ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන්
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන්

උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය නිසා, ගැලවුම්කරුවාණන්ට අප එක් එක්කෙනාව පවිත්‍ර කිරීමට, සුව කිරීමට හා ශක්තිමත් කිරීමට බලය තිබෙනවා.

මෙම අසිරිමත් පාස්කු උදෑසන ඔබ සමඟ සිටීම ගැන මම කෘතඥ වෙනවා. පාස්කු උත්සවය ගැන සිතන විට, සොහොන් ගෙය අසල සිටි අයට දේවදූතයන් පැවසූ වචන මගේ මනසෙහි නැවත මතක් කිරීමට මම කැමතියි: “ජීවත්ව සිටින තනැත්තා නුඹලා මළවුන් අතරේ සොයන්නේ මක්නිසාද? උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගිටුණු සේක” 1 නාසරෙත්හි යේසුස්වහන්සේ නැවත නැඟිටුවනු ලැබූ බවත් උන්වහන්සේ ජීවත් වන බවත් මම සාක්ෂි දරනවා.

ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු තිස්-හතරකට පෙර, මගේ ධර්මදූත සහකරු සහ මම පිලිපීනයේ දාවාවූ නගරයේ ප්‍රාදේශීය පුවත්පතක දායක ලේඛකයෙකු වූ ඉතා බුද්ධිමත් මිනිසෙකුව මුණගැසී ඉගැන්වූවා. අපි ඔහුට ඉගැන්වීමට ප්‍රිය කළේ ඔහුට ප්‍රශ්න රාශියක් තිබූ නිසා සහ ඔහු අපගේ විශ්වාසයන්ට ගරු කළ නිසයි. ඔහු අපෙන් ඇසූ අමතක නොවන ප්‍රශ්නය වූයේ “ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?” යන්නයි.2 ඇත්තෙන්ම අපි ඉතා සතුටින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපේ හැඟීම් සහ සාක්ෂි බෙදාගත්තා. පසුව ඔහු එම මාතෘකාව පිළිබඳ ලිපියක් පළ කළ අතර ගැලවුම්කරුවාණන් පිළිබඳ අපූරු වචන හා වාක්‍ය ඛණ්ඩ එහි අඩංගු වුණා. පුදුමයට පත්වූවා මට මතකයි නමුත් අධ්‍යාත්මික එසවීමක් දැණුනේ නැහැ. එහි හොඳ තොරතුරු තිබුණ නමුත් හිස් බවක් දැනුණු අතර අධ්‍යාත්මික ශක්තියක්ද තිබුණේ නැහැ.

උන්වහන්සේ ගැන වැඩි වැඩියෙන් දැනගැනීම

“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?” ගැලවුම්කරුවාණන්ව මම කෙතරම් සමීපව දන්නේද, එය සැලකිය යුතු ලෙස උන්වහන්සේට සවන්දීමට මට ඇති හැකියාව මෙන්ම මා ප්‍රතිචාර දක්වන ආකාරය කෙරෙහි බලපෑම් කරන බව මම තේරුම් ගනිමින් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් සිය ප්‍රකාශයේ කොටසක් ලෙස පහත සඳහන් ප්‍රශ්ණ ඇසුවා: “අප ගැලවුම්කරුවාණන් ගැන දන්නවා පමණක්ද, නැත්නම් අපි වැඩි වැඩියෙන් උන්වහන්සේව දැන හඳුනා ගන්නවාද? අපි ස්වාමින්වහන්සේව දැන හඳුනාගන්නේ කෙසේද?”3

මම අධ්‍යයනය කර මෙනෙහි කරන විට, ගැලවුම්කරුවාණන් ගැන මා දන්නා දේ, මම උන්වහන්සේව කොතරම් දුරට හඳුනනවාද යන්න මත බොහෝ සෙයින් වැඩිවන බව මම පැහැදිලි අවබෝධයකට පැමිණියා. උන්වහන්සේව දැන හඳුනාගැනීමට වැඩි උත්සාහයක් දැරීමට එවිට මම තීරණය කළා. ශුද්ධලියවිලි වලට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත පුරුෂ සහ කාන්තා අනුගාමිකයින්ගේ සාක්ෂි පිළිබඳව මම බෙහෙවින් කෘතඥ වෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ මගේම ගමන අධ්‍යයන හා සොයාගැනීම් පිළිබඳ බොහෝ මාර්ග ඔස්සේ මා ගෙන ගියා. මා ලියා ඇති ප්‍රමාණවත් නොවන වචන වලට වඩා විශාල පණිවිඩයක් ශුද්ධාත්මයාණන්වහන්සේ අද ඔබට ගෙන එනු ඇතැයි මම යාච්ඤා කරනවා.

පළමුව, ගැලවුම්කරුවාණන් පිළිබඳව දැනගැනීම අපගේ ජීවිතයේ වැදගත්ම ලුහුබැඳීම බව අප හඳුනාගත යුතුයි. එය අන් සියල්ලටම වඩා ප්‍රමුඛතාවය ගත යුතුයි.

“සදාකාල ජීවනය නම් මෙයයි-එකම සැබෑ වූ දෙවියන්වහන්සේ වන ඔබවහන්සේව සහ ඔබවහන්සේ විසින් එවන ලද තනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන් විසින් ඇඳිනගනීමයි.”4

“යේසුස්වහන්සේ ඔහුට කියන සේක: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණුකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”5

“මම ලෝකයේ ආලෝකයය: මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.”6

දෙවනුව, අපි වැඩි වැඩියෙන් ගැලවුම්කරුවාණන් දැන හඳුනාගනිමින් සිටින විට, ශුද්ධලියවිලි පද සහ අනාගතවක්තෘවරුන්ගේ වචන අපට ඉතා සමීපව අර්ථවත් වන අතර ඒවා අපගේම වචන බවට පත්වෙනවා. ඒ අපට මතක සිටින තරම් අන් අයගේ වචන, හැඟීම් සහ අත්දැකීම් පිටපත් කිරීම නොවේ, නමුත් අපේම අද්විතීය ආකාරයකින් වචනය අත්හදා බැලීමෙන්7 ශුද්ධාත්මයාණන්ගෙන් සාක්ෂියක් ලැබීමයි. අනාගතවක්තෘ අල්මා ප්‍රකාශ කළ පරිදි:

“මම මමම මේ දේවල් දන්නා බව නුඹලා සිතන්නේ නැද්ද? බලන්න, මම නුඹලාට සාක්ෂි දරන්නෙමි. එනම් මා කථා කළ මෙම දේවල් සත්‍ය බව මම දන්නෙමි. ඒවායේ සත්‍ය භාවය මම දැනීම ගැන නුඹලා කෙසේ සිතන්නේද?

“බලන්න, මම නුඹලාට කියන්නෙමි, ඒවා මා හට දන්වනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය මඟින්ය. බලන්න, මම මටම මේ දේවල් දැනගන්නා පිණිස මම බොහෝ දවසක් නිරාහාරවද යාච්ඤා කළෙමි. තවද දැන් මම ඒවා සත්‍ය බව මමම දන්නෙමි; මක්නිසාද ස්වාමි වූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් මා වෙතට එය ප්‍රකාශ කළ සේක; තවද මෙය මා තුළ ඇත්තාවූ එළිදරව් වීමේ ආත්මය වේ.”8

තෙවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අපට පෞද්ගලිකවම අදාළ වන බව වැඩි වැඩියෙන් අවබෝධ කරගැනීම උන්වහන්සේ ගැන දැනගැනීමට අපට උපකාර කරනවා. බොහෝ විට ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව අපගේ ජීවිතයේ පෞද්ගලික වැදගත්කම හඳුනාගැනීමට වඩා පොදුවේ සිතීම හා කථා කිරීම අපට පහසුයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අසීමිත හා සදාකාලික වන අතර එහි පළල හා ගැඹුර සියල්ලම ආවරණය කර ඇති නමුත් එහි ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි. උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය නිසා, ගැලවුම්කරුවාණන්ට අප එක් එක්කෙනාව පවිත්‍ර කිරීමට, සුව කිරීමට හා ශක්තිමත් කිරීමට බලය තිබෙනවා.

ආරම්භයේ සිටම ගැලවුම්කරුවාණන්ගේ එකම ආශාව සහ උන්වහන්සේගේ එකම අරමුණ වූයේ පියාණන්ගේ කැමැත්ත කිරීමයි. පියාණන්ගේ කැමැත්ත වූයේ “මිනිසාගේ අමරණීයභාවය හා සදාකාල ජීවනය [ගෙන ඒමට]” උපකාර කිරීමයි9 “ඒ පියාණන්වහන්සේ සමඟ අපගේ මැදහත්කරුවාණන්” වීමෙන්.10 එබැවින්, “උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් තමන් වින්ද දේ වලින් කීකරුකම ඉගෙනගත් සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරණු ලැබ, තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැලවීමේ කතෘ වූ සේක.”11

“තවද උන්වහන්සේ සියළු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරීක්ශාවන්ද විඳිමින් ඉදිරියට යන සේක.”

“තවද උන්වහන්සේ තමන්වහන්සේ වෙත මරණය ගන්නා සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ මරණයේ බැමි ලිහිල් කරනු පිණිසය … තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය … මාංශයට අනුව, එනම් උන්වහන්සේගේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිසය.”

“… දෙවියන්වහන්සේගේ පුත්‍රයා මාංශයේ ආකාරයට වින්ඳේය. එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ පාපයන් ගන්නා පිණිසය, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ මිදීමේ බලයට අනුව ඔවුන්ගේ වරද මකාදමන පිණිසය.“12

ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමෙහි පෞද්ගලික ස්වභාවය වැලඳගැනීමට අපට සමහරවිට ඇති අරගලය විදහා දක්වන සරල අත්දැකීමක් බෙදාගැනීමට මම කැමතියි.

වසර ගණනාවකට පෙර, මගේ ලිපිගොනු නායකයාගේ ආරාධනයෙන් මම මොර්මොන්ගේ පොත මුල සිට අග දක්වා කියවා ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීම ගැන සඳහන් පද සලකුණු කළා. මා ඉගෙනගත් දේවල් එක් පිටුවක සාරාංශක් ලෙස සකස් කිරීමට මගේ නායකයා මට ආරාධනා කළා. මම මෙසේ මටම කියාගත්තා “එක පිටුවක්? ඇත්තෙන්ම එය පහසුයි.” කෙසේවෙතත්, මා පුදුමයට පත්කරමින්, එම කාර්යය අතිශයින් දුෂ්කර බව මට පෙනී ගිය අතර, මම අසමත් වුණා.

ලකුණු මගහැරුණු නිසාත් වැරදි උපකල්පන ඇති නිසාත් මා අසමත් වූ බව මම එතැන් සිට තේරුම්ගත්තා. පළමුව, සාරාංශය සෑම කෙනෙකුටම ආශ්වාදජනක වනු ඇතැයි මම අපේක්ෂා කළා. සාරාංශය මා වෙනුවෙන් මිස වෙන කිසිවෙකුට නොවේ. එයින් අදහස් කළේ ගැලවුම්කරුවාණන් පිළිබඳ මගේ හැඟීම් සහ උන්වහන්සේ මා වෙනුවෙන් කර ඇති දේ ග්‍රහණය කරගැනීමයි, ඒ නිසා මම එය කියවන සෑම අවස්ථාවකම, එය පුදුමාකාර, විචිත්‍රවත් සහ පෞද්ගලික අධ්‍යාත්මික අත්දැකීම් මතුපිටට ගෙන එනවා.

දෙවනුව, විශාල වචන සහ වාක්‍ය ඛණ්ඩ විස්තාරණය කර අඩංගු කිරීමෙන් සාරාංශය විශිෂ්ට හා විස්තීර්ණ වියයුතු යැයි මම අපේක්ෂා කළා. එය කිසිවිටෙකත් විශාල වචන ගැන නොවේ. එය පැහැදිලි සහ සරල ඒත්තු ගැන්වීමේ ප්‍රකාශයක් විය යුතුයි. “මන්ද මාගේ ප්‍රාණය සරල බවෙහි ප්‍රමෝදවත් වෙයි; මන්ද ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ මිනිස් දරුවන් අතර වැඩ කරන්නේ මේ ආකාරයටයි. මන්ද ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ තේරුම්ගැනීම සඳහා ආලෝකය දෙන සේක.”13

තෙවනුව, එය පරිපූර්ණ වනු ඇතැයි මම අපේක්ෂා කළා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ මගේ අවබෝධය වර්ධනය වන විට, මට මෙහි වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් එක් කළ හැකි ප්‍රගතියක් ඇති කාර්යයක් වෙනුවට, සියලු සාරාංශ අවසන් කිරීම සඳහා සාරාංශයක්—කෙනෙකුට එකතු කළ නොහැකි හා නොකළ යුතු අවසාන සාරාංශයක් වනු ඇතැයි මම අපේක්ෂා කළා.

සාක්ෂි සහ ආරාධනා

තරුණයෙකු ලෙස, මගේ සභානායකවරයා සමඟ මා කළ සංවාද වලින් මම බොහෝ දේ ඉගෙනගත්තා. එම ලාබාල කාලය තුළ, මම කැමතිම ගීතිකාවක මෙම වචන වලට ආදරය කිරීමට ඉගෙනගත්තා:

යේසුස් මට දෙන ප්‍රේමය ගැන මම විශ්මපත් වී සිටිමි,

ඔහු මට ඉදිරිපත් කරන කරුණාව තුළ, ව්‍යාකූල වී සිටිමි.

ඔහු මා උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබූ බව දැන ගෙන මම සසල වෙමි,

මා වැනි පව්කාරයෙකු උදෙසා ඔහු දුක්විඳ ලේ වගුරා මිය ගියේය.

අහෝ, ඔහු මා ගැන සැලකිලිමත් වීම පුදුම සහගතය

මා වෙනුවෙන් දිවි පිදීමට ප්‍රමාණවත්ය!

අහෝ, එය පුදුම සහගතය, මට එය පුදුම සහගතය!14

අනාගතවක්තෘ මොරෝනි අපට මෙසේ ආරාධනය කරනවා: “තවද දැන් අනාගතවක්තෘන් සහ ප්‍රේරිතයන් ලියනු ලැබුවා වූ මෙම යේසුස්වහන්සේ සෙවීමට මම නුඹලාට අවවාද කරන්නෙමි.”15

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පොරොන්දු වුණා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන [අපට] ඉගෙනගත හැකි සියල්ලම [අපි] ඉගෙනගන්නවා නම්, … පාපයෙන් ඉවත්වීමේ [අපගේ] හැකියාව වැඩි වෙනවා. ආඥා පිළිපැදීමට [අපේ] ආශාව ඉහළ යනවා.”16

මෙම පාස්කු ඉරිදා, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ගලෙන් බැඳ තිබූ සොහොනින් එළියට ආවා සේම, අපගේ අධ්‍යාත්මික නින්දෙන් අවදි වී සැකයේ වලාකුළු, භීතියේ ග්‍රහණයන්, මත්වූ උඩඟුකම සහ උදාසීනකම වැනි දේවලට ඉහළින් නැගී සිටිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ ජීවත් වෙනවා. අප කෙරෙහි ඇති උන්වහන්සේලාගේ පරිපූර්ණ ප්‍රේමය ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.