ප්‍රධාන සම්මන්ත්‍රණය
මෙය අපේ කාලයයි!
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


මෙය අපේ කාලයයි!

ඉතිහාසයේ මෙම භාරදූර කාලයේ, මේ මොහොතේදී දෙවියන්වහන්සේ අපව මෙහි එවා තිබෙනවා.

1978 දී රසිකයන් 65,000 කින් පිරුණු පාපන්දු ක්‍රීඩාංගන පිටියක මම සිටගෙන සිටියා. මා ඉදිරිපිට ඉතා විශාල විරුද්ධවාදීන් කිහිපදෙනෙක් සිටි අතර ඔවුන් සිටියේ මගේ හිස ගලවන්නට වගෙයි. එය ජාතික පාපන්දු ලීගයේ ආරම්භක ක්වාටර්බැක් ක්‍රීඩකයෙකු ලෙස මගේ පළමු තරගය වූ අතර, අපි සෙල්ලම් කළේ රජකම් කළ සුපර් බෝල් ශූරයන් සමගයි. අවංකවම මම පිටියේ සිටීමට තරම් සුදුසුද කියා මම ප්‍රශ්න කළා. මගේ පළමු පන්දුව මුදාහැරීමට මම පසුපසට ගමන් කළා, මම පන්දුව මුදාහරිනවාත් සමග, මීට පෙර නොවැදුනු තරමේ පහරක් මට තදින්ම වැදුණා. ඒ මොහොතේදී, එම දැවැන්ත ක්‍රීඩකයන් ගොඩකට යටවී සිටි මම කල්පනා කළේ මා එහි කරන්නේ කුමක්ද යන්නයි. මට තීරණයක් ගන්න තිබුණා. මගේ සැකයන්ට මා අභිබවා යාමට ඉඩදෙනවාද, නැතිනම් නැඟිට ඉදිරියට යාමට ධෛර්යය හා ශක්තිය සොයාගන්නවාද?

රූපය
පළමු සාමාර්ථය

හවුල් මුද්‍රණාලය

මෙම අත්දැකීම අනාගත අවස්ථාවන් සඳහා මාව සූදානම් කරන්නේ කෙසේදැයි කියා මම දැනසිටියේ නැහැ. දුෂ්කර අවස්ථාවන්හිදී මට ශක්තිමත් හා ධෛර්ය සම්පන්න වියහැකි බව ඉගෙනගැනීමට මට අවශ්‍ය වී තිබුණා.

පාපන්දු ක්‍රීඩාවක් ඔබ මුහුණදෙන අභියෝග තරම් වැදගත් නොවිය හැකියි. බොහෝ අවස්ථා වලදී, නරඹන්නන්ගෙන් පිරුණු ක්‍රීඩාංගනයක් නොමැති විය හැකියි. නමුත් ඔබේ ධෛර්ය සම්පන්න තීරණ වලට සදාකාලික වැදගත්කමක් තිබෙනවා.

සමහරවිට අපට සෑමවිටම අභියෝගයේ දැනෙන්නේ නැහැ. නමුත් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපව දකින්නේ උන්වහන්සේගේ රාජ්‍යය නිර්භීතව ගොඩනඟන්නන් ලෙසයි. ලෝක ඉතිහාසයේ මෙම තීරණාත්මක කාලය තුළ උන්වහන්සේ අපව මෙහි එව්වේ ඒ නිසායි. මෙය අපේ කාලයයි!

සභාවේ සභාපති ධූරයට පත්වීමෙන් ටික කලකට පසු සභාපති රසල් එම්. නෙල්සන් පැවසූ දෙයට සවන්දෙන්න: “අපගේ ගැලවුම්කාරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ බලවත්ම ක්‍රියා කිහිපයක් දැන් සහ නැවත පැමිණීම අතර කාලය තුළ සිදුකරනවා. පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ සහාවේ තේජසින් හා මහිමයෙන් යුතුව කටයුතු කරන බවට ආශ්චර්යමත් ඇඟවීම් අපට පෙනෙයි” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96).

බලවත්ම කාර්යයන්? ආශ්චර්යමත් ඇඟවීම්? එය කුමක් මෙන් විය හැකිද? අප කුමන කාර්යභාරයක් ඉටුකරනු ඇත්ද, කුමක් කළ යුතුදැයි අප තේරුම්ගන්නේ කෙසේද? මම සෑම පිළිතුරුරක්ම දන්නේ නැත, නමුත් අප සූදානම්ව සිටීම ස්වාමින්වහන්සේට අවශ්‍ය බව මම දන්නවා! සුදුසු ලෙස පූජකත්වයේ බලය යෙදවීම කවරදාකටත් වඩා තීරණාත්මක වී තිබෙනවා.

අපි දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව විශ්වාස කරනවාද? අපගේ ඉරණම සොයාගෙන ඉටුකළ හැකිද? ඔව්, අපට පුළුවන්, ඔව් අපි කළ යුතුයි, මොකද මෙය අපගේ කාලයයි!

මෝසෙස්, මරියා, මොරෝනි, ඇල්මා, එස්තර්, ජෝසප් සහ තවත් බොහෝ—අපට පෙර පැමිණි දෙවියන්වහන්සේගේ බලවත් සේවකයන්ගේ කථා අසන විට—ඒවා ජීවිතයට වඩා විශාල ලෙස පෙනෙනවා. නමුත් ඔවුන් අපට වඩා වෙනස් නොවේ. ඔවුන් අභියෝගයන්ට මුහුණදුන් සාමාන්‍ය පුද්ගලයන්. ඔවුන් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කළා. තීරණාත්මක අවස්ථාවන්හිදී ඔවුන් නිවැරදි තෝරාගැනීම් කළා. තවද, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව, ඔවුන්ගේ කාලයට අවශ්‍ය ක්‍රියා සිදුකළා.

රූපය
යෝෂුවා අනාගතවක්තෘවරයා

ගුඩ්සෝල්ට්

පරණ ගිවිසුමේ වීරයෙකු වන යෝෂුවා ගැන සලකා බලන්න. ඔහු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නායකයන්ගෙන් කෙනෙකු වූ මෝසෙස්ගේ දැඩි අනුගාමිකයෙක් වුණා. මෝසෙස් පිටත්ව ගිය පසු, එය යෝෂුවාගේ කාලය වුණා. ඔහුට ඊශ්‍රායෙල් ජනයා පොරොන්දු දේශයට මෙහෙයවිය යුතුව තිබුණා. ඔහු එය කරන්නේ කෙසේද? යෝෂුවා ඉපදී හැදී වැඩුණේ ඊජිප්තුවේ වහල්භාවයේයි. ඔහුට උදව් කිරීමට අත්පොතක් හෝ උපදේශාත්මක වීඩියෝ පටයක් ඔහු සතුව තිබුනේ නැහැ. ඔහුට ස්මාර්ට් ජංගම දුරකතනයක්වත් තිබුනේ නැහැ! නමුත් ඔහු සතුව ස්වාමින්වහන්සේගේ මෙම පොරොන්දුව තිබුණා.

“මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම, නුඹ සමඟත් සිටින්නෙමි: නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.

“ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න” (යෝෂුවා 1:5–6).

මම නව හා අද්දැකීම් අඩු හැත්තෑවේ වැඩිහිටියෙකුව සිටින විට, රෝහලේ සිටින තරුණයෙකු බැලීමට මට වහාම අනාගතවක්තෘවරයා නියෝජනය කිරීමට හැකි දැයි විමසමින්, පළමු සභාපති කාර්යාලයෙන් මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණා. තරුණයාගේ නම සැක්. ඔහු ධර්මදූතයෙකු වීමට සූදානම් වෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව හිසට බරපතල තුවාල සිදුවී තිබුණා.

මම රෝහලට යන විට මගේ සිත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා. අනාගතවක්තෘවරයාට නියෝජිතයෙක් ලෙස–ඔබ විහිළු කරනවාද? මා මුහුණදීමට යන්නේ කුමක්ද? මම මේ තරුණයාට උදව් කරන්නේ කොහොමද? මට ප්‍රමාණවත් විශ්වාසයක් තිබේද? දැඩි යාච්ඤාව සහ මා සතුව ඇති ශුද්ධ පූජකවරයේ අධිකාරිය මගේ නැංගුරම් වුණා.

මම එන විට සැක් රෝහල් ඇඳක වැතිර සිටියා. වෛද්‍යවරුන් ඔහුගේ මොළයේ ඇති පීඩනය සමනය කිරීමට ඔහුව ශල්‍ය කාමරයට ගෙන යාමට සූදානමින් සිටියා. මම ඔහුගේ කඳුළු සලන මව සහ ඒ අසල සිටගෙන සිටි බියෙන් මෙන් සිටි මිතුරෙකු දෙස බැලුවා, සැක්ට පූජකවර ආශිර්වාදයක් අවශ්‍ය බව මම පැහැදිලිව දැන සිටියා. ඔහුගේ මිතුරා මෑතකදී මෙල්කිසදෙක් පූජකවරය ලබාගෙන ඇති නිසා මට උදව් කරන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියා. අපි නිහතමානීව සැක්ට ආශිර්වාද කළ විට මට පූජකවරයේ බලය දැනුණා. පසුව ඔහු සැත්කම සඳහා ඉක්මනින් ගෙන ගිය අතර ගැලවුම්කාරුවාණන් තම ප්‍රඥාවට අනුව මෙය හසුරුවන බවට සාමකාමී හැඟීමකින් තහවුරු වුණා.

ආරම්භක කැපීම සිදුකිරීමට පෙර වෛද්‍ය කාර්ය මණ්ඩලය අවසන් වරට එක්ස් කිරණ පරීක්ෂාවක් සිදුකළා. ඔවුන් පුදුමයට පත්කරමින්, කිසිඳු සැත්කමක් අවශ්‍ය නොවන බව ඔවුහු සොයාගත්තා.

බොහෝ ප්‍රතිකාර වලින් පසුව, සැක් නැවත ඇවිදීමට හා කතා කිරීමට ඉගෙනගත්තා. ඔහු සාර්ථක ධර්මදූත මෙහෙයක් ඉටුකළ අතර දැන් ඔහු ලස්සන පවුලක් ගෙන යනවා.

ඇත්තවශයෙන්ම, සැමවිටම ප්‍රතිඵලය එය නොවේ. මෙවැනිම ඇදහිල්ලකින් මම වෙනත් පූජකවර ආශිර්වාද දී ඇති නමුත්, ස්වාමින්වහන්සේ මේ ජීවිතයේ සම්පූර්ණ සුවය ලබාදුන්නේ නෑ. අපි උන්වහන්සේගේ අරමුණු කෙරෙහි විශ්වාසය තබා ප්‍රතිඵලය උන්වහන්සේට භාරදෙනවා. අපට සැමවිටම අපගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය තෝරාගත නොහැකියි, නමුත් අපට ක්‍රියා කිරීමට සූදානම්ව සිටිය හැකියි.

ජීවිත තර්ජනාත්මක අවස්ථාවක ඔවුන් නියෝජනය කරන ලෙස පළමු සභාපතිත්වය කිසිවිටෙකත් ඔබෙන් ඉල්ලා සිටින්නේ නෑ. නමුත් ස්වාමින්වහන්සේගේ නියෝජිතයන් වශයෙන් ජීවිතය වෙනස් කරන දේවල් කිරීමට අප සැමගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ අපව අත්හරින්නේ නෑ. මෙය අපේ කාලයයි!

යේසුස්වහන්සේ වතුර මත ඇවිදින විට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රධාන ප්‍රේරිත, පේත්‍රැස්, කුණාටුවකට හසුවූ බෝට්ටුවක සිටියා. ඔහුට උන්වහන්සේ හා එක්වීමට අවශ්‍ය වූ අතර ගැලවුම්කරුවාණන් “එන්න” යයි කීවා. ධෛර්ය සම්පන්නව හා ආශ්චර්යමත් ලෙස, පේත්‍රැස් බෝට්ටුවේ ආරක්ෂාව අතහැර ගැලවුම්කරුවාණන් දෙසට ඇවිද යන්නට පටන් ගත්තා. නමුත් පේත්‍රැස් දැඩි සුළඟ කෙරෙහි අවධානය යොමුකළ විට ඔහුගේ ඇදහිල්ල අඩපණ වුණා. “නමුත් ඔහු සුළඟ දැක භය වී; ගිලෙන්නට පටන්ගෙන ස්වාමිනි මා ගැළවුව මැනවයි මොරගැසුවේය. එකෙණෙහිම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ අත දිගු කොට ඔහුව අල්ලාගත් සේක.” (මතෙව් 14:22–33 බලන්න.)

රූපය
යේසුස්වහන්සේ ලඟාවෙමින්

අපේ ජීවිත වල සුළං හමන විට අපගේ අවධානය යොමුවන්නේ කොහේටද? මතක තබාගන්න, සෑමවිටම එක විශ්වාසදායක ශක්තියේ සහ ධෛර්යයේ ප්‍රභවයක් තිබෙනවා. යේසුස්වහන්සේගේ දෑත් පේත්‍රැස්ට දිගු කළාක් මෙන් අපටත් දිගු වෙනවා. අප උන්වහන්සේ වෙතට ලඟාවන විට, උන්වහන්සේ අපව ආදරයෙන් ගලවා ගන්නවා. අපි උන්වහන්සේගේයි. උන්වහන්සේ මෙසේ පැවසුවා, “භය නොවන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ් මාගේය” (යෙසායා 43:1). ඔබ ඔහුට ඉඩ දුන්නොත් ඔහු ඔබේ ජීවිතයේ ජයගනු ඇත. තෝරගැනීම ඔබේය. (රසල් එම් නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92–95.)

යෝෂුවා තම ජීවිතයේ අවසානයේදී, තම සෙනඟගෙන් බැගෑපත්ව මෙලෙස ඉල්ලා සිටියා, “නුඹලා සේවය කරන්නේ කාටද කියා අදම තෝරාගනිල්ලා; … එහෙත් අපි නම්, මමද මගේ පවුලද ස්වාමින්වහන්සේට සේවය කරමු” (යෝෂුවා 24:15). ස්වාමින්වහන්සේට සේවය කිරීම සඳහා ඔහු කළ තෝරාගැනීම නිසා යෝෂුවා ඔහුගේ කාලයේ ශ්‍රේෂ්ට නායකයෙකු බවට පත්වුණා. මගේ ආදරණීය මිත්‍රවරුනි, මෙය අපේ කාලයයි! එමෙන්ම අප කරනා එම තේරීම් අපගේ ඉරණම තීරණය කරයි, “Decisions Determine Destiny” [Brigham Young University fireside, Nov. 6, 2005], speeches.byu.edu).

මම සභානායකයෙකු ලෙස සේවය කරමින් සිටියදී, අපගේ කොට්ඨාශයේ ආදර්ශ පාඨයක් තිබුණා: හොඳ තේරීම්—සදාකාලික සන්තෝෂයට සමානයි. ශාලාවේ මාව පසුකරන ගමන් යෞවනයින් “සභාපතිතුමනි, මම හොඳ තේරීමක් කරනවා” යැයි පවසනවා. එය සභානායකවරයෙකුගේ සිහිනයකි!

“හොඳ තේරීම්” යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද? කෙනෙකු වරක් යේසුස්වහන්සේගෙන් මෙසේ ඇසුවා; “නීතියේ ශ්‍රේෂ්ටතම ආඥාව කුමක්ද?” උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා:

“ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.

“මේක උතුම්වූ පළමුවෙනි වූ ආඥාවය.

“මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරව යනුයි.”(මතෙව් 22:36–39).

මම ඔබ ගැන දන්නේ නෑ, නමුත් මම මෙම ශ්‍රේෂ්ට අඥා දෙක කියවන විට, තුන්වන ඇඟවුම් කරන ලද ආඥාවක් හඳුනා ගන්නවා: එනම් ඔබටම ප්‍රේම කරන්න.

ආඥාවක් ලෙස ඔබට ප්‍රේම කිරීම ගැන ඔබ කවදා හෝ සිතුවාද? අප අපටම ප්‍රේම නොකරන්නේ නම් අපට දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට සැබවින්ම ප්‍රේම කිරීමට පුළුවන්ද?

වසර ගණනාවක විනාශකාරී තෝරාගැනීම් ජයගැනීමට උත්සාහ කළ මිනිසෙකුට බුද්ධිමත් නායකයෙක් මෑතකදී උපදෙස් දුන්නා. කිසිම කෙනෙකුගේ ආදරය ලැබීමට තමන් සුදුසු දැයි සැක කරමින්, මිනිසා ලැජ්ජාවට පත්ව සිටියා.

ඔහුගේ නායකයා ඔහුට කතා කොට, “ස්වාමින්වහන්සේ ඔබව හඳුනනවා, ඔබට ප්‍රේම කරනවා, ඔබ ගැනත් ඔබ ගන්නා ධෛර්ය සම්පන්න පියවර ගැනත් සතුටු වනවා” යැයි පැවසුවා. නමුත් ඔහු තවදුරටත් කියා සිටියේ, “[ඔබ] ඔබට ප්‍රේම කරන්න යන ආඥාව ඇසිය යුතු අතර එවිට ඔබට [දෙවියන්වහන්සේගේ] ආදරය දැනීමටත් අන් අයට ප්‍රේම කිරීමටත් හැකිවෙනවා.”

මෙම සහෝදරයා එම උපදෙස් ඇසූ විට ඔහු ජීවිතය නව දෑස්වලින් දුටුවා. පසුව ඔහු මෙසේ පැවසුවා, “මම මගේ මුළු ජීවිත කාලයම ගතකළේ සාමය සහ පිළිගැනීම සොයාගැනීමටයි. මම බොහෝ වැරදි ස්ථාන වල ඒ දේවල් සොයා බැලුවා. මට සැනසිල්ල ලැබිය හැක්කේ ස්වර්ගික පියාණන්ගේ හා ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයෙන් පමණි. මම දන්නවා මම මා හට ආදරය කරනවාට ඔවුන්ට අවශ්‍යයි; ඔවුන් මා කෙරෙහි දක්වන ආදරය මට දැනෙන එකම ක්‍රමය එයයි.“

අපගේ ස්වර්ගික පියාණන්ට අවශ්‍ය වන්නේ අප අපටම ප්‍රේම කිරීමයි—ආඩම්බර වීමට හෝ ආත්මාර්ථකාමී වීමට නොව, උන්වහන්සේගේ ආදරණීය දරුවන් වන අපව උන්වහන්සේ දකින ආකාරයට අප අපවම දැකීමටයි. මෙම සත්‍යය අපගේ හදවත් තුළට කිඳාබසින විට දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය වර්ධනය වනවා. අප අවංක ගෞරවයෙන් අප දෙස බලන විට, අන් අයටත් එලෙස සැලකීමට අපගේ හදවත් විවෘත වනවා. අපගේ දිව්‍යමය වටිනාකම අපි වැඩි වැඩියෙන් හඳුනාගන්නා විට, මෙම දිව්‍ය සත්‍යය අපි වඩා හොඳින් තේරුම් ගන්නවා: එනම් ඉතිහාසයේ මෙම භාරදූර කාලයේ, මේ මොහොතේදී දෙවියන්වහන්සේ අපව මෙහි එවා තිබෙනවා, එමඟින් අපට ඇති දක්ෂතා සහ දීමනා වලින් උපරිම යහපත කළ හැකිවන පිණිසයි. මෙය අපේ කාලයයි! (See Russell M. Nelson, “Becoming True Millennials” [worldwide devotional for young adults, Jan. 10, 2016], broadcasts.ChurchofJesusChrist.org.)

ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වූවා, සෑම යුගයක, සෑම අනාගතවක්තෘවරයෙක්ම, “අප ජීවත් වන දවස දක්වා ප්‍රීතිමත් අපේක්ෂාවෙන් බලා සිටියෙමු; …ඔවුන් අපේ දවස ගැන ගායනා කර, ලියා, අනාවැකි පළ කර තිබේ; …පසුකාලීන තේජස ගෙන ඒමට දෙවියන්වහන්සේ තෝරාගෙන ඇති ප්‍රසාද ලත් මිනිසුන් අපියි” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 186).

ඔබේ දෛනික අභියෝගයන්ට ඔබ මුහුණදෙන විට, වැඩිහිටි ජෙෆ්රි ආර්. විසින් ඉදිරිපත් කරන ලද මෙම සහතිකය මතක තබාගන්න: “අපගේ උරහිස් මත බොහෝ දේ රැඳී ඇති නමුත් එය තේජාන්විත හා සාර්ථක අත්දැකීමක් වනු ඇත. … මෙම අවසන් තරඟයේ ජයග්‍රහණය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. ජයග්‍රහණය දැනටමත් වාර්තා පොත්වල තිබේ… , ශුද්ධලියවිලි වල තිබේ! ” (“Be Not Afraid, Only Believe” [address to Church Educational System religious educators, Feb. 6, 2015], broadcasts.ChurchofJesusChrist.org).

මෙම සුන්දර පාස්කු සති අන්තයේ, ගැලවුම්කාරයාණන්ගේ නැවත පැමිණෙන මහිමාන්විත දවස සඳහා අපි සූදානම් වන විට, අපගේ පෞද්ගලික භූමිකාවන් හඳුනාගෙන ඒවා වැළඳගැනීමට අපි සියලුදෙනාම යාච්ඤා කරන ලෙස මම ආරාධනා කර සිටිනවා. අපට තේරුම්ගත හැකි ප්‍රමාණයට වඩා ස්වාමින්වහන්සේ අපට ප්‍රේම කරන අතර, උන්වහන්සේ අපගේ යාච්ඤා වලට පිළිතුරු ලබාදෙනවා! අප පාපන්දු පිටියක, රෝහල් කාමරයක හෝ වෙනත් ස්ථානයක වේවා, මෙම අපූරු සිදුවීම් වල වැදගත් කොටසක් වීමට අපට හැකියි—මන්ද මෙය අපගේ කාලයයි! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.