ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව

තනිවම සිටින බවක් හෝ තමන් අයිති නැති බව හැඟෙන සියල්ලන්ට උදව් කිරීමට අපි ආශා වෙනවා. විශේෂයෙන්, දැනට තනිකඩව සිටින අය ගැන, මම විශේෂයෙන් සඳහන් කරන්නම්.

සහෝදර සහෝදරියනි, මේ පාස්කු කාලයේ අපගේ ස්වාමින් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම කෙරෙහි අපි අවධානය යොමුකරනවා. උන්වහන්සේගේ ආදරණීය ආරාධනය අපට මතකයි “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”1

ගැලවුම්කරුවාණන් තමා වෙතට එන ලෙස කරන ආරාධනය, උන්වහන්සේ වෙතට පැමිණීමට පමණක් නොව, උන්වහන්සේගේ සභාවට අයත් වන ලෙස සැමට කරන ආරාධනයක්.

මෙම ප්‍රේමණීය ආරාධනයට පෙර පදයේ, යේසුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් මෙය කරන්නේ කෙසේදැයි උන්වහන්සේ උගන්වනවා. උන්වහන්සේ මෙසේ කියනවා, “පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.”2

යේසුස් වහන්සේට අවශ්‍ය වන්නේ දෙවියන්වහන්සේ ප්‍රේමණීය ස්වර්ගික පියෙකු බව අප දැනගැනීමයි.

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ විසින් අපට ප්‍රේම කරනු ලබන බව දැනගැනීමෙන්, අප කවුරුන්ද යන්න දැනගැනීමට සහ අප උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සදාකාල පවුලට අයත් බව දැනගැනීමට උපකාරී වෙනවා.

මායෝ සායනය මෑතකදී මෙසේ සඳහන් කළා: “අයිති බවට හැඟීමක් තිබීම එතරම්ම වැදගත්ය. … අපේ ජීවිතයේ සෑම අංශයක්ම පාහේ සංවිධානය වී ඇත්තේ යම් දෙයකට අයත් වීමෙනි.” මෙම වාර්තාව තවත් මෙසේ එකතු කරනවා, “අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් අයත්යැයි හැඟීමේ වැදගත්කම අපට වෙන්කළ නොහැක.”3—ඒවගේම, අපගේ අධ්‍යාත්මික සෞඛ්‍යය මම එයට එකතු කරනවා.

ගෙත්සෙමනේ දුක් විඳීමට හා කුරුසියේ මරණයට පෙර සවස් වරුවේ ගැලවුම්කරුවාණන් අන්තිම රාත්‍රි භෝජනය සඳහා සිය ගෝලයන් සමඟ හමුවුණා. උන්වහන්සේ ඔවුන්ට මෙසේ කිව්වා, “ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ: නමුත් ධෛර්යවන්ත වන්න; මම ලෝකය ජයගත්තෙමි.”4 පසුදා හිරු බැස යෑමට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳ “අපගේ පාප උදෙසා [කුරුසියේ] මියගියා.”5

සූර්යයා බැස යන විටත්, අන්ධකාරය හා භීතියත් ඔවුන් වටකරගෙන සිටින විට, උන්වහන්සේ පසුපස ගිය විශ්වාසවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන්ට යෙරුසලමේදී කොතරම් තනිකමක් දැනෙන්නට ඇත්දැයි මම කල්පනා කරනවා.6

මීට වසර 2,000 කට පමණ පෙර මෙම පුරාණ ගෝලයන්ට මෙන්, ඔබගෙන් බොහෝ දෙනෙකුට වරින් වර තනිකමක් දැනෙන්නට පුළුවන්. මීට වසර දෙකහමාරකට පෙර මගේ වටිනා බිරිඳ බාබරාගේ අභාවයෙන් පසු මම මෙම තනිකම අත්විඳ තිබෙනවා. පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ආශ්‍රිතයන් විසින් වටවී සිටියත්, තනිකමක් දැනීම කෙබඳු දැයි මම දන්නවා—මොකද මගේ ජීවිතයේ ආදරය තවදුරටත් මා අසල නෑ.

COVID-19 වසංගතය බොහෝ දෙනෙකුට මෙම හුදකලාව සහ තනිකම පිළිබඳ හැඟීම ඉස්මතු කර තිබෙනවා. එසේ වුවද, ජීවිතයේ අපි මුහුණදෙන අභියෝගය නොතකා, එම පළමු පාස්කු උදෑසන මෙන්, අපට බලාපොරොත්තුව හා අයිති වීම උදෙසා ස්වාමින්වහන්සේ වෙතට හැරෙන විට, ක්‍රිස්තුස්වහන්සේ තුළ නව හා පුදුමාකාර හැකියාවන් සහ නව යථාර්ථයන් සහිත නව ජීවිතයකට අවදි විය හැකියි.

අයිති යැයි හැඟීමක් නැති අයගේ වේදනාව මට පෞද්ගලිකව දැනෙනවා. මම ලොව පුරා ප්‍රවෘත්ති නරඹන විට, මෙම තනිකම අත්විඳින බොහෝ දෙනෙක් මට පෙනෙනවා. මම හිතන්නේ, බොහෝ දෙනෙකුට, ඔවුන් ස්වර්ගික පියාණන්වහන්සේ විසින් ප්‍රේමය ලබන බවත්, අප සියල්ලන්ම උන්වහන්සේගේ සදාකාල පවුලට අයත් බවත්, ඔවුන් නොදැන සිටීම එයට හේතුවයි. දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් අප උන්වහන්සේගේ දරුවන් බවත් විශ්වාස කිරීම සැනසීම සහ සහනයක් ගෙන එනවා.

මොකද අපි දෙවියන්වහන්සේගේ ආත්මික දරුවන්, එබැවින් සෑම කෙනෙකුටම දිව්‍යමය සම්භවයක්, ස්වභාවයක් හා විභවයක් තිබෙනවා. අපි සෑම කෙනෙකුම “ස්වර්ගීය දෙමාපියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයෙක් හෝ දියණියක්.”7 මෙය අපගේ අනන්‍යතාවයයි! ඇත්තටම මේ අපි තමයි!

ජනවාර්ගික, සංස්කෘතික හෝ ජාතික උරුමයන් ඇතුළු අපගේ බොහෝ ලෞකික අනන්‍යතා තේරුම්ගන්නා විට අපගේ අධ්‍යාත්මික අනන්‍යතාවයද වැඩි දියුණු වෙනවා.

මෙම අධ්‍යාත්මික හා සංස්කෘතික අනන්‍යතාවය, ප්‍රේමය, සහ අයිති වීම පිළිබඳ මෙම හැඟීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව හා ප්‍රේමය ඇතිකරනවා.

මම ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව ගැන කතා කරන්නේ ප්‍රාර්ථනා කරන චින්තනයක් ලෙස නොවේ. ඒ වෙනුවට, මම බලාපොරොත්තුව ගැන කතා කරන්නේ ඉටුවන අපේක්ෂාවක් ලෙසයි. විපත්තියෙන් මිදීමට, අධ්‍යාත්මික ප්‍රත්‍යාස්ථතාව හා ශක්තිය පෝෂණය කිරීමට, එමෙන්ම අපගේ සදාකාලික පියාණන්වහන්සේ විසින් අපට ආදරය කරන බවත්, අපි උන්වහන්සේගේ පවුලට අයත් දරුවන් බව දැනගැනීමටත්, එවැනි බලාපොරොත්තුවක් අත්‍යවශ්‍ය වෙනවා.

අපට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති විට, ශුද්ධ වූ ගිවිසුම් ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට අපට අවශ්‍ය වන විට, අපගේ ආදරණීය ආශාවන් හා සිහින උන්වහන්සේ තුළින් ඉටුකරගත හැකිබව අපි දැනගන්නවා.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය යාච්ඤා කිරීමේ ආත්මයකින් සහ තනිවම සිටින බවක් හෝ තමන් අයිති නැති බව හැඟෙන සියල්ලන්ට, උපකාර කරන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට මහත් ආශාවෙන් යුතුව උපදෙස් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයෙන් හැඟෙන සියල්ලන්ට උපකාර කිරීමට අපි ආශා වෙනවා. විශේෂයෙන්, දැනට තනිකඩව සිටින අය ගැන, මම විශේෂයෙන් සඳහන් කරන්නම්.

සහෝදර සහෝදරියනි, අද සභාවේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැන්දඹුවන්, දික්කසාද වී හෝ තවමත් විවාහ වී නොමැති අයයි. සමහරු දෙවියන්වහන්සේගේ සැලැස්මේ සහ සභාවේ තම අවස්ථාවන් සහ ස්ථානය ගැන කල්පනා කරනවා. සදාකාල ජීවනය යනු හුදෙක් වර්තමාන විවාහක තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ, නමුත් එහි අදහස අනුගාමිකත්වය සහ “යේසුස්වහන්සේගේ සාක්ෂියෙන් එඩිතර වීම” බව අප තේරුම්ගත යුතුයි.8 තනිකඩව සිටින සියලුදෙනාගේ බලාපොරොත්තුව ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ සියලුම සාමාජිකයින්ට එක සමානයි—එනම් “ශුභාරංචියේ නීති හා නියෝගයන්ට කීකරු වීමෙන්” ක්‍රිස්තුස්වහන්සේගේ දයාව ලබාගැනීමයි.”9

අප තේරුම්ගත යුතු වැදගත් මූලධර්ම කිහිපයක් මෙහි ඇති බව මම යෝජනා කරන්නම්.

පළමුවෙන්ම, ශුභාරංචි ගිවිසුම් පිළිපැදීමට ඇදහිලිවන්තව සිටින සෑම කෙනෙකුටම උත්කෘෂ්ඨ වීමට අවස්ථාව ඇති බව ශුද්ධලියවිලි වල හා පසු-දවස්වල අනාගතවක්තෘවරුන් සනාථ කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “ස්වාමින්වහන්සේගේ මාර්ගය හා වේලාව තුළ, උන්වහන්සේගේ ඇදහිලිවන්ත ශුද්ධවන්තයන්ගෙන් කිසිම ආශිර්වාදයක් වළක්වනු නොලැබෙයි. ස්වාමින්වහන්සේ එක් එක් පුද්ගලයාට ඔවුන්ගේ හෘදයාංගම ආශාව හා ක්‍රියාවන් අනුව විනිශ්චය කර විපාක ලබාදෙනු ඇත.”10

දෙවනුව, උත්කෘෂ්ඨ වීමේ ආශිර්වාද ලබාදෙන නිශ්චිත කාලය හා ආකාරය සියල්ල හෙළිකර නැත, නමුත් ඒවා කෙසේ වෙතත් සහතික කර තිබෙනවා.11 සභාපති ඩැලින් එච්. ඕක්ස් මෙසේ පැහැදිලි කළා “ලෞකිකත්වයේ සමහර තත්වයන් සහස්‍රයේ දී නිවැරදි වනු ඇති අතර, එය අපගේ පියාණන්වහන්සේගේ සුදුසු දරුවන් සියල්ලන්ගේම ප්‍රීතිය පිළිබඳ ශ්‍රේෂ්ඨ සැලැස්මේ අසම්පූර්ණ සියල්ල ඉටුකිරීමට කාලයයි.”12

සෑම ආශිර්වාදයක්ම සහස්‍රය තෙක් කල්දමා ඇති බව මින් අදහස් කරන්නේ නෑ; සමහර ඒවා දැනටමත් ලැබී ඇති අතර අනෙක් ඒවා එදින දක්වා අඛණ්ඩව ලැබෙයි.13

තෙවනුව, ස්වාමින්වහන්සේ දෙස නොකඩවා බලාසිටීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේ කෙරෙහි දිගටම කීකරුකම සහ අධ්‍යාත්මික දියුණුව ඇතිව සිටීමයි. ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටීම යනු කෙනෙකුගේ කාලය වෙන්කිරීම නොවෙයි. ඔබ රැඳී සිටින කාමරයක සිටින බවක් ඔබට කිසිවිටෙකත් දැනිය යුතු නොවේ.

ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටීමෙන් අදහස් වන්නේ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමයි. අප අන් අයට සේවය කරන විට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුව වැඩිවන බව මම පසුගිය වසර ගණනාව තිස්සේ ඉගෙනගත්තා. යේසුස්වහන්සේ සේවය කළ ආකාරයට සේවය කිරීමෙන්, අපි ස්වභාවයෙන්ම උන්වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුව වැඩි කරගන්නවා.

ස්වාමින්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි බලා සිටින අතරතුර කෙනෙකුට දැන් අත් කරගත හැකි පුද්ගලික වර්ධනය, අප සෑම කෙනෙකුටම උන්වහන්සේගේ සැලැස්මේ මිල කළ නොහැකි, පරිශුද්ධ, අංගයක්. පොළොව මත සභාව ගොඩනැගීම සහ ඊශ්‍රායෙලය රැස්කිරීම සඳහා කෙනෙකුට දැන් කළ හැකි දායකත්වයන් බොහෝම අවශ්‍යයි. කෙනෙකුගේ සේවය කිරීමේ හැකියාව සමඟ විවාහක තත්වයට කිසිදු සම්බන්ධයක් නෑ. ඉවසීමෙන් හා ඇදහිල්ලෙන් තමාට සේවය කරන සහ උන්වහන්සේ වෙනුවෙන් බලා සිටින අයට ස්වාමින්වහන්සේ ගෞරව කරනවා.14

හතරවනුව, දෙවියන්වහන්සේ සිය සියලු දරුවන්ට සදාකාල ජීවනය ලබාදෙනවා. ලෞකිකත්වයේදී එහි සියලු ලක්ෂණ හා පරිපූර්ණත්වයට ඔවුන් ලඟා නොවුනත්, ගැලවුම්කරුවාණන්ගේ පසුතැවිලි වීමේ කරුණාවන්ත ත්‍යාගය පිළිගෙන උන්වහන්සේගේ ආඥාවන් පිළිපැදීමෙන් මාර්ගය අනුගමනය කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබෙනවා. පසුතැවිලි වන අය ස්වාමින්වහන්සේගේ සමාව දීමට ඇති සූදානම උන්වහන්සේ සහතික වී ඇති පරිදිම අත්විඳිනු ඇත: “එසේය, මාගේ සෙනඟ පසුතැවිලි වන සෑමවිටම මට විරුද්ධව කළ වැරදි වලට මම ඔවුන්ට සමාව දෙමි.15

අවසාන විශ්ලේෂණයේදී, පුද්ගලයෙකුගේ හැකියාව, ආශාවන්, සහ සදාකාලික ආශිර්වාද සඳහා සුදුසුකම් ඇතුළුව තෝරාගැනීමේ නිදහස සහ තේරීම යන කාරණා වල අවස්ථා, විනිශ්චය කළ හැක්කේ ස්වාමින්වහන්සේට පමණයි.

පස්වනුව, මෙම සහතික කිරීම් කෙරෙහි අපගේ විශ්වාසය මුල්බැස ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල තුළයි, ලෞකිකත්වයට අදාළ සියල්ල නිවැරදි කර ඇත්තේ උන්වහන්සේගේ කරුණාවෙන්.16 පොරොන්දු වූ සියලු ආශිර්වාද ලබාගත හැක්කේ, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් “සියල්ලට වඩා පහළට පැමිණ”17 “ලෝකය ජයගත්” උන්වහන්සේ නිසයි.18 උන්වහන්සේ “මනුෂ්‍ය දරුවන් මත උන්වහන්සේගේ කරුණාවේ අයිතිය පියාණන්වහන්සේගෙන් ලබාගැනීමට දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ ඉඳගත් නිසා …; උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ගේ කාරණය උදෙසා මැදහත්කාරකම් කරන සේක.”19 අවසානයේදී, “ශුද්ධවන්තයින් උන්වහන්සේගේ තේජසින් පූර්ණ වී, තවද ඔවුන්ගේ උරුමය”20 “ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන්”21 ලෙස ලබාගන්නවා.

අපගේ ආශාව නම්, මෙම මූලධර්ම සියල්ලන්ටම ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව වැඩිකර ගැනීමට සහ අයිති වීම පිළිබඳ හැඟීමක් ඇතිකර ගැනීමට උපකාරී වීමයි.

ඔබ දැනුත් එමෙන්ම සදාකාලයටමත්, සදාකාල පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ දරුවෙකු බව කිසිවිටෙකත් අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබට ආදරෙයි, එමෙන්ම සභාවට ඔබව උවමනායි එමෙන්ම අවශ්‍යයි. ඔව්, අපිට ඔබව අවශ්‍යයි! අපට ඔබේ හඬ, කුසලතා, දක්ෂතා, යහපත්කම සහ ධර්මිෂ්ඨකම අවශ්‍යයි.

අපි අවුරුදු ගණනාවක් තිස්සේ “තරුණ තනි වැඩිහිටියන්”, “තනි වැඩිහිටියන්” සහ “වැඩිහිටියන්” ගැන කතා කර තිබෙනවා. එම නම් කිරීම් පරිපාලනමය වශයෙන් තරමක් ප්‍රයෝජනවත් වියහැකි නමුත් අප අනෙක් අයව දකින ආකාරය යම් අවස්ථා වල නොදැනුවත්ව වෙනස් කළ හැකියි.

අපව එකිනෙකාගෙන් වෙන් කළ හැකි මෙම මානව ප්‍රවනතාවයෙන් වැළකී සිටීමට ක්‍රමයක් තිබෙනවාද?

සභාපති නෙල්සන් ඉල්ලා සිටියේ අපිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ලෙස හැඳින්විය යුතු බවයි. එය අප සියල්ලන්ම ආවරණය කරන බවක් පෙනෙනවා, එහෙම නේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට අපව එක්සත් කිරීමට බලය තිබෙනවා. අපි ඇත්තෙන්ම එකිනෙකාට වඩා වෙනස් වෙනවාට වඩා බොහෝවිට සමානයි. දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් වශයෙන්, අපි සැබවින්ම සහෝදර සහෝදරියන්. පාවුල් මෙසේ කිව්වා, “තවද [දෙවියන්වහන්සේ] මුළු පොළෝ තලයෙහි වාසය කරන පිණිස සියලුම ජාතීන් එකම ලෙයකින් මැවූසේක.”22

ස්ටේක සභාපතිවරුනි, සභානායකවරුනි, ගණපූරණ සහ සහෝදර නායකයිනි ඔබගෙන්, ඔබගේ ස්ටේක, කොට්ඨාශ, ගණපූරණ හෝ සංවිධානයේ සෑම සාමාජිකයෙකුවම කැඳවීම් සඳහා දායක විය හැකි හා සේවය කළ හැකි සහ විවිධ ආකාර වලින් සහභාගී විය හැකි සාමාජිකයෙක් ලෙස සලකන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අපගේ ගණපූරණයන්, සංවිධාන, කොට්ඨාශ සහ ස්ටේක වල සිටින සෑම සාමාජිකයෙකුටම දෙවියන්වහන්සේ විසින් දෙන ලද, වර්තමානයේ උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට උදව් විය හැකි දීමනා සහ කුසලතාවයන් තිබෙනවා.

අපි සේවය කිරීමට, ඔසවා තැබීමට සහ ඉගැන්වීමට තනිකඩව සිටින අපගේ සාමාජිකයන්ව කැඳවමු. තනිකම සහ ඔවුන්ට අයිති වීමට හෝ සේවය කිරීමට නොහැකි යැයි ඔවුන්ට හැඟීමට, සමහර අවස්ථාවන් වල නොදැනුවත්වම දායක වී ඇති පැරණි සංකල්ප සහ අදහස් නොසලකා හරින්න.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව, සහ උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ටම සහ මට උන්වහන්සේ ලබාදෙන සදාකාලික බලාපොරොත්තුව පිළිබඳ මම මේ පාස්කු සති අන්තයේදී මගේ සාක්ෂිය බෙදාගන්නවා. එමෙන්ම මෙම සාක්ෂිය නිහතමානීව උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් බෙදාගන්නවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.