ප්‍රධාන සම්මන්ත්‍රණය
වීරයෙකුට වඩා
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


වීරයෙකුට වඩා

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ වීරයා පමණක් නොවේ, අපගේ ස්වාමින්වහන්සේ වන රජු බවත්, මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බවත් මම සාක්ෂි දරනවා.

1856 සිට 1860 දක්වා, පසුකාලීන සාන්තුවර පුරෝගාමීන් දහස් ගණනක් සෝල්ට් ලේක් නිම්නය වෙත ගමන් කරන විට සැතපුම් 1,000 (කි.මී. 1,600)කට වඩා වැඩි දුරක් අත් කරත්තවලින් තම බඩු බාහිරාදිය ඇදගෙන ගියා. මීට වසර එකසිය හැට හතකට පෙර මෙම සතියේදීම, 1856 ඔක්තෝබර් 4 වැනි දින, එඩ්වඩ් මාටින් සහ ජේම්ස් විලීගේ නායකත්වයෙන් යුත් අත් කරත්ත සමාගම් දෙකක් ශීත ඍතුව ළඟා වෙමින් තිබුනත් තවමත් සෝල්ට් ලේක් සිට සැතපුම් සිය ගණනක් ඈතින් සිටින බව දැනගත් විට සභාපති බ්‍රිග්හැම් යන්ග් පුදුමයට පත් වුනා.1 අද අප හමුවන ස්ථානයට නුදුරින් පසුදාම, සභාපති යං ශුද්ධවන්තයන් ඉදිරියේ සිටගෙන මෙසේ ප්‍රකාශ කළා., “අපේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අතින් කරත්ත රැගෙන තැනිතලාවේ සිටින අතර ඔවුන්ව මෙහි ගෙන ආ යුතුයි. … දැන්ම ගොස් එම මිනිස්සුන්ව තැනිතලාවට ගෙන එන්න.”2

දින දෙකකට පසුව, පළමු ගලවා ගැනීමේ පාර්ශ්වයන් අත් කරත්ත පුරෝගාමීන්ව සොයා පිටත්වුණා.

විලීගේ කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රධාන ගලවා ගැනීමේ කණ්ඩායම පැමිණීමට පෙර ඔවුන් සිටි මංමුලා සහගත තත්වය විස්තර කළා. ඔහු මෙහෙම බෙදාගත්තා, “සියල්ල නැති වී යනු ඇති බව පෙනෙන විට, … සහ ජීවත් වීමට ස්වල්පයක් ඉතිරිව ඇති බවක් පෙනෙන්නට තිබූ විට, පැහැදිලි අහසෙන් ගිගුරුම් පහරක් මෙන්, දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා. ගලවා ගැනීමේ ඛණ්ඩායමක්, ආහාර සහ ද්‍රව්‍ය රැගෙන එනවා … , දැකගත හැකි වුනා. අපගේ ගැලවීම ගැන අපි දෙවියන්වහන්සේට කොතරම් ස්තූති කළාද. ”3

හැකි තරම් අයව ආරක්ෂිතව ගෙදර ගෙන ඒම සඳහා එම දරුණු කාලගුණික තත්ත්වයන් තුළ තම ජීවිත අවදානමට ලක් කළ, මෙම ගලවා ගැනීමට ආ අය එම පුරෝගාමීන්ට වීරයන් වුණා. ඊෆ්‍රම් හැන්ක්ස් කියන්නෙ ඒ වගේ වීරයෙක්.

ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේදී, මේ අත් කරත්ත දුෂ්කරතාවය ගැන නොදන්නා, හෑන්ක්ස් සංචාරයකින් පසු සෝල්ට් ලේක් හි පිහිටි ඔහුගේ නිවසට ආපසු යමින් සිටියදී, රාත්‍රියේදී, ඔහුව මෙහෙම කියන හඬකින් අවදි කළා, “අත්කරත්ත මිනිසුන්ට කරදරයක්, ඔබවත් අවශ්‍යයි; ඔයා ගිහින් එයාලට උදව් කරනවද?”

ඒ ප්‍රශ්නය හිතේ දෝංකාර දෙමින් ඔහු ඉක්මනින්ම සෝල්ට් ලේක් නගරය වෙත ගියා සභාපති හේබර් සී. කිම්බල් අතිරේක ස්වේච්ඡා සේවකයන් ඉල්ලා සිටින බව ඇසීමෙන් පසු, හැන්ක්ස් ඊළඟ දවසේම තනිවම, ගලවා ගැනීමට පිටත් වුනා. ඔහු ඉක්මනින් ගමන් කරමින්, ඔහු මාර්ගයේ හමුවන ගලවාගන්නට යන අනෙක් අය අභිබවා යමින්, මාර්ටින්ගේ පිරිසට ළඟා වූ පසු දුටු දේ, හැන්ක්ස් මෙහෙම සිහිපත් කළා: “මම ඔවුන්ගේ කඳවුරට ඇතුළු වන විට මගේ බැල්මට හමු වූ දර්ශනය කිසි විටෙකත් මගේ මතකයෙන් මකා දමන්නට බැහැ… එය ශක්තිමත්ම හදවතක් ස්පර්ශ කිරීමට පවා ප්‍රමාණවත්.”4

ඊෆ්‍රම් දින ගණනක් කූඩාරමෙන් කූඩාරමට ගොස් රෝගීන්ට ආශිර්වාද කළා. ඔහු මෙහෙම සඳහන් කළා, “අපි රෝගීන්ට බෙහෙත් දෙන විට සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් රෝගවලට තරවටු කරන විට, බොහෝ අවස්ථාවලදී, රෝගීන් එකවරම පෙළ ගැසුණා; ඔවුන් ක්ෂණිකව වගේ සුවය ලැබුවා.”5 ඊෆ්‍රම් හෑන්ක්ස් එම අත් කරත්ත පුරෝගාමීන්ට සදා වීරයෙක් වනු ඇත.

එම කැපී පෙනෙන ගැලවීම හා සමානව, අපගේ ජීවිතවලට සහ ඉතිහාස ගමනට පවා බලපාන සිදුවීම් බොහෝ විට තනි පුරුෂයන්—කාණ්තාවන්, මහා කලාකරුවන්, විද්‍යාඥයන්, ව්‍යාපාරික නායකයින් සහ දේශපාලඥයින් විසින් ගත් තීරණ සහ ජයග්‍රහණවල ප්‍රතිඵලයක් විය හැකියි. මෙම අසාමාන්‍ය පුද්ගලයින්ව බොහෝ විට “වීරයන්” ලෙස ගෞරවයට පාත්‍ර වෙනවා, ඔවුන්ගේ වික්‍රමයන් සිහිපත් කිරීම සඳහා ස්මාරක සහ සිහිවටන ඉදිකරනවා.

මම තරුණ වියේදී මගේ පළමු වීරයන් වුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මගේ මුල්ම මතකයන් තමයි මේජර් ලීග් බේස්බෝල් ක්‍රීඩකයන්ගේ පින්තූර සහ සංඛ්‍යාලේඛන සහිත බේස්බෝල් කාඩ්පත් එකතු කිරීම. ළමා වියේදී “වීර වන්දනාව” විනෝදජනක සහ අහිංසක වෙන්න පුළුවන් … හරියට දරුවන් හැලොවීන් සඳහා ඔවුන්ගේ ප්‍රියතම සුපිරි වීරයන් ලෙස සැරසීම වගේ. ඔවුන්ගේ හැකියාවන් සහ දායකත්වයන් සඳහා අපි බොහෝ දක්ෂ හා කැපී පෙනෙන පිරිමින් සහ කාන්තාවන් අගය කළත්, ඔවුන් “ගෞරවාදරයට පාත්‍ර” වූ ප්‍රමාණය ඉක්මවා ගියහොත්, සීනයි කන්දේදී ඉශ්‍රායෙල් දරුවන් කාන්තාරයේ රන් වස්සෙකුට නමස්කාර කිරීම හා එය සමාන වෙන්න පුළුවන්

වැඩිහිටියන් වශයෙන්, දේශපාලනඥයන්, සමාජ මාධ්‍ය වීඩියෝ කරන්නන්, සමාජ මාධ්‍ය තරු, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ සංගීතඥයන් කෙරෙහි වූ මේ “වීර වන්දනාව” අපව “ලකුණෙන් ඔබ්බට”6 බැලීමට සහ සැබවින්ම අත්‍යවශ්‍ය දේ නොසලකා හැරීමට හේතු වන විට, වරක් අහිංසක ළමා විනෝදාස්වාදය බාධාවක් වෙන්න පුළුවන්.

ඉශ්‍රායෙලයේ දරුවන්ට අභියෝගයක් වුණේ ඔවුන් පොරොන්දු වූ දේශයට යන ගමනේදී ඔවුන් රැගෙන ආ රත්‍රන් නොවේ, නමුත් ඔවුන් ඒ රත්‍රන් වලට වෙන්නට ඉඩ දුන්නු දේ … ඒ පිළිමෙ, ඊට පස්සෙ එය ඔවුන් අතර නමස්කාර වස්තුවක් වුණා, රතු මුහුද දෙබෑ කර වහල්භාවයෙන් ඔවුන්ව මුදාගත් යෙහෝවාවහන්සේ වෙතින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කළා. වසු පැටවා කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම මගින් සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට ඔවුන්ට ඇති හැකියාව කෙරෙහි බලපෑම් ඇති වුණා.7

එම වීරයා, දැන් සහ සෑම විටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි, ඒවගේම ශුද්ධලියවිලිවල සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචනවලින් සොයාගත් පරිදි, උන්වහන්සේගේ ඉගැන්වීම්වලින් අපව වෙනතකට යොමු කරන ඕනෑම දෙයක්, හෝ ඕනෑම කෙනෙකුට ගිවිසුම් මාවතේ අපගේ ප්‍රගතියට අහිතකර ලෙස බලපෑම් කරන්න පුළුවන්. මේ ලෝකය මැවීමට බොහෝ කලකට පෙර, ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ විසින් යෝජනා කරන ලද අපගේ ප්‍රගතියට හා උන්වහන්සේ මෙන් වීමට අපට ඇති අවස්ථාව ඇතුළත් සැලැස්ම අභියෝගයට ලක් වෙමින් පවතින බව පැහැදිලි වූ විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දිහා බැලුවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පියාණන්වහන්සේගේ සැලැස්ම ආරක්ෂා කිරීමේ නායකයා වූවා පමණක් නොවේ, නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී වඩාත් තීරණාත්මක කාර්යභාරයත් ඉටු කරන්නේ උන්වහන්සේයි. උන්වහන්සේ පියාණන්වහන්සේට ප්‍රතිචාර දැක්වූ අතර, අප සෑම කෙනෙකුටම පාපය නිසා ඇති වන, නමුත් අපටම ගෙවිය නොහැකි ණයක් ගෙවීමට “සියල්ලන් සඳහා මිදීමේ මිලයක්”8 පිරිනැමීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙහෙම ඉගැන්නුවා, “අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ දක්වා ඇති ඉරණම දෙසට ලෞකිකත්වය හරහා වූ අපගේ ගමනට අත්‍යවශ්‍ය සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉටුකර තිබෙනවා.”9

ගෙත්සෙමන උද්‍යානයේ දී, උන්වහන්සේගේ වගකීම පැහැර හරිනවා වෙනුවට, එවන් අතිමහත් කර්තව්‍යයකට මුහුණ දීමට සිදු වූ විට, ගැලවුම්කරුවාණන් “මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත ඉටු වේවා”10 කියා නිර්භීතව ප්‍රකාශ කළා, ඉන්පසු ලෝකයේ ජීවත් වන්නාවූ සෑම කෙනෙකුගේම ඒකාබද්ධ වූ වේදනාවන්, රෝගාබාධ සහ පාප වල වේදනාව තමන්වහන්සේ වෙත භාර ගත්තා. කීකරුකමේ සහ කැපවීමේ පරිපූර්ණ ක්‍රියාවකින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම සියලු මැවිල්ලේ උත්තරීතර, වීර ක්‍රියාව සම්පූර්ණ කළ අතර, උන්වහන්සේගේ තේජාන්විත මරණයෙන් නැවත නැගිටීමෙන් එය අවසන් කළා.

ලඟදි පැවැත්වුණු අපේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාපති රසල් එම්. නෙල්සන් අපිට මෙහෙම මතක් කළා: “ඔබට කුමන ප්‍රශ්න හෝ ගැටලු තිබුණත්, පිළිතුර සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් තුළ සොයාගන්න පුළුවන්. උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ දහම සහ සුව කිරීමේ සහ ප්‍රගතියේ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන තව දැනගන්න. උන්වහන්සේ වෙතට හැරෙන්න! උන්වහන්සේව අනුගමනය කරන්න!”11 ඒ වගේම මම “උන්වහන්සේව තෝරා ගන්න” කියා එයට එකතු කරනවා.

අපගේ සංකීර්ණ ලෝකය තුළ, ජීවිතය ව්‍යාකූල හෝ අතිමහත් යැයි පෙනෙන විට ජීවිතයට අර්ථයක් හෝ පැහැදිලි බවක් ලබා දීමේ උත්සාහයක් ලෙස සමාජයේ “වීරයන්” වෙත හැරීමට අපට පරීක්ෂාවක් දැනෙන්න පුළුවන්. ඔවුන් අනුග්‍රහය දක්වන ඇඳුම් අපි මිලදී ගන්නවා, ඔවුන් අනුබල දෙන දේශපාලනය වැලඳ ගන්නවා, ඒවගේම සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ඔවුන්ගේ යෝජනා අනුගමනය කරනවා. මෙය තාවකාලික හැරවුමක් සඳහා හොඳ වෙන්න පුළුවන්, නමුත් මෙම වීර වන්දනාව අපගේ රන් වස්සා බවට පත් නොවීමට අප විමසිලිමත් විය යුතුයි. “නිවැරදි” වීරයා තෝරාගැනීම තුළ සදාකාලික ප්‍රතිවිපාක තිබෙනවා.

මගේ භාර්යාව, කැරොල් සහ මම, අපේ දරුවන් සමඟ, ධර්මදූත නායකයන් ලෙස අපගේ සේවය ආරම්භ කිරීමට ස්පාඤ්ඤයට පැමිණි විට, අපි අනුගමනය කිරීමට තෝරා ගන්නා වීරයන් ගැන අදාළ වන වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල්ගේ රාමුකර තිබූ උපුටා දැක්වීමක් අපට හමු වුණා. ඔහු මෙහෙම ප්‍රකාශ කර තිබුණා, “ඔබ මුලින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය තෝරාගන්නේ නැත්නම්, අවසානයේ ඔබ ඒ වෙනුවට තෝරාගත් දෙය නිසා කිසිඳු වෙනසක් සිදු නොවනු ඇත.”12 සහෝදර සහෝදරියනි, රජවරුන්ගේ රජ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගැනීමෙන් තමයි අපි දෙවියන්වහන්සේගේ රාජ්‍යය තෝරා ගන්නේ. වෙනත් ඕනෑම තේරීමක් මාංශික හස්තය හෝ රන් වස්සෙකු තෝරාගැනීමට සමාන වන අතර අවසානයේ අපව අසාර්ථක වෙයි.

පරණ ගිවිසුමේ දානියෙල් පොතේ, අපි ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝගේ වාර්තාව කියවද්දි, ඔවුන් තෝරා ගත යුත්තේ කුමන වීරයාද යන්න පැහැදිලිව දැන සිටිය බව අපිට පේනවා—ඒ නෙබුකද්නසර් රජුගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකු නොවේ. ඔවුහු විශ්වාසයෙන් මෙසේ ප්‍රකාශ කළා:

“ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. …

“රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනව”13

ප්‍රේරිත පාවුල් ඉගැන්වූ පරිදි, “දෙවිවරු බොහෝ දෙනෙක් සිටිති”14, එයට තවත් එකතු කරමින්, වැඳ වැටෙන්නට, නමස්කාර කිරීමට සහ වැළඳ ගැනීමට අපට ආරාධනා කරන බොහෝ වීරයන් සිටිති” නමුත් ඩැනියෙල්ගේ මිතුරන් තිදෙනා දැන සිටි ආකාරයටම, ලබා දීමට සහතික වන්නේ එක් අයෙකු පමණි—මන්ද ඔහුට දැනටමත් ඇති අතර ඔහු සැමවිටම කරනු ඇත.

අපට, දෙවියන්වහන්සේගේ අභිමුඛයට, අපගේ පොරොන්දු වූ දේශයට ආපසු යන ගමනේදී, ප්‍රශ්නය වන්නේ දේශපාලකයා, සංගීතඥයා, ක්‍රීඩකයා හෝ සමාජ මාධ්‍ය වීඩියෝ දමන්නා නොවේ, නමුත් අපගේ ගැළවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වෙනුවට, අපගේ මූලික අවධානය ලෙස ඔවුන්ව තෝරාගැනීමයි.

අප නිවසේ සිටියත් නිවාඩුවක සිටියත් උන්වහන්සේගේ දවසට ගෞරව කිරීමට තෝරා ගන්නා විට අපි උන්වහන්සේව තෝරා ගන්නවා. අපි උන්වහන්සේගේ වචන තෝරාගන්නා විට … ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් හරහා උන්වහන්සේව තෝරාගන්නවා. දේවමාළිගාව නිර්දේශය සහ එහි භාවිතයට සුදුසු ලෙස ජීවත් වීමට අප තෝරා ගන්නා විට අපි උන්වහන්සේව තෝරා ගන්නවා. අපි සාමය ඇති කරන්නන් වන විට සහ “විශේෂයෙන් අපට මතභේද ඇති විට”15 විවාදශීලී වීම ප්‍රතික්ෂේප කරන විට අපි උන්වහන්සේව තෝරාගන්නවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට වඩා කිසිම නායකයෙක් වඩා ධෛර්යයක්, මානුෂීය කරුණාවක් පෙන්වා නෑ, කිසිඳු වෛද්‍යවරයකු ඊට වඩා වැඩියෙන් රෝග සුව කර නෑ, ඒවගේම ඊට වඩා නිර්මාණශීලී වුණු කිසිඳු කලාකරුවෙක් නෑ.

ලෞකික පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ දක්ෂකම් සඳහා කැප වූ ස්මාරක සහ කෞතුකාගාර සහිත වීරයන්ගේ ලෝකයක, අන් සියල්ලන්ට වඩා ඉහළින් සිටින කෙනෙක් ඉන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ වීරයා පමණක් නොවේ, අපගේ ස්වාමින්වහන්සේ වන රජු බවත්, මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.