ප්‍රධාන සම්මන්ත්‍රණය
ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

ස්වාමින්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම හා උන්වහන්සේ මෙන් ඉගැන්වීම අප සෑම කෙනෙකුගේම වගකීම අප සෑම කෙනෙක් මතම තිබෙනවා.

සුවිශේෂී ගුරුවරු

මීට මාස කිහිපයකට පෙර, මගේ උපන් ගම වන නෙවාඩා, ඕවර්ටොන් හි හිටපු පංතියේ මිතුරෙක්, මෑතකදී ඇගේ 98 වන උපන්දිනය සැමරූ අපගේ ආදරණීය බාලාංශ ගුරුවරිය වෙනුවෙන් නත්තල් තෑග්ගක් එකතු වී දෙමු කියා යෝජනා කළා. කරුණාවන්ත වීමට, හොඳ නින්දක ඇති වැදගත්කම, කිරි සහ ග්‍රැහැම් විස්කෝතු වල ප්‍රීතිය, හා එකිනෙකාට ආදරය කිරීමට ඇය අපට ඉගැන්නුවා. ඩේවිස් සහෝදරිය, මෙතරම් පුදුමාකාර ගුරුවරියක් වීම ගැන, ඔබට ස්තුතියි.

රූපය
ඩේවිස් සහෝදරිය

මීට වසර ගණනාවකට පෙර රික්ස් විද්‍යාලයට යමින් සිටියදී මට තවත් සුවිශේෂී ගුරුවරයෙක් සිටියා. මම ධර්මදූතයක සේවය කිරීමට සූදානම් වෙමින් සිටි අතර ධර්මදූතයට සූදානම් කිරීමේ පන්තියකට සහභාගී වීම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතුවා. මා අත්විඳි දේ මගේ ජීවිතය වෙනස් කළා.

පංතියේ පළමු දිනයේ සිටම, මා අතිදක්ශ ගුරුවරයෙකු සමග සිටින බව මට වැටහී ගියා. ඒ ගුරුවරයා තමයි සහෝදර එෆ්. මෙල්වින් හාම්මොන්ඩ්. සහෝදර හාම්මොන්ඩ් ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බවත් ඔහු මට ප්‍රේම කරන බවත් මම දැන සිටියා. මට එය ඔහුගේ මුහුණේ දැකගත හැකි වූ අතර එය ඔහුගේ කටහඬින් අසන්නට පුලුවන් වුණා. ඔහු ඉගැන්වූ විට, ආත්මයාණන්වහන්සේ මගේ මනස ආලෝකවත් කළා. ඔහු දහම ඉගැන්වූ නමුත් එය තනිවම මා විසින් ඉගෙනගැනීමට ඔහු මට ආරාධනා කළා. ස්වාමින්වහන්සේගේ දහම මා වෙනුවෙන් ඉගෙනගැනීමේ මගේ වගකීම පැහැදිලිව දැකගැනීමට එම ආරාධනය මට උපකාර වුණා. ඒ අත්දැකීම මාව සදහටම වෙනස් කළා. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම ගැන සහෝදර හාම්මොන්ඩ් ඔබට ස්තූතියි.

සහෝදර සහෝදරියනි, නිවසේදී සහ සභාවේදී මේ ආකාරයේ ඉගෙනීමේ අත්දැකීම් ලබාගැනීමට සෑම කෙනෙකුම සුදුසුයි.

එන්න, මා අනුගමනය කරන්න හි හැඳින්වීම මගින් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ඉගැන්වීමට ඉටුකළ හැකි දේ පිළිබඳ දර්ශනයක් ලබාදෙනවා. එය මෙසේ කියනවා, “සියලු ශුභාරංචි ඉගෙනීමේ හා ඉගැන්වීමේ පරමාර්ථය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අපගේ හැරීම ගැඹුරු කිරීම සහ උන්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කිරීමයි. … අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන සහ හැරීමේ ආශ්චර්යට තුඩුදෙන ආකාරයේ ශුභාරංචි ඉගෙනීම එකවරම සිදුවන්නේ නෑ. එය පන්ති කාමරයෙන් ඔබ්බට පුද්ගලයෙකුගේ හදවත සහ නිවස දක්වා විහිදෙනවා.”1

පුරාණ අමෙරිකාවේදී ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය බලපෑමෙන් යුතුව හා පුළුල්ව පැවති බව ශුද්ධලියවිලි වල මෙසේ දැක්වෙනවා “ජනතාව සියල්ලෝම මුළු දේශයේ තලය මතුපිට නෙපිවරුන් සහ ලාමන්වරු දෙපක්ෂයම ස්වාමින්වහන්සේ වෙතට හරවනු ලැබූහ, තවද එහි විරුද්ධවාදිකම් සහ විවාදයන් ඔවුන් අතර නොවීය, තවද සෑම මනුෂ්‍යයෙකුම එකිනෙකා සමග සාධාරණව ගණුදෙනු කළෝය.”2

අපගේ ඉගැන්වීම් අප ආදරය කරන අයට ඒ හා සමාන බලපෑමක් ඇතිකරන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් මෙන් අපට ඉගැන්විය හැක්කේ කෙසේද සහ වඩාත් ගැඹුරින් පරිවර්තනය වීමට අන් අයට උපකාර කරන්නේ කෙසේද? යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට මට ඉඩදෙන්න.

ගැලවුම්කරුවාණන්ව අනුකරණය කරන්න

පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, ප්‍රධාන ගුරුවරයා ගැන ඔබට ඔබ වෙනුවෙන් ඉගෙනගත හැකි සියල්ල ඔබ මත ගන්න. උන්වහන්සේ අන් අයට ප්‍රේමය පෙන්වූයේ කෙසේද? උන්වහන්සේ ඉගැන්වූ විට ඔවුන්ට හැඟුණේ කුමක්ද? උන්වහන්සේ ඉගැන්වූයේ මොනවාද? උන්වහන්සේ ඉගැන්වූ අය ගැන උන්වහන්සේගේ අපේක්ෂාවන් වූයේ මොනවාද? ඔබ මෙවැනි ප්‍රශ්න ගවේෂණය කිරීමෙන් පසුව, උන්වහන්සේගේ ක්‍රමයට සමාන කිරීමට ඔබගේ ඉගැන්වීම් ක්‍රමය තක්සේරු කර සකස් කරන්න.

සභාවේ ශුභාරංචි පුස්තකාල යෙදුමේ සහ ChurchofJesusChrist.org හි බොහෝ ඉගැන්වීම් සම්පත් සපයනවා. එවැනි එක් සම්පතක් වන්නේ ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමයි. එහි සෑම වචනයක්ම කියවා අධ්‍යයනය කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඔබේ ඉගැන්වීම් වලදී ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට ඔබ දරන උත්සාහයට එහි වූ මූලධර්ම උපකාරී වෙනවා.

පවුල් වල බලයට ඉඩදෙන්න

මගේ මීළඟ යෝජනාව මාස කිහිපයකට පෙර මා හිතවත් මිතුරෙකු බැලීමට ගිය අත්දැකීමකින් නිදර්ශනය කරන්නට පුලුවන්. පසුබිමේ සිටින ඔහුගේ බිරිඳ යමෙකු සමඟ කතා කරන ආකාරය මට ඇසුණා, ඒ නිසා මම ඔහුට ඔහුගේ පවුල වෙතට යාමට සලස්වමින් ඉක්මනින් සමාව අයැද සිටියා.

පැයකට පමණ පසුව ඔහුගේ ආදරණීය බිරිඳගෙන් මට මෙම කෙටි පණිවිඩය ලැබුණා: “සහෝදර නිව්මෑන්, මෙහෙ ආවට ස්තූතියි. අපිට ඔබට ඇතුළට ආරාධනා කරන්නට තිබුණා, නමුත් අප කරමින් සිටි දේ ඔබ සමඟ බෙදාගැනීමට මට අවශ්‍යයි. වසංගත කාලයේ සිට අපි සෑම ඉරිදා දිනකම අපගේ වැඩිහිටි දරුවන් සමඟ සූම් හරහා එන්න, මා අනුගමනය කරන්න සාකච්ඡා කරනවා. එය වචනානුසාරයෙන්ම හාස්කම් පෙන්නුම් කරනවා. මම හිතන්නේ අපේ දුව මොර්මොන්ගේ පොත තනිවම කියවූ පළමු අවස්ථාව මෙයයි. අද තිබුනෙ මොර්මොන්ගේ පොතෙහි අවසාන පාඩම වූ අතර ඔබ එන විට අපි එය අවසන් කරමිනුයි සිටියෙ. … එන්න, මා අනුගමනය කරන්න, සූම්, සහ වසංගතයක්, හදවතක් වෙනස් කිරීමට නියම වේලාවට අවස්ථාව ලබාදී ඇති ආකාරය දැනගැනීමට ඔබ උනන්දු වනු ඇතැයි මම සිතුවා. … මේ අමුතු කාලය තුළ කුඩා හාස්කම් කීයක් සිදුවී ඇත්දැයි මට සිතන්නට එය මාව යොමුකළා.”

මෙය මට හැඟෙන්නේ 2018 ඔක්තෝම්බර් මාසයේදී සභාපති රසල් එම්. නෙල්සන් දුන් පොරොන්දුව ඉටුකිරීමක් වශයෙනුයි. නිවස කේන්ද්‍ර කොටගත්, සභා සහය ඇති ශුභාරංචි ඉගෙනීමට “සෑම පවුලක්ම තම හෘද සාක්ෂියට එකඟව හා පරෙස්සමින් තම නිවස ඇදහිල්ලේ අභයභූමියක් බවට පරිවර්තනය කිරීම සඳහා අනුගමනය කරන විට, පවුල්වල බලය මුදාහැරීමේ හැකියාවක් තිබෙනවා. ඔබගේ නිවස ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ඔබ උනන්දුවෙන් කටයුතු කරන විට, කාලයත් සමඟ ඔබේ සබත් දින සැබවින්ම සතුටට කරුණක් වනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට සහ ජීවත් වීමට ඔබේ දරුවන් උනන්දු වෙයි. … ඔබේ පවුලේ වෙනස්කම් නාටකාකාර හා තිරසාර වෙයි.”3 කෙතරම් සුන්දර පොරොන්දුවක්ද!

සැබවින්ම ජීවිතය වෙනස් කිරීමට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරීම සඳහා අපගේ මුළු ප්‍රාණයම සම්බන්ධ වියයුතු අතර අපගේ ජීවිතයේ සෑම අංශයකම ව්‍යාප්ත විය යුතුයි. අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය වන—අපගේ පවුල් හා නිවෙස් කෙරෙහි අවධානය යොමුකළ යුත්තේ මේ නිසායි.

හැරීම පුද්ගලික බව මතක තබාගන්න

මගේ අවසාන යෝජනාව වන්නේ පරිවර්තනය සිදුවිය යුත්තේ අභ්‍යන්තරයේ සිට බව මතක තබාගැනීමයි. කන්‍යාවන් දස දෙනාගේ උපමාවෙන් පැහැදිලි කර ඇති පරිදි, අපට කෙතරම් අවශ්‍ය වුනත්, අපගේ හැරීමේ තෙල් වෙනත් කෙනෙකුට අපට ලබාදීමට නොහැකියි. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූ පරිදි: “මෙම වටිනා තෙල් වරකට එක බිංදුවක් බැගින් ලබාගන්නට අවශ්‍යයි… එය ඉවසිලිවන්තව හා නොපසුබටව කළ යුතුයි. කිසිඳු කෙටි මාර්ගයක් නෑ; අවසන් මොහොතේ සූදානම් වීමේ හැකියාවක් නෑ.”4

එන්න, මා අනුගමනය කරන්න පදනම් වී තිබෙන්නේ ඒ සත්‍ය මතයි. “බලන්න!” කියා පවසමින් නෙපිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමට උපකාර කළ දේවදූතයා සමඟ මම එය සංසන්දනය කරනවා.5 එම දේවදූතයා මෙන්, එන්න, මා අනුගමනය කරන්න, ගැලවුම්කරුවාණන්ව සොයාගෙන උන්වහන්සේට සවන්දීම සඳහා ශුද්ධලියවිලි සහ වර්තමානයේ අනාගතවක්තෘවරුන්ගේ වචන දෙස බැලීමට අපට ආරාධනා කරනවා. දෙවියන්වහන්සේගේ වචනය කියවන විට සහ මෙනෙහි කරන විට නෙපිට මෙන්, අපටද පුද්ගලිකව ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනු ලැබෙයි. එන්න, මා අනුගමනය කරන්න යනු, ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ ජීවමාන ජලයේ ගැඹුරට කිමිදීමට අප එකිනෙකාට උදව් කරන උල්පතයි.

දෙමව්පියන්ගේ වගකීම බොහෝ ආකාර වලින් එයට සමාන වෙනවා. දරුවන්ට දෙමාපියන්ගෙන් බොහෝ දේ උරුම වන නමුත් සාක්ෂියක් යනු එයින් එකක් නොවේ. බීජයක් වැඩීමට අප පොළඹවනවාට වඩා වැඩි යමක් අපේ දරුවන්ට සාක්ෂියක් ලබාදීමට කරන්නට බෑ. නමුත් “වචනය යටපත් කරන” කටු වලින් තොර හොඳ පසකින් පෝෂ්‍යදායී පරිසරයක් අපට ලබාදිය හැකියි. අපගේ දරුවන්ට—සහ අප ආදරය කරන අනෙක් අයට බීජ සඳහා ස්ථානයක් සොයාගැනීමටත්, “වචනය [ඇසීමටත්], එය [තේරුම්ගැනීමටත්]”6 සහ “බීජ හොඳ බව” සොයාගැනීමටත් සුදුසු තත්වයන් නිර්මාණය කිරීමට අපට උත්සාහ කළ හැකියි.7

රූපය
සහෝදර නිව්මෑන් සහ ඔහුගේ පුත් ජැක්

මීට වසර කිහිපයකට පෙර, ගොල්ෆ් ක්‍රීඩාව ආරම්භ වූ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් හි පැරණි ආකාරයට ක්‍රීඩා කිරීමට මගේ පුත් ජැක්ට සහ මට අවස්ථාව ලැබුණා. එය හුදෙක් පුදුම සහගතයි! ආපසු පැමිණි පසු මම එම අත්දැකීමේ විශාලත්වය අන් අයට පැවසීමට උත්සාහ කළා. නමුත් මට නොහැකි වුණා. ඡායාරූප, වීඩියෝ සහ මගේ හොඳම විස්තර මුළුමනින්ම ප්‍රමාණවත් වුණේ නෑ. ශාන්ත ඇන්ඩෘස් හි අපූර්වත්වය දැනගැනීමට කෙනෙකුට ඇති එකම ක්‍රමය එය අත්විඳීම—එනම්, විශාල පොළවල් දැකීම, වාතය ආශ්වාස කිරීම, සුළඟ ඔවුන්ගේ මුහුණේ දැනීම සහ ගුහා වැනි උමං සහ කටු සහිත පඳුරු වල සංචාරය කිරීම, බව මම අවසාන වශයෙන් වටහාගත්තා, එය අපි ඉතා කාර්යක්ෂමව කළා.

එබැවින් එය දෙවියන්වහන්සේගේ වචනය සමඟ ගැලපෙනවා. අපට එය ඉගැන්විය හැකියි, අපට එය දේශනා කළ හැකියි, අපට එය පැහැදිලි කළ හැකියි. අපට ඒ ගැන කතා කළ හැකියි, අපට එය විස්තර කළ හැකියි, අපට ඒ ගැන සාක්ෂි දීමට පවා හැකියි. නමුත් දෙවියන්වහන්සේගේ පරිශුද්ධ වචනය ආත්මයාණන්ගේ බලය තුළින් ස්වර්ගයේ සිට වැටෙන පිනි මෙන් ඔහුගේ හෝ ඇයගේ ප්‍රාණය මතට වෑහෙන බවක් දැනෙන තුරු,8 එය තැපැල්පත් හෝ වෙනත් කෙනෙකුගේ නිවාඩු ඡායාරූප දෙස බැලීම හා සමාන වෙනවා. එහි ඔබම යා යුතුයි. හැරීම යනු පුද්ගලික ගමනක්—එය එක්රැස් වීමේ ගමනක්.

නිවසේදී සහ සභාවේදී උගන්වන සෑම කෙනෙකුටම, අන් අයට තමන්ගේම අධ්‍යාත්මික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය හැකියි. මෙම අත්දැකීම් තුළින්, ඔවුන් ඔවුන් වෙනුවෙන්ම “සියල්ලේ සත්‍යතාව දැනගැනීමට” පැමිණෙයි.9 සභාපති නෙල්සන් මෙහෙම ඉගැන්වූවා, “ඔබට ශුභාරංචිය ගැන හෝ සභාව ගැන අවංක ප්‍රශ්න තිබේ නම්, දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ තෝරාගන්නා විට, ඔබේ ජීවිතයට මඟපෙන්වන සහ ගිවිසුම් මාවතේ ස්ථිරව සිටීමට ඔබට උපකාර වන පරම සදාකාලික සත්‍යයන් සොයාගැනීමට සහ තේරුම්ගැනීමට ඔබව යොමුකෙරෙයි.10

ඉගැන්වීම නාටකාකාර ලෙස වැඩිදියුණු කිරීම

සභාවේ සෑම සංවිධානයකම නායකයින්ට සහ ගුරුවරුන්ට දෙමාපියන් හා යෞවනයින් සමඟ එක්ව උපදේශනය කරන ලෙස මම ආරාධනා කරනවා, ඒ ස්ටේක වල, කොට්ඨාශ වල, සහ නිවෙස් වල, සෑම මට්ටමකින්ම ඉගැන්වීම් නාටකාකාර ලෙස වැඩිදියුණු කිරීම සඳහායි. මෙය සාක්ෂාත් කරගත හැක්කේ අපගේ පුද්ගලික අධ්‍යයනයේ නිහඬ අවස්ථාවන්හිදී ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උගන්වා ඇති සත්‍යයන් පිළිබඳව දහම ඉගැන්වීම සහ ආත්මයෙන් පිරුණු සාකච්ඡාවට ආරාධනා කිරීමෙනුයි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින මාගේ ආදරණීය මිත්‍රවරුනි, ස්වාමින්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම හා උන්වහන්සේ මෙන් ඉගැන්වීමට වූ වගකීම අප සෑම කෙනෙක් මතම තිබෙනවා. උන්වහන්සේගේ මාර්ගය සැබෑ මාර්ගයයි! අපි උන්වහන්සේව අනුගමනය කරන විට “උන්වහන්සේ පෙනී සිටින විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු, මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු; ඒ කරණකොටගෙන අප මෙම බලාපොරොත්තුව ඇතිව, එනම් උන්වහන්සේ පවිත්‍ර වන්නාක් මෙන් අපිද පවිත්‍ර වන පිණිසය.”11 මරණයෙන් නැවත නැගිටි, ප්‍රධාන ගුරුවරයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.