ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රියාකිරීමට සහ පත්වීමට ඇති ඇදහිල්ල
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රියාකිරීමට සහ පත්වීමට ඇති ඇදහිල්ල

යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි අධ්‍යයනය, සහ ක්‍රියා කිරීම තුළින් අපට ස්වර්ගයේ ආශිර්වාදයන් අගුළු හැර ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් බවට පත්විය හැකියි.

හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරිවරයෙකු ලෙස සේවය කිරීමට මාව කැඳවීමෙන් ටික වේලාවකට පසු, විනාඩි කිහිපයකට සභාපති රසල් එම්. නෙල්සන්ව මුණගැසීමට මට අවස්ථාව ලැබුණා. එය සැලසුම් කිරීමකින් තොරව ආපනශාලාවේ සිදුවූ හමුවීමක් වූ අතර, වැඩිහිටි එස්. මාර්ක් පාමර්ට සහ මට ඔහු සමඟ දිවා ආහාරය ගැනීමට ආරාධනා කිරීමට ඔහු කාරුණික වුණා.

“අනාගතවක්තෘවරයා සමඟ දිවා ආහාරය ගන්නා අතරතුර අපි කථා කළ යුත්තේ කුමක් ගැනද?” යන්න මගේ සිතට ආපු සිතුවිල්ලයි. මට මාගේ කැඳවීම ලැබුණු සැණින් නිසා මට ලබාදීමට යම් අවවාදයක් හෝ මගපෙන්වීමක් ඔහුට ඇතිදැයි කියා සභාපති නෙල්සන්ගෙන් ඇසීමට මම තීරණය කළා. ඔහුගේ පිළිතුර ඉතා සරල හා සෘජු එකක්; ඔහු මා දෙස බලා මෙලෙස පැවසුවා, “වැඩිහිටි ෂ්මයිල්, ඔබව කැඳවා ඇත්තේ ඔබට පත්විය හැකි දේ සඳහායි.” ස්වාමින්වහන්සේට මම කුමන කෙනෙක් බවට පත්වීමට අවශ්‍යද යන්න ගැන මෙනෙහි කරමින් මම එම අත්දැකීමෙන් ඉවත්ව ගියා. මම මේ ගැන සිතූ විට, උන්වහන්සේට අවශ්‍ය වන්නේ මම වඩාත් හොඳ ස්වාමිපුරුෂයෙකු, පියෙකු, හා පුත්‍රයෙකු එමෙන්ම වඩා හොඳ සේවකයෙකු වීම බව මම තේරුම්ගත්තා. ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයෙකු වීමට මම කටයුතු කරන විට මේ සියල්ල සපුරාගත හැකි බව මම පසුව තේරුම්ගත්තා.

පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “ඕනෑම දෙයක් හොඳින් කිරීමට උත්සාහය අවශ්‍යයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු වීමද එයින් වෙනස් වන්නේ නෑ.” 1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩාත් හොඳ අනුගාමිකයන් වීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙස සභාපති නෙල්සන් අපට ආරාධනා කරනවා. ගැලවුම්කරුවාණන් මෙන් වීමට, වෙනත් දේවල් අතර විමසීමෙන්, ක්‍රියා කිරීමෙන්, සහ ඉගෙනීමෙන්, අපි අපේ විශ්වාසය ශක්තිමත් කළ යුතු බව ඔහු අපට පැවසුවා.

1. අසන්න

ඔහු මෙසේ පැවසුවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න.” 2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයෙකු වන්නේ කෙසේද යන්න දැනගැනීම සඳහා යාච්ඤාව ප්‍රධාන කාරණාවක් වෙනවා.

ඇමරිකාවේ නෙපිවරුන් අතර උන්වහන්සේගේ දේවසේවය අවසන් වන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගස්ත වුණා. පසුව, උන්වහන්සේගේ ගෝලයන් එක්රැස් වී, “බලවත් යාච්ඤාවකින් සහ නිරාහාරයකින් එක්සත් කරනු [ලැබුවා]. තවද යේසුස්වහන්සේ නැවතත් ඔවුන් හට තමන්වහන්සේවම පෙන්වූ සේක, මක්නිසාද ඔවුහු පියාණන්වහන්සේට උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා [කළා].” 3 යේසුස්වහන්සේ තම ගෝලයන්ට නැවතත් තමන්වහන්සේවම පෙන්නුවේ ඇයි? මොකද ඔවුන් යාච්ඤා කරමින්, අසමින් සිටියා.

ඉන්පසු උන්වහන්සේ මෙසේ පැවසුවා:

“තවද මම දෙවියන්වහන්සේ වෙතට යන්නෙමි. තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, කවරාකාර දෙයක් නුඹලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේද නුඹලාට දෙනු ලබන්නේය.

“එසේහෙයින්, ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලබන්නේය; තට්ටු කරපල්ලා, එවිට එය නුඹලාට විවෘත කරනු ලැබෙන්නේය; මක්නිසාද එනම් ඉල්ලන්නාට ලැබෙන්නේය; තවද එනම් තට්ටු කරන්නාට, එය විවෘත කරනු ලැබෙන්නේය.” 4

ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට අපි ඇදහිල්ලෙන් ඉල්ලා සිටිය යුතු අතර, අපට වඩා හොඳ කුමක්දැයි ස්වාමින්වහන්සේ දන්නා බව පිළිගත යුතුයි.

2. ක්‍රියාකරන්න

ක්‍රියාකිරීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයෙකු වීමට තවත් අත්‍යවශ්‍ය කරුණක්. අප ක්‍රියා කරන විට, උන්වහන්සේ අපට මගපෙන්වනු ඇති අතර මාර්ගය ඔස්සේ අපව මෙහෙයවයි. ලාබන්ගෙන් පිත්තල තහඩු ලබාගන්නේ කෙසේදැයි දැනගැනීමට නෙපි ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම සොයමින් සිටි බව මට විශ්වාසයි, නමුත් ඔහුට සහ ඔහුගේ සහෝදරයන්ට සාර්ථකත්වයක් නොමැතිව දෙවරක් උත්සාහ කිරීමට සිදුවුණා. නමුත් ඔවුන් ක්‍රියා කරමින් සිටි අතර, ස්වාමින්වහන්සේ ඔවුන්ව මාර්ගය ඔස්සේ මෙහෙයවමින් සිටියා. අවසාන වශයෙන්, නෙපි තෙවන වර සාර්ථක වුණා. ඔහු මෙලෙස සිහිපත් කළා, “තවද මම කළ යුතු දේ කලින් නොදැන අත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වනු ලැබුවෙමි.” 5

කුමක් කළ යුතුද යන්න පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් නොමැති අවස්ථාවක පවා, අප උත්සාහ දරමින් ක්‍රියා කරන විට ස්වාමින්වහන්සේ ක්‍රියා කරන්නේ එලෙසයි. කුමක් කළ යුතු දැයි ස්වාමින්වහන්සේ නෙපිට පැවසුවා: යන්න සහ තහඩු ලබාගන්න. නමුත් එය කරන්නේ කෙසේදැයි උන්වහන්සේ නෙපිට පැවසුවේ නැහැ. එය සොයාගැනීමට සහ ස්වාමින්වහන්සේගේ පිහිට පැතීම සඳහා උන්වහන්සේ එය නෙපිට භාරදුන්නා—එලෙසම බොහෝ විට ස්වාමින්වහන්සේ අපේ ජීවිතයේ ක්‍රියා කරන්නේත් එලෙසිනුයි. අපි ඇදහිල්ලෙන් ක්‍රියා කරන විට, ස්වාමින්වහන්සේ අපට මගපෙන්වනවා.

3. අධ්‍යයනය කරන්න

3 නෙපි හිදී, සභාවේ නම සම්බන්ධයෙන් මිනිසුන් අතර මතභේද පවතින බව ගෝලයන් ගැලවුම්කරුවාණන්ට සඳහන් කළා. ප්‍රතිචාර වශයෙන්, ගැලවුම්කරුවාණන් “ඔවුන් ශුද්ධලියවිලි කියවා නැද්ද?” 6 කියා අසමින් වැදගත් මූලධර්මයක් ඉගැන්වූවා. අධ්‍යයනය කිරීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයෙකු වීමට තවත් අත්‍යවශ්‍ය කරුණක්. යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යයනය යන දෙකම ගමන් කරන්නේ එකටයි. ඒවා අපේ ප්‍රයෝජනය සඳහා එකට ක්‍රියා කරනවා. මෙය ස්වාමින්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ක්‍රියාවලියයි. “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳපන්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළයුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය.” 7

ගැලවුම්කරුවාණන් විසින් නෙපිවරුන්ට පෙන්වූ පරිදි අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම පමණක් නොව ඒවායින් ඉගැන්වීමද කළ යුතු බව උන්වහන්සේ ඉගැන්වුවා: “තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් යේසුස්වහන්සේ ඔවුන් ලියන ලද සියලුම ශුද්ධලියවිලි එක්ව විස්තර කළ විට, එනම් ඔවුන් උන්වහන්සේ ඔවුන්ට විස්තර කළ දේ ඔවුන් ඉගැන්විය යුතුවීමට උන්වහන්සේ ආඥා කළ සේක.” 8

නෙපි ආපසු ගොස් පිත්තල තහඩු ලබාගැනීම ඉතා වැදගත් වීමට මෙය එක් හේතුවක්: ඔහුගේ පවුලට පොරොන්දු වූ දේශයට යාමට පමණක් නොව නමුත් තම දරුවන්ට ඉගැන්වීම සඳහාද මෙම ශුද්ධලියවිලි ඔවුන්ට අවශ්‍ය වුණා. අපගේ ගමන සඳහා අපිත් ශුද්ධලියවිලි වලින් මගපෙන්වීම් ලබාගත යුතු අතර, අපේ නිවෙස් වල සහ සභාවේ කැඳවීම් වලදී අපි ඒවායින් ඉගැන්විය යුතුමයි.

4. පත්වීමට ක්‍රියාකරන්න

බොහෝ අවස්ථා වලදී යාච්ඤාවට පිළිතුරු ක්ෂණිකව පැමිණෙන්නේ නෑ. නමුත් පිත්තල තහඩු ලබාගැනීමට උත්සාහ කරන විට නෙපි කළාක් මෙන් ස්ථිරව සිට ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරමින්, ඉදිරියට යාමට අපට ඇදහිල්ල තිබිය යුතුයි. ස්වාමින්වහන්සේ වරකට අපට ස්වල්පයක් බැගින් පෙන්වනවා; අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, දෙවියන්වහන්සේ අපට පිළිතුරු හෝ තවත් දිනක්, හෝ තවත් සතියක් ගතකිරීමට, සහ තවත් වරක් උත්සාහ කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ පැවසුවා: “එම පිළිතුර ලැබීමට පෙර සමහරවිට දෙවියන්වහන්සේ ඔබට දිගු කාලයක් අරගල කිරීමට ඉඩදීම ගැන ස්තූතිවන්ත වන්න. එය ඔබේ ඇදහිල්ල වැඩි කිරීමට සහ ඔබේ චරිතය වර්ධනය වීමට හේතු වෙනවා.” 9

ක්‍රියාකිරීමට සහ තවත් එක දවසක්, එක සතියක් දරාගැනීමට, සහ තවත් එක වරක් උත්සහ කිරීමට, යාච්ඤාව සහ ශුද්ධලියවිලි අධ්‍යනය තුළින් ස්වාමින්වහන්සේ සෑමවිටම මට ශක්තිය ලබාදී තිබෙනවා. බොහෝ අවස්ථා වලදී පිළිතුරු එකවරම ලැබුනේ නෑ. මට තවමත් පිළිතුරු ලැබී නැති ප්‍රශ්ණ තිබෙනවා, නමුත් මම දිගටම අසමින් අධ්‍යයනය කරමින් සිටිනවා, එමෙන්ම මම පිළිතුරු එනතෙක් බලා සිටින විට ස්වාමින්වහන්සේ මට දිගටම ක්‍රියා කිරීමට ශක්තිය ලබාදීම ගැන මම සතුටු වෙනවා.

වැඩිහිටි ස්කොට් තවදුරටත් මෙසේ පැවසුවා, “ඇදහිල්ල අභ්‍යාස කරමින් අවිනිශ්චිතතාවයේ සන්ධ්‍යා කාලය තුළ ඔබ අවබෝධයේ මායිම වෙත යන විට, ඔබට වෙනත් ආකාරයකින් ලබාගත නොහැකි විසඳුම් සෙවීමට මගපෑදෙයි .” 10

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයෙකු වීම ජීවිත කාලය පුරාම යන ගමනක් වන අතර, අපි සියලුදෙනාම එහි විවිධ අවධීන් වල වෙනස් වේගයකින් ගමන් කරමින් සිටිනවා. මෙය තරඟයක් නොවන බවත්, එකිනෙකාට ආදරය කිරීමට සහ උපකාර කිරීමට අපි මෙහි සිටින බවත් අප මතකතබාගත යුතුයි. ගැලවුම්කරුවාණන්ට අපගේ ජීවිතයේ අප සමඟ ක්‍රියා කිරීමට ඉඩදීම සඳහා අපි කටයුතු කළ යුතුයි.

සිඩ්නි රිග්ඩන් සමඟ කතා කරමින්, ස්වාමින්වහන්සේ පහත සඳහන් දේ පැවසුවා: “මම නුඹ සහ නුඹගේ ක්‍රියාවන් බලා ඇත්තෙමි. මම නුඹගේ යාච්ඤාවන් අසා ඇත්තෙමි, තවද නුඹව මහත් වූ සේවයක් උදෙසා සූදානම් කළෙමි.” 11 ස්වාමින්වහන්සේ අපේ යාච්ඤා වලට සවන්දී පිළිතුරු දෙන බවත්; උන්වහන්සේ අපව දන්නා බවත්; අප සෑම කෙනෙකු සඳහාම උන්වහන්සේට මහත් කාර්යයක් ඇති බවත් මම සාක්ෂි දරනවා. යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි අධ්‍යයනය, සහ ක්‍රියා කිරීම තුළින් අපට ස්වර්ගයේ ආශිර්වාදයන් අගුළු හැර ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් බවට පත්විය හැකියි.

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා “අවසාන විනිශ්චය යනු—අප කර ඇති යහපත් හා නපුරු ක්‍රියාවන්හි සමස්ත තක්සේරුවක් පමණක් නොවේ. එය අපගේ ක්‍රියාවන් හා සිතුවිලි වල අවසාන ප්‍රතිඵලය—එනම් අපි පත්වී ඇති පුද්ගලයා පිළිගැනීමක්.” 12

අනාගතවක්තෘවරුන්, දර්ශන දකින්නන් සහ එළිදරව් කරන්නන් සඳහා මම ස්තූතිවන්ත වෙනවා; ඔවුන් කුළුණේ මුරකරුවන්. ඔවුන් අපට නොපෙනෙන දේ දකිනවා. ඔවුන්ගේ වචන තුළින්, අපට ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් වී අපේ හැකියාවන් සාක්‍ෂාත් කරගත හැකි බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවත් අප සෑම කෙනෙකුවම තනි තනිව හඳුනන බවත් මම සාක්ෂි දරනවා. මෙය උන්වහන්සේගේ සභාවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.