ප්‍රධාන සම්මන්ත්‍රණය
සත්‍යයේ සහ ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සත්‍යයේ සහ ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය

සත්‍යය හා ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය අද පොළොව පුරා දීප්තියෙන් බබළන බව මම සාක්ෂි දරනවා.

පසු-දවස්වල ශුද්ධවන්තයින්ගේ ගීතිකාවක් වන “Hark, All Ye Nations!” මුළු ලෝකයටම යන ශුභාරංචියේ පූර්ණත්වය පිළිබඳ උද්යෝගය හා ප්‍රමෝදය නිසැකවම අල්ලා ගන්නවා. ඒ ගීතිකාවේ අපි මෙසේ ගායනා කරනවා:

අසන්න, ජාතීන් සියල්ලෙනි! ස්වර්ගයේ හඬ අසන්න

සියල්ලන්ම ප්‍රීති වන පිණිස සෑම භූමියකින්ම!

මහිමයේ දේවදූතයන් නැවත නැවතත් හඬනගයි:

සත්‍ය නැවත පිහිටුවා ඇත!1

මෙම ප්‍රීතිමත් පද වල කතුවරයා වන ලුවී එෆ්. මන්ච්, ආගමට හැරුණු ජර්මානු ජාතිකයෙක්, ඔහු යුරෝපයේ පූර්ණ කාලීන ධර්මදූත සේවය අතරතුර ස්විට්සර්ලන්තයේ වාසය කරමින් සිටියදී මෙම ගීතය සඳහා දේවානුභාවයෙන් යුතුව මෙම වචන ලියා තිබෙනවා.2 නැවත පිහිටුවීමේ ගෝලීය බලපෑම දැකීමෙන් ලැබෙන ප්‍රීතිය ගීතිකාවේ පහත වචන වලින් පැහැදිලිව ප්‍රකාශ වෙනවා:

අන්ධකාරයේ සොයමින්, ජාතීන් හඬා වැලපුණා;

හිමිදිරි පාන්දර තුරු බලා සිටිමින්, ඔවුන්ගේ සෝදිසිය ඔවුන් තබා ඇත.

සියල්ලෝ දැන් ප්‍රීති වෙති; දිගු රාත්‍රිය අවසන්ය.

සත්‍යය නැවත වරක් පොළොවෙහිය!3

මීට වසර 200 කට පමණ පෙර අඛණ්ඩ නැවත පිහිටුවීම ආරම්භ කිරීමට ස්තූතිවන්ත වන්නට, “සත්‍යයේ සහ ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය”4 දැන් පොළොව පුරා දීප්තිමත් ලෙස බබළනවා. දෙවියන්වහන්සේ “වරද නොතබන බවත්, බොහෝකොට සියල්ලන්ට දෙන බවත්” 1820 දී ජෝසෆ් අනාගතවක්තෘවරයා ඉගෙනගත් අතර, ඉන්පසු තවත් මිලියන ගණනක් එය ඉගෙනගෙන තිබෙනවා.5

මෙම අන්තිම කාලපරිච්ඡේදයේදී සභාව සංවිධානය කිරීමෙන් නොබෝ කලකට පසු, ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් සමඟ කථා කළ අතර උන්වහන්සේ අප කෙරෙහි ඇති ඉමහත් ප්‍රේමය මෙසේ කියමින් ප්‍රකාශ කළා:

“එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන මම, පොළොවේ ජීවත් වන්නවුන් හට පැමිණෙන්නට තිබෙන එම විපත්තිය දැන, මාගේ සේවකයා වූ ජෝසෆ් ස්මිත් කනිෂ්ඨ කැඳවා, ස්වර්ගයේ සිට ඔහුට කතා කළෙමි, තවද ඔහුට ආඥාවන් ලබාදුන්නෙමි; …

“එනම් මාගේ සදාකාලික ගිවිසුම පිහිටුවනු ලබන පිණිසය;

“එනම් මාගේ ශුභාරංචියේ පූර්ණත්වය රජවරුන් සහ පාලකයන් ඉදිරියේ ලෝකයේ අන්තයන් දක්වා දුර්වල සහ සරල අයවළුන් වෙතින් ප‍්‍රකාශ කරනු ලබනු පිණිසය.”6

මෙම එළිදරව්ව ලැබුණු විගස ධර්මදූතයින්ව කැඳවා ලෝකයේ බොහෝ ජාතීන් වෙතට යවනු ලැබුවා. නෙපි අනාගතවක්තෘවරයා අපේක්ෂා කළ ආකාරයටම, නැවත පිහිටුවන ලද ශුභාරංචියේ පණිවිඩය “සියලු ජාතීන්, වර්ගයන්, භාෂාවන් සහ ජනයා අතර” දේශනා කිරීමට පටන් ගත්තා.7

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව විධිමත් ලෙස 1830 දී නිව්යෝර්ක් නුවර ඉහළින් පිහිටි කුඩා ලී කාමරයක් තුළ විධිමත් ලෙස සංවිධානය කළා.

“සභාවේ ආරම්භක සාමාජිකයන් හයදෙනාගේ සිට මිලියනය දක්වා වර්ධනය වීමට—වසර 117 ක්—එනම් 1947 දක්වා ගතවුණා. ධර්මදූතයින් සභාවේ මුල් අවධියේ සිටම එහි විශේෂ ලක්ෂණයක් වුණා, ඔවුන් ස්වදේශික අමෙරිකානු ඉඩම්, සිට කැනඩාව සහ, 1837 දී උතුරු අමෙරිකානු මහාද්වීපයෙන් ඔබ්බට එංගලන්තය දක්වා විහිදී ගියා. වැඩිකල් යන්නට මත්තෙන්, ධර්මදූතයින් යුරෝපීය මහාද්වීපයේ සහ ඉන්දියාව හා පැසිපික් දූපත් දක්වා දුර බැහැර ප්‍රදේශ වල වැඩ කරමින් සිටියා.

සාමාජිකයින් මිලියන දෙකක කඩඉම තවත් වසර 16 කට පසුව, එනම් 1963 දී ලඟාකරගත් අතර, තවත් වසර අටකින් මිලියන තුනක කඩඉමට ලඟාවුණා.”8

සභාවේ සීඝ්‍ර වර්ධනය ඉස්මතු කරමින් සභාධිපති රසල් එම්. නෙල්සන් මෑතකදී මෙසේ පැවසුවා: “අද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ ස්වාමින්වහන්සේගේ කාර්යය වේගවත් වේගයකින් ඉදිරියට යමින් තිබෙනවා. සභාවට පෙර නොවූ විරූ, අසමසම අනාගතයක් තිබෙනවා.”9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය අඛණ්ඩව නැවත පිහිටුවීම, ස්වාමින්වහන්සේගේ ජීවමාන සභාව නැවත පොළොව මත සංවිධානය කිරීම, සහ එතැන් සිට එහි කැපී පෙනෙන වර්ධනය නිසා පූජකත්වයේ ආශිර්වාද පොළොව පුරා ලබාගත හැකිවී තිබෙනවා. අපව දෙවියන්වහන්සේට බැඳ තබන සහ අපව ගිවිසුම් මාවතෙහි තබන, ශුද්ධ වූ නියෝගයන් සහ ගිවිසුම් පැහැදිලිවම “දේවභක්තියේ බලය” විදහා දක්වනවා.10 ජීවත්ව සිටින අයට සහ මළවුන් උදෙසා අපි මෙම ශුද්ධ වූ නියෝගයන්ට සහභාගී වන විට, අපි තිරය දෙපසින්ම ඊශ්‍රායෙලය රැස්කර ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා පොළොව සූදානම් කරනවා.

1973 අප්‍රියෙල් මාසයේදී, මගේ මවුපියන් සහ මම අපේ උපන් රට වූ ආජන්ටිනාවේ සිට දේවමාළිගාවේ මුද්‍රා වීමට ගමන්කළා. එකල ලතින් අමෙරිකාවේ දේවමාළිගා කිසිවක් නොතිබූ හෙයින්, අපි සෝල්ට් ලේක් දේවමාළිගාවේදී මුද්‍රා වීම සඳහා සැතපුම් 6,000 කට වඩා (9,700 km) එහාටත් මෙහාටත් පියාසර කළා. ඒ වන විට මගේ වයස අවුරුදු දෙකක් වූවත්, එම විශේෂ අත්දැකීම මුළුමනින්ම සිහිපත් කිරීමට නොහැකි වූවද, එතැන් සිටම එම සංචාරයෙන් ඉතා පැහැදිලි රූප තුනක් මගේ මනසෙහි රැඳී තිබෙනවා.

රූපය
ගුවන්යානා කවුළුවකින් එපිට දර්ශනය

පළමුව, මට මතකයි ගුවන් යානයේ කවුළුව අසල මාව තබා තිබූ අතර මම පහළින් වලාකුළු දැක්කා.

ඒවා දැවැන්ත කපු බෝල මෙන්, ඒ ලස්සන, දීප්තිමත් වලාකුළු මගේ මනසෙහි පවතිනවා.

මගේ මතකයේ රැඳී ඇති තවත් රූපයක් වන්නේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ විනෝද උද්‍යානයක විනෝදකාමී පෙනුමක් ඇති චරිත කිහිපයක්. එම චරිත අමතක කිරීමට අපහසුයි.

නමුත් වඩා වැදගත් වන්නේ මෙම දීප්තිමත් හා අමතක නොවන රූපයයි:

රූපය
සෝල්ට් ලේක් දේවමාළිගාවේ මුද්‍රා කාමරය

එහිදී මේ කාලයට හා සදාකාලයටම යුවල් සහ පවුල් මුද්‍රා තැබීම සිදු කෙරෙන, සෝල්ට් ලේක් දේවමාළිගාවේ පූජනීය කාමරයක සිටීම මට පැහැදිලිවම මතකයි. දේවමාළිගාවේ ලස්සන පූජාසනය මට මතකයි එමෙන්ම කාමරයේ බාහිර කවුළුව හරහා දීප්තිමත් හිරු එළියෙන් බැබළෙන ආකාරයත් මට මතකයි. සත්‍යය හා ප්‍රේමයේ ශුභාරංචි ආලෝකයේ උණුසුම, ආරක්ෂාව සහ සැනසිල්ල මට එවිටත්, මේ වනතුරුත් දැනෙනවා.

අවුරුදු 20 කට පසු, මා දේවමාළිගාවට නැවත වරක් මුද්‍රා තැබීම සඳහා ගියවිට මට ඒ හා සමාන හැඟීම් මගේ හදවතේ යළිත් තහවුරු වුණා—මේ වතාවේ ගියේ මගේ පෙම්වතිය සහ මා මේ කාලයටත් හා සදාකාලයටමත් මුද්‍රා වීමටයි. කෙසේවෙතත්, මෙම අවස්ථාවේදී, අපට සැතපුම් දහස් ගණනක් ගමන් කිරීමට අවශ්‍ය වුණේ නෑ, මන්ද ඉන්පසු බුවනෝස් අයර්ස් ආර්ජන්ටිනා දේවමාළිගාව ඉදිකර කැප කර තිබූ අතර, එයට තිබුණේ අපේ නිවසේ සිට කෙටි දුරක් පමණයි.

රූපය
වෝකර් පවුල

අපගේ විවාහයෙන් හා මුද්‍රා තැබීමෙන් වසර විසි දෙකකට පසු, එම දේවමාළිගාවටම නැවත පැමිණීමේ ආශිර්වාදය අපට ලැබුණා, නමුත් මේ වතාවේ අපගේ රූමත් දියණිය සමඟ, එහිදී අපි පවුලක් ලෙස මේ කාලයටත් හා සදාකාලයටත් මුද්‍රා වුණා.

මගේ ජීවිතයේ මේ පරිශුද්ධ අවස්ථාවන් ගැන මා ආවර්ජනය කරද්දී, ගැඹුරු, විඳදරාගත් ප්‍රීතියකින් මම යටපත් වී සිටිනවා. අපගේ පුද්ගලික අවශ්‍යතා සහ අපගේ හෘදයාංගම ආශාවන් දන්නා, ස්වර්ගයේ සිටින දයානුකම්පිත පියාණන්ගේ ආදරය මට දැනී තිබෙනවා, එමෙන්ම තවමත් දැනෙනවා.

අන්තිම දවස්වල ඊශ්‍රායෙලය එක්රැස් කිරීම පිළිබඳ කතා කරමින්, යෙහෝවා ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.”11 ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ මන්දිරයේ ශුද්ධ වූ නියෝගයන් තුළින් මගේ කුඩා කල සිටම ස්වාමින්වහන්සේගේ නීතිය මගේ හදවතේ ගැඹුරින් කැටයම් කිරීමට පටන්ගැනීම ගැන මම සදාකාලිකවම කෘතඥ වෙනවා. උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ බවත්, අප උන්වහන්සේගේ සෙනඟ බවත්, එසේම අප අවට ඇති තත්වයන් කුමක් වුවත්, අප ඇතිකර ගත් ගිවිසුම් වලට අපි ඇදහිලිවන්ත සහ කීකරු වන්නේ නම්, අපට “සදාතනයටම, උන්වහන්සේගේ ප්‍රේමයේ හස්තයෙන් වට වී” සිටිය හැකි බවත් දැනගැනීම කෙතරම් මූලිකද.12

2019 ඔක්තෝම්බර් මාසයේ, ප්‍රධාන සම්මන්ත්‍රණයේ කාන්තා සැසිවාරය අතරතුරදී, සභාපති නෙල්සන් මෙසේ කිව්වා, “අපගේ සියලුම උත්සහයන්, එකිනෙකාට දේවසේවය කිරීමට, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට, ශුද්ධවන්තයින්ව පරිපූර්ණ කිරීමට, සහ ශුද්ධ වූ දේවමාළිගාවේදී මළවුන්ව මුදවා ගැනීම සඳහායි.”13

එමෙන්ම, එම ප්‍රධාන සම්මන්ත්‍රණයේදීම සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “ඇත්තවශයෙන්ම, නැවත පිහිටුවීමේ ඔටුන්න හිමි ආභරණය ශුද්ධ වූ දේවමාළිගාවයි. ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමේදී පිළිගැනීමට සූදානම් ජනතාවක් සූදානම් කිරීම සඳහා එහි පූජනීය නියෝගයන් සහ ගිවිසුම් ඉතා වැදගත් වෙනවා.”14

අඛණ්ඩව සිදුවන නැවත පිහිටුවීම වර්ධනය වන වේගයකින් දේවමාළිගා ගොඩනැගීම සහ කැපකිරීම මගින් සනිටුහන් වී තිබෙනවා. අපි තිරය දෙපස එක්රැස් වන විට, සේවය කිරීමට සහ අපගේ ජීවිත තුළ දේවමාළිගාව ප්‍රධාන කිරීමට අපි කැපකිරීම් කරන විට, ස්වාමින්වහන්සේ සැබවින්ම අපව ගොඩනඟනවා—උන්වහන්සේ තම ගිවිසුම් ජනතාවව ගොඩනගනවා.

අහෝ, ඉහළ සිංහාසනය කෙතරම් තේජාන්විතද

සත්‍යයේ සහ ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය බබළයි!

සූර්යයා මෙන් දීප්තිමත්, මෙම ස්වර්ගීය කිරණ

අද සියලුම දේශයන් එළිය කරයි.15

සත්‍යය හා ප්‍රේමයේ ශුභාරංචි ආලෝකය අද පොළොව පුරා දීප්තියෙන් බබළන බව මම සාක්ෂි දරනවා. අනාගතවක්තෘ යෙසායා16 විසින් පුරෝකථනය කරන ලද සහ නෙපි විසින් දුටු17 “පුදුමාකාර කාර්යය සහ පුදුමය” මෙම අභියෝගාත්මක කාල වලදී පවා, ඉක්මන් වේගයකින් සිදුවෙමින් පවතිනවා. ජෝසෆ් ස්මිති අනාවැකිමය ලෙස ප්‍රකාශ කළ ලෙස, “සත්‍යයේ ප්‍රමිතිය ඉදිකර ඇත; දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන තුරු, තවද කාර්යය අවසන් යැයි ශ්‍රේෂ්ඨ වූ යෙහෝවා වහන්සේ පවසන තුරු, මෙම කාර්යයේ වර්ධනය කිසිඳු අපවිත්‍ර හස්තයකට වැළැක්විය නොහැකිය.”18

සහෝදර සහෝදරියනි, ස්වර්ගයේ හඬ, අපගේ ගැලවුම්කරුවාණන්ගේ හඬ පවා ඇසීමට අප හා අපගේ පවුල් සම්බන්ධ කරගැනීමට අද අපි කැමති වී තීරණය කරමු. උන්වහන්සේගේ අභිමුඛයට නැවත මගපෙන්වන, එමඟින් අපව ස්ථිරවම මාවතෙහි සුරක්ෂිත කරන, ගිවිසුම් අපි දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගෙන තබාගනිමු, එමෙන්ම උන්වහන්සේගේ ශුභාරංචියේ මහිමාන්විත ආලෝකයේ සහ සත්‍යයේ ආශිර්වාද තුළ අපි ප්‍රීතිවෙමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.