ප්‍රධාන සම්මන්ත්‍රණය
අසරණ තැනැත්තන්
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අසරණ තැනැත්තන්

සෑම කොට්ඨාශයකම හා ශාඛාවකම සිටින සෑම කෙනෙකුම අපට අවශ්‍යයි—ශක්තිමත් අය සහ සමහරවිට අරගල කරන අය දෙගොල්ලන්වම. සියල්ලන්වම අවශ්‍යයි.

පිරිමි ළමයෙකු ලෙස, මගේ පියා සමඟ මෝටර් රථයේ යන අතරතුර දුෂ්කර අවස්ථාවන් වල හෝ උපකාර අවශ්‍යව පාර අයිනේ සිටින පුද්ගලයින් දැකීම මට මතකයි. මගේ තාත්තා නිතරම මෙහෙම කියනවා “පොබ්‍රෙසිටෝ,” එහි අර්ථය “පව් අසරණ තැනැත්තා” කියන එකයි.

සමහර අවස්ථා වලදී, විශේෂයෙන් අපි මෙක්සිකෝවට ගොස් මගේ ආච්චිලා සීයලා බලන්න යන විට, මගේ පියා මේ අයට බොහෝ උපකාර කරන අයුරු, මම උනන්දුවෙන් බලා සිටිනවා. ඔහු සාමාන්‍යයෙන් අවශ්‍යතා ඇති අයෙකු සොයාගෙන පසුව පෞද්ගලිකව ගොස් ඔවුන්ට අවශ්‍ය උපකාර ලබාදෙනවා. පාසැල් වලට ඇතුළත් වීමට, ආහාර මිලදී ගැනීමට හෝ ඔවුන්ගේ යහපැවැත්ම සඳහා යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැපයීමට ඔහු ඔවුන්ට උදව් කරන බව මම පසුව දැනගත්තා. ඔහු ඔහුගේ මාර්ගයේ හමුවන “අසරණ තැනැත්තෙකුට” දේවෙසේවය කරමින් උන්නා. ඇත්තවශයෙන්ම, මගේ වැඩෙන අවුරුදු වලදී, ඔවුන් ස්වාධීනත්වය කරා ලඟාවෙන කාලය තුළ සිටින්නට තැනක් අවශ්‍ය වූ, අප සමඟ ජීවත් වූ කෙනෙකු නොසිටි කාලයක් මට මතක නෑ. මෙම අත්දැකීම් නැරඹීමෙන් මගේ සෙසු පිරිමින් සහ කාන්තාවන් හා අවශ්‍යතා ඇති අය කෙරෙහි අනුකම්පාවක් මා තුළ නිර්මාණය කළා.

මගේ ශුභාරංචිය දේශනා කරන්න යන්නෙහි මෙසේ සඳහන් වෙනවා: “ඔබ මිනිසුන්ගෙන් වට වී ඇත. ඔබ ඔවුන්ව පාරෙදි පසුකර යනවා, ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ව හමුවෙනවා, එමෙන්ම ඔවුන් අතර ගමන් කරනවා. ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ දරුවෝ, ඔබේ සහෝදර සහෝදරියන්. … මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ අරමුණ සොයමින් සිටිනවා. ඔවුන් ඔවුන්ගේ අනාගතය සහ ඔවුන්ගේ පවුල් ගැන සිතමින් සිටිනවා” (Preach My Gospel: A Guide to Missionary Service [2018], 1).

සභාවේ සේවය කරන කාලය පුරාම, තාවකාලිකව හා අධ්‍යාත්මිකව ඔවුන්ගේ ජීවිත වලට උදව් අවශ්‍ය අයව සොයාගැනීමට මම උත්සාහ කර තිබෙනවා. “පොබ්‍රෙසිටෝ”,” අසරණ තැනැත්තා යැයි මගේ පියා පවසන හඬ මට බොහෝ විට ඇසෙනවා.

අසරණ තැනැත්තෙකුව රැකබලා ගැනීමේ අපූරු උදාහරණයක් බයිබලයෙන් අපට දැකගත හැකියි.

“දැන් පේත්‍රැස්ද යොහාන්ද යාච්ඤා වේලාව වූ නවවෙනි පැයේ දේවමාළිගාවට ගියෝය.

“මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල් වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබන ලද්දේය;

“ඔහු පේත්‍රැස්ද යොහාන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය.

“පේත්‍රැස්, යොහාන් සමග ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලාපන්නැයි කීවේය.

“ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.

“පේත්‍රැස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි: නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදපන්නැයි කීවේය.

“ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය” (ක්‍රියා 3:1–7; අවධාරණය කිරීම් සහිතයි).

මෙම වාර්තාව කියවීමේදී, ඇස් හෙළා යන වචනය භාවිතා කිරීම ගැන මා තුළ කුතුහලයක් ඇතිවුණා. ඇස් හෙළීම යන වචනයේ තේරුම කෙනෙකුගේ ඇස්, හෝ සිතුවිලි දෙස එක එල්ලේ බැලීම හෝ ඕනෑකමින් බැලීමයි (“fasten,” Dictionary.com බලන්න). පේත්‍රැස් මේ මිනිසා දෙස බැලූ විට, ඔහුව අනෙක් අයට වඩා වෙනස් ආකාරයකින් ඔහු දුටුවා. ඔහුගේ ඇවිදීමට ඇති නොහැකියාව සහ ඔහුගේ දුර්වලතා වලට ඔබ්බෙන් ඔහු බැලූ අතර, සුවය ලැබීමටත්, දේවමාළිගාවට ඇතුළු වීමටත් ඔහුගේ ඇදහිල්ල ප්‍රමාණවත් බව වටහාගන්නට ඔහුට හැකිවුණා.

ඔහුගේ දකුණු අතින් අල්ලාගෙන ඔහු ඔසවා ඇති බව මම දුටුවා. ඔහු මේ ආකාරයෙන් මිනිසාට උපකාර කරන විට, ස්වාමින්වහන්සේ ආශ්චර්යවත් ලෙස ඔහුව සුවකළ අතර, “ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය” (ක්‍රියා 3:7). මෙම මිනිසා කෙරෙහි ඔහුට ඇති ආදරය සහ ඔහුට උදව් කිරීමට ඇති ආශාව දුර්වල වූ මිනිසා තුළ ධාරිතාව හා හැකියාව වැඩිකිරීමට හේතු වුණා.

ප්‍රාදේශීය හැත්තෑවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, සෑම අඟහරුවාදා රාත්‍රියකම මගේ වගකීම් සහිත ප්‍රදේශයේ ස්ටේක සභාපතිවරුන් සමඟ දේවසේවය කිරීම සඳහා මම වෙන්කර ගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ නියෝගයක් අවශ්‍ය වූ හෝ දැනට ඔවුන් තබා ඇති ගිවිසුම් නොපවත්වන අය සමඟ හමුවීම් සැලසුම් කරන ලෙස මම ඔවුන්ට ආරාධනා කළා. අපගේ නිරන්තර හා හිතාමතා සේවය කිරීම තුළින් ස්වාමින්වහන්සේ අපගේ උත්සාහයන් විශාල කළ අතර අවශ්‍යතා ඇති පුද්ගලයින් සහ පවුල් සොයාගැනීමට අපට හැකිවුණා. අපි සේවය කළ විවිධ ස්ටේක වල ජීවත් වූ “අසරණ තැනැත්තන්” මොවුනුයි.

එක් අවස්ථාවක, යූටා හි, සැන්ඩි කැනියොන් වීව් ස්ටේකයේ සභාපති බිල් විට්වර්ත් සමඟ මම දේවසේවා හමුවීම් සඳහා ගියා. අප යා යුත්තේ කාව බැහැදකින්නද යන්න ගැන ඔහු යාච්ඤාශීලී වුණේ, “[ඔහු] කළ යුතු දේ කලින් නොදැන ආත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වීම ලැබූ” නෙපිට මෙන්ම අත්දැකීමක් ලබාගැනීමේ අදිටනිනුයි (1 නෙපි 4:6). ඔහු පෙන්වා දුන්නේ අප දේවසේවයේ යෙදෙන විට, ලැයිස්තුවක් අනුගමනය කිරීමෙන් හෝ විධිමත් ආකාරයකින් පුද්ගලයන් බැලීමට වඩා, වඩාත් අවශ්‍යතා ඇති අය කෙරෙහි හෙළිදරව් කිරීම මගින් අපව මෙහෙයවිය යුතු බවයි. අපව මෙහෙයවිය යුත්තේ දේවානුභාවයෙන්.

මට මතකයි තරුණ යුවළක් වන ජෙෆ් සහ හෙදර් සහ ඔවුන්ගේ කුඩා පිරිමි ළමයා වන කායිගේ ගෙදරට ගියා. ජෙෆ් සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස හැදී වැඩී තිබුණා. ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වූ අතර ඔහුට හොඳ වෘත්තියක් තිබුණා. ඔහුගේ නව යොවුන් වියේදී ඔහු සභාවෙන් ඈත් වීමට පටන්ගෙන තිබුණා. පසුව, ඔහු රිය අනතුරකට ලක් වූ අතර එය ඔහුගේ ජීවිත ගමන වෙනස් කළා. අපි ඔවුන්ගේ නිවසට ඇතුළු වී දැනහඳුනා ගත් පසු, ඇයි අපි ඔහුගේ පවුල බැලීමට ආවේ කියා ජෙෆ් අපෙන් ඇසුවා. සාමාජිකයින් 3,000 ක් පමණ එම ස්ටේක සීමාවන් තුළ ජීවත් වන බව අපි ප්‍රතිචාර දැක්වුවා. ඉන්පසු මම ඔහුගෙන් මෙහෙම ඇහුවා, “ජෙෆ්, අද රාත්‍රියේ අපට බැහැදකින්නට පුලුවන්කම තිබූ සියලු නිවෙස වලින්, ස්වාමින්වහන්සේ අපව මෙහි එව්වේ ඇයි කියා අපට කියන්න.”

ඒ සමඟම, ජෙෆ් සංවේදී වූ අතර, ඔහුගේ කනස්සල්ල සහ පවුලක් ලෙස ඔවුන් කටයුතු කරන ප්‍රශ්ණ කිහිපයක් අප සමඟ බෙදාගැනීමට පටන් ගත්තා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ විවිධ මූලධර්ම බෙදාගැනීමට පටන් ගත්තා. මුලදී අභියෝගාත්මක යැයි පෙනෙන නමුත් කාලයාගේ ඇවෑමෙන් මහත් සතුටක් හා ප්‍රීතියක් ගෙන දෙන නිශ්චිත දේවල් කිහිපයක් කිරීමට අපි ඔවුන්ට ආරාධනා කළා. ඉන්පසු සභාපති විට්වර්ත් ජෙෆ්ට ඔහුගේ අභියෝග ජයගැනීමට උපකාර කිරීම සඳහා පූජකත්ව ආශිර්වාදයක් ලබාදුන්නා. අපි ඔවුන්ට ආරාධනා කළ දේ කිරීමට ජෙෆ් සහ හෙදර් එකඟ වුණා.

අවුරුද්දකට පමණ පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස ජෙෆ් ඔහුගේ බිරිඳ හෙදර්ව බව්තීස්ම කිරීම දැකීම මට භාග්‍යයක් වුණා. ඔවුන් දැන් මේ කාලයට හා සියලු සදාකාලයටම පවුලක් ලෙස මුද්‍රා තැබීම සඳහා දේවමාළිගාවට ඇතුළු වීමට සූදානම් වෙමින් සිටිනවා. අපගේ සංචාරය ලෞකිකව හා අධ්‍යාත්මිකව ඔවුන්ගේ ජීවිත ගමන වෙනස් කළා.

ස්වාමින්වහන්සේ මෙසේ පවසනවා:

“එසේහෙයින්, ඇදහිලිවන්ත වන්න; මම නුඹව පත්කළ එම තනතුරෙහි නැගී සිටින්න; දුර්වල වූවන්ට උපකාරී වන්න, පහතට වැටී ඇති අත් ඔසවන්න, තවද දුර්වල දණහිස් සවිමත් කරන්න” (දහම සහ ගිවිසුම් 81:5).

“තවද මෙම දේවල් කිරීමෙන් නුඹ නුඹගේ සහෝදර ජනතාවට ශ්‍රේෂ්ඨ වූ යහපතක් කරන්නෙහිය, තවද නුඹගේ ස්වාමින් වූ උන්වහන්සේගේ මහිමය ප්‍රචලිත කරන්නෙහිය” (දහම සහ ගිවිසුම් 81:4).

සහෝදර සහෝදරියනි, ප්‍රේරිත පාවුල් අපගේ දේවසේවයේ ප්‍රධාන අංගයක් ඉගැන්වූවා. අපි සියල්ලන්ම “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති” (1 කොරින්ති 12:27) ලෙසත්, ඒවගේම මුළු ශරීරයම දියුණු වන බව සහතික කිරීම සඳහා ශරීරයේ සෑම අවයවයක්ම අවශ්‍ය බවත්, ඔහු ඉගැන්වුවා. ඉන්පසු එය කියවූ විට මගේ හදවතට ගැඹුරින් ඇතුළු වූ ප්‍රබල සත්‍යයක් ඔහු ඉහැන්වුවා. ඔහු කිව්වා, “එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය, ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස්වලට වඩා නම්බු දෙමුව; මෙසේ අපගේ අශෝභන වූ කොටස් වලට වඩා ශෝභනකම ලැබේ” (1 කොරින්ති 12:22–23; අවධාරණය කිරීම් සහිතයි.

එබැවින්, සෑම කොට්ඨාශයකම හා ශාඛාවකම සිටින සෑම කෙනෙකුම අපට අවශ්‍යයි—ශක්තිමත් අය සහ සමහරවිට අරගල කරන අය දෙගොල්ලන්වම. සමස්ත “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය” අත්‍යවශ්‍ය ලෙස වැඩිදියුණු කිරීම සඳහා සියල්ලන්වම අවශ්‍ය වෙනවා. අපව ශක්තිමත් කරන සහ අපව සම්පූර්ණ කරන අපගේ විවිධ සභාවල නැත්තේ කවුරුන්දැයි මම බොහෝ විට කල්පනා කරනවා.

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූවා: “සභාවේදී අපි දිව්‍ය මූලධර්ම ඉගෙනගන්නවා පමණක් නොව; අපි ඒවා යොදාගන්නා ආකාරයද අත්විඳිනවා. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස, සභාවේ සාමාජිකයන් එදිනෙදා ජීවිතයේ යථාර්ථය තුළ එකිනෙකාට දේවසේවය කරනවා. අපි සියල්ලන්ම අසම්පූර්ණයි. … ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ, අප සංකල්ප හා උසස් වචන ඉක්මවා ගොස් ‘ආදරයෙන් එකට ජීවත් වීමට’ ඉගෙනගන්නා විට සැබෑ ‘මැදිහත්වීමකින් යුත්’ අත්දැකීමක් තිබිය යුතුයි [දහම සහ ගිවිසුම් 42:45]” (“Why the Church,” Liahona, Nov. 2015, 108–9).

රූපය
බ්‍රිගම් යන්ග්ගේ සිහිනය

1849 දී බ්‍රිගම් යන්ග් සිහිනයක් දුටුවා එහි ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විශාල බැටළු හා එළුවන් රංචුවක් දක්කාගෙන යමින් සිටියා. මෙම සතුන්ගෙන් සමහරක් විශාල හා ලස්සන වුණා; අනෙක් උන් කුඩා හා අපිරිසිඳු වුණා. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ දෑස් දෙස බලා බ්‍රිගම් යන්ග් මෙසේ කී බව ඔහු මතක් කළා, “ජෝසෆ්, ඔබට ලැබී තිබෙන්නේ මම මගේ ජීවිතයේ මෙතෙක් දැක ඇති … ඉතාමත්ම නරකම රැළයි; ඔබ ඔවුන් සමඟ කුමක් කරන්නද යන්නේ?” මෙම නොහික්මුණු රැළ ගැන ප්‍රශ්නයක් නැති ලෙසට පෙනී සිටි අනාගතවක්තෘවරයා, “[බ්‍රිගම්], ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ ස්ථානවල යහපත්” යැයි සරලව පිළිතුරු දුන්නා.

සභාපති යන්ග් අවදි වූ විට, සභාව විවිධාකාර “බැටළුවන් සහ එළුවන්” එක්රැස් කරන අතර, සියල්ලන්ම ගෙන්වා ගැනීම සහ සභාවේ ඔවුන්ව ස්ථානගත කරද්දී සෑම කෙනෙකුම ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අවබෝධ කරගැනීමට ඉඩදීම ඔහුගේ වගකීම බව ඔහු තේරුම්ගත්තා. (Adapted from Ronald W. Walker, “Brigham Young: Student of the Prophet,” Ensign, Feb. 1998, 56–57.)

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ දැනට නිරත නොවූ කෙනෙකු ගැන ගැඹුරින් කල්පනා කරද්දී මගේ කතාවේ ආරම්භය ඇති වුණා. මොහොතකට මම ඔවුන් එක් එක් කෙනාට කතා කිරීමට කැමතියි. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ උගන්වා තිබෙනවා “එවැනි අය බොහෝ විට සභාවට සමීපව සිටියත්—සභාවට සම්පූර්ණයෙන්ම සහභාගි වන්නේ—නෑ. ඔවුන් සභාවේ දේවස්ථානය තුළට එන්නේ නෑ, නමුත් ඔවුන් එහි ආලින්දයෙන් පිටව යන්නේද නෑ. මොවුන් සභාව අවශ්‍ය හා සභාවට අවශ්‍ය කරන අය වන නමුත් අර්ධ වශයෙන් ‘ලෝකයේ දෙවියන්වහන්සේ නොමැතිව ජීවත් වෙනවා’ [මොසායා 27:31]” (“Why Not Now?,” Ensign, Nov. 1974, 12).

අපගේ ආදරණීය සභාපති රසල් එම්. නෙල්සන් සභාවේ සාමාජිකයින්ට මුලින් කථා කළ විට කළ ඔහුගේ ආරාධනය මම ප්‍රතිරාවය කරන්නම්. ඔහු මෙහෙම කිව්වා: “දැන්, සභාවේ සෑම සාමාජිකයෙකුටම මම මෙසේ කියනවා, ගිවිසුම් මාවතේ ගමන් කරන්න. ගැලවුම්කාරයාණන් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමෙන් පසුව එම ගිවිසුම් අනුගමනය කිරීමෙන් ඔබ අනුගමනය කරන ඔබගේ කැපවීම සෑම තැනකම සිටින පුරුෂයින්ට, කාන්තාවන්ට හා දරුවන්ට ලබාගත හැකි සෑම අධ්‍යාත්මික ආශිර්වාදයක් හා වරප්‍රසාදයක් සඳහාම දොර විවර කරනවා.”

ඉන්පසු ඔහු මෙසේ ආයාචනා කළා: “දැන්, ඔබ මාර්ගයෙන් ඉවත් වී ඇත්නම්, කරුණාකර නැවත එන්නැයි මාගේ සිතේ ඇති සියලු බලාපොරොත්තුවෙන් මම ඔබට ආරාධනා කරනවා. ඔබගේ ගැටළු කුමක් වුවත්, ඔබගේ අභියෝග කුමක් වුවත්, ස්වාමින්වහන්සේගේ මේ සභාවේ, ඔබට ස්ථානයක් තිබෙනවා. ගිවිසුම් මාවතට ආපසු යාම සඳහා ඔබගේ දැන් ක්‍රියාවෙන් ඔබටත් තවමත් නූපන් පරම්පරාවටත් ආශිර්වාද ලැබේවි” (“As We Go Forward Together,” or Liahona, Apr. 2018, 7; emphasis added).

අප සියලු දෙනාගේ ප්‍රධාන දේවසේවකයා සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. අවශ්‍යතා ඇති අප අතර සිටින “අසරණ තැනැත්තන්” වන “පොබ්‍රෙසිටෝස්,” සොයාගැනීමට මම සෑම කෙනෙකුටම ආරාධනා කරනවා. මේ මාගේ බලාපොරොත්තුව සහ යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.