ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔවුන්ට ජයගත නොහැක; අපට වැටිය නොහැක
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔවුන්ට ජයගත නොහැක; අපට වැටිය නොහැක

අප අපගේ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩනඟන්නේ නම්, අපට වැටිය නොහැක!

අපේ ආදරණීය අනාගතවක්තෘ සභපති රසල් එම්. නෙල්සන් අපගේ පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී මෙසේ පැවසුවා: “ප්‍රේරිත පාවුල් අනාවැකි පැවසූ මේ අනතුරුදායක කාල වලදී, දෙවියන්වහන්සේගේ සැලැස්මට එරෙහි ප්‍රහාර සැඟවීමට සාතන් තවදුරටත් උත්සාහ කරන්නේ නෑ. ධෛර්යසම්පන්න නපුර බහුලව තිබෙනවා. එමනිසා, අධ්‍යාත්මිකව දිවි ගලවා ගතහැකි එකම ක්‍රමය නම් දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ දිනන්නට ඉඩදීම, උන්වහන්සේගේ හඬ ඇසීමට ඉගෙනගැනීම, සහ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට අපගේ ශක්තිය යෙදවීමයි.”1

දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට ඉගෙනගැනීමට අනාගතවක්තෘවරයාගේ ආරාධනය සලකා බලන විට, අපගේ හදවත් තුළ අධිෂ්ඨානය ඇතිවූවාද, දැඩි වුවාද? යාකොබ් 6:6 හි දී ඇති උපදෙස් අපි සිහිපත් කරමු: “එසේය, අදම, උන්වහන්සේගේ හඬ නුඹට ඇසෙන්නේ නම්, හදවත දැඩිකර නොගන්න; මක්නිසාද නුඹ නසින්නේ කුමකටද?” අපගේ ජිවිතයේ දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න අධිෂ්ඨාන කරගමු.

අපගේ ජීවිත තුළ සතුරාට නොව දෙවියන්වහන්සේට ජයගැනීමට අපට සැලසිය හැක්කේ කොහොමද? දහම සහ ගිවිසුම් 6:34 අප මෙසේ කියවනවා, “කුඩා රැළ, බියනොවන්න; යහපත කරන්න; නුඹලාට විරුද්ධව පොළොව හෝ නිරය එක්වුවත්; මක්නිසාද නුඹලා මාගේ පර්වතය මත ගොඩනැගී ඇත්නම්, ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැක්කේය” එය සැලකිය යුතු පොරොන්දුවක්. පොළොව සහ නිරය අපට එරෙහිව ඒකාබද්ධ වුවත්, දෙවියන්වහන්සේගේ පර්වතය මත අපගේ ජීවිත ස්ථාපිත කිරීමෙන් දෙවියන්වහන්සේට ජයගැනීමට අපි තෝරාගන්නේ නම්, ඒවාට ජයගත නොහැකියි.

අලුත් ගිවිසුමේ මතෙව් 7 වන පරිච්ඡේදයේ සඳහන් වන පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන්ට කතා කරමින් ඥානවන්ත මිනිසෙකු හා අනුවන මිනිසෙකු ගැන ඉගැන්වුවා. “The Wise Man and the Foolish Man” යන ප්‍රාථමික ගීතය ඔබගෙන් බොහෝ දෙනෙක් අසා තිබෙනවා.2 ගීතයේ පද හතර සංසන්දනය කිරීමට ඔබ කාලය ගතකර ඇතිනම්, 1 සහ 2 යන පද 3 සහ 4 යන පද වලට බෙහෙවින් සමාන බව ඔබට පෙනී යයි. ඥානවන්තයා සහ අනුවනයා යන මිනිසුන් දෙදෙනාම නිවසක් ඉදිකරමින් සිටියා. ඔවුන්ගේ පවුලට ආරක්ෂිත සහ සුවපහසු නිවසක් ලබාදීමට ඔවුන්ට අවශ්‍යය වුණා. ඔබත් මාත් මෙන්ම පවුලක් ලෙස සදහටම සතුටින් ජීවත් වීමට ඔවුන් ආශා කරා. අවට තත්වයද එක හා සමානයි: “වර්ෂාව ඇද හැළුණා, ගංවතුර ඇතිවුණා.” අපි ඒ ගීතය ගායනා කරන විට එය හය වතාවක් ගායනා කරනවා. එකම වෙනස නම් ඥානවන්ත මිනිසා පර්වතය මත තම නිවස ඉදිකෙරූ නිසා නිවස නිශ්චලව තිබුණු අතර අනුවන මිනිසා තම නිවස වැලි මත ඉදිකෙරු නිසා නිවස සෝදාගෙන ගොස් තිබීමයි. එමනිසා, අපගේ අත්තිවාරම සැබවින්ම වැදගත් වන අතර මෙය අවසාන හා සදාකාලික ප්‍රතිඵල කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනවා.

අපගේ අනාගත ජීවිතය ස්ථාපිත කරන විට අප සැවොම ස්ථිර පදනමක් මත රැඳී සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. හිලමන් 5:12 අපට මෙසේ මතක්කර දෙනවා: “තවද දැන් මාගේ පුත්‍රයෙනි සිහිකරන්න, සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටු, එසේය, සුළි සුළඟින් ඊතලයන් පමුණුවන විට, එසේය, දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, එය ස්ථීර අත්තිවාරමක්ය, එම අත්තිවාරම මත මනුෂ්‍යයා ගොඩනගන්නේ නම් ඔහු නොවැටෙන්නේය.”

දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව එයයි! අප අපගේ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩනඟන්නේ නම්, අපට වැටිය නොහැක! අප අවසානය දක්වා ඇදහිලිවන්තව විඳදරාගන්නා විට, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පර්වතය මත අපගේ ජීවිත ස්ථාපිත කිරීමට අපට උපකාර කරනවා, එවිට නිරයේ දොරටු අපට එරෙහිව පවතින්නේ නෑ” (දහම සහ ගිවිසුම් 10:69). අපට පැමිණෙන සියල්ල වෙනස් කිරීමට නොහැකි විය හැකි නමුත්, එන දෙයට අප සූදානම් වන්නේ කෙසේද යන්න තෝරාගත හැකියි.

“ශුභාරංචිය හොඳයි, ඒ නිසා අපි එය සතියකට වරක් අපේ ජීවිතයට ඇතුළත් කළ යුතුයි” කියා අපගෙන් සමහරෙක් සිතන්නට පුලුවන්. පර්වතය මත ගොඩනැගීමට සතියකට වරක් සභාවට යාම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපගේ මුළු ජීවිතයම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන් පිරී තිබිය යුතුයි. ශුභාරංචිය අපගේ ජීවිතයේ කොටසක් නොවේ, නමුත් ඇත්තවශයෙන්ම අපගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ කොටසක්. ඒ ගැන සිතන්න. එය සත්‍යයක් නොවේද? අපගේ ලෞකික ජීවිතය සමස්ත ගැලවීමේ සැලැස්මේ සහ උත්කෘෂ්ඨයේ කොටසක් පමණයි.

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියා. උන්වහන්සේ අපි හැමෝටම ආදරෙයි. අපි අප ගැන දන්නා තරමට වඩා උන්වහන්සේ අපගේ විභව මාර්ගය ගැන හොඳින් දනී. උන්වහන්සේ දන්නේ අපගේ ජීවිතවල විස්තර ගැන පමණක් නොවේ. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ විස්තර වල විස්තර වල විස්තර දනී.

කරුණාකර අපගේ ජීවමාන අනාගතවක්තෘ සභාපති නෙල්සන්ගේ බුද්ධිමත් උපදෙස් අනුගමනය කරන්න. දහම සහ ගිවිසුම් 21:5–6 සඳහන්ව ඇති පරිදි:

“මක්නිසාද නුඹලා ඔහුගේ වචන, සියලු ඉවසීමෙන් සහ ඇදහිල්ලෙන්, මගේ ස්වකීය මුඛයෙන් සේම ලබාගන්නෙහුය.

“මක්නිසාද මෙම දේවල් කිරීම මගින් නුඹලාට විරුද්ධව නිරයේ දොරටු නොපවතින්නේය; එසේය, තවද ස්වාමින් වූ දෙවියන්වහන්සේ අන්ධකාරයේ බලය නුඹලා ඉදිරියෙන් පලවා හරින සේක, තවද නුඹලාගේ යහපත සහ උන්වහන්සේගේ නාමයේ මහිමය උදෙසා ස්වර්ගය සෙලවෙන්නට සලස්වන සේක.”

එම කාරණය නිසා, ඔවුන්ට ජයගත නොහැකි අතර අපට වැටිය නොහැක!

පළමු වතාව මෙන් ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් පැමිණෙනු ඇති බවට මම ඔබට සාක්ෂි දරනවා, නමුත් මෙවර එය මහත් මහිමයෙන් සහ තේජසින් යුක්ත වෙනවා. තිරයෙන් මෙහා හෝ තිරයෙන් එහා සිට උන්වහන්සේව පිළිගැනීමට මට සූදානම් වියහැකි වේ යැයි ප්‍රාර්ථනා කරනවා. මෙම ආශ්චර්‍යමත් පාස්කුව අපි සමරන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය තුළින් (බලන්න මොරෝනි 7:41), ඉහළට ගොස් මගේ මැවුම්කරු හමුවී “ස්තූතියි” යැයි කීමට මට හැකිවනු ඇති බවට මම බලාපොරොත්තු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.