ප්‍රධාන සම්මන්ත්‍රණය
නුඹ නිදහස් වනු ඇත
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


නුඹ නිදහස් වනු ඇත

අපගේ ලෞකික ජීවිතයේ අඳුරු කාල වලදී පවා අප විසින් ඔසවා තැබිය යුතු ආලෝකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අප්‍රිකාවේ සිට ඔබව ඇමතීමේ වරප්‍රසාදය ගැන මම කෘතඥ වෙනවා. අද තාක්‍ෂණය තිබීම සහ ඔබ කොතැනක සිටියත් ඔබ වෙත ළඟා වීමට එය වඩාත් ඵලදායී ආකාරයකින් භාවිතා කිරීම ආශිර්වාදයක්.

2019 සැප්තැම්බර් මාසයේදී මුටොම්බෝ සහෝදරිය සහ මම මේරිලන්ඩ් බැල්ටිමෝර් ධර්මදූතයේ නායකයන් ලෙස සේවය කරමින් සිටියදී, ධර්මදූත නායකත්ව සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සිටියදී නිව්යෝක් පැල්මයිරාහි සභාවේ ඓතිහාසික ස්ථාන කිහිපයක් නැරඹීමේ වරප්‍රසාදය ලැබුණා. අපේ සංචාරය අපි පූජනීය වනයෙන් අවසන් කළා. පූජනීය වනයට පිවිසීමේ අපගේ අභිප්‍රාය වූයේ විශේෂ ප්‍රකාශනයක් හෝ දර්ශනයක් ලබාගැනීමෙ නොවේ, නමුත් මෙම පූජනීය ස්ථානයේ දෙවියන්වහන්සේ සිටින බව අපට දැනුණා. ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා වෙනුවෙන් අපගේ හදවත් කෘතඥතාවයෙන් පිරී ගියා.

ආපසු යන අතරමගදී රිය පැදවීමේදී මට විශාල සිනහවක් ඇති බව මුටොම්බෝ සහෝදරිය දුටු බැවින් ඇය මෙසේ ඇසුවා, “ඔබේ සතුටට හේතුව කුමක්ද?”

මම මෙසේ පිළිතුරු දුන්නා, “මාගේ ආදරණීය නැතලි, සත්‍යය සැමවිටම වැරැද්ද අභිබවා ජයගන්නවා, ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා ඇති නිසා පොළොව මත අන්ධකාරය පවතින්නේ නෑ.

සැඟවුණු දේ ආලෝකයට ගෙන ඒම සඳහා පියාණන් වන දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තරුණ ජෝසෆ් ස්මිත්ව බැහැදැක්කා, එබැවින් අපට “තවද සත්‍යය තිබෙන්නාවූ දේවල් වලද, තවද ඒවා තිබූ ලෙසද, තවද ඒවා පැමිණෙන අකාරය ගැනද වූ දැනුම” අපට ලබන්නට පුලුවන් (දහම සහ ගිවිසුම් 93:24).

අවුරුදු 200 ට වඩා කාලයක් ගතවී ඇතත්, සමහර සම්ප්‍රදායන්ගෙන් හා සතුරා ලොව පුරා පතුරුවා ඇති බොරු වලින් නිදහස් වීමට අවශ්‍ය සත්‍යයන් තවමත් බොහෝ අය සොයමින් සිටිනවා. බොහෝ දෙනෙක් “මනුෂ්‍යයන්ගේ තීක්ෂණ කපටිකමින් අන්ධ වී ඇත්තෝය” (දහම සහ ගිවිසුම් 123:12). පාවුල් එපීසයට ලියූ ලිපියේ මෙසේ උගන්වනවා: “නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටපන්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවන සේක” (එපීස 5:14). ගැලවුම්කරුවාණන් පොරොන්දු වූයේ උන්වහන්සේගේ වචන අසන සියල්ලන්ට උන්වහන්සේ ආලෝකය වනු ඇති බවයි (2 නෙපි 10:14 බලන්න).

මීට අවුරුදු තිස්පහකට පෙර මගේ දෙමව්පියන්ද අන්ධ වී සිටි අතර සත්‍යය දැනගැනීමට මංමුලා සහගතව සිට එය සොයාගැනීමට කොතැනට යා යුතුද යන්න ගැන සැලකිලිමත් වුණා. මගේ දෙමව්පියන් දෙදෙනාම උපත ලැබුවේ ගමේ, එහි සම්ප්‍රදායන් මුල්බැස ඇත්තේ පුද්ගලයන්ගේ සහ පවුල් ජීවිත වලයි. ඔවුන් දෙදෙනාම කුඩා කල තම ගමෙන් පිට වී නගරයට පැමිණ වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් සිටියා.

ඔවුන් විවාහ වී තම පවුල ඉතා නිහතමානීව ආරම්භ කළා. අපේ කුඩා නිවසේ අට දෙනෙක් පමණ සිටියා—මගේ දෙමව්පියන්, මගේ සහෝදරියන් දෙදෙනෙකු, සහ මම, සහ ඥාති සහෝදරයෙක් අප සමඟ ජීවත් වුණා. අපේ දෙමව්පියන් සමඟ එකම මේසයේ රාත්‍රී ආහාරය ගැනීමට අපට අවසර නොතිබූ නිසා අපි සැබවින්ම පවුලක් දැයි මම කල්පනා කළා. අපේ තාත්තා වැඩ ඇරී ආපසු එන විට, ඔහු නිවසට ඇතුළු වූ විගස, අපට පිටව ගොස් පිටතට යන ලෙස ඉල්ලා සිටියා. අපේ දෙමව්පියන්ගේ විවාහය තුළ සමගිය හා සැබෑ ආදරය නොමැතිකම නිසා, අපට නිදාගැනීමට හැකි වුනේ නෑ, ඒ නිසා අපේ රාත්‍රීන් ඉතා කෙටි වුණා. අපේ නිවස ප්‍රමාණයෙන් කුඩා වූවා පමණක් නොව, එය අඳුරු ස්ථානයක්. ධර්මදූතයින් හමුවීමට පෙර, අපි සෑම ඉරිදාවකම විවිධ සභාවන් වලට ගියා. අපේ දෙමව්පියන් ලෝකයට සැපයිය නොහැකි දෙයක් සොයමින් සිටි බව පැහැදිලියි.

සයිරේ හි (අද එය කොංගෝ හෝ කොංගෝ-කිංෂාසා හි DR ලෙස හැඳින්වෙනවා) සේවය කිරීමට කැඳවූ පළමු ජ්‍යේෂ්ඨ ධර්මදූත යුවළ වන වැඩිහිටි සහ සහෝදරිය හචින්ග්ස් මුණගැසෙන තුරු මෙය එසේ පැවතුණා. දෙවියන්වහන්සේගෙන් පැමිණි දේවදූතයන් හා සමාන වූ මේ අපූරු ධර්මදූතයින් හමුවීමට පටන් ගත් විට, අපේ පවුල තුළ යම් වෙනසක් සිදුවීමට පටන් ගත් බව මම දුටුවා. අපගේ බව්තීස්මයෙන් පසුව, නැවත පිහිටවූ ශුභාරංචිය නිසා අපි ක්‍රමයෙන් නව ජීවන රටාවක් ගතකිරීමට පටන්ගත්තා. ක්‍රිස්තුස්වහන්සේගේ වචන අපගේ ප්‍රාණයන් විශාල කිරීමට පටන් ගත්තා. ඒවා අපගේ අවබෝධය ආලෝකමත් කිරීමට පටන්ගෙන අපට රසවත් වුණා, මන්ද අපට ලැබුණු සත්‍යයන් වටහාගත හැකි වූ අතරම අපට ආලෝකය දැකිය හැකි වූ අතර මෙම ආලෝකය දිනපතා වඩ වඩාත් දීප්තිමත් වුණා.

ශුභාරංචියේ ඇයි යන්න පිළිබඳ මෙම අවබෝධය අපට ගැලවුම්කරුවාණන් හා සමාන වීමට උපකාර වුණා. අපේ නිවසේ ප්‍රමාණය වෙනස් වූයේ නෑ; අපේ සමාජ තත්වයන්ද එසේ වුණේ නෑ. නමුත් අපි දිනපතා, උදේ සහ සවස යාච්ඤා කරන විට මගේ දෙමව්පියන්ගේ හදවතේ වෙනසක් මම දුටුවා. අපි මොර්මොන්ගේ පොත අධ්‍යයනය කළා; අපි පවුල් නිවාස සන්ධ්‍යාව පැවැත්වුවා; අපි ඇත්තටම පවුලක් බවට පත්වුණා. සෑම ඉරිදාවකම අපි උදේ 6:00 ට අවදි වූයේ සභාවට යාමට සූදානම් වීම සඳහා වූ අතර, පැමිණිලි නොකර සෑම සතියකම සභා රැස්වීම් වලට සහභාගී වීමට අපි පැය ගණනක් ගමන්කළා. එය සාක්ෂි දැරීමට අපූරු අත්දැකීමක් වුණා. කලින් අන්ධකාරයේ ගමන් කළ අපි අන්ධකාරය අප අතරින් පන්නා දැමුවා (දහම සහ ගිවිසුම් 50:25 බලන්න) ඒවගේම අපි “මහා ආලෝකය” දුටුවා (2 නෙපි 19:2).

මට මතකයි දවසක්, අපේ පවුලේ යාච්ඤාව සඳහා මම උදේ පාන්දරින්ම අවදි වීමට අකමැති වූ විට, මම මගේ සහෝදරියන්ට මැසිවිලි නැඟුවා, “ඇත්තවශයෙන්ම අපට මේ නිවසේ කළ හැකි වෙනත් කිසිවක් නෑ, යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න.” මගේ තාත්තාට මගේ අදහස් ඇහුණා. “ඔබ මේ නිවසේ සිටින තාක්කල් ඔබ යාච්ඤා කරයි, යාච්ඤා කරයි, යාච්ඤා කරයි,” කියා ඔහු මට ප්‍රේමණීයව හා තදින් ඉගැන්වූ ඔහුගේ ප්‍රතිචාරය මට මතකයි.

මගේ පියාගේ වචන දිනපතාම මගේ කන්වල රැව් දුන්නා මුටොම්බෝ සහෝදරිය සහ මම අපේ දරුවන් එක්ක අද කුමක් කරනවා කියලද ඔබලා හිතන්නෙ? අපි යාච්ඤා කරනවා, යාච්ඤා කරනවා, යාච්ඤා කරනවා. මේ තමයි අපේ උරුමය.

අන්ධව ඉපදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් සුව කරන ලද මිනිසා, අසල්වැසියන් හා පරිසිවරුන්ගේ පීඩනයෙන් පසු, මෙසේ පැවසුවා;

“යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා-නුඹ සිලෝවම්ට ගොස් සෝදාගනින්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය. …

“… එකක් දනිමි-මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය (යොහාන් 9:11, 25).

අපිත් කලින් අන්ධයි, ඒත් දැන් පේනවා. නැවත පිහිටුවන ලද ශුභාරංචිය එතැන් පටන් අපගේ පවුලට බලපා තිබෙනවා. ශුභාරංචියේ ඇයි යන්න වටහාගැනීම මගේ පවුලේ පරම්පරා තුනකට ආශිර්වාද කර ඇති අතර ඉදිරි පරම්පරාවන්ට දිගටම ආශිර්වාද කරයි.

ක්‍රිස්තුස්වහන්සේ අඳුරේ දිදුලන ආලෝකයයි. උන්වහන්සේව අනුගමනය කරන අය “අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” (යොහාන් 8:12).

2016 සිට 2017 දක්වා, වසරකට ආසන්න කාලයක් තිස්සේ, කසායි කලාපයේ ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණදුන්නා. සාම්ප්‍රදායික රණශූර කණ්ඩායමක් සහ රජයේ හමුදා අතර ගැටුමක් නිසා එය ජනතාවට ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් වුණා. ප්‍රචණ්ඩත්වය කසායි මධ්‍යම පළාතේ නගරවල සිට පුළුල් කසායි කලාපය දක්වා ව්‍යාප්ත වුණා. බොහෝ අය ආරක්ෂාව සඳහා නිවෙස් වලින් පලා ගොස් පඳුරු අතර සැඟවී සිටියා. ඔවුන්ට ආහාර, හෝ ජලය, හෝ සැබවින්ම කිසිවක් නොතිබූ අතර, ඒ අතර කනංගා ප්‍රදේශයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සභාවේ සාමාජිකයෝද සිටියා. සභාවේ සමහර සාමාජිකයන්ව උපහමුදාව විසින් ඝාතනය කර තිබුණා.

මාවත් සියල්ලම වෙඩි තැබීමේ පරාසයක් බවට පරිවර්තනය කර තිබූ නිසා කොතැනට යා යුතු දැයි නොදැන තම නිවසේ සැඟවී සිටි කිහිප දෙනාගෙන් සමහරෙක් තමයි, කනංගා හි නන්සා කොට්ඨාශයේ සහෝදර හොනොරේ මුලුම්බා සහ ඔහුගේ පවුලේ අය. එක් සැන්දෑවක පවුලට අයත් වත්තේ එළවළු සොයාගැනීම සඳහා ඔවුන් එළියට ගිය විට, දිනක් අසල්වැසි උපහමුදා භටයන් සහෝදර මුලුම්බා සහ ඔහුගේ පවුලේ අය සිටින බව දැක තිබුණා. උපයුධ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසට පැමිණ ඔවුන්ව එළියට ඇද දමා ඔවුන්ගේ උපයුධ පිළිවෙත් අනුගමනය කිරීමට තෝරාගන්නා ලෙස හෝ එසේ නොකළොත් මරා දමන බව පැවසුවා.

සහෝදට මුලුම්බා ඉතා නිර්භීතව ඔවුන්ට මෙසේ කිව්වා, “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක්. මගේ පවුලේ අය සහ මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාස කර තිබෙනවා. අපි අපේ ගිවිසුම් වලට විශ්වාසවන්තව සිටිනවා ඒවගේම මැරෙන්න කැමැත්ත දෙනවා.”

ඔවුන් ඔවුන්ට, “ඔබලා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගෙන ඇතිනිසා, නුඹලාගේ ශරීර බල්ලන්ට කන්න දමනවා,” කියමින් නැවත් එන්න පොරොන්දු වී තිබෙනවා. නමුත් ඔවුන් කිසිවිටෙකත් ආපසු නොපැමිණි අතර, පවුලේ අය මාස දෙකක් එහි නැවතී සිටියත් කිසිදිනක නැවත ඔවුන්ව දැක තිබුණේ නෑ. සහෝදර මුලුම්බා සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ ඇදහිල්ලේ පන්දම තබාගෙන සිටියා. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම් මතකතබාගෙන සිටි අතර ඔවුන්ව ආරක්ෂා කර තිබුණා.

අපගේ ලෞකික ජීවිතයේ අඳුරු කාල වලදී පවා අප විසින් ඔසවා තැබිය යුතු ආලෝකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි (3 නෙපි 18:24 බලන්න). අප ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරාගන්නා විට, අප වෙනස් වීමට තෝරාගන්නවා. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වෙනස් වී ඇති මිනිසෙකුව හෝ කාන්තාවක්, ක්‍රිස්තුස්වහන්සේ විසින් මෙහෙයවනු ලබන අතර, පාවුල් කළාක් මෙන්, “ස්වාමිනි, මා කුමක් කිරීම ඔබවහන්සේට අවශ්‍යද?” කියා අසනු ඇත (ක්‍රියා 9:6). අපි “උන්වහන්සේගේ පියවර අනුගමනය කරනවා” (1 පේත්‍රැස් 2:21). අපි “උන්වහන්සේ ගමන් කළාක් මෙන් ගමන් කරනවා” (1 යොහාන් 2:6). (See Ezra Taft Benson, “Born of God,” Tambuli, Oct. 1989, 2, 6.)

මියගිය, භූමදාන කරන ලද, ඔබටත් මටත් අමරණීයභාවය හා උත්කෘෂ්ඨ වීමේ ආශිර්වාදය ලැබෙනු පිණිස, තුන්වෙනි දවසේ නැවත නැඟිට ස්වර්ගයට නැගි, උන්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. උන්වහන්සේ “ආලෝකය, … ජීවනය හා සත්‍යයයි” (ඊතර් 4:12). ලෝකයේ ව්‍යාකූලත්වයට ප්‍රතිවිරෝධකය සහ පිළියම උන්වහන්සේයි. උන්වහන්සේ උත්කෘෂ්ඨත්වයේ විශිෂ්ටත්වයේ ප්‍රමිතියයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.