ප්‍රධාන සම්මන්ත්‍රණය
අප ඉගෙනගන්නා සහ කිසිදා අමතක නොවන දේවල්
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අප ඉගෙනගන්නා සහ කිසිදා අමතක නොවන දේවල්

ඔබ ඔබේ ජීවිතය දෙස යාච්ඤාපූර්වකව බැලුවහොත්, මෙම දුෂ්කර කාල වලදී ස්වාමින්වහන්සේ ඔබට මගපෙන්වා ඇති ආකාර බොහොමයක් ඔබ දකින බව මගේ විශ්වාසයයි.

මාගේ ආදරණීය සහෝදරවරුනි, මම ඔබ සමඟ මෙම අන්තර්ජාලය හරහා වූ රැස්වීම එනතුරු බලාසිටියා. අපි අවසන් වරට ප්‍රධාන සම්මන්ත්‍රණයේ පූජකවර සැසිවාරයක් පැවැත්වූයේ 2019 අප්‍රියෙල් මාසයේදී. පසුගිය අවුරුදු දෙක තුළ බොහෝ දේ සිදුවී තිබෙනවා! ඔබගෙන් සමහරෙකුට ආදරණීයයන් අහිමි වී තිබෙනවා. තවත් සමහරුන්ට රැකියා, ජීවනෝපායන් හෝ සෞඛ්‍යය අහිමි වී තිබෙනවා. තවත් සමහරුන්ට අනාගතය පිළිබඳ සාමය හෝ බලාපොරොත්තුව පිළිබඳ හැඟීම නැතිවී තිබෙනවා. මෙම හෝ වෙනත් පාඩු විඳ ඇති ඔබ එක් එක් කෙනා වෙනුවෙන් මගේ හදවත රිදුම් දෙනවා. ස්වාමින්වහන්සේ ඔබව සනසනු ඇතැයි මම නිතරම යාච්ඤා කරනවා. ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඔබ දිගටම ඉඩදෙන විට, උන්වහන්සේ සැමවිටම සිටිනවා මෙන්ම, උන්වහන්සේ ඔබගේ අනාගතය ගැන සුභවාදීව සිටින බව මම දන්නවා.

අප අත්විඳ ඇති පාඩු මධ්‍යයේ, අප විසින් සොයාගෙන ඇති සමහර දේවල්ද තිබෙනවා. සමහරු අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් සොයාගෙන තිබෙනවා. බොහෝ අය ජීවිතය පිළිබඳ නැවුම් ඉදිරි දර්ශනයක්—සදාකාලික ඉදිරි දර්ශනයක් පවා— සොයාගෙන තිබෙනවා. ඔබේ ආදරණීයයන් හා ස්වාමින්වහන්සේ සමඟ වඩා ශක්තිමත් සබඳතාද ඔබ සොයාගෙන ඇති. උන්වහන්සේට සවන්දීමට සහ පුද්ගලික එළිදරව් ලබාගැනීමට ඔබ වැඩි හැකියාවක් ලබා ඇති බව මම විශ්වාස කරනවා. අසීරු අභියෝග වලින්, බොහෝ විට වෙනත් ආකාරයකින් පැමිණිය නොහැකි පරිදි වර්ධනය වීමට අවස්ථා ලබාදෙනවා.

පසුගිය අවුරුදු දෙක ගැන නැවත සිතන්න. ඔබ වර්ධනය වී ඇත්තේ කෙසේද? ඔබ ඉගෙනගෙන ඇත්තේ මොනවාද? ඔබට 2019 වෙත ආපසු ගොස් එහි නැවතී සිටීමට හැකි වන ලෙස ඔබ මුලින්ම ප්‍රාර්ථනා කරනවා වෙන්නට පුලුවන්! නමුත් ඔබ ඔබේ ජීවිතය දෙස යාච්ඤාපූර්වකව බැලුවහොත්, මෙම දුෂ්කර කාල වලදී ඔබට වඩාත් කැපවූ, වඩාත් හැරුණු මිනිසෙකු—දෙවියන්වහන්සේගේ සත්‍ය මිනිසෙකු වීමට, උපකාර කරමින් ස්වාමින්වහන්සේ ඔබට මගපෙන්වා ඇති ආකාර බොහොමයක් ඔබ දකින බව මගේ විශ්වාසයයි.

ස්වාමින්වහන්සේට අප වෙනුවෙන්—තනි තනිව හා සාමූහිකව—විශාල හා පුදුමාකාර සැලසුම් ඇති බව මම දන්නවා. අනුකම්පාවෙන් හා ඉවසීමෙන්, උන්වහන්සේ මෙසේ කියනවා:

“ … නුඹලා කුඩා දරුවන්ය, තවද නුඹලා උදෙසාම උන්වහන්සේගේ ස්වකීය හස්තයෙන් සූදානම් කළ පියාණන්වහන්සේගේ ආශිර්වාදයන් කෙතරම් ශ්‍රේෂ්ඨ දැයි නුඹලා තවමත් තේරුම්ගෙන නොමැත්තෝය;

“තවද නුඹලාට සියලු දේවල් දැන් දැරිය නොහැක්කේය; එසේවුවද, ධෛර්යමත්ව සිටින්න, මක්නිසාද මම නුඹලාට මගපෙන්වන්නෙමි.”1

මාගේ ආදරණීය සහෝදරවරුනි, අපි උන්වහන්සේට සවන්දීමට උත්සාහ කරන විට උන්වහන්සේ එසේ කර ඇති බවත්, ඇත්තවශයෙන්ම අපට මගපෙන්වාගෙන ගෙන යන බවත් මම සාක්ෂි දරනවා. විශේෂයෙන්ම විපත් තුළින්—අප වර්ධනය වීම සහ ඉගෙනගැනීම උන්වහන්සේට අවශ්‍යයි.

විපත්තිය යනු විශිෂ්ට ගුරුවරයෙක්. ඔබට සැමවිටම මතක තබාගැනීමට අවශ්‍ය වූ පසුගිය අවුරුදු දෙක තුළ ඔබ ඉගෙනගත් දේ කුමක්ද? ඔබගේ පිළිතුරු ඔබට සුවිශේෂී වනු ඇත, නමුත් මම සියලුදෙනා ඉගෙනගෙන ඇති කිසිදා අමතක නොකරන මම විශ්වාස කරන පාඩම් පහක් යෝජනා කරන්නම්.

1 වන පාඩම: නිවස යනු ඇදහිල්ලේ හා නමස්කාරයේ කේන්ද්‍රස්ථානයයි

බොහෝ විට ස්වාමින්වහන්සේ අන්තිම දවස්වල මහත් අනතුරු ගැන අපට අනතුරු අඟවන විට, උන්වහන්සේ මෙසේ උපදෙස් ලබාදුන්නා: “ශුද්ධ ස්ථාන වල නැගී සිටින්න, තවද නොසැලී සිටින්න.”2 මෙම “ශුද්ධ ස්ථාන” වලට නිසැකවම ස්වාමින්වහන්සේගේ දේවමාළිගා සහ රැස්වීම් ශාලා ඇතුළත් වෙනවා. නමුත් මෙම ස්ථාන වල රැස්වීමට අපට ඇති හැකියාව විවිධාකාරයෙන් සීමාකර ඇති හෙයින්, පොළොවේ ශුද්ධ වූ ස්ථාන වලින් එකක් වන්නේ නිවස බව—ඔව්, ඔබේ නිවස පවා බව—අපි ඉගෙනගෙන තිබෙනවා.

සහෝදරවරුනි, ඔබ දෙවියන්වහන්සේගේ පූජකත්වය දරනවා. “පූජකවරයේ අයිතීන්ට ස්වර්ගීය බලය සමඟින් වෙන්කල නොහැකි සම්බන්ධතාවයක් තිබෙනවා.”3 ඔබටත් ඔබේ පවුලටත් පූජකත්ව නියෝගයන් ලැබී තිබෙනවා. එසේහෙයින්, “[පූජකත්වයේ] නියෝගයන්ට අනුව, එම දේවත්වයේ බලය එළිදරව් කරනු ලබනවා.”4 ඔබ ඇතිකරගත් ගිවිසුම් ඔබ තබාගන්නා විට එම බලය ඔබටත් ඔබේ පවුලේ අයටත් ඔබේම නිවසේ තිබෙනවා.5

මීට වසර 185 කට පෙර, 1836 අප්‍රියෙල් 3 වන මෙම දිනම එලියා පූජකත්ව යතුරු නැවත පිහිටවූවේ අපගේ පවුල් වලට සදහටම මුද්‍රා වීමට ඉඩ සලසමින්. ඔබේ නිවසේ සක්‍රමේන්තුව මෙහෙයවීම එතරම් හොඳ යැයි හැඟුණේ ඒ නිසායි. ඔබ, ඔවුන්ගේ පියා, සීයා, සැමියා, පුතා හෝ සහෝදරයා ලෙස මෙම ශුද්ධ වූ නියෝගය පරිපාලනය කිරීම ඔබේ පවුලේ සාමාජිකයින්ට බලපෑවේ කොහොම කියා ඔබ සිතනවාද? ඔබේ පවුල තුළ එම පරිශුද්ධ හැඟීම රඳවා ගැනීමට ඔබ කරන්නේ කුමක්ද?

ඔබේ නිවස සැබවින්ම ඇදහිල්ලේ අභයභූමියක් බවට පත්කිරීම සඳහා ඔබ තව බොහෝ දේ කළ යුතු බව ඔබට හැඟෙනවා වන්නට පුලුවන්. එසේනම්, කරුණාකර එය කරන්න! ඔබ විවාහක නම්, මෙම තීරණාත්මක කාර්යයේදී ඔබේ සමාන සහකරු ලෙස ඔබේ බිරිඳ සමඟ උපදෙස් ලබාගන්න. මෙයට වඩා වඩාත් වැදගත් කාර්යයන් කිහිපයක් තිබෙනවා. ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන කාලය හා දැන් කාලය අතර, අප සියලුදෙනාටම අපගේ නිවෙස් සන්සුන් හා ආරක්ෂිත ස්ථාන විය යුතුයි.6

ආත්මයාණන්ට ආරාධනා කරන ආකල්ප හා ක්‍රියාවන් ඔබගේ නිවසේ ශුද්ධකම වැඩි කරයි. ඒ හා සමානවම, ඔබගේ හැසිරීම හෝ පරිසරය තුළ ශුද්ධාත්මයාණන්වහන්සේව අමනාප වන යමක් තිබේනම් ශුද්ධකම නැතිවී යන බවත්, ඉන්පසු “ස්වර්ගයන් ඒවා විසින්ම ඉවත්ව යන” බවත් නියතයි.7

අපගේ නිවෙස් ශුභාරංචි ඉගෙනීමේ හා ශුභාරංචිය අනුව ජීවත්වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට ස්වාමින්වහන්සේ කැමති වන්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? එය වසංගතයක් සඳහා අපව සූදානම් කිරීම සහ අපට උපකාර කිරීම සඳහා පමණක් නොවේ. එක්රැස්වීම සඳහා වර්තමාන සීමාවන් කෙමෙන් කෙමෙන් අවසන් වෙයි. කෙසේවෙතත්, ඔබේ නිවස ඔබේ ඇදහිල්ලේ මූලික අභයභූමිය බවට පත්කිරීමට ඔබ දක්වන කැපවීම කිසිවිටෙකත් අවසන් නොවිය යුතුයි. ඇද වැටුණු මේ ලෝකය තුළ ඇදහිල්ල හා ශුද්ධකම අඩුවන විට, ශුද්ධ වූ ස්ථාන සඳහා ඔබේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඔබේ නිවස සැබෑ ලෙසම ශුද්ධ වූ ස්ථානයක් බවට පත්කරගන්නා ලෙසත් එම වැදගත් අරමුණින් “එමෙන්ම නොසෙල්වී සිටින” ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.8

2 වන පාඩම: අපට එකිනෙකා අවශ්‍යයි

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප එකට වැඩකර එකිනෙකාට උපකාර කිරීමයි. උන්වහන්සේ අපව පවුල් වශයෙන් පොළොවට එවා අපව කොට්ඨාශ හා ස්ටේක ලෙස සංවිධානය කරන්නේ එබැවිනුයි. එකිනෙකාට සේවය කිරීමට හා දේවසේවය කිරීමට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එබැවිනුයි. ලෝකයේ ජීවත් වන්නටත්, නමුත් ලෝකයෙන් නොවන්නටත්, උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එබැවිනුයි.9 අපට තනිවම කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ දේ එකට එකතුවී කළ හැකියි.10 දෙවියන්වහන්සේගේ දරුවන් එකිනෙකාගෙන් හුදෙකලා වුවහොත් උන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්ම කලකිරීමට පත්වෙනවා.

මෑත වසංගතය අද්විතීය වී ඇත්තේ, ඒ තුළ එය ලෝකයේ සෑම කෙනෙකුටම ඇත්තවශයෙන්ම එකවරම බලපා ඇති බැවිනුයි. සමහරු අනෙක් අයට වඩා දුක්විඳ ඇති අතර, අප සියල්ලන්ම යම් ආකාරයකින් අභියෝගයට ලක්ව තිබෙනවා. මේ හේතුව නිසා, අපගේ පොදු අභියෝගයට වෙන කවරදාටත් වඩා දෙවියන්වහන්සේගේ දරුවන්ව එක්සත් කිරීමට උපකාරී වන්නට හැකියාව තිබෙනවා. ඉතින්, මම අසනවා, මෙම හවුල් අභියෝගය ඔබේ අසල්වැසියන්ට—වීදියේ එහාපැත්තේ සහ ලොව පුරා සිටින ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබව සමීප කර තිබෙන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨ ආඥා දෙකෙන් අපට මගපෙන්වීම ලබාගත හැකියි: පළමුව, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ දෙවනුව, අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමයි.11 සේවය කිරීමෙන් අපි අපේ ආදරය පෙන්වනවා.

ඔබ තනිව සිටින අයෙකු ගැන දන්නවා නම්—නැත්නම් ඔබට තනිකම දැනෙනවානම්, ලඟාවෙන්න! ගණුදෙනු කිරීමට ඔබට හේතුවක් හෝ පණිවිඩයක් හෝ ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ නෑ. කොහොමද කියා අසමින් ඔබේ ආදරය පෙන්වන්න. තාක්ෂණයට ඔබට උදව් කළ හැකියි. වසංගතයක් ඇතත් හෝ නැතත්, දෙවියන්වහන්සේගේ සෑම වටිනා දරුවෙකුම ඔහු හෝ ඇය තනිවම නොවන බව දැනගත යුතුයි!

3 වන පාඩම: ඔබේ පූජක ගණපූරණය රැස්වීමකට වඩා වැඩි යමක් අදහස් කරයි

වසංගතය අතරතුර, ඉරිදා ගණපූරණ රැස්වීම් ටික කලකට අවලංගු කර තිබුණා. සමහර ගණපූරණයන්ට දැන් අන්තර්ජාලය හරහා හමුවිය හැකියි. කෙසේවෙතත්, ස්වාමින්වහන්සේ පූජක ගණපූරණ සඳහා ලබාදී ඇති කාර්යය කිසිවිටෙකත් රැස්වීමකට පමණක් සීමා වුණේ නෑ. රැස්වීම් යනු ගණපූරණයක් සඳහා අවශ්‍ය වන එක් දෙයක් සහ එයට කළ හැකි දේවල් වලින් සුළු කොටසක් පමණයි.

ආරෝනික පූජකත්වයේ සහ වැඩිහිටි ගණපූරණයේ මාගේ සහෝදරයිනි, අපට ගණපූරණය ඇත්තේ මන්ද යන්න පිළිබඳ ඔබේ දැක්ම පුළුල් කරන්න. දැන්—ඔබගේ ගණපූරණය උන්වහන්සේගේ කාර්යය ඉටුකිරීම සඳහා යොදා ගැනීමට ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගෙන් එළිදරව් සොයන්න. ඔබව නිහතමානී කරගන්න! අසන්න! සවන්දෙන්න! ඔබව නායකත්වය දීමට කැඳවා ඇත්නම්, සභාපතිත්වයක් ලෙස සහ ගණපූරණ සාමාජිකයන් සමඟ උපදෙස් ලබාගන්න. ඔබගේ පූජකත්ව නිලය හෝ කැඳවීම කුමක් වුවත්, ඔබගේ ගණපූරණයෙහි සාමාජිකයෙකු ලෙස සහ ඔබගේ සේවයේදී දෙවියන්වහන්සේට ඔබගේ කැපවීම තුළ ජයගන්නට ඉඩදෙන්න. ඔබ “යහපත් කාරණා වල උද්යෝගයෙන්” යෙදී සිටින විට ඔබ ගෙන එන ධර්මිෂ්ඨකම ප්‍රීතියෙන් යුතුව අත්විඳින්න.12 තිරය දෙපසම ඊශ්‍රායලය එක්රැස් වීම වේගවත් කිරීම සඳහා ගණපූරණ සුවිශේෂී ස්ථානයක සිටිනවා.

4 වන පාඩම: අපි නිශ්චලව සිටින විට අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හොඳින් ඇසෙනවා

අප ජීවත් වන්නේ බොහෝ කලකට පෙර අනාවැකි පළ කළ කාලයකයි, “තවද සියලු දේවල් තුළ කලබලය වන්නේය; තවද සත්‍යයෙන්ම, මනුෂ්‍යයන්ගේ හදවත් ඔවුන්ව අසමත් කරවන්නේය; මක්නිසාද සියලු ජනතාව වෙතට භීතිය පැමිණෙන්නේය.”13 වසංගතයට පෙර එය සත්‍යයක් වූ අතර, එය ඉන් පසුවත් සත්‍ය වෙනවා. ලෝකයේ කැලඹීම දිගටම ඉහළ යනු ඇත. ඊට හාත්පසින්ම වෙනස්ව, ස්වාමින්වහන්සේගේ හඬ “ගර්ජනාවේ හඬක් නොව, … එහෙත් එය පරිපූර්ණ මෘදු නිශ්ශබ්දතාවයේ හඬක් විය, එය කෙඳිරීමක් මෙන්විය, තවද එය ප්‍රාණයේ ඇතුලාන්තයට වුවත් බැස්සේය.”14 මෙම නිශ්චල හඬ ඇසීමට, ඔබත් නිශ්චලව සිටිය යුතුයි!15

යම් කාලයක් සඳහා, සාමාන්‍යයෙන් අපේ ජීවිත පුරවන ක්‍රියාකාරකම් වසංගතය නිසා අවලංගු වුණා. ඉක්මනින්ම ලෝකයේ ඝෝෂාව සහ කැලඹීම සමඟ එම කාලය නැවත පිරවීම සඳහා අපට තෝරාගත හැකියි. නැතහොත් ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම, සැනසීම සහ සාමය ගැන මුමුණන එම හඬ ඇසීමට අපට අපගේ කාලය යොදාගත හැකියි. නිහඬ කාලය යනු පරිශුද්ධ කාලයක්—එය පුද්ගලික එළිදරව් වලට පහසුකම් සපයන අතර සාමය ඇතිකරන කාලයක්.

තනිවම සහ ඔබේ ආදරණීයයන් සමඟ කාලය ගතකිරීමට ඔබව පුහුණු කරවාගන්න. යාච්ඤාවෙන් ඔබේ හදවත දෙවියන්වහන්සේට විවෘත කරන්න. ශුද්ධලියවිලි තුළ ඔබව ගිලෙන්නට සහ දේවමාළිගාවේ නමස්කාර කිරීමට කාලය ගන්න.

මාගේ ආදරණීය සහෝදරවරුනි, මෙම වසංගතය අතරතුර අපගේ අත්දැකීම් වලින් අපට ඉගෙනගැනීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය බොහෝ දේ තිබෙනවා. මම ලැයිස්තුගත කර ඇත්තේ හතරක් පමණයි. ඔබේම ලැයිස්තුවක් සාදන්නටත්, එය ප්‍රවේශමෙන් සලකා බලා, ඔබ ආදරය කරන අය සමඟ බෙදාගන්නටත්, මම ඔබට ආරාධනා කරනවා.

දෙවියන්වහන්සේගේ ගිවිසුම් රකින මිනිසුන්ට අනාගතය දීප්තිමත්.16 පූජකත්වය දරන තම සේවකයන්ට ස්වාමින්වහන්සේ වැඩි වැඩියෙන් ආරාධනා කරනුයේ මනුෂ්‍ය වර්ගයාට ආශිර්වාද කිරීමට, සැනසවීමට, සහ ශක්තිමත් කිරීමට සහ ලෝකය සහ එහි ජනතාව උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් කිරීමට උපකාර කිරීම සඳහායි. අපට ලැබී ඇති ශුද්ධ වූ නියෝගයන් මත ජීවත් වීම අප සෑම කෙනෙකුම කළ යුතු සුදුසු දෙයක්. අපිට මෙය කරන්න පුළුවන්! මාගේ ආදරණීය සහෝදරයිනි, ඔබ එකිනෙකා කෙරෙහි මාගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමත් සමඟ, මම සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.