ප්‍රධාන සම්මන්ත්‍රණය
ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේය
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේය

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තීව්‍ර වන විට, සියලු අන්ධකාරය දුරු කරන තුරු අපට තීව්‍ර මිනුමකින් ආලෝකය ලැබේ.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමින් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමත් සමඟ පොළොව මත උදාවූ මහිමාන්විත ආලෝකය ගැන මෙනෙහි කරමින් මෙම ආශිර්වාද ලත් පාස්කු ඉරිදා මම ඔබ සමඟ ප්‍රීති වෙනවා.

යේසුස්වහන්සේ තම මරණීය ජීවිතයේ දේවසේවයේදී මෙසේ ප්‍රකාශ කළසේක, මම ලෝකයේ ආලෝකයය: මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය”1 ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය “සියල්ලෙහිම සිටින අතර [එමෙන්ම] සියල්ලට ජීවනය ලබාදෙයි.”2 එය අප වටා ඇති අන්ධකාරය ජයගනී.

මීට වසර ගණනාවකට පෙර, වික්‍රමාන්විත සෙවීමකදී, මගේ පුතුන් දෙදෙනා සහ මම තරුණ පිරිමින් කණ්ඩායමක් මෝනිං ගුහාවට රැගෙන ගියා, එක්තරා කාලයක එහි ගුහා කටින් පිටවන ශබ්දය හේතුවෙන් එය එසේ නම්කර තිබෙනවා. ගුහාව පටු ගුහාවක් වූ අතර එය අඩි 180 ක් පමණ (55m) ගැඹුරු සිරස් කුටියක් තුළට විවර වෙනවා, එය කැලිෆෝනියාවේ විශාලතම තනි ගුහා කුටියයි.

රූපය
මෝනිං කවර්න්

එහි පහතට යාමට ඇත්තේ ක්‍රම දෙකක් පමණයි: ආරක්ෂිත රවුම් පඩිපෙළ හෝ ගුහාවේ පොළව මතට ලණුවක අදාරයෙන් ලිස්සා යෑමයි; මමත් පුතුන් දෙදෙනාත් ලිස්සා යෑම තෝරාගත්තා. මගේ වැඩිමහල් පුතා පළමුවෙන්ම ගිය අතර මගේ බාල පුතාත් මමත් හිතාමතාම අන්තිමට ගියේ අපිට එකට බැසීමටයි.

අපගේ මාර්ගෝපදේශකයින් උපදෙස් දී පටි වලින් අපව ආරක්ෂා කර ආම්පන්න ශක්තිමත් කඹයකට සවිකළා, හැරීමට ඇති අවසාන ස්ථානය මෙය බැවින් සහ ගුහාවේ මුඛයෙන් කුඩා හෝ හිරු එළියක් අපට දැකගත හැකි අවසාන ස්ථානය මෙය බැවින් අපි කුඩා ඉණිමගක් මත සිටගෙන අපගේ ආත්ම විශ්වාසය රැස්කරගන්නා තුරු අපි පසුපසට වී සිටියා.

අපේ ඊළඟ පියවර ලිබර්ටි ප්‍රතිමාව ගිලදැමිය හැකි තරම් උස හා පළලින් යුත්, දෙව්මැදුරක් වැනි ගුහාවක් තුළට අපව ඇද දැමුවා. අපේ ඇස් සාපේක්ෂ අන්ධකාරයට හැඩගැසෙන විට අපි සෙමෙන් කැරකෙමින් සිටියා. අපි අපේ ගමන දිගටම කරගෙන යන විට, විදුලි පහන් වල ආලෝකය නිසා ගුහාවේ පොළොවේ සහ ගුහාවේ මුදුනින් ඇති පාෂාණ සහ ඛණිජ වලින් දිදුලන පුදුමාකාර පවුරක් ආලෝකමත් වුණා.

අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේම විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවී ගියා. අගාධයට ඉහළින් එල්ලෙමින් සිටි අපි කෙතරම් අන්ධකාරයක ගිලී ඇත්ද යත්, අප ඉදිරිපිට ඇති ලණු මත අපගේ දෑත් පවා නොපෙනී ගියා. “තාත්තේ, තාත්තේ, ඔබ මෙහි සිටිනවාද?” කියා ක්ෂණිකව හඬක් නැගුණා.

“මම සිටිනවා පුතේ; මම මෙහි සිටිනවා” මම ප්‍රතිචාර දැක්වුවා.

අනපේක්ෂිත ලෙස ආලෝකයේ නැතිවීමට සැලසුම් කර තිබුනේ විදුලිය නොමැතිව, ගුහාවේ අන්ධකාරය විනිවිද යා නොහැකි බව පෙන්වීමටයි. එය සාර්ථකයි; අපට අන්ධකාරය “දැනුණා.” ස්වල්ප ආලෝකයට පවා අන්ධකාරය සැමවිටම යටත් විය යුතු බැවින්, විදුලි පහන් නැවත පැමිණි විට, අන්ධකාරය ක්ෂණිකව යටත් වුණා. අප කිසිදිනක දැන නොසිටි ආකාරයේ අන්ධකාරයක් ගැන මතකයන් මගේ පුතුන්ටත් මටත් ඉතිරි වුණා, ආලෝකය සඳහා වූ ඒ මහත් අගය කිරීම, සහ අන්ධකාරයේ අප කවමදාකවත් තනිව නොවන බවට වූ ඒ සහතිකය අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.

එම ගුහාවට ගිය අපගේ ගමන යම් ආකාරයකින් ලෞකික ජීවිතය හරහා අප යන ගමනටද සමානයි. අපි ස්වර්ගයේ තේජාන්විත ආලෝකයෙන් නික්ම ගොස් අමතක වීමේ තිරයකින් අඳුරු ලෝකයකට බැස ආවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපව අන්ධකාරයට අත් නොහැර තම ආදරණීය පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපගේ ගමනට ආලෝකය දෙන බවට පොරොන්දු වුණා.

පොළොවේ සියලුම ජීවීන්ට හිරු එළිය අත්‍යවශ්‍ය බව අපි දන්නවා. ඒ හා සමානවම අපගේ අධ්‍යාත්මික ජීවිතයට වැදගත් වන්නේ අපගේ ගැලවුම්කරුවාණන්ගෙන් නිකුත් වන ආලෝකයයි. දෙවියන්වහන්සේ සිය පරිපූර්ණ ප්‍රේමයෙන්, “ලෝකයට පැමිණෙන” 3 සෑම පුද්ගලයෙකුටම ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ලබාදෙනවා, ඒ ඔවුන් “නපුරෙන් යහපත දැනගනු පිණිස”4 සහ “නොකඩවාම යහපත කිරීමට”5 පෙළඹෙන පිණිසයි. ඒ ආලෝකය, අපගේ හෘද සාක්ෂිය ලෙස අප බොහෝ විට හඳුන්වන දෙයින් හෙළිවන අතර, ක්‍රියා කිරීමට සහ වඩා හොඳ වීමට, අපගේ හොඳම ස්වකීයත්වය වීමට සැමවිටම අපට අවවාද කරයි.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තීව්‍ර වන විට, අප වටා එක්රැස් විය හැකි සියලු අන්ධකාරය දුරු කරන තුරු අපට තීව්‍ර මිනුමකින් ආලෝකය ලැබෙනවා. “එනම් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑම දෙයක්ම ආලෝකය වේ; තවද එනම් ආලෝකය ලබන ඔහු, තවද දෙවියන්වහන්සේ තුළ පවතින්නේය, වැඩියෙන් ආලෝකය ලැබෙන්නේය; තවද එම ආලෝකය දීප්තියෙන් දීප්තියට එම සම්පූර්ණ දවස වන තෙක් වර්ධනය වන්නේය”6

ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දේවසේවයේ බලපෑම ලැබීමට අපව සූදානම් කරනවා, එනම් “ශුභාරංචියේ සත්‍යය පිළිබඳව … ඒත්තුගැන්වීමේ දෙවියන්වහන්සේගේ බලයයි.”7 දේවත්වයේ තුන්වන සාමාජිකයා වන ශුද්ධාත්මයාණන්වහන්සේ “ආත්මයේ උත්තමයෙකි.”8 ලෞකික ජීවිතයේදී ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට ලබාදෙන ලොකුම ආලෝක ප්‍රභවය පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙනයි, උන්වහන්සේගේ බලපෑම “නුඹලාගේ මනස ආලෝකමත් කරනු ඇත, නුඹලාගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් පුරවනු ලබන්නේය.”9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ, නැවත පිහිටවූ පූජකත්වයේ අධිකාරිත්වයෙන් ඔබ බෞතිස්ම වන්නේ පව් සමාව සඳහා ගිල්වීමෙනුයි. එවිට ඔබේ හිස මත අත් තබා මෙම අපූරු “කිව නොහැකි තරම් වන තෑග්ග”10 වන ශුද්ධාත්මයානන්වහන්සේ ඔබට දෙනු ලැබෙනවා.

ඉන්පසුව, ඔබේ ආශාවන් හා ක්‍රියාවන් ගිවිසුම් මාවතේ කේන්ද්‍රගත වූ විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ ඇති ආලෝකයක් ලෙස ඔබගේ ආත්මයට සත්‍යය හෙළිකර සාක්ෂි දරනවා,11 අනතුරු ගැන අනතුරු අඟවනවා, සනසවනවා12 පවිත්‍ර කරනවා13 සහ සාමය ලබාදෙනවා.14

“ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේය”15 ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය ඔබව ආලෝකයේ තබාගැනීමට නැඹුරු වන තෝරාගැනීම් කිරීමට ඔබව යොමුකරනවා; අනෙක් අතට, ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් තොරව කරන තෝරාගැනීම් ඔබව සෙවනැලි සහ අන්ධකාරයට ගෙන යනවා. වැඩිහිටි රොබට් ඩී. හේල්ස් මෙසේ ඉගැන්වූවා: “ආලෝකය පවතින විට අන්ධකාරය යටකර ගන්නා අතර ඉවත්ව යා යුතුය. … ශුද්ධාත්මයාණන්ගේ අධ්‍යාත්මික ආලෝකය පවතින විට සාතන්ගේ අන්ධකාරය පහව යයි.”16

සමහරවිට, ඔබෙන්ම මෙසේ අසන්නට කාලය මෙය යැයි මම යෝජනා කරනවා: මගේ ජීවිතයේ එම ආලෝකය තිබෙනවාද? එසේ නොවේ නම්, මා අවසන් වරට එය මට තිබුනේ කවදාද?

ජීවිතය අලුත් කර සහ පවත්වා ගැනීමට හිරු එළිය දිනපතා පොළොව ස්නානය කරනවා සේම, ඔබ උන්වහන්සේව—යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරාගන්නා විට ඔබට දිනපතා ඔබ තුළ ඇති ආලෝකය දීප්තිමත් කළ හැකියි.

ඔබ යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සොයන, “උන්වහන්සේට සවන්දීමට”17 ශුද්ධලියවිලි අධ්‍යයනය කරන, අපගේ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ මගපෙන්වීම හා එළිදරව් කිරීම මත ක්‍රියා කරන සහ “ස්වාමින්වහන්සේගේ සියලු නියෝගයන් තුළින් ගමන් කිරීමට”18 කීකරු වී ආඥා පිළිපදින සෑම අවස්ථාවකදීම හිරු එළියෙන් පොදක් එකතු වෙනවා.

ඔබ පසුතැවිලි වන සෑම අවස්ථාවකම ඔබේ ආත්මයට සහ ඔබේ ජීවිතයේ සාමයට අධ්‍යාත්මික හිරු එළියට ඔබ ආරාධනා කරනු ඇත. ගැලවුම්කරුවාණන්ගේ නාමය ඔබ මතට ගෙන ඒමට, සෑමවිටම උන්වහන්සේව සිහිකිරීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ඔබ සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගි වන විට, උන්වහන්සේගේ ආලෝකය ඔබ තුළ බබළයි.

ඔබ ශුභාරංචිය බෙදාගෙන ඔබේ සාක්ෂිය දරන සෑම අවස්ථාවකම ඔබේ ආත්මයේ හිරු එළියක් තිබෙනවා. ගැලවුම්කරුවාණන් කළාක් මෙන් ඔබ එකිනෙකාට සේවය කරන සෑම අවස්ථාවකම උන්වහන්සේගේ උණුසුම ඔබේ හදවතේ දැනෙනවා. ස්වර්ගික පියාණන්ගේ ආලෝකය සැමවිටම උන්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගාව තුළ සහ ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි පෙනී සිටින සියල්ලන් මතම පවතිනවා. ඔබගේ කරුණාවන්තකමේ, ඉවසීමේ, සමාව දීමේ, සහ ප්‍රේමයේ ක්‍රියාවන් වලින් ඔබ තුළ ඇති උන්වහන්සේගේ ආලෝකය වැඩිවන අතර ඔබේ ප්‍රීතිමත් මුහුණින් එය පෙන්නුම් කරයි. අනෙක් අතට, අපි කෝප වීමට ඉක්මන් වන විට හෝ සමාව දීමට ප්‍රමාද වන විට අපි සෙවණැලි වල ගමන් කරමින් සිටිනවා. “ඔබ හිරු එළිය දෙසට ඔබේ මුහුණ තබාගෙන සිටින විට, සෙවණැලි වැටෙන්නේ ඔබට පිටුපසින්.”19

ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය ලැබීමට ඔබ ජීවත් වන විට, සැබවින්ම “එළිදරව් ලැබීමට ඔබේ ආත්මික හැකියාව වැඩිවනු ඇත.”20

ජීවිතය අභියෝග සහ පසුබෑම ගෙන එන අතර, අපි සැවොම අඳුරු දවස් සහ කුණාටු වලට මුහුණදිය යුතුයි. මේ සියල්ල තුළින්ම, “අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදුන් විට”21 අපගේ පරීක්ෂාවන්හි අරමුණක් හා අර්ථයක් ඇති බව ශුද්ධාත්මයාණන්ගේ ආලෝකය හෙළි කරන අතර, අපගේ අඳුරු දවස්වල දෙවියන්වහන්සේ අප සමඟ සිටින බව දැන, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිර ඇදහිල්ලකින් හා දීප්තිමත් බලාපොරොත්තුවකින් එම පරීක්ශාවන් අවසානයේදී අපව වඩා හොඳ, සම්පූර්ණ පුද්ගලයන් බවට පරිවර්තනය කරයි. සභාපති රසල් එම්. නෙල්සන් උපදෙස් දී ඇති පරිදි “පීඩා සමඟ වැඩිවන අන්ධකාරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සදාකාලිකවම දීප්තිමත්ව බබලවයි”.22

අපේ ජීවිතයේ නොයෙකුත් කාලයන් අපව අනපේක්ෂිත හා නුසුදුසු ස්ථාන කරා ගෙන යා හැකියි. පාපය ඔබව එහි ගෙන ගොස් තිබේ නම්, අන්ධකාරයේ තිරය පසුපසට ඇද, නිහතමානීව බිඳුණු හදවතකින් හා අවංක ආත්මයකින් ඔබේ ස්වර්ගික පියාණන් වෙත ලඟා වී පසුතැවිලි වන්න. උන්වහන්සේ ඔබගේ අවංක යාච්ඤාව අසනු ඇත. ධෛර්යයෙන් යුතුව අද දින, “[උන්වහන්සේ] වෙතට ලඟාවන්න. එවිට [උන්වහන්සේ] ඔබ වෙතට ලඟාවනු ඇත.”23 ඔබ කිසිවිටෙකත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සුවකිරීමේ ශක්තියෙන් ඔබ්බට ගොස් නැත.

මම පැමිණෙන්නේ යහපත් දෙමව්පියන්ගෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයට සහ උන්වහන්සේගේ ශුභාරංචියට ප්‍රතිචාර දැක්වූ ඇදහිලිවන්ත මුතුන් මිත්තන්ගෙන් වන අතර, එය ඔවුන්ගේ ජීවිත සහ පසු පරම්පරාවන් අධ්‍යාත්මික ප්‍රත්‍යාස්ථතාවයෙන් ආශිර්වාද කරනු ලැබුවා. මගේ පියා බොහෝ විට ඔහුගේ පියා වන මයිලෝ ටී. ඩයික්ස් ගැන කතා කළ අතර, දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ ඇදහිල්ල දිවා රෑ ඔහුට ආලෝකයක් වූ අයුරු බෙදාගත්තා. සීයා වනජීවී නිලධාරියෙකු වූ අතර බොහෝ විට තනිවම කඳුකරයේ ගමන් කරමින් දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සහ රැකවරණයට කිසිඳු සැකයකින් තොරව ඔහුගේ ජීවිතය භාරදුන්නා.

සරත් සෘතුවක අගභාගයේදී සීයා උස් කඳුකරයේ තනිව සිටියා. ශීත කාලය ඒ වන විටත් පැමිණෙමින් තිබෙන අතරතුර ඔහු තම ප්‍රියතම අශ්වයෙකු වූ ප්‍රින්ස් මත ඇති සැදෑල මත නැග ලී මෝලකට ගමන් කළේ ඒවා ලෑලි වලට කැපීමට පෙර ලී කොටවල බර මැනීම සඳහායි.

සවස් වන විට ඔහු සිය වැඩ කටයුතු අවසන් කර නැවත සෑදලයට නැග්ගා. ඒ වන විට උෂ්ණත්වය පහත වැටී තිබූ අතර ශීත සෘතුවේ හිම කුණාටුවක් කන්ද පුරා පැතිරෙමින් තිබුණා. ඔහුට මගපෙන්වීමට ආලෝකයක් හෝ මාර්ගයක් නොමැතිව, වනජීවී කාර්‍යාලයට ඔවුන්ව ගෙන යනු ඇතැයි සිතූ දිශාවකට ප්‍රින්ස්ව යොමුකළා.

රූපය
මයිලෝ ඩයික්ස් කුණාටුවක ගමන් කරමින්

අඳුරේ සැතපුම් ගණනක් ගමන් කිරීමෙන් පසු ප්‍රින්ස් මන්දගාමී වුණා, පසුව නතර වුණා. සීයා නැවත නැවතත් ඉදිරියට යාමය ප්‍රින්ස්ට බල කලද අශ්වයා එය ප්‍රතික්ෂේප කළා. නොපෙනෙන තරමට ඔවුන් වටා හිම පතිත වීමත් සමඟ සීයා තේරුම් ගත්තේ ඔහුට දෙවියන්වහන්සේගේ උදව් අවශ්‍ය බවයි. ඔහු තම ජීවිත කාලය පුරාම කළාක් මෙන් නිහතමානීව “අනුමාන නොකරම ඇදහිල්ලෙන් [ඉල්ලුවා]“.24 නිශ්චල කුඩා හඬක් පිළිතුරු දෙමින්, “මයිලෝ, අශ්වයාව ලිහිල් කරන්න.” යැයි කීවා. සීයා කීකරු වූ අතර, ඔහු ලණුව මත තිබූ බලය ලිහිල් කරද්දී, ප්‍රින්ස් වටේට ගොස් වෙනත් දිශාවකට ගමන් කළා. පැය කිහිපයකට පසු ප්‍රින්ස් නැවතත් නතර වී හිස පහත් කළා. පතිත වන හිම අතරින් සීයා දුටුවේ ඔවුන් ආරක්ෂිතව වනජීවී කාර්‍යාලයේ ගේට්ටුව අසලට පැමිණ ඇති බවයි.

උදෑසනම සීයා හිමෙන් වැසුණු ප්‍රින්ස්ගේ අඩිසලකුණු මත මාර්ගය දිගේ නැවත ගමන් කළා. ඔහු ප්‍රින්ස්ව ලිහිල් කළ ස්ථානය සොයාගත් විට ගැඹුරු හුස්මක් හෙලුවා: එය උස් කඳු බෑවුමක අද්දරයි, එහිදී එක් පියවරක් හෝ ඉදිරියට තැබුවානම් අශ්වයා සහ අසරුවා යන දෙදෙනාම පහළ රළු පාෂාණ වල වැදී මියයෑමට ඉඩ තිබුණා.

එම අත්දැකීම් සහ තවත් බොහෝ දේ පදනම් කරගෙන සීයා උපදෙස් දුන්නේ, “ඔබට ලැබිය හැකි හොඳම සහ ශ්‍රේෂ්ඨතම සහකරු ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්” යනුවෙනුයි. මගේ තාත්තා විසින් සීයාගේ කතාව විස්තර කරන විට, මට මතකයි ඔහු ශුද්ධලියවිලි වලින් මෙසේ උපුටා දැක්වූවා:

“ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

“ඔබේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරනවා ඇත”.25

රූපය
ගැළවුම්කරුවාණන් පහනක් අතින්ගෙන

“අන්ධකාරයේ බබළන සදාකාලික ආලෝකය” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මම සාක්ෂි දරනවා.26 එම ආලෝකය යටපත් කිරීමට, නිවා දැමීමට, අභිබවා යාමට හෝ පරාජය කිරීමට අන්ධකාරයක් මෙහි නෑ. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට එම ආලෝකය නොමිලයේ ලබාදෙනවා. ඔබ කිසිදිනෙක තනිවී නැහැ උන්වහන්සේ සෑම යාච්ඤාවකටම සවන් දී පිළිතුරු දෙනවා. උන්වහන්සේ “අන්ධකාරයෙන් ඔබව උන්වහන්සේගේ පුදුමාකාර ආලෝකයට කැඳවයි.”27 “පියාණෙනි, පියාණෙනි, ඔබ එහි සිටිනවාද” කියා ඔබ අසන විට, “මම මෙහි සිටිමි, මගේ දරුවා; මම මෙහි සිටිමි.” යනුවෙන් උන්වහන්සේ සැමවිටම පිළිතුරු දෙයි.

අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවාණන් වශයෙන් ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉටුකළ බවට මම සාක්ෂි දරනවා;28 උන්වහන්සේ අපගේ ආලෝකයයි, අපගේ ජීවිතය සහ අපගේ මාර්ගයයි. උන්වහන්සේගේ ආලෝකය කිසිවිටෙකත් අඳුරු නොවනු ඇත;29 උන්වහන්සේගේ මහිමය කිසිවිටෙකත් පහව යන්නේ නැත, ඔබ කෙරෙහි උන්වහන්සේගේ ඇති ප්‍රේමය—ඊයේ, අද සහ සදහටම සදාකාලිකයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.