ප්‍රධාන සම්මන්ත්‍රණය
දිනුම්පළ කරා දිවීම
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දිනුම්පළ කරා දිවීම

වැදගත් වන්නේ අප ජීවිතයේ අත්විඳින දේ නොව, අප ජීවිතයේ පත්වන දෙයයි.

මම ක්‍රියා පොත සහ පාවුල්ගේ ලිපි කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට, ඉගැන්වීමට සහ සාක්ෂි දීමට, ප්‍රේමය හා කෘතඥාතාවය පාවුල්ව පෙලඹවූ ආකාරය ගැන මම පුදුම වෙනවා. විශේෂයෙන් ඔහුගේ විශාල දුක් වේදනා සලකා බලන විට, එවැනි පුද්ගලයෙකුට එවැනි ආදරයකින් සහ කෘතඥාතාවයකින් සේවය කළ හැක්කේ කෙසේද? සේවය කිරීමට පාවුල්ව පෙලඹවූයේ කුමක්ද? “මම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.”1

දිනුම්පළ කරා දිවීම යනු අපගේ ගැලවුම්කාරුවාණන් සහ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ සමඟ “සදාකාල ජීවනයට මගපෙන්වන පටු මාවතේ ඇදහිලිවන්තව ඉදිරියට යාමයි.”2 පාවුල් තම දුක් වේදනා දුටුවේ “අපි කෙරෙහි එළිදරව් කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්නට නොවටින” දෙයක් ලෙසයි.3 සිරගෙදර සිටියදී පාවුල් පිලිප්පිවරුන්ට ලියූ ලිපිය අතිශයින් සතුට සහ ප්‍රීතිය ගැබ්වූ ලියූ ලිපියක්, එමෙන්ම විශේෂයෙන් අවිනිශ්චිතතාවයේ මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී අප සැමට දිරිගැන්වීමක්. අප සියලුදෙනාම පාවුල්ගෙන් ධෛර්යය ගත යුතුයි: “මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසය.”4

අප පාවුල්ගේ සේවය දෙස බලන විට, අපේ කාලයේ අපේම “පාවුලුවරුන්” විසින්ද අපට දේවානුභාවයක් වනවා මෙන්ම අපව නඟා සිටුවනවා, ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ආදරණීයයන්ගේ ජීවිත තුළ ඔවුන් මුහුණදෙන අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් සේවය කරනවා, උගන්වනවා, සහ ප්‍රේමය හා කෘතඥතාවයෙන් සාක්ෂි දෙනු ලබනවා. මීට වසර නවයකට පෙර මා ලැබූ අත්දැකීමක්, දිනුම්පළ දෙසට දිවීමේ වැදගත්කම වටහා ගැනීමට මට උපකාර කළා.

2012 දී, මම පළමු වරට ප්‍රධාන සම්මන්ත්‍රණ නායකත්ව රැස්වීමට ඇවිද යන විට, නොතකා සිටිය නොහැකි තරම් බලවත් ප්‍රමාණවත් නොවන බවක් දැනීම මට වලක්වාගත නොහැකි වුණා. මගේ සිතේ නොනවත්වාම “ඔබ මෙහි අයිති නැහැ! යන හඬක් නැගුණා. බරපතල වැරැද්දක් වෙලා!” වාඩිවීමට ස්ථානයක් සොයාගැනීමට උත්සාහ කරමින් මම ඇවිදගෙන යන විට වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මාව දුටුවා. ඔහු මා ළඟට ඇවිත් “එඩ්වඩ්, ඔබව මෙහි දැකීම සතුටක්” කියා පැවසූ අතර ඔහු මගේ මුහුණට මෘදු ලෙස තට්ටු කළා. මට මම කුඩා දරුවෙක් මෙන් දැනුණා! ඔහුගේ ප්‍රේමය හා වැළඳගැනීම මාව උණුසුම් කළ අතර සහෝදරත්වයේ ආත්මය සහ මා මෙයට අයිතියි යන හැඟීමේ ආත්මය මට දැනෙන්නට වුණා. ඊට පසු දවසේ වැඩිහිටි හොලන්ඩ් පෙර දිනදී මට කළ පරිදි ඔහුට වඩා ජ්‍යේෂ්ඨයෙකු වූ වැඩිහිටි ඕක්ස් ගේ මුහුණ මතට තට්ටු කරන ආකාරය මම දුටුවා.

අනාගතවක්තෘවරුන්, දර්ශන දකින්නන් සහ එළිදරව් කරන්නන් ලෙස අප සහාය දක්වන මෙම පුද්ගලයන් තුළින් ස්වාමින්වහන්සේගේ ප්‍රේමය ඒ මොහොතේ මට දැනුණා. වැඩිහිටි හොලන්ඩ්, ඔහුගේ කාරුණික, ස්වාභාවික ක්‍රියාවන් තුළින්, මගේ, මා ගැන පමණක් සලකීමේ ගුණය සහ ප්‍රමාණවත් නොවීම පිළිබඳ හැඟීම් මඟහරවා ගැනීමට මට උපකාර වුණා. ප්‍රාණයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒම සඳහා මා කැඳවා තිබූ පරිශුද්ධ හා ප්‍රීතිමත් කාර්‍යයන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔහු මට උපකාර කළා. ඔහුද, පුරාණ පාවුල් මෙන්, දිනුම්පළ කරා දිවීමට මට පෙන්වා දුන්නා.

සිත්ගන්නා කරුණ නම්, අපගේ අතීත භීතීන්, අපගේ අතීත අවධානය, අපගේ අතීත අසාර්ථකත්වය සහ අපගේ අතීත දුක—වැනි දේ අමතක කර දමමින් ඉදිරියට යාමට පාවුල් අපට අවවාද කරනවා. අපේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන් මෙන් ඔහුද “නව, ශුද්ධ වූ ප්‍රවේශයකට” අපට ආරාධනා කරනවා.5 ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව සැබෑයි: “මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.6

මගේ පළමු ප්‍රධාන සම්මන්ත්‍රණ දේශනයේදී, අපේ ගොවිපලේ වැඩ කිරීමට මගේ මව මට ඉගැන්වූ අත්දැකීමක් මම බෙදාගත්තා. “කවදාවත් ආපසු හැරී බලන්න එපා,” ඇය පැවසුවා. “අපි තවමත් කළ යුතු දේ දෙස ඉදිරිය බලන්න.”

ඇගේ ජීවිතයේ අවසාන භාගයේදී මව පිළිකාවක් සමඟ පොරබදමින් සිටියදී ඇය නඕමි සහ මා සමඟ ජීවත් වුණා. එක් රාත්‍රියක ඇගේ නිදන කාමරයේ ඇය හඬනවා මට ඇසුණා. පැය දෙකකට පෙර ඇගේ අවසන් දෛනික බෙහෙත් මාත්‍රාව ගැනීමෙන් පසුව පවා ඇගේ වේදනාව දැඩි වුණා.

මම ඇගේ කාමරයට ඇතුළු වී ඇය සමඟ හැඬුවා. ඇගේ වේදනාවෙන් ක්ෂණික සහනයක් ලබාදෙන ලෙස මම ශබ්ද නගා යාච්ඤා කළා. අවුරුදු ගණනාවකට පෙර ඇය කුඹුරේදී කළ දේම කළා: ඇය නැවතී මට පාඩමක් ඉගැන්වූවා. ඒ මොහොතේ ඇගේ මුහුණ මට කිසිදා අමතක වන්නේ නැහැ: දුබල, වේදනාකාරී සහ වේදනාවෙන් පිරුණු, ශෝකයට පත් ඇගේ පුතා කෙරෙහි අනුකම්පාවෙන් බලා සිටියා. ඇය කඳුළු අතරෙන් සිනාසෙමින්, මගේ දෑස් දෙස කෙලින්ම බැලුවා, “එය ඔබට හෝ වෙනත් කෙනෙකුට අයිති දෙයක් නොවේ, නමුත් මෙම වේදනාව පහව යනවාද නැද්ද යන්න දෙවියන්වහන්සේට භාරයි.”

මම නිහඬව වාඩි වුණා. ඇයත් නිහඬව වාඩි වුණා. එම දර්ශනය මගේ මනසෙහි චිත්‍රයක් මෙන් ඇඳී තිබෙනවා. එදින රාත්‍රියේ, මගේ මව තුළින්, මා තුළ සදහටම රැඳී සිටින පාඩමක් ස්වාමින්වහන්සේ මට ඉගැන්වූවා. මගේ මව දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගත් බව ප්‍රකාශ කරන විට, ගෙත්සෙමන උයනේදී සහ ගොල්ගොතාහි කුරුසියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳීමට හේතුව මගේ මතකයට පැමිණියා. උන්වහන්සේ මෙසේ පැවසුවා: “බලව, මම නුඹලා හට මගේ ශුභාරංචිය දී ඇත්තේය, තවද නුඹලාට දෙන ශුභාරංචිය මෙයයි—එනම් මා ලෝකය තුළට පැමිණියේ මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කිරීමටය, මක්නිසාද මාගේ පියාණන්වහන්සේ මා එවූ බැවින්ය.”8

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා වන සභාපති නෙල්සන් පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපෙන් ඇසූ අනාවැකිමය ප්‍රශ්ණය ගැන මතක් කරන්නම්. සභාපති නෙල්සන් මෙසේ ඇසුවා: “ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද? … උන්වහන්සේගේ හඬට වෙනත් ඕනෑම දෙයකට වඩා … ප්‍රමුඛතාවය ගැනීමට ඔබ ඉඩදෙනවාද? ඔබගේ කැමැත්ත උන්වහන්සේ තුළ ගිලදැමීමට ඔබ කැමතිද?9 මගේ මව චිත්තවේගීව නමුත් ස්ථිර ලෙස “ඔව්” යනුවෙන් ප්‍රතිචාර දක්වන්න ඇති, ලොව පුරා සිටින සභාවේ ඇදහිලිවන්ත සාමාජිකයන්ද චිත්තවේගීව නමුත් ස්ථිර ලෙස “ඔව්” යනුවෙන් ප්‍රතිචාර දක්වනු ඇත. සභාපති නෙල්සන්, මෙම අනාවැකිමය ප්‍රශ්න වලින් අපව දිරිගැන්වීම සහ නගාසිටුවීම ගැන ස්තූතියි.

මෑතකදී, මම දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවරදී තම බිරිඳ සහ වැඩිහිටි දියණිය එකම දින භූමදාන කළ සභානායකවරයෙකු සමඟ සංවාදයක් පැවැත්වුවා. ඔවුන්ගේ ජීවිත බිලිගත්තේ මෙම කොරෝනා වයිරස් වසංගතයයි. මම ඔහුගෙන් ඔබට කොහොමද කියා ඇසුවා. සභානායක ටෙඩි තබෙතෙගේ ප්‍රතිචාරය මගින් ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්, දර්ශන දකින්නන් සහ එළිදරව් කරන්නන්ගෙන් වචන සහ උපදෙස් පිළිපැදීමට මගේ අධිෂ්ඨානය ශක්තිමත් වුණා. අපට උපකාර කරන්නේ කෙසේදැයි දැනගැනීම පිණිස ගැලවුම්කරුවාණන් තම සෙනඟගේ වේදනාවන් තමන් වෙත ගෙන ඇති බව දැනගැනීම සැමවිටම බලාපොරොත්තුවක් සහ සැනසීමක් ඇති කරන බව සභානායක තබෙතෙ ප්‍රතිචාර දැක්වූවා.10 ගැඹුරු ඇදහිල්ලෙන් ඔහු මෙසේ සාක්ෂි දුන්නා, “ගැලවීමේ සැලැස්ම, සන්තෝෂයේ සැලැස්ම ගැන මම කෘතඥ වෙනවා.” ඉන්පසු ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවා: “මේ අවසාන සම්මන්ත්‍රණයේදී අපට ඉගැන්වීමට අපේ අනාගතවක්තෘවරයා උත්සාහ කළේ මෙය නොවේද?”

මරණීය ජීවිතයේ අභියෝග අප සෑම කෙනෙකුටම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පැමිණෙනු ඇති අතර, “දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම” වන “දිනුම්පළ කරා දිවීම” යන අපගේ අරමුණ සිහිතබාගනිමු.”11

අප සියලුදෙනාටම මාගේ නිහතමානී ආරාධනය නම් කිසිවිටෙකත් අත් නොහරින්න! යන්නයි. “සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දිවීමට” අපව කැඳවා තිබෙනවා.12

වැදගත් වන්නේ අප ජීවිතයේ අත්විඳින දේ නොව, අප ජීවිතයේ පත්වන දෙයයි. දිනුම්පළ කරා දිවීමේ සතුටක් ඇත. සියල්ල ජයගත් තැනැන්වහන්සේ අප උන්වහන්සේ දෙස බලා සිටින විට අපට උපකාර කරනු ඇති බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.