ප්‍රධාන සම්මන්ත්‍රණය
“බලන්න! මම ප්‍රාතිහාර්යයන්ගේ දෙවි කෙනෙකි”
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


“බලන්න! මම ප්‍රාතිහාර්යයන්ගේ දෙවි කෙනෙකි”

ආශ්චර්යයන්, සලකුණු සහ අරුමපුදුම දේ අද දින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් අතර, ඔබේ ජීවිතයේදී සහ මගේ ජීවිතයේ බහුලව තිබෙනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද ඔබ ඉදිරියේ පෙනීසිටීම මොනතරම් වරප්‍රසාදයක්ද. මේ සම්මන්ත්‍රණයට දැනටමත් ආමන්ත්‍රණය කළ අය සමඟ එක්වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවට මම ඔබට සාක්ෂි දරනවා. උන්වහන්සේ තම සභාව මෙහෙයවනවා; උන්වහන්සේ තම අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන්ට කථා කරනවා, ඒවගේම උන්වහන්සේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලු දරුවන්ට ආදරය කරනවා.

මෙම පාස්කු ඉරිදා අපි අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන,1 බලවත් දෙවියන්වහන්සේ වන, සාමයේ කුමාරයා වන,2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සිහිපත් කරනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම, ණයට ගත් සොහොන් ගෙයක දින තුනකට පසු උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සමඟ මුදුන් පැමිණවීම, එය මිනිස් ඉතිහාසයේ විශාලතම ප්‍රාතිහාර්යයයි. “මක්නිසාද බලන්න,” උන්වහන්සේ මෙසේ කිව්වා, “මම දෙවියන්වහන්සේ වන්නෙමි; තවද මම ප්‍රාතිහාර්යය කරන්නාවූ දෙවියන්වහන්සේය.”3

මොර්මොන් අනාගතවක්තෘවරයා මොර්මොන්ගේ පොතෙහි මෙසේ අසනවා “ක්‍රිස්තුස්වහන්සේව ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ හිඳගත් නිසා හාස්කම් නැවතී ඇත්ද?”4 ඔහු මෙසේ උත්තර දෙනවා, “නැත, මනුෂ්‍ය දරුවන් හට දේවදූතයන් දේවසේවය කිරීම නවත්වා නැත.”5

කුරුසියේ ඇණ ගැසීමෙන් පසු, තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ, යේසුස්වහන්සේගේ දේහය ආලේප කිරීම සඳහා සොහොන් ගෙය වෙත ගොස් තිබූ, මරියාට ස්වාමින්වහන්සේගේ දේවදූතයෙකු දර්ශනය වුණා. එම දේවදූතයා මෙසේ කිව්වා:

“ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද?”6

“උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණු සේක.”7

මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ අබිනාඩි එම ප්‍රාතිහාර්යයම මෙසේ ප්‍රකාශ කළා:

“ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් නැවත නැගිටුණේ නොමැති නම්, … එහි නැවත නැගිටීමක් වන්නේ නැත.

“එහෙත් එහි නැවත නැගිටීමක් වන්නේය, එසේහෙයින් සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද මරණයේ කටුව ක්‍රිස්තුස්වහන්සේ තුළ ගිලගනු ලබන සේක.”8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියා නිසා මුල් ගෝලයන් මෙසේ පැවසුවා: “මුන්වහන්සේ කවුද? හුළඟටත් වතුරටත් අණකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරුවෙති.”9

මුල් ප්‍රේරිතයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරමින් උන්වහන්සේ ශුභාරංචිය උගන්වන ආකාරය අසමින්, ඔවුන් බොහෝ ප්‍රාතිහාර්යයන් දුටුවා. ඔවුන් මේ දේවල් දුටුවා “අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.”10

ආශ්චර්යයන්, සලකුණු සහ අරුමපුදුම දේ අද දින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් අතර, ඔබේ ජීවිතයේදී සහ මගේ ජීවිතයේ බහුලව තිබෙනවා. ප්‍රාතිහාර්යයන් යනු දිව්‍ය ක්‍රියාවන්, ප්‍රකාශයන් සහ දෙවියන්වහන්සේගේ අසීමිත බලය ප්‍රකාශ කිරීම සහ උන්වහන්සේ “ඊයේත්, අදත් සහ සදාකාලයටත් ඒකාකරය”11 යන ප්‍රකාශයට සහතිකයක්. සාගරයන් මැවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඒවා සන්සුන් කළ හැකියි; අන්ධයන්ට පෙනීම දුන් තැනැන්වහන්සේට අපගේ දර්ශන ස්වර්ගයට ඔසවා තැබිය හැකියි; ලාදුරු රෝගීන් පවිත්‍ර කළ තැනැන්වහන්සේට අපගේ දුර්වලතා සුවකළ හැකියි; බෙලහීන මිනිසා සුව කළ තැනැන්වහන්සේට “එන්න, මා අනුගමනය කරන්න” කියා අපට අවදිවන ලෙස ඉල්ලා සිටිය හැකියි.12

ඔබ සිතනවාට වඩා ඔබගෙන් බොහෝ දෙනෙක් ප්‍රාතිහාර්යයන් දැක තිබෙනවා. යේසුස්වහන්සේ මළවුන්ව නැඟිටුවීමට සාපේක්ෂව ඒවා කුඩා බවක් පෙනෙන්නට පුලුවන්. නමුත් ප්‍රාතිහාර්යයක් වෙන්කර හඳුනාගන්නේ විශාලත්වයෙන් නොවේ, නමුත් එය පැමිණියේ දෙවියන්වහන්සේගෙන් පමණක් වන කාරණයෙනුයි. සමහරු යෝජනා කරන්නේ ප්‍රාතිහාර්යයන් හුදෙක් අහම්බයක් හෝ වාසනාවක් ලෙසයි. නමුත් නෙපි අනාගතවක්තෘවරයා “දෙවියන්වහන්සේගේ බලය සහ හාස්කම් ඔවුන් පහතට දමන්නේය, එමෙන්ම ඔවුන් වෙතට ලබාගත්, ඔවුන්ගේ ප්‍රඥාවෙන්ද ඔවුන්ගේම ස්වකීය දැනුමෙන්ද ඔවුන්ටම දේශනා කරගනු ලබන”13 අය නුසුදුසු බව පැවසුවා.

ප්‍රාතිහාර්යයන් සිදුකරනු ලබන්නේ දිව්‍යමය බලයෙන් “ගැලවීමට බලවත්” තැනැන්වහන්සේ විසින්.14 ප්‍රාතිහාර්යයන් යනු දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්මේ දිගුවක්; ප්‍රාතිහාර්යයන් යනු ස්වර්ගයේ සිට පොළොව වෙතට වූ ජීවිතාරක්ෂාවක්.

අන්තිම සරත් සමයත් සමඟ රස්බැන්ඩ් සහෝදරිය සහ මම, විවිධ භාෂා 16 කින් 600,000 කට අධික පිරිසකට විකාශය වන, ලොව පුරා මුහුණට මුහුණලා රැස්වීමක් සඳහා යූටා හි ගොෂෙන් වෙත යමින් සිටියා.15 මෙම වැඩසටහනේ සිදුවූයේ ලොව පුරා තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ සිදුවීම් කෙරෙහි අවධානය යොමුකිරීමයි. රස්බැන්ඩ් සහෝදරිය සහ මම පෞද්ගලිකවම මෙම ප්‍රශ්න සමාලෝචනය කළා; දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයකු ලෙස ජෝසෆ් ස්මිත් ගැනත්, අපගේ ජීවිත වල එළිදරව් කිරීමේ බලය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අඛණ්ඩව නැවත පිහිටුවීම, සහ අප අගය කරන සත්‍යයන් සහ ආඥා පිළිබඳව සාක්ෂි දීමට ඒවා අපට අවස්ථාව ලබාදුන්නා. අද දින සවන්දෙන බොහෝ දෙනෙක් එම ආශ්චර්යමත් රැස්වීමේ කොටසක්.

මුලදී විකාශනය ආරම්භ වීමට නියමිතව තිබුණේ, ජෝසෆ් ස්මිත් විසින් මෙසේ ප්‍රකාශ කරන ලද ආකාරයට නිව්යෝර්ක් හි ඉහළ පිහිටි පූජනීය වනයේ සිටයි: “උන්වහන්සේලාගේ දීප්තිය සහ මහිමය වර්ණනා විෂය ඉක්මවන තරම් වූ, උත්තමයන් දෙදෙනෙකු මම දුටුවෙමි. ඔවුන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට, නමින් මා අමතා, අනෙකාට ඇඟිල්ල දිගු කරමින්, මෙසේ කීය—මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!16 සහෝදර සහෝදරියනි, එය, ප්‍රාතිහාර්යයක්.

රූපය
යූටා, ගොෂෙන් හි, යෙරුසලමේ සැකසුම

ලෝක ව්‍යාප්ත වසංගතය නිසා විකාශනය යූටා හි ගොෂෙන් වෙත ගෙන යාමට අපට බල කෙරුණා, එහි පැරණි යෙරුසලමේ කොටසක් රූගත කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව විසින් නැවත නිර්මාණය කර තිබෙනවා. අපගේ ගමනාන්තයේ දිශාවෙන් ඝන දුමාරයක් එනවා දුටු විට, රස්බැන්ඩ් සහෝදරිය සහ මම එම ඉරිදා සවස සිටියේ ගොෂෙන් සිට සැතපුම් කිහිපයක් ඇතුළතයි. එම ප්‍රදේශයේ ලැව්ගිනි ඇවිළෙමින් පවතින අතර, විකාශනය සඳහා අවදානමක් ඇතැයි අපි බියවුණා. හරියටම, අපගේ විකාශන වේලාව වන 6:00 ට, මිනිත්තු 20 කාලයක් තබා, මුළු සංකීර්ණයේම විදුලි බලය විසන්ධි වී ගියා. විදුලි බලයක් නෑ! විකාශනයත් නෑ. අපට උත්පාදනය කළ හැකි යැයි සමහරු සිතූ එක් විදුලි ජනක යන්ත්‍රයක් එහි තිබුණා, නමුත් නවීන උපකරණ ක්‍රියාත්මක වෙමින් තබාගැනීමට එය ප්‍රමාණවත් වේදැයි සහතිකයක් තිබුණේ නෑ.

රූපය
ගින්නෙන් ඇතිවූ දුම

මෙම වැඩසටහනේ අප සියලුදෙනා, කථිකයන්, සංගීතඥයන් සහ කාර්මික ශිල්පීන් ඇතුළු අපගේ පවුලේ තරුණ තරුණියන් 20 දෙනෙකු පවා සිදුවන්නට තිබූ දේ සඳහා පූර්ණ ලෙස සූදානම් වී සිටියා. මම ඔවුන්ගේ කඳුළු හා ව්‍යාකූලත්වයෙන් ඉවත් වී ප්‍රාතිහාර්යයක් ඉල්ලා ස්වාමින්වහන්සේට අයදිමින් සිටියා. “ස්වර්ගයේ පියාණෙනි,” මම යාච්ඤා කළා, “මම ප්‍රාතිහාර්යයක් ඉල්ලා ඇත්තේ කලාතුරකිනි, නමුත් මම දැන් එකක් ඉල්ලමි. මෙම රැස්වීම ලොව පුරා සිටින අපගේ සියලුම තරුණ වැඩිහිටියන් සඳහා සිදුවිය යුතුමයි. එය ඔබවහන්සේගේ කැමැත්ත නම් ඉදිරියට යාමට අපට විදුලි බලය අවශ්‍යයි.”

6:00 පසුවී මිනිත්තු හතකට පසු, විදුලිය සැණින් විසන්ධි වූ ලෙසම එය නැවතත් ක්‍රියාත්මක වුණා. සංගීතය සහ මයික්‍රොෆෝනයේ සිට වීඩියෝ සහ සම්ප්‍රේෂණ උපකරණ දක්වා සියල්ල ක්‍රියාත්මක වීමට පටන්ගත්තා. අපි විකාශනයේ යෙදෙමින් සිටියා. අපි ප්‍රාතිහාර්යයක් අත්වින්දා.

රූපය
මුහුණට මුහුණ ඉසව්ව අතරතුර සංගීත ඉදිරිපත් කිරීම

රස්බැන්ඩ් සහෝදරිය සහ මම එදින සවස් වරුවේ ආපසු නිවසට යමින් සිටියදී, සභාපති නෙල්සන් සහ සහෝදරිය මෙම පණිවිඩය සමඟ අපට කෙටි පණිවිඩයක් එව්වා: “රොන්, විදුලිය විසන්ධි වූ බව දැනගත් වහාම අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලා යාච්ඤා කළ බව ඔබ දැනගන්නවාට අපි කැමතියි.”

පසු-දවස්වල ශුද්ධලියවිලි වල මෙසේ ලියා තිබෙනවා, “මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, ස්වර්ගයන්ගේ බලය ක්‍රියාත්මක කිරීමට මාගේ හස්තය ඉදිරියට දමා ඇත; නුඹලාට එය දැන් දැකිය නොහැකිය, එහෙත් ටික කාලයකින් පසුව නුඹලා එය දකිනු ඇත, තවද ඒ මා බවත්, මා පැමිණෙන බවත් තවද මාගේ ජනතාව සමග රජකම් කරන බවත් දැනගනු ලබන්නෝය.”17

හරියටම සිදුවූයේ එයයි. ස්වාමින්වහන්සේ සිය අත දිගු කළ අතර, බලය පැමිණුනා.

සභාපති නෙල්සන් පසුගිය සැසිවාරයේදී අපට එතරම් ප්‍රබල ලෙස ඉගැන්වූ ලෙස, ප්‍රාතිහාර්යයන් සිදු කරනු ලබන්නේ ඇදහිල්ලේ බලයෙන්. මොරෝනි අනාගතවක්තෘවරයා සෙනඟට මෙසේ අවවාද කළා, “එහි මනුෂ්‍ය දරුවන් අතර ඇදහිල්ල නොමැතිනම්, දෙවියන්වහන්සේට ඔවුන් අතර හාස්කම් කළ නොහැක; එසේහෙයින්, ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක වනතුරු උන්වහන්සේ තමන්වහන්සේව නොපෙන්වූ සේක.”

ඔහු තවත් මෙසේ කිව්වා:

“බලන්න, සිරගෙය පොළොවට වැටීම සිදුවූයේ, එය ඇල්මා සහ ඇමුලෙක්ගේ ඇදහිල්ල නිසාය.

“බලන්න, එය ලාමන්වරුන්ගේ වෙනස පැමිණවූයේ නෙපිගේ සහ ලෙහිගේ ඇදහිල්ල නිසාය. එනම් ඒ කරණකොටගෙන ඔවුහු ගින්දරෙන් සහ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් බව්තීස්ම වූවෝය.

“බලන්න, ඉතා බලවත් හාස්කම් ලාමන්වරුන් අතර පමුණුවනු ලැබුවේ ඇම්මොන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ ඇදහිල්ලය.”

“තවද කිසිම කාලයක කිසිවෙක් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක වනතුරු කිසි හාස්කමක් පමුණුවනු නොලැබුවෝය; එසේහෙයින් ඔවුහු පළමුව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුල විශ්වාස කළෝය.”18

මට එම පද මාලාවට මෙසේ එකතු කළ හැකියි, “උනන්දු තරුණ වැඩිහිටි දායකයින්ගේ, විකාශන වෘත්තිකයන්ගේ, සභාවේ නායකයින් සහ සාමාජිකයන්ගේ, ප්‍රේරිතවරයෙකුගේ සහ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකුගේ ඇදහිල්ල මෙතරම් විශාල ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කළාද යත්, එම බලය යූටා හි ගොෂෙන් හි දුරස්ථ චිත්‍රපට තිරගත වන ස්ථානයකට නැවත ලබාදෙන ලදි.”

ප්‍රාතිහාර්යයන් යාච්ඤාවට පිළිතුරු ලෙස පැමිණිය හැකියි. ඒවා සැමවිටම අප ඉල්ලන දේ හෝ අප අපේක්ෂා කරන දේ නොවේ, නමුත් අප ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, උන්වහන්සේ එහි සිටිනු ඇත, උන්වහන්සේ නිවැරදි වනු ඇත. උන්වහන්සේ ප්‍රාතිහාර්යය අපට අවශ්‍ය මොහොතට ගලපනවා.

ස්වාමින්වහන්සේ ප්‍රාතිහාර්යයන් කරන්නේ උන්වහන්සේගේ බලය, අප කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය, ස්වර්ගයේ සිට අපගේ ලෞකික අත්දැකීම් කරා උන්වහන්සේගේ ලඟාවීම සහ වඩාත්ම වටිනා දේ ඉගැන්වීමට වූ උන්වහන්සේගේ ආශාවයි. උන්වහන්සේ විසින් 1831 දී ශුද්ධවන්තයින්ට මෙසේ කිව්වා, එමෙන්ම ඒ පොරොන්දුව අදත් එසේමයි, “එනම් සුවපත් වීමට මා තුළ ඇදහිල්ල ඇත්තාවූ, තවද මරණයට නියම වී නැත්තාවූ ඔහුව, සුවපත් කරනු ලබන්නේය.”19 ස්වර්ගයන්හි නියම කර ඇති නීති තිබේ, අපි සැමවිටම ඒවාට යටත් වෙනවා.

ආදරණීයයෙකු සුවකිරීම, අයුක්ති සහගත ක්‍රියාවක් ආපසු හැරවීම, හෝ කටුක හෝ කලකිරුණු ආත්මයක හදවත මෘදු කිරීම සඳහා අපි ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කරන අවස්ථා තිබෙනවා. ලෞකික දෑස් තුළින් දේවල් දෙස බලන විට, අපට අවශ්‍ය වන්නේ ස්වාමින්වහන්සේ මැදිහත් වී කැඩී ඇති දේ නිවැරදි කිරීමටයි. අපේ කාලසටහනට හෝ අප බලාපොරොත්තු වූ යෝජනාවට අනුව නොව, නමුත් ඇදහිල්ල තුළින් ප්‍රාතිහාර්යය පැමිණෙනවා. එයින් අදහස් කරන්නේ අප ඇදහිලිවන්ත වනවාට වඩා අඩු හෝ උන්වහන්සේගේ මැදිහත්වීමට සුදුසු නැති බවද? නෑ. අපි ස්වාමින්වහන්සේගෙන් ප්‍රේමය ලැබූවන්. උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දුන් අතර, උන්වහන්සේගේ වන්දිගෙවීම අප පසුතැවී උන්වහන්සේ වෙතට ලඟා වන විට, බරින් හා පාපයෙන් අපව නිදහස් කරනවා.

ස්වාමින්වහන්සේ අපට මෙසේ මතක්කර දී තිබෙනවා, “නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේය.”20 උන්වහන්සේ අපට මෙසේ පිරිනමනවා, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”21—කනස්සල්ල, බලාපොරොත්තු සුන්වීම, බිය, අකීකරුකම, ආදරණීයයන් කෙරෙහි සැලකිලිමත් වීම, නැතිවූ හෝ බිඳුණු සිහින සඳහා විවේකය. ව්‍යාකූලත්වය හෝ ශෝකය මධ්‍යයේ සාමය යනු ප්‍රාතිහාර්යයක්. ස්වාමින්වහන්සේගේ මෙම වචන මතක තබාගන්න: “එම කාරණාව සම්බන්ධයෙන් නුඹගේ මනසට සමාදානය ලැබෙන පිණිස මා නුඹ හට කතා නොකළේද? දෙවියන්වහන්සේගෙන් ලද සාක්ෂියට වඩා උතුම් සාක්ෂියක් ඔබට තිබිය හැකිද?”22 ප්‍රාතිහාර්යය නම්, උත්තමයාණන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ශ්‍රේෂ්ඨ යෙහෝවා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාමයෙන් ප්‍රතිචාර දැක්වීමයි.

උන්වහන්සේ උයනේදී මරියාට දර්ශනය වූවාක් මෙන්, ඇයව නමින් අමතන්නාක් මෙන්, අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරනවා. මරියා උන්වහන්සේට සේවය කිරීමට හා උන්වහන්සේව රැකබලා ගැනීමට සොයමින් සිටියා. උන්වහන්සේගේ මරණයෙන් නැවත නැඟිටීම ඇය අපේක්ෂා කළ දෙය නොවේ, නමුත් එය ප්‍රීතියේ මහා සැලැස්මට අනුව සිදුවුණා.

“කුරුසියෙන් බැස එන්න”23 කියා නොඇදහිලිවන්ත සමූහයා කල්වාරියේදී උන්වහන්සේට සමච්චල් කළා. උන්වහන්සේට එවැනි ප්‍රාතිහාර්යයක් කිරීමට හැකියාව තිබුණා. නමුත් උන්වහන්සේ මුල සිටම අවසානය දැන සිටි අතර, උන්වහන්සේගේ පියාණන්ගේ සැලැස්මට ඇදහිලිවන්තව සිටීමට අදහස් කළා. එම ආදර්ශය අප තුළ අහිමි නොවිය යුතුයි.

අභියෝග පැමිණෙන අවස්ථාවන් සඳහා උන්වහන්සේ අපට මෙසේ පවසා තිබෙනවා, “තවද, මාගේ ඇලයේත්, මාගේ අත් හා පාදවල ඇති ඇණ පහර කර ඇති තුවාලත් බලන්න; විශ්වාසවන්තව සිටින්න; මාගේ ආඥා පවත්වා, ඔබ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නහු ය’යි වදාළ සේක.”24 සහෝදර සහෝදරියනි, අප සැමට පොරොන්දු වූ ප්‍රාතිහාර්යය එයයි.

මෙම පාස්කු ඉරිදා, අපගේ ස්වාමින්වහන්සේගේ නැවත නැගිටීමේ ප්‍රාතිහාර්යය සමරන අතරතුර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙකු වශයෙන්, ඔබගේ ජීවිතයේ මිදුම්කරුවාණන්ගේ බලය ඔබට දැනෙනු ඇති බවටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දේවසේවය පුරාවට පෙන්වූ ආදරය සහ කැපවීම සමඟ ස්වර්ගයේ පියාණන්වහන්සේට වූ ඔබගේ ආයාචනාවන්ට පිළිතුරු ලැබෙන බවටත්, මම නිහතමානීව යාච්ඤා කරනවා. ඔබට ඉදිරියේදී සිදුවීමට යන සෑම දෙයක් ගැනම ස්ථිරව හා ඇදහිලිවන්තව සිටීමට හැකිවන පිණිස මම යාච්ඤා කරනවා. එමෙන්ම ස්වාමින්වහන්සේගේ කැමැත්ත පරිදි—අපි ගොෂෙන් හිදී අත්විඳින ලද ආකාරයට ප්‍රාතිහාර්යයන් ඔබ වෙත පැමිණෙනු ඇතැයි මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ “අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් ලියනු ලැබුවාවූ මෙම යේසුස්වහන්සේව සොයන්න, ඒ කරණකොටගෙන ඒවා ගැන සාක්ෂි දරන පියවූ දෙවියන්වහන්සේගේද, ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද, ශුද්ධාත්මයාණන්වහන්සේගේද අනුග්‍රහය නුඹලා සමඟ සදාකාලයටම පවතින පිණිස,” ඔබේ ජීවිතයේ ස්වර්ගයෙන් පැමිණි මෙම ආශිර්වාද සඳහා සොයන්න.25 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.