ප්‍රධාන සම්මන්ත්‍රණය
ඉල්ලීමට හා පසුව ක්‍රියාකිරීමට ඇදහිල්ල
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඉල්ලීමට හා පසුව ක්‍රියාකිරීමට ඇදහිල්ල

සත්‍යයේ එළිදරව් ලබාගැනීමේ යතුර වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනසුරාදා සන්ධ්‍යාවේදී ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අද උදෑසන සම්මන්ත්‍රණයට හැඳින්වීමක් ලබාදීමේදී සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා “ඔබේ හදවතේ ඇති ප්‍රශ්න සඳහා පිවිතුරු එළිදරව් මෙම සම්මන්ත්‍රණය ප්‍රතිඵල ලබාදෙන හා අමතක නොවන එකක් කරනවා. මේ දින දෙක තුළ ඔබ අසනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ සඳහා උපකාර කිරීමට ශුද්ධාත්මයාණන්ගේ දේවසේවය ඔබ තවමත් සොයා නැතිනම්, දැන් ඒ සඳහා මම ඔබට ආරාධනා කරනවා.” 1 ඔබ සමඟ මෙම හමුවීම සඳහා එළිදරව්වක් ලැබීමට සූදානම් වෙද්දී මම එම ආශිර්වාදය සෙව්වා. මගේ අවංක යාච්ඤාව නම් එම එළිදරව්ව දෙවියන්වහන්සේගෙන් ඔබට ලැබේවා යන්නයි.

දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලබාගැනීමේ ක්‍රමය ආදම් සහ ඒවගේ දවස් වල සිටම වෙනස් වී නෑ. ආරම්භයේ සිට අද දක්වාම ස්වාමින්වහන්සේගේ කැඳවා ඇති සේවකයන් ලෙස හැඳින්වෙන සෑම කෙනෙකුටම එය එසේයි. ඔබටත් මටත් එය එසේමයි. එය සැමවිටම සිදුවන්නේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන්. 2

දෙවියන්වහන්සේ ඔහුගේ හෘදයාංගම අවශ්‍යතාවයට පිළිතුරු දෙන බව විශ්වාස කරමින්, ජෝසෆ් ස්මිත් නමැති යෞවනයා හට දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීමට තරම් ඇදහිල්ලක් තිබුණා. පැමිණුනු එම පිළිතුර ලෝකය වෙනස් කළා. පාපයෙන් නිදහස් වීමට කුමන සභාවට සම්බන්ධ විය යුතුදැයි දැනගැනීමට ඔහුට අවශ්‍ය වුණා. ඔහුට ලැබුණු පිළිතුර සෑමවිටම වඩා හොඳ ප්‍රශ්න ඇසීමට සහ එතැන් පටන් ආරම්භ වී තිබූ අඛණ්ඩව ගලා එන එළිදරව් මත ක්‍රියාකිරීමට ඔහුව දිරිමත් කළා. 3

මෙම සම්මන්ත්‍රණයේදී ඔබේ අත්දැකීම ඒ හා සමාන වෙන්න පුළුවන්. ඔබ පිළිතුරු සොයන ප්‍රශ්න ඔබට තිබෙනවා. ස්වාමින්වහන්සේගේ සේවකයන් තුළින් ඔබට පිළිතුරු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වීමට තරම් ප්‍රමාණවත් ඇදහිල්ලක් ඔබට තිබෙනවා. 4 කථිකයින්ගෙන් ශබ්දනගා පිළිතුරු සඳහා අසන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන නමුත්, ඔබට ඔබේ ආදරණීය පියාණන්වහන්සේගෙන් යාච්ඤාවෙන් ඉල්ලන්න පුළුවන්.

ඔබේ අවශ්‍යතාවන්ට සහ ඔබේ අධ්‍යාත්මික සූදානමට ගැලපෙන පරිදි පිළිතුරු ලැබෙන බව මම අත්දැකීමෙන් දන්නවා. ඔබේ හෝ අන් අයගේ සදාකාලික සුභසිද්ධියට වැදගත් පිළිතුරක් ඔබට අවශ්‍ය නම්, පිළිතුර බොහෝ විට ලැබීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත් ඒ උනත්—ජෝසෆ් ස්මිත්ට මෙන්—ඉවසිලිවන්තව සිටීමට ඔබට පිළිතුරක් ලැබෙන්නට පුළුවන්. 5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබ තැබූ ඇදහිල්ල උන්වහන්සේගේ වන්දිගෙවීමේ ක්‍රියාව තුළින් සිත මෘදු කරගැනීමට හේතුවී තිබෙනවා නම්, ඔබේ යාච්ඤා වලට පිළිතුරු වශයෙන් ආත්මයාණන්ගේ මිමිණුම් ඔබට වඩාත් හොඳින් දැනෙයි. මගේ පෞද්ගලික අත්දැකීම නම්, මට අභ්‍යන්තර නිහඬතාවක් සහ ස්වාමින්වහන්සේගේ කැමැත්තට යටත්විමක් දැනෙන විට—සැබෑවක් වන—එම ස්ථිර, කුඩා හඬ මගේ මනසේ පැහැදිලියි ඒවගේම එය තේරුම්ගැනීමට ලේසියි. එම නිහතමානී හැඟීම වඩාත් හොඳින් මෙසේ විස්තර කරන්නට පුළුවන් “මගේ කැමැත්ත නොව ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවේවා.” 6

මෙම සම්මන්ත්‍රණයේ කථිකයන් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ලෙස හඳුන්වන ඉගැන්වීම් කිරීම ඔබට ඇසීමට ලැබීමට හේතුව, මෙම එළිදරව් කිරීමේ ක්‍රියාවලියයි. 7 එළිදරව් අප වෙත එන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපේ හදවත් තුළට ගෙන එය අපේ ජීවිත තුළ ක්‍රියාත්මක කිරීමට අප උත්සාහ කරන ප්‍රමාණයට සමානුපාතිකවයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු සත්‍යයේ එළිදරව් ලැබීමට යතුර බවත් එමෙන්ම අපි ගැලවුම්කරුවාණන්ගේ මගපෙන්වීම අනුගමනය කරන බවට ආත්ම විශ්වාසය ලැබීමට යතුර බවත් මොර්මොන්ගේ පොතේ නෙපි අපට උගන්වපු ආකාරය ඔබට මතක ඇති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෞකිකත්වය කරා උපත ලැබීමට සියවස් ගණනාවකට පෙර නෙපි මෙම වචන ලිව්වා:

“දේවදූතයන් කථාකරන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙනි; එමනිසා ඔවුහු ක්‍රිස්තුස්වහ්න්සේගේ වචන කථාකරන්නෝය. එසේහෙයින්, මම නුඹලා හට පවසන්නෙමි, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳින්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළ යුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය.

“එසේහෙයින්, දැන් මම මෙම වචන කතා කළ පසුව, ඒවා නුඹලාට තේරුම්ගත නොහැක්කේ නම් ඒ නුඹලා අසන්නේවත්, නැතිනම් තට්ටු කරන්නේවත් නොමැති හෙයිනි; එසේහෙයින්, නුඹලා ආලෝකයට නොපමුණුවා, එහෙත් අන්ධකාරයේ නැසෙනු ලබන්නෝය.

“මක්නිසාද බලන්න, මම නැවතත් නුඹලා හට පවසන්නෙමි එනම් නුඹලා මාර්ගයෙන් ඇතුළත් වී, තවද ශුද්ධාත්මයාණන්වහන්සේව ලැබුවා නම්, එය නුඹලා කළ යුතු සියලු දේ නුඹලාට පෙන්වනු ලබන්නේය.

“බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ දහම මෙයයි, තවද උන්වහන්සේ තමන්වහන්සේවම මාංශයෙන් යුතුව නුඹලාට ප්‍රකාශ කරන තුරු තවද එහි වෙනත් දහමක් ලබාදෙනු නොලබන්නේය. තවද එවිට උන්වහන්සේ තමන්වහන්සේවම මාංශාකාරයෙන් ප්‍රකාශ වූ විට, උන්වහන්සේ නුඹලා හට පවසන දේ කරන්නට නුඹලා වගබලාගන්න.” 8

ස්වාමින්වහන්සේ අද සහ ඉදිරි දින වලදී ඔබට සහ මට උන්වහන්සේගේ සේවකයන් තුළින් දේවල් කියයි. අප කළ යුතු දේවල් මොනවාදැයි උන්වහන්සේ අපට කියයි. 9 ගැලවුම්කරුවාණන් ඔබටත් මටත් කෑ ගසා ආඥා කරන්නේ නෑ. ඔහු එලයිජාට ඉගැන්වූ පරිදි:

“උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමින්වහන්සේ ඒ ළඟින් ගිය සේක, ස්වාමින්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූ සේක. හුළඟට පසු පොළෝ කම්පාවක් විය; එහෙත් ස්වාමින්වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක:

“පොළෝ කම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමින්වහන්සේ ගින්නෙහි නොවූ සේක: ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක් විය.” 10

එම හඬට සවන්දීම ලැබෙන්නේ උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙන්. එවිට අපි ප්‍රමාණවත් ඇදහිල්ලක් සමඟ, උන්වහන්සේ ඉල්ලන ඕනෑම දෙයක් ගොස් කිරීමට අදහසින් මගපෙන්වීමක් ඉල්ලයි. 11 උන්වහන්සේ අසන ඕනෑම දෙයක් අන් අයට ආශිර්වාද කරන බව දැනගැනීමට අපි ඇදහිල්ල වර්ධනය කරගෙන සිටිනු ඇති අතර, උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය නිසා එම ක්‍රියාවලිය තුළින් අපට පවිත්‍ර විය හැකියි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල නිසා පියාණන්වහන්සේගෙන් පිළිතුරු සෙවීමට අපව යොමුකරවනු ඇති බැවින්, උන්වහන්සේගේ මගපෙන්වීමට ඇහුම්කන්දීමට සහ කීකරු වීමට අධිෂ්ඨානයෙන් හා උනන්දුවෙන් සිටීමට හැකිවන තරමින් ගැලවුම්කරුවාණන්ගේ මෘදු ස්පර්ශය එම ඇදහිල්ල තුළින්ම ගෙන එනු ලැබෙයි. එම කාර්යය දුෂ්කර වූ විටද, අපි මෙසේ මෙම ගීතිකාවේ වචන ප්‍රීතියෙන් ගායනා කරයි: “සේවය මිහිරියි, මා දෙව් රජුනි.” 12

ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපේ ජීවිත වල හා හදවත් තුළ වැඩෙන තරමටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ආශිර්වාද කෙදිනකවත් නොලැබූ හෝ එය පවත්වාගැනීමට වෙහෙසෙන අය කෙරෙහි අපට වැඩි ආදරයක් සහ අනුකම්පාවක් දැනෙයි. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය නොමැතිව ස්වාමින්වහන්සේගේ ආඥා තබාගැනීම දුෂ්කරයි. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇතැමුන්ගේ ඇදහිල්ල නැතිවී යන හෙයින්, හොඳ නපුර බවත් සහ නපුර හොඳ බවත් කියමින් ඔවුන් උන්වහන්සේගේ අවවාදයට පහර දීමට පවා පුළුවන්. 13 මෙම ඛේදජනක දෝෂය මගහරවාගැනීම සඳහා, අපට ලැබෙන ඕනෑම පුද්ගලික එළිදරව්වක් ස්වාමින්වහන්සේගේ හා උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් සමඟ සමපාත වීම ඉතා වැදගත්.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීමට ඇදහිල්ල අවශ්‍ය වෙනවා. උන්වහන්සේ උදෙසා අන් අයට සේවය කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල අවශ්‍ය වෙනවා. උන්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීම සඳහා සහ ආත්මයාණන්ගේ හඬ නොදැනෙන හෝ එම පණිවිඩයේ යථාර්ථය පවා ප්‍රතික්ෂේප කරන මිනිසුන්ට එය පිළිගැන්වීමට ඇදහිල්ල අවශ්‍ය වෙනවා. නමුත් අපි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට—සහ උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයාව අනුගමනය කරන විට—ලොව පුරා ඇදහිල්ල වර්ධනය වෙනවා. තාක්ෂණය නිසා සමහරවිට ඉතිහාසයේ වෙනත් ඕනෑම දින දෙකකට වඩා මෙම සති අන්තයේදී දෙවියන්වහන්සේගේ දරුවන් දෙවියන්වහන්සේගේ වචනය අසා එය හඳුනාගැනීමට ඉඩ තිබෙනවා.

මෙය ස්වාමින්වහන්සේගේ සභාව සහ පොළොවේ රාජ්‍යය බවට වර්ධනය වන ඇදහිල්ලත් සමඟම, එම සාමාජිකයින් ඔවුන්ගේම අභියෝග වලට මුහුණදෙන විටත්, සාමාජිකයින් වැඩි පිරිසක් දසයෙන් කොටස ගෙවා අවශ්‍යතා ඇති අයට ආධාර කිරීමට පරිත්‍යාග කරමින් සිටිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ඔවුන්ව කැඳවා ඇතැයි යන ඇදහිල්ලෙන්, ලොව පුරා සිටින ධර්මදූතයින් වසංගතයක් මගින් ඇති කළ අභියෝග, ධෛර්යයෙන් හා ප්‍රීතියෙන් යුතුව ජයගැනීමට ක්‍රම සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ අමතර උත්සාහයන් වලදී, ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව වර්ධනය වී තිබෙනවා.

විරුද්ධතා සහ අභියෝග බොහෝ කාලයක් තිස්සේ ඇදහිල්ලේ වර්ධනය සඳහා බීජයක් වී තිබෙනවා. විශේෂයෙන්ම නැවත පිහිටුවීම ආරම්භයේදී සහ ස්වාමින්වහන්සේගේ සභාව සොයාගැනීමේ සිටම, එය සැමවිටම සත්‍යයක්. 14

සභාපති ජෝර්ජ් කිව්. කැනන් බොහෝ කලකට පෙර පැවසූ දෙය අද සත්‍යයක් වන අතර ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ සභාවට සහ උන්වහන්සේගේ ජනතාවට නායකත්වය දීමට පුද්ගලිකව පැමිණෙන තුරුම එය එසේ වෙයි: “ශුභාරංචියට කීකරු වීම [පුද්ගලයින්ව] ස්වාමින්වහන්සේ සමඟ ඉතා සමීප හා ආත්මීය සබඳතාවයකට ගෙන එනවා. එය පොළොවේ සිටින මිනිසුන් සහ ස්වර්ගයන් හි සිටින අපේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන් අතර සමීප සම්බන්ධතාවයක් තහවුරු කරනවා. එය සර්වබලධාරියාණන් කෙරෙහි පූර්ණ ආත්ම-විශ්වාසයක් සහ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයගේ කන්නලව් වලට සවන්දීමට හා පිළිතුරු දීමට උන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ හැඟීමක් මිනිස් මනසට ගෙන එනවා. අභියෝග සහ දුෂ්කර කාල වලදී මෙම ආත්ම-විශ්වාසය මිල කළ නොහැකි තරම්. පුද්ගලයෙකුට හෝ මිනිසුන්ට කරදර පැමිණිය හැකියි, ව්‍යසනය වලින් තර්ජන එල්ල වියහැකි අතර සෑම මනුෂ්‍ය බලාපොරොත්තුවක්ම උඩු යටිකුරු වූ බවක් පෙනෙන්නට පුළුවන්, නමුත් ශුභාරංචියට කීකරු වීමෙන් ලැබෙන වරප්‍රසාද වලින් මිනිසුන් ඔවුන් වෙනුවෙන් ප්‍රයෝජන ගත්විට, ඔවුන්ට ස්ථිර ස්ථානයක් තිබෙනවා; ඔවුන්ගේ දෙපා සෙලවිය නොහැකි පර්වතයක් මත තිබෙනවා.” 15

අපි නැගී සිටින පර්වතය වන්නේ, යේසුස්වහන්සේ යනු ක්‍රිස්තුස් බවත්; උන්වහන්සේ පුද්ගලිකව මෙහෙයවන උන්වහන්සේගේ සභාව මෙය බවත්; එමෙන්ම සභාපති රසල් එම්. නෙල්සන් අද උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා බවත් අපගේ සාක්ෂිය වන බව මාගේ සාක්ෂියයි.

සභාපති නෙල්සන් ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම් සොයමින් ඒවා ලබාගන්නවා. මා සඳහා නම්, ඒවා අනුගමනය කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව එම මගපෙන්වීම් සෙවීමේ උදාහරණය ඔහුයි. උන්වහන්සේගේ සභාවේ මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී කතා කළ, හෝ කතා කරන, යාච්ඤා කරන, හෝ ගායනා කරන සැමගේ හදවත් වල ස්වාමින්වහන්සේගේ මගපෙන්වීමට කීකරු වීමේ එම අධිෂ්ඨානයම තිබෙනවා.

මෙම සම්මන්ත්‍රණය නරඹන හෝ සවන්දෙන පෘථිවිය පුරා සිටින අයට ඔවුන් කෙරෙහි වූ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ හැඟීමක් ඇතිවේවායි මම යාච්ඤා කරනවා. ගැලවුම්කරුවාණන්ට ඔබ කෙරෙහි ඇති ප්‍රේමයෙන් සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වන, උන්වහන්සේගේ ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහි වූ උන්වහන්සේගේ ප්‍රේමයෙන් කුඩා කොටසක් මට දැනේවායි මම කළ යාච්ඤාවට ස්වර්ගික පියාණන්වහන්සේ පිළිතුරු දී තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත්වන බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. මෙය උන්වහන්සේගේ සභාවයි. උන්වහන්සේ එහි ශීර්ශයයි. උන්වහන්සේ, උන්වහන්සේගේ ස්වර්ගික පියාණන් සමඟ නිව් යෝර්ක්හි වනයක ජෝසෆ් ස්මිත්ට පුද්ගලිකවම පෙනී සිටියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ පූජකවරය ස්වර්ගීය පණිවිඩකරුවන් හරහා නැවත පිහිටුවා තිබෙනවා. 16 ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, එය සත්‍ය බව මම දන්නවා.

ඔබට එම සාක්ෂියම ලැබේවායි මම යාච්ඤා කරනවා. ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබේ නිරන්තර සහායකයා වීමට ඉඩ සලසන, ගිවිසුම් ඇතිකර තබාගැනීමට ඔබට අවශ්‍ය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලන පිණිස මම යාච්ඤා කරනවා. මාගේ ප්‍රේමය සහ මාගේ ස්ථිර සාක්ෂිය මා ඔබ සමඟ තබායන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.