ප්‍රධාන සම්මන්ත්‍රණය
“මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද?”
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


“මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද?”

ඔබ මුලින්ම ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බව පෙන්වීමට ඔබේම ජීවිතය තුළ ඔබට කළ හැකි දේවල් මොනවාද?

2019 නොවැම්බර් මාසයේදී, මම සහ මගේ මිතුරා ශුද්ධ භූමියට බලන්නට ගියා. එහි සිටියදී, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය පිළිබඳ ශුද්ධලියවිලි සමාලෝචනය කර අධ්‍යයනය කළා. යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ තම ගෝලයන් හමුවූ ස්ථානයක් විය හැකි, ගලීලි මුහුදේ වයඹදිග වෙරළ තීරයේ අපි එක් උදෑසනක සිටගෙන සිටියා.

යේසුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි පසු, අපි යොහාන් 21 වන පරිච්ඡේදයේ කියවූ පරිදි, පේත්‍රැස් සහ අනෙකුත් ගෝලයන් මුළු රාත්‍රිය පුරාම මසුන් මැරීමේදී සාර්ථක වුණේ නෑ. 1 උදෑසනදී, බෝට්ටුවේ අනෙක් පැත්තේ දැල දැමිය යුතු යැයි කියන පුද්ගලයෙක් වෙරළේ සිටගෙන සිටින ආකාරය ඔවුන් දුටුවා. ඔවුන්ව මවිතයට පත්කරමින්, ආශ්චර්යමත් ලෙස දැල පිරුණා. 2

එම මිනිසා ස්වාමින්වහන්සේ බව ඔවුන් වහාම හඳුනාගත් අතර, ඔවුහු උන්වහන්සේට ආචාර කිරීමට දුවගෙන ආවා.

මාළුවන්ගෙන් පිරී තිබූ දැල ඔවුන් වෙරළට ඇදගෙන යන විට යේසුස්වහන්සේ මෙසේ පැවසුවා, “ඇවිත් කන්න.” 3 යොහාන් මෙසේ වාර්තා කළා “මෙසේ ඔවුන් කෑ පසු, යේසුස්වහන්සේ සීමොන් පේත්‍රැස්ට කථාකොට: යෝනාස්ගේ පුත්‍ර වූ සීමොන්, මේ දේවල් වඩා නුඹ මට ප්‍රේම කරනවාදැයි ඇසූසේක?” 4

මම එම මුහුදු වෙරළේම සිටගෙන සිටියදී, ගැලවුම්කරුවාණන්ගේ එම ප්‍රශ්නය උන්වහන්සේ කවදා හෝ මගෙන් අසනු ඇති වැදගත්ම ප්‍රශ්නයක් බව මට වැටහුණා. “රසල්, ඔබ මේ දේවල් වලට වඩා මට ආදරය කරනවාද?” යනුවෙන් උන්වහන්සේගේ හඬ අසන ආකාරය මට ඇසෙනවා මෙන් වුණා.

“මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාද” යනුවෙන් පේත්‍රැස්ගෙන් ඇසූ විට යේසුස්වහන්සේ සඳහන් කළේ කුමක් ගැනද කියා ඔබ පුදුම වෙනවාද?

අපේ කාලයේදී මෙම ප්‍රශ්නය අපටම අදාළ කරගනිමින්, සමහරවිට අපි කෙතරම් කාර්යබහුලද සහ අපේ අවධානය සහ කාලය සඳහා තරඟ කරන බොහෝ ධනාත්මක හා සෘණාත්මක බලපෑම් මොනවාද කියා ස්වාමින්වහන්සේ අපෙන් අසනවා වෙන්නට පුළුවන්. මේ ලෝකයේ දේවල් වලට වඩා අපි උන්වහන්සේට ආදරෙයිද කියා උන්වහන්සේ අප සෑම කෙනෙකුගෙන්ම අසනවා වෙන්නට පුළුවන්. මෙය අප ජීවිතයේ සැබවින්ම අගය කරන්නේ කුමක්ද, අප අනුගමනය කරන්නේ කවුරුන්වද, සහ පවුලේ සාමාජිකයින් හා අසල්වාසීන් සමඟ අපගේ සබඳතා දෙස අප බලන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක්ද වෙන්නට පුළුවන්. නැත්නම් සමහරවිට අපට සැබවින්ම ප්‍රීතිය හා සතුට ගෙනදෙන්නේ කුමක්ද කියා උන්වහන්සේ අසනවා වෙන්නට පුළුවන්.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේ ගෝලයන්ට ලබාදුන්, සහ උන්වහන්සේ අපට පිළිගන්වන ප්‍රීතිය, සතුට, සහ සාමය මේ ලෝකයේ දේවල් අපට ලබාදෙනවාද? අපි උන්වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම තුළින් පමණක් උන්වහන්සේට අපට සැබෑ ප්‍රීතිය, සතුට, සහ සාමය ගෙන එන්නට පුළුවන්.

“මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද” යන ප්‍රශ්නයට අපි පිළිතුරු දෙන්නේ කොහොමද?

මෙම ප්‍රශ්නයේ සම්පූර්ණ අර්ථය අපි සොයාගත් විට, අපට වඩා හොඳ පවුල් සාමාජිකයින්, අසල්වැසියන්, පුරවැසියන්, සභා සාමාජිකයන්, සහ දෙවියන්වහන්සේගේ පුතුන් හා දියණියන් වීමට පුළුවන්.

මගේ වයසේදී, මම බොහෝ අවමංගල්‍ය උත්සව වලට සහභාගී වී තිබෙනවා. මා දුටු දේ ඔබ බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර ඇති බව මට විශ්වාසයි. මියගිය පවුලේ සාමාජිකයෙකුගේ හෝ මිතුරෙකුගේ ජීවිතය සමරන විට, කථිකයා එම පුද්ගලයාගේ නිවසේ ප්‍රමාණය, කාර් ගණන, හෝ බැංකු ගිණුම් ශේෂයන් ගැන කථා කිරීම වෙන්නේ නැති තරම්. ඔවුන් සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය පළකිරීම් ගැන කතා කරන්නේ නෑ. මම සහභාගී වී ඇති බොහෝ අවමංගල්‍ය උත්සව වලදී, ඔවුන් තම ආදරණීයයාගේ සබඳතා, අන් අයට කළ සේවය, ජීවිත පාඩම් සහ අත්දැකීම්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇති ඔවුන්ගේ ආදරය කෙරෙහි අවධානය යොමුකරනවා.

මාව වරදවා තේරුම්ගන්න එපා. ලස්සන නිවසක් හෝ ලස්සන කාර් එකක් තිබීම වැරදි යැයි හෝ සමාජ මාධ්‍ය භාවිතා කිරීම නරක යැයි මම කියන්නේ නෑ. මම කියන්නේ, අවසානයේදී ගැලවුම්කරුවාණන්ට ප්‍රේම කිරීම හා සසඳන විට එම කාරණා වැදගත් වන්නේ ඉතා සුළු වශයෙන්.

අපි උන්වහන්සේට ප්‍රේම කරන විට සහ උන්වහන්සේව අනුගමනය කරන විට, අපිට උන්වහන්සේ ගැන ඇදහිල්ලක් තිබෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගන්නවා. අපි අවසානය දක්වා විඳදරාගෙන ගිවිසුම් මාවතේ සිටිනවා. අමනාපකම් ඉවත් කර දමමින්, අපි පවුලේ සාමාජිකයින්ට සහ අසල්වාසීන්ට සමාව දෙනවා. දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපි දැඩි ලෙස උත්සාහ කරනවා. අපි කීකරු වීමට උත්සාහ කරනවා. අපි ගිවිසුම් ඇතිකරගෙන තබාගන්නවා. අපි අපේ පියවරුන්ට සහ මව්වරුන්ට ගෞරව කරනවා. අපි සෘණාත්මක ලෞකික බලපෑම් පසෙක තබනවා. උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අපි අපිවම සූදානම් කරගන්නවා.

“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය” තුළ අපි මෙසේ කියවනවා: “[යේසුස්වහන්සේ] කවදා හෝ නැවත පොළොවට පැමිණෙනු ඇත. … උන්වහන්සේ රජවරුන්ගේ රජ ලෙස පාලනය කරන අතර සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා ලෙස රජකම් කරන අතර, සෑම දණහිසක්ම නැවී සෑම දිවක්ම උන්වහන්සේ ඉදිරියේ නමස්කාරය උදෙසා කථා කරනු ඇත. අප සෑම කෙනෙකුම අපගේ ක්‍රියාවන් හා අපේ හදවතේ ආශාවන් අනුව විනිශ්චය කරනු ලැබීමට සිටගනු ඇත.” 5

“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” යන ලියවිල්ලට අත්සන් තැබූ එක් ප්‍රේරිතවරයෙකු වශයෙන් මට කිව හැක්කේ යේසුස්වහන්සේ “ලෝකයෙහි ආලෝකයයි, ජීවනය සහ බලාපොරොත්තුවයි” 6 යන බව දැනසිටීම නිසා සෑම දිනකම උන්වහන්සේට වැඩි වැඩියෙන් ප්‍රේම කිරීමේ වැඩි ආශාවක් මට ඇතිවෙනවා.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේලා අපට ආදරය කරන බව මම සාක්ෂි දරනවා. ශුද්ධලියවිලි මෙසේ උගන්වනවා “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” 7 ශුද්ධලියවිලි මෙසේත් උගන්වනවා යේසුස්වහන්සේ “ලෝකයට කෙතරම් ප්‍රේම කළේදයත් එනම් සිය ස්වකීය ජීවිතය පූජා කළ සේක, එනම් විශ්වාස කරන්නාවූ සියල්ලන් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් [සහ දියණියන්] බවට පත්වීමටය.” 8

ස්වර්ගික පියාණන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කළාද කිවහොත්, ගැලවුම්කරුවෙකුව එහි මධ්‍යම චරිතය වශයෙන් තබමින් උන්වහන්සේ තම ගැලවීමේ සැලැස්ම සකස් කළා. ඒවගේම යේසුස්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කළාද කිවහොත්, ස්වර්ගයේ පැවතුණු මහා සභාවේදී, ස්වර්ගික පියාණන්වහන්සේ “මා යැවිය යුත්තේ කාවද?” ලෙස ඇසූ විට, පියාණන්වහන්සේගේ සියලු ආත්ම දරුවන්ගේ කුලුඳුලා වූ යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙන්න මා, මාව එහි යවනු මැනව” ලෙස පැවසුවා. 9 උන්වහන්සේ පියාණන්වහන්සේට මෙසේ කිව්වා , “පියාණනි, ඔබවහන්සේගේ කැමැත්ත ඉටුවී මහිමය සදාකාලයටම ඔබවහන්සේගේ වේවා.” 10 යේසුස්වහන්සේ ස්වේච්ඡාවෙන්ම අපේ ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් වීමට ඉදිරිපත් වූ නිසා අපට උන්වහන්සේලා හා සමාන වී නැවත උන්වහන්සේලාගේ අභිමුඛය වෙත යා හැකියි.

උන්වහන්සේලාගේ අභිමුඛයට යාමට අපි විශ්වාස කළ යුතු බව මෙම ශුද්ධලියවිලි දෙකෙන්ද උගන්වනවා. අපි යේසුස්වහන්සේ කෙරෙහි හා දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන විශ්වාස කළ යුතුයි. විශ්වාස කිරීම යනු, අභියෝග සහ ආරවුල් මධ්‍යයේ වුවත්, අපගේ ගැලවුම්කරුවාණන්ට ප්‍රේම කිරීම සහ අනුගමනය කිරීම, සහ ආඥා පිළිපැදීමයි.

අද ලෝකය නොසන්සුන්. බලාපොරොත්තු සුන්වීම්, එකඟ නොවීම්, පීඩාවන්, සහ අවධානය වෙනතකට යොමුකිරීම් මෙහි තිබෙනවා.

2017 දී කතා කරමින්, සභාපති ඩැලන් එච්. ඕක්ස් පහත සඳහන් දේවල් සඳහන් කළා: “මේ විශාල කරදර වලින් පිරුණු අභියෝගාත්මක කාලයන්ය: ඒ යුද්ධ සහ යුද්ධ පිළිබඳ කටකථා, බෝවන රෝග බෝ විය හැකි වසංගත, නියඟයන්, ගංවතුර, සහ ගෝලීය උණුසුම යන ඒවායි.” 11

අපට බලවත් අභියෝග වලට මුහුණදීමට සිදු වුවද, යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය සහ බලාපොරොත්තුව නැති කරගැනීමට අපට නොහැකියි. ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ අපව කිසිදා අමතක කරන්නේ නෑ. උන්වහන්සේලා අපට ප්‍රේම කරනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, ස්වර්ගික පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපේ ජීවිත වල මුල්තැනට තැබීමේ වැදගත්කම, සභාපති රසල් එම්. නෙල්සන් අපට ඉගැන්වුවා. ඊශ්‍රායෙල් යන වචනයේ එක් අර්ථයක් නම් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න” බව සභාපති නෙල්සන් අපට ඉගැන්වුවා. 12

ඔහු අප සෑම කෙනෙකුගෙන්ම මෙවැනි ප්‍රශ්න ඇසුවා: “ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද? උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ආඥා, සහ උන්වහන්සේගේ ගිවිසුම් වලට ඔබ දිනපතා කරන දෙයට බලපෑම් කිරීමට ඔබ ඉඩදෙනවාද? උන්වහන්සේගේ හඬට වෙනත් ඕනෑම දෙයකට වඩා ප්‍රමුඛතාවය ලබාදීමට ඔබ ඉඩදෙනවාද? අනෙක් සෑම අභිලාෂයකට වඩා ප්‍රමුඛස්ථානය ගැනීමට උන්වහන්සේට අවශ්‍ය ඕනෑම දෙයකට ඉඩදීමට ඔබ කැමතිද? ඔබගේ කැමැත්ත උන්වහන්සේ තුළ ගිල්වා තැබීමට ඔබ කැමතිද? 13

අපගේ සැබෑ සතුට රඳා පවතින්නේ දෙවියන්වහන්සේ සමඟත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟත්, එමෙන්ම එකිනෙකා සමඟත් බව අපි සැමවිටම මතකතබාගත යුතුයි.

අපේ ආදරය විදහා දැක්විය හැකි එක් ක්‍රමයක් නම් පවුල, මිතුරන්, සහ අසල්වැසියන් සමඟ එකිනෙකාට වඩා හොඳ සේවයක් කිරීම සඳහා කුඩා දේවල් කිරීමයි. මේ ලෝකය යහපත් තැනක් කරන දේවල් කරන්න.

ඔබ මුලින්ම ස්වාමින්වහන්සේට ප්‍රේම කරන බව පෙන්වීමට ඔබේම ජීවිතය තුළ ඔබට කළ හැකි දේවල් මොනවාද?

අපේ අසල්වැසියන්ට උන්වහන්සේ ප්‍රේම කරන ආකාරයටම අපි ඔවුන්ට ප්‍රේම කිරීම කෙරෙහි අවධානය යොමුකරන විට, අපි අප අවට සිටින අයට සැබැවින්ම ආදරය කිරීමට පටන්ගන්නවා. 14

මම නැවතත් අහනවා, “මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද?” යන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රශ්නයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

මා කළාක් මෙන් ඔබත් මෙම ප්‍රශ්නය ගැන සලකාබලන විට, බොහෝ කලකට පෙර පේත්‍රැස් විසින් පිළිතුරු දුන් ලෙස “එසේය, ස්වාමිනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේක” 15 යනුවෙන් පිළිතුරු දී, දෙවියන්වහන්සේට සහ ඔබ අවට සිටින සියලුදෙනාටම ප්‍රේම කරනු ඇතැයි සහ සේවය කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.

අප ජීවත් වන ආකාරය සහ එකිනෙකාට සලකන ආකාරය සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට මගපෙන්වීමක් ලෙස ලැබීම අපට ආශිර්වාදයක් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ තුළ, දෙවියන්වහන්සේගේ සෑම දියණියක්ම සහ පුත්‍රයෙක්ම උන්වහන්සේට ඉතා වටිනා බව අපට වැටහෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ආදරණීය ගැලවුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්. එමෙන්ම මෙම සාක්ෂිය නිහතමානීව උන්වහන්සේගේ නාමයෙන් බෙදාගන්නවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.