ප්‍රධාන සම්මන්ත්‍රණය
COVID-19 සහ දේවමාළිගා
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


COVID-19 සහ දේවමාළිගා

ඔබේ දේවමාළිගා ගිවිසුම් හා ආශිර්වාද ඔබේ මනසෙහි හා හදවත් තුළ ප්‍රමුඛව තබාගන්න. ඔබ තබාගත් ගිවිසුම් වලට සත්‍යවන්තව සිටින්න.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපට සැබවින්ම තිබුණේ අධ්‍යාත්මික මංගල්‍යයක්. සම්පූර්ණ සම්මන්ත්‍රණයේම යාච්ඤා, පණිවිඩ සහ සංගීතය ගැන මම කොතරම් කෘතඤ වෙනවාද. ඔබ කොතැනක සිටියත්, අප සමඟ සම්බන්ධ වීම ගැන ඔබ සැමට ස්තූතියි.

පසුගිය වසරේ මුලදී, COVID-19 වසංගතය නිසා සහ හොඳ ගෝලීය පුරවැසියන් වීමට ඇති අපේ ආශාව නිසා, සියලු දේවමාළිගා තාවකාලිකව වසා දැමීමට අපි දුෂ්කර තීරණයක් ගත්තා. ඊළඟ මාස වලදී, ඉතා ප්‍රවේශම් සහගත ප්‍රවේශයකින් දේවමාළිගා ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට අපට පෙලඹීමක් ඇතිවුණා. දේවමාළිගා දැන් පළාත් පාලන රෙගුලාසි හා ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අදියර හතරකින් විවෘත කරමින් පවතිනවා.

පළමුවන අදියරයේ ඇති දේවාමාළිගා සඳහා, මීට පෙර තමන්ගේම බලයෙන් සැරසීම් ලබා ඇති සුදුසුකම් ලත් යුවළයන්ට ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස මුද්‍රා විය හැකියි.

දෙවන අදියරෙහි ඇති දේවමාළිගා සඳහා, කෙනෙකුගේ තම බලයෙන් සැරසීම, ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස මුද්‍රා වීම, සහ දරුවන් දෙමාපියන්ට මුද්‍රා වීම, ඇතුලු සියලුම ජීවන නියෝගයන් ක්‍රියාත්මක වෙනවා. අපි මෑතකදී දෙවන අදියරෙහි විධිවිධාන සංශෝධනය කර ඇති අතර අපගේ යෞවනයින්ට, නව සාමාජිකයින්ට, සහ සීමිත භාවිත නිර්දේශයක් ඇති අනෙක් අයට ඔවුන්ගේ මුතුන් මිත්තන් සඳහා නියෝජිත බව්තීස්මය සඳහා සහභාගී වීම නිර්දේශ කර තිබෙනවා.

තුන්වන අදියරෙහි ඇති දේවමාළිගා සඳහා, වේලාවන් සැලසුම් කර ඇති අයට ජීවත්වන්නන් සඳහා වන නියෝගයන් පමණක් නොව, මියගිය මුතුන් මිත්තන් සඳහා වන සියලුම නියෝජිත නියෝගයන් වලටද සහභාගී විය හැකියි.

4 වන අදියර පූර්ණ, නිත්‍ය දේවමාළිගා ක්‍රියාකාරකම් වෙත නැවත පැමිණීමකි.

මෙම වෙනස්වන හා අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ඔබ දැක්වූ ඉවසීම සහ කැපවීම වෙනුවෙන් අපි කෘතඥ වෙනවා. දේවමාළිගාවේ නමස්කාර කිරීමට හා සේවය කිරීමට ඔබ තුළ ඇති ආශාව වෙන කවරදාටත් වඩා දැන් දීප්තිමත්ව දැවෙන ලෙස මම යාච්ඤා කරනවා.

ඔබට නැවත දේවමාළිගාවට පැමිණිය හැක්කේ කවදාදැයි ඔබ කල්පනා කරනවා විය හැකියි. පිළිතුර: පළාත් පාලන රෙගුලාසි ඉඩ ලබාදෙන විට ඔබේ දේවමාළිගාව විවෘත වෙයි. ඔබේ ප්‍රදේශයේ COVID-19 සිදුවීම ආරක්ෂිත සීමාවන් තුළ ඇති විට, ඔබේ දේවමාළිගාව නැවත විවෘත වෙයි. ඔබේ ප්‍රදේශයේ COVID සංඛ්‍යාවන් අඩු කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න, එවිට ඔබේ දේවමාළිගා අවස්ථාවන් වැඩිවේවි.

මේ අතරතුර, ඔබේ දේවමාළිගා ගිවිසුම් හා ආශිර්වාද ඔබේ මනසෙහි හා හදවත් තුළ ප්‍රමුඛව තබාගන්න. ඔබ තබාගත් ගිවිසුම් වලට සත්‍යවන්තව සිටින්න.

අපි දැන් අනාගතය සඳහා ගොඩනඟමු! දේවමාළිගා හතළිස් එකක් දැනට ඉදිවෙමින් හෝ ප්‍රතිසංස්කරණ යටතේ පවතිනවා. වසංගතය නොතකා, පසුගිය වසරේදී පමණක් නව දේවමාළිගා 21 ක් සඳහා මුල්ගල් තැබුවා!

ස්වාමින්වහන්සේගේ ගෘහය අපගේ සාමාජිකයන් වෙත වඩාත් සමීප කරවීමට අපට අවශ්‍යයි, එවිට ඔවුන්ගේ තත්වයන් ඉඩදෙන සෑමවිටම දේවමාළිගාවට පැමිණීමේ පරිශුද්ධ වරප්‍රසාදය ඔවුන්ට ලැබෙනවා.

තවත් දේවමාළිගා 20 ක් ඉදිකිරීමේ අපගේ සැලසුම් ප්‍රකාශයට පත්කරන අතරතුර—අද දින මෙම ඉතිහාසය සැකසීමට ඔවුන්ගේ කැපවූ ජීවිත උපකාරී වී තිබෙන්නාවූ—අතීතයේ සහ වර්තමානයේ පුරෝගාමීන් ගැන මම මෙනෙහි කර ප්‍රශංසා කරනවා. පහත සඳහන් එක් එක් ස්ථානයන්හි නව දේවමාළිගාවන් ඉදිකරනු ලැබෙයි: ඔස්ලෝ, නෝර්වේ; බ්රසල්ස්, බෙල්ජියම; වියානා, ඔස්ට්‍රියාව; කුමාසි, ඝානාව; බෙයිරා, මොසැම්බික්; කේප් ටවුන්, දකුණු අප්‍රිකාව; සිංගප්පූරුව, සිංගප්පූරු ජනරජය; බෙලෝ හොරිසොන්ටේ, බ්‍රසීලය; කැලි, කොලොම්බියාව; ක්වෙරටාරෝ, මෙක්සිකෝව; ටොරියන්, මෙක්සිකෝව; හෙලේනා, මොන්ටානා; කැස්පර්, වයොමිං; ග්‍රෑන්ඩ් හන්දිය, කොලරාඩෝ; ෆාමින්ටන්, නිව් මෙක්සිකෝව; බර්ලි, අයිඩාහෝ; ඉයුජින්, ඔරිගන්; එල්කෝ, නෙවාඩා; යෝර්බා ලින්ඩා, කැලිෆෝනියාව; සහ ස්මිත්ෆීල්ඩ්, යූටා.

දේවමාළිගා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පූර්ණ ලෙස නැවත පිහිටුවීමේ සුවිශේෂී හා වැදගත් අංගයක්. දේවමාළිගාවේ නියෝගයන් වෙන කිසිඳු ආකාරයකින් ලබාගත නොහැකි ලෙස අපේ ජීවිත ශක්තියෙන් හා බලයෙන් පුරවයි. එම ආශිර්වාද නිසා අපි දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා.

අපි මෙම සම්මන්ත්‍රණය අවසන් කරන විට, අපි නැවතත් ඔබ කෙරෙහි අපගේ ආදරය ප්‍රකාශ කරනවා. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාදය සහ සෝදිසිය, ඔබ එකිනෙකා කෙරෙහි වගුරුවන ලෙස අපි යාච්ඤා කරනවා. අපි එක්ව උන්වහන්සේගේ ශුද්ධ වූ සේවයේ යෙදී සිටිනවා. ස්වාමින්වහන්සේගේ මහිමාන්විත කාර්යය සඳහා අපි සියලු දෙනාම ධෛර්යයෙන් යුතුව ඉදිරියටම ඇදෙමු! මේ සඳහා මම යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.