ප්‍රධාන සම්මන්ත්‍රණය
අප අතර සිටිනා දෙවියන්වහන්සේ
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අප අතර සිටිනා දෙවියන්වහන්සේ

දෙවියන්වහන්සේ අප අතරයි—උන්වහන්සේ අපගේ ජීවිත වලට පෞද්ගලිකව සම්බන්ධ වන අතර උන්වහන්සේගේ දරුවන්ට ක්‍රියාශීලීව මගපෙන්වනවා.

යුග ගණනාවක් පුරා, දෙවියන්වහන්සේ සිය සේවකයන් වන අනාගතවක්තෘවරුන් තුළින් කතා කර තිබෙනවා.1 අද උදෑසන දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා මුලු ලෝකයටම කතා කිරීම අසන්නට ලැබීමට අප භාග්‍යවන්තයන් වුණා. සභාපති නෙල්සන්, අපි ඔබට ආදරෙයි, ඒවගේම ඔබගේ වචන අධ්‍යනය කරන්නටත් ඒවාට උවමනාවෙන් ඇහුම්කන්දෙන්නටත් මම සෑමතැනකම සිටින සෑම කෙනෙකුවම දිරිමත් කරනවා.

මම මගේ 12 වන උපන්දිනයට ලඟාවීමට පෙර, යුද්ධය හා දේශපාලන බෙදීම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලත්වයන්, අවුල් සහගත තත්වයන්, සහ බිය මධ්‍යයේ අපේ පවුලට දෙවරක් අපේ නිවසින් පලාගොස් නැවතත් අලුතින් පටන්ගන්නට සිදුවුණා. එය මට කරදරකාරී කාලයක් වුණා, නමුත් එය මගේ ආදරණීය දෙමව්පියන්ට වඩාත් භයානක වන්නට ඇති.

මගේ මව සහ පියා මේ බර පිළිබඳව දරුවෝ හතරදෙනා වන අපි සමග බෙදාගත්තතේ ටිකයි. ඔවුන් පීඩා හා දුක් වේදනා තමන්ට හැකි උපරිමයෙන් දරා සිටියා. ඔවුන්ගේ කාලය නාස්ති කර දැමූ සහ ඔවුන්ගේ බලාපොරොත්තුව හීන කළ, එම භීතිය බොහෝ පීඩාකාරී වෙන්නට ඇති.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු වූ මේ අඳුරු කාලය ලෝකය මත එහි සලකුණ තබාගියා. එය එහි සලකුණ මා මත තබාගියා.

ඒ දවස්වල, මගේ තනිකමින් පිරි පැය ගණනාවක හුදකලාවේදී, මම බොහෝ විට මෙලෙස කල්පනා කළා, “ලෝකයේ බලාපොරොත්තුවක් ඉතිරිව තිබෙනවාද?”

අප අතර සිටිනා දේවදූතයන්

මම මේ ප්‍රශ්නය ගැන මෙනෙහි කරද්දී, ඒ කාලය තුළ අප අතර සේවය කළ අපේ තරුණ අමෙරිකානු ධර්මදූතයින් ගැන මම කල්පනා කළා. ඔවුන් තම නිවෙස්වල ආරක්ෂාව අතහැර, අපගේ ජනතාවට දිව්‍යමය බලාපොරොත්තුවක් පිරිනැමීම උදෙසා, ලෝකයෙන් අඩක් ඈතින් වූ—ඔවුන්ගේ එකළ සතුරන්ගේ දේශය වන—ජර්මනියට පැමිණ තිබුණා. ඔවුන් පැමිණ තිබුණේ දොස් පැවරීමට, දේශනා දීමට හෝ ලැජ්ජාවට පත්කිරීමට නොවේ. ඔවුන් අත්විඳ තිබූ ප්‍රීතිය සහ සාමය අනෙක් අයටත් සොයාගන්නට උදව් කිරීමේ උවමනාව ඇතුව, ඔවුන් ලෞකික වාසි ගැන නොසිතා තම තරුණ ජීවිත කැමැත්තෙන්ම ලබාදී තිබුණා.

මට නම් මේ තරුණ තරුණියන් පරිපූර්ණයි. මට විශ්වාසයි ඔවුන්ට අඩුපාඩු ඇති නමුත් මට එහෙම පේන්නෙ නෑ. ආලෝකයේ හා මහිමයේ දේවදූතයන්, සහ දයානුකම්පාවේ, යහපත්කමේ සහ සත්‍යයේ දේවසේවකයන් ලෙසත්—ජීවිතයේ ශක්තිමත් ගුණාංග ඇති අය ලෙසත් මම ඔවුන් පිළිබඳව සැමවිටම සිතනවා.

ලෝකය සැකයෙන්, තිත්තකමින්, වෛරයෙන් සහ භීතියෙන් ගිලී යද්දී, මෙම තරුණයින්ගේ ආදර්ශය සහ ඉගැන්වීම් මා තුළ බලාපොරොත්තුවක් ඇති කළා. ඔවුන් ඉදිරිපත් කළ ශුභාරංචි පණිවිඩය දේශපාලනය, ඉතිහාසය, අමනාපකම්, දුක්ගැනවිලි සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් ඉක්මවා ගියා. මෙම දුෂ්කර කාල වලදී අපට තිබූ වැදගත් ප්‍රශ්න වලට එය දිව්‍ය පිළිතුරු ලබාදුන්නා.

මේ නොසන්සුන්තාවයේ, ව්‍යාකූලත්වයේ සහ අවුල්සහගත තත්වයන්ගේ පැය ගණන තුළ පවා, දෙවියන්වහන්සේ අප ගැන සැලකිලිමත් වූ බව ඒ පණිවිඩයයි. උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව—සත්‍ය සහ ආලෝකය නැවත පිහිටුවීම සඳහා උන්වහන්සේ අපේ කාලයේ සැබවින්ම පෙනීසිටි බවයි. උන්වහන්සේ නැවතත් අනාගතවක්තෘවරුන්ට කතා කරන බවයි; එමෙන්ම දෙවියන්වහන්සේ අප අතර සිටින බවයි—එමෙන්ම අපගේ ජීවිත වලට පෞද්ගලිකව සම්බන්ධ වී උන්වහන්සේගේ දරුවන්ට ක්‍රියාශීලීව මගපෙන්වන බවයි.

අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ දරුවන් සඳහා වූ, ගැලවීමේ හා උසස් කිරීමේ සැලැස්ම, සන්තෝෂයේ සැලැස්ම, දෙස මඳක් සමීපව බැලූ විට අපට ඉගෙනගත හැකි දේ විශ්මය ජනකයි. නොවැදගත්, ඉවත දැමූ සහ අමතක වූ බවක් අපට දැනෙන විට, දෙවියන්වහන්සේ අපව අමතක කර නැති බවට අපට සහතික විය හැකි බව අපි ඉගෙනගන්නවා—ඇත්තවශයෙන්ම, උන්වහන්සේ සිය සියලු දරුවන්ට සිතාගත නොහැකි දෙයක් ඉදිරිපත් කරනවා: ඒ “දෙවියන්වහන්සේගේ උරුමක්කාරයන් හා ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන්” බවට පත්වීමයි.2

මෙය අදහස් කරන්නේ කුමක්ද?

අප සදාකල් ජීවත් වන බව, ප්‍රීතියේ පූර්ණත්වයක් ලබන බව,3 එමෙන්ම “සිංහාසන, රාජධානි, රාජ්‍යයන් සහ බලතල උරුම කරගැනීමට” හැකියාව ඇති බවයි.4

මෙම විශ්මයජනක හා දිව්‍යමය අනාගතය ලබාගත හැකි බව දැනගැනීම නිහතමානී බවක් ගෙනෙනවා—ඒ අපි කවුරුන්ද යන්න නිසා නොවේ නමුත් දෙවියන්වහන්සේ කවුරුන්ද යන්න නිසායි.

මෙය දැනගැනීමෙන්, අපට කවදා හෝ මිමිණීමට, මැසිවිලි නැඟීමට හෝ ව්‍යාකූලත්වයට පත්විය හැක්කේ කෙසේද? දිව්‍ය සන්තෝෂයේ සිතාගත නොහැකි අනාගතයකට පියාසර කිරීමට රජවරුන්ගේ රජ අපට ආරාධනා කරන විට, අපි කවදා හෝ අපගේ දෑස් වලින් බිම බලාගෙන සිටින්නේ කෙසේද?5

අප අතර වූ ගැලවීම

දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති පරිපූර්ණ ප්‍රේමය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික පරිත්‍යාගය නිසා, අපගේ පව්—විශාල හා කුඩා යන දෙවර්ගයම—මකා දැමිය හැකි අතර ඒවා තවදුරටත් මතක තබාගන්නේ නෑ.6 අපිට උන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රව, වටිනාකමින් හා පරිශුද්ධව වුවද සිටිය හැකියි.

මාගේ ස්වර්ගික පියාණන්වහන්සේට කෘතඥතාවෙන් මගේ හදවත පිරී ඉතිරී යනවා. දීප්තිමත් හා සදාකාලික අනාගතයක බලාපොරොත්තුවෙන් තොරව උන්වහන්සේ තම දරුවන්ට ලෞකිකත්වය තුළින් පැකිළෙන්නට නියම කර නැති බව මම තේරුම්ගත්තා. උන්වහන්සේ වෙතට ආපසු යන මාර්ගය හෙළිකරන උපදෙස් උන්වහන්සේ සපයා දී තිබෙනවා. එමෙන්ම මේ සියල්ලේ කේන්ද්‍රය වන්නේ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි,7 එමෙන්ම අපි වෙනුවෙන් වූ උන්වහන්සේගේ පරිත්‍යාගයයි.

ගැලවුම්කරුවාණන්ගේ අසීමිත වන්දිගෙවීම අපි අපගේ වැරදි සහ අඩුපාඩුකම් දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒවා මත වාසය කරමින් සහ ආපසු හැරවිය නොහැකි හෝ බලාපොරොත්තු රහිත යැයි සිතමින් සිටිනවා වෙනුවට, අපට ඒවාගෙන් ඉගෙනගෙන බලාපොරොත්තුවක් ඇතිකරගත හැකියි.8 පසුතැවීම යන පවිත්‍ර කිරීමේ ත්‍යාගය මගින් අපගේ පව් අත්හැර නව ජීවියෙකු ලෙස බිහිවීමට අපට ඉඩ සලසනවා.9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපගේ අසාර්ථකත්වයන් අපව නිර්වචනය කළ යුතු නෑ. ඒවාට අපව පවිත්‍ර කළ හැකියි.

ස්වර සප්තකයන් පෙරහුරු කරන සංගීතඥයෙකු මෙන්, අපගේ වැරදි පියවරයන්, අඩුපාඩු, සහ පාපයන් වැඩි ස්වයං දැනුවත්භාවයක්, අන් අයට ගැඹුරු හා වඩා අවංක ප්‍රේමයක් සහ පසුතැවිල්ල තුළින් පවිත්‍ර වීමේ අවස්ථාවන් ලෙස අපට දැකිය හැකියි.

අප පසුතැවිලි වුවහොත්, වැරදි අපව නුසුදුස්සන් නොකරයි. ඒවා අපගේ වර්ධනයේ කොටසක්.

අපට පත්වීමට සැලසුම් කර ඇති මහිමය හා උත්කෘෂ්ඨභාවයේ පුද්ගලයන් හා සසඳන විට අප සියල්ලන්ම ළදරුවන්. බඩගා යාමේ සිට ඇවිදීම සහ දිවීම දක්වා නිරන්තර පැකිලීම්, ගැටිති හා තැළීම් නොමැතිව කිසිඳු ලෞකික ජීවියෙකුට දියුණුවක් ලැබෙන්නේ නෑ. අපි ඉගෙනගන්නේ එලෙසයි.

අපි උනන්දුවෙන් පුහුණු වෙනවා නම්, සැමවිටම දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරනවා නම් සහ පසුතැවිලි වීමට, විඳදරාගැනීමට, හා අප ඉගෙනගන්නා දේ ක්‍රියාවට නැංවීමට අපගේ උත්සාහයන් දරන්නේ නම්, පියවරෙන් පියවරට, අපි අපේ ප්‍රාණයන්ට ආලෝකය රැස්කරගන්නවා.10 අපගේ සම්පූර්ණ හැකියාවන් දැන් අපට සම්පූර්ණයෙන් වටහාගත නොහැකි වුවද, “[ගැලවුම්කරුවාණන්] පෙනී සිටින විට,” අපි උන්වහන්සේගේ ස්වරූපය අප තුළ දකින බවත්, එමෙන්ම “උන්වහන්සේ විදියටම උන්වහන්සේව දකිනු ඇති බවත් අපි දන්නවා.”11

කෙතරම් අපූරූ පොරොන්දුවක්ද!

ඇත්තෙන්ම, ලෝකය පවතින්නේ අවුල් ජාලයක. ඒවගේම ඇත්තෙන්ම, අපට දුර්වලතා තියෙනවා. නමුත් අපට බලාපොරොත්තු සුන්වීම සඳහා අපගේ හිස බිමට පහත්වී තබාගැනීමට අවශ්‍ය නෑ, මන්ද අපට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකියි, අපට උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කළ හැකියි, ඒවගේම ප්‍රීතියෙන් හා දිව්‍යමය භාවයෙන් පිරුණු ජීවිතයක් කරා මෙම මාවතට මගපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේගේ ත්‍යාගය අපට පිළිගත හැකියි.12

අප අතර සිටිනා යේසුස්වහන්සේ

මම මෙලෙස බොහෝවිට කල්පනා කර තිබෙනවා, යේසුස්වහන්සේ අද අප අතර සිටියා නම් උන්වහන්සේ මොනවා උගන්වයිද?

මරණයෙන් නැවත නැගිටීමෙන් පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම “වෙනත් බැටළුවන්” බැලීමට වූ පොරොන්දුව සම්පූර්ණ කළා.13

මොර්මොන්ගේ පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් අමෙරිකානු මහාද්වීපයේ ජනතාවට සිදුවූ එවැනි දර්ශනයක් ගැන කතා කරනවා. ගැලවුම්කරුවාණන්ගේ කාර්යයේ පැහැදිලි සාක්ෂියක් ලෙස මෙම වටිනා වාර්තාව අප සතුව තිබෙනවා.

මොර්මොන්ගේ පොතේ ජනයා ලෝක ගෝලයේ අනෙක් පැත්තේ ජීවත් වුණා—ඔවුන්ගේ ඉතිහාසයන්, සංස්කෘතීන් සහ දේශපාලන වාතාවරණයන් යේසුස්වහන්සේගේ ලෞකික දේවසේවයේදී ඉගැන්වූ පුද්ගලයන්ට වඩා බෙහෙවින් වෙනස් වුණා. එහෙත් උන්වහන්සේ ශුද්ධ වූ භූමියේ උන්වහන්සේ ඉගැන්වූ බොහෝ දේට සමාන වූ දේ ඔවුන්ටත් ඉගැන්වූවා.

උන්වහන්සේ එසේ කළේ ඇයි?

ගැලවුම්කරුවාණන් සෑමවිටම කාලානුරූපී සත්‍යයන් උගන්වනවා. ඒවා සෑම වයස් කාණ්ඩයකටම සහ ඕනෑම තත්වයක සිටිනා ජනතාවට අදාළ වෙනවා.

උන්වහන්සේගේ පණිවිඩය බලාපොරොත්තුවේ සහ අයිතිවීමේ පණිවිඩයක් වුණා සහ එය එසේයි—එය අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේ තම දරුවන් අත්හැර නැති බවට සාක්ෂියක්.

එනම් දෙවියන්වහන්සේ අප අතරයි!

මීට අවුරුදු දෙසීයකට පෙර ගැලවුම්කරුවාණන් නැවත පොළොවට පැමිණියා. පියාණන් වන දෙවියන්වහන්සේ සමඟ, ඔහු 14 හැවිරිදි ජෝසෆ් ස්මිත්ට පෙනී සිටි අතර, ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට දායක වුණා. එදා සිටම, ස්වර්ගයන් විවර වූ අතර, ස්වර්ගීය පණිවිඩකරුවෝ අමරණීය තේජසින් යුත් ශාලා වලින් බැස ආවා. සෙලෙස්ටියල් සිංහාසනයෙන් ආලෝකය සහ දැනුම ගලා ආවා.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් ලෝකයට කතා කළා.

උන්වහන්සේ කිව්වේ මොනවාද?

අපගේ ආශිර්වාදයට, උන්වහන්සේගේ බොහෝ වචන දහම සහ ගිවිසුම්හි සටහන් වී තිබෙන්නේ—ඒවා කියවීමට හා අධ්‍යයනය කිරීමට කැමති ලෝකයේ ඕනෑම කෙනෙකුට ලබාගත හැකිවන පරිදියි. මෙම වචන අද අපට කෙතරම් මිල කළ නොහැකිද!

ගැලවුම්කරුවාණන් නැවත සිය ශුභාරංචියේ මූලික පණිවිඩය උගන්වන බව දැක අප පුදුම නොවිය යුතුයි: “නුඹලාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට නුඹලාගේ මුළු හදවතින්ද, නුඹලාගේ මුළු බලයෙන්ද, මනසින් සහ ශක්තියෙන්ද ප්‍රේම කරන්න; තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලා උන්වහන්සේට සේවය කළ යුතු වන්නෝය.”14 දෙවියන්වහන්සේව සෙවීමටත්,15 තම සේවකයන් වන, අනාගතවක්තෘවරුන්ට උන්වහන්සේ එළිදරව් කළ ඉගැන්වීම් අනුව ජීවත් වීමටත් උන්වහන්සේ අපව පොළඹවනවා.16

එකිනෙකාට ප්‍රේම කිරීමටත්17 “සියලු මිනිසුන් කෙරෙහි පිරිසිඳු ප්‍රේමයෙන්” සිටීමටත් උන්වහන්සේ අපට උගන්වනවා.18

උන්වහන්සේගේ දෑත් වන්නට උන්වහන්සේ අපට ආරාධනා කරනවා, ඒ යහපත කිරීම සඳහායි.19 “මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.”20

ප්‍රේම කිරීම, බෙදාගැනීම, සියල්ලන්ටම උන්වහන්සේගේ ශුභාරංචියට සහ උන්වහන්සේගේ සභාවට ආරාධනා කිරීමට යන: උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආඥාවට අවනත වන ලෙස උන්වහන්සේ අපට අභියෝග කරනවා. 21

ශුද්ධ වූ දේවමාළිගා ගොඩනගා ඒවාට ඇතුළු වී සේවය කරන ලෙස උන්වහන්සේ අපට ආඥා කරනවා.22

උන්වහන්සේගේ ගෝලයන් වීමට උන්වහන්සේ අපට උගන්වනවා—එනම් අපගේ හදවත් පුද්ගලික බලය, ධනය, අනුමැතිය හෝ තනතුරු සඳහා උත්සාහ නොකළ යුතුයි. “මේ ලෝකයේ දේවල් පසෙකට දමා වඩා, වඩා හොඳ දේ සොයන්නට” උන්වහන්සේ අපට උගන්වනවා.23

ප්‍රීතිය, අවබෝධය, සාමය, සත්‍යය, සතුට,24 සහ අමරණීයභාවය හා සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුව සෙවීමට උන්වහන්සේ අපෙන් අයැද සිටිනවා.25

අපි තවත් පියවරක් ඉදිරියට ගනිමු. යේසුස්වහන්සේ අද ඔබේ කොට්ඨාශයට, ඔබේ ශාඛාවට හෝ ඔබේ නිවසට ආවා යැයි සිතමු. එය කෙබඳු වනු ඇත්ද?

උන්වහන්සේ ඔබේ හදවතේ ඇති දේ දකියි. බාහිර පෙනුමේ වැදගත්කම නැතිවී යයි. උන්වහන්සේ ඔබව ඔබ ලෙසටම දැනගනීවි. උන්වහන්සේ ඔබේ හදවතේ ආශාවන් දැනගනීවි.

නිහතමානී හා යටහත්පහත් අයව උන්වහන්සේ ඔසවයි.

අසනීප වූ අයව උන්වහන්සේ සුවකරයි.

සැකය උන්වහන්සේ ඇදහිල්ල හා විශ්වාස කිරීමට ධෛර්යය සමග උපදවයි.

දෙවියන්වහන්සේට අපගේ හදවත් විවෘත කරන්නටත්, එමෙන්ම අන් අය වෙත ලඟාවීමටත් උන්වහන්සේ අපට උගන්වයි.

උන්වහන්සේ අවංකකම, නිහතමානිකම, ගුණවන්තකම, ඇදහිලිවන්තකම, දයානුකම්පාව සහ පිරිසිඳු ප්‍රේමය හඳුනාගෙන ගෞරව කරයි.

උන්වහන්සේගේ දෑස් දෙස එකවරක් හෝ බැලුවොතින් අප කිසිවිටෙකත් පෙර මෙන් වන්නේ නෑ. අපි සදහටම වෙනස් වෙයි. දෙවියන්වහන්සේ අප අතර සිටින බවට වූ ගැඹුරු අවබෝධයෙන් පරිවර්තනය වෙයි.

අප කුමක් කළ යුතුද?26

මම වැඩෙන කාලය තුළ පත්ව සිටි තරුණයා කෙරෙහි මම කරුණාවෙන් ආපසු හැරී බලනවා. මට කාලයෙන් ආපස්සට යා හැකි නම්, මම ඔහුව සනසවමින් නිවැරදි මාර්ගයේ සිටිමින් නොකඩවා සෙවීමේ නිරත වන්නට කියනවා. ඒවගේම දෙවියන්වහන්සේ අප අතර සිටින බැවින්, ඔහුගේ ජීවිතයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා!

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ ආදරණීය මිතුරනි, ඔබටත්, පිළිතුරු, සත්‍යය සහ සතුට සොයන සියල්ලන්ටත්, මම එකම උපදෙස ලබාදෙනවා: ඇදහිල්ලෙන් හා ඉවසීමෙන් යුතුව දිගටම සොයන්න.27

ඉල්ලන්න, එවිට ඔබට ලැබෙනු ඇත. තට්ටු කරන්න, එය ඔබට විවෘත වනු ඇත.28 ස්වාමින්වහන්සේව විශ්වාස කරන්න.29

අපගේ එදිනෙදා ජීවිතයේදී දෙවියන්වහන්සේව මුණගැසීම අපගේ පරම කර්තව්‍යය හා ආශිර්වාද ලත් අවස්ථාවයි.

අපි උඩඟුකම පසෙක දමා, බිඳුණු හදවතකින් හා පසුතැවුණු ආත්මයකින්30 උන්වහන්සේගේ සිංහාසනයට ලඟාවන විට, උන්වහන්සේ අප වෙතට ලං වෙයි.31

අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරමින් එමෙන්ම ගෝලයෙකු වීමේ මාවතේ ගමන් කිරීමට උත්සාහ කරන විට, පේළියෙන් පේළියට, ප්‍රීතියේ පූර්ණත්වය වන සිතාගත නොහැකි ත්‍යාගය අප අත්විඳින දිනය පැමිණෙනවා.

මාගේ ආදරණීය මිත්‍රවරුනි, ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට පරිපූර්ණ ප්‍රේමයකින් ප්‍රේම කරනවා. නමුත් සියල්ලටම වඩා උන්වහන්සේගේ එකම පුත්‍රයාව පූජාවක් ලෙසත්, අපගේ ස්වර්ගික දෙමාපියන් වෙතට නැවත පැමිණීම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා උන්වහන්සේගේ දරුවන්ට ත්‍යාගයක් ලෙස ලබාදීමෙනුත්, උන්වහන්සේ සිය ප්‍රේමය නිමක් නැති ආකාරයකින් ඔප්පු කර තිබෙනවා.

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ජීවත්වන බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම සභාව මෙහෙයවන බවත්, සභාපති රසල් එම්. නෙල්සන් උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බවත් මම සාක්ෂි දරනවා.

මෙම ප්‍රීතිමත් පාස්කු සමයේදී මගේ ආදරය හා ආශිර්වාදය මම ඔබට පිරිනමනවා. ඔබගේ තත්වයන්, පීඩා, දුක් වේදනා හෝ වැරදි කුමක් වුවත්, අපගේ ගැලවුම්කරුවාණන්ට සහ මිදුම්කරුවාණන්ට ඔබ ඔබේ හදවත් විවෘත කරන්න, උන්වහන්සේ ජීවත් වන බවත්, උන්වහන්සේ ඔබට ප්‍රේම කරන බවත්, එමෙන්ම උන්වහන්සේ සිටින නිසා, ඔබ කෙදිනකවත් තනි නොවන බවත් ඔබට දැනගන්නට පුලුවන්.

දෙවියන්වහන්සේ අප අතරයි.

මම මේ ගැන සාක්ෂි දරන්නේ සහ ප්‍රකාශ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.