ප්‍රධාන සම්මන්ත්‍රණය
උතුම්ම වස්තුව
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උතුම්ම වස්තුව

අප සෑම කෙනෙකුම ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණිය යුත්තේ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි සම්මුති විරහිත කැපවීමකින් යුතුවයි.

යේසුස්වහන්සේ වෙත දිව ගොස්, උන්වහන්සේගේ පාමුල දණින් වැටී, අව්‍යාජ අවංකභාවයකින් ස්වාමින්වහන්සේගෙන්, “සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස මා විසින් කුමක් කරන්නද?” කියා ඇසූ ධනවත් තරුණ පාලකයෙකු ගැන ශුද්ධලියවිලි වල සඳහන් වෙනවා. මෙම මිනිසා විසින් ඇදහිලිවන්තව තබා ඇති දීර්ඝ ආඥා ලැයිස්තුවක් සමාලෝචනය කිරීමෙන් පසු, යේසුස්වහන්සේ මෙම මිනිසාට පැවසුවේ ඔහුගේ සියලු දේ විකුණා, එයින් ලැබෙන ආදායම දුප්පතුන්ට දී, ඔහුගේ කුරුසය රැගෙන උන්වහන්සේ අනුව පැමිණෙන ලෙසයි. මෙම නියෝගයේ නිර්භීතභාවය නිසා තරුණ පාලකයාට—ඔහුගේ මිල අධික සෙරෙප්පු තිබියදීත්—කකුල් සීතල වීමට පටන්ගත් අතර, “බොහෝ සම්පත් තිබුණු බැවින්” ඔහු ශෝකයෙන් යුතුව පිටව ගිය බව, ශුද්ධලියවිල්ලේ සඳහන් වෙනවා. 1

පැහැදිලිවම, මෙය ධනයේ පරිහරණය සහ දුප්පතුන්ගේ අවශ්‍යතා පිළිබඳ වැදගත් අවවාදාත්මක කතාවක්. නමුත් අවසානයේදී එය දිව්‍යමය වගකීම කෙරෙහි මුළු හදවතින්ම පැමිණෙන, වෙන් නොකළ භක්තිය පිළිබඳ කතාවක්. ධනය ඇතිව හෝ නැතිව, අප සෑම කෙනෙකුම ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණිය යුත්තේ මෙම තරුණයාගෙන් බලාපොරොත්තු වූ පරිදි උන්වහන්සේගේ ශුභාරංචිය සඳහා වූ සම්මුති විරහිත කැපවීම සමඟයි. වර්තමාන තරුණයින්ගේ ව්‍යවහාරික භාෂාවෙන්, අපි “එයට ඇත්තෙන්ම එකඟයි” යැයි ප්‍රකාශ කළ යුතුයි. 2

සී. එස්. ලුවිස් විසින්, ඔහුගේ චරිතවත් ලෙස අමතක නොවන ගද්‍ය රචනාවේ, ස්වාමින්වහන්සේ අපට මෙවැනි දෙයක් කියන අයුරු සිතාගන්නවා: ‘මට ඔබව අවශ්‍ය [තරමටම], මට ඔබේ කාලය … [හෝ] ඔබේ මුදල් … [හෝ] ඔබේ කාර්යය, අවශ්‍ය නැත. [ඔබ කප්පාදු කරන එම ගස.] මට මෙහි අත්තක් සහ එහි අත්තක් කපාදැමීමට අවශ්‍ය නැත, … මුළු [එකම] බිම හෙළන්නට මට අවශ්‍යය. [තවද එම දත.] මට එය විදීමට හෝ, අලංකාර කිරීමට හෝ, [පිරවීමට] අවශ්‍ය නැත. එය ඉවත් කිරීමට [මට අවශ්‍යය]. [ඇත්තවශයෙන්ම, මට අවශ්‍ය ඔබ ඔබේ] මුළුමනින්ම ස්වාභාවික ස්වභාවය [මට] භාරදීමය. … [එමෙන්ම] ඒ වෙනුවට මම ඔබට නව කෙනෙකු ලබාදෙන්නෙමි. ඇත්තෙන්ම, මම ඔබට මාව ලබාදෙන්නෙමි: මගේ … කැමැත්ත [ඔබේ කැමැත්ත] බවට පත්වනු ඇත.” 3

මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපට කථා කරන සියලුදෙනාම, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, ක්‍රිස්තුස්වහන්සේ මෙම ධනවත් තරුණ මනුෂ්‍යයාට පැවසූ දේ කියයි: “නුඹගේ ගැලවුම්කරුවාණන් වෙතට පැමිණෙන්න. සම්පූර්ණයෙන්ම හා මුළු හදවතින්ම පැමිණෙන්න. එය කෙතරම් බර වූවත්, නුඹේ කුරුසිය රැගෙන, උන්වහන්සේව අනුගමනය කරන්න.” 4 ඔවුන් මෙය කියනු ඇත්තේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ, අඩ මිනුම්, ආරම්භයන් හා නැවැත්වීම්, ආපසු හැරීම් තිබිය නොහැකි බව දැනගෙනයි. මියගිය දෙමව්පියෙකු භූමදාන කිරීමට හෝ වෙනත් පවුලේ සාමාජිකයින්ගෙන් සමුගැනීමට හෝ අවසර ඉල්ලා සිටි අයට, යේසුස්වහන්සේගේ පිළිතුර බලවත් හා නිසැකයි. “එය අනෙක් අයට භාරදෙන්න,” කියා ඔහු පැවසුවා. “නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැත.” 5 අපේ සිතේ ආශාවට පටහැනි දේ පවා වන, අසීරු දේ අපෙන් අසන විට, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අපි සහතික වන විශ්වාසවන්තකම අපගේ ජීවිතයේ උත්තරීතර භක්තිය බව මතකතබාගන්න. “මුදල් නොමැතිව සහ මිලක් නොමැතිව” 6 එය ලබාගත හැකි බව යෙසායා අපට සහතික කළත්—එය එසේ වුවත්—“සෑම දෙයකටම වඩා නොඅඩුවෙන්” 7 යන ටී. එස්. එලියොට්ගේ පදයෙන් පවසන ලෙස මිලක් තබාගෙන අපි සූදානම් විය යුතුමයි.

ඇත්තවශයෙන්ම, මෙම කාර්යයේ පූර්ණ අධ්‍යාත්මික ගිලීයාමෙන් අපව වළක්වා ගතහැකි, යම් පුරුදු හෝ අඩුපාඩු හෝ පෞද්ගලික ඉතිහාසයක් අප සියලුදෙනාටම තිබෙනවා. නමුත් දෙවියන්වහන්සේ අපේ පියාණන් වන අතර අප අත්හැරිය පව් වලට සමාවදීමට හා ඒවා අමතක කිරීමට උන්වහන්සේ අති දක්‍ෂයෙක්, සමහරවිට එසේ වන්නේ අපි එසේ කරන්නට උන්ටවහන්සේට බොහෝ පුරුදු කරවන නිසා වෙන්නත් පුළුවන්. ඕනෑම අවස්ථාවක, අපගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇතිකරගැනීමට අපට දැනෙන ඕනෑම වේලාවක අප සෑම කෙනෙකුටම දිව්‍යමය පිහිටක් තිබෙනබා. දෙවියන්වහන්සේ සාවුල්ට “වෙනත් හදවතක්” දුන්නා. 8 එසකියෙල් සියලුම පුරාණ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ඇගේ අතීතය ඉවත දමා “අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද” ඇතිකරගන්නා ලෙසයි. 9 ප්‍රාණය ප්‍රසාරණය වීමට හේතුවන “බලවත් වෙනසක්” 10 සඳහා ඇල්මා ඉල්ලා සිටි අතර, “මිනිසෙකු නැවත ඉපදෙනවා හැර ඔහුට දේව රාජ්‍යය දැකිය නොහැකි” 11 බව යේසුස්වහන්සේ විසින්ම ඉගැන්වුවා. පැහැදිලිවම වෙනස්වීමේ හා වඩාත් උසස් තලයක ජීවත්වීමේ හැකියාව සැමවිටම එය සොයන අයට දෙවියන්වහන්සේගේ දීමනාවක් වී තිබෙනවා.

මිත්‍රයිනි, අපේ වර්තමාන මොහොතේ අපට සෑම ආකාරයකම බෙදීම් සහ උප-බෙදීම්, කට්ටල සහ උප-කුලක, ඩිජිටල් ගෝත්‍රිකයන් සහ දේශපාලන අනන්‍යතා, දක්නට ලැබෙන අතර ඒ සමඟ ඕනෑවට වඩා සතුරුකම් ඒ වටා තිබෙනවා. සභාපති රසල් එම්. නෙල්සන්ගේ වාක්‍ය ඛණ්ඩය වන “උසස් හා ශුද්ධ වූ” 12 ජීවිතයක් අපට සෙවිය හැකි දෙයක් විය හැකිදැයි අපෙන්ම විමසිය යුතුයි නේද? එසේ කරන විට, එම ප්‍රශ්නයම මොර්මොන්ගේ පොතේ එම ජනතාව ඉතා ස්ථිරව ඇසූ සහ පිළිතුරු ලැබූ එම විශ්මයජනක කාලය අපි හොඳින් මතක තබාගනියි:

“තවද එය මෙසේ සිදුවිය, එනම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුළ තිබුණු හෙයින් … එහි දේශයේ එම සියලු ජනතාව අතර විවාදයක් නොවීය.

“තවද එහි ඊර්ශ්යාව නොවීය, කෝලහාල නොවීය, … කිසිම ආකාරයක සල්ලාලකමක් නොවීය; තවද සත්‍යයෙන්ම එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවාවූ සියලුම ජනතාව අතර ඊටත් වඩා ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය.

“එහි සොරුන් නොවීය, මිනීමරුවන් නොවීය, එහි ලාමන්වරයෙකුවත් නොවීය, කිසිම ආකාරයක -වරු නොසිටියේය: එහෙත් ඔවුහු එකෙක්ව සිටියෝය, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්ව, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යට උරුමක්කාරයෝව සිටියෝය.

තවද ඔවුන් කෙතරම් ආශිර්වාද ලද්දෝද! 13

තෘප්තිමත්, ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ මෙම ඉදිරි ගමන සඳහා යතුර කුමක්ද? එය “දෙවියන්වහන්සේගේ ප්‍රේමය … මිනිසුන්ගේ හදවත් තුළ වාසය කළේය” යනුවෙන් වූ එක් වාක්‍යයකින් එම පාඨයේ ඇතුළත් කර තිබෙනවා. 14 දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිත සඳහා, එකිනෙකා අතර අපගේ සබඳතා සඳහා, සහ අවසානයේදී සියලුම මනුෂ්‍යවර්ගයා කෙරෙහි අපගේ හැඟීම සඳහා ස්වරය සකසන විට, පැරණි වෙනස්කම්, සීමා කිරීමේ ලේබල්, සහ කෘතීම බෙදීම් පහව යාමට පටන්ගන්නා අතර සාමය වර්ධනය වෙනවා. මොර්මොන්ගේ පොතේ අපේ උදාහරණයෙන් හරියටම සිදුවූයේ එයයි. තවදුරටත් ලාමන්වරුන් හෝ යාකොබ්වරුන් හෝ ජෝසෆ්වරුන් හෝ සෝරාම්වරුන් එහි සිටියේ නෑ. කිසිසේත්ම එහි “-වරුන්” සිටියේ නෑ. එම ජනතාව විසින් එක් ශ්‍රේෂ්ඨ අනන්‍යතාවක් පමණක් අත්පත් කරගෙන තිබුණා. ඔවුන් සියල්ලන්ම “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්” ලෙස හැඳින්වූ බව එහි කියවෙනවා. 15

ඇත්තවශයෙන්ම, අපි කතා කරන්නේ මිනිස් පවුලට දුන් පළමු ශ්‍රේෂ්ඨතම ආඥාව ගැනයි—එනම් වෙන්කිරීමකින් හෝ සම්මුතියකින් තොරව, එනම් අපේ මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට පූර්ණ කැපවීමෙන් ප්‍රේම කිරීමයි. 16 දෙවියන්වහන්සේ කෙරෙහි ඇති මේ ප්‍රේමය විශ්වයේ ඇති පළමු ශ්‍රේෂ්ඨ ආඥාවයි. නමුත් විශ්වයේ ඇති පළමු ශ්‍රේෂ්ඨ සත්‍යය නම්—දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්, බලයෙන්, මනසින්, හා ශක්තියෙන්, පූර්ණ කැපවීමෙන්, වෙන්වීමක් හෝ සම්මුතියක් නොමැතිව අපට ප්‍රේම කරන බවයි. එමෙන්ම උන්වහන්සේගේ සහ අපේ හදවතින් එම තේජවන්ත බලවේගයන් බාධාවකින් තොරව හමුවූ විට, එහි අධ්‍යාත්මික, සදාචාරාත්මක බලය පිළිබඳ සැබෑ පිපිරීමක් සිදුවෙනවා. පසුව, ටෙයිල්හාර්ඩ් ද චාර්ඩින් ලියූ පරිදි, “ලෝක ඉතිහාසයේ දෙවෙනි වතාවටත් මිනිසා ගින්න සොයාගනු ඇත.” 17

අපට දෙවන ශ්‍රේෂ්ඨ ආඥාව මතුපිටින් හෝ සුළු නොවන ආකාරයෙන් ඵලදායීව තබාගත හැක්කේ එවිට සහ ඇත්තෙන්ම එවිට පමණයි. දෙවියන්වහන්සේට පූර්ණ ලෙස ඇදහිලිවන්තව සිටීමට උත්සාහ කිරීමට අපි ප්‍රමාණවත් ලෙස උන්වහන්සේට ප්‍රේම කරන්නේ නම්, අපේ අසල්වැසියාට සහ අපට ප්‍රේම කිරීමේ හැකියාව, ධාරිතාව, කැමැත්ත, සහ මාර්ගය උන්වහන්සේ අපට ලබාදෙනවා. සමහරවිට එවිට අපට නැවත වරක් මෙසේ කීමට හැකිවෙයි, “එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවාවූ සියලුම ජනතාව අතර ඊටත් වඩා ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය.” 18

සහෝදර සහෝදරියනි, ගැටලුව කුමක් වුවත්, වියදම නොතකා, එය කෙතරම් දේවල් ඉල්ලුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය අපිට භාරගැනීමට හැකිවේවා කියා, එම පොහොසත් තරුණයා අසමත් වූ තැන අපි සාර්ථක වේවායි මම යාච්ඤා කරනවා. අපි උන්වහන්සේව අනුගමනය කිරීමට පොරොන්දු වූ විට, මාර්ගය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, කටු ඔටුන්නක් සහ දරදඬු රෝම කුරුසියක් සහිත වන බවට මම සාක්ෂි දරනවා. අපේ තරුණ පාලකයා කෙතරම් ධනවත් වුවත්, එම සංකේත වලින් ඉවත් වීමෙන් මිදීමට තරම් ඔහු වත්පොහොසත් නොවූ අතර අපටද එය කළ නොහැකි වෙන්න පුළුවන්. සදාකාල ජීවනයේ ත්‍යාගය වන—සියලු සම්පත් වලට වඩා ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ආශිර්වාදය සඳහා, අපේ වෘත්තියේ උත්තම පූජකයා වන අපේ දවල් තරුව, මැදිහත්කරුවාණන්, සහ රජු අනුගමනය කරමින් අපට මේ මාවතේ රැඳී සිටින ලෙස කළ ඉල්ලීම ප්‍රමාණවත්. “අපේ සියලුම ප්‍රාණයන් උන්වහන්සේට පූජාවක් ලෙස [ඔප්පු කිරීම]” අප එකිනෙකා විසින් කළ යුතු බව පුරාණයේ එම අප්‍රකට අමෙලෙකී සමඟ මම සාක්ෂි දරනවා. 19 එවැනි අධිෂ්ඨානශීලී, ස්ථාවර භක්තියකින්, අපි මෙසේ ගායනා කරනවා:

කන්දට ප්‍රශංසා වේවා; මම එය මත ස්ථාවර වෙමි:

ඔබවහන්සේගේ මිදීමේ ප්‍රේමයේ කන්ද. …

මෙන්න මගේ හදවත, එය රැගෙන මුද්‍රා කරන්න;

ඉහළ ඔබවහන්සේගේ රාජ්‍යයේ එය මුද්‍රා තබන්න. 20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.