ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනීවායි මම ප්‍රාර්ථනා කරමි
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනීවායි මම ප්‍රාර්ථනා කරමි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අප කරන පුද්ගලික දේවල් රාශියක් විශාල කරමින්, කුඩා ප්‍රයත්නයන් එක්ව විශාල බලපෑමක් ඇතිකරනවා.

ෆිලෝ පිටි මිශ්‍රණය සහ පිස්ටාචියෝ ගෙඩි වලින් සාදන ලද මෙම විස්කෝතුව ස්තූති කිරීමක්. එය සෑදුවේ දශක ගණනාවක් තිස්සේ සිරියාවේ දමස්කස්හි බේකරි තුනක් හිමිව සිටි කඩඩෝ පවුල විසින්. යුද්ධය පැමිණි විට, අවහිරයක් හේතුවෙන් ආහාර සහ අනෙක් සැපයුම් නගරයේ ඔවුන්ගේ ප්‍රදේශයට පැමිණීම නවත්වා තිබුණා. කඩඩෝ පවුල බඩගින්නේ සිටීමට පටන්ගත්තා. මෙම මංමුලා සහගත තත්වයේ උච්චතම අවස්ථාව වන විට, පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ පුණ්‍යායතන සහ රහ්මා වර්ල්ඩ්වයිඩ් හි සිටි සමහර නිර්භීත කාර්යමණ්ඩලය කුඩා දරුවන් සඳහා කිරි සමඟ, ඔවුන්ට දිනපතා උණුසුම් ආහාර වේලක් පිරිනැමීමට පටන්ගත්තා. දුෂ්කර කාලයකට පසු, එම පවුල සිය ජීවිත ආරම්භ කළ අතර—ඔවුන්ගේ බේකරියද නැවත වරක්—නව රටක ආරම්භ කළා.

මෑතකදී, පහත සඳහන් පණිවිඩය සමඟ විස්කෝතු පෙට්ටියක් සභා කාර්යාල වෙත ඇවිත් තිබුණා: “මාස දෙකකටත් වැඩි කාලයක් රහ්මා-පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ [පුණ්‍යායතන] මුළුතැන්ගෙයින් ආහාර ලබාගැනීමට අපට හැකිවුණා. එය නොමැතිව අපි කුසගින්නේ මියයාමට ඉඩ තිබුණා. මේ ස්තූති කිරීමේ කුඩා සංකේතයක් ලෙස මගේ සාප්පුවෙන් සාම්පලයක් … කරුණාකර මෙය පිළිගන්න. ඔබ කරන සෑම දෙයකදීම ඔබට … ආශිර්වාද කරන ලෙස සර්වබලධාරි දෙවියන්වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා.” 1

කෘතඥතාවයේ හා සිහිකිරීමේ විස්කෝතුවක්. එය ඔබ වෙනුවෙනුයි. ප්‍රවෘත්ති වල කතාවක් නැරඹීමෙන් පසු යාච්ඤා කළ සැමට, එය යම් යහපතක් කරාවි යැයි විශ්වාසයෙන්, පහසු නොවන විට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ හෝ මානුෂීය අරමුදලට කාරුණිකව මුදල් පරිත්‍යාග කළ සැමට, ඔබට ස්තූතියි.

දුප්පතුන් රැකබලාගැනීමේ දිව්‍ය වගකීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තිබෙන්නේ දිළිඳුන් රැකබලා ගැනීමේ දිව්‍යමය නියෝගයක් යටතේයි. 2 එය ගැලවීමේ හා උත්කර්ෂයේ කාර්යයේ කුළුණු වලින් එකක්. 3 ඇල්මාගේ කාලයේ සත්‍ය වූ දේ අපට නියත වශයෙන්ම සත්‍ය වෙනවා: “තවද මෙසේ, ඔවුන්ගේ සෞභාග්‍යමත් අවස්ථාවෙහිදී, ඔවුන් නිර්වස්ත්‍රව සිටියාවූ හෝ රෝගී වූ හෝ පෝෂණය නොලැබූ කිසිවෙකුව හරවා යැවුවේ නැත; තවද ඔවුහු ඔවුන්ගේ හදවත් ධනය මත නොතැබුවෝය; එසේහෙයින් ඔවුන් සියළුම වයසක සහ තරුණ දෙගොල්ලන්ටම, වහලුන්ද සහ නිවහලුන් දෙගොල්ලන්ටම, පිරිමි සහ කාන්තා දෙගොල්ලන්ටම, සභාවෙන් පිට හෝ සභාව තුළ, පුද්ගලයන්ට විශේෂයක් නොකොට අවශ්‍යතාවයන් ඇතිව සිටි අය වෙනුවෙන් නැගී සිටියාවූ අයයි.” 4

පහත සඳහන් දේවල්ද ඇතුළුව, සභාව මෙම කාරණයට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වනවා:

  • සහන සමිතිය, පූජක ගණපූරණයන්, සහ පන්ති තුළින් අපි කරන දේවසේවය;

  • නිරාහාරව සිටීම සහ නිරාහාර පූජා භාවිතය;

  • සුභසාධන ගොවිපලවල් සහ ආපනශාලා;

  • සංක්‍රමණිකයින් සඳහා පිළිගැනීමේ මධ්‍යස්ථාන;

  • සිරගතව සිටින අය කෙරෙහි ලඟාවීම;

  • සභාවේ මානුෂීය උත්සාහයන්;

  • ඒවගේම ලබාගත හැකි ස්ථාන වල, සේවා අවස්ථා සමඟ ස්වේච්ඡා සේවකයන් ගලපන JustServe යෙදුම.

මේවා පූජකවරය මගින් සංවිධානය වුණු, කුඩා ප්‍රයත්නයන් එක්ව විශාල බලපෑමක් ඇතිකරන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අප කරන පුද්ගලික දේවල් රාශියක් විශාල කරන ක්‍රමයි.

අනාගතවක්තෘවරුන්ට මුළු පොළොවටම භාරකාරත්වයක් තිබෙනවා.

සභාවේ සාමාජිකයින් සඳහා පමණක් නොවේ, නමුත් මුළු පොළොවම සඳහා අනාගතවක්තෘවරුන් වගකිව යුතුයි. පළමු සභාපතිත්වය එම වගකීම පුද්ගලිකව සහ කැපවීමෙන් භාරගන්නේ කෙසේදැයි මට මගේම අත්දැකීමෙන් වාර්තා කරන්නට පුළුවන්. අවශ්‍යතා වර්ධනය වන විට, අපගේ මානුෂීය ප්‍රවේශය සැලකිය යුතු ලෙස ඉහළ නංවන ලෙස පළමු සභාපතිත්වය අපට වගකීමක් භාරදුන්නා. ඔවුන් විශාලතම ප්‍රවණතා සහ කුඩාම තොරතුරු ගැන පවා උනන්දු වෙනවා.

වසංගත සමයේදී රෝහල් සඳහා භාවිතා කිරීම සඳහා Beehive Clothing විසින් මසන ලද ආරක්ෂිත ඇඳුමක් මෑතකදී අපි ඔවුන් වෙත ගෙන ආවා. වෛද්‍යවරයෙකු වශයෙන් සභාපති රසල් එම්. නෙල්සන් ඒ ගැන දැඩි උනන්දුවක් දැක්වුවා. ඔහුට අවශ්‍ය වුණේ එය බලන්නට පමණක් නොවේ. කමිස අත් සහ දිග සහ පිටුපස ගැටගැසී ඇති ආකාරය පරීක්‍ෂා කරමින්—ඔහුට එය අත්හදා බැලීමට අවශ්‍ය වුණා. ඔහු පසුව අපට හැඟීම්බරව පැවසුවේ මෙසේයි, “ඔබේ පැවරුම් වලදී ඔබ පුද්ගලයින් සමඟ හමුවූ විට, නිරාහාරව සිටීම ගැන, ඔවුන්ගේ පිදුම්, සහ ස්වාමින්වහන්සේගේ නාමයෙන් දේවසේවය කිරීම ගැන ඔවුන්ට ස්තූති කරන්න.”

මානුෂීය කටයුතු සම්බන්ධ වාර්තාව

පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සහ බොහෝ මිතුරන්ගේ කරුණාවන්තකමට ස්තූතිවන්නට, සුළි කුණාටු, භූමිකම්පා, සරණාගතයින් අවතැන් වීම—සහ වසංගතයකට පවා—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි, සභාපති නෙල්සන්ගේ මගපෙන්වීම යටතේ මම දැන් ඔබට වාර්තා කරන්නම්. පසුගිය මාස 18 තුළ කොවිඩ්-19 ව්‍යාපෘති 1500 කට වැඩි ප්‍රමාණයක් සභාවේ සහන සැලසීමේ විශාලතම ඉලක්කය වූවත්, සභාව විසින් රටවල් 108 ක ස්වාභාවික විපත් සහ සරණාගත අර්බුධ 933 කට ප්‍රතිචාර දක්වා තිබෙනවා. නමුත් සංඛ්‍යාලේඛන වලින් මුළු කතාවම කියවෙන්නේ නෑ. සිදුවන දෙයින් සුළු රසය විදහා දැක්වීමට කෙටි උදාහරණ හතරක් බෙදාගැනීමට මට ඉඩදෙන්න.

දකුණු අප්‍රිකානු කොවිඩ් සහනය

දකුණු අප්‍රිකාවේ වෙල්කොම් හි දාසය-හැවිරිදි ඩීක් මෆුටිට වසර ගණනාවකට පෙර ඇගේ දෙමාපියන් අහිමි වූ අතර, ඇයට තනිවම බාල සහෝදර සහෝදරියන් තිදෙනෙකු රැකබලා ගැනීමට සිදුවුණා. ඇයට ප්‍රමාණවත් ආහාර සොයාගැනීම සැමවිටම අසීරු වූ නමුත්, COVID සැපයුම් හිඟය සහ නිරෝධායනය හේතුවෙන් එය කළ නොහැකි තරම් වුණා. අසල්වාසීන්ගේ ත්‍යාගශීලී භාවයෙන් පමණක් යැපුණු ඔවුන් නිතරම වාගේ බඩගින්නේ සිටියා.

රූපය
ඩීක් මපුති

2020 අගෝස්තු මාසයේ අව්ව සහිත දිනයක ඇගේ දොරට තට්ටු කිරීමකින් ඩීක් පුදුමයට පත්වුණා. ඇය එය විවෘත කළ පසු නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටියා—එක් අයෙක් ජොහැන්නස්බර්ග් හි ප්‍රාදේශීය කාර්යාලයේ සභා නියෝජිතයෙක් සහ අනෙකා දකුණු අප්‍රිකාවේ සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.

අවදානම් සහිත නිවෙස් වලට ආහාර ගෙන ඒම සඳහා මෙම සංවිධාන දෙක එකට එක්වී තිබුණා. සභාවේ මානුෂීය අරමුදල් වලින් මිලදීගත් ඉරිඟු පිටි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගොඩගැසී ඇති ආකාරය බැලූ විට ඩීක්ගේ මුහුණ සහනයෙන් නෑවිලා ගියා. රජයේ ආධාර පැකේජයක් ඇයට බලාත්මක වනතුරු සති කිහිපයක් තම පවුල නඩත්තු කිරීමට මේවා ඇයට උපකාරී වෙනවා.

ඔබේ පූජනීය දායකත්වයට ස්තූතිවන්ත වන්නට කොවිඩ් වසංගතය අතරතුර ලොව පුරා සිදුවූ එවැනි දහස් ගණන් අත්දැකීම් වලින් ඩීක්ගේ කතාවද එකක්.

රැම්ස්ටයින් හි ඇෆ්ගන් සහන

අපි සියළුම දෙනා මෑතකාලීන ප්‍රවෘත්ති වල දැක ඇති ලෙස: ඇෆ්ගනිස්ථානයෙන් පහකරනු ලැබූ දහස් ගණනක් එහෙන් ඉවතට පියාසර කළා. කටාර්, එක්සත් ජනපදය, ජර්මනිය, සහ ස්පාඤ්ඤයේ ගුවන් කඳවුරු වලට හෝ වෙනත් තාවකාලික ස්ථාන වෙත බොහෝ දෙනෙක් පැමිණියා. ඔවුන්ට තිබුණේ ක්‍ෂණික අවශ්‍යතා, එමෙන්ම සභාව සැපයුම් හා ස්වෙච්ඡා සේවකයන්ගෙන් යුතුව එයට ප්‍රතිචාර දැක්වුවා. ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් හමුදා කඳවුරේදී සභාව විසින් ඩයපර්, ළදරු කිරිපිටි, ආහාර, සහ සපත්තු විශාල වශයෙන් පරිත්‍යාග කළා.

රූපය
සරණාගතයින් සඳහා මානුෂීය පරිත්‍යාග
රූපය
ඇෆ්ගන් සරණාගතයින් සඳහා මහන කාන්තාවන්

කාබුල් ගුවන් තොටුපලේදී ඇති වූ කෝපය හේතුවෙන් බොහෝ ඇෆ්ගනිස්ථාන කාන්තාවන් තම හිස වසාගැනීම සඳහා භාවිතා කළ ආවරණ ඉරාදමා තිබූ බැවින්, ඔවුන් ඒ සඳහා තම ස්වාමිපුරුෂයින්ගේ කමිස භාවිතා කරන බව සහන සමිතියේ සමහර සහෝදරියන් දුටුවා. සියලුම ආගමික හෝ සංස්කෘතික සීමාවන් ඉක්මවා ගිය මිත්‍රත්ව ක්‍රියාවකදී, ඇෆ්ගන් කාන්තාවන් සඳහා සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් මැසීමට රැම්ස්ටයින් පළමු කොට්ඨාශයේ සහෝදරියන් එක්රැස් වුණා. බෙතානි හෝල්ස් සහෝදරිය මෙසේ පැවසුවා, “කාන්තාවන්ට යාච්ඤා ඇඳුම් අවශ්‍ය බව අපට ආරංචි වූ අතර, යාච්ඤා කිරීම සඳහා ඔවුන් සැප පහසු වන පරිදි අපි ඔවුන්ට ඇඳුම් මහමින් සිටියා.” 5

හයිටි භූමිකම්පා සහනය

යහපත සඳහා මෙවලමක් වීමට ඔබ ධනවත් හෝ වයස්ගත වියයුතු නැති බව මෙම ඊළඟ උදාහරණයෙන් පෙන්නුම් කරනවා. දහඅට හැවිරිදි මාරි “ජැඩ්ජෝ” ජැක් හයිටියේ කැවිලන් ශාඛාවේ අයෙක්. අගෝස්තු මාසයේදී ඇගේ නගරය අසල විනාශකාරී භූමිකම්පාවක් සිදුවූ විට, ඇගේ පවුලේ නිවස කඩා වැටුණු ගොඩනැගිලි දස දහස් ගණනින් එකක්. ඔබේ නිවස අහිමි වීමේ බලාපොරොත්තු සුන්වීම සිතාගත නොහැකි තරම් දෙයක්. නමුත් එම බලාපොරොත්තු සුන්වීමට ඉඩ නොතබා, ජැඩ්ජෝ—ඇදහිය නොහැකි තරම්—එයින් භාහිරට හැරුණා.

රූපය
මාරි ජැක්ස්
රූපය
හයිටි භූමිකම්පාව

හවුල් මුද්‍රණාලය

වයෝවෘද්ධ අසල්වැසියෙකු අමාරුවෙන් සිටින අයුරු දැක ඇය ඇයව රැකබලා ගැනීමට පටන්ගත්තා. සුන්බුන් ඉවත් කිරීමට ඇය සෙසු අයට උදව් කළා. ඇය දැඩි වෙහෙසට පත්ව සිටියත් ඒ බව නොතකමින්, අනෙක් අයට ආහාර සහ සනීපාරක්ෂක කට්ටල බෙදාදීම සඳහා ඇය සෙසු සාමාජිකයින් සමඟ එකතු වුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට වෙරදරන යෞවනයින් සහ තරුණ හා තරුණියන් විසින් සිදුකරන ලද සේවාවන් බොහොමයක් පිළිබඳ බලද්දී ජැඩ්ජෝගේ කථාව ඒ සඳහා තවත් එක උදාහරණයක්.

ජර්මානු ගංවතුර සහන

භූමිකම්පාවට සති කිහිපයකට පෙර, අත්ලාන්තික් සාගරය හරහා තවත් තරුණ තරුණියන් කණ්ඩායමක් එවැනිම සේවාවක් කරමින් සිටියා. ජූලි මාසයේදී බටහිර යුරෝපය පුරා පැතිර ගිය ගංවතුර දශක ගණනාවකටම සිදුවූ දරුණුතම අවස්ථාව වුණා.

රූපය
ජර්මනියේ ගංවතුර

අවසානයේ ජලය බැසයන විට, ජර්මනියේ අහ්වේලර් ගඟ අද්දර දිස්ත්‍රික්කයේ එක් කඩ හිමියෙක් තම හානිය මැන බැලූ අතර ඔහු ඒ හේතුවෙන් මුළුමනින්ම කණස්සල්ලට පත්වුණා. කතෝලික භක්තිකයෙකු වූ, මෙම නිහතමානී මිනිසා, තමන්ට උපකාර කිරීමට කෙනෙකු එවන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කළා. පසුදා උදෑසනම, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ධර්මදූතයේ සභාපති ඩෑන් හැමන් කහ පැහැති Helping Hands ඇඳුම් ඇඳගත් ධර්මදූත කණ්ඩායමක් සමඟ මෙම වීදියට පැමිණියා. ගැඹුරු මඩ තට්ටුවක් ඉතිරි කරමින් සාප්පු හිමියාගේ බිත්ති මත අඩි 10 ක් (3m) පමණ ජලය පැමිණ තිබුණා. මෙම ස්වේච්ඡා සේවකයෝ මඩ ඉවත් කර, කාපට් සහ වියලි පවුර ඉවත් කර, ඉවත් කරන්නට අවශ්‍ය සියලු දේ පාර අයිනේ ගොඩගැහුවා. ප්‍රීති වූ වෙළඳසැල් හිමියා ඔවුන් සමඟ පැය ගණනක් වැඩ කළ අතර, පැය 24 ක් ඇතුළත ස්වාමින්වහන්සේ තම යාච්ඤාවට පිළිතුරු දීමට උන්වහන්සේගේ සේවකයින් කණ්ඩායමක් එවා තිබීම ඔහුව පුදුමයට පත්කළා! 6

“හොඳයි, උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනීවායි මම යාච්ඤා කරනවා”

සභාවේ මානුෂීය ප්‍රයත්නයන් ගැන කතා කරමින්, වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් වරක් මෙසේ පැවසුවා: “යාච්ඤා වලට පිළිතුරු ලැබෙනවා … බොහෝ විට … දෙවියන්වහන්සේ ඒ සඳහා වෙනත් පුද්ගලයින් භාවිතා කරනවා. හොඳයි, උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනීවායි මම යාච්ඤා කරනවා. පුද්ගලයින්ගේ යාච්ඤා වලට අප පිළිතුරක් වේවායි මම යාච්ඤා කරනවා.” 7

සහෝදර සහෝදරියනි, ඔබගේ දේවසේවා, පරිත්‍යාගයන්, කාලය, සහ ප්‍රේමය තුළින් ඔබ බොහෝ යාච්ඤා වලට පිළිතුරක් වී තිබෙනවා. එහෙත් තවමත් කරන්නට බොහෝ දේවල් තිබෙනවා. සභාවේ බව්තීස්ම වූ සාමාජිකයන් වශයෙන්, අවශ්‍යතා ඇති අය රැකබලා ගැනීමේ ගිවිසුමට අපි යටත් වී සිටිනවා. අපගේ පෞද්ගලික උත්සාහයන්ට මුදල් හෝ දුර බැහැර ස්ථාන අවශ්‍ය වන්නේ නෑ 8 ; ඒවාට අවශ්‍ය වන්නේ ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම සහ “මම මෙහිය; මා යැවුව මැනවයි” ස්වාමින්වහන්සේට පැවසීමට කැමති හදවතක්. 9

ස්වාමින්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද

ලූක් 4 වාර්තා කරන ලෙස යේසුස්වහන්සේ උන්වහන්සේ හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණ, කියවීම සඳහා සිනගෝගයේදී නැගී සිටියා. මෙය උන්වහන්සේගේ ලෞකික දේවසේවය ආරම්භ වීමට ආසන්නයේ සිදුවූ අතර, උන්වහන්සේ යෙසායා පොතේ ඡේදයක් උපුටා දැක්වුවා:

“ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේප කළ සේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්ටද මඩනා ලද්දවුන් නිදහස්කර හරින්ටද,

“ස්වාමින්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්ටද උන්වහන්සේ මා එවූ සේක. …

“… අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි කීසේක.” 10

එම ශුද්ධලියවිල්ල අපේ කාලය තුළද ඉටුවී තිබෙන බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණ ඇත්තේ බිඳුණු සිත් සුවකිරීමට බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ ශුභාරංචිය අන්ධයන්ට පෙනීම ලබාදෙනවා. උන්වහන්සේගේ සභාව වහලුන්ට ගැලවීම ගැන දේශනා කරන අතර, ලොව පුරා සිටින උන්වහන්සේගේ ගෝලයන් තැලීම් වලට ලක්වූවන්ට නිදහස ලබාදීමට උත්සාහ කරනවා.

යේසුස්වහන්සේ සිය ප්‍රේරිතවරයෙකු වන සීමොන් පේත්‍රැස්ගෙන් අසන ලද ප්‍රශ්නය නැවතත් අසමින් මම අවසන් කරන්නම්: “ඔබ මට ප්‍රේම කරනවාද?” 11 ශුභාරංචියේ හරය අඩංගු වන්නේ අපි අපි වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන ආකාරය තුළ සහ “[උන්වහන්සේගේ] බැටළුවන් පෝෂණය” කරන ආකාරය තුළයි. 12 අපගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි දැඩි ගෞරවයෙන් හා ප්‍රේමයෙන්, අප සෑම කෙනෙකුටම උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේවසේවයේ කොටසක් වීමට මම ආරාධනා කරනවා, එමෙන්ම උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනු ඇතැයි මම යාච්ඤා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.