ප්‍රධාන සම්මන්ත්‍රණය
මම දේවමාළිගාව දකින්න ආසයි
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මම දේවමාළිගාව දකින්න ආසයි

මරණයෙන් පසුවද සදාකාලයටම පවතින ප්‍රේමණීය පවුල් සබඳතා පිළිබඳ සහතිකය අපට ලැබිය හැක්කේ දේවමාළිගාවේදී පමණයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේ පළමු සැසිවාරයේදී ඔබ සමඟ සිටීමට හැකිවීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. කථිකයන්, සංගීතය සහ යාච්ඤා ආත්මයාණන්වහන්සේව ගෙන ආවා—ඒවගේම ආලෝකය සහ බලාපොරොත්තුව පිළිබඳ හැඟීමක් ඇති කළා.

මම සෝල්ට් ලේක් දේවමාළිගාවට ගිය පළමු දිනයේ එම හැඟීම එය මගේ මතකයට නැවත ගෙන ආවා. එවිට මම කුඩා තරුණයෙක්. එදා මගේ එකම සහකරුවන් වුණේ මගේ දෙමව්පියන්. ඇතුළත, ඔවුන් දේවමාළිගා සේවකයෙකු විසින් පිළිගැනීමට මොහොතකට නතර වුණා. මොහොතක් තනිව, මම ඔවුන්ට ඉදිරියෙන් ඇවිද ගියා.

ලස්සන සුදු දේවමාළිගා ඇඳුමකින් සැරසී සිටි සුදු පැහැති හිසකෙස් ඇති කාන්තාවක් මට ආචාර කළා. ඇය මා දෙස බලා, ඉන්පසු සිනාසෙමින්, “සහෝදර අයිරින්ග්, දේවමාළිගාවට සාදරයෙන් පිළිගන්නවා” කියා ඉතා මෘදු ලෙස පැවසුවා. ඇය මගේ නම දන්නා නිසා, ඇය දේවදූතයෙක් කියා මම මොහොතකට සිතුවා. මගේ ඇඳුමේ කබායේ පටියක මගේ නම සහිත කුඩා කාඩ්පතක් තබා ඇති බව මම දැනසිටියේ නෑ.

මම ඇය පසුකර ගොස් නතර වුණා. අහසට විවර වී ඇති බවක් පෙනෙන්නට තිබූ, මුලු කාමරයම ආලෝකමත් කළ උඩින් තිබූ සුදු පැහැති සිවිලිම දෙස මම උඩ බැලුවා. ඒ මොහොතේදී, මෙම පැහැදිලි වචන සහිත සිතුවිල්ලක් මගේ මනසට ආවා: “මම මීට පෙර මේ ආලෝකවත් ස්ථානයේ හිඳ තිබෙනවා.” නමුත් එකෙණෙහිම මගේ කට හඬින් නොව වෙනත් හඬකින් මගේ මනසට ආවේ මේ වචනයි: “නෑ, ඔයා කවදාවත් මෙහෙ ඇවිත් නෑ. ඔබ ඉපදීමට පෙර මොහොතක මතකයක් තමයි ඔබට තියෙන්නෙ. ඔබ සිටියේ මේ වගේම පූජනීය ස්ථානයකයි.”

අපගේ දේවමාළිගා වලින් පිටත “ස්වාමින්වහන්සේට ශුද්ධකම” යන වචන අපි තබනවා. එම වචන සත්‍ය බව මම මා වෙනුවෙන්ම දන්නවා. දේවමාළිගාව යනු අපගේ හදවත් විවෘතව තිබේ නම් සහ ඒ සඳහා අප සුදුසු නම් එළිදරව් අපට පහසුවෙන් පැමිණිය හැකි ශුද්ධ වූ ස්ථානයක්.

ඒ පළමු දවසේ පසුව මට නැවතත් එම ආත්මයම දැනුණා. දේවමාළිගාවේ චාරිත්‍ර වල මගේ හදවතේ දැවෙන හැඟීමක් ගෙන එන වචන කිහිපයක් ඇතුළත් වන අතර, නිරූපණය කෙරෙන දේ සත්‍ය බවත් සනාථ කරනවා. මගේ අනාගතය පිළිබඳව මට දැනුණු දේ පුද්ගලිකයි, ඒ වගේම අවුරුදු 40 කට පසු ස්වාමින්වහන්සේගෙන් සේවය කිරීම සඳහා වූ කැඳවීමකින් මට හැඟුණු දේ යථාර්ථයක් වුණා.

මම ලෝගන් යූටා දේවමාළිගාවේදී විවාහ වූ විටත් එම හැඟීමම අත්වින්දා. සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් විසින් මුද්‍රා තැබීම සිදුකළා. ඔහු කතා කළ වචන කිහිපය තුළ ඔහු මෙම උපදේශය ලබාදුන්නා: “හල් සහ කැතී, කැඳවීම පැමිණි විට ඔබට පහසුවෙන් ඉවත්ව යා හැකි ලෙස, ජීවත් වන්න.”

ඔහු එම වචන ස්වල්පය පවසන විට, මගේ මනසෙහි පැහැදිලිව, සම්පූර්ණ වර්ණයෙන්, ඉහළට යන පාරක් සහිත, නැගීමට දුෂ්කර කඳු මුදුනක් මම දුටුවා. සුදු වැටක් පාරේ වම් පැත්තෙන් දිව ගොස් කඳු මුදුනේ ගස් පේළියකට අතුරුදහන් වී තිබුණා. සුදු පැහැති ගෙයක් යන්තම් ගස් මැදින් පෙනෙන්නට තිබුණා.

අවුරුද්දකට පසු, මගේ මාමණ්ඩිය එම පාර දිගේ අපව ධාවනය කරගෙන යන විට මම ඒ කන්ද හඳුනාගත්තා. සභාපති කිම්බල් දේවමාළිගාවේදී ඔහුගේ උපදෙස් ලබාදුන් විට මා දුටු දේ විස්තරාත්මකව එහි තිබුණා.

අපි කඳු මුදුනට ගිය විට, මගේ මාමණ්ඩිය එම සුදු පැහැති ගෙදර අසල නතර වුණා. ඔහු සහ ඔහුගේ බිරිඳ එම දේපළ මිලදී ගන්නා බවත්, ඔහුගේ දියණිය සහ මා එහි අමුත්තන්ගේ නිවසේ ජීවත් වීම ඔහුට අවශ්‍ය බවත් ඔහු අපට පැවසුවා. ඔවුන් ජීවත් වන්නේ අඩි කිහිපයක් ඈතින් පිහිටි ප්‍රධාන නිවසේ. ඉතින්, අපි ඒ සුන්දර පවුල් පසුබිම තුළ ජීවත් වූ අවුරුදු 10 තුළ මගේ බිරිඳ සහ මම සෑම දිනකම පාහේ කියනුයේ, “අපි වැඩි කලක් මෙහි නොසිටින බැවින්, අපි මෙය වඩා හොඳින් භුක්තිවිඳිය යුතුයි.”

සභාවේ අධ්‍යාපන කොමසාරිස් නීල් ඒ. මැක්ස්වෙල්ගෙන් ඇමතුමක් ලැබුණා. “පහසුවෙන් ඉවත්ව යා හැකි” වන ලෙස සිටීමට වූ සභාපති කිම්බල් දුන් අනතුරු ඇඟවීම යථාර්ථයක් බවට පත්වුණා. එය මා කිසිවක් නොදන්නා ස්ථානයක පැවරුමක සේවය කිරීම සඳහා සැපවත් පවුල් තත්වයක් ලෙස පෙනෙන දේ අතහැර යාමේ කැඳවීමක්. ශුද්ධ වූ දේවමාළිගාවක, එළිදරව් කරන ස්ථානයක අනාගතවක්තෘවරයෙක් අනාගත සිදුවීමක් දුටු නිසා, අපේ පවුලේ අය එම ආශිර්වාද ලත් කාලය හා ස්ථානයෙන් ඉවත් වීමට සූදානම්ව සිටියා.

ස්වාමින්වහන්සේගේ දේවමාළිගා ශුද්ධ වූ ස්ථාන බව මම දන්නවා. අද දේවමාළිගා ගැන කතා කිරීමේ මගේ අරමුණ වන්නේ අප වෙනුවෙන් පැමිණෙන දේවමාළිගා අත්දැකීම් සඳහා වැඩි අවස්ථාවන් සඳහා සූදානම්ව සිටීම සඳහා ඔබේ ආශාව සහ මගේ ආශාව වැඩි කිරීමයි.

මා සඳහා නම්, දේවමාළිගා අත්දැකීම සඳහා සුදුසු වීමේ ශ්‍රේෂ්ඨතම පෙළඹවීම වන්නේ ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ වූ නිවෙස් ගැන පවසා ඇති දෙයයි:

“තවද එපමණකින් මාගේ ජනතාව මා වෙතට ස්වාමින්වහන්සේගේ නාමයෙන් නිවසක් ගොඩනගන්නේද, තවද කිසියම් අපවිත්‍ර දෙයක් එය තුළට ඒමට ඉඩ නොදෙන්නේද, එනම් එමගින් එය අපවිත්‍ර නොවන්නේද, මාගේ මහිමය ඒ මත පවතින්නේය;

“එසේය, තවද මාගේ අභිමුඛය එහි වන්නේය, මක්නිසාද මම එය තුළට පැමිණෙන්නෙමි, තවද ඒ තුළට පැමිණෙන පරිශුද්ධ හදවත් ඇති සියල්ලෝ දෙවියන්වහන්සේ දකින්නෝය.

“එහෙත් එය අපවිත්‍ර වන්නේ නම් මම එය තුළට නොපැමිණෙන්නෙමි, තවද මාගේ මහිමය එහි නොවන්නේය; මක්නිසාද මම අශුද්ධ වූ දේවමාළිගා තුළට නොපැමිණෙන්නෙමි.”1

සභාපති රසල් එම්. නෙල්සන් අපට පැහැදිලි කළේ ගැලවුම්කරුවාණන්ව දේවමාළිගාවේ “අපට” දැකගත හැකිවන්නේ උන්වහන්සේ තවදුරටත් අප නොදන්නා කෙනෙකු බවට පත්නොවන නිසයි. සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “අපි උන්වහන්සේව තේරුම්ගනිමු. උන්වහන්සේගේ කාර්යය සහ මහිමය අපි තේරුම්ගනිමු. එමෙන්ම උන්වහන්සේගේ අසමසම ජීවිතයේ අසීමිත බලපෑම අපට දැනෙන්නට පටන් ගනියි.”2

ඔබ හෝ මම ප්‍රමාණවත් නොවන ලෙස පවිත්‍රව දේවමාළිගාවට යන්නේ නම්, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, දේවමාළිගාවේ අපට ලැබෙන ගැලවුම්කරුවාණන් පිළිබඳ අධ්‍යාත්මික ඉගැන්වීම අපට දැකගත නොහැකි වෙනවා.

එවැනි ඉගැන්වීම් ලැබීමට අප සුදුසු වූ විට, අපගේ දේවමාළිගාවේ අත්දැකීම් තුළින් අපේ ජීවිත කාලය පුරාම බලාපොරොත්තුව, ප්‍රීතිය හා ශුභවාදී අත්දැකීම් වර්ධනය විය හැකියි. එම බලාපොරොත්තුව, ප්‍රීතිය හා ශුභවාදී හැඟීම ලබාගත හැක්කේ ශුද්ධ වූ දේවමාළිගා වල සිදුකරන නියෝගයන් පිළිගැනීම තුළින් පමණයි. මරණයෙන් පසුවද සදාකාලයටම පවතින ප්‍රේමණීය පවුල් සබඳතා පිළිබඳ සහතිකය අපට ලැබිය හැක්කේ දේවමාළිගාවේදී පමණයි.

මීට වසර ගණනාවකට පෙර, මම සභානායකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, එක් කඩවසම් තරුණයෙක් දෙවියන්වහන්සේ සමඟ සදාකාලිකව පවුල් සමඟ ජීවත් වීමට සුදුසු වීමට මා කළ ආරාධනයට විරුද්ධ වුණා. සටන්කාමී ආකාරයකින්, ඔහු තම මිතුරන් සමඟ ගතකළ හොඳ කාලය ගැන මට කිව්වා. මම ඔහුට කතා කරන්න ඉඩදුන්නා. එවිට ඔහු මට කියා සිටියේ ඔහුගේ එක් සාදයක් අතරතුර, එම රළු ඝෝෂාව මධ්‍යයේ, ඔහුට තනිකමක් දැනෙන බව හදිසියේම වැටහුණු අවස්ථාවක් ගැනයි. මම ඔහුගෙන් ඇහුවා මොකද වුණේ කියලා. ඔහු පැවසුවේ කුඩා පිරිමි ළමයෙකු ලෙස තම මවගේ උකුල මත හිඳගෙන ඔහු වටා ඇයගේ දෑත් තබාගෙන සිටි කාලයක් තමාට මතක ඇති බවයි. ඔහු එම කතාව පවසන අතරේ ඒ මොහොත වන විට, ඔහු කඳුළු සැලුවා. සත්‍යය ලෙස මා දන්නා දෙය මම ඔහුට කිව්වා: “ඔබට එම පවුල පිළිබඳ හැඟීම සදහටම වැලඳ ගතහැකි එකම ක්‍රමය නම් ඔබ සුදුසු කෙනෙකු වීම සහ දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ නියෝගයන් ලබාගැනීමට අන් අයට උපකාර කිරීමයි.”

ආත්ම ලෝකයේ පවුල් සම්බන්ධතා පිළිබඳ විස්තර හෝ අප මරණයෙන් නැවත නැගිටීමෙන් පසු කුමක් විය හැකිදැයි අපි දන්නේ නෑ. නමුත් අනාගතවක්තෘ එලියා පැමිණියේ පියවරුන්ගේ හදවත් දරුවන්ටත් දරුවන්ගේ හදවත් පියවරුන්ටත් යොමුකරන බවට පොරොන්දු වූ පරිදි බව අපි දන්නවා.3 ඒවගේම අපගේ සදාකාලික සන්තෝෂය රඳා පවතින්නේ අපට හැකි තරම් අපගේ ඥාතීන්ට එම ස්ථිර කල්පවතින සතුට ලබාදීමට අප උපරිමයෙන් කටයුතු කිරීම මත බව අපි දන්නවා.

දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ නියෝගයන් ලැබීමට හා ඒවාට ගෞරවය කරමින් ජීවත්ව සිටින පවුලේ සාමාජිකයින්ට ආරාධනා කිරීමෙහිලා සාර්ථක වීමට ඇති එම එකම ආශාව මට දැනෙනවා. එය අන්තිම දවස්වල තිරය දෙපසම ඊශ්‍රායෙලය රැස්වන බවට වූ පොරොන්දුවේ කොටසක්.

අපට ඇති ලොකුම අවස්ථා වලින් එකක් නම් අපගේ පවුලේ සාමාජිකයන් තරුණ වියේ සිටියදීයි. ඔවුන් උපත ලබන්නේ තෑග්ගක් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සමඟයි. යහපත හා නපුර කුමක්ද යන්න වටහාගැනීමට එය ඔවුන්ට හැකියාව ලබාදෙනවා. එම හේතුව නිසා, දේවමාළිගාවක් හෝ දේවමාළිගාවක පින්තූරයක් දැකීමෙන් යම් දිනෙක එහි ඇතුළට යාමට සුදුසු වීම සහ වරප්‍රසාද ලැබීමට ඇති ආශාව දරුවෙක් තුළ වර්ධනය විය හැකියි.

යෞවනයෙකු ලෙස, ඔවුන් දේවමාළිගාවේ නියෝජිත බව්තීස්මයන් ඉටුකරන්නට ඔවුන්ට දේවමාළිගා නිර්දේශයක් ලැබෙන විට, එම දවස පැමිණෙනවා. එම අත්දැකීම තුළ, දේවමාළිගාවේ නියෝගයන් සෑම විටම ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම වෙත යොමුවන බවට වූ ඔවුන්ගේ හැඟීම වර්ධනය විය හැකියි. ආත්මික ලෝකයේ සිටින පුද්ගලයෙකුට පාපයෙන් පවිත්‍ර වීමට අවස්ථාවක් ලබාදෙන බව ඔවුන්ට හැඟෙන විට, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවෙකුට ආශිර්වාද කිරීමේ ගැලවුම්කරුවාණන්ගේ පරිශුද්ධ කාර්යයට උපකාර කිරීමේ ඔවුන්ගේ හැඟීම වර්ධනය වෙයි.

එවැනි අත්දැකීමක බලය තරුණයෙකුගේ ජීවිතය වෙනස් කළ ආකාරය මම දැක තිබෙනවා. මීට වසර ගණනාවකට පෙර, මම දියණියක් සමඟ සවස් වරුවේ දේවමාළිගාවකට ගියා. බව්තීස්මයේ නියෝජිතයෙකු ලෙස සේවය කළ අන්තිමයා ඇයයි. නම් සකස් කර ඇති සියලුදෙනා සඳහා නියෝගයන් සම්පූර්ණ කිරීම සඳහා වැඩි කාලයක් රැඳී සිටිය හැකිදැයි මගේ දුවගෙන් ඇසුවා. “ඔව්” ඇය කිව්වා.

මගේ කුඩා දියණිය බව්තීස්ම තටාකයට පිවිසෙන විට මම බලා සිටියා. බව්තීස්මයන් ආරම්භ වුණා. මගේ කුඩා දියණිය වතුරෙන් ඔසවන සෑම අවස්ථාවකම ඇගේ මුහුණ පහළට වතුර ගලා ගියා. “ඔබට තවත් කළ හැකිද?” කියා ඇයගෙන් නැවත නැවතත් ඇසුවා. ඒ හැම අවස්ථාවකම ඇය “ඔව්” කිව්වා.

සැලකිලිමත් පියෙකු ලෙස, ඇය තවත් නොකර නවත්වනු ඇතැයි බලාපොරොත්තු වීමට මම පටන්ගත්තා. නමුත් තවත් කළ හැකිදැයි ඇයගෙන් ඇසූ විට ඇය අධිෂ්ඨානශීලී කුඩා හඬකින් “ඔව්” කියන විට ඇයගේ ස්ථිර බව මට තාමත් මතකයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම වීමේ ආශිර්වාදය එදින ලැයිස්තුවේ සිටි අවසාන පුද්ගලයා ලබන තෙක්ම ඇය රැඳී සිටියා.

එදින රාත්‍රියේ මම ඇය සමඟ දේවමාළිගාවෙන් පිටතට යන විට, මා දුටු දේ ගැන මම කල්පනා කළා. ස්වාමින්වහන්සේගේ නිවසේ සේවය කිරීමෙන් දරුවෙකුව ඔසවා මාගේ ඇස් ඉදිරිපිට වෙනස් කර තිබෙනවා. දේවමාළිගාවෙන් පිටතට අපි එකට ඇවිද යන විට මට දැනුණු ආලෝකය සහ සාමය මට තාමත් මතකයි.

අවුරුදු ගණනාවක් ගෙවී ගිහින්. ඉතා අසීරු අවස්ථාවකදී වුවද උන්වහන්සේ උදෙසා තවත් යමක් කළ හැකිද කියා ස්වාමින්වහන්සේ ඇයගෙන් අසන ප්‍රශ්නයට ඇය තවමත් “ඔව්” කියා කියනවා. අපව වෙනස් කිරීමට හා ඔසවා තැබීමට දේවමාළිගා සේවයට කළ හැක්කේ එයයි. ඔබ හා ඔබගේ සියලු ආදරණීය පවුල කෙරෙහි මගේ බලාපොරොත්තුව වන්නේ ඔබේ තත්වයන් ඉඩදෙන සෑමවිටම ස්වාමින්වහන්සේගේ ගෘහයට යාමට සුදුසු වීමට ඔබ ආශාවෙන් හා අධිෂ්ඨානයෙන් වර්ධනය වීමයි.

උන්වහන්සේට ඔබව එහි පිළිගැනීමට අවශ්‍යයි. ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ගේ හදවත් වල, ඔවුන්ට උන්වහන්සේට සමීප බවක් දැනෙන්නට එහි යාමට ආශාවක් ගොඩනැංවීමට ඔබ උත්සහ කරාවි යැයි සහ ඔබේ මුතුන් මිත්තන්ට උන්වහන්සේ සමඟත් ඔබ සමඟත් සදාකාලයටම සිටීමට සුදුසුකම් ලබන ලෙස ඔවුන්ට ආරාධනා කරාවි කියාත් මම යාච්ඤා කරනවා.

මෙම වචන අපගේ වෙන්නට පුලුවන්:

මම දේවමාළිගාව දකින්න ආසයි.

මම දිනක එහි යමි

ශුද්ධාත්මයාණන්ව දැනෙන්නටත්,

සවන්දෙන්නත්, යාච්ඤා කරන්නත්.

දේවමාළිගාව කියන්නේ දෙවියන්වහන්සේගේ නිවස,

ආදරය හා අලංකාරය ඇති ස්ථානයක්.

මම බාල වියේදීම සූදානම් වෙමි;

මෙය මගේ ශුද්ධ වූ යුතුකමයි.4

අපි ප්‍රේමණීය ස්වර්ගික පියාණන් කෙනෙකුගේ දරුවෝ බව මම තරයේම සාක්ෂි දරනවා. උන්වහන්සේ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් ලෙස තෝරාගත්තා. උන්වහන්සේලා හා අපගේ පවුලේ අය සමඟ නැවත ජීවත් වීමට ඇති එකම මාර්ගය ශුද්ධ වූ දේවමාළිගාවේ නියෝගයන්. සභාපති රසල් එම්. නෙල්සන් දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට සදාකාල ජීවනය ලබාගත හැකි පූජකත්වයේ සියලු යතුරු රඳවාගෙන ක්‍රියාත්මක කරන බව මම සාක්ෂි දරනවා. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.