ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම සඳහා
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම සඳහා

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට නම් අපගේ ක්‍රියාවන්, හැසිරීම්, සහ ජීවිත උන්වහන්සේට අනුකූලව හැඩගැස්වීමට වෙරදැරිය යුතුයි.

මගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනයේදී, බයිබලයේ සඳහන් වන පරිදි පසුව පාවුල් ලෙස හඳුන්වනු ලැබූ, ටාර්සුස් හි සාවුල්ගේ හැරීම ගැන මම පුදුමයට පත්වුණා.

පාවුල් යනු සභාවට සහ ක්‍රිස්තියානුවන්ට හිංසා කිරීමට ක්‍රියාකාරීවම දායක වූ පුද්ගලයෙක්. නමුත් ස්වර්ගයේ බලය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, ඔහුව මුළුමනින්ම වෙනස් වූ අතර, ඔහු දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සේවකයෙකු බවට පත්වුණා. ඔහුගේ ජීවන ආදර්ශය වූයේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.

කොරින්තිවරුන්ට පාවුල්ගේ එක් ඉගැන්වීමක, ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වූ ආකාරයටම උන්වහන්සේගේ අනුගාමිකයන් වීමට ඔහු ඔවුන්ට ආරාධනා කළා (1 කොරින්ති 11:1 බලන්න). මෙය ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම සඳහා පාවුල්ගේ කාලයේ සිට අද දක්වාම වූ අවංක හා වලංගු ආරාධනයක්.

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මම මෙනෙහි කිරීමට පටන්ගත්තා. ඒවගේම වැදගත්ම දෙය නම්, මම මෙහෙම අහන්න පටන්ගත්තා, “මම උන්වහන්සේව අනුකරණය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද?”

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට නම් අපගේ ක්‍රියාවන්, හැසිරීම්, සහ ජීවිත උන්වහන්සේට අනුකූලව හැඩගැස්වීමට වෙරදැරිය යුතුයි. ඒ ගුණධර්ම ලබාගැනීම සඳහායි. ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයෙකු වීම සඳහායි.

මම ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ සමහර පැති අධ්‍යයනය කර ඇති අතර, මම අනුකරණය කිරීමට උත්සාහ කරන සහ ඔබ සමඟ බෙදාගන්නට යන උන්වහන්සේගේ ගුණාංග හතරක්, අද මගේ පණිවිඩයේ කොටසක් ලෙස මම රඳවා තබාගත්තා.

ගැලවුම්කරුවාණන්ගේ පළමු ගුණාංගය නම් නිහතමානීකමයි. පෙර ආත්මික ලෝකයේ සිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉතා නිහතමානීයි. ස්වර්ගයේ මන්ත්‍රණ සභාවේදී, මනුෂ්‍ය වර්ගයා සඳහා වූ ගැලවීමේ සැලැස්ම තුළ දෙවියන්වහන්සේගේ කැමැත්ත ජයගැනීම උන්වහන්සේ හඳුනාගෙන එයට ඉඩදුන්නා. උන්වහන්සේ මෙහෙම කිව්වා, “පියාණනි, ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවී මහිමය සදාකාලයටම ඔබවහන්සේගේ වේවා” (මෝසෙස් 4:2).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිහතමානීකම ඉගැන්වූ බවත් තම පියාණන්ව මහිමවත් කිරීමට නිහතමානී වූ බවත් අපි දන්නවා.

අපි නිහතමානීව ජීවත් වෙමු මක්නිසාද එය සාමය ගෙන එනවා (බලන්න දහම සහ ගිවිසුම් 19:23). නිහතමානීකමින් මහිමය ගෙනෙන අතර, එය දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි ගෙන එනවා: “එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටහත්කම පැළඳගනිල්ලා: මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක” (1 පේත්‍රැස් 5:5). නිහතමානීකම මෘදු පිළිතුරු ගෙන එනවා. ධර්මිෂ්ඨ චරිතයක ප්‍රභවය එයයි.

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ උගන්වනවා:

“දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කරන පුද්ගලයන්, ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් කර ඇති දේ මතකතබාගන්නවා.”

“අපි දෙවියන්වහන්සේ සමඟ නිහතමානීව ගමන් කිරීම මගින් අපි දෙවියන්වහන්සේ සමඟ ගෞරවයෙන් කටයුතු කරනවා” (“යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්න,” ලියහෝනා, නොවැ. 2020, 111, 109).

ගැලවුම්කරුවාණන්ගේ දෙවන ගුණාංගය නම් ධෛර්යයි. නීතියේ ආචාර්යවරුන් අතර දෙවියන්වහන්සේගේ දේවමාළිගාවේ හිඳ ඔවුන්ට දිව්‍යමය දේ උගන්වන, වයස අවුරුදු 12 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සිතන විට, උන්වහන්සේගේ ජීවිතයේ ඉතාමත් මුල් අවදියේදී, මනා ධෛර්යයක්, විශේෂ ධෛර්යයක් උන්වහන්සේට තිබූ බව මට දකින්නට පුළුවන්. නීතියේ ආචාර්යවරුන් විසින් මෙම කුඩා දරුවාට උගන්වනු දැකීමට බොහෝදෙනෙක් බලාපොරොත්තු වන්නට තිබූ අතර, “ඔවුන් උන්වහන්සේට සවන්දෙමින් හා ප්‍රශ්න අසමින් සිටින” අතරතුර, උන්වහන්සේ ඔවුන්ට උගන්වමින් සිටියා (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, ලූක් 2:46 [ලූක් 2:46, හි පාදසටහන c).

අපි 2016 සිට 2019 දක්වා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මබුජි-මායි ධර්මදූතයේ පූර්ණ කාලීන ධර්මදූතයක් සේවය කළා. ධර්මදූතයේ එක් කලාපයක සිට තවත් කලාපයකට ගමන් කිරීමේ ආකාරය වූයේ මාර්ගයෙන්. තල සහිත ආයුධ වලින් සන්නද්ධ කොල්ලකරුවන් පාරට කඩා වැටී සංචාරකයින්ගේ ගමනාගමනයට බාධා කරන සංසිද්ධියක් එම ප්‍රදේශය තුළ මතුවී තිබුණා.

ස්ථාන මාරුවේ කොටසක් ලෙස එක් කලාපයක සිට තවත් කලාපයකට ගමන් කරමින් සිටි ධර්මදූතයින් පස්-දෙනෙක් මෙම කැළඹීම් වලට ගොදුරු වී තිබුණා. යම් කාලයකට පෙර මෙම සංසිද්ධියට ගොදුරු වී සිටි අපි, ධර්මදූතයින් බැලීමට සහ කලාපීය සම්මන්ත්‍රණ පැවැත්වීමට මේ පාරවල් වල යාමට පවා පසුබට වී, අප සැමගේ ජීවිත හා ආරක්ෂාව ගැන බිය වීමට අපි පටන්ගත්තා. එය කොපමණ කාලයක් පුරා පවතිනු ඇත්දැයි අපි දැනගෙන හිටියේ නෑ. මම වාර්තාවක් සකස් කළ අතර එය මම ප්‍රාදේශීය සභාපති කාර්යාලයට යවා, අපේ ධර්මදූතයින් වෙත යාමට ඇති එකම ආකාරය මාර්ගය වූ නිසා, දිගටම ගමන් කිරීම ගැන මගේ බිය පළකළා.

ඔහුගේ පිළිතුරේදී, අප්‍රිකානු අග්නිදිග ප්‍රදේශයේ අපේ සභාපති වූ වැඩිහිටි කෙවින් හැමිල්ටන් මට මෙසේ ලිව්වා: “මගේ අවවාදය නම් ඔබට කළ හැකි උපරිමය කරන්න. ඥානවන්ත වෙන්න සහ යාච්ඤා කරන්න. දැනුවත්වම ඔබට හෝ ඔබේ ධර්මදූතයින්ට හානියක් සිදුවන දේවල් කරන්න එපා, නමුත් ඒ සමඟම ඇදහිල්ලෙන් ඉදිරියට යන්න. “දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයෙත් හික්මවීමේත් ආත්මයක්’ (2 තිමොති 1:7).”

මෙම අනුශාසනය අපව බොහෝ සේ ශක්තිමත් කළ අතර අපගේ ධර්මදූතය අවසන් වන තුරුම ධෛර්යයෙන් යුතුව ගමන් කිරීමට හා සේවය කිරීමට අපට ඉඩ සැලසුවේ, එම ශුද්ධලියවිල්ල තුළින් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ මගපෙන්වීම අපට ඇසුණු නිසයි.

ස්වාමින්වහන්සේගේ දිරිගැන්වීම පිළිබිඹු කරමින් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ ආනුභාව ලත් වචන නූතන ශුද්ධලියවිලි වල අපි මෙසේ කියවනවා: “සහෝදරයිනි, අපි එතරම් ශ්‍රේෂ්ඨ අරමුණකට නොයන්නෙමුද? පසුපසට නොව ඉදිරියට යන්න. ධෛර්යය ගන්න, සහෝදරයිනි; එමෙන්ම, ජයග්‍රහණය කරා යන්න!” (දහම සහ ගිවිසුම් 128:22).

ජනප්‍රිය නොවූවත්, නිවැරදි දේ කිරීමට අපට ධෛර්යය ලබාගමු—අපේ ඇදහිල්ල ආරක්ෂා කරගැනීමට සහ ඇදහිල්ලෙන් ක්‍රියාකිරීමට ධෛර්යය ලබාගමු. දිනපතා පසුතැවිලි වීමට අපි ධෛර්යවන්ත වෙමු, දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීමට හා උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමට ධෛර්යවන්ත වෙමු. ධර්මිෂ්ඨව ජීවත් වීමට සහ අපගේ විවිධ වගකීම් සහ තනතුරු වලදී අපෙන් බලාපොරොත්තු වන දේ කිරීමට අපට ධෛර්යවන්ත වෙමු.

ගැලවුම්කරුවාණන්ගේ තුන්වන ගුණාංගය නම් සමාවදීමයි. උන්වහන්සේගේ ලෞකික දේවසේවය තුළදී, කාමමිථ්‍යාචාරයේ යෙදුණු කාන්තාවකට ගල් ගැසීම ගැලවුම්කරුවාණන් විසින් වැළැක්වුවා. “යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්න” යනුවෙන් උන්වහන්සේ ඇයට ප්‍රකාශ කළා (යොහාන් 8:11). මෙය ඇයව පසුතැවීමට සහ අවසානයේදී සවාදීම දෙසට පෙලඹවූවා, ශුද්ධලියවිලි පවසන ආකාරයට, “එම මොහොතේ සිට එම ස්ත්‍රිය දෙවියන්වහන්සේව මහිමාන්විත කළ අතර උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කළාය” (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, යොහාන් 8:11 [යොහාන් 8:11, හි පාදසටහන c).

2018 දෙසැම්බරයේ නත්තල් දේශනාවකදී අපේ ආදරණීය සභාපති රසල් එම්. නෙල්සන් ගැලවුම්කරුවාණන්ගෙන් අපට ලැබුණු ත්‍යාග හතරක් ගැන කතා කළා. ගැලවුම්කරුවාණන් විසින් අපට පිරිනමට එක ත්‍යාගයක් ලෙස ඔහු පැවසුවේ සමාවදීමයි:

“උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින්, ඔබට හිංසා කළ සහ ඔබට සිදුවූ කෘරත්වයේ වගකීම කිසිවිටෙකත් භාර නොගන්නා අයට ඔබට සමාව දෙන්නට පුළුවන්.

“අවංකව හා නිහතමානීව ඔබේ සමාව ඉල්ලන කෙනෙකුට සමාවදීම සාමාන්‍යයෙන් පහසුයි. නමුත් ඔබට ඕනෑම ආකාරයකින් අයුතු ලෙස සැලකූ ඕනෑම කෙනෙකුට සමාව දීමට ගැලවුම්කරුවාණන් ඔබට හැකියාව ලබාදෙයි” (“Four Gifts That Jesus Christ Offers to You” [First Presidency Christmas devotional, Dec. 2, 2018], broadcasts.ChurchofJesusChrist.org).

පියාණන්වහන්සේගේ සමාව ලබාගැනීම සඳහා අපි එකිනෙකාට අවංකව සමාව දෙමු. සමාවදීම අපව නිදහස් කරන අතර සෑම ඉරිදාවකම සක්‍රමේන්තුවට සහභාගී වීමට අපව සුදුසු කරවනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට අපට සමාවදීම අවශ්‍යයි.

ගැලවුම්කරුවාණන්ගේ හතරවන ගුණාංගය නම් පරිත්‍යාග කිරීමයි. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ කොටසක්. අපේ ගැලවීම පිණිස ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ජීවිතයේ උත්තරීතරම පරිත්‍යාගය අප උදෙසා දුන්නා. එම පරිත්‍යාගයේ වේදනාව දැනී, එම කුසලානය උන්වහන්සේගෙන් ඉවත් කරන ලෙස තම පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටියත්, එම සදාකාලික පරිත්‍යාගයේ අවසානය දක්වා උන්වහන්සේ ගියා. මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමයි.

සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ ඉගැන්වුවා: “පරිත්‍යාගය යනු නිර්මල ප්‍රේමය විදහා දැක්වීමක්. ස්වාමින්වහන්සේ කෙරෙහිත්, ශුභාරංචිය කෙරෙහිත්, එමෙන්ම අපගේ සෙසු මිනිසුන් කෙරෙහිත් අප දක්වන ප්‍රේමයේ තරම මැන බැලිය හැක්කේ ඔවුන් වෙනුවෙන් අප පරිත්‍යාග කිරීමට කැමති දෙයින්” (“The Blessings of Sacrifice,” Ensign, May 1992, 76).

දේවසේවය කිරීමට, අන් අයට සේවය කිරීමට, යහපත කිරීමට, පවුල් ඉතිහාසයේ වැඩ කිරීමට, සහ අපගේ සභාවේ කැඳවීම් සම්පූර්ණ කිරිමට අපට අපේ කාලය කැපකළ හැකියි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය මිහිපිට ගොඩනැගීම සඳහා දසයෙන් කොටස, නිරාහාර පිදුම්, සහ වෙනත් පරිත්‍යාග ගෙවීමෙන් අපට අපගේ මූල්‍යමය ප්‍රතිපාදන ලබාදිය හැකියි. අපි උන්වහන්සේ සමඟ කළ ගිවිසුම් පවත්වා ගැනීමට අපට පරිත්‍යාගය අවශ්‍යයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමෙන් හා උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද ලබාගැනීමෙන්, අපි වඩ වඩාත් නිහතමානී වී, අපි වඩාත් නිර්භීතව, අපි තව තවත් සමාවදෙමින්, එමෙන්ම උන්වහන්සේගේ රාජ්‍යය සඳහා අපි වැඩි වැඩියෙන් පරිත්‍යාගයන් කිරීම මාගේ යාච්ඤාවයි.

අපේ ස්වර්ගික පියාණන්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේ අප සෑම කෙනෙකුවම තනි තනිව දන්නා බවත්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, සභාපති රසල් එම්. නෙල්සන් අද දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය බවත් මොර්මොන්ගේ පොත සත්‍ය බවත් මම සාක්ෂි දරනවා. අපගේ මිදුම්කරුවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.