ප්‍රධාන සම්මන්ත්‍රණය
“මාගේ ශුභාරංචියේ මූලධර්ම”
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


“මාගේ ශුභාරංචියේ මූලධර්ම”

(දහම සහ ගිවිසුම් 42:12)

ශුභාරංචි මූලධර්මයක් යනු සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසේ ධර්මිෂ්ඨ ක්‍රියාත්මක වීම සඳහා මූලධර්ම මත පදනම් කරගත් මාර්ගෝපදේශයක්.

1849 ඔක්තෝබර් මාසයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, දොළොස්දෙනාගේ ගණපූරණයෙහි වැඩිහිටි ජෝන් ටේලර්ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා ප්‍රංශ ජාතිය විවෘත කිරීමට කැඳවනු ලැබුවා. ඔහුගේ සේවයට එම රටේ පළමු නිල සභා වාර සඟරාව සංස්කරණය කිරීම ඇතුළත් වුණා. වැඩිහිටි ටේලර් සභාව ගැන නිතර අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් 1851 දී ලිපියක් පිළියෙළ කොට ප්‍රකාශයට පත්කළා. එමෙන්ම එම රචනයේ අවසානයේ වැඩිහිටි ටේලර් පහත සඳහන් කථාංගය සිහිපත් කළා:

“මීට වසර කිහිපයකට පෙර, නාවූ හිදී, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු, ජෝසෆ් ස්මිත්ගෙන් මට ඇසෙන දුරකින් සිටිමින් ඇසුවේ, මෙතරම් පිරිසක් පාලනය කිරීමට සහ එවැනි පරිපූර්ණ පිළිවෙලක් ආරක්ෂා කිරීමට ඔහුට හැකිවූයේ කෙසේද යන්නයි; වෙනත් තැනක එය කිරීමට ඔවුන්ට නොහැකි බව එවෙලේම නැවත පවසමින් ඔහු එසේ ඇසුවා. එය කිරීම ඉතා පහසු බව ස්මිත් මහතා සඳහන් කළා. ‘කොහොමද?’ එම මහත්මයා පිළිතුරු දුන්නා; ‘අපට නම් එය ඉතා අපහසුයි.’ ස්මිත් මහතා මෙසේ පිළිතුරු දුන්නා, ‘මම ඔවුන්ට නිවැරදි මූලධර්ම උගන්වනවා, ඒවගේම ඔවුන් තමන්වම පාලනය කරගන්නවා.’”1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ මූලධර්ම වල වැදගත් භූමිකාව මම අවධාරණය කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අප සෑම කෙනෙකුටම උපදෙස් දී හා දැනුවත් කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.

මූලධර්ම

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට මෙසේ එළිදරව් කළා “මෙම සභාවේ වැඩිහිටියෝ පූජකවරු සහ ගුරුවරු, එම බයිබලයේ සහ මොර්මොන්ගේ පොතෙහි ඇති ශුභාරංචියේ සම්පූර්ණත්වය ඇත්තාවූ, මාගේ ශුභාරංචියේ මූලධර්ම උගන්වනු ලබන්නෝය.”2 පසු-දවස්වල ශුද්ධවන්තයින් “එනම් නුඹලාට තේරුම්ගැනීමට යෝග්‍ය වන්නාවූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා සම්බන්ධ සියලුම දේවල් තුළ, සිද්ධාන්තයන් තුළ, ප්‍රතිපත්තීන් තුළ, මූලධර්මයන් තුළ, ශුභාරංචියේ නීතිය තුළ, වඩාත් පරිපූර්ණ ලෙස නුඹලාට උපදෙස් ලැබෙන්නේය.”3

කෙටියෙන් කිවහොත්, ශුභාරංචි මූලධර්මයක් යනු සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසේ ධර්මිෂ්ඨ ක්‍රියාත්මක වීම සඳහා මූලධර්ම මත පදනම් කරගත් මාර්ගෝපදේශයක්. මූලධර්ම පුළුල් ශුභාරංචි සත්‍යයන්ගෙන් මූලාරම්භ වන අතර අප ගිවිසුම් මාවතේ ඉදිරියට යන විට මගපෙන්වීම් හා ප්‍රමිති සපයනවා.

නිදසුනක් වශයෙන්, ඇදහිල්ලේ පළමු කරුණු තුන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචියේ මූලධර්ම හඳුනාගන්නවා: ඇදහිල්ලේ පළමු කරුණේ දේවත්වයේ ස්වභාවය, ඇදහිල්ලේ දෙවන කරුණේ ආදම් සහ ඒවගේ වැටීමෙහි බලපෑම, ඇදහිල්ලේ තුන්වන කරුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලබාගත හැකි ආශිර්වාද සඳහන් වෙනවා.4 තවද ඇදහිල්ලේ සිව්වන කරුණේ පළමු මූලධර්මයන්—එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා පසුතැවීම පිළිබඳ මාර්ගෝපදේශ—සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අපගේ ජීවිත වලට ඵලදායී වීම සඳහා වන පළමු පූජක නියෝගයන්ද දක්වා තිබෙනවා.5

මාර්ගෝපදේශයක් ලෙස මූලධර්මයකට තවත් උදාහරණයක් වන්නේ ප්‍රඥාවේ වචනයයි. දහම සහ ගිවිසුම් හි 89 වන කොටසේ මෙම හඳුන්වාදීමේ පද කරුණාකර සටහන් කරගන්න:

“දුර්වලයන්ගේ සහ සියලු ශුද්ධවන්තයන්ගේ ඉතා දුර්වලවුන්ගේ ප්‍රමාණයට අනුවර්තනය වූ, ශුද්ධවන්තයන්ට හෝ එසේ නම් කළ හැකිවූවන් සඳහා, එය මූලධර්මයක් උදෙසා පොරොන්දුවක් සමඟ දෙන ලද්දක් වන්නේය.

“බලන්න, සැබවක්, ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක: පසු දවස් වලදී කුමන්ත්‍රණකාරී මිනිසුන්ගේ හදවත් වල ඇති සහ ඇතිවන නපුරු සැලසුම් වල ප්‍රතිඵලයක් ලෙස, මෙම ප්‍රඥාවේ වචනය එළිදරව්වක් ලෙස දෙමින්, මම නුඹලාට අනතුරු අඟවා ඇත්තෙමි, තවද කලින් අවවාද කර ඇත්තෙමි.”6

මෙම හැඳින්වීමෙන් පසුව එන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලත් උපදෙස් මඟින් ශාරීරික හා අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා කල්පවත්නා මාර්ගෝපදේශ සපයන අතර මූලධර්මයට අපගේ ඇදහිලිවන්තකම මත නිශ්චිත ආශිර්වාද ලබාදෙන බවට සාක්ෂි සපයනවා.

ඉගෙනීම, අවබෝධය, සහ ශුභාරංචි මූලධර්ම අනුව ජීවත් වීම මගින් ගැලවුම්කරුවාණන් තුළ වූ අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා, උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ භක්තිය ගැඹුරු කරනවා, ඒවගේම අපගේ ජීවිත වලට ආශිර්වාද හා අධ්‍යාත්මික දීමනා රාශියකට ආරාධනා කරනවා. ලෞකිකත්වයේ විවිධ තත්වයන්, අභියෝග, තීරණ සහ අත්දැකීම් තුළ අපි සැරිසරන විට, සදාකාලික සත්‍යයන්ගේ වටිනා ඉදිරිදර්ශනය සපයමින්, ධර්මිෂ්ඨකමේ මූලධර්ම අපගේ පුද්ගලික මනාපයන් සහ ආත්මාර්ථකාමී ආශාවන්ගෙන් ඔබ්බට බැලීමට අපට උපකාර වෙනවා.

නිවැරදි මූලධර්ම ඉගැන්වීමේ සමකාලීන උදාහරණ

නිවැරදි මූලධර්ම ඉගැන්වීම පිළිබඳව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ මෙම ප්‍රකාශය ඔහු නිතර නිතර උපුටා දක්වන ලද ඉගැන්වීම් වලින් එකක් විය හැකියි. අද දින ස්වාමින්වහන්සේගේ අධිකාරිය ඇති සේවකයින්ගේ ප්‍රකාශයන් තුළ මෙම දේවානුභාවයෙන් යුත් උපදෙස් රටාවට ප්‍රබල උදාහරණ අපට හමුවෙනවා.

අවධානය වෙනතකට යොමු-නොකිරීමේ මූලධර්මය

සභාපති ඩැලින් එච්. ඕක්ස් 1998 දී ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සක්‍රමේන්තුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම සම්බන්ධව ආරෝනික පූජකත්වය දරන්නන්ගේ යුතුකම් පිළිබඳව කතා කළා. අවධානය වෙනතකට යොමු-නොකිරීමේ මූලධර්මය ඔහු විස්තර කළ අතර, ආරෝනික පූජකත්වය දරන්නෙකු කිසිම වෙලාවක ඔහුගේ පෙනුමෙන් හෝ හැසිරීමෙන්, සභාවේ කිසිඳු සාමාජිකයෙකුව ඔහුගේ හෝ ඇයගේ නමස්කාරයෙන් සහ ගිවිසුම් අලුත් කිරීමෙන් අවධානය වෙනතකට යොමුකරන කිසිවක් නොකළ යුතු බවත් සඳහන් කළා. පිළිවෙල, පිරිසිඳුකම, ගෞරවය හා උදාරත්වයට අදාළ මූලධර්මද සභාපති ඕක්ස් එහිදී අවධාරණය කළා.

සිත්ගන්නා කරුණ නම්, සභාපති ඕක්ස් තරුණයින්ට කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳ දීර්ඝ ලැයිස්තුවක් ලබානොදීමයි. ඒ වෙනුවට, ඔහු තරුණයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට මාර්ගෝපදේශය අනුගමනය කිරීම සඳහා ඔවුන්ගේම විනිශ්චය හා ආනුභාවය භාවිතා කළ හැකි යැයි අපේක්ෂා කරමින් මෙම මූලධර්මය පැහැදිලි කළා.

ඔහු මෙසේ පැහැදිලි කළා: “ලොවපුරා ඇති අපගේ සභාවන් වල විවිධ කොට්ඨාශ සහ ශාඛා එකිනෙකට වෙනස් නිසා, එක ස්ථානයකට අවශ්‍ය ක්‍රමයක් තවත් ස්ථානයකට නොගැලපෙන්න පුලුවන්, ඒ නිසා මම විස්තරාත්මක නීති ක්‍රමයන් යෝජනා කරන්නේ නෑ. ඒ වෙනුවට, මම මෙම මූලධර්ම මත පදනම් වූ මූලධර්මයක් යෝජනා කරනවා. සියල්ලන්ම මෙම මූලධර්මය වටහාගෙන එයට අනුකූලව කටයුතු කරන්නේ නම්, නීති රීති සඳහා අවශ්‍යතාවය බොහොම අවම වෙන්න පුලුවන්. එක් එක් අවස්ථා වලදී නීති රීති හෝ උපදේශනය අවශ්‍ය නම්, ප්‍රාදේශීය නායකයින්ට මූලධර්ම සහ ඒවාට අදාළ මූලධර්ම වලට අනුකූලව ඔවුන්ට ඒවා සපයන්නට පුලුවන්.”7

සබත් මූලධර්මය සලකුණක් ලෙස

2015 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාපති රසල් එම්. නෙල්සන් අපට ඉගැන්වූයේ “සබත සතුටක් බවයි.”8 සබත් දවසට ගරු කිරීම පිළිබඳ මූලික මූලධර්මයක් තමා පෞද්ගලිකව තේරුම්ගත් ආකාරයද ඔහු පැහැදිලි කළා:

“අපි සබත් දවස ශුද්ධ කරන්නේ කොහොමද? මගේ තරුණ අවධියේදී, සබත් දවසේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරගත් අනෙක් අයගේ වැඩ මම අධ්‍යයනය කළා. මගේ හැසිරීම සහ සබත් දවස පිළිබඳ මගේ ආකල්පය, මා සහ මගේ ස්වර්ගික පියාණන්වහන්සේ අතර සලකුණක් බව මම ශුද්ධලියවිලි වලින් දැනගත්තේ ඊට පසුවයි. එම අවබෝධයත් සමඟ, මට තවදුරටත් කළ යුතු හා නොකළ යුතු දේ ලැයිස්තුවක් අවශ්‍ය වුණේ නෑ. යම් ක්‍රියාකාරකමක් සබත් දවසට සුදුසුද නැද්ද යන්න පිළිබඳව මට තීරණයක් ගැනීමට සිදුවූ විට, මම සරලවම මගෙන්ම මෙසේ ඇසුවා, ‘මට දෙවියන්වහන්සේට දිය යුතු සලකුණ කුමක්ද?’ එම ප්‍රශ්නය නිසා සබත් දවස පිළිබඳ මගේ තේරීම් ඉතා පැහැදිලි වුණා.”9

සභාපති නෙල්සන්ගේ සරල නමුත් ප්‍රබල ප්‍රශ්නය අවධාරණය කරන්නේ සබත් දවසේ තේරුම සහ එම දවසට ගරු කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ඕනෑම අවිනිශ්චිතතාවයකින් මුදවන මූලධර්මයයි. ඔහුගේ ප්‍රශ්නය අපගේ විවිධ තත්වයන් තුළ අප සැමට ආශිර්වාද කළ හැකි මාර්ගෝපදේශයක් සහ ප්‍රමිතියක් සාරාංශ කරනවා.

දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට කැමැත්තෙන් සිටීමේ මූලධර්මය

මාස හයකට පෙර පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඊශ්‍රායෙල් යන වචනයේ තේරුම පිළිබඳ නව අවබෝධයක් ලබාගැනීමට පුලුවන් වූ නිසා, සභාපති නෙල්සන් තම පෞද්ගලික ප්‍රීතිය විස්තර කළා. “ඊශ්‍රායෙලය යන නාමයෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේට ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ජයගැනීමට ඉඩදීමට කැමති පුද්ගලයෙකු පිළිබඳව” බව, ඔහු දැනගත් විට ඔහුගේ ආත්මය ප්‍රබෝධමත් වූ බව ඔහු අපිට කිව්වා.10 පසුව සභාපති නෙල්සන් මෙම අදහසින් උපුටාගත් වැදගත් ඇඟවුම් ගණනාවක් හඳුනාගත්තා.

දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම පිළිබඳ ඔහුගේ පණිවිඩය, අපට අපවම පාලනය කරගත හැකිවන පරිදි නිවැරදි මූලධර්ම ඉගැන්වීමේ විශිෂ්ට උදාහරණයක්. ඒවගේම සබත් දවස ප්‍රීතිමත් බවට පත්කිරීම පිළිබඳව ඔහු සිය පණිවුඩයේ සඳහන් කළාක් මෙන්, සභාපති නෙල්සන් අප සෑම කෙනෙකුටම මගපෙන්වීම් හා ප්‍රමිති ලෙස සේවය කරන ප්‍රතිපත්ති පදනම් කරගත් ප්‍රශ්න ඉදිරිපත් කළා.

“ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද?”

ඔහු තවත් කිව්වා:

“එවැනි කැමැත්තක් ඔබට ආශිර්වාද කරන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔබ අවිවාහක නම් සහ සදාකාලික සහකරුවෙක් සොයන්නේ නම්, ‘ඊශ්‍රායෙලයේ’ වීමට ඇති ඔබේ ආශාව, කාව හා කෙසේ දැන හඳුනාගන්නවාද යන්න තීරණය කිරීමට ඔබට උපකාරී වෙයි.

“ඔබ විවාහ වී සිටින්නේ ඔහුගේ හෝ ඇයගේ ගිවිසුම් කඩකළ සහකරුවෙකු සමඟ නම්, ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට ඔබ දක්වන කැමැත්ත දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් නොවෙනස්ව පවතින්නට සලස්වයි. ගැලවුම්කරුවාණන් ඔබේ බිඳුණු හදවත සුවකරයි. ඔබ ඉදිරියට යා යුතු ආකාරය දැනගැනීමට උත්සාහ කරන විට ස්වර්ගයන් විවෘත වෙයි. ඔබ ඉබාගාතේ යෑමට හෝ පුදුම වීමට අවශ්‍ය නෑ.

“ඔබට ශුභාරංචිය ගැන හෝ සභාව ගැන අවංක ප්‍රශ්න තිබේ නම්, දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට ඔබ තෝරාගන්නා විට, ඔබේ ජීවිතයට මඟපෙන්වන සහ ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමට ඔබට උපකාර වන පරම සදාකාලික සත්‍යයන් සොයාගැනීමට සහ තේරුම්ගැනීමට ඔබව යොමුකෙරෙයි.

“ඔබ පරීක්ෂාවන්ට මුහුණදෙන විට—ඔබ වෙහෙසට පත්ව සිටින විට හෝ තනිවම හෝ වරදවා වටහාගෙන ඇති විට එම පරීක්ෂාවන් පැමිණියද—දෙවියන්වහන්සේට ඔබේ ජීවිතයේ ජයගැනීමට ඉඩදෙන්නට තෝරාගන්නා විට සහ ඔබව ශක්තිමත් කරන ලෙස උන්වහන්සේගෙන් අයැද සිටින විට ඔබට රැස්විය හැකි ධෛර්යය ගැන සිතා බලන්න.

“ඔබේ ලොකුම ආශාව වන්නේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම නම්, ඊශ්‍රායෙලයේ කොටසක් වීම නම්, බොහෝ තීරණ පහසු වෙයි. බොහෝ ගැටළු ගැටළු නොවන ඒවා බවට පත්වේ! ඔබම ලස්සනට සැරසෙන්නේ කෙසේදැයි ඔබ දන්නවා. නැරඹිය යුතු හා කියවිය යුතු දේ, ඔබේ කාලය ගතකළ යුත්තේ කොතැනද, සහ ඇසුරු කළ යුත්තේ කා සමඟද යන්න ඔබ දන්නවා. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය දේ ඔබ දන්නවා. ඔබ සැබවින්ම වීමට කැමති පුද්ගලයා කවුරුද කියා ඔබ දන්නවා.”11

දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම යන මූලධර්මය මගින් බලපෑමට ලක්වන තීරණාත්මක තීරණ සහ ජීවිත අත්දැකීම් ගණන සැලකිල්ලට ගන්න: ආදරය කිරීම සහ විවාහය, ශුභාරංචි ප්‍රශ්න සහ උත්සුකයන්, පරීක්ෂාවන්, පෞද්ගලික ඇඳුම් පැළඳුම්, නැරඹිය යුතු හා කියවිය යුතු දේ, කාලය ගතකළ යුත්තේ කොතැනද, කා සමඟද, ආශ්‍රය කළ යුත්තේ කා සමඟද, සහ තවත් බොහෝ දේ. සභාපති නෙල්සන්ගේ ආනුභාව ලත් ප්‍රශ්න අපගේ ජීවිතයේ සෑම අංශයකටම මගපෙන්වන සරල ප්‍රතිපත්තියක් අවධාරණය කරන අතර අපට අපවම පාලනය කරගත හැකි වීමට සලස්වනවා.

ඉතා කුඩා සුක්කානමක්

ජෝසෆ් ස්මිත්ව ලිබර්ටි බන්ධනාගාරයේ සිරගත කළ විට, සභාවේ සාමාජිකයින්ට සහ නායකයින්ට උපදෙස් ලිපි ලියා ඔහු ඔවුන්ට මෙසේ මතක්කර දුන්නා, “සුළඟ හා රළ සමඟ නෞකාව හරවා සමබර කිරීමට, කුණාටුවකදී ඉතා කුඩා සුක්කානමක් මගින් ඉතා විශාල නෞකාවකට බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත.”12

රූපය
නෞකාවේ සුක්කානම

“කුඩා සුක්කානමක්” යනු රෝදයක් හෝ ටිලර් යන්ත්‍රයක් වන අතර නැවක් හෝ බෝට්ටුවක් පැදවීමට භාවිතා කරන උපකරණයක්. ඒවගේම “සුළඟ හා රළ සමග සමබර වීම” යන්නෙන් අදහස් කරන්නේ නැවක් එහි සමබරතාවය පවත්වා ගෙන යන අතර කුණාටුවකදී පෙරළී නොයාමයි.

රූපය
කුණාටුවක නැවක් හැරවීම

මටත් ඔබටත් ශුභාරංචි මූලධර්ම කියන්නේ නැවකට කුඩා සුක්කානමක් වගේ. නිවැරදි මූලධර්ම මගින් අපගේ මාර්ගය සොයාගැනීමටත්, අපගේ සමබරතාවය නැති කරනොගෙන එමෙන්ම අන්ධකාරයේ හා ව්‍යාකූලත්වයේ පසුකාලීන කුණාටු වලට වැටෙන්නේ නැතිව, ස්ථිරව, නොසෙල්වී හා නිශ්චල ලෙස සිටීමටත් අපට හැකියාව දෙනවා.

ස්වාමින්වහන්සේගේ අධිකාරී බලයලත් සේවකයින්ගෙන් සදාකාලික මූලධර්ම ගැන ඉගෙනගැනීමට මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපට බොහෝ ආශිර්වාද ලැබී තිබෙනවා. දැන්, අපගේ පුද්ගලික වගකීම වන්නේ ඔවුන් සාක්ෂි දුන් සත්‍යතාවන්ට අනුව අප අපවම පාලනය කරගැනීමයි.13

සාක්ශිය

සභාපති එස්‍රා ටැෆ්ට් බෙන්සන් මෙහෙම ඉගැන්වුවා, “ඉදිරි මාස හය සඳහා, [ලියාහෝනා] හි ඔබේ සම්මන්ත්‍රණ පිටපත ඔබේ සම්මත කෘති අසල තබාගෙන නිතරම එය දෙසට යොමුවන්න.”14

මගේ ප්‍රාණයේ සියලු ශක්තියෙන්, ධර්මිෂ්ඨකමේ මූලධර්ම ඉගෙනගැනීමට, ජීවත්වීමටත් එමෙන්ම ඒවාට ආදරය කිරීමටත් මම අප සැමට ආරාධනා කරනවා. ගිවිසුම් මාවතේ ඉදිරියට යාමට සහ “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමටත්, එමෙන්ම උන්වහන්සේගේ හස්තය එළිදරව් වීමට දැකීමටත්” “අපගේ බලයේ ඇති සියල්ල සතුටු සිතින් කිරීමට” හැකිවන්නේ ශුභාරංචි සත්‍යයන් තුළින් පමණයි.15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම හා ප්‍රතිපත්ති අපගේ ජීවිත සඳහා සහ ලෞකිකත්වයේ හා සදාකාලිකත්වයේ ප්‍රීතිය විඳදරාගැනීමට හැකි පදනම් ප්‍රභවයන් බව මම දන්නවා. ඒවගේම මෙම මහිමාන්විත පාස්කු ඉරුදින, මෙම සත්‍යයන් ගලා එන දිය උල්පත වන්නේ අපගේ ගැලවුම්කරුවාණන් බව මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. John Taylor, in Teachings of Presidents of the Church: Joseph Smith (2007), 284.

  2. දහම සහ ගිවිසුම් 42:12.

  3. දහම සහ ගිවිසුම් 88:78.

  4. ඇදහිල්ලේ කරුණු 1:1 බලන්න.

  5. ඇදහිල්ලේ කරුණු 1:4 බලන්න.

  6. දහම සහ ගිවිසුම් 89:3–4.

  7. Dallin H. Oaks, “The Aaronic Priesthood and the Sacrament,” Liahona, Jan. 1999, 45–46.

  8. See Russell M. Nelson, “The Sabbath Is a Delight,” Liahona, May 2015, 129–32.

  9. Russell M. Nelson, “The Sabbath Is a Delight,” 130; emphasis added.

  10. රසල් එම් නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92.

  11. රසල් එම් නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” 94.

  12. දහම සහ ගිවිසුම් 123:16.

  13. සභාපති හැරල්ඩ් බී. ලී (1899-1973) සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ සම්මන්ත්‍රණ සාකච්ඡා වලට “ඉදිරි මාස හය තුළ ඔවුන්ගේ ඇවිදීමට හා කතා කිරීමට මගපෙන්වන්නා” වීමට ඉඩදෙන ලෙසයි. ඔහු මෙසේ පැහැදිලි කළා, “මේ දවසේදී මේ ජනයාට හෙළිකිරීමට සුදුසු යැයි ස්වාමින්වහන්සේ දකින වැදගත් කාරණා මේවායි”

    සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් (1895-1985) ද ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ වල වැදගත්කම අවධාරණය කළා. ඔහු මෙසේ පැවසුවා, “සභාවේ සම්මත කෘති වලින් පරිබාහිර කිසිඳු ලියවිල්ලකට හෝ පොතකට ඔබේ පුද්ගලික පුස්තකාල රාක්ක වල එතරම් ප්‍රමුඛ ස්ථානයක් නොතිබිය යුතුයි—ඒවායේ වාග්ලංකාරයේ විශිෂ්ටත්වය හෝ පිරිනැමීමේ දක්ෂතාවය නිසා නොවේ නමුත් ඒවායේ ඇති සදාකාල ජීවනයට මගපෙන්වන සංකල්ප සඳහායි” (In the World but Not of It, Brigham Young University Speeches of the Year [May 14, 1968], 3).

    සභාපති තෝමස් එස්. මොන්සන්ද (1927–2018) සම්මන්ත්‍රණ කතාවන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම යළිත් තහවුරු කළා. ඔහු මෙහෙම කිව්වා: “මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අප අසා ඇති දේ අපි බොහෝ කලක් මතක තබාගනිමු. මෙම ලබාදී ඇති පණිවිඩ ලබන මාසයේ එන්සයින් සහ ලියාහෝනා සඟරා වල මුද්‍රණය කෙරෙයි. ඒවා අධ්‍යයනය කර ඒවායේ ඉගැන්වීම් ගැන මෙනෙහි කරන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා” (“Until We Meet Again,” Liahona, Nov. 2008, 106).

  14. Ezra Taft Benson, “Come unto Christ, and Be Perfected in Him,” Ensign, May 1988, 84.

  15. දහම සහ ගිවිසුම් 123:17.