ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: අපගේ ප්‍රාණයන් රැකබලාගන්නා
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: අපගේ ප්‍රාණයන් රැකබලාගන්නා

අපගේ පව් ගැන අපි අවංකවම පසුතැවිලි වන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට අපගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ඵලදායී වීමට ඉඩදෙන බව මම ඔබට සාක්ෂි දරනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම දීප්තිමත් පාස්කු උදෑසන, මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිවිශිෂ්ට, මහිමාන්විත, අතිමහත් ක්‍රියාව—එනම් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සිහිපත් කිරීමෙන් මගේ හදවත ප්‍රීති වෙනවා. අනාගතවක්තෘ යෙසායාගේ විශිෂ්ට වචන දෙවියන්වහන්සේගේ සියලු දරුවන් වෙනුවෙන් ගැලවුම්කරුවාණන්ගේ නිහතමානීකම සහ පරිත්‍යාගයේ ශ්‍රේෂ්ඨත්වය හා පරාර්ථකාමිත්වය විදහා දක්වනවා:

“සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතමුව.

“නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ.”1

සියලු මනුෂ්‍ය වර්ගයාගේ පව් ස්වේච්ඡාවෙන් භාරගෙන, කෲර ලෙස කුරුසියට ඇණ ගසා, තුන්වෙනි දවසේදී මරණය ජයග්‍රහණය කිරීමෙන්,2 පුරාණ කාලයේ ඊශ්‍රායෙලයට ලබාදී තිබූ පාස්කු නියෝගයට යේසුස්වහන්සේ වඩාත් පරිශුද්ධ වැදගත්කමක් ලබාදුන්නා.3 අනාවැකි ඉටුකිරීමේදී, උන්වහන්සේ තම ශරීරය සහ වටිනා රුධිරය, ස්වාමින්වහන්සේගේ පාස්කු උත්සවය සැමරීමේදී භාවිතා කරන සාම්ප්‍රදායික සංකේත වලංගු කරමින්,5 ශ්‍රේෂ්ඨ හා අවසාන පරිත්‍යාගය ලෙස පූජා කළා.4 එසේ කිරීමෙන්, ක්‍රිස්තුස්වහන්සේ මිනිස් මනසට තේරුම්ගත නොහැකි ශාරීරික හා අධ්‍යාත්මික දුක් වේදනා අත්විඳ තිබෙනවා. ගැලවුම්කරුවාණන්ම මෙසේ පැවසුවා:

“මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේ වන මම, සියල්ලන් උදෙසා මෙම දේවල් විඳෙව්වෙමි, …

“මා, සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ දෙවියන් වුවත්, වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට, ශාරීරිකව සහ ආත්මික දෙයාකාරයෙන්ම, වේදනා විඳීමට සැලැස් වූ එම වේදනාව—තවද එනම් මා තිත්ත කුසලානෙන් බී, පසුබට නොවන පිණිසය—

“එසේවුවද, මහිමය පියාණන්වහන්සේට වේවා, එමෙන්ම මම සහභාගි වී මනුෂ්‍ය දරුවන් වෙනුවෙන් මාගේ සූදානම අවසන් කළෙමි.”6

ක්‍රිස්තුස්වහන්සේ සිය අසීමිත හා දයානුකම්පිත පරිත්‍යාගය තුළින් පියාණන්වහන්සේගේ කැමැත්ත7 කරුණාවෙන් යුතුව ඉටුකළා. වැටීම තුළින් ලොවට හඳුන්වා දී තිබූ,9 ශාරීරික හා අධ්‍යාත්මික මරණයේ වේදනාව,8 සදාකාලික ගැලවීමේ මහිමාන්විත හැකියාව අපට ලබාදෙමින්, උන්වහන්සේ ජයගත්තා.10

අප සියලුදෙනා වෙනුවෙන් මෙම සදාකාලික හා පරිපූර්ණ පරිත්‍යාගය ඉටුකිරීමට හැකියාව ඇති එකම කෙනා යේසුස්වහන්සේයි.11 ලෝකය පිහිටුවීමටත් පෙර සිටම, උන්වහන්සේව ස්වර්ගයේ මහා මන්ත්‍රණ සභාවේදී තෝරාගෙන පෙර නියම කර තිබුණා.12 තවදුරටත්, ලෞකික මවකගෙන් උපත ලැබීම නිසා, උන්වහන්සේට ශාරීරික මරණය උරුම වුණා, නමුත් දෙවියන්වහන්සේගෙන්, පියාණන්වහන්සේගේ එකම පුත්‍රයාණන් ලෙස, උන්වහන්සේගේ ජීවිතය පූජා කර නැවත එය ලබාගැනීමේ බලය උන්වහන්සේට උරුම වී තිබුණා.13 ඊට අමතරව, ක්‍රිස්තුස්වහන්සේ කැළැල් නැති පරිපූර්ණ ජීවිතයක් ගතකළ අතර, එබැවින්, දිව්‍ය යුක්තියේ ඉල්ලීම් වලින් නිදහස්ව සිටියා.14 සමහර අවස්ථා වල ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ ඉගැන්වූවා:

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මැදිහත්වීමෙන් තොරව ලෝකයට ගැලවීම පැමිණිය නොහැකියි.

“දෙවියන්වහන්සේ … තම පුත්‍රයාණන් මගින් පරිත්‍යාගයක් සූදානම් කළ සේක, උන්වහන්සේ අවශ්‍ය කාලයේදී …ස්වාමින්වහන්සේගේ අභිමුඛයට මිනිසාට එන්නට හැකිවන පරිදි දොරටුව විවෘත කරනු ඇත.”15

ගැලවුම්කරුවාණන් සිය පරිත්‍යාගය තුළින් ශාරීරික මරණයේ කොන්දේසි කොන්දේසි විරහිතව ඉවත් කළ නමුත්,16 අප කරන පව් ගැන පසුතැවිලි වීමේ අපගේ පෞද්ගලික වගකීම උන්වහන්සේ ඉවත් කළේ නෑ.17 ඒ වෙනුවට, අපගේ සදාකාල පියාණන්වහන්සේට එකතු වීමට ආදරණීය ආරාධනයක් උන්වහන්සේ අපට ලබාදී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, අපට දෙවියන්වහන්සේ කෙරෙහි හා පොදුවේ ජීවිතය කෙරෙහි නැවුම් ආකල්පයක් ගෙන එමින්, මනසේ සහ හදවතේ බලවත් වෙනසක් අපට අත්විඳිය හැකියි.18 අපි අපගේ පව් වලට අවංකව පසුතැවිලි වී, එමෙන්ම අපගේ හදවත් හා කැමැත්ත දෙවියන්වහන්සේට හා උන්වහන්සේගේ ආඥාවන් වෙත හරවන විට, අපට උන්වහන්සේගේ සමාව ලබාගත හැකි අතර, ශුද්ධාත්මයාණන්ගේ බලපෑම බහුල ලෙස දැනෙයි. කරුණාවන්තව, ගැලවුම්කරුවාණන් විඳදරාගත් වේදනාවේ ගැඹුර අත්විඳීමෙන් අපිව වැළකෙනවා.19

පසුතැවිලි වීමේ ත්‍යාගය දෙවියන්වහන්සේ තම දරුවන් කෙරෙහි දක්වන කරුණාවේ ප්‍රකාශනයක්, ඒවගේම එය අප කරන පව් වලින් මිදීමට අපට උපකාර කිරීමට උන්වහන්සේගේ අසමසම බලය පෙන්නුම් කිරීමක්. එය අපගේ ලෞකික දුර්වලකම් හා දුර්වලතා සඳහා අපගේ ප්‍රේමණීය පියාණන්ගේ ඉවසීම සහ දිගු-දරාගැනීම පිළිබඳ සාක්ෂියක්. අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා වන, සභාපති රසල් එම්. නෙල්සන් මෙම තෑග්ග හැඳින්වූයේ “සතුට හා මනසේ සාමය සඳහා යතුර” ලෙසයි.20

මාගේ ආදරණීය මිත්‍රවරුනි, අපගේ පව් ගැන අපි අවංකවම පසුතැවිලි වන විට,21 ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට අපගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ඵලදායී වීමට ඉඩදෙන බව මම ඔබට සාක්ෂි දරනවා.22 අපි පාපයේ වහල්භාවයෙන් නිදහස් වී, අපගේ ලෞකික ගමනේ ප්‍රීතිය සොයාගෙන, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර උන්වහන්සේ වෙතට එන සියල්ලන්ට ලෝක අත්තිවාරමේ සිට සකස් කරන ලද, සදාකාලික ගැලවීම ලැබීමට සුදුසුකම් ලබනවා.23

ගැලවීමේ මෙම මහිමාන්විත ත්‍යාගය සැපයීමට අමතරව, වර්තමාන වසංගතයේදී අප මෑතකදී අත්විඳින ලද තත්වයන්ද ඇතුළුව, අපගේ දුක් පීඩා, පරීක්ෂාවන් සහ ලෞකික ජීවිතයේ දුර්වලතා වලට මුහුණදෙන විට ගැලවුම්කරුවාණන් අපට සහනයක් සහ සැනසීමක් ලබාදෙනවා. ලෞකිකත්වයේදී අප අත්විඳින පීඩා පිළිබඳව ක්‍රිස්තුස්වහන්සේ සැමවිටම දන්නා බව මට සහතික වන්නට පුලුවන්. සියලු තිත්තකම, වේදනාව, සහ ශාරීරික වේදනාව මෙන්ම අප මුහුණදෙන චිත්තවේගීය හා අධ්‍යාත්මික අභියෝගද උන්වහන්සේ තේරුම්ගන්නවා. ගැලවුම්කරුවාණන්ගේ හිත දයාවෙන් පිරී ඇති අතර, උන්වහන්සේ සැමවිටම අපට උපකාර කිරීමට සූදානම්. අපගේ දුර්වලකමේ හා දුර්වලතා වල වේදනාව උන්වහන්සේ මත ගෙන, උන්වහන්සේ ඒවා පෞද්ගලිකව අත්විඳ ඇති නිසා, මෙය සිදුවිය හැකියි.24

නිහතමානිකම හා හදවතේ යටහත්කම නිසා, උන්වහන්සේ සියල්ලටම වඩා පහළට බැස, අපගේ වැරදි සහ අයුතුකම් නිසා තුවාල ලබා, මිනිසුන් විසින් හෙළාදැකීමට ලක්ව, ප්‍රතික්ෂේප කිරීම හා නින්දාවට පත්වීම පිළිගත්තා. උන්වහන්සේ මේ සියල්ලටම දුක් විඳ, ලෝකයේ පාපයන් උන්වහන්සේ මත ගෙන,25 එමෙන්ම අපගේ අවසාන අධ්‍යාත්මික රැකබලාගන්නා බවට පත්වෙනවා.

අධ්‍යාත්මිකව උන්වහන්සේගේ රැකවරණයට යටත් වී, අප උන්වහන්සේ වෙතට ලංවන විට, අපට පහසු වන, උන්වහන්සේගේ වියගහ සහ, සැහැල්ලු වන උන්වහන්සේගේ බර අප මතට ගන්නටත්, එමගින් පොරොන්දු වූ සැනසීම සහ විවේකය සොයාගන්නටත්, අපට හැකියාව ලැබෙනවා. එපමණක් නොව, උන්වහන්සේගේ උපකාරයෙන් සහ සුවකිරීමේ බලයෙන් තොරව විඳදරාගැනීම අතිශයින් දුෂ්කර වන ජීවිතයේ දුෂ්කරතා, දුර්වලතා සහ දුක ජයගැනීමට අප සැමට අවශ්‍ය ශක්තිය අපට ලැබෙනවා.26 ශුද්ධලියවිලි අපට උගන්වන්නේ මෙසේයි “නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලන සේක.”27 “තවද එවිට එනම් [අපගේ] බර සැහැල්ලු වීමට දෙවියන්වහන්සේ [උන්වහන්සේගේ] පුත්‍රයාණන්ගේ ප්‍රීතිය තුළින් [අපට] අවසර දෙන සේක්වා.”28

රූපය
රෙජිනා සහ මාරියෝ එමරික්

COVID-19 හි ඇති වූ සංකූලතා හේතුවෙන්, ස්වාමින්වහන්සේට ඉතා විශ්වාසවන්තව හා එකිනෙකාගෙන් දින හතරකින් දුරස්ව වෙන්ව ගිය මාරියෝ සහ රෙජිනා එමරික් යන ආදරණීය යුවලගේ අභාවය ගැන පසුගිය වසරේ අග භාගයේදී මට දැනගන්නට ලැබුණා.

දැනට බ්‍රසීලයේ සභානායකවරයෙකු ලෙස සේවය කරන ඔවුන්ගේ එක් පුතෙකු මට පහත සඳහන් දේ විස්තර කළා “එම වාතාවරණය තුළ, මගේ දෙමාපියන් මෙලොවෙන් ඉවත්ව යන බව දැකීම බොහෝ අපහසු වුණා, නමුත් ඒ ඛේදවාචකය මධ්‍යයේ වුවත් මගේ අවබෝධය ඉක්මවා ගිය ශක්තියක් සහ සාමයක් මට ලැබුණු නිසා, ස්වාමින්වහන්සේගේ හස්තය මට මගේ ජීවිතයේ පැහැදිලිව දැණුනා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇති මගේ ඇදහිල්ල නිසා, මගේ පවුලේ සාමාජිකයන්වත් එමෙන්ම මෙම අසීරු අත්දැකීම තුළ අපට උපකාර කළ සියලුදෙනාවත් ශක්තිමත් කිරීමට සහ සැනසීමට මට දිව්‍මයය උපකාර ලැබුණා. සෑම කෙනෙකුම බලාපොරොත්තු වූ ප්‍රාතිහාර්යය සිදුනොවුනත්, මගේ ජීවිතයේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත වල සිදුවූ අනෙකුත් බොහෝ ප්‍රාතිහාර්යයන් පිළිබඳව මම පෞද්ගලිකවම සාක්ෂිකරුවෙක්. ගැලවුම්කරුවාණන්ට මා කෙරෙහි ඇති ප්‍රේමය ගැනත්, උන්වහන්සේගේ දරුවන් කෙරෙහි වූ දෙවියන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්ම තුළත් මට බලාපොරොත්තුවක් හා විශ්වාසයක් ලබාදෙමින්, මගේ හදවතේ ගැඹුරට විනිවිද ගිය පැහැදිලි කළ නොහැකි සාමයක් මට දැනුණා. අපගේ මුළු හදවතින්ම, බලයෙන්, මනසින් හා ශක්තියෙන් උන්වහන්සේව සොයන විට ගැලවුම්කරුවාණන්ගේ ආදරණීය දෑත් නිතරම දිගුවන බව, ඉතා දුකින් පිරුණු එම දින වලදී මම ඉගෙනගත්තා.”

රූපය
එමරික් පවුල

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ පාස්කු ඉරිදා දින, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටි බවටත් උන්වහන්සේ ජීවත්වන බවටත් මම මාගේ එකම සාක්ෂිය දරනවා. උන්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, ගැලවුම්කරුවාණන් අපට ශාරීරික හා අධ්‍යාත්මික යන මරණයෙන් මිදීමට මාර්ගය ලබාදුන් බව මම ඔබට සාක්ෂි දරනවා. මෙම මහත් ආශිර්වාද වලට අමතරව, දුෂ්කර කාල වලදී උන්වහන්සේ අපට සැනසිල්ල හා ආරක්ෂාව ලබාදෙනවා. අපගේ ඇදහිල්ලෙහි අවසානය දක්වාම විඳදරාගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ අද්විතීය වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි අපගේ විශ්වාසය තබන විට, දිනයක අපි උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නට අපට උපකාර කිරීමට උන්වහන්සේගේ බලය තුළ ඇති සියලු දේ කරන, අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ පොරොන්දු භුක්ති විඳිනු ඇති බවට මම ඔබට සහතික වෙනවා. මේ උන්වහන්සේගේ කාර්‍යය සහ උන්වහන්සේගේ මහිමයයි!29 යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, ලෝකයේ මිදුම්කරුවාණන් බවත්, පොරොන්දු වූ මෙසියස්වහන්සේ බවත්, නැවත නැඟිටීම හා ජීවනය බවත් මම ඔබට සාක්ෂි දරනවා.30 ඒවගේම මම මෙම සත්‍යයන් ඔබලා සමග බෙදාගන්නේ, පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන, අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.