ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන්

අප අතර පවතින ආධ්‍යාත්මික ඥාතිත්වය තව තවත් භුක්ති විඳිමින් අප සැම සතු විවිධ ගුණාංග සහ විවිධ ත්‍යාග අපි අගය කරමු.

මගේ හිතවත් මිත්‍රවරුනි, අද අපිට අපූරු සම්මන්ත්‍රණ සැසිවාරයක් තිබුණා. අපගේ නායකයින් විසින් බෙදාගන්නා ලද අපූරු පණිවිඩ හරහා අප සැමට ස්වාමින්වහන්සේගේ ආත්මය සහ උන්වහන්සේගේ ප්‍රේමය දැණුනා. මෙම සැසිවාරයේ අවසාන කථිකයා ලෙස අද සවස ඔබ ඇමතීමට ලැබීම භාග්‍යයක් ලෙස මම සලකනවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ සහෝදර සහෝදරියන් ලෙස අපි එකට එකතු වී ප්‍රීති වන විට ස්වාමින්වහන්සේගේ ආත්මය අප සමඟ දිගටම පවතිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.

අපගේ ආදරණීය අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “අගතියේ ආකල්ප හා ක්‍රියාවන් අතහැර දැමීමට කටයුතු කරන ලෙස, අද මම සෑම තැනකම සිටින අපගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ගෞරවය ප්‍රවර්ධනය කරන ලෙස මම ඔබෙන් අයැද සිටිනවා.”1 ගෝලීය හා දිනෙන් දින වර්ධනය වන සභාවක් ලෙස, අපගේ අනාගතවක්තෘවරයාගේ මෙම ආරාධනය අනුගමනය කිරීම ලෝකයේ සෑම ජාතියකම ගැලවුම්කරුවාණන්ගේ රාජ්‍යය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක්.

අප සියලුදෙනාම අපට සැබවින්ම ආදරය කරන2 ස්වර්ගීය දෙමාපියන්ගේ ආත්මික පුත්‍රයන් සහ දූවරුන් බවත්, ඒවගේම අපි මේ පොළොවේ ඉපදීමට පෙර දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපි පවුලක් ලෙස ජීවත් වූ බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වනවා. ශුභාරංචිය ද උගන්වා ඇත්තේ අප සියල්ලන් මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානතාවයෙන් බවයි.3 එබැවින්, අපි උන්වහන්සේ ඉදිරියෙහි සමාන යි,4 මොකද උන්වහන්සේ “එක ලෙයකින් මනුෂ්‍යයන්ගේ [සහ ස්ත්‍රීන්ගේ] සියලු ජාතීන් සෑදුවා”5 එමනිසා, “සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන්වහන්සේ”6 සිටින නිසා, අප සැමට දිව්‍යමය ස්වභාවයක්, උරුමයක් සහ විභවයක් තිබෙනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපගේ වෙනස්කම් නොතකා සමගියෙන් හා ප්‍රේමයෙන් අවංකව අපගේ හදවත් එකට ගැටගැසීමෙන් අපගේ ආත්මික සහෝදර සහෝදරියන් කෙරෙහි අපගේ ඇදහිල්ල සහ ආදරය වැඩි කර ගැනීමටත්, එමඟින් දෙවියන්වහන්සේගේ සියලු දූ පුතුන්ගේ අභිමානයට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව වැඩි කරන්නටත්, අපට ආරාධනා කරනවා.7

ක්‍රිස්තුස්වහන්සේ නෙපීගේ සෙනගට සේවය කිරීමෙන් පසු සියවස් දෙකකට ආසන්න කාලයක් ඔවුන් අත්විඳින ලද්දේ එයම නොවේද?

“තවද සත්‍යයෙන්ම එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවා වූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය. …

“එහි ලාමන්වරයෙකුවත් නොවීය, කිසිම ආකාරයකවරු නොසිටියේය; එහෙත් ඔවුහු එකෙක්ව සිටියෝය, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්ව, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යට උරුමක්කාරයෝව සිටියෝය.

“තවද ඔවුන් කෙතරම් ආශිර්වාද ලද්දෝද!”8

අපගේ සෙසු අය සඳහා අභිමානය සහ ගෞරවය පතුරුවා හැරීමේ වැදගත්කම සභාපති නෙල්සන් මෙසේ කියමින් තවදුරටත් අවධාරණය කළා: “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ඕනෑම කණ්ඩායමකට එරෙහිව පවතින අගතිගාමී ආකල්ප අත්හරින ලෙස අප සැමගේ මැවුම්කරුවාණන් අප සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. වෙනත් ජාතියක් කෙරෙහි අගතියක් ඇති අපගෙන් ඕනෑම කෙනෙකු පසුතැවිලි වීම අවශ්‍යයි! … දෙවියන්වහන්සේගේ සෑම පුත්‍රයෙකුටම සහ දියණියකටම ලැබිය යුතු අභිමානය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා අපගේ බලපෑම් ක්ෂේත්‍රයන් තුළ අපට කළ හැකි සෑම දෙයක්ම කිරීම අප සෑම කෙනෙකුටම යෝග්‍ය වෙනවා.”9 යථාර්ථයේ දී, මානව අභිමානය, අපගේ වෙනස්කම්වලට ගරු කිරීම හා පූර්වගාමී වෙනවා.10

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපව එක්සත් කරන පරිශුද්ධ බැඳීම ගැන සලකන විට, සභාපති නෙල්සන් විසින් දෙන ලද මෙම අනාවැකිමය මගපෙන්වීම අප අතර අගතියේ සහ වෙන්වීමේ පවුරු නිර්මාණය කරනවාට වඩා අවබෝධයේ පාලම් ගොඩනැගීමට මූලික පියවරක් වනු නොඅනුමානයි.11 කෙසේවෙතත්, පාවුල් එපීසවරුන්ට අනතුරු ඇඟවූ පරිදි, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, යටහත් පහත්කමින්, මෘදුකමින් සහ එකිනෙකා කෙරෙහි බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කිරීමට තනි තනිව සහ සාමූහිකව උත්සාහ කිරීම අවශ්‍යයි.12

මිතුරන් දෙදෙනෙකු සමඟ හිරු උදාව භුක්ති විඳිමින් සිටි යුදෙව් ශාස්තෘවරයෙකුගේ කතාවක් තිබෙනවා. ඔහු ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා, “රාත්‍රිය අවසන් වී අලුත් දවසක් ආරම්භ වූ බව ඔබ දැනගන්නේ කොහොමද?”

ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙහෙම පිළිතුරු දුන්නා, “නැගෙනහිර දෙස බලා බැටළුවෙකු එළුවෙකුගෙන් වෙන්කර හඳුනාගත හැකි විට.”

ඉන්පසු අනෙකා මෙහෙම පිළිතුරු දුන්නා, “ඔබට ක්ෂිතිජය දෙස බලා ඔලීව ගසක් අත්තික්කා ගසකින් වෙන්කර හඳුනාගත හැකි විට.”

ඉන්පසු ඔවුන් ඒ ප්‍රඥාවන්ත ශාස්තෘවරයා වෙත හැරී එම ප්‍රශ්නයම ඔහුගෙන් ඇසුවා. දිගු ආවර්ජනයකින් පසු, ඔහු මෙහෙම පිළිතුරු දුන්නා, “ඔබට නැගෙනහිර දෙස බලා ස්ත්‍රියකගේ හෝ පිරිමියෙකුගේ මුහුණක් දැක, ‘ඇය මගේ සහෝදරියයි; ඔහු මගේ සහෝදරයායි’ කියා කියන්නට පුළුවන් විටයි.’”13

මගේ හිතවත් මිත්‍රවරුනි, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ සහෝදර සහෝදරියන් ලෙස අප අපගේ සෙසු අයව ගරුත්වයෙන් හා අභිමානයෙන් දකින විට සහ සලකන විට නව දිනක ආලෝකය අපගේ ජීවිතයට වඩා දීප්තිමත් වන බව මට ඔබට සහතික වෙන්න පුළුවන්.

යේසුස්වහන්සේගේ ලෞකික දේවසේවයේදී, උන්වහන්සේ මෙම මූලධර්මය පරිපූර්ණ ලෙස ආදර්ශමත් කළා, උන්වහන්සේ සියලු මිනිසුන්ට “යහපත් කරමින්” ගියා, ඔවුන්ගේ සම්භවය, සමාජ තරාතිරම හෝ සංස්කෘතික ලක්ෂණ නොසලකා උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමට සහභාගී වන ලෙස ඔවුන්ට ආරාධනා කළා.14 විශේෂයෙන් එකල වෙනස්, හෑල්ලූවට හෝ බැහැර කළ අය ලෙස සැලකූ අය වෙනුවෙන්, උන්වහන්සේ දේවසේවයේ යෙදී, සුවපත් කර, සෑම කෙනෙකුගේම අවශ්‍යතා කෙරෙහි සැමවිටම අවධානයෙන් සිටියා. උන්වහන්සේ කිසිවෙකුව ප්‍රතික්ෂේප කළේ නෑ, නමුත් ඔවුන්ව සමානාත්මතාවයෙන් හා ආදරයෙන් සැලකුවා, මොකද උන්වහන්සේ ඔවුන්ව දැක්කේ උන්වහන්සේගේම සහෝදර සහෝදරියන්, එකම පියාගේ දූ පුතුන් ලෙසයි.15

මෙය සිදු වූ වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් තමයි, ගැලවුම්කරුවාණන් හිතාමතාම සමාරිය හරහා යෙදී ඇති මාර්ගය භාවිතා කරමින් ගලීලයට ගමන් කිරීම.16 ඉන්පසු යේසුස්වහන්සේ විවේක ගැනීම සඳහා යාකොබ්ගේ ළිඳ අසල වාඩි වීමට තීරණය කළා. එහි සිටියදී, සමරිතානු කාන්තාවක් ඇගේ බඳුනට වතුර පුරවා ගැනීමට පැමිණියා. යේසුස්වහන්සේ උන්වහන්සේගේ නුවණ භාවිතා කරමින්, “මට බොන්ට දියන්න” යැයි ඇයට කිව්වා.17

යුදෙව්වෙක් සමරිතානු ස්ත්‍රියකගෙන් උපකාර ඉල්ලා සිටීම ගැන මේ ස්ත්‍රිය මවිත වී, මෙසේ අසමින් ඇගේ මේ පුදුමය මෙසේ පෙන්නුවා, “යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක් වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමද? මක්නිසාද සමාරියයන් සමඟ යුදෙව්වන්ගේ ගණුදෙණුවක් නැත.”18

නමුත් යේසුස්වහන්සේ, සමරිතානුවන් සහ යුදෙව්වන් අතර දිගු කලක් තිස්සේ පැවති සතුරු සම්ප්‍රදායන් අතහැර දමා, මෙම කාන්තාවට ආදරයෙන් දේවසේවය කරමින්, උන්වහන්සේ සැබවින්ම කවුරුන්ද යන්න තේරුම් ගැනීමට ඇයට උපකාර කළා—එනම්, සියලු දේ පවසන සහ ඇය එනතුරු බලා සිටින මෙසියස්වහන්සේ උන්වහන්සේ බව ප්‍රකාශ කළා.19 එම මෘදු දේවසේවයේ බලපෑම නිසා මෙම ස්ත්‍රිය නගරයට දුව ගොස් සිදු වූ දේ ජනතාවට ප්‍රකාශ කරමින්, “මේ ක්‍රිස්තුස්වහන්සේ නොවේද” කියා පවසන්නට තරම් ඇයව පෙළඹුවා.20

හැඟුම් නැති, නොසැලකිලිමත් මිනිසුන් විසින් හිරිහැරයට ලක් වූ, හෑල්ලූවට හෝ හිංසාවට ලක් වූ අය ගැන මට ගැඹුරු අනුකම්පාවක් තිබෙනවා, මොකද, මගේ ජීවිත කාලය තුළ, හොඳ මිනිසුන් කතා කළ නිසා, දුටු නිසා සහ වෙනස් ලෙස ජීවත් වූ නිසා ඔවුන් විනිශ්චයට ලක් වීමෙන් හෝ නෙරපා හැරීමෙන් විඳින දුක් වේදනාව මම සියැසින් දැක තිබෙනවා. සිත් අඳුරේ පවතින, දැක්ම සීමා සහිත, තමන්ට වඩා වෙනස් වූවන්ගේ හීනමානයේ විශ්වාසය නිසා දැඩි වූ සිත් ඇති අයගේ මනස අඳුරේ තිබීම ගැන මගේ හදවතේ සැබෑ දුකක් තිබෙනවා. අන් අය පිළිබඳ ඔවුන්ගේ සීමිත දෘෂ්ටිය සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔවුන් කවුරුන්ද යන්න දැකීමේ හැකියාවට බාධා කරනවා.

අනාගතවක්තෘවරුන් විසින් පුරෝකථනය කරන ලද පරිදි, අපි ජීවත් වන්නේ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට පෙර භයානක දවස්වලයි.21 පොදුවේ ලෝකය වාර්ගික, දේශපාලනික සහ සමාජ ආර්ථික රේඛා මගින් උද්දීපනය කරන ලද ශක්තිමත් බෙදීම් මගින් ධ්‍රැවීකරණය වී තිබෙනවා. එවැනි බෙදීම් සමහර අවස්ථා වල මිනිසුන්ගේ සිතුවිලි හා අනෙක් අය සමඟ ඔවුන් ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපෑම් කරනවා. මේ හේතුව නිසා, පුද්ගලයින් වෙනත් සංස්කෘතීන්, ජාතීන් සහ ජනවර්ග ගැන, පහත් ලෙස, පූර්ව නිගමන සමඟ, වැරදි සහ බොහෝ විට උපහාසාත්මක අදහස් භාවිතා කරමින්, ඔවුන්ට එරෙහිව පිළිකුල, උදාසීනත්වය, අගෞරවය සහ අගතිය වැනි ආකල්ප ජනනය කරමින්, සිතන, ක්‍රියා කරන සහ කතා කරන ආකාරය දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. එවැනි ආකල්ප වල මූලයන් තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංගවලට සම්පූර්ණයෙන්ම පටහැනි, ලෞකික ස්වභාවයේ ලක්ෂණ වන22 උඩඟුකම, මාන්නය, තණ්හාව සහ ඊර්ෂ්‍යාව මතයි. උන්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට වෙර දරන අයට මෙම හැසිරීම සුදුසු නැහැ.23 ඇත්ත වශයෙන්ම, ශුද්ධවන්තයින්ගේ ප්‍රජාව තුළ අගතිගාමී සිතුවිලි හෝ ක්‍රියාවන් සඳහා තැනක් නෑ.

ගිවිසුමේ දූ පුතුන් ලෙස, ගැලවුම්කරුවාණන්ගේ ඇස්වලින්24 සහ අපගේ දිව්‍යමය අනන්‍යතාවය සහ ඥාතිත්වය වන අපට පොදුවේ ඇති දේ මත පදනම්ව, අප අතර පවතින පෙනෙන වෙනස්කම් දෙස බැලීමෙන්, එවැනි හැසිරීම් ඉවත් කිරීමට අපට උදව් කරන්න පුළුවන්. එපමණක්ද නොව, අපගේ අසල්වැසියාගේ සිහින, බලාපොරොත්තු, දුක සහ වේදනාවන් තුළ අපව පිළිබිඹු වන බව දැකීමට අපට උත්සාහ කරන්න පුළුවන්. අපි සියලු දෙනාම අපගේ අසම්පූර්ණ තත්වයෙන් සහ අපගේ වර්ධනයට ඇති හැකියාවෙන් සමානව, දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස සෙසු සංචාරකයින් වෙනවා. දෙවියන්වහන්සේ කෙරෙහි සහ සියලු මනුෂ්‍යයින් කෙරෙහි ප්‍රේමයෙන් නැත්නම්, ඒබ්‍රහම් ලින්කන් සඳහන් කළ පරිදි, “කිසිවෙකු කෙරෙහි ද්වේෂසහගත නොවී සහ සියල්ලන්ටම පිවිතුරු ප්‍රේමයෙන්”25 පිරුණු අපගේ හදවත් සමඟ සාමකාමීව එකට ගමන් කිරීමට අපට ආරාධනා කර තිබෙනවා.

ස්වාමින්වහන්සේගේ ගෘහයේ අපි සරලව අඳින පළඳින ආකාරය තුළින් මානව ගරුත්වය සහ සමානාත්මතාවයට ගරු කිරීමේ මූලධර්මය පෙන්නුම් කරන්නේ කෙසේදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? අපි සියලු දෙනාම එකම අරමුණක් තුළ එක්සත්ව දේවමාළිගාවට පැමිණ උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛය තුළ පවිත්‍ර හා ශුද්ධ වීමට ආශාවෙන් පිරී සිටිනවා. සුදු වතින් සැරසී සිටින අප සියල්ලන්වම ස්වාමින්වහන්සේ විසින්ම උන්වහන්සේගේ ආදරණීය දරුවන්, දෙවියන්වහන්සේගේ පුරුෂයන් සහ ස්ත්‍රීන්, ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාව ලෙස පිළිගනු ලැබෙනවා.26 එකම නියෝග ක්‍රියාත්මක කිරීමටත්, එකම ගිවිසුම් ඇති කර ගැනීමටත්, උසස් හා පරිශුද්ධ ජීවිත ගත කිරීමට කැපවීමටත්, එමෙන්ම එකම සදාකාලික පොරොන්දු ලබා ගැනීමටත් අපට වරප්‍රසාද ලැබී තිබෙනවා. අරමුණින් එක්සත්ව, අපි එකිනෙකා නව ඇස්වලින් දකින අතර, අපගේ එකමුතුකම තුළ, දෙවියන්වහන්සේගේ දිව්‍යමය දරුවන් ලෙස අපි අපගේ වෙනස්කම් සමරනවා.

මම මෑතකදී බ්‍රසීලයේ බ්‍රසීලියා දේවමාළිගාවේ විවෘත සංචාරය තුළ ප්‍රභූවරුන්ට සහ රජයේ නිලධාරීන්ට මගපෙන්වීමට උදව් කළා. මම බ්‍රසීලයේ උප ජනාධිපතිවරයා සමඟ ඇඳුම් මාරු කරන ප්‍රදේශයේ මදකට නැවතුණා, අපි දේවමාළිගාව තුළ සිටින සෑම කෙනෙකුම අඳින සුදු ඇඳුම් ගැන සාකච්ඡා කළා. මෙම විශ්වීය සුදු ඇඳුම් භාවිතය සංකේතවත් කරන්නේ අප සියල්ලන්ම දෙවියන්වහන්සේට සමාන බවත්, දේවමාළිගාව තුළ අපගේ අනන්‍යතාවයන් රටක උප ජනාධිපති හෝ සභාවක නායකයෙකු නොවන බවත් අපගේ සදාකාලික අනන්‍යතාවය ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ පුතුන් බවත් මම ඔහුට පැහැදිලි කළා.

රූපය
ඉගුවාසු දියඇල්ල

ඉග්වාසු ගංගාව දකුණු බ්‍රසීලය හරහා ගලා බසින අතර එය ලොව පුරා දිය ඇලි පද්ධතියක් සාදන ඉග්වාසු දියඇලි ලෙස හැඳින්වෙන සානුවකට ගලා යනවා—එය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන පෘථිවියේ ඇති දෙවියන්වහන්සේගේ මැවිල්ලේ වඩාත්ම සුන්දර හා ආකර්ෂණීය එකක්. විශාල ජල පරිමාවක් එක් ගංගාවකට ගලා ගොස් පසුව වෙන් වී අසමසම දිය ඇලි සිය ගණනක් සාදනවා. රූපක වශයෙන් කියනවා නම්, මෙම අතිවිශිෂ්ට දිය ඇලි පද්ධතිය පොළොවේ දෙවියන්වහන්සේගේ පවුල පිළිබිඹු කිරීමක් ලෙස ගන්න පුළුවන්, මොකද අපි අපගේ දිව්‍යමය උරුමයෙන් සහ ඥාතිත්වයෙන් ලබාගත් එකම අධ්‍යාත්මික සම්භවය සහ සාරය බෙදා ගන්නවා. කෙසේ වෙතත්, අප සෑම කෙනෙකුම විවිධ සංස්කෘතීන්, වාර්ගික සහ ජාතිකත්වයන් තුළ විවිධ මත, අත්දැකීම් සහ හැඟීම් සමඟ ගලා යනවා. එසේ තිබියදීත්, අපි දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන් ලෙසත්, අපගේ දිව්‍ය සම්බන්ධතාවය නැති කර නොගෙන ඉදිරියට යනවා, එය අපව අද්විතීය ජනතාවක් සහ ආදරණීය ප්‍රජාවක් බවට පත් කරනවා.27

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ම සමාන වන බවටත්, අප සියල්ලන්ටම එකම සදාකාලික විභවයන් සහ උරුමයන් සමඟ බලයෙන් සරසවා ඇති බවට දැනුම හා සාක්ෂිය සමඟ අපගේ හදවත් සහ මනස පෙළගස්වාගනිමු. අප අතර පවතින ආධ්‍යාත්මික ඥාතිත්වය තව තවත් භුක්ති විඳිමින් අප සැම සතු විවිධ ගුණාංග සහ විවිධ ත්‍යාග අපි අගය කරමු. අපි එසේ කළහොත්, අපව සුවිශේෂී සෙනඟක්, ඒ කියන්නෙ “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමක්කාරයන්”28 ලෙස හඳුනා ගන්නා දිව්‍යමය සම්බන්ධය නැති කර නොගෙන අපි ඉගුවාසු දිය ඇල්ලේ ජලය මෙන්, අපගේම ආකාරයට ගලා යනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙනවා.

අපගේ ලෞකික ජීවිතය තුළ අප මේ ආකාරයෙන් ගලා යන විට, අපගේ ජීවිත ආලෝකවත් කරන සහ තව තවත් අගය කිරීම සඳහා අපූරු අවස්ථාවන් ආලෝකවත් කරන, අලුත් දවසක් අලුත් ආලෝකයක් සමඟ ආරම්භ වන බවත්, ඒවගේම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් අතර නිර්මාණය කර ඇති විවිධත්වය මගින් සම්පූර්ණයෙන්ම ආශිර්වාද ලබාගන්නා බවත් මම ඔබට සාක්ෂි දරනවා.29 උන්වහන්සේගේ සියලු දූ පුතුන් අතර ගරුත්වය සහ අභිමානය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි නිසැකවම උන්වහන්සේගේ අතේ ඇති උපකරණ බවට පත්වෙයි. දෙවියන්වහන්සේ ජීවමානයි. යේසුස්වහන්සේ තමයි ලෝකයේ මිදුම්කරුවාණන්. සභාපති නෙල්සන් කියන්නෙ අපේ කාලයේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා. මම මෙම සත්‍යයන් ගැන සාක්ෂි දරන්නෙ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන්, ආමෙන්.