ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ දක්වා ඇති ඉරණම දෙසට ලෞකිකත්වය හරහා වූ අපගේ ගමනට අත්‍යවශ්‍ය සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉටුකර තිබෙනවා.

මීට වසර ගණනාවකට පෙර සෙනසුරාදා සවසක පැවති රැස්වීමකදී මට කාන්තාවක් මුණගැසුණා, ඇය කියා සිටියේ වසර ගණනාවක අක්‍රියතාවයෙන් පසු නැවත සභාවට පැමිණෙන ලෙස ඇගේ මිතුරියන් ඉල්ලා සිටි නමුත්, ඇයට එසේ පැමිණීමට හේතුවක් ගැන සිතාගත නොහැකි බවයි. ඇයව ධෛර්යමත් කිරීම සඳහා, මම මෙසේ කිව්වා, “ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් කර ඇති සියලු දේ සලකා බැලූ විට, උන්වහන්සේට නමස්කාර කිරීමට හා උන්වහන්සේට සේවය කිරීමට නැවත පැමිණීමට ඔබට බොහෝ හේතු තිබෙනවා.” “උන්වහන්සේ මා වෙනුවෙන් කළේ කුමක්ද?” යනුවෙන් ඇය පිළිතුරු දුන් විට මා මවිතයට පත්වුණා.

රූපය
දෙවන පැමිණීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප එක් එක්කෙනා වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද? අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ දක්වා ඇති ඉරණම දෙසට ලෞකිකත්වය හරහා වූ අපගේ ගමනට අත්‍යවශ්‍ය සියල්ල උන්වහන්සේ ඉටුකර තිබෙනවා. එම සැලැස්මේ ප්‍රධාන අංග හතරක් ගැන මම කතා කරන්නම්. මේ සෑම දෙයකම, ප්‍රධාන චරිතය වෙන්නේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. මේ සියල්ලට පෙළඹවීම වන්නේ “දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි, කුමක් හෙයින්ද එය මනුෂ්‍ය පුත්‍රයන්ගේ හදවත් මතට වගුරුවනු ලබයි; එසේහෙයින් එය සියලු දේවලට වැඩියෙන් ආශාවිය යුතුය” (1 නෙපි 11:22).

I.

පාස්කු ඉරිදා දිනට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ගැන මුලින්ම කථා කිරීම කාලෝචිතයි. මරණයෙන් නැවත නැගිටීම අපගේ ඇදහිල්ලේ සැනසිලිදායක පෞද්ගලික කුළුණයි. එය අපගේ දහමට අර්ථයක්, අපගේ හැසිරීමට පෙළඹවීමක්, සහ අපගේ අනාගතයට බලාපොරොත්තුවක්, එක් කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව බයිබලය හා මොර්මොන්ගේ පොත විස්තර කරන බව අප විශ්වාස කරන හෙයින්, මේ පොළොවේ මෙතෙක් ජීවත් වූ සියලුම මනුෂ්‍යයන්ටද ඒ හා සමාන නැවත නැඟිටීමක් පැමිණෙනු ඇතැයි යන ශුද්ධලියවිලි ඉගැන්වීම් රාශියක් අපි පිළිගන්නවා.1 යේසුස්වහන්සේ ඉගැන්වූ පරිදි, “මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය” (යොහාන් 14:19). එමෙන්ම උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් මෙසේ ඉගැන්වූවා “එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය” සහ “මරණීයවූ මෙය අමරණීය භාවයටත් පැමිණෙන්නේය” (1 කොරින්ති 15:52, 54).

රූපය
මරණයෙන් නැවත නැගිටීම

නමුත් මරණයෙන් නැවත නැඟිටීම අපට අමරණීයභාවය පිළිබඳ සහතිකයට වඩා වැඩි යමක් ලබාදෙනවා. එය අප මෙම ලෞකික ජීවිතය දෙස බලන ආකාරය වෙනස් කරනවා.

මරණයෙන් නැවත නැඟිටීම අප එකිනෙකා හා අප ආදරය කරන අය මුහුණදෙන ලෞකික අභියෝග දරාගැනීමට ඉදිරිදර්ශනයක් සහ ශක්තිය ලබාදෙනවා. උපතේදී අපට ඇති ශාරීරික, මානසික හෝ චිත්තවේගීය ඌනතාවයන් හෝ ලෞකික ජීවිතයේ අප අත්කරගන්නා එවැනි දේ දෙස බැලීමට එය වෙනස් ආකාරයක් ලබාදෙනවා. ශෝකයන්, අසාර්ථකත්වයන්, සහ කලකිරීම් දරාගැනීමට එය අපට ශක්තිය ලබාදෙනවා. අප සෑම කෙනෙකුටම සහතික කළ නැවත නැඟිටීමක් ඇති හෙයින්, මෙම ලෞකික ඌනතාවයන් හා විරුද්ධවාදීකම් තාවකාලික බව අපි දන්නවා.

අපගේ ලෞකික ජීවිත කාලය තුළ දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට නැවත නැඟිටීම අපට ප්‍රබල දිරිගැන්වීමක් ලබාදෙනවා. අප මළවුන්ගෙන් නැඟිට අපගේ පුරෝකථනය කළ අවසාන විනිශ්චයට යන විට, අපට අවශ්‍ය වන්නේ නැවත නැඟිටුවනු ලබන ජීවීන්ට පොරොන්දු වූ හොඳම ආශිර්වාද සඳහා සුදුසුකම් ලැබීමයි.2

රූපය
අපට පවුල් ලෙස සදාකාලයටම ජීවත් වෙන්න පුලුවන්.

ඊට අමතරව, මරණයෙන් නැවත නැඟිටීමට අපගේ පවුලේ සාමාජිකයන් වන—ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවන්, දෙමාපියන් සහ පසු පරම්පරාව—සමඟ සිටීමට අවස්ථාවක් ඇතුළත් විය හැකිය යන පොරොන්දුව ලෞකිකත්වය තුළ අපගේ පවුලේ වගකීම් ඉටුකිරීමට ප්‍රබල දිරිගැන්වීමක්. එය අපට මේ ජීවිතයේ එකට ආදරයෙන් ජීවත් වීමට උපකාරී වන අතර, එය අපගේ ආදරණීයයන්ගේ මරණයන් වලදී අපව සනසනවා. මෙම ලෞකික වෙන්වීම් තාවකාලික බව අපි දන්නවා. අනාගත ප්‍රීතිමත් නැවත එක්වීම් සහ ආශ්‍රයන් අපි අපේක්ෂා කරනවා. අප බලා සිටින අතරතුර මරණයෙන් නැවත නැඟිටීම අපට බලාපොරොත්තු සහිතව සහ ඉවසිලිවන්තව සිටීමට ශක්තියක් සපයනවා. නොමේරූ ලෙස හැඳින්විය හැකි මරණයකදී පවා—එය අපගේම මරණයට මුහුණදීමට ධෛර්යයෙන් හා අභිමානයෙන් යුතුව අපව සූදානම් කරනවා.

මරණයෙන් නැවත නැඟිටීමේ මෙම සියලු බලපෑම් “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?” යන ප්‍රශ්නයට පිළිතුරේ පළමු කොටසයි.

II.

අපගෙන් බොහෝ දෙනෙකුට, අපගේ පව් වලට සමාව ලැබීමේ අවස්ථාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙහි ප්‍රධාන අරුතයි. නමස්කාරයේදී, අපි ගෞරවයෙන් යුතුව මෙසේ ගායනා කරනවා:

උන්වහන්සේගේ වටිනා රුධිරය උන්වහන්සේ නොමිලේ වැගිරෙව්වේය;

උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ නොමිලේ ලබාදුන්නේය,

වරද සඳහා පාපයෙන් තොර පූජාවක්,

මියයන ලෝකය බේරා ගැනීමටයි.3

පසුතැවිලි වන සියලු මනුෂ්‍යයන්ගේ පව් උදෙසා පූජාවක් බවට පත්වීම සඳහා අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් තේරුම්ගත නොහැකි දුක් විඳදරාගත්තා. මෙම වන්දිගෙවීමේ පරිත්‍යාගය, නපුරේ අවසාන මිනුම වන, මුළු ලෝකයේම පව් සඳහා, කැළැල් නැති පිරිසිදු බැටළු පැටවාණන් වන මහා යහපත ඉදිරිපත් කළා. අපගේ සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපට නැවත පෙනීසිටිය හැකි වන පරිදි, අප සෑම කෙනෙකුටම අපගේ පෞද්ගලික පාපයන් වලින් පවිත්‍ර වීමට එය එම දොර විවර කළා. මෙම විවෘත දොර දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට වලංගුයි. නමස්කාරයේදී, අපි මෙසේ ගායනා කරනවා:

උන්වහන්සේ සිය දිව්‍ය සිංහාසනයෙන් බැස එනු ඇතැයි මම පුදුම වෙනවා

මගේ තරම් කැරලිකාර හා ආඩම්බර වූ ප්‍රාණයක් බේරාගැනීමට,

උන්වහන්සේ මා වැනි තවත් අයටද තම ඉමහත් ප්‍රේමය ප්‍රකාශ කළ යුතු නිසාවෙන්.4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙහි විශ්මය ජනක හා තේරුම්ගත නොහැකි බලපෑම පදනම් වී ඇත්තේ අප සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේ දක්වන ප්‍රේමය මතයි. සෑම මනුෂ්‍යයෙකුගේම “ප්‍රාණයන්ගේ වටිනාකම”—“දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශ්‍රේෂ්ඨය”—යන ඔහුගේ ප්‍රකාශය එය සනාථ කරනවා (දහම සහ ගිවිසුම් 18:10). ස්වර්ගයේ සිටින අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් මේ ආකාරයට පැහැදිලි කළා: “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහාන් 3:16). නූතන එළිදරව් වලින් අපගේ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා උන්වහන්සේ “ලෝකයට කෙතරම් ප්‍රේම කළේදයත් එනම් සිය ස්වකීය ජීවිතය පූජා කළ සේක, එනම් විශ්වාස කරන්නාවූ සියල්ලන් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීමටය” (දහම සහ ගිවිසුම් 34:3).

එසේනම්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්” වන මොර්මොන්ගේ පොත “පරිපූර්ණ” වීමට හා “ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිශුද්ධ වීමට” අප “අපගේ සියලු බලයෙන්, මනසින් හා ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කළ යුතුය” යන ඉගැන්වීමෙන් අවසන් වීම පුදුමයක්ද? (මොරෝනි 10:32–33). ප්‍රේමයෙන් පෙළඹවීම ලැබූ උන්වහන්සේගේ සැලැස්ම ප්‍රේමයෙන් ලැබිය යුතුයි.

III.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අප වෙනුවෙන් කර ඇති වෙනත් දේවල් මොනවාද? තම අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් තුළින් සහ උන්වහන්සේගේ පෞද්ගලික දේවසේවය තුළින් ගැලවීමේ සැලැස්ම යේසුස්වහන්සේ අපට ඉගැන්වූවා. මෙම සැලැස්මෙහි මැවීම, ජීවිතයේ අරමුණ, විරුද්ධත්වයේ අවශ්‍යතාවය සහ තෝරාගැනීමේ නිදහස යන ත්‍යාගය ඇතුළත් වෙනවා. අප කීකරු විය යුතු ආඥාවන් සහ ගිවිසුම් සහ අපගේ ස්වර්ගීය දෙමාපියන් වෙත අපව නැවත ගෙන යාම සඳහා අප අත්විඳිය යුතු නියෝගයන් උන්වහන්සේ අපට ඉගැන්නුවා.

රූපය
කන්ද උඩ දේශනාව

උන්වහන්සේගේ ඉගැන්වීම් අපි බයිබලයෙන් කියවනවා: “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” (යොහාන් 8:12). ඒවගේම නූතන එළිදරව් වලින් අපි මෙසේ කියවනවා: “බලන්න, අන්ධකාරයේ සැඟවිය නොහැකි ආලෝකයද මැවූ මම, … යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි” (දහම සහ ගිවිසුම් 14:9) අපි උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන්නේ නම්, උන්වහන්සේ මේ ජීවිතයේ අපගේ මාවත ආලෝකවත් කරන අතර ඊළඟට අපගේ ඉරණම සහතික කරනවා.

උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා, උන්වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික ලෝකයේ දේවල් කෙරෙහි අවධානය යොමුකරනවා වෙනුවට, උන්වහන්සේ කෙරෙහි අවධනය යොමුකරන ලෙසයි. ජීවනයේ ආහාරය පිළිබඳ උන්වහන්සේගේ මහා දේශනාවේදී, යේසුස්වහන්සේ ඉගැන්වූයේ අප ලෝකයේ දේවල් කෙරෙහි වැඩි ඇල්මක් දක්වන අය අතර නොසිටිය යුතු බවයි—එනම් ඒ පොළොවේ ජීවය පවත්වා ගෙන යන නමුත් සදාකාල ජීවනයට පෝෂණය නොදක්වන දේවලුයි.5 යේසුස්වහන්සේ නැවත නැවතත් මෙසේ අපට ආරාධනා කළා “මා අනුව එන්න.”6

IV.

අවසාන වශයෙන්, මොර්මොන්ගේ පොත උගන්වන්නේ උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි කොටසක් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරික්ෂාවන්ද විඳිමින් ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ වේදනාවද, ලෙඩරෝගද ගන්නා බව කී වචනය සම්පූර්ණ වන පිණිසය” (ඇල්මා 7:11).

අපගේ ගැලවුම්කරුවාණන් “සෑම ආකාරයකම” මෙම ලෞකික අභියෝගයන්ට මුහුණදුන්නේ ඇයි? ඇල්මා මෙසේ පැහැදිලි කළා, “තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, එනම් මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට [එයින් අදහස් කරන්නේ සහනය හෝ උපකාරය ලබා දීමයි] දැනගන්නා පිණිසය” (ඇල්මා 7:12).

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

අපගේ ගැලවුම්කරුවාණන්ට අපගේ පරීක්ෂාවන්, අපගේ අරගලයන්, අපගේ සිත් වේදනා, සහ අපගේ දුක් වේදනා දැනෙනවා, එමනිසා උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි කොටසක් ලෙස උන්වහන්සේ ඒවා කැමැත්තෙන්ම අත්වින්දා. වෙනත් ශුද්ධලියවිලි පද මෙය සනාථ කරනවා. අලුත් ගිවිසුම ප්‍රකාශ කරන්නේ මෙසේයි, “මක්නිසාද උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන” (හෙබ්‍රෙව් 2:18). යෙසායා මෙසේ උගන්වනවා, “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි: … මම නුඹ ශක්තිමත්කොට, එසේය, නුඹට උපකාර කරන්නෙමි” (යෙසායා 41:10). අපගේ ගැලවුම්කරුවාණන්ද එවැනි වේදනාවක් අත්විඳ ඇති බවත්, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් එය දරාගැනීමට අපට ශක්තිය ලබාදෙන බවත්, ඕනෑම ආකාරයක ලෞකික ආබාධයකින් පෙළෙන සියල්ලන්ම මතකතබා ගතයුතු කරුණක්.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා අපගේ තුන්වන ඇදහිල්ලේ කරුණේ එය මෙසේ සාරාංශ කොට තිබෙනවා: “ශුභාරංචියේ නීතීන්ට සහ නියෝගයන් වලට කීකරු වීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සියලු මනුෂ්‍යය වර්ගයාටම ගැලවීම ලැබිය හැකි බව අපි විශ්වාස කරමු.”

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් කළේ කුමක්ද?” ඒ සහෝදරිය ඇහුවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම යටතේ, උන්වහන්සේ “ස්වර්ගයන් සහ පොළොව මැව්වා” (දහම සහ ගිවිසුම් 14:9) එවිට අපගේ දිව්‍යමය ඉරණම සෙවීමට අවශ්‍ය ලෞකික අත්දැකීම් අප සෑම කෙනෙකුටම ලබාගත හැකිවනු පිණිසයි. පියාණන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම මරණයෙන් ජයගත්තේ අප සෑම කෙනෙකුටම අමරණීයභාවය සහතික කිරීම සඳහායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව අපට අපගේ පව් ගැන පසුතැවිලි වී අපගේ ස්වර්ගීය නිවසට පිරිසිඳුව නැවත පැමිණීමට අවස්ථාව ලබාදෙනවා. උන්වහන්සේගේ ආඥාවන් සහ ගිවිසුම් අපට මාර්ගය පෙන්වන අතර, එම ඉරණම කරා ලඟාවීමට අත්‍යවශ්‍ය නියෝගයන් ඉටුකිරීමට අධිකාරී බලය උන්වහන්සේගේ පූජකත්වයෙන් ලබාදෙනවා. ඒවගේම අපගේ දුක් පීඩා වලදී අපව ශක්තිමත් කිරීමට හැක්කේ කෙසේද යන්න උන්වහන්සේට දැනගැනීම පිණිස, අපගේ ගැලවුම්කරුවාණන් කැමැත්තෙන්ම සියලු ලෞකික වේදනාවන් සහ දුර්වලතා වින්දා.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ සියල්ල කළේ දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට උන්වහන්සේ ප්‍රේම කරන නිසයි. ආදරය යනු ඒ සියල්ල සඳහා පෙළඹවීමක් වන අතර, එය මුල සිටම එසේ වුණා. දෙවියන්වහන්සේ නූතන එළිදරව්වෙන් අපට මෙසේ පවසා තිබෙනවා “උන්වහන්සේ … ; පුරුෂයාද ස්ත්‍රියද, තමන්වහන්සේගේ ප්‍රතිරූපයෙන් සහ තමන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ ඔවුන් මැවූ සේක … උන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කළ යුතු බවටත් ඔවුන් හට ආඥා කළ සේක” (දහම සහ ගිවිසුම් 20:18–19).

මේ සියල්ල ගැන මම සාක්ෂි දෙන අතර, අපගේ ගැලවුම්කරුවාණන් අප එක් එක්කෙනා වෙනුවෙන් කර ඇති දේ අප සැවොම සිහිපත් කරන ලෙසත්, අප සියල්ලන්ම උන්වහන්සේට ප්‍රේම කර සේවය කරන ලෙසත් මම යාච්ඤා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.