ප්‍රධාන සම්මන්ත්‍රණය
නැවත නිවස කරා යන මාර්ගය මතක තබාගන්න
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


නැවත නිවස කරා යන මාර්ගය මතක තබාගන්න

අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කළ හැකි අතර, අපගේ සදාකාල නිවස කරා යන ගමන සිදුවිය හැක්කේ උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ ජීවිතය ඇතුළුව උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසායි.

1946 දී තරුණ පර්යේෂකයෙකු වූ ආතර් හැස්ලර් තම කුඩා කල නිවස අසල කඳුකරයක දිය පහරක් දිගේ ගමන් කරමින් සිටියදී මාළු ඔවුන්ගේ උපන් ගංගා වලට ආපසු යන ආකාරය සොයාගන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් සොයාගැනීමකට තුඩුදුන් අත්දැකීමක් ලැබුවා.

කන්දක් තරණය කරමින් සිටියදී, තම කුඩා කල ප්‍රියතම දියඇල්ල පෙනෙන තෙක් මානයක නොවුනද හස්ලර් හට හදිසියේම අමතක වූ දෙයක් මතකයට නැගුණා. ඔහු මෙසේ කිව්වා: “ගල් පර්වතය වටා අතුගා ඇදෙන, පාසි සහ කොලම්බයින් සුවඳ දරාගෙන සිටින සිසිල් සුළඟක් ලෙස, මෙම දියඇල්ල පිළිබඳ විස්තර සහ කඳුකරයේ එහි පිහිටීම හදිසියේම මගේ මනසේ ඇසට නැඟුණා.”1

මෙම සුවඳ ඔහුගේ ළමා කාලය පිළිබඳ මතකයන් යළි පණගැන්වූ අතර ඔහුට නිවස ගැන මතක්කර දුන්නා.

ගඳ සුවඳට ඔහුට එවැනි මතකයන් ඇතිකරවීමට හැකිනම්, වසර ගණනාවක් විවෘත සාගරයේ සිටීමෙන් පසු, ඔවුන්ගේ උපත සිදුවූ නිශ්චිත ප්‍රවාහයට නැවත පැමිණෙන සැමන් මත්ස්‍යයින්ට ගඳ සුවඳ දැනෙන බව ඔහු තර්ක කළා.

මෙම අත්දැකීම මත පදනම්ව, හැස්ලර්, අනෙකුත් පර්යේෂකයන් සමඟ එක්ව, සැමන් මත්ස්‍යයින් සැතපුම් දහස් ගණනක් සැරිසරා මුහුදෙන් ආපසු ගෙදර යෑමට උපකාරී වන සුවඳ මතක තබාගන්නා බව පෙන්නුම් කළා.

මෙම වාර්තාවෙන් මට සිතාගත හැකි වූයේ මේ ජීවිතයේ අපට කළ හැකි වැදගත්ම දෙය නම් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යන මාවත හඳුනාගැනීම සහ මතක තබාගැනීම එමෙන්ම ගමන පුරා ඇදහිලිවන්තව හා ප්‍රීතියෙන් නොපසුබට උත්සාහයක් දැරීමයි.

අපගේ ජීවිත තුළ නිරන්තරයෙන් භාවිතා කරන විට සහ ක්‍රියාවට නංවන විට අපගේ ස්වර්ගීය නිවස පිළිබඳ හැඟීම් යළිත් වරක් ඇතිකළ හැකි මතක් කිරීම් හතරක් ගැන මම සිතුවා.

පළමුව, අප දෙවියන්වහන්සේගේ දරුවන් බව අපිට මතක තබාගත හැකියි.

අපට දිව්‍ය උරුමයක් තිබෙනවා. අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත්, උන්වහන්සේ වෙත අපගේ නැවත පැමිණීම උන්වහන්සේට අවශ්‍ය බවත් දැන සිටීම අපගේ ස්වර්ගීය නිවස වෙත ආපසු යන ගමනේ පළමු පියවර වලින් එකක්.

මෙම උරුමය ගැන ඔබ ඔබටම මතක්කර දෙන්න. ස්වාමින්වහන්සේගෙන් ඔබට ලැබී ඇති ආශිර්වාද සිහිපත් කිරීමෙන් ඔබේ අධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට නිතිපතා කාලය ගන්න. ඔබේ පෞද්ගලික වටිනාකම මැන බැලීමට සහ ඔබේ මාර්ගය සොයාගැනීමට ලෝකයට පමණක් හැරෙනවාට වඩා, උන්වහන්සේගෙන් ඔබට ලබාදී ඇති මාර්ගෝපදේශ විශ්වාස කරන්න.

මෑතකදී මම ආදරණීයයෙකු රෝහලෙන් නවත පැමිණි පසු ඇය බැලීමට ගියා. රෝහලේ ඇඳ මත වැතිරී සිටියදී ඇය හැඟීම්බරව පැවසුවේ ඇයගේ එකම ආශාව කිසිවෙකු හෝ ඇයට “I Am a Child of God” ගීතිකාව ගායනා කරනවා ඇසීම බවයි. එම සිතුවිල්ල පමණක් එම පීඩාවේදී ඇයට අවශ්‍ය සාමය ලබාදුන් බව ඇය පැවසුවා.

ඔබ කවුරුන්දැයි දැනගැනීමෙන් ඔබට දැනෙන දේ සහ ඔබ කරන දේ වෙනස් වෙනවා.

ඔබ සැබවින්ම කවුරුන්ද යන්න තේරුම්ගැනීම ඔබගේ ස්වර්ගීය නිවස වෙත ආපසු යන මාර්ගය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමටත් එහි සිටීමට ආශාවෙන් සිටින්නටත් වඩාත් හොඳින් ඔබව සූදානම් කරයි.

දෙවනුව, අපව ආරක්ෂා කරන පදනම අපට මතක තබාගත හැකියි.

ශක්තිය අප වෙත පැමිණෙන්නේ ගැලවීමේ මූලධර්ම හා අඥාවන් අන් අය නොසලකා හරින විට පවා, අපි ස්වර්ගික පියාණන්ට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ධර්මිෂ්ඨව, සත්‍යවන්තව සහ ඇදහිලිවන්තව සිටින විටයි.2

මොර්මොන්ගේ පොතේ, හිලමන් තම පුතුන්ට ඉගැන්වූයේ සතුරාගේ පරීක්ෂාවන්ට ඔරොත්තුදීමේ ශක්තිය ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ඔවුන්ගේ අත්තිවාරම් ඔවුන් ගොඩනගාගත යුතු බවයි. සාතන්ගේ බලවත් සුළං සහ කුණාටු අපට පහර දෙයි, නමුත් අපගේ මිදුම්කරුවාණන් වන—අපගේ ආරක්ෂිත ස්ථානය කෙරෙහි විශ්වාසය තබා තිබේ නම් අපව ඇදගෙන යාමට ඒවාට බලයක් නෑ.3

උන්වහන්සේගේ හඬ ඇසීමට හා උන්වහන්සේව අනුගමනය කිරීමට අප තෝරාගන්නා විට, අපට උන්වහන්සේගේ උපකාරය ලැබෙන බව මම පෞද්ගලික අත්දැකීම් වලින් දන්නවා. අපගේ තත්වයන් පිළිබඳ පුළුල් දෘෂ්ටිකෝණයක් සහ ජීවිතයේ අරමුණ පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපිට ලබාගත හැකියි. අපගේ ස්වර්ගීය නිවස කරා මගපෙන්වන අධ්‍යාත්මික කැළඹීම් අපිට දැනෙයි.

තෙවනුව, අපට යාච්ඤා කිරීමට මතක තබාගත හැකියි

අප ජීවත් වන්නේ තනි ස්පර්ශයකින් හෝ හඬ විධානයකින්, විශාල හා සංකීර්ණ පරිගණක ජාලයක ගබඩා කර සංවිධානය කර ඇති අතිමහත් දත්ත වල ඕනෑම මාතෘකාවකට පාහේ පිළිතුරු සෙවීම ආරම්භ කළ හැකි කාලයකයි.

අනෙක් අතට, ස්වර්ගයෙන් පිළිතුරු සෙවීම ආරම්භ කිරීමේ සරල ආරාධනයද අපට තිබෙනවා. “සැමවිටම යාච්ඤා කරන්න, තවද මම මාගේ ආත්මය නුඹ මත වගුරුවන්නෙමි.” ඉන්පසු ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, “තවද නුඹගේ ආශිර්වාදයන් මහත් වන්නේය—එසේය, පොළොවේ වස්තූන්ට වඩා වුවත් නුඹ ලබාගන්නෙහිය.”4

දෙවියන්වහන්සේ අප එකිනෙකා ගැන හොඳින් දන්නා අතර අපගේ යාච්ඤා වලට සවන්දීමට සූදානමින් සිටිනවා. අප යාච්ඤා කිරීමට මතකතබා ගන්නා විට උන්වහන්සේගේ තිරසාර ප්‍රේමය අපට හමුවන අතර, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ට අපි වැඩි වැඩියෙන් යාච්ඤා කරන තරමට, අපි වැඩි වැඩියෙන් ගැලවුම්කරුවාණන්ව අපගේ ජීවිතයට ගෙන එන අතර, උන්වහන්සේ අපගේ ස්වර්ගීය නිවසට සලකුණු කර ඇති මාර්ගය අපිට වඩාත් හොඳින් හඳුනාගත හැකියි.

හතරවනුව, අන් අයට සේවය කිරීමට අපට මතක තබාගත හැකියි

අන් අයට සේවය කිරීමෙන් හා කරුණාව දක්වීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අප වෑයම් කරන විට, අපිට ලෝකය වඩා හොඳ තැනක් බවට පත්කර ගත හැකියි.

අපගේ ක්‍රියාවන්ට අප අවට සිටින අයගේ ජීවිත වලට සහ අපේම ජීවිත වලට සැලකිය යුතු ලෙස ආශිර්වාද කළ හැකියි. ආදරණීය සේවාව, ලබාදෙන්නාගේ සහ ලබන්නාගේ ජීවිත වලට අර්ථයක් එක් කරනවා.

ඔබගේ ක්‍රියාවන්හි සේවය සහ ඔබේ ආදර්ශයේ සේවය මගින්, යහපත සඳහා අන් අයට බලපෑම් කිරීමට ඔබට ඇති හැකියාව අවතක්සේරු කරන්නට එපා.

අන්‍යයන්ට සේවය කිරීම අපගේ ස්වර්ගීය නිවස කරා යන ගමනේදී අපට මගපෙන්වනවා—එය අපගේ ගැලවුම්කරුවාණන් මෙන් වීමේ මාවතයි.

1975 දී, සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් ලෙස, අර්නල්ඩෝ සහ ඉයුජීනියා ටෙලිස් ග්‍රිලෝට සහ ඔවුන්ගේ දරුවන්ට දශක ගණනාවක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සාදාගත් ඔවුන්ගේ නිවස සහ ඔවුන් විසින් ගොඩනගා තිබූ සියල්ල අතහැර යාමට සිදුවුණා. නැවතත් ඔවුන්ගේ මව් රට වන පෘතුගාලයේ සහෝදර ටෙලිස් ග්‍රිලෝ සහ එම සහෝදරිය නැවතත් මුළ සිටම ආරම්භ කිරීමේ අභියෝගයට මුහුණදුන්නා. නමුත් වසර ගණනාවකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වීමෙන් පසු ඔවුන් පැවසුවේ, “අපට තිබූ සියල්ල අපට අහිමි විය, නමුත් එය හොඳ දෙයක් වූයේ සදාකාලික ආශිර්වාද වල වැදගත්කම සලකා බැලීමට එය අපට බල කළ බැවින්” කියායි.5

ඔවුන්ට ඔවුන්ගේ පොළොවේ නිවස අහිමි වූ නමුත් ඔවුන් නැවත ඔවුන්ගේ ස්වර්ගීය නිවස කරා යන මාර්ගය සොයාගත්තා.

ඔබගේ ස්වර්ගීය නිවස කරා යන මාවත අනුගමනය කිරීම සඳහා ඔබ අත්හැරිය යුතු ඕනෑම දෙයක් යම් දවසක කිසිසේත් පරිත්‍යාගයක් ලෙස පෙනෙන්නේ නෑ.

අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කළ හැකි අතර, අපගේ සදාකාල නිවස කරා යන ගමන සිදුවිය හැක්කේ උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ මරණය හා මහිමාන්විත නැවත නැගිටීම ඇතුළුව උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසායි.

අපි දෙවියන්වහන්සේගේ දරුවෝ බවත් උන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළේද යත්, අපට මාර්ගය පෙන්වීම සඳහා උන්වහන්සේ තම පුත්‍රයා6 එවූ බවත් සිහිපත් කිරීමෙන් ප්‍රීතිය අත්දැකීමට මම ඔබට ආරාධනා කරනවා. ඇදහිලිවන්තව සිටීමට, ඔබේ ජීවිතය ගැලවුම්කරුවාණන් වෙත හැරවීමට සහ උන්වහන්සේ කෙරෙහි ඔබේ අත්තිවාරම ගොඩනැගීමට මතක තබාගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබේ ගමනේදී යාච්ඤාවෙන් සිටීමටත් එම ගමනේදීම අන් අයට සේවය කිරීමටත් මතක තබාගන්න.

ආදරණීය සහෝදර සහෝදරියනි, මේ පාස්කු ඉරිදා දවසේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ මිදුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන් බවට මම සාක්ෂි දරනවා. ප්‍රීතිමත් ජීවිතය නැමැති මේසය වෙතට අපව මෙහෙයවන්නේ උන්වහන්සේ වන අතර, අපේ ගමනේදී අපට උන්වහන්සේ මගපෙන්වයි. අපි උන්වහන්සේව සිහිකර නිවස තෙක් පසුපස යමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.