ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ ප්‍රේමය
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ ප්‍රේමය

අපේ පියාණන්වහන්සේ සහ අපේ මිදුම්කරුවාණන් අපව ආඥා වලින් ආශිර්වාද කර ඇති අතර, උන්වහන්සේලාගේ ආඥා පිළිපැදීමෙන්, අපට උන්වහන්සේලාගේ පරිපූර්ණ ප්‍රේමය වඩාත් පූර්ණ හා වඩාත් ගැඹුරු ලෙස දැනෙනවා.

අපේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට හෘදයාංගවම හා පරිපූර්ණ ලෙස ප්‍රේම කරනවා. 1 උන්වහන්සේගේ ප්‍රේමය තුළ, උන්වහන්සේ සතුව ඇති හා පවතින සියල්ල ඇතුළුව, අප ලබාගැනීමට කැමති සියලු අවස්ථාවන් සහ ප්‍රීතිය අපට විවෘත කිරීම සඳහා, මිදීමේ සහ ප්‍රීතියේ සැලැස්මක් වන, සැලැස්මක් උන්වහන්සේ නිර්මාණය කළා. 2 මෙය සාක්ෂාත් කරගැනීම සඳහා, අපේ මිදුම්කරුවාණන් වශයෙන්, තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පවා පිදීමට උන්වහන්සේ කැමති වුණා. “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” 3 උන්වහන්සේගේ ප්‍රේමය පියෙකුගේ නිර්මල ප්‍රේමයයි—එය සැමටම විශ්වීය නමුත් එක-එක්කෙනාට පුද්ගලිකයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ සමඟ බෙදාගන්නේද මේ හා සමානම ප්‍රේමයක්. පියාණන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම මුලින්ම විස්තර කළ විට, එම සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් වන—අපව මුදවා ගැනීමට ගැලවුම්කරුවෙකු ලෙස ක්‍රියා කරන්නට කෙනෙකුව උන්වහන්සේ කැඳෙව්වා. යේසුස්වහන්සේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා, “මෙන්න මම, මා යවනු මැනව.” 4 ගැලවුම්කරුවාණන් “ලෝකයේ යහපත උදෙසා මිස උන්වහන්සේ කිසිවක් නොකරන සේක; මක්නිසාද උන්වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළ සේක්දැයි කිවහොත් සෑම මනුෂ්‍යයෙකුවම උන්වහන්සේ වෙතට ඇදගන්නා පිණිස උන්වහන්සේ සිය ජීවිතය පූජා කළ සේක. එමනිසා උන්වහන්සේගේ ගැලවීමෙහි සහභාගී නොවන ලෙස උන්වහන්සේ කිසිවෙකුටවත් ආඥා නොකරන සේක.” 5

අපි ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට යාච්ඤා කරන විට මෙම දිව්‍යමය ප්‍රේමය අපට මහත් සැනසීමක් සහ ආත්ම-විශ්වාසයක් ලබාදෙනු ලබනවා. අපෙන් කිසිවෙක් උන්වහන්සේලාට අමුත්තන් නොවේ. අපට නුසුදුසු බවක් දැනුනත්, දෙවියන්වහන්සේට යාච්ඤා අපි කිරීමට පැකිළීමක් නොදැක්විය යුතුයි. අපව ඇසීම සඳහා අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව හා ගුණය මත විශ්වාසය තබන්නට පුළුවන්. 6 අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ රැඳී සිටින්නේ නම්, අපට මගපෙන්වීම සඳහා අන් අයගේ අනුමැතිය මත අපි රැඳී සිටින්නේ ඉතාමත් අවම වශයෙන්.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පාපයට අවසරයක් දෙන්නේ නෑ; ඒ වෙනුවට, එය ලබාදෙන්නේ මිදීමයි.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය සියල්ලන්වම වැළඳ ගන්නා හෙයින්, සමහරු එය “කොන්දේසි විරහිත” ප්‍රේමයක් ලෙස කථා කරන අතර, ඔවුන්ගේ මනසින්, දෙවියන්වහන්සේගේ ආශිර්වාද “කොන්දේසි විරහිත” බවත් එමනිසා ගැලවීමත් “කොන්දේසි විරහිත” බවත් සිතන්නට පුළුවන්. ඒවා එසේ නොවෙයි. “ගැලවුම්කරුවාණන් මම මේ ඉන්න ආකාරයටම මට ආදරෙයි” කියා සමහරු පුරුද්දට කියන අතර, එය ඇත්තෙන්ම සත්‍යයක්. නමුත් අප මේ සිටින ආකාරයට උන්වහන්සේට අප කිසි කෙනෙකුව උන්වහන්සේගේ රාජධානියට ගන්නට බැහැ, “මක්නිසාද කිසිඳු අපවිත්‍ර දෙයකට එහි වාසය කළ නොහැකියි, හෝ උන්වහන්සේගේ අභිමුඛයෙහි සිටිය නොහැකියි.” 7 අපේ පව් මුලින්ම විසඳා තිබිය යුතුයි.

කුඩාම පාපයකට පවා ඉඩදුන්නොත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට එය දරාගත නොහැකි බව මහාචාර්ය හියු නීබ්ලි වරක් සඳහන් කළා: “සුළු වශයෙන් වුවත් දූෂණයේ කැළලක් යන්නෙන් අදහස් කරන්නේ අනෙක් ලෝකය විනාශ නොවන හෝ සදාකාලික නොවන බවයි. ගොඩනැගිල්ලක, ආයතනයක, කේතයක, හෝ චරිතයක ඇති කුඩාම අඩුපාඩුව වුවත් දිගු කාලීන සදාකාලික පැවැත්ම තුළ අනිවාර්යයෙන්ම මාරාන්තික වනු ඇත.” 8 දෙවියන්වහන්සේගේ ආඥා “දැඩියි” 9 මන්ද උන්වහන්සේගේ රාජ්‍යයට සහ එහි පුරවැසියන්ට නැගී සිටිය හැක්කේ, කිසිඳු විශේෂයකින් තොරව නපුර නොකඩවා ප්‍රතික්ෂේප කර යහපත තෝරාගත්තොත් පමණයි. 10

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් මෙසේ නිරීක්ෂණය කළා, “අපේ නූතන සංස්කෘතියේ බොහෝ දෙනෙකුට අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබෙන දෙය යේසුස්වහන්සේ පැහැදිලිව අවබෝධ කරගත්තා: එනම් පාපයට සමාවදෙන ලෙස දුන් ආඥාව (උන්වහන්සේට කිරීමට අසීමිත හැකියාවක් තිබුණ) සහ එයට සමාවදීමට විරුද්ධව අනතුරු ඇඟවීම (උන්වහන්සේ විසින් කිසිවිටෙකත් එක වරක්වත් නොකළ) අතර තීරණාත්මක වෙනසක් ඇති බවයි.” 11

කෙසේවෙතත්, අපේ වර්තමාන අඩුපාඩුකම් නොතකා, උන්වහන්සේගේ සභාවේ සහ සෙලෙස්ටියල් ලෝකයේ “නමක් සහ ස්ථාවරයක්” 12 ලබාගැනීමට අපට තවමත් බලාපොරොත්තු තබාගන්නට පුළුවන්. උන්වහන්සේට පාපය නොසලකා සිටින්නට හෝ සුළුවෙන් තකන්නට නොහැකි බව පැහැදිලි කිරීමෙන් පසුව, ස්වාමින්වහන්සේ අපට මෙසේ සහතික වෙනවා:

“එසේවුවද, පසුතැවිලිව ස්වාමින්වහන්සේගේ ආඥාවන් පවත්වන්නාට කමාව දෙනු ලබන්නේය.” 13

“මගේ ජනතාව පසුතැවිලි වන සෑමවිටම මට විරුද්ධව ඔවුන් කළ වරදට මම ඔවුන්ට සමාව දෙන්නෙමි.” 14

පසුතැවීම සහ දිව්‍ය කරුණාව එම ප්‍රශ්න විසඳනවා:

“අම්මොනිහා නගරයේ දී, සීස්රොම්ට අමුලෙක් පැවසූ වදන් මතකතබාගන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ අනිවාර්යයෙන්ම තම සෙනඟව මුදවා ගැනීමට පැමිණිය යුතු බවත්, නමුත් උන්වහන්සේ පැමිණෙන්නේ ඔවුන්ව ඔවුන්ගේ පාපයන් තුළ මුදවීමට නොව, නමුත් ඔවුන්ගේ පාපයන් වලින් මුදවීමට බවත් ඔහු පැවසුවා.

“තවද උන්වහන්සේ හට පියාණන්වහන්සේ වෙතින් ඔවුන්ව ඔවුන්ගේ පාපය වෙතින් මුදවීමට පසුතැවිල්ල නිසා බලය දී ඇත; එසේහෙයින් උන්වහන්සේ උන්වහන්සේගේ දේවදූතයන්ව පසුතැවිලිවීමේ කොන්දේසි ගැන පුවත් ප්‍රකාශ කිරිමට එවා ඇති සේක, එය ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගැලවීම වෙතට මිදුම්කරුවාණන්ට බලය ගෙන එන්නේය.” 15

පසුතැවිලි වීමේ කොන්දේසිය ඇතිව, යුක්තිය කොල්ලකෑමෙන් තොරව ස්වාමින්වහන්සේට දයාව දැක්විය හැකි අතර “දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නොනවත්වයි.” 16

ඔබ දන්නා පරිදි, ලෝකයේ මාර්ගය, ක්‍රිස්තු විරෝධී, හෝ “ක්‍රිස්තුස් හැර වෙනත් ඕනෑම දෙයක්.” අපේ දින මොර්මොන්ගේ පොතේ ඉතිහාසයේ පුනරාවර්තනයක්, එහිදී ජනකාන්ත චරිත විසින් අන් අය කෙරෙහි අධර්මිෂ්ඨ ආධිපත්‍යය අනුගමනය කරනවා, ලිංගික අවසරයන් සමරනවා, සහ ධනය රැස්කරගැනීම අපේ පැවැත්මේ වස්තුව ලෙස ප්‍රවර්ධනය කරනවා. ඔවුන්ගේ දර්ශන මඟින් සුළු පාපයක් කිරීම, 17 හෝ පාපයන් විශාල ප්‍රමාණයක් කිරීම වුවත්, සාධාරණීකරණය කරන අතර, නමුත් ඒ කිසිවෙකුටත් මිදීමක් ලබාදිය හැකිවන්නේ නෑ. එය පැමිණෙන්නේ බැටළු පැටවාණන්ගේ රුධිරය තුළින් පමණයි. “ක්‍රිස්තුස් හැර ඕනෑම දෙයක්” හෝ “පසුතැවීම හැර ඕනෑම දෙයක්” කියන සමූහයාට ඉදිරිපත් කළ හැකි හොඳම දෙය නම් පාපය නොපවතින බවට පදනම් වූ පදනම් විරහිත ප්‍රකාශය, හෝ එය පවතිනවා නම්, අවසානයේ එයින් ප්‍රතිවිපාක නොමැති බව ප්‍රකාශ කිරීමයි. අවසාන තීන්දුවේදී එම තර්කය වැඩි වශයෙන් ඇදී යන බවක් නම් මට පෙනෙන්නේ නෑ. 18

අපගේ පාප සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීමේදී අපට කළ නොහැකි දේ කිරීමට උත්සාහ කිරීම කළ යුතු වන්නේ නෑ. අනෙක් අතට, පාපයේ ප්‍රතිඵල අපේම කුසලතාවයෙන් පමණක් මකාදමන එම කළ නොහැකි දේ කිරීමට අපි උත්සාහ කළ යුතු වන්නේ නෑ. අපේ ආගම තාර්කිකකරණය කිරීමේ ආගමක් හෝ පරිපූර්ණවාදයේ ආගමක් නොවේ නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මිදීමක් ඇති—මිදීමේ ආගමක්. අපි පසුතැවිලි වන අය අතර සිටිනවා නම්, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපගේ පව් උන් වහන්සේගේ කුරුසයට ඇණ ගසා ඇති අතර, “උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබෙයි.” 19

අනාගතවක්තෘවරුන්ගේ දැඩි ප්‍රේමය දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරයි

දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ පාපයට එරෙහි අනතුරු ඇඟවීම් තුළින් ඔවුන්ගේ දැඩි ප්‍රේමය බොහෝ කලක සිට මගේ සිතට කාවැදී ඇති අතර, එය මට දැනී තිබෙනවා. ඔවුන් පෙලඹී තිබෙන්නේ දඬුවම් කිරීමට ඇති ආශාව නිසා නොවෙයි. ඔවුන්ගේ සැබෑ ආශාව දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරනවා; ඇත්තෙන්ම එය දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි. ඔවුන්ව යවනු ලබන අයට, ඔවුන් කවුරු වුවත්, ඔවුන් කෙසේ වුවත්, ඔවුන් ඒ අයට ආදරෙයි. ස්වාමින්වහන්සේ මෙන්ම, උන්වහන්සේගේ සේවකයන්ද කිසිවෙකුත් පාපයේ හා දුර්වල තේරීම් වල වේදනාවන් විඳිනවාට කැමති නෑ. 20

ඇල්මා ඇතුළු ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන්ට හිංසා කිරීමට, වධ දෙන්නට, සහ මරා දැමීමට පවා කැමති ද්වේෂ සහගත මිනිසුන්ට පසුතැවිලි වීමේ සහ මිදීමේ පණිවිඩය ප්‍රකාශ කිරීමට ඇල්මාව යවා තිබුණා. නමුත් ඔහු ඔවුන්ට ප්‍රේම කළ අතර ඔවුන්ගේ ගැලවීම සඳහා ආශා කළා. ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අම්මොනිහා හි ජනතාවට ප්‍රකාශ කිරීමෙන් පසු ඇල්මා මෙසේ ආයාචනා කළා: “තවද දැන්, මාගේ සහෝදරයෙනි, මාගේ හදවතේ ඇතුලාන්තයෙන්ම, එසේය, වේදනාව කෙරෙහි වුවත් වන බලවත් බියක් සමඟ මම මෙසේ ප්‍රාර්ථනා කරන්නෙමි, නුඹලා මාගේ වචන වලට ඇහුම්කන්දෙමින්, තවද නුඹලාගේ පාපයන් ඉවත දමන්නේ නම්; … එනම් නුඹලා අවසාන දවසේ ඔසවනු ලබමින් [දෙවියන්වහන්සේගේ] විශ්‍රාමයට ඇතුලත් වන්නෝය.” 21

සභාපති රසල් එම්. නෙල්සන්ගේ වචන වලින්, “එය නිවැරදියි, මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ සියලු දරුවන් ගැන දැඩි ලෙස සැලකිලිමත් වන නිසා අපි උන්වහන්සේගේ සත්‍යය ප්‍රකාශ කරනවා.” 22

දෙවියන්වහන්සේ ඔබට ආදරෙයි; ඔබ උන්වහන්සේට ආදරය කරනවාද?

පියාණන්වහන්සේගේ හා පුත්‍රයාණන්වහන්සේගේ ප්‍රේමය නිදහසේ ලබාදෙන නමුත් බලාපොරොත්තු සහ අපේක්ෂාවන්ද ඊට ඇතුළත්. නැවතත්, සභාපති නෙල්සන්ව උපුටා දක්වන්නම්, “දෙවියන්වහන්සේගේ නීති මුළුමනින්ම පෙලඹී ඇත්තේ උන්වහන්සේ අප කෙරෙහි ඇති අසීමිත ප්‍රේමය සහ අපට හැකි සියල්ල බවට පත්වීමට උන්වහන්සේ තුළ ඇති ආශාව නිසාවෙනුයි.” 23

උන්වහන්සේලා ඔබට ප්‍රේම කරන නිසා, “ඔබ සිටිනවා මෙන්” ඔබව හැර යාමට උන්වහන්සේලාට අවශ්‍ය නෑ. උන්වහන්සේලා ඔබට ප්‍රේම කරන නිසා, ඔබට ප්‍රීතිය සහ සාර්ථකත්වය තිබීම උන්වහන්සේලාට අවශ්‍යයි. උන්වහන්සේලා ඔබට ප්‍රේම කරන නිසා, උන්වහන්සේලාට අවශ්‍ය වන්නේ ඔබ පසුතැවිලි වීමයි මන්ද එය ප්‍රීතියේ මාවතයි. නමුත් එය ඔබේ තේරීමයි—උන්වහන්සේලා ඔබේ තෝරාගැනීමේ නිදහසට ගෞරව කරනවා. ඔබ උන්වහන්සේලාට ආදරය කිරීමට, උන්වහන්සේලාට සේවය කිරීමට, උන්වහන්සේලාගේ ආඥා පිළිපැදීමට තෝරාගත යුතුමයි. එවිට උන්වහන්සේලාට ඔබට බහුල ලෙස ආශිර්වාද කිරීමට මෙන්ම ඔබට ප්‍රේම කිරීමටද පුළුවන්.

අපෙන් බලාපොරොත්තු වන උන්වහන්සේලාගේ ප්‍රධානතම අපේක්ෂාව නම් අපිත් ප්‍රේම කිරීමයි. “ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.” 24 යොහාන් මෙසේ ලිව්වා, “ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.” 25

ප්‍රාථමිකයේ ප්‍රධාන සභාපතිනිය ජෝයි ඩී. ජෝන්ස් මෙසේ සිහිපත් කළා, තරුණ යුවළක් ලෙස ඇයට සහ ඇගේ සැමියාට වසර ගණනාවක් සභාවට නොගිය පවුලක් බැලීමට හා දේවසේවය කිරීමට කැඳවීමක් ලැබී තිබුණා. ඔවුන්ව අවශ්‍ය නැති බව ඔවුන්ගේ පළමු සංචාරයේදීම වහාම පැහැදිලි වුණා. අතිරේක අසාර්ථක උත්සාහයන් නිසා කලකිරීමට පත්වීමෙන් පසුව, සහ බොහෝ අවංක යාච්ඤාවන් හා මෙනෙහි කිරීම් වලින් පසුව, ජෝන්ස් සහෝදරයාට සහ එම සහෝදරියට දහම සහ ගිවිසුම් හි මෙම පදය තුළින් ඔවුන්ගේ සේවය කුමක් සඳහාද කියා පිළිතුරක් ලැබුණා: “නුඹලාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට නුඹලාගේ මුළු හදවතින්ද, නුඹලාගේ මුළු බලයෙන්ද, මනසින්, සහ ශක්තියෙන්ද ප්‍රේම කරන්න; තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලා උන්වහන්සේට සේවය කළ යුතු වන්නෝය. 26 ජෝන්ස් සහෝදරිය මෙසේ කිව්වා:

“අපි අවංකවම උත්සාහ කරන්නේ මෙම පවුලට සේවය කිරීමට සහ අපේ සභානායකවරයාට සේවය කිරීමට බව අපට වැටහී ගිය නමුත්, අපි සැබවින්ම සේවය කරන්නේ ස්වාමින්වහන්සේට ඇති ආදරයෙන් දැයි අපෙන්ම අසන්නට අපට සිදුවුණා. …

ස්වාමින්වහන්සේට ඇති ප්‍රේමය නිසා අපි මෙම ආදරණීය පවුල සමඟ අපේ පැමිණීම් එනතුරු බලාසිටීමට පටන්ගත්තා [බලන්න 1 නෙපි 11:22]. අපි එය කළේ උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේ එම අරගලය තවදුරටත් අරගලයක් බවට පත්කළේ නෑ. අපි මාස ගණනාවක් පුරා දොරකඩ අසල සිටගෙන සිටි පසු, එම පවුලේ අය අපව ඇතුළට ගැනීමට පටන්ගත්තා. අවසානයේදී, අපි එකට එක්ව නිතිපතා යාච්ඤා සහ ශුභාරංචිය ගැන මෘදු සාකච්ඡා කළා. දිගුකාලීන මිත්‍රත්වයක් වර්ධනය වුණා. අපි උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කිරීම මගින් උන්වහන්සේට නමස්කාර කරමින් හා ප්‍රේම කරමින් සිටියා.” 27

දෙවියන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන බව පිළිගැනීමෙන්, අපි සෑම කෙනෙකුටම මෙසේ අසාගන්නට පුළුවන්, “මම කෙතරම් හොඳින් දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාද? මම උන්වහන්සේගේ ප්‍රේමය මත රඳාසිටින ආකාරයටම උන්වහන්සේටත් ඒ මත විශ්වාසය තැබිය හැකිද?” අපගේ අසමත් වීම් වලදී පමණක් නොව, අප වෙමින් පවතින අය නිසා දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට ලබාගන්නා පිණිස ජීවත් වීම වටිනාකමක් ඇති අපේක්‍ෂාවක් නොවන්නේද? අහෝ, හයිරම් ස්මිත් ගැන උන්වහන්සේ පැවසූ ලෙසම ඔබත් මමත් පිළිබඳ උදාහරණයක් ලෙස, උන්වහන්සේ මෙසේ කියන්නට පුළුවන්, “ස්වාමින්වහන්සේ වන, මම, ඔහුගේ හදවතේ අවංකකම නිසා ඔහුට ප්‍රේම කරන්නෙමි.” 28 යොහාන්ගේ කාරුණික අවවාදය අපි මතකතබා ගනිමු: “මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය: තවද උන්වහන්සේගේ ආඥා බර නැත.” 29

ඇත්තවශයෙන්ම, උන්වහන්සේගේ ආඥා ශෝකජනක නෑ—නමුත් ඊට ප්‍රතිවිරුද්ධයි. ඒවා සුවය, ප්‍රීතිය, සාමය, සහ මහත් ප්‍රීතියේ මාවත සලකුණු කරනවා. අපේ පියාණන්වහන්සේ සහ අපේ මිදුම්කරුවාණන් අපව ආඥා වලින් ආශිර්වාද කර ඇති අතර, උන්වහන්සේලාගේ ආඥා පිළිපැදීමෙන්, අපට උන්වහන්සේලාගේ පරිපූර්ණ ප්‍රේමය වඩාත් පූර්ණ හා ගැඹුරු ලෙස දැනෙනවා. 30

අපේ නොනවත්වා රණ්ඩු දබර ඇති කරන කාලයට විසඳුම මෙන්න—ඒ දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි. ගැලවුම්කරුවාණන්ගේ දේවසේවයෙන් පසු මොර්මොන්ගේ පොතේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේදී, “දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුළ තිබුන හෙයින් එහි එම දේශයේ විවාදයන් [තිබුණේ නෑ].” 31 අපි සයොනය දෙසට උත්සාහයෙන් යන විට, එළිදරව් පොතේ පොරොන්දුව මතකතබාගන්න: “ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටු වලින් [ශුද්ධ වූ] නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය.” 32

අපේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යතාර්ථය, සහ උන්වහන්සේලාගේ නිරන්තර, නොමැකෙන ප්‍රේමය පිළිබඳව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.