ප්‍රධාන සම්මන්ත්‍රණය
සොහොන් වළට ජයග්‍රහණයක් නැත
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සොහොන් වළට ජයග්‍රහණයක් නැත

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ වන්දිගෙවීම හා මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම තුළින් බිඳුණු හදවත් සුවකළ හැකිය, වේදනාව සමාදානය විය හැකිය, එමෙන්ම විපත බලාපොරොත්තුවක් බවට පත්විය හැකියි.

මෙම තේජාන්විත පාස්කු ඉරිදා දින, අපේ දරුවන් ප්‍රීතියෙන් මෙසේ ගායනා කරනවා, “ස්වර්ණමය වසන්ත කාලයකදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවදි වී උන්වහන්සේව තැන්පත් කළ සොහොන් ගෙය හැර ගියේය; මරණයේ බැමි උන්වහන්සේ බිඳ දැමුවේය.”1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ අපගේ දැනුමට අපි ස්තූතිවන්ත වෙනවා. එහෙත්, අපගේ ජීවිතයේ යම් අවස්ථාවකදී, අප ආදරය කරන කෙනෙකු අහිමි වීමෙන් පසු අපට සිත්තැවුලක් දැනී තිබෙන්නට පුලුවන්. වර්තමාන ගෝලීය වසංගතය තුළින්, අපගෙන් බොහෝ දෙනෙකුට ආදරණීයයන් වන—පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් අහිමි වී තිබෙනවා.2 එවැනි අහිමිවීමක් ගැන දුක්වන අය වෙනුවෙන් අපි යාච්ඤා කරනවා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා:

“වයස කුමක් වුවත්, ආදරය කරන හා අහිමි වූවන් වෙනුවෙන් අපි වැලපෙනවා. වැලපීම යනු පිරිසිඳු ප්‍රේමයේ ගැඹුරුතම ප්‍රකාශන වලින් එකක්. …

“එපමණක් නොව, දැන් කඳුළු සැලීමකින් තොරව සිදුවන වෙන්වීම් අපට පසුව ප්‍රීතිමත් නැවත හමුවීම් ලෙස සම්පූර්ණයෙන්ම අගය කළ නොහැකියි. මරණයෙන් ශෝකය දුරුකරගත හැකි එකම ක්‍රමය ප්‍රේමය ජීවිතයෙන් ඉවතට ගැනීමයි.”3

රූපය
කාන්තා ගෝලයන් යේසුස්වහන්සේ ගැන වැලපුණා.

යේසුස්වහන්සේව අනුගමනය කළ උන්වහන්සේ සමඟ දේවසේවය කළ,4 උන්වහන්සේගේ මිතුරන්ට උන්වහන්සේගේ මරණය දුටු විට හැඟුණේ කෙසේදැයි අපට සිතාගත හැකියි.5 “ඔවුන් අඬමින් සහ වැලපෙමින්” සිටි බව අපි දන්නවා.6 කුරුසියේ ඇණ ගසනු ලැබූ දිනයේ, ඉරිදා කුමක් සිදුවේදැයි නොදැන, ඔවුන් තම ස්වාමින්වහන්සේ නොමැතිව ඉදිරියට යන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඔවුන් කණගාටුවෙන් යටපත් වන්නට ඇති. කෙසේවෙතත්, මරණයේදී පවා ඔවුහු දිගටම උන්වහන්සේට දේවසේවය කළා.

අරිමාතියේ යෝසෙප් ඔහුට යේසුස්වහන්සේගේ දේහය ලබාදෙන ලෙස යදිමින් පිලාත්ගෙන් ඉල්ලා සිටියා. ඔහු දේහය බිමට ගෙන, සිහින් හණ වලින් ඔතා, තමාගේම නව සොහොන් ගෙයක තැන්පත් කර, සොහොන් ගෙය දොරට විශාල ගලක් පෙරළුවා.7

නිකොදේමුස් සුවඳ ලාටු සහ කෝමාරිකා ගෙනාවා. දේහය රැගෙන කුළුබඩු සමග ලිනන් රෙදි වලින් ඔතා ගැනීමට ඔහු යෝසෙප්ට උදව් කළා.8

මරියා මග්දලේනා සහ තවත් කාන්තාවන් යෝසෙප් සහ නිකොදේමුස් පසුපස ගිය අතර, ඔවුන් යේසුස්වහන්සේගේ දේහය තැන්පත් කළ ස්ථානය දෙස බලා, එය ආලේප කිරීම සඳහා මිහිරි කුළුබඩු හා ආලේපන පිළියෙළ කළා.9 එදින පැවති දැඩි නීති වලට අනුව, සෙනසුරාදා සබත බැවින් ශරීරය තවදුරටත් සකස් කර අභිෂේක කිරීමට ඔවුහු බලා සිටියා.10 ඊට පස්සේ ඉරිදා උදේ පාන්දර ඔවුන් සොහොන් ගෙය ළඟට ගියා. ගැලවුම්කරුවාණන්ගේ දේහය එහි නොමැති බව වටහාගත් ඔවුහු, යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් වූ, ගෝලයන්ට පැවසීමට ගියා. ප්‍රේරිතවරුන් ඔවුන් සමඟ සොහොනට පැමිණ එය හිස් බව දුටුවා. ගැලවුම්කරුවාණන්ගේ ශරීරයට සිදුවූයේ කුමක්දැයි කල්පනා කරමින්, මරියා මග්දලේනා හැර අන් සියල්ලෝ අවසානයේ පිටත්ව ගියා.11

මරියා මග්දලේනා තනිවම සොහොන් ගෙය තුළ රැඳී සිටියා. දින කිහිපයකට පෙර ඇගේ මිතුරා සහ ගුරුවරයාගේ ඛේදනීය මරණය ඇය දැක තිබුණා. දැන් උන්වහන්සේගේ සොහොන හිස්ව තිබූ අතර, උන්වහන්සේ සිටින තැන ඇය දැන සිටියේ නෑ. ඇයට එයට දරාගන්නට බැරි තරම් වූ දෙයක් වුණා, ඇය හඬා වැලපුණා. ඒ මොහොතේදී, නැවත නැඟිටුවනු ලැබූ ගැලවුම්කරුවාණන් ඇය වෙත පැමිණ ඇය හඬා වැලපෙන්නේ ඇයි සහ ඇය සොයන්නේ කාවදැයි විමසුවා. උයන්පල්ලා ඇය සමඟ කතා කළ බව සිතමින් ඇය ඇසුවේ, ඔහු ඇගේ ස්වාමින්වහන්සේගේ දේහය රැගෙන ගියේ නම්, එය කොහේදැයි ඇයට කියන ලෙසයි, එවිට ඇයට එය ලබාගත හැකි බවයි.12

රූපය
මරියා මග්දලේනා

මරියා මග්දලේනාට ශෝක වීමටත් ඇගේ වේදනාව ප්‍රකාශ කිරීමටත් ස්වාමින්වහන්සේ ඉඩදී ඇතැයි මම සිතනවා.13 ඉන්පසු උන්වහන්සේ ඇයට ඇගේ නමින් කතා කිරීමෙන් පසු, ඇය උන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේව හඳුනාගත්තා. ඇය මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේව දුටු අතර උන්වහන්සේගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂිකරුවෙකු වුණා.14

මරියා මග්දලේනා සහ ඇගේ මිතුරියන් ඔවුන්ගේ ස්වාමින්වහන්සේගේ මරණය ගැන දුක් වෙද්දී ඔබත් මටත් යම් ආකාරයකින් ඒ හා සම්බන්ධ විය හැකියි. මට වයස අවුරුදු නවයේදී, දරුණු භූමිකම්පාවකදී මට මගේ වැඩිමහල් සහෝදරයාව අහිමි වුණා. එය අනපේක්ෂිත ලෙස සිදුවූ නිසා, සිදුවී ඇති දේවල යථාර්ථය වටහාගැනීමට මට යම් කාලයක් ගතවුණා. ශෝකයෙන් මා සිත් තැවුලට පත්වූ අතර, “මගේ සහෝදරයාට මොකද වුණේ? කියා මම මගෙන්ම අසාගත්තා. ඔහු කොහේද? ඔහු කොහෙද ගියේ? මට ඔහුව නැවත දකින්නට ලැබෙයිද?”

දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ගැන මම ඒ වන විට දැන නොසිටි අතර, අප පැමිණියේ කොහෙන්ද, ජීවිතයේ අරමුණ කුමක්ද සහ අප මියගිය පසු අපට කුමක් සිදුවේද යන්න දැනගැනීමට මට ආශාවක් තිබුණා. අපට ආදරය කරන කෙනෙකුව අහිමි වූ විට හෝ අපගේ ජීවිතයේ දුෂ්කරතා වලට මුහුණදෙන විට අප සැමට ඒ ආශාවන් තිබෙනවා නේද?

අවුරුදු කිහිපයකට පසු, මම මගේ සහෝදරයා ගැන නිශ්චිත ආකාරයකින් සිතන්නට පටන්ගත්තා. ඔහු අපේ දොරට තට්ටු කරනවා කියලා මම හිතා ගන්නවා. මම දොර අරිනවා, ඔහු එතන සිටගෙන, ඔහු මට කියනවා, “මම මියගොස් නැහැ. මම ජීවත් වෙනවා. මට ඔබ වෙත එන්නට බැරි වුණා, නමුත් දැන් මම ඔබ සමඟ නැවතී සිටිනවා ආයෙ කවදාවත් දාලා යන්නේ නෑ.” සිහිනයක් මෙන් වූ, ඒ පරිකල්පනය, ඔහුව නැතිවීම ගැන මට දැනුණු වේදනාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට මට උපකාර වුණා. ඔහු මා සමඟ සිටිනු ඇතැයි යන සිතුවිල්ල මගේ මනසට නැවත නැවතත් පැමිණියා. ඔහු තට්ටු කරයි, මට ඔහුව නැවත දකින්න එයි කියලා හිතාගෙන, සමහර වෙලාවට මම දොර දිහා බලාගෙන ඉන්නවා.

අවුරුදු 40 කට පමණ පසු, පාස්කු කාලය තුළ, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ගැන මෙනෙහි කරමින් මගේ සහෝදරයා ගැන සිතන්නට පටන්ගත්තා. ඒ මොහොතේ මගේ සිතට එකවරම යම් අදහසක් ආවා. ඔහු මාව බලන්න එන බව මනසේ මවාගත් ආකාරය මට මතකයි.

අසීරු කාලයකදී ආත්මයාණන්වහන්සේ මට සැනසිල්ල ලබාදී ඇති බව එදින මට වැටහුණා. මගේ සහෝදරයාගේ ආත්මය මියගොස් නැති බවට සහ; ඔහු ජීවතුන් අතර බවට මට සාක්ෂියක් ලැබුණා. ඔහු තවමත් ඔහුගේ සදාකාලික පැවැත්මේ වර්ධනය වෙමින් සිටිනවා. “[මගේ] සහෝදරයා නැවත නැඟිටින බව”15 මම දැන් දන්නවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමේ එම අපූරු මොහොත නිසා, අප සියල්ලන්ම මරණයෙන් නැවත නැගිටිනවා. ඊට අමතරව, උන්වහන්සේ සමඟ ශුද්ධ වූ ගිවිසුම් ඇතිකර ගැනීමටත් ඒවා පිළිපැදීමටත් අපි තෝරාගන්නවා නම්, පවුල් ලෙස අප සැමට නැවත එක් වීමටත් එමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකාලික ප්‍රීතියක් ඇතිකර ගැනීමටත් උන්වහන්සේ අප සැමට අවස්ථාව ලබාදී තිබෙනවා.

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“මරණය යනු අපගේ සදාකාලික පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක්. එය පැමිණෙන්නේ කවදාදැයි කිසිවෙකු දන්නේ නෑ, නමුත් එය දෙවියන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ විශාල සැලැස්මට අත්‍යවශ්‍ය වෙනවා. ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීම සඳහා ස්තූති වන්නට, අවසානයේදී නැවත නැඟිටීම යථාර්ථයක් වන අතර සදාකාල ජීවනය සියලු මනුෂ්‍ය වර්ගයාට ලබාගත හැකියි. …

“… ඉතිරි වී ඇති ශෝකයට පත්වූ ආදරණීයයන් සඳහා… ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිර ඇදහිල්ලක්, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්, දෙවියන්වහන්සේට හා සියලු මිනිසුන්ට ප්‍රේමයක් සහ ඔවුන්ට සේවය කිරීමට ඇති ගැඹුරු ආශාව නිසා මරණයේ වේදනාව සන්සිඳවා තිබෙනවා. එම ඇදහිල්ල, එම බලාපොරොත්තුව, එම ප්‍රේමය, දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයට අපව සුදුස්සන් කරන අතර, අපගේ සදාකාලික සහකරුවන් සහ පවුල් සමඟ, දෙවියන්වහන්සේ සමග සදාකාලයටම පැවතීම සඳහා අපව සුදුස්සන් කරනවා.16

රූපය
උයනෙහි සොහොන්ගෙය

මම මෙසේ සාක්ෂි දරනවා “තවද ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් නැවත නැගිටුනේ නොමැති නම්, හෝ මරණයේ බැමි නොබින්දේ නම්, සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද එනම් මරණය විෂ නොවන්නේය, එහි නැවත නැගිටීමක් වන්නේ නැත”

“එහෙත් එහි නැවත නැගිටීමක් වන්නේය, එසේහෙයින් සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද මරණයේ කටුව ක්‍රිස්තුස්වහන්සේ තුළ ගිලගනු ලබන සේක.

“උන්වහන්සේ ලෝකයේ අලෝකයද, ජීවිතයද වන සේක, එසේය එනම් අනන්ත ආලෝකයකි, එනම් කවරදාකවත් අඳුරු කළ නොහැකි, එසේය තවද එසේම එය අනන්ත ජීවිතයකි, තවද එහි තවදුරටත් මරණය නොවන්නේය.”17

රූපය
මරණයෙන් නැවත නැගිටි යේසුස්වහන්සේ

යේසුස්වහන්සේ උන්වහන්සේ විසින්ම මෙසේ ප්‍රකාශ කළා, “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.”18

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ වන්දිගෙවීම හා මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම තුළින් බිඳුණු හදවත් සුවකළ හැකි බවත්, වේදනාව සමාදානය විය හැකි බවත්, විපත බලාපොරොත්තුවක් බවට පත්විය හැකි බවටත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ දයාව, සැනසීම, සවිබල ගැන්වීම සහ අප සෑම කෙනෙකුම සුවපත් කරන උන්වහන්සේගේ දෑතින් අපව වැලඳගැනීමට උන්වහන්සේට පුලුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.