසු, රථගාලේ දී, විදුලි පහන් දැල්වෙන පොලිස් වාහන දෙකක් හමු වුනා. අපට ඉන් එකක ඇතුලත බොත්තම් සමඟ සෙල්ලම් කරන ජැස්පර්ව දැකගත හැකිවුනා. ඔහු සමඟ නැවත එක්වීමට ලැබීමෙන් අප ලැබූ සතුට මට කිසිදා අමතක වන්නේ නැහැ.

ගැලවුම්කරුවාණන්ගේ බොහෝ උපමා සහිත ඉගැන්වීම් වලින් අවධානය යොමු කරන්නේ රැස් කිරීම, නැවතපිහිටුවීම හෝ විසිරී ගිය හෝ නැති වූ දේ සෙවීමට උත්සාහ කිරීම කෙරෙහිය. මේ අතර නැතිවූ බැටළුවා, නැතුවූ කාසිය, නැතිවූ පුත්‍රයාද වනවා.1

ජැස්පර් සමඟ මෙම සිදුවීම වසර ගණනාවක් තිස්සේ මගේ මනසෙහි තැන්පත් වී ඇති පරිදි, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ දිව්‍යමය අනන්‍යතාවය සහ වැදගත්කම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලය සහ ඔබ මෙන්ම මා හඳුනන ස්වර්ගයේ සිටින පියෙකුගේ පරිපූර්ණ ප්‍රේමය පිළිබඳව මෙනෙහිකර තිබෙනවා. මෙම සත්‍යයන් පිළිබඳව මම අද සාක්ෂි දැරීමට බලාපොරොත්තු වනවා.

1. දෙවියන්වහන්සේගේ දරුවන්

ජීවිතය අභියෝගාත්මකයි. බොහෝ මිනිසුන්ට අධික බවක්, තනිකමක්, හුදකලා බවක් හෝ වෙහෙසක් දැනෙනවා. දේවල් බොහෝ දුෂ්කර වූ විට, අප ඉබාගාතේ යන බවක් හෝ පසුබෑමකට ලක් වූ බවක් අපට දැනෙන්නට පුළුවන. අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බවත් උන්වහන්සේගේ සදාකාලික පවුලේ සාමාජිකයන් බවත් දැන ගැනීමෙන් අයත්වන බවක් සහ අරමුණක් පිළිබඳ හැඟීමක් නැවත ඇතිවනවා.2

සභාපති බැලාර්ඩ් මෙසේ බෙදාගත්තා: “අපි හැමෝම දැන් සහ සදහටම බෙදාහදා ගන්නා එක් වැදගත් අනන්‍යතාවයක් ඇත. … එනම් ඔබ දැනුත්, සැමවිටමත් දෙවියන්වහන්සේගේ පුතෙකු හෝ දියණියක වී සිටීමයි. … මෙම සත්‍යය අවබෝධ කර ගැනීම—එය සැබවින්ම වටහා ගැනීම සහ එය වැළඳ ගැනීම—ජීවිතය වෙනස් කරයි.”3

ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ඔබ කොතරම් වැදගත්ද යන්න වරදවා වටහා නොගන්න හෝ අගය අඩු නොකරන්න. ඔබ ස්වභාවධර්මයේ අහඹු අතුරු ඵලයක්, විශ්වයේ අනාථයෙක් හෝ පදාර්ථයේ සහ කාලයේ සහ අවස්ථාවේ ප්‍රතිඵලයක් හෝ නොවේ. නිර්මාණයක් තිබෙන තැන නිර්මාණකරුවෙක් සිටිනවා.

ඔබේ ජීවිතයට අර්ථයක් සහ අරමුණක් තිබෙනවා. දිගටම සිඳුවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ නැවත පිහිටුවීම ඔබගේ දිව්‍යමය අනන්‍යතාවය පිළිබඳව ආලෝකය සහ අවබෝධය ගෙන එනවා. ඔබ ස්වර්ගික පියාණන්ගේ ආදරණීය දරුවෙක්. ඒ සියලු උපමාවල සහ ඉගැන්වීම්වල විෂය කාරණය ඔබයි. දෙවියන්වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවාද යත්, ඔබව සුව කිරීමට, ගලවා ගැනීමට සහ මුදවා ගැනීමට උන්වහන්සේ තම පුත්‍රයා එවූසේක.4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එක් එක් පුද්ගලයාගේ දිව්‍යමය ස්වභාවය සහ සදාකාලික වටිනාකම හඳුනා ගත්තා.5 දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ඨ ආඥා දෙක 6 දෙවියන්වහන්සේගේ සියලුම ආඥා වල පදනම වන්නේ කෙසේද කියා උන්වහන්සේ පැහැදිළි කළා. අපගේ දිව්‍යමය වගකීම්වලින් එකක් වන්නේ අවශ්‍යතා ඇති අය ගැන සැලකිලිමත් වීමයි.7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපි “එකිනෙකාගේ බර උසුලන්නේත්, ශෝක වන්නන් සමඟ ශෝකවන්නේත්, සැනසිල්ල අවශ්‍ය වන්නන් උදෙසා නැගීසිට සැනසීම දෙන්නේත්” මේ නිසයි.8

ආගම යනු දෙවියන්වහන්සේ සමඟ අපේ ඇති සම්බන්ධතාවය පමණක් නොවේ, එය අප එකිනෙකා සමඟ ඇති සම්බන්ධතාවයද වනවා. වැඩිහිටි ජෙෆ්‍රි ආර්.හොලන්ඩ් පැහැදිලි කළ ආකාරයට religion (ආගම) යන ඉංග්‍රීසි වචනය පැමිණෙන්නේ religare, (රෙලිගර්) යන ලතින් වචනය වෙතින් වන අතර එහි අර්ථය “බැඳීමට” හෝ වඩාත් වචනාර්ථයෙන් නම් “නැවත ගැටගැසීමට” යන්නයි. මේ අනුව, “සැබෑ ආගම යනු දෙවියන්වහන්සේට සහ එකිනෙකාට අපව බැඳ තබන බැඳීමයි.”9

අපි එකිනෙකාට සලකන ආකාරය සැබවින්ම වැදගත් වනවා.10 සභාපති නෙල්සන් මෙසේ උගන්වනවා, “ගැලවුම්කාරයාණන්ගේ පණිවිඩය පැහැදිලිය: උන්වහන්සේගේ සැබෑ ගෝලයන් ගොඩනඟයි, ඔසවයි, දිරිගන්වයි, ඒත්තු ගන්වයි, සහ ප්‍රබෝධමත් කරයි.”10 ජීවිත ගමනේ අපගේ සෙසු ගමන්කරුවන්ට අහිමි වූ, තනි වූ, අමතක වූ හෝ ඉවත් වූ බවක් දැනෙන විට මෙය වඩාත් වැදගත් වනවා.

අරගල කරන මිනිසුන් සෙවීමට බොහෝ දුර යන්න අපට අවශ්‍ය වන්නේ නැහැ. අපේම පවුලේ, සභාවක හෝ ප්‍රදේශයේ ප්‍රජාවේ කෙනෙකුට උපකාර කිරීමෙන් අපට ආරම්භ කළ හැකියි. අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන මිලියන 700 ක ජනතාවක්11 හෝ පීඩාව, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් වී සිටින මිලියන 100 ක ජනතාවගේ දුක් වේදනාවලින්ද ඔවුන්ව නිදහස් කිරීමට අපට උත්සාහ කළ හැකියි.12 කුසගින්නෙන් පෙළෙන්නන්, ආගන්තුකයින්, ලෙඩුන්, දුප්පතුන්, සිරගත වූවන් වැනි අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමේ හොඳම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේගේ කාර්යයන් අපගේ කාර්යයන් වනවා.

වැඩිහිටි ගොං උගන්වන්නේ “දෙවියන්වහන්සේ වෙතට අපගේ ගමන බොහෝ විට එකට හමුවන බවයි.”13 එනිසා අපගේ කොට්ඨාශ සියලු දෙවියන්වහන්සේගේ දරුවන්ට රැකවරණයක් විය යුතුයි. අපි අරමුණකින් තොරව සභාවට යනවාද නැතිනම් නමස්කාර කිරීම, ක්‍රිස්තුස්වහන්සේව මතක තබා ගැනීම සහ එකිනෙකාට සේවය කිරීම අරමුණු කරගන්න ක්‍රියාශීලීව ප්‍රජාවන් නිර්මාණය කරනවාද?14 සභාපති නෙල්සන්ගේ උපදේශයන් අනුගමනය කර අඩුවෙන් විනිශ්චය කිරීමට, වැඩිපුර ප්‍රේම කිරීමට සහ අපගේ වචන සහ ක්‍රියාවන් තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු ආදරය ලබාදිය හැකියි.15

II.යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම යනු අපගේ ස්වර්ගික පියාණන්ගේ දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයේ උත්තරීතර ප්‍රකාශනයයි.16 වන්දිගෙවීම යන වචනයෙන් විස්තර කරන්නේ විරසක වූ හෝ වෙන් වූ අයගේ “එකතු” වීමයි.

අපගේ ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර වූයේ ස්වර්ගික පියාණ වෙත ආපසු යාමට මාර්ගයක් සෑදීම සහ එම ගමනේදී සහනයක් ලබා දීමයි. ගැළවුම්කරුවාණන් ජීවිතයේ අභියෝග හරහා අපට සහාය දෙන ආකාරය උන්වහන්සේගේ අත්දැකීම් තුළින් දන්නවා.17 වරදවා වටහා ගන්න එප, ක්‍රිස්තුස්වහන්සේ අපව බේරාගන්නා තැනැන්වහන්සේ සහ අපගේ ආත්මයේ සුව කරන්නායි.

අප ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, දුෂ්කරතා මැදින් ඉදිරියට යාමට උන්වහන්සේ අපට උපකාර කරනවා. උන්වහන්සේ තම ආදරණීය සහ දයාන්විත ආරාධනය මෙලෙස දිගටම කරගෙන යනවා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; … තවද නුඹලාගේ ආත්ම වලට විවේකය ලැබෙන්නේය.”18

වියගහේ උපමාව ඉතා බලවත් සහාපති හොවර්ඩ් ඩබ්. හන්ටර් පැහැදිලි කළ පරිදි: “වියගහ යනු භාරගත් කාර්යයේ බර ශ්‍රමය සහ බර බෙදාගැනීමට සහ අඩු කිරීමට දෙවන සතෙකුගේ ‘ශක්තිය’ පළමු සතාගේ උත්සාහය සමඟ සම්බන්ධ කිරීමට ඉඩ සලසන උපකරණයකි. කෙනෙකුට දරාගැනීමට අමාරු හෝ නොහැකි අතිමහත් බරක්, පොදු වියගහකින් බැඳුණු දෙදෙනෙකු විසින් සාධාරණව සහ සුවපහසු ලෙස දරාගත හැකියි.”19

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “ඔබ ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ උන්වහන්සේ සමඟ සහ උන්වහන්සේගේ බලයෙන් බැඳී සිටීමටය, එවිට ඔබ ජීවිතයේ බර තනියම අදින්නේ නැත. “ඔබ ලෝකයේ ගැලවුම්කරුවා සහ මිදුම්කරුවා සමඟ බැඳී ඇති ජීවන බර අදින්නේ ය.”20

අපි ගැලවුම්කරුවාණන්ට බැඳෙන්නේ කෙසේද? වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පැහැදිලි කරයි.

“පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීම සහ ඒවා පැවැත්වීම අපව ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ සම්බන්ධ කරයි එහි ප්‍රතිඵලය ලෙස, ගැලවුම්කරුවාණන් අපෙන් අයැද සිටින්නේ උන්වහන්සේ මත රඳා සිටීමට සහ උන්වහන්සේ සමඟ එකට ඇදීමටය. …

අපි තනිව නොසිටින අතර කිසි විටෙකත් තනිව සිටිය යුතු නැත.”21

බර උසුලන, නැති වූ, ව්‍යාකූල වූ ඕනෑම කෙනෙකුට, ඔබ මෙය තනිවම කළ යුතු නැත.22 ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ උන්වහන්සේගේ වත්පිලිවෙත් තුළින් ඔබට උන්වහන්සේ සමඟ බැඳීය හැක. ඔබගේ ඉදිරි ගමන සඳහා ඔබට අවශ්‍ය ශක්තිය සහ සුවය උන්වහන්සේ සපයනු ඇත. තවමත් අපේ කුණාටුවල සරණ උන්වහන්සේයි.23

ස්වර්ගීය පියාණන්ගේ ආදරය

ඔබේ දැනගැනීම පිණිස, ජැස්පර් සිනහ උපදවන, ආදරණීය, බුද්ධිමත් සහ දඟයි. නමුත් මෙම කතාවේ වැදගත්ම දෙය වන්නේ ඔහු මාගෙයි. ඔහු මගේ පුත්‍රයායි, ඔහුට කිසිදිනෙක නොදැනෙන තරමට මම ඔහුට ආදරෙයි. අසම්පූර්ණ මැරෙනසුළු ජීවිතයක් හිමි පියෙකුට මෙලෙස හැඟෙනවානම් පරිපූර්ණ, මහිමාන්විත ආදරණීය පියෙකුට ඔබ ගැන කෙලෙස හැඟෙනවා විය හැකිද?

1997ත් 2012 අතර සහ 2012 පසු ඉපිදී ඇති නැගී එන පරම්පරාවේ මගේ ආදරණීය යහළුවනේ, කරුණාකර ඇදහිල්ලට ක්‍රියාව අවශ්‍ය බව දැනගන්න.24 අප ජීවත් වන්නේ “විශ්වාසය යනු දැකීම” කියා සිතන කාලයකයි. ඇදහිල්ල අභියෝගාත්මක වන අතර තෝරාගැනීම් කළ යුතු වනවා. නමුත් යාච්ඥාවලට පිළිතුරු ලැබෙනවා.25 ඒවගේම පිළිතුරු හැඟෙනවා.26 ජීවිතයේ සමහර සැබෑ දේවල් පෙනෙන්නේ නැත; ඒවා දැනෙනවා, දැනගන්නවා සහ අත්දකිනවා. ඒවා සත්‍යයද වනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ ස්වර්ගයේ සිටින පියානන්වහන්සේ හඳුනාගෙන උන්වහන්සේගේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි.27 පිටතින් සිටගෙන “මට පැමිණ ඔබ සමඟ ආහාර ගැනීමට හැකි වන පරිදි නුඹේ නිවසේ දොර හරීන්න” යැයි පවසන තම පුත්‍රයාට “මාගේ පුත්‍රය ඇතුළට පැමිණෙන්න, මක්නිසාද මාගේ දේ ඔබගේය ඔබගේ දෙය මාගේය යයි නොපවසන කවර මනුෂ්‍යයෙක් සිටීද?”28 සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේගේ වඩා පෞද්ගලික, ආදරණීය, රූපයක් ගැන ඔබට සිතිය හැකිද?

ඔබ උන්වහන්සේගේ දරුවායි. ඔබට නැතිවූ බවක් දැනේ නම්, ඔබට ප්‍රශ්න ඇත්නම් හෝ ප්‍රඥාව නොමැති නම්, ඔබ ඔබේ තත්වයන් සමඟ පොරබදන්නේ නම් හෝ අධ්‍යාත්මික මූලධර්ම සමඟ පොරබදන්නේ නම්, උන්වහන්සේ වෙත හැරෙන්න. සැනසීම, ආදරය, පිළිතුරු සහ මඟ පෙන්වීම සඳහා උන්වහන්සේට යාච්ඤා කරන්න. ඔබේ අවශ්‍යතාව කුමක් වුවත් ඔබ කොතැනක සිටියත්, ඔබගේ ස්වර්ගීය පියාණන්ට ඔබගේ හදවතේ ඇති දෙය විවුර්තව පවසන්න. ඔබගෙන් සමහරෙක්ට, සභාපති නෙල්සන්ගේ මෙම ආරාධනය අනුගමනය කිරීමට අවශ්‍ය විය හැක, “උන්වහන්සේ සැබවින්ම එහි සිටිනවාද—උන්වහන්සේ ඔබව හඳුනනවාදැයි අසන්න. උන්වහන්සේට ඔබව දැනෙන්නේ කෙසේද කියා උන්වහන්සේගෙන් අසන්න. ඉන්පසු ඇහුම්කන් දෙන්න.”29

ආදරණීය සහෝදර සහෝදරියනි:

  • ස්වර්ගයේ සිටින ඔබගේ පියාව හඳුනාගන්න. උන්වහන්සේ පරිපූර්ණයි මෙන්ම ආදරණීයයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කවුදැයි කියා හඳුනාගන්න.30 උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. ඔබව සහ ඔබ ආදරය කරන අයව උන්වහන්සේ සමඟ බැඳ තබන්න.

  • ඒ වගේම ඔබ කවුද කියා හඳුනාගන්න. ඔබගේ සැබෑ දිව්‍යමය අනන්‍යතාව දැනගන්න. දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ඔබ ගැනයි. ඔබ උන්වහන්සේගේ මහත් වටිනාකමක් ඇති අනර්ඝ දරුවෙක්ය. උන්වහන්සේ ඔබව දන්නවා සහ ඔබට ආදරය කරනවා.

මෙම සරළ නමුත් මූලික සත්‍යයන් ගැන මම සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න ලූක් 15:4-32.

  2. Preach My Gospel: A Guide to Sharing the Gospel of Jesus Christ (2023), 1.

  3. එම්. රසල් බැලර්ඩ්, “Children of Heavenly Father” (Brigham Young University devotional, Mar. 3, 2020), speeches.byu.edu.

  4. බලන්න යොහාන් 3:16; මොසායා 15:1; 3 නෙපි 17:6:-10.

  5. See Preach My Gospel,chapter 3.

  6. බලන්න මතෙව් 22:36–40.

  7. බලන්න General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 1.2, Gospel Library.

  8. මොසායා 18:8, 9.

  9. Jeffrey R. Holland, “Religion: Bound by Loving Ties” (Brigham Young University devotional, Aug. 16, 2016), speeches.byu.edu.

  10. බලන්න රසල් එම්. නෙල්සන්, “සාමය ඇති කරන්නන් අවශ්‍යයි,” ලියහෝනා,” මැයි 2023, 99.

  11. “අන්ත දරිද්‍රතාවයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 700 කට මිලියන 70 කට වඩා වැඩි ජනතාවකගෙන් ඉහල හොස් ඇත” (“Poverty,” Nov. 30, 2022, World Bank, worldbank.org).

  12. “මිලියන 100කට වැඩි ජනතාවක් බලහත්කාරයෙන් අවතැන්ව සිටිති” (“Refugee Data Finder,” May 23, 2022, United Nations High Commissioner for Refugees, unhcr.org).

  13. ගෙරිට් ඩබ්. ගොං, ““තානායමේ කාමරය,” ලියහෝනා, මැයි 2021, 25.

  14. බලන්න ප්‍රධාන අත්පොත, 1.3.7, ශුභාරංචි පුස්තකාලය.

  15. බලන්න රසල් එම්. නෙල්සන්, “සාමය ඇතිකරන්නන්,” 98-101.

  16. බලන්න යොහාන් 3:16.

  17. ඇල්මා 7:11-12; දහම සහ ගිවිසුම් 122:8 බලන්න.

  18. මතෙව් 11:28–29.

  19. හවර්ඩ් ඩබ්. හන්ටර්, “Come unto Me,” Ensign, Nov. 1990, 18.

  20. The Mission and Ministry of the Savior: A Discussion with Elder Russell M. Nelson,” Ensign, June 2005, 18.

  21. ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “Bear Up Their Burdens with Ease,” Liahona, May 2014, 88.

  22. කමිල් ජොන්සන් සභාපතිනිය මෙසේ පැවසුවා: “සහෝදර සහෝදරියනි, මට එයට තනිවම කරගෙන යන්න බැහැ, ඒවගේම මට එහෙම කරන්න අවශ්‍යත් නෑ, මම එහෙම කරන්නෙත් නෑ. දෙවියන්වහන්සේ සමඟ මා ඇති කරගත් ගිවිසුම් තුළින් මාගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී සිටීමට තෝරාගැනීමෙන්, මාව ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට සියල්ල කළ හැකි වෙනවා.’[පිලිප්පි 4:13]” (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනයයි,” ලියහෝනා, මැයි 2023, 82).

  23. බලන්න ගීතාවලිය 62:6-8.

  24. බලන්න යාකොබ් 2:27.

  25. බලන්න මතෙව් 7:7-8; යාකොබ් 1:5

  26. “උන්වහන්සේ [ශුද්ධාත්මයාණන්] සැනසිලිදායකයාණෝයි (යොහාන් 14:26). ප්‍රේමණීය දෙමාපියෙකුගේ සැනසිලිදායක කටහඬට හඬන දරුවෙකු නිශ්ශබ්ද කළ හැකි සේම, ආත්මයේ කෙඳිරිලිවලට අපගේ බිය සංසිඳුවා ගැනීමටත්, අපගේ ජීවිතයේ කරදරකාරී කනස්සල්ල නැති කිරීමටත්, අප ශෝක වූ විට අපව සැනසීමටත් හැකියි. ශුද්ධාත්මයාණන්වහන්සේට අපව ‘බලාපොරොත්තුවෙන් හා පරිපූර්ණ ප්‍රේමයෙන්’ පුරවා, ‘රාජ්‍යයේ සාමකාමී දේවල් [අපට] ඉගැන්විය හැකියි ’ (මොරෝනි 8:26; දහම සහ ගිවිසුම් 36:2)” (Topics and Questions, “Holy Ghost,” Gospel Library).

    ශුද්ධාත්මයාණන්වහන්සේ “පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන සේක” (2 නෙපි 31:18). පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ස්ථිර සාක්ෂියක් අපට ලබා ගත හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් පමණි.

    “ශුද්ධාත්මයාණන් සත්‍යය ගැන සාක්ෂි දෙන අතර, අපට ‘සියල්ලෙහි සත්‍යය දැනගත හැක්කේ’ උන්වහන්සේගේ බලය තුළින්ය.(මොරෝනි 10:5)” (“The Holy Ghost Testifies of Truth,” Liahona, Mar. 2010, 14, 15).

    “නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.(යොහාන් 15:26)”.

  27. යොහාන් 14:6-7; 17:3.

  28. Joseph Smith Translation, Matthew 7:17 (in the Bible appendix).

  29. රසල් එම්. නෙල්සන්, “එන්න මා අනුගමනය කරන්න,” ලියහෝනා, මැයි 2019, 90.

  30. බලන්න මාර්ක් 8:27-29.