ප්‍රධාන සම්මන්ත්‍රණය
අත්‍යවශ්‍ය සංවාද
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අත්‍යවශ්‍ය සංවාද

හැරීම අපේ දරුවන්ට සරලවම සිදුවන තෙක් අපට බලා සිටිය නොහැකියි. අහම්බෙන් හැරීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්මයක් නොවේ.

අපි ප්‍රාථමිකය “ප්‍රාථමිකය” ලෙස හඳුන්වන්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? මුල් අවධියේදී ළමයින්ට ලැබෙන අධ්‍යාත්මික ඉගෙනීම සඳහා මෙම නම සඳහන් වන අතරම, මට එය ප්‍රබල සත්‍යයක්ද සිහිගන්වනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට, දරුවන් කිසිවිටෙකත් ද්විතීයික නොවූ අතර—ඔවුන් සැමවිටම “ප්‍රාථමික” අය වුණා.1

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස ඔවුන්ව අගය කිරීමට, ගරු කිරීමට හා ආරක්ෂා කිරීමට උන්වහන්සේ අපව විශ්වාස කරනවා. එයින් අදහස් කරන්නේ ආතතීන් හා පීඩන ඉහළ මට්ටමක පවතින විට පවා අපි ඔවුන්ට කිසිවිටෙකත් ශාරීරිකව, වාචිකව හෝ චිත්තවේගීයව හානියක් නොකරන බවයි. ඒ වෙනුවට අපි ළමයින්ව අගය කරන අතර අපයෝජනයේ නපුරට එරෙහිව සටන් කිරීමට අපට හැකි සෑම දෙයක්ම කරනවා. උන්වහන්සේට මෙන්ම—ඔවුන්ගේ රැකවරණය අපටත් මූලිකයි.2

එක් තරුණ මවක් සහ පියෙක් ඔවුන්ගේ මුළුතැන්ගෙයි මේසයේ වාඩි වී ඔවුන්ගේ දවස සමාලෝචනය කරමින් සිටියා. ශාලාවේ සිට පහළට ඔවුන්ට සද්දයක් ඇසුණා. “ඒ මොකක්ද?” කියා මව ඇසුවා.

එවිට ඔවුන්ගේ සිව් හැවිරිදි පුතාගේ නිදන කාමරයෙන් මෘදු අඬන හඬක් ඔවුන්ට ඇසුණා. ඔවුන් ශාලාව දෙසට දිවගියා. එහිදී ඔහු තම ඇඳ අසල බිම වැතිර සිටියා. මේ මව කුඩා පිරිමි ළමයාව ඔසවා ඔහුගෙන් ඇහුවා මොකද වුණේ කියලා.

“මම ඇඳෙන් වැටුණා” කියා ඔහු පැවසුවා.

“ඇයි ඔයා ඇඳෙන් වැටුණේ” කියා ඇය පැවසුවා.

ඔහු බෙරිහන් දෙමින් මෙහෙම කිව්වා, “මම දන්නෙ නෑ” මම හිතන්නේ මම ඇති තරම් එහාට ගොස් නිදාගෙන නෑ.”

අද මෙම උදෑසන මම කතා කරන්නට කැමතියි මේ “ඇති තරම් එහාට වීම” ගැන. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයේ “ඇති තරම් එහාට” යාමට දරුවන්ට උපකාර කිරීම අපගේ වරප්‍රසාදය හා වගකීමයි. ඒවගේම අපේ ආරම්භය කවදාවත් වේලාසන වැඩි වෙන්නෙ නෑ.

සාතන්ගේ බලපෑමෙන් ළමයින් ආරක්ෂා වන ඔවුන්ගේ ජීවිත වල සුවිශේෂී විශේෂ කාලයක් තිබෙනවා. එය ඔවුන් අහිංසක හා පාපයෙන් තොර කාලයක්.3 එය දෙමව්පියෙකුට සහ දරුවාට ශුද්ධ වූ කාලයක්. “දෙවියන්වහන්සේ ඉදිරියෙහි වගවීමේ වසර වලට පැමිණීමට” පෙර හා පසුව දරුවන්ට වචනයෙන් හා ආදර්ශයෙන් ඉගැන්විය යුතුයි.4

සභාපති හෙන්රි බී. අයිරින්ග් මෙසේ ඉගැන්වූවා: “අපට බාලයින් සමඟ ශ්‍රේෂ්ඨතම අවස්ථාවක් තිබෙනවා. ඉගැන්වීමට හොඳම කාලය වේලාසනින්ම වන අතර, ළමයින් තවමත් ලෞකික සතුරාගේ පරීක්ෂාවන්ට ගොදුරු නොවන අතර, ඒ ඔවුන්ගේ පෞද්ගලික අරගලවල ඝෝෂාව නිසා සත්‍ය ඇසීමට අපහසු වීමට පෙර වූ කාලයක්.”5 එවැනි ඉගැන්වීම් ඔවුන්ගේ දිව්‍යමය අනන්‍යතාවය, ඔවුන්ගේ අරමුණ සහ ගිවිසුම් මාර්ගය ඔස්සේ ඔවුන් ශුද්ධ වූ ගිවිසුම් ඇතිකරගන්නා විට සහ නියෝගයන් ලබාගන්නා විට ඔවුන්ට පැමිණෙන පොහොසත් ආශිර්වාද අවබෝධ කරගැනීමට ඔවුන්ට උපකාරී වෙනවා.

හැරීම අපේ දරුවන්ට සරලවම සිදුවන තෙක් අපට බලා සිටිය නොහැකියි. අහම්බෙන් හැරීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්මයක් නොවේ. අපගේ ගැලවුම්කරුවාණන් මෙන් වීම සිදුවන්නේ අහඹු ලෙස නොවේ. ප්‍රේම කිරීමේදී, ඉගැන්වීමේදී සහ සාක්ෂි දීමේදී චේතනාන්විතව සිටීම කුඩා කල සිටම ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනීමට දරුවන්ට උපකාර කරනවා. අපගේ දරුවන්ගේ සාක්ෂිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේව අත්‍යවශ්‍ය වෙනවා; “උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පවතින පිණිස, උන්වහන්සේව සැමවිටම සිහිකරන” ලෙස අපි ඔවුන් වෙනුවෙන් කැමති වෙනවා.6

රූපය
පවුල් සාකච්ඡාව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ පවුලේ සංවාද, ආත්මයාණන්ට ආරාධනා කිරීම සඳහා අත්‍යවශ්‍ය සංවාද, ගැන සලකා බලන්න. අපගේ දරුවන් සමඟ අපට එවැනි සංවාදයන් ඇති විට, “එම අත්තිවාරම මත [ඔවුන්] ගොඩනගන්නේ නම් ඔවුහු නොවැටෙන, ස්ථිර අත්තිවාරමක්” වැනි අත්තිවාරමක් නිර්මාණය කිරීමට අපි ඔවුන්ට උදව් කරමු.7 අපි දරුවෙකුව ශක්තිමත් කරන විට, අපි පවුල ශක්තිමත් කරනවා.

මෙම වැදගත් සාකච්ඡා ළමයින්ව මේ දේවල් සඳහා යොමුකළ හැකියි:

  • පසුතැවිලිවීමේ මූලධර්මය තේරුම්ගැනීමට.

  • ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට.

  • අවුරුදු අටක් වන විට බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ත්‍යාගය තෝරාගන්නට.8

  • ඒවගේම යාච්ඤා කරන්නට සහ “ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සෘජුව ගමන් කරන්නට”.9

ගැලවුම්කරුවාණන් මෙසේ ඉල්ලා සිටියා, “එසේහෙයින් නුඹලාගේ දරුවන්ට මේ දේවල් නිදහසේ ඉගැන්වීමට, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.”10 අප එතරම් නිදහසේ ඉගැන්වීමට උන්වහන්සේට අවශ්‍ය වූයේ කුමක්ද?

  1. ආදම්ගේ වැටීම

  2. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම

  3. නැවත ඉපදීමේ වැදගත්කම11

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ පැවසුවා, “තම දරුවන්ට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා නැවත ආත්මිකව උපත ලැබීමට ඉගැන්වීමට හා පුහුණු කිරීමට දෙමාපියන් නොසලකා හැරීම ගැන නිසැකවම සතුරා සතුටු වේ.”12

ඊට වෙනස්ව, ගැලවුම්කරුවාණන් දරුවන්ට “යහපත කිරීමට මගපෙන්වන එම ආත්මයාණන් කෙරෙහි [ඔවුන්ගේ] විශ්වාසය තැබීමට” දරුවන්ට උපකාර කිරීමට අපව යොමුකරයි.13 එසේ කිරීමට, දරුවන්ට ආත්මයාණන් දැනෙන විට එය හඳුනාගැනීමට සහ ආත්මයාණන්වහන්සේ ඉවත්වීමට හේතු වන ක්‍රියාමාර්ග මොනවාදැයි වටහාගැනීමට අපට උපකාර කළ හැකියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පසුතැවිලි වී නැවත ආලෝකයට පැමිණීමට ඔවුන් ඉගෙනගන්නවා. මෙය අධ්‍යාත්මික සුවවීමේ හැකියාව දිරිමත් කිරීමට උපකාරී වෙනවා.

ඕනෑම වයසකදී අපගේ දරුවන්ට අධ්‍යාත්මික සුවවීමේ හැකියාව ගොඩනැගීමට උපකාර කිරීමෙන් අපට විනෝදවන්නට පුලුවන්. එය සංකීර්ණ හෝ බොහෝ කාලයක් ගතකිරීමට අවශ්‍ය දෙයක් වියයුතු නෑ. සරල, සැලකිලිමත් සංවාද මඟින් දරුවන්ට තමන් විශ්වාස කරන දේ පමණක් නොව, නමුත් වඩාත්ම වැදගත් ලෙස ඔවුන් එය විශ්වාස කරන්නේ මන්ද යන්න දැනගැනීමට මගපාදයි. ස්වාභාවිකව හා නිතර නිතර ඇතිවන, සැලකිලිමත් සංවාද වඩා හොඳ අවබෝධයක් සහ පිළිතුරු වලට මගපාදනවා. අපේ දරුවන්ට ඉගැන්වීමට සහ ඇහුම්කන් දීමට සහ ඔවුන්ගේ ඇස් දෙස බැලීම වළක්වාලන විද්‍යුත් උපාංග වල පහසුව සඳහා අපි ඉඩනොදී සිටිමු.

රූපය
මවගේ සහ දියණියගේ සාකච්ඡාව

අත්‍යවශ්‍ය සංවාද සඳහා අමතර අවස්ථා භූමිකා රඟ දැක්වීම තුළින්ද එළඹිය හැකියි. නරක තේරීමක් කිරීමට පෙළඹෙන හෝ පීඩනයට ලක්වන අවස්ථාවන් පවුලේ සාමාජිකයන්ට රඟදැක්විය හැකියි. එවැනි ක්‍රියාකාරකමක් මඟින් අභියෝගාත්මක පසුබිමක සූදානම් වීමට දරුවන්ව ශක්තිමත් කළ හැකියි. නිදසුනක් වශයෙන්, ඔවුන් කුමක් කරනු ඇත්දැයි අපි දරුවන්ගෙන් විමසමින්, අපට ඒ රඟදැක්වීම හෝ කතා කිරීම කළ හැකියි:

  • ප්‍රඥාවේ වචනය බිඳ දැමීමට ඔවුන් පෙළඹෙන්නේ නම්.

  • ඔවුන් කාමුක දර්ශනයක් දුටුවේ නම්.

  • ඔවුන් බොරු කීමට, සොරකම් කිරීමට හෝ වංචා කිරීමට පෙළඹුනේ නම්.

  • පාසැලේ මිතුරෙකුගෙන් හෝ ගුරුවරයෙකුගෙන් ඔවුන්ගේ විශ්වාසයන් හෝ සාරධර්ම විවාදයට ලක්කරන යමක් ඔවුන්ට ඇසෙන්නේ නම්.

ඔවුන් එය රඟදක්වන විට සහ ඒ ගැන කතා කරන විට, සම වයස් කණ්ඩායමක එවැනි සැකසුමකට සූදානම් නොවී සිටීම වෙනුවට, ළමයින්ට “ඇදහිල්ල නැමැති පලිහ ගෙන එයින් දුෂ්ටයන්ගේ සියලු ගින්දර ඊතල [ඔවුන්ට] නිවාලිය හැකිවන” පිණිස සන්නද්ධ වන්නට පුලුවන්.14

සමීප පෞද්ගලික මිතුරෙකු මෙම තීරණාත්මක පාඩම ඔහු අවුරුදු 18 දී ඉගෙනගෙන තිබුණා. ඔහු එක්සත් ජනපදය හා වියට්නාමය අතර ගැටුම අතරතුර එක්සත් ජනපද හමුදාවට බැඳී තිබුණා. පාබල සෙබළෙකු වීමට පාබල හමුදාවේ මූලික පුහුණුවට ඔහුව අනුයුක්ත කර තිබූ බව ඔහු සොයාගත්තා. එම පුහුණුව ඉතා දරුණු බව ඔහු පැහැදිලි කළා. ඔහු සිය සරඹ උපදේශකවරයාව විස්තර කළේ කුරිරු හා අමානුෂික යනුවෙන්.

එක් දිනක් ඔහුගේ කණ්ඩායම පූර්ණ සටන් ආම්පන්න වලින් සැරසී, අධික රස්නයෙන් යුතුව ඇවිදිමින් සිටියා. සරඹ උපදේශකවරයා හදිසියේම කෑ ගැසුවේ බිමට වැටී නොසෙල්වී සිටින ලෙසයි. මෙම උපදේශකවරයා සුළු චලනයක් පවා බලා සිටියා. ඕනෑම සෙලවීමක් පසුකාලීනව බරපතල ප්‍රතිවිපාක වලට හේතුවෙනවා. තම නායකයා කෙරෙහි වැඩෙන කෝපය හා අමනාපය සමඟ මෙම කණ්ඩායම පැය දෙකකට වැඩි කාලයක් රස්නයෙන් පීඩා වින්දා.

මාස ගණනාවකට පසු අපේ මිතුරා වියට්නාමයේ වනාන්තර හරහා තම කණ්ඩායමට නායකත්වය දෙමින් සිටියා. මෙය පුහුණුවක් නොවේ, සැබෑ අවස්ථාවක්. අවට ගස්වල ඉහළ සිට වෙඩි තැබීමක් පටන් ගත්තා. මුළු කණ්ඩායමම වහාම බිම ඇද වැටුණා.

සතුරා සොයමින් සිටියේ කුමක්ද? සෙලවීමක්. ඕනෑම සෙලවීමක් නිසා වෙඩිතැබීමක් ඇති කරනවා. ඔහු කැලෑ බිමෙහි දහඩිය දහමින් සහ චලනය නොවී දිගු වේලාවක් අඳුර එනතුරු බලා සිටියදී ඔහුගේ සිතුවිලි මූලික පුහුණුව කෙරෙහි නැවත යොමු වූ බව මගේ මිතුරා කිව්වා. ඔහුගේ සරඹ උපදේශකවරයා කෙරෙහි ඔහු දැක්වූ දැඩි අප්‍රසාදය ඔහුට මතක් වුණා. දැන් ඔහුට උගන්වනු ලැබූ දේ සහ මෙම තීරණාත්මක අවස්ථාව සඳහා ඔහු ඔහුව සූදානම් කළ ආකාරය ගැන—ඔහුට දැඩි කෘතඥතාවක් දැනුණා. සරඹ උපදේශකවරයා අපේ මිතුරාට සහ ඔහුගේ කණ්ඩායමට සටන වේගවත් වන විට කුමක් කළ යුතු දැයි දැනගැනීමේ හැකියාව ලබාදී තිබුණා. ඔහු ඇත්තවශයෙන්ම අපේ මිතුරාගේ ජීවිතය බේරාගෙන තිබෙනවා.

අපගේ දරුවන්ට ආත්මිකව අපට එසේ කළ හැක්කේ කෙසේද? ඔවුන් ජීවිතයේ යුධ පිටියට පිවිසීමට බොහෝ කලකට පෙර, ඔවුන්ට ඉගැන්වීමට, ශක්තිමත් කිරීමට හා සූදානම් කිරීමට අපට වඩාත් හොඳින් උත්සාහ කළ හැක්කේ කෙසේද?15 “ඇති තරම් එහාට වන්නට” කියා අපි ඔවුන්ට ආරාධනා කරන්නේ කෙසේද? ජීවිතයේ යුධ පිටියේ ලේ ගැලීමට වඩා නිවසේ ආරක්ෂිත ඉගෙනුම් පරිසරය තුළ ඔවුන් “දහඩිය දැමීම” නොවේද අපට අවශ්‍ය වන්නේ?

මම ආපසු හැරී බලන විට, අපගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමට උපකාර කිරීම සඳහා මගේ ස්වාමිපුරුෂයාගේ සහ මගේ උනන්දුව, සරඹ උපදේශකවරුන් මෙන් හැඟුණු අවස්ථා තිබුණා. අනාගතවක්තෘ යාකොබ් මෙසේ පවසන විට ඔහුට ඒ හා සමානම හඬක් තිබුණු බව පෙනෙනවා: “නුඹලාගේ ප්‍රාණයන්ගි සුභසිද්ධිය උදෙසා මම ආශාවෙමි. එසේය, මාගේ කනස්සල්ල නුඹලා වෙත බලවත්ය; තවද එය සෑමදා එසේ වූ බව නුඹලාම දන්නාහුය.”16

දරුවන් ඉගෙනගෙන වර්ධනය වන විට, ඔවුන්ගේ විශ්වාසයන් අභියෝගයට ලක්වෙනවා. එහෙත්, ඔවුන් නිසි ලෙස සන්නද්ධව සිටින හෙයින්, දැඩි විරුද්ධවාදිකම් මධ්‍යයේ වුවද, ඔවුන්ට ඇදහිල්ල, ධෛර්යය සහ විශ්වාසය තුළ වර්ධනය වන්නට පුලුවන්.

“දරුවන්ගේ මනස සූදානම් කිරීමට” ඇල්මා අපට ඉගැන්නුවා.17 “සදාකාල මරණයේ මාර්ගය හෝ සදාකාල ජීවනයේ මාර්ගය තෝරාගැනීමට—[ඔවුන්ට] [තමන් වෙනුවෙන්] ක්‍රියා කිරීමට නිදහස ඇති බව” වටහාගෙන, ඇදහිල්ලේ අනාගත ආරක්ෂකයින් වීමට නැගී එන පරම්පරාව අපි සූදානම් කරමින් සිටිනවා.18 මෙම ශ්‍රේෂ්ඨ සත්‍යය තේරුම්ගැනීමට දරුවන්ට අයිතියක් තිබෙනවා: සදාකාලිකත්වය යනු වැරදෙන්නට අනවශ්‍ය දෙයක්.

අපගේ දරුවන් සමඟ අපගේ සරල හා අත්‍යවශ්‍ය සංවාද දැන් “සදාකාල ජීවනයේ වචන භුක්ති විඳීමට” ඔවුන්ට උපකාර කරනු ලැබේවා, එවිට ඔවුන්ට “අනාගත ලෝකයේ සදාකාල ජීවනය, අමරණීය මහිමය” භුක්ති විඳීමට හැකිවේවා.19

අපි අපේ දරුවන් පෝෂණය කර සූදානම් කරන විට, අපි ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහසට ඉඩදෙනවා, අපි ඔවුන්ට අපගේ මුළු හදවතින්ම ආදරේ කරනවා, අපි ඔවුන්ට දෙවියන්වහන්සේගේ ආඥා සහ පසුතැවිලි වීමේ ත්‍යාගය උගන්වනවා, ඒවගේම අපි කවදාවත්, කවමදාවත් ඔවුන්ව අතහරින්නේ නෑ. ඇත්තෙන්ම, මෙය අප සෑම කෙනෙකු සමඟම ස්වාමින්වහන්සේගේ ආකාරය නොවේද?

අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන් කරණකොටගෙන “බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්”20 ලබාගත හැකි බව දැන, අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව සිටිමු.

සැමවිටම පිළිතුර උන්වහන්සේ බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 3 නෙපි 17:23–24 බලන්න.

  2. Michaelene Grassli, “Behold Your Little Ones,” Ensign, Nov. 1992, 93 බලන්න: “මට නම්, බලන්න යන වචනය ඉතා වැදගත්ය. එයින් ඇඟවෙන්නේ ‘බලන්න සහ දකින්න’ යන්නට වඩා වැඩි යමකි. ස්වාමින්වහන්සේ නෙපිවරුන්ට ඔවුන්ගේ කුඩා දරුවන් දෙස බලන්න කියා උපදෙස් දුන් විට, ඔවුන්ගේ දරුවන් කෙරෙහි අවධානය යොමුකරන්නට, ඔවුන් ගැන පරික්ෂා කරන්නට, වර්තමානයෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ සදාකාලික හැකියාවන් දැකීමටද උන්වහන්සේ ඔවුන්ට පැවසූ බව මම විශ්වාස කරනවා.”

    See Russell M. Nelson, “Listen to Learn,” Ensign, May 1991, 22: “බලහත්කාරයෙන් දරුවන් පාලනය කිරීම සාතන්ගේ මිස ගැලවුම්කරුවාණන්ගේ තාක්‍ෂණය නොවේ. නැහැ, අපට අපේ දරුවන් අයිති නැත. දෙමව්පියන් වශයෙන් අපගේ වරප්‍රසාදය නම් ඔවුන්ට ප්‍රේම කිරීම, ඔවුන්ට නායකත්වය දීම සහ ඔවුන්ට යන්නට ඉඩදීමයි.”

  3. දහම සහ ගිවිසුම් 29:46–47 බලන්න.

  4. දහම සහ ගිවිසුම් 20:71.

  5. Henry B. Eyring, “The Power of Teaching Doctrine,” Liahona, July 1999, 87.

  6. දහම සහ ගිවිසුම් 20:79.

  7. හිලමන් 5:12.

  8. දහම සහ ගිවිසුම් 68:25 බලන්න; තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:4.

  9. දහම සහ ගිවිසුම් 68:28.

  10. මෝසෙස් 6:58; අවධාරණය කිරීම් සහිතයි.

  11. මෝසෙස් 6:59; තවත් බලන්න දහම සහ ගිවිසුම් 20:29–31.

  12. D. Todd Christofferson, “Why Marriage, Why Family?,” Liahona, May 2015, 52.

  13. දහම සහ ගිවිසුම් 11:12–13 බලන්න; තවත් බලන්න දහම සහ ගිවිසුම් 93.

  14. දහම සහ ගිවිසුම් 27:17; අවධාරණය කිරීම් සහිතයි; see also Marion G. Romney, “Home Teaching and Family Home Evening,” Improvement Era, June 1969, 97: “අපගේ සතුරා වන සාතන් ධර්මිෂ්ඨකමට මුලුමනින්ම පහර දෙන්නට මානබලයි. ඔහුගේ හොඳින් සටන් කළ බලවේග විශාලය. අපේ දරුවන් සහ යෞවනයින් ඔහුගේ ප්‍රධාන තෙරපුමේ ඉලක්ක වේ. ඔවුන් සෑම තැනකම දුෂ්ට හා කුරිරු ප්‍රචාරයන්ට යටත් වේ. ඔවුන් හැරෙන සෑම ස්ථානයකම, ඔවුන් නපුරෙන් පිරී ඇත, සෑම ශුද්ධ වූ දෙයක්ම හා සෑම ධර්මිෂ්ඨ ප්‍රතිපත්තියක්ම විනාශ කිරීමට කපටි ලෙස සැලසුම් කර ඇත. … මෙම සාතන්ගේ ප්‍රහාරයට එරෙහිව නැගී සිටීමට අපේ දරුවන් ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වීමට නම්, ස්වාමින්වහන්සේ නියම කළ පරිදි ඔවුන්ට නිවසේදී ඉගැන්විය යුතුය.”

  15. See Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 32:

    “මීට වසර ගණනාවකට පෙර තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස, බොහෝ රෝගීන් දැන් වැළැක්විය හැකි රෝග වලින් පීඩා විඳින ආකාරය මම දුටුවා. කලක් අක්‍රීය කරන මාරාන්තික තත්වයන්ට එරෙහිව වුවද වර්තමානයේදී පුද්ගලයන්ට ප්‍රතිශක්තිකරණය ලබාදිය හැකිය. අත්පත් කරගත් ප්‍රතිශක්තිය ලබාදෙන එක් වෛද්‍ය ක්‍රමයක් වන්නේ එන්නත් කිරීමයි. එන්නත් කිරීම යන යෙදුම සිත් ඇදගන්නා සුළුය. එය ලතින් මූලයන් දෙකකින් පැමිණේ: in, එහි තේරුම ‘ඇතුළත’; සහ oculus, එහි තේරුම ‘ඇසක්’ යන්නයි. එන්නත් කිරීම යන ක්‍රියා පදයෙහි තේරුම හානිය වළක්වා ගැනීම සඳහා ‘ඇසක් එතුළ තබාගැනීම’ යන්නයි.

    “පෝලියෝ වැනි රෝගයකින් ශරීරය අබලන් විය හැකිය. පාපය වැනි පීඩා නිසා ආත්මය අඩපණ වී හෝ විනාශ විය හැකිය. පෝලියෝ රෝගය දැන් ප්‍රතිශක්තිකරණයෙන් වළක්වා ගත හැකි නමුත්, පාපයේ විනාශයෙන් වැළකීමට වෙනත් ක්‍රම අවශ්‍ය වේ. වෛද්‍යවරුන්ට අයුක්තියට එරෙහිව ප්‍රතිශක්තිකරණය කළ නොහැක. අධ්‍යාත්මික ආරක්ෂාව ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙන්—සහ උන්වහන්සේගේම ආකාරයෙන් පමණි. යේසුස්වහන්සේ තෝරාගන්නේ එන්නත් කිරීම නොව, ඉගැන්වීමයි. උන්වහන්සේගේ ක්‍රමයට එන්නතක් භාවිතා නොකරයි; එය උන්වහන්සේගේ දරුවන්ගේ සදාකාලික ආත්මයන් ආරක්ෂා කිරීම සඳහා දිව්‍ය දහම ඉගැන්වීම, එනම් ‘ඇතුළත ඇස’ පාලනය කරයි.”

  16. 2 නෙපි 6:3

  17. ඇල්මා 39:16.

  18. 2 නෙපි 10:23.

  19. මෝසෙස් 6:59; අවධාරණය කිරීම් සහිතයි.

  20. 2 නෙපි 31:20.