ප්‍රධාන සම්මන්ත්‍රණය
සරලව අලංකාරයි—අලංකාර ලෙස සරලයි
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සරලව අලංකාරයි—අලංකාර ලෙස සරලයි

දිව්‍යමය වශයෙන් අපට නියම කර ඇති වගකීම් භාරගන්නා විට අපි ශුභාරංචිය සරලව තබාගනිමු.

හැඳින්වීම

මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබ සෑම කෙනෙකුවම මම උණුසුම් ලෙස පිළිගන්නවා.

අද මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ අංග දෙකක් පිළිබඳව, සහ ඉන්පසුව ලොව පුරා විසිරී සිටින පසුදවස් වල ශුද්ධවන්තයන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පෙන්නුම් කරන සිත් ඇදගන්නා සුළු වාර්තා හතරක් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. නැවත පිහිටුවන ලද ශුභාරංචියේ පළමු අංගය—ගැලවීමේ සහ උත්කර්ෂයේ දෙවියන්වහන්සේගේ කාර්යය—දිව්‍යමය වශයෙන් නියම කරන ලද වගකීම් කෙරෙහි අවධානය යොමුකරනවා. ශුභාරංචිය පැහැදිලි, වටිනා, හා සරල බව දෙවන අංගය අපට මතක්කර දෙනවා.

දිව්‍යමය වශයෙන් නියම කර ඇති වගකීම්

සදාකාල ජීවනය ලබාගැනීමට නම් අපි “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ විය යුතුමයි.” 1 අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ අන් අයටත් ඒ දේ කිරීමට උදව් කරන විට, දිව්‍යමය වශයෙන් නියම කරන ලද වගකීම් කෙරෙහි අවධානය යොමුකරන දෙවියන්වහන්සේගේ ගැලවීමේ හා උසස් කිරීමේ කාර්යයට අපි සහභාගී වෙනවා. 2 මෙම දිව්‍යමය වගකීම් දහම සහ ගිවිසුම් හි 110 වන කොටසේ සටහන් කර ඇති පරිදි, මෝසෙස්, එලායස්, සහ එලයිජා විසින් නැවත පිහිටුවන ලද පූජකවරයේ යතුරු, 3 සහ අපට මෙන් අපගේ අසල්වැසියාටත් ප්‍රේම කරන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට දුන් දෙවන ශ්‍රේෂ්ඨ ආඥාව සමඟ සමපාත වෙනවා. 4 සියලුම සාමාජිකයින්ට ලබාගත හැකි පරිදි යාවත්කාලීන කරන ලද ප්‍රධාන අත්පොතෙහි, මුල් පිටු දෙකෙහි මෙය සොයාගන්නට පුළුවන්.

“ප්‍රධාන අත්පොත” හෝ “දිව්‍යමය වශයෙන් නියම කරන ලද වගකීම්” යන වචන ඇසීමෙන් ඔබ සංකීර්ණතාවයට හෝ බියට පත්වීමට හේතුවේ නම්, කරුණාකර එසේ වන්නට එපා. මෙම වගකීම් සරල, ආනුභාව සම්පන්න, පොළඹවන, සහ කළ හැකි දේවල්. එම දේවල් මෙන්න:

  1. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

  2. අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

  3. ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

  4. සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

අපේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යාමට මාර්ග සිතියමක් ලෙස: මම දකින ආකාරයෙන් ඔබටත් ඒවා දකින්නට පුළුවන්.

රූපය
ගැලවීමේ හා උත්කර්ෂයේ කාර්යයේ අංග

ශුභාරංචිය, පැහැදිලි, වටිනා, මෙන්ම සරලයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “සරලව අලංකාර බවත් අලංකාර ලෙස සරල බවත්” පවසා තිබෙනවා. 5 ලෝකය එසේ නොවේ. එය සංකීර්ණ, පැටලිලි සහගත, සහ කැලඹීම් හා ආරවුල් වලින් පිරී තිබෙනවා. ලෝකයේ බහුලව දක්නට ලැබෙන සංකීර්ණතාවයට, ශුභාරංචිය ලැබෙන හා ක්‍රියාත්මක වන ආකාරයෙන් ප්‍රවේශ වීමට ඉඩ නොතැබීමට අපි වගබලාගන්නා විට අපි ආශිර්වාද ලබනවා.

සභාපති ඩැලන් එච්. ඕක්ස් නිරීක්ෂණය කළ ලෙස: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ අපට කුඩා හා සරල බොහෝ දේ උගන්වනවා. සමස්ථයක් වශයෙන් හා සැලකිය යුතු කාල පරිච්ඡේදයක් තුළ, පෙනෙන්නට තිබෙන එම කුඩා දේවල් තුළින් විශාල දේ සිදුවන බව අප මතක්කරගත යුතුයි.” 6 උන්වහන්සේගේ වියගහ පහසු බවත් උන්වහන්සේගේ බර සැහැල්ලු බවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින්ම විස්තර කරනවා. 7 අපගේ ජීවිත තුළ, අපේ පවුල්වල, පන්ති හා ගණපූරණයන්හිදී සහ අපගේ කොට්ඨාශ හා ස්ටේක තුළදී ශුභාරංචිය සරලව තබාගැනීමට අපි හැමෝම උත්සාහ කළ යුතුයි.

මම ඔබ සමඟ බෙදාගැනීමට යන කතන්දර වලට සවන්දෙන විට එක් අතකින් පෙළඹවීමක් ලබාදීමට සහ අනෙක් පැත්තෙන් දැනුම්දීමට ඒවා ප්රවේශමෙන් තෝරාගෙන ඇති බව හඳුනාගන්න. දැන් හඳුන්වාදුන් දිව්‍යමය වශයෙන් නියම කර ඇති එක් එක් වගකීම ඉටුකරන අතර, ශුභාරංචිය පැහැදිලි, වටිනා, හා සරල ක්‍රම වලින් ක්‍රියාත්මක කරන මෙම පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සෑම ක්‍රියාවක්ම අප සෑම කෙනෙකුටම ආදර්ශයක්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම. ඩෙන්මාර්කයේ ජෙන්ස් ශුභාරංචිය තුළ ජීවත් වීමට සහ ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් ලබාගැනීමට දිනපතාම යාච්ඤා කරනවා. ආත්මයාණන්ගේ මගපෙන්වීම ලැබුණු විගසම ඉක්මණින් ක්‍රියාකිරීමට ඔහු ඉගෙනගෙන තිබෙනවා.

රූපය
ඩෙන්මාර්කයේ ජෙන්ස්

ජෙන්ස් පහත කරුණු බෙදාගත්තා:

“අපි ජීවත් වන්නේ ගමේ පොකුණ ආසන්නයේ සුවපහසු කුඩා ගම්මානයක් මධ්‍යයේ සෙවිලි කළ වහලක් සහිත කුඩා අර්ධ දැවමය නිවසකයි.

රූපය
අයිඩිලික් ගම්මානය
රූපය
ගමේ පොකුණ

“සිතාගත නොහැකි ඉතාමත් සුන්දර ඩෙන්මාර්ක ගිම්හාන කාලගුණය සහිත මෙම රාත්‍රියේ දොර ජනෙල් විවෘතව තිබූ අතර සියල්ල සාමයෙන් හා නිහඬව පැවතුනා. අපගේ දීප්තිමත් හා දිගු ගිම්හාන රාත්‍රීන් නිසා අපගේ උපයෝගිතා කාමරයේ දැවී ගිය විදුලි බුබුලක් ආදේශ කිරීමට මම ඉක්මන් වූයේ නැහැ.

රූපය
උපයෝගිතා කාමර ආලෝකය

“එය ඉක්මනින්ම ආදේශ කළ යුතු යැයි හදිසියේම මට දැඩි හැඟීමක් ඇති වුණා! ඒ සමඟම, රාත්‍රී ආහාරය සූදානම්ව තිබූ නිසා, මගේ බිරිඳ මේරියන්, මට සහ ළමයින්ට අපේ අත් සෝදාගන්නා ලෙස කතා කරන හඬ මට ඇසුණා!

“දෑත් සේදීම හැර වෙනත් කිසිවක් කිරීමට පටන්ගත යුතු කාලය මෙය නොවන බව දැනගැනීමට තරම් මම විවාහ වී බොහෝ කලක් ගතවී ඇති නමුත්, මම නව විදුලි බුබුලක් මිලදී ගැනීමට කඩයට යා යුතු යැයි මරියාන්ට කිව්වා. වහාම පිටව යාමට මට දැඩි අවශ්‍යතාවක් දැනුණා.

“සිල්ලර බඩු කඩය තිබුණේ පොකුණේ අනෙක් පැත්තේ. අපි සාමාන්‍යයෙන් පයින් ගිය නමුත් අද මම ගියේ මගේ යතුරු පැදියේ. පොකුණ පසුකර යන විට, මගේ ඇස කෙළවරින්, අවුරුදු දෙකක් පමණ වයසැති කුඩා පිරිමි ළමයෙක්, තනිවම පොකුණ අද්දර, ජලයට ඉතා ආසන්නව, ඇවිදින අයුරු මම දුටුවා—ඔහු හදිසියේම ඇද වැටුනා! එක් විනාඩියකදී ඔහු එහි සිටි අතර ඊළඟ මොහොතේ ඔහු එහි නොසිටියා!

“මම හැර වෙන කිසිවෙකු මෙය දුටුවේ නෑ. මම මගේ බයිසිකලය බිමට විසිකර දුවමින් ඉණ තරමට ගැඹුරු පොකුණට පැන්නා. දිය මතුපිට ජලජ පැළෑටි වලින් ඉක්මණින් වැසුණු බැවින් ජලය හරහා බැලීමට ඉතා අපහසු වුණා. එවිට මම එක් පැත්තක චලනයක් වන බව දුටුවා. මම අත වතුරේ දමා, කමිසයකින් අල්ලාගෙන, කුඩා පිරිමි දරුවාව ඉහළට ගත්තා. ඔහු කැස්ස සමඟ හුස්ම ගනිමින් අඬන්න පටන්ගත්තා. වැඩි වෙලාවක් නොගොස් පිරිමි ළමයා ඔහුගේ දෙමාපියන් සමඟ නැවත එකතු වුණා.”

රූපය
ජෙන්ස් සහ පවුල

විදුලි බුබුලක් වහාම වෙනස් කිරීම වැනි අසාමාන්‍ය දෙයක් ලෙස වුවද, ශුද්ධාත්මයාණන්ගේ පෙලඹවීම් හඳුනාගැනීමට උදව් වන මෙන් ජෙන්ස් සහෝදරයා සෑම උදෑසනකම යාච්ඤා කරන අතරම, දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමේ මෙවලමක් ලෙස තමාව භාවිතා කරන ලෙසද ඔහු යාච්ඤා කරනවා. සෑම දිනකම දිව්‍යමය මගපෙන්වීම් සොයමින්, සුදුසු වීමට උත්සාහ කරමින්, පසුව එම මගපෙන්වීම අනුගමනය කිරීමට උපරිම උත්සාහය දරමින් ජෙන්ස් ශුභාරංචිය තුළ ජීවත් වනවා.

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම සඳහා උදාහරණයක් මෙන්න. දිනක් කොලොම්බියාවේ කුකුටා ස්ටේකයේ ස්ටේක නායකයෙක්, ස්ටේකයේ තරුණ කාන්තාවන්ගේ නායිකාව සමඟ තරුණ කාන්තාවන් දෙදෙනෙකුව—සහ දරුණු අරගල හරහා යමින් සිටින—ඔවුන්ගේ නව යොවුන් සහෝදරයාව බැහැදැකීමට ගියා. මෑතකදී ඔවුන්ගේ පියා මියගොස් තිබූ අතර, ඔවුන්ගේ මව වසරකට පෙර මියගොස් තිබුණා. මෙම සහෝදර සහෝදරියන් තිදෙනා දැන් ඔවුන්ගේ කුඩා බැහැපත් නවාතැනේ තනිවී සිටිනවා. එහි බිත්ති ප්ලාස්ටික් බෑග් වලින් ආවරණය කර තිබූ බොර දැව වලින් සාදා ඇති අතර, රැලි සහිත ටකරන් වහලය ආවරණය කර ඇත්තේ ඔවුන් නිදා සිටින ප්‍රදේශය පමණයි.

ඔවුන්ගේ බැහැදැකීමෙන් පසු, මෙම නායකයින් තමන් උදව් කළ යුතු බව දැනගත්තා. කොට්ඨාශ මන්ත්‍රණ සභාව තුළින්, ඔවුන්ට උපකාර කිරීමේ සැලැස්මක් මතුවන්නට වුණා. ස්ටේක හා කොට්ඨාශ නායකයින්—සහන සමිතිය, වැඩිහිටි ගණපූරණය, තරුණ පිරිමින්, තරුණ කාන්තාවන්—සහ බොහෝ පවුල් මේ පවුලට ආශිර්වාද කිරීමේ කර්තව්‍යය සඳහා යොමුවුණා.

රූපය
නිවසක් ඉදිවෙමින්
රූපය
නිවසක් ඉදිවෙමින්

මෙම කොට්ඨාශ සංවිධාන විසින් ඉදිකිරීම් කටයුතු කරන කොට්ඨාශ සාමාජිකයින් කිහිප දෙනෙකුවම සම්බන්ධ කරගත්තා. සමහරු සැලසුම් කිරීමට උදව් කළ අතර, තවත් සමහරු කාලය හා ශ්‍රමය පරිත්‍යාග කළ අතර, තවත් සමහරු ආහාර පිළියෙල කළ අතර, එමෙන්ම තවත් සමහරු අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළා.

රූපය
සම්පූර්ණ නිවස

කුඩා නිවස නිම කිරීමෙන් පසු, උදවු කළ අයට මෙන්ම කොට්ඨාශයේ මෙම තරුණ සාමාජිකයින් තිදෙනාටද එදින ප්‍රීතිමත් දිනයක් වුණා. මෙම අනාථ දරුවන්ට ඔවුන් තනිවම නොවන බවත් දෙවියන්වහන්සේ සැමවිටම ඔවුන් සමඟ සිටින බව දැනගැනීමට තම කොට්ඨාශයේ පවුලේ උණුසුම සහ සහතික කිරීමේ බැඳීම් තුළින් හැකිවුණා. මෙලෙස උපකාර කළ අයට මෙම පවුල කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ ආදරය දැනුණු අතර ඔවුන්ට සේවය කිරීමේදී උන්වහන්සේගේ දෑත් ලෙස ක්‍රියා කළා.

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

ශුභාරංචිය ලැබීමට සැමට ආරාධනා කිරීමේ මෙම උදාහරණය ඔබ රසවිඳිනු ඇතැයි මම සිතනවා. එක් දිනක් තම කොට්ඨාශයේ සෙමනේරි පන්තියට ඇවිද යාමේ ප්‍රතිඵලය ලෙස කුමක් සිදුවේවිද කියා කේප් වර්ඩ් හි දාහත් හැවිරිදි ක්ලෙයිටන්ට අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔහු එසේ කළ නිසා ඔහුගේ ජීවිතය සහ අනෙක් අයගේ ජීවිත සදහටම වෙනස් වුණා.

ක්ලෙයිටන්, ඔහුගේ මව සහ වැඩිමහල් සොහොයුරා මීට ටික කලකට පෙර සභාවේ බව්තීස්ම වී තිබූ අතර, නමුත් එම පවුලම සභාවට පැමිණීම නතර කර තිබුණා. සෙමනේරියට සහභාගී වීමේ ඔහුගේ එකම ක්‍රියාව පවුල සඳහා වැදගත් දෙයක්.

සෙමනේරි පන්තියේ සෙසු යෞවන යෞවනියන් ඔහුව උණුසුම්ව හා ආදරයෙන් පිළිගත්තා. ඔවුන් ක්ලිටන්ට නිවසේ සිටින බවක් මෙන් හැඟවූ අතර වෙනත් ක්‍රියාකාරකමකටත් සහභාගී වන ලෙස ඔහුව උනන්දු කළා. ඔහු එසේ කළ අතර වැඩිකල් නොගොස් ඔහුගේ අනෙකුත් සභාවේ රැස්වීම් වලට සහභාගී වීමට පටන්ගත්තා. ක්ලෙයිටන් තුළ අධ්‍යාත්මික හැකියාවන් දුටු ප්‍රඥාවන්ත සභානායකයෙක් ඔහුගේ සහායකයා වීමට ඔහුට ආරාධනා කළා. “ඒ මොහොතේ පටන් ක්ලෙයිටන් අනෙක් තරුණයින්ට ආදර්ශයක් හා ආනුභාවයක්ද බවට පත්වුණා” යනුවෙන් කෘස් සභානායකවරයා පවසනවා.

ක්ලෙයිටන් සභාවට ආරාධනා කළ පළමු පුද්ගලයා වූයේ ඔහුගේ මවයි, පසුව ඔහුගේ වැඩිමහල් සොහොයුරාට ඔහු ආරාධානා කළා. පසුව ඔහු එම ආරාධනය තම මිතුරන් දක්වා පුළුල් කළා. එම මිතුරන්ගෙන් එක් අයෙක් නම් ඔහුගේම වයසේ සිටි විල්සන්. ධර්මදූතවරුන් සමඟ ඔහුගේ පළමු හමුවීමේදීම විල්සන් බව්තීස්ම වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළා. ක්ලේටන් විල්සන් සමඟ කොපමණ ප්‍රමාණයක් බෙදාගෙන තිබේද යන්න ගැන ධර්මදූතයන් පුදුමයට පත්වුණා.

රූපය
කේප් වර්ඩ් හි තරුණයින්
රූපය
සභාවට පැමිණෙන ලෙස අන් අයට ආරාධනා කිරීම
රූපය
වැඩෙන ක්‍රියාශීලී යෞවනයින් පිරිස

ක්ලෙයිටන්ගේ උත්සාහයන් එතැනින් නතර වූයේ නැහැ. වෙනත් ඇදහිලිවල මිතුරන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට අමතරව, අඩු ක්‍රියාකාරී සාමාජිකයින්ට නැවත පැමිණීමටද ඔහු උදව් කළා. ආදරය කිරීමට, බෙදාගැනීමට, සහ ආරාධනා කිරීමට ක්ලෙයිටන්ගේ උත්සාහයට ස්තූතිවන්ත වන්නට අද දින කොට්ඨාශයේ ශක්තිමත් සෙමනේරි වැඩසටහනක් සමඟ ක්‍රියාකාරී යෞවන යෞවනයින් 35 ක් සිටිනවා. ක්ලෙයිටන් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ක්ලෙබර් යන දෙදෙනාම පූර්ණ කාලීන ධර්මදූත සේවයක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

අවසාන වශයෙන්, සදාකාලික පවුල් එකට එකතු කිරීම පිළිබඳ කදිම උදාහරණයක් බෙදාගැනීමට මට ඉඩදෙන්න. යුක්රේනයේ කාකිව්හි ලිඩියා, දේවමාළිගාව ගැන මුලින්ම දැනගත්තේ ධර්මදූතයන්ගෙන්. වහාම ලිඩියාට දේවමාළිගාවට යාමට දැඩි ආශාවක් ඇති වූ අතර, බව්තීස්ම වීමෙන් පසු ඇය දේවමාළිගා නිර්දේශයක් ලබාගැනීමට සූදානම් වීමට පටන්ගත්තා.

ලිඩියා සිය නියෝගයන් ලබාගැනීම සඳහා ෆ්‍රීබර්ග් ජර්මනියේ දේවමාළිගාවට ගිය අතර පසුව දින කිහිපයක් එහි නියෝජිත කාර්යයන් කරමින් සිටියා. යුක්රේනයේ කියෙව් දේවමාළිගාව කැපකිරීමෙන් පසු ලිඩියා නිතර නිතර දේවමාළිගාවට පැමිණියා. ඇය සහ ඇගේ සැමියා වන ඇනටෝව සදහටම එහි මුද්‍රා තැබූ අතර, පසුව දේවමාළිගා ධර්මදූතවරුන් ලෙස සේවය කිරීමට කැඳවනු ලැබුවා. ඔවුන් දෙදෙනා එක්ව මුතුන් මිත්තන්ගේ නම් 15,000 කට වඩා සොයාගෙන ඇති අතර ඔවුන් සඳහා දේවමාළිගා නියෝග ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රූපය
යුක්රේන ජාතික යුවල දේවමාළිගාවේ

දේවමාළිගා කාර්යය පිළිබඳව ඇගේ හැඟීම් ගැන විමසූ විට ලිඩියා පවසන්නේ, “මට දේවමාළිගාවේදී ලැබුණේ මොනවාද? මම දෙවියන්වහන්සේ සමඟ නව ගිවිසුම් ඇතිකරගත්තා. මගේ සාක්ෂිය ශක්තිමත් වී තිබෙනවා. පෞද්ගලික එළිදරව්ව ලබාගැනීමට මම ඉගෙනගෙන තිබෙනවා. මියගිය මගේ මුතුන් මිත්තන් වෙනුවෙන් නියෝගයන් ක්‍රියාත්මක කිරීමට මට හැකිවුණා. ඒවගෙම මට අනෙක් මිනිසුන්ට ආදරය කිරීමට හා සේවය කිරීමට පුළුවන්.” “ස්වාමින්වහන්සේට අපව නිතරම දේවමාළිගවේදී දැකීමට අවශ්‍යයි” යන ඉතා සත්‍ය ප්‍රකාශය සමඟ ඇය අවසන් කළා.

අවසානය

මෙම කතන්දර හතර කේන්ද්‍ර කරගත් විවිධාකාර හා විවිධ පසුබිම් ඇති මෙම පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ යහපත්කමින් මම පෙළඹවීම් ලබා සිටිනවා. සරල ශුභාරංචි මූලධර්ම සරල ලෙස අදාළ කරගැනීම තුළින් ගෙන ආ ආශ්චර්යමත් ප්‍රතිඵල වලින් බොහෝ දේ ඉගෙනගන්නට පුළුවන්. ඔවුන් කළ සියල්ල අපේ ග්‍රහණයට යටත් වූ ඒවායි.

ඩෙන්මාර්කයේ ජෙන්ස් මෙන් පෙළඹවීම් කෙරෙහි සංවේදී වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ජීවත් වීම සඳහා; අපි දිව්‍යමය වශයෙන් අපට නියම කර ඇති වගකීම් භාරගන්නා විට ශුභාරංචිය සරලව තබාගනිමු. අනාථ වී සිටි කොට්ඨාශ සාමාජිකයින්ට නවාතැන් සැපයීමේදී කොලොම්බියාවේ කුකුටා කොට්ඨාශයේ සාමාජිකයින් විසින් පෙන්නුම් කෙරූ පරිදි අවශ්‍යතා ඇති අය රැකබලා ගැනීම. අප්‍රිකානු දූපත් රටක් වන කේප් වර්ඩ්හි ක්ලෙයිටන් සිය මිතුරන් හා පවුලේ අය සමඟ කළ ආකාරයට ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම. අවසාන වශයෙන්, යුක්රේනයේ සිට ලිඩියා සහෝදරිය විසින් නිදර්ශනය කළ පරිදි ඇගේම දේවමාළිගා නියෝග, පවුල් ඉතිහාසය කිරීමේ උත්සාහයන්, සහ දේවමාළිගාවේ සේවය තුළින් සදාකාලික පවුල් එකට එකතු කිරීම.

එසේ කිරීමෙන් නිසැකවම ප්‍රීතිය හා සාමය ලැබෙනවා. මම මේ ගැන සහ—අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නේ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්:

  1. මොරෝනි 10:32.

  2. See General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 1.2, ChurchofJesusChrist.org.

  3. බලන්න දහම සහ ගිවිසුම් 110:11–16. තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “මෙල්කිසදෙක් පූජකවරය සහ එම යතුරු,” ලියහෝනා, මැයි 2020, 70: “කර්ට්ලන්ඩ් ඔහායෝ හීදී මෙම කාලපරිච්ඡේදයේ පළමු දේවමාළිගාව කැපකිරීමෙන් පසුව, අනාගතවක්තෘවරුන් තිදෙනෙක්—මෝසෙස්, එලායස් සහ එලයිජා—ඊශ්‍රායලය එක්රැස් කිරීම සහ ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවේ කාර්යයන් සම්බන්ධ යතුරු ඇතුළුව “මෙම කාලපරිච්ඡේදයේ යතුරු නැවත පිහිටවූවා.” තවත් බලන්න කුවින්ටින් එල්. කුක් “දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම් වන්න,” ලියහෝනා, මැයි 2018, 114“: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සදාකාලික ගැලවීමේ නියෝග සඳහා පුරාණ අනාගතවක්තෘවරු පූජකත්ව යතුරු නැවත පිහිටෙව්වෝය. … මෙම යතුරු මගින් ‘ඉහළ සිට බලය’ ලබාදේ [දහම සහ ගිවිසුම් 38:38] දිව්‍යමය වශයෙන් නියම කරන ලද වගකීම් තුළ සභාවේ මූලික අරමුණ අඩංගු වේ.”

  4. බලන්න මතෙව් 22:36–40.

  5. In Matthew Cowley Speaks: Discourses of Elder Matthew Cowley of the Quorum of the Twelve of The Church of Jesus Christ of Latter-day Saints (1954), xii.

  6. ඩැලන් එච්. ඕක්ස්, “කුඩා සහ සරල දේ,” ලියහෝනා, 89 මැයි 2018.

  7. බලන්න මතෙව් 11:30.