ප්‍රධාන සම්මන්ත්‍රණය
මගේ ප්‍රාණයේ දේවල්
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මගේ ප්‍රාණයේ දේවල්

ඔබ මෙනෙහි කරන්නේ කුමන කරුණු ගැනද? ඔබට ඇත්තෙන්ම වැදගත් වන දේවල් මොනවාද? ඔබේ ප්‍රාණයේ ඇති දේවල් මොනවාද?

මගේ සහෝදර සහෝදරියනි, මම නැවත වරක් අපේ ආදරණීය සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සිටගෙන සිටින විට, ප්‍රේරිත පේත්‍රැස්ගේ වචන මට සිහිපත් වෙනවා: “ස්වාමිනි, අප මෙහි සිටීම යහපත්ද.” 1

අද මගේ සිතුවිලි කේන්ද්‍ර වී තිබෙන්නේ ඔහුගේ පියා වූ ලෙහිගේ මරණයෙන් පසු ඔහුගේ සෙනඟ පිළිබඳ වාර්තාවක් තබා ඇති අනාගතවක්තෘ නෙපිගේ වචන මතයි. නෙපි මෙසේ ලිවුවා: “තවද මේවා මත මගේ ප්‍රාණයේ දේවල් ලියමි.” 2

දේවල් යන වචනය එතරම් අලංකාර හෝ අධ්‍යාත්මික නොවන බව සිතමින්, එමෙන්ම එය “මගේ ප්‍රාණය” සමඟ සම්බන්ධ වීමට තරම්ම වටිනා වචනයක් නොවන බව සිතමින්, මම මෙම පදය පසුකර යාමට පුරුදු වී සිටියා. නමුත් දේවල් යන වචනය ශුද්ධලියවිලි වල 2,354 වාරයක් භාවිතා කර ඇති බව මම ඉගෙනගත්තා. 3 උදාහරණයක් වශයෙන්, මෝසෙස්ගේ පොත තුළ මෙලෙස සඳහන් වෙනවා: “මම ආරම්භය සහ අවසානයය, සර්වබලධාරි දෙවියන්වහන්සේය; මාගේ ඒකජාතකයාණන් විසින් මම මේ දේවල් නිර්මාණය කළෙමි.” 4 එමෙන්ම නෙපිගේ වචන තුළ මෙලෙස සඳහන් වෙනවා: “බලන්න, මාගේ ප්‍රාණය ස්වාමින්වහන්සේගේ දේවල් තුළ ප්‍රමෝදවත් වෙයි; තවද මා දැක ඇති හා අසා ඇති දේවල් මත මගේ හදවත නොකඩවා මෙනෙහි කරයි.” 5

නෙපිගේ වචන මෙම ප්‍රශ්න මතුකරනවා “ඔබ මෙනෙහි කරන්නේ කුමන දේවල් ගැනද?” “ඔබට ඇත්තෙන්ම වැදගත් වන දේවල් මොනවාද?” “ඔබේ ප්‍රාණයේ ඇති දේවල් මොනවාද?”

අපගේ ප්‍රාණයේ ඇති දේවල් බොහෝ විට පැහැදිලි කර ගැඹුරු කර වර්ධනය වන්නේ ප්‍රශ්න ඇසීමෙන්.

රූපය
වැඩිහිටි රස්බැන්ඩ් මාර්ගගත රැස්වීමක
රූපය
යෞවන දේශනාව
රූපය
තරුණ වැඩිහිටි විකාශනය

වසංගතය අතරතුර විවිධ විශාල හා කුඩා ආගමික රැස්වීම් වලදී, විකාශන හරහා සහ සමාජ මාධ්‍ය ඔස්සේ මට ලොව පුරා සිටින තරණ තරුණියන් මුණගැසුණා, ඒ වගේම අපි ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කළා.

දහහතර හැවිරිදි ජෝසෆ් ස්මිත්ගේ සිත තුළ ගැඹුරු ප්‍රශ්නයක් තිබූ අතර ඔහු එය ස්වාමින්වහන්සේ වෙතට ගෙනගි‍යා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ අවධාරණය කර තිබෙනවා: “ඔබේ ප්‍රශ්ණ ස්වාමින්වහන්සේ වෙත සහ වෙනත් ඇදහිලිවන්ත මූලාශ්‍ර වෙත යොමුකරන්න. අනාගතවක්තෘවරයෙකුගේ ජීවිතයේ යම් අඩුපාඩුවක් හෝ ශුද්ධලියවිලි වල විෂමතාවයක් ඔබට සොයාගත හැකිය යන බලාපොරොත්තුවෙන් නොව විශ්වාස කිරීමට ආශාව සමග අධ්‍යයනය කරන්න. ඔබේ සැකයන් … සැකකරුවන් සමග පෙරහුරු කිරීමෙන් ඒවා වැඩිකර ගැනීම නවත්වන්න. අධ්‍යාත්මික සොයාගැනීමේ ගමනට ඔබව ගෙන යාමට ස්වාමින්වහන්සේට ඉඩදෙන්න.” 6

මම විශ්වාස කරන්නේ මොනවාද සහ ඒවා විශ්වාස කරන්නේ ඇයි ලෙස යෞවනයන් නිතරම මගෙන් අහනවා.

එක් තරුණ කාන්තාවක් සමඟ ඇයගේ නිවසේදී මාර්ගගතව මුණගැසීමට හැකිවුණා මට මතකයි. ප්‍රේරිතවරයෙක් ඇගේ නිවස බැහැදැකපු පළමු අවස්ථාව මෙය දැයි මම ඇසුවා. ඇය ඉක්මනින් සිනාසී “ඔව්” යනුවෙන් පිළිතුරු දුන්නා. ඇය මට යොමුකළ ප්‍රශ්ණය ගොඩක් හොඳ එකක්: “මම දැනගත යුතු වැදගත්ම දේවල් මොනවාද?”

පෙළඹවීම් ඇසීමට මාව සූදානම් කරන, ලෝකයේ මාර්ග වලින් ඔබ්බට මගේ දෘෂ්ටිය ඉහළ නංවන, ශුභාරංචියේ මාගේ වැඩ කටයුතු සඳහා සහ මගේ ජීවිතය සඳහා අරමුණු ලබාදෙන දේවල් වන “මගේ ප්‍රාණයේ දේවල්,” බව මම පිළිතුරු දුන්නා.

මට “මගේ ප්‍රාණයේ දේවල්” කිහිපයක් ඔබ සමඟ බෙදාගැනීමට ඉඩදෙන්න? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට කැමති සෑම කෙනෙකුටම මේ දේවල් අදාළ වෙනවා. දහය හොඳ, වටකුරු සංඛ්‍යාවක්. ඔබේම අත්දැකීම් වලින් ඔබ අට, නවය සහ දහය සම්පූර්ණ කරයි යන බලාපොරොත්තුවෙන් මම අද ඔබට හතක් ලබාදෙනවා.

පළමුවෙන්ම, පියාණන් වන දෙවියන්වහන්සේටත් අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේටත් ප්‍රේම කරන්න.

යේසුස්වහන්සේ පළමු ශ්‍රේෂ්ඨ ආඥාව නියම කළා: “ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.” 7

අපගේ සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට, ස්වාමින්වහන්සේගේ සභාවට නායකත්වය දීමට කැඳවූ විට සභාපති නෙල්සන් සිය භක්තිය මෙසේ ප්‍රකාශ කළා: “මම ඔවුන්ව දන්නවා, මම ඔවුන්ට ආදරෙයි, මගේ ජීවිතයේ ඉතිරි වන සෑම හුස්මකින්ම ඔවුන්ටත්—ඔබටත්—සේවය කිරීමට පොරොන්දු වෙනවා.” 8

ඒ නිසා මුලින්ම පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට ප්‍රේම කරන්න.

දෙවනුව, “ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” 9

එය හොඳ අදහසක් පමණක් නොවේ; එය දෙවෙනි ශ්‍රේෂ්ඨ ආඥාවයි. ඔබේ අසල්වැසියන් යනු ඔබේ සහකරු හෝ සහකාරිය සහ පවුලේ අය, කොට්ඨාශයේ සාමාජිකයින්, වැඩ කරන සගයන්, නේවාසික මිතුරන්, අපේ ඇදහිල්ලේ නොවන අය, උදව් උපකාර අවශ්‍ය අය සහ අවංකවම සෑමදෙනාමයි. “ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන්නෙහි හරය “Love One Another” යන ගීතිකාවේ ඇතුළත් වී තිබෙනවා. 10

සභාපති නෙල්සන් අපට මෙසේ මතක්කර දෙනවා, “අපි මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරන විට, උන්වහන්සේ අපේ හදවත් අනෙක් අයගේ යහපැවැත්ම සඳහා යොමුකරනවා.” 11

තෙවනුව, ඔබටම ආදරය කරන්න.

බොහෝ දෙනෙක් පොරබදින තැන මෙයයි. අන් අයට ආදරය කරනවාට වඩා අපට ආදරය කිරීම අපහසු බව පෙනීම කුතුහලයට කරුණක් නොවේද? කෙසේවෙතත්, ස්වාමින්වහන්සේ පවසා ඇත්තේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” කියායි. 12 උන්වහන්සේ අප තුළ ඇති දේවත්වය අගය කරනවා, එමෙන්ම අපිත් එසේ කළ යුතුමයි. අපි වරදවල්, සිත් රිදීම්, ප්‍රමාණවත් නොවීමේ හැඟීම්, බලාපොරොත්තු සුන්වීම, කෝපය හෝ පාපයෙන් බරව සිටින විට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය, දිව්‍යමය සැලැස්මට අනුව, අපගේ ආත්මය ඔසවන එක් දෙයක් වෙනවා.

හතරවනුව, ආඥා පිළිපදින්න.

ස්වාමින්වහන්සේ පැහැදිලි ලෙසම මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “ඔබ මට ප්‍රේම කරනවා නම්, මගේ ආඥා පිළිපදින්න.” 13 යහපත් වීමට හා ධර්මිෂ්ඨකමින් ඉදිරියට යාමට සෑම දිනකම උත්සාහ කරන්න.

පස්වනුව, සෑමවිටම දේවමාළිගාවට යාමට සුදුසු වෙන්න.

එය ස්වාමින්වහන්සේට නිර්දේශ කිරීමක් ලෙස මම හඳුන්වනවා. ඔබට දේවමාළිගාවකට ප්‍රවේශ විය හැකි වුවත් නැතත්, වර්තමාන දේවමාළිගා නිර්දේශයකට සුදුසු වීම, ගිවිසුම් මාර්ගය කෙරෙහි වැදගත් වන දේවල් වෙත ඔබගේ දැඩි අවධානය යොමුකරවයි.

හයවෙනුව, ප්‍රීතිමත් හා උද්යෝගිමත් වන්න.

“ධෛර්යමත්ව සිටින්න, තවද බිය නොවන්න” ලෙස ස්වාමින්වහන්සේ පවසා තිබෙනවා. 14 ඒ ඇයි? සෑම අවස්ථාවකදීම අභියෝග වලට මුහුණදීමට අපට සිදුවන විට ප්‍රීතියෙන් සිටින්නේ කොහොමද? ඒ “ස්වාමින්වහන්සේ වන මම නුඹලා සමඟ වන්නෙමි, තවද නුඹලා සමඟ සිටින්නෙමි” කියා යේසුස්වහන්සේ කර ඇති පොරොන්දුව නිසායි. 15

සභාපති නෙල්සන් විසින් නැවත පිහිටවූ ශුභාරංචිය “ප්‍රීතියේ පණිවිඩයක්!” 16 ලෙස විස්තර කළා, එමෙන්ම ඔහු මෙසේ පැහැදිලි කරනවා: “අපට දැනෙන සතුටට අපේ ජීවිතයේ තත්වයන් හා සමඟ එතරම් සම්බන්ධයක් නැත, නමුත් අපගේ ජීවිතයේ අවධානය සමඟ එයට සෑම සම්බන්ධයක්ම ඇත.” 17

හත්වනුව, දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයාව අනුගමනය කරන්න.

මෙය මගේ කරුණු ලැයිස්තුවේ හත්වැනිය විය හැකි නමුත් අද එහි වැදගත්කම අනුව එය මගේ මනසේ ඉහළින්ම තිබෙනවා.

අද පොළව මත දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් අපට සිටිනවා! එයින් ඔබට අදහස් කරන දේ කිසිවිටෙකත් වට්ටම් කරන්න එපා. මම මුලින් සඳහන් කළ තරුණ කාන්තාව ඔබට මතකයිද. ඇයට වඩාත්ම වැදගත් වන දේවල් මොනවාද කියා දැනගැනීමට අවශ්‍ය වුණා. “ජීවමාන අනාගතවක්තෘවරයා අනුගමනය කරන්න,” කියා මම එදා පැවසූ අතර අද මම නැවත එය අවධාරණය කරනවා.

මේ කාලය සඳහා දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ අනාගතවක්තෘවරුන්, දර්ශන දකින්නන් සහ එළිදරව් කරන්නන් විසින් මෙහෙයවනු ලබන සභාවක් ලෙස අපි කැපීපෙනෙනවා. ඔබ ඔවුන්ගේ උපදෙස් වලට අවනත වී ක්‍රියා කරන විට ඔබව කිසිවිටෙකත් නොමඟ නොයවන බවට මම පොරොන්දු වෙනවා. කිසිදවසක නෑ!

අධ්‍යාත්මික භාවය, විනීතභාවය, අවංකභාවය සහ ගෞරවය ආක්‍රමණය වන විට අපි “ඈත මෑත විසිවෙමින්,” යන කාලයක ජීවත් වෙනවා. 18 අපි තෝරාගැනීම් කළ යුතුයි. අපගේ බිය සන්සුන් කරගැනීමට සහ අපගේ දෘෂ්ටිය ඉහළ නංවාගැනීමට ස්වාමින්වහන්සේගේ හඬ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා තුළින් අපට තිබෙනවා, මන්ද සභාපති නෙල්සන් කථා කරන විට ඔහු කතා කරන්නේ ස්වාමින්වහන්සේ වෙනුවෙන්.

“මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගයද මාගේ මාර්ගය නොවේය” ලෙස ස්වාමින්වහන්සේගේ වදන් අපට මතක්කර දෙන ශුද්ධලියවිලි පද සහ ඉගැන්වීම් තුළින් අපට ආශිර්වාද කර තිබෙනවා. 19

සිරියාවේ විශිෂ්ට හමුදා නායකයෙක්, නමුත් ලාදුරු රෝගියෙක් වූ නාමන්ටද එය එසේමයි, අනාගතවක්තෘ එලිෂාට ඔහුව සුවකළ හැකි බව ඔහුට පවසා තිබුණා. එලිෂා තම දූතයා එවා නාමන්ට යොර්දාන් ගඟේ හත් වරක් ගිලී නෑ යුතු බවත් එයින් ඔහු පවිත්‍රව සිටින බවත් පැවසුවා. නාමන් සමච්චල් කළා. නිසැකවම යොර්දානයට වඩා බලවත් ගංගාවක් තිබූ අතර, අනාගතවක්තෘ වූ එලිෂා ඔහුව පෞද්ගලිකව සුවකරනු ඇතැයි බලාපොරොත්තු වූ විට සේවකයෙකු යැව්වේ ඇයි? නාමන් ඉවත්ව ගිය නමුත් අවසානයේදී “අනාගතවක්තෘවරයා ඔබට යම් ශ්‍රේෂ්ඨ දෙයක් කිරීමට ආඥා කළා නම් ඔබ එය නොකරනවාද?” ලෙස ඔහුගේ සේවකයින් ඒත්තු ගැන්වුවා. 20 නාමන් අවසානයේ හත් වරක් යොර්දානයේ ගිලී සුවය ලැබුවා.

නාමන්ගේ වාර්තාව අපට මතක්කර දෙන්නේ අපේ සිතුවිලි වලට, අපේක්‍ෂාවට හෝ අද දින සම්මන්ත්‍රණයට ගැලපෙන අනාවැකිමය උපදෙස් කොටස් තෝරාගැනීමේ අවදානම ගැනයි. අපේ අනාගතවක්තෘවරයා සුවය ලැබීමට අපේම යොර්දාන් ගඟ නිතරම අපට පෙන්වාදෙනවා.

අපට ඇසීමට, මෙනෙහි කිරීමට සහ අනුගමනය කිරීමට හැකි වැදගත්ම වචන නම් අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා තුළින් එළිදරව් කළ වචනයි. සභාවේ සහ ලෝකයේ බැරෑරුම් කරුණු සාකච්ඡා කිරීම සඳහා මම සභාපති නෙල්සන් සමඟ උපදේශනයන් වල වාඩි වී ඇති බවත්, එළිදරව් ඔහු තුළින් ගලා එන අයුරු මම දැක ඇති බවටත් මම සාක්ශි දරනවා. ඔහු ස්වාමින්වහන්සේව දන්නවා, උන්වහන්සේගේ මාර්ග දන්නවා, දෙවියන්වහන්සේගේ සියලු දරුවන් ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සවන්දෙනු දැකීමට ඔහු කැමතියි.

වසර ගණනාවක සිටම වසරකට දෙවතාවක් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපි අනාගතවක්තෘවරයාගෙන් අසා තිබෙනවා. නමුත් අපේ කාලයේ සංකීර්ණ ගැටලු සමඟ සභාපති නෙල්සන් බොහෝ විට සංසද, 21 සමාජ මාධ්‍ය, 22 ආගමික රැස්වීම්, 23 මෙන්ම පුවත්පත් සාකච්ඡා වලද නිතර කථා කරනවා. 24 ඔහු කෘතඥතාව වඩාත් දිරිමත් කරන, පොළොවේ සිටින අපගේ සියලුම සහෝදර සහෝදරියන් වැඩි වශයෙන් ඇතුළත් කරගැනීම ප්‍රවර්‍ධනය කරන සහ අපගේ පෞද්ගලික ජීවිත තුළ සාමය, බලාපොරොත්තුව, ප්‍රීතිය, සෞඛ්‍යය සහ සුවය වැඩි කරන ගැඹුරු එළිදරව් පණිවිඩ සකස් කරමින් ඉදිරිපත් කරන අයුරු මම නිරීක්ෂණය කර තිබෙනවා.

සභාපති නෙල්සන් දක්ෂ සන්නිවේදකයෙකු වන නමුත් වඩාත් වැදගත් ලෙස ඔහු දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක්. ඔබ ඒ ගැන සිතන විට එය ඔබව මවිතයට පත්කළ හැකි නමුත් ඔහුගේ පැහැදිලි මගපෙන්වීම අද ලෝකය තුළ වංචාව, කපටි බව, සහ ලෞකික මාර්ග වලින් අප සියලුදෙනාවම ආරක්ෂා කරන බව වටහාගැනීම වැදගත්. 25

අනාවැකිමය ආවරණ සියල්ල එළිදරව් කිරීම් ගැනයි. 2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මණ්ත්‍රණයේදී ලබාදුන් “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය” ස්වාමින්වහන්සේ මෙම කාර්යය මෙහෙයවන බව අවධාරණය කරනවා. මෙම ප්‍රකාශනයේදී, පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය මෙසේ සඳහන් කළා: “පොරොන්දු වූ නැවත පිහිටුවීම අඛණ්ඩ එළිදරව් තුළින් ඉදිරියට යන බව අපි සතුටින් ප්‍රකාශ කරමු.” දෙවියන්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල ඒකරාශී කරන” (එපීස 1:10) නිසාවෙන්, පොළොව නැවත කිසිදිනෙක පෙර හා සමාන නොවනු ඇත.” 26

“ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සියල්ල” 27 සහ “මාගේ ප්‍රාණයේ දේවල්” 28 යන දෙවර්ගයම මෙම සභාව, මෙම ශුභාරංචිය, සහ මේ ජනයා පිළිබඳවයි.

මම අද බෙදාගත් “මගේ ප්‍රාණයේ දේවල්” හත ගැන සලකා බලන ලෙස ඔබ සෑම කෙනෙකුටම කෙරෙන ආරාධනයෙන් මම අවසන් කරනවා: පියාණන් වන දෙවියන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන්න; ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබට ප්‍රේම කරන්න; ආඥා පිළිපදින්න; සෑමවිටම දේවමාළිගා නිර්දේශය සඳහා සුදුසු වන්න; ප්‍රීතිමත් හා උද්යෝගිමත් වන්න සහ දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයාව අනුගමනය කරන්න. ඔබේ අට, නවය සහ දහය හඳුනාගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබේ හෘදයාංගම “දේවල්” අන් අය සමඟ බෙදාගෙන යාච්ඤා කිරීමට, මෙනෙහි කිරීමට, සහ ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම ලබාගැනීමට ඔවුන්ව දිරිමත් කළ හැකි ක්‍රම සලකා බලන්න.

මගේ ප්‍රාණයේ දේවල් මට මෙන්ම ඔබේ දේවල් ඔබට බොහෝ වටී. මේ දේවල් සභාව තුළ අපගේ සේවය සහ ජීවිතයේ සෑම අංශයක්ම ශක්තිමත් කරයි. ඒවා අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කැපකරයි, ඒවා අපේ ගිවිසුම් අපට මතක්කර දෙන අතර ස්වාමින්වහන්සේගේ දෑතේ සුරක්‍ෂිත බවක් දැනීමට ඒවා අපට උපකාරී වෙයි. උන්වහන්සේ පියාණන්වහන්සේ සමඟ මෙන් උන්වහන්සේ සමඟ එක් කෙනෙකු මෙන් වීම පිණිස, අපි උන්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට උත්සහ කරන විට, අපගේ ප්‍රාණය “බඩගිනි වන්නේවත් පිපාස වන්නේවත් නැත” 29 එහෙත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී යාම උන්වහන්සේගේ කමැත්ත බව මම ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.