ප්‍රධාන සම්මන්ත්‍රණය
අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක් විඳින ශුද්ධවන්තයින්ව සිහිකරන්න
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක් විඳින ශුද්ධවන්තයින්ව සිහිකරන්න

දුක් විඳින ඔබට ශක්තිය සහ ප්‍රීතිය පවා ලබාදීම සඳහා, ගිවිසුම් තබාගැනීම මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ බලය අගුළු හරියි.

ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්මට උන්වහන්සේගේ සියලු දරුවන්ව පරික්ෂා කර අභියෝග වලට මුහුණදෙන ලෞකික අත්දැකීමක් ඇතුළත් වෙනවා. 1 අවුරුදු පහකට පෙර මට පිළිකාවක් වැළඳුණා. ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, සහ ඖෂධ වල අතුරු ආබාධ නිසා ඇතිවන ශාරීරික වේදනාව මට දැනුණා, තවමත් දැනෙනවා. වධ හිංසාකාරී නින්දක් නැති රාත්‍රීන් වලදී මම චිත්තවේගීය අරගල අත්විඳින්දා. යම් හේතුවක් නිසා, මට සෑම දෙයක්ම වන පවුලක් හැරදමා, මම කිසිවිටෙකත් බලාපොරොත්තු වූවාට වඩා කලින්ම ලෞකිකත්වයෙන් ඉවත් වන බව වෛද්‍ය සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කෙරෙනවා.

ඔබ ජීවත් වන්නේ කොතැනක වුවත්, විවිධ අභියෝග සහ ලෞකික දුර්වලතාවයන්ගෙන් යුත් ශාරීරික හෝ චිත්තවේගීය වශයෙන් වන පීඩා, දැන්, හෝ කවදා හෝ ඔබේ ජීවිතයේ කොටසක් වෙයි.

ස්වාභාවිකව වයසට යාම, අනපේක්ෂිත රෝග, සහ අහඹු අනතුරු; කුසගින්න හෝ නිවාස නොමැතිකම; හෝ අපයෝජනය, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ යුද්ධය හේතුවෙන් ශාරීරික දුක් වේදනා ඇතිවිය හැකියි.

කාංසාව හෝ මානසික අවපීඩනයෙන්; සහකරුවෙකු, දෙමාපියෙකු හෝ විශ්වාසවන්ත නායකයෙකුගේ පාවාදීමකින්; රැකියා හෝ මූල්‍ය වෙනස්වීම්; අන් අයගේ අසාධාරණ විනිශ්චයන්; මිතුරන්, දරුවන් හෝ වෙනත් පවුලේ සාමාජිකයින්ගේ තේරීම්; විවිධ ආකාර වලින් සිදුවන අපයෝජනයෙන්; විවාහය හෝ දරුවන් පිළිබඳ ඉටුනොවූ සිහින; ආදරණීයයන්ගේ බරපතල අසනීප හෝ අකල් මරණය; හෝ වෙනත් බොහෝ ප්‍රභවයන් නිසා චිත්තවේගී දුක් වේදනා ඇතිවිය හැකියි.

අප සෑම කෙනෙකුටම එන අද්විතීය හා සමහරවිට දුර්වල කරන පීඩාවන් ඔබ දරාගන්නේ කෙසේද?

කෘතඥපූර්වකව, බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ දක්නට ලැබෙන අතර, බලාපොරොත්තුවටද ඔබේ ජීවිතයේ කොටසක් වෙන්නට පුළුවන්. ශුද්ධලියවිලි, අනාවැකිමය ඉගැන්වීම්, බොහෝ දේවසේවා බැහැදැකීම්, සහ මගේම සෞඛ්‍ය අභියෝග තුළින් ලබාගත් බලාපොරොත්තුවේ මූලධර්ම හතරක් මම අද බෙදාගන්නම්. මෙම මූලධර්ම පුළුල් ලෙස අදාළ වනවා පමණක් නොව එලෙසම ඒවා ගැඹුරු ලෙස පුද්ගලිකයි.

පළමුව, දුක්විඳීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ ඔබේ ජීවිතය කෙරෙහි අප්‍රසාදයට පත්වූ බවක් නොවේ. වසර දෙදහසකට පෙර, යේසුස්වහන්සේගේ ගෝලයෝ දේවමාළිගාවේදී අන්ධයෙකු දැක මෙසේ ඇසුවා, “රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද, මොහුද, මොහුගේ මවුපියෝද?”

ජීවිතයේ බොහෝ දුෂ්කරතා සහ දුක් වේදනා පාපයේ ප්‍රතිඵලයක් යැයි, අද බොහෝ මිනිසුන් මෙන්, උන්වහන්සේගේ ගෝලයන්ද වැරදි ලෙස විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබුණා. නමුත් ගැලවුම්කරුවාණන් මෙසේ පිළිතුරු දුන්නා, “දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස, මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ.” 2

දෙවියන්වහන්සේගේ කාර්යය නම් අපගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි. 3 නමුත් අභියෝග සහ දුක් වේදනා—විශේෂයෙන් වෙනත් පුද්ගලයෙකු පව්කාර ලෙස තෝරාගැනීමේ නිදහස භාවිතා කිරීම හේතුවෙන් පැනවූ පීඩා 4 —අවසානයේදී දෙවියන්වහන්සේගේ කාර්යය දියුණු කරන්නේ කොහොමද?

ස්වාමින්වහන්සේ තම ගිවිසුම් ජනතාවට මෙසේ පැවසුවා: “මම නුඹ පිරිපහදු කෙළෙමි … ; පීඩා නමැති උදුණේදී නුඹ තෝරාගතිමි.” 5 ඔබගේ දුක් විඳීමට හේතුව කුමක් වුවත්, ඔබේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේට ඔබේ ප්‍රාණය පිරිපහදු කිරීමට ඒවා යොමුකළ හැකියි. 6 පිරිපහදු කළ ප්‍රාණයන්ට සැබෑ අනුකම්පාවෙන් සහ දයානුකම්පාවෙන් අන් අයගේ බර දරාගන්නට පුළුවන්. 7 “මහත් පීඩාවෙන් පිටතට” පැමිණ ඇති පිරිපහදු කළ ප්‍රාණයන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදහටම ප්‍රීතියෙන් ජීවත් වීමට සූදානම්ව සිටින අතර, “දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු පිසදමන සේක.” 8

දෙවනුව, ඔබේ දුක් වේදනා ගැන ස්වර්ගික පියාණන්වහන්සේ ලෙන්ගතුවම දනී. අභියෝග මධ්‍යයේ සිටියදීත්, දෙවියන්වහන්සේ දුරස්ව සිටින බවත් අපගේ වේදනාව ගැන නොසලකන බවත් අපට වැරදියට සිතන්නට පුළුවන්. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පවා තම ජීවිතයේ පහත් අවස්ථාවක මෙම හැඟීම ප්‍රකාශ කළා. දහස් ගණන් ශුද්ධවන්තයින්ව නිවෙස් වලින් පලවාහරින විට ලිබර්ටි බන්ධනාගාරයේ සිරගතව සිටියදී ජෝසෆ් යාච්ඤාව තුළින් අවබෝධය ලබාගැනීමට උත්සාහ කළා: “අහෝ දෙවියනි, ඔබ කොහේද? ඔබවහන්සේගේ රහසිගත ස්ථානය සඟවෙන කූඩාරම කොතනද? ඔහු මෙම ආයාචනයත් සමඟම අවසන් කළා: “අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක් විඳින ශුද්ධවන්තයින්ව සිහිකරන්න.” 9

ස්වාමින්වහන්සේගේ පිළිතුර ජෝසෆ්ට සහ දුක් විඳින සියල්ලන්ටම සැනසීමක්:

“මාගේ පුත්‍රය, ඔබේ ආත්මයට සැනසීම ලැබේවා; ඔබේ විපත්තිය හා දුක් පීඩා සුළු මොහොතකට පමණි;

“එසේනම්, ඔබ එය හොඳින් විඳදරාගන්නේ නම්, දෙවියන්වහන්සේ ඉහළදී ඔබව උත්කර්ෂයට පත්කරනු ඇත.” 10

පීඩා විඳින බොහෝ ශුද්ධවන්තයින් තම පීඩා වලදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනුණු ආකාරය මා සමඟ බෙදාගෙන තිබෙනවා. දැඩි වේදනාවක් ඇතිවීමට හේතුව වෛද්‍යවරුන් විසින් තවමත් සොයාගෙන නොතිබූ මගේ පිළිකා සටනේ එක් අවස්ථාවකදී මගේම අත්දැකීම මට හොඳින් මතකයි. දිවා ආහාරය සඳහා සාමාන්‍ය ආශිර්වාදයක් දීමට අදහස් කරමින්, මම මගේ බිරිඳ සමඟ වාඩිවී සිටියා. ඒ වෙනුවට මට කළ හැකිවුණේ මෙසේ හැඬීම පමණයි “ස්වර්ගීය පියාණෙනි, කරුණාකර මට උදව් කරන්න. මම හරිම අසනීපෙන්.” ඊළඟ තත්පර 20 සිට 30 දක්වා මම උන්වහන්සේගේ ප්‍රේමයෙන් වටවී සිටියා. මගේ අසනීපයට හේතුවක්, අවසාන ප්‍රතිඵලය ගැන ඇඟවීමක්, සහ වේදනාවෙන් සහනයක් මට ලබාදුන්නේ නෑ. උන්වහන්සේගේ නිර්මල ආදරය මට දැනුන අතර, එය ප්‍රමාණවත් වුණා සහ එසේ වෙනවා.

ගේ කුරුල්ලෙකුගේ වැටීම ගැන පවා දන්නා අපේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබේ දුක් වේදනා ගැන දන්නා බව මම සාක්ෂි දරනවා. 11

තෙවනුව, ඔබගේ දුක් වේදනා හොඳින් විඳදරා ගැනීමට ශක්තිය ලබාගැනීමට උපකාර කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සක්‍රීය කිරීමේ බලය ලබාදෙනවා. මෙම සක්‍රීය කිරීමේ බලය උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ලබාදෙන්නට පුළුවන් වෙනවා. 12 ඔවුන් තරමක් දැඩි වුවහොත් ඕනෑම පීඩාවක් තනිවම ජයගත හැකි බව, සභාවේ බොහෝ සාමාජිකයින් සිතනවා. මේක ජීවත් වෙන්න අමාරු විදියක්. ඔබේ ප්‍රාණය ශක්තිමත් කිරීම සඳහා වූ ගැලවුම්කරුවාණන්ගේ අසීමිත බල සැපයුම සමඟ ඔබේ මොහොතක තාවකාලික ශක්තිය කිසිවිටෙකත් සසඳන්නට බැහැ. 13

අපට පිහිට වීමට හැකිවන ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ වේදනාවන්, අසනීප, සහ දුර්වලතාවන් “උන්වහන්සේ මතට ගත්” බව, මොර්මොන්ගේ පොතේ උගන්වනවා. 14 ඔබ පීඩා විඳින විට ඔබට පිහිට වීමට සහ ඔබව ශක්තිමත් කිරිමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලබාදෙන බලය කෙරෙහි ඔබ ඔබේ අවධානය යොමුකරන්නේ කොහොමද? ප්‍රධානම දෙය නම් ඔබ ගැලවුම්කරුවාණන් සමඟ කළ ගිවිසුම් තබාගැනීම මගින් ඔබ උන්වහන්සේ සමඟ බැඳීමක් ඇතිකරගැනීමයි. අපි පූජකවර නියෝග ලබාගන්නා විට, අපි මේ ගිවිසුම් ඇතිකරගන්නවා. 15

ඇල්මාගේ ජනතාව බව්තීස්ම වීමේ ගිවිසුමට ඇතුළු වුණා. පසුව ඔවුන්ට වහල්භාවයේ දුක් විඳිමින්, ප්‍රසිද්ධියේ නමස්කාර කිරීම හෝ ශබ්ද නගා යාච්ඤා කිරීම පවා තහනම් වුණා. එසේවුවද, ඔවුන්ගේ හදවත් වලින් නිහඬව මොරගසමින් තමන්ට හැකි උපරිමයෙන් ගිවිසුම් තබාගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස, දිව්‍යමය බලය පැමිණියා. “ඔවුන්ගේ බර පහසුවෙන් දරාගත හැකිවන පරිදි ස්වාමින්වහන්සේ ඔවුන්ව ශක්තිමත් [කළා].” 16

අපේ කාලයේදී, ගැලවුම්කරුවාණන් මෙසේ ආරාධනා කරනවා, “හැම සිතුවිල්ලකදීම මා වෙත බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න.” 17 අපි උන්වහන්සේව සැමවිටම මතකතබාගැනීම සඳහා අපගේ සක්‍රමේන්තු ගිවිසුම තබාගන්නා විට, උන්වහන්සේගේ ආත්මය අප සමඟ සිටින බවට උන්වහන්සේ පොරොන්දු වෙනවා. අභියෝග විඳදරා ගැනීමටත් අපට තනිවම කළ නොහැකි දේ කිරීමටත් ආත්මයාණන් අපට ශක්තිය ලබාදෙනවා. ආත්මයාණන්වහන්සේට අපව සුවකළ හැකියි, නමුත් සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට් මේ ලෙසද ඉගැන්වුවා, “මෙම සුවවීමෙන් කොටසක් වෙනත් ලෝකයක වුවද සිදුවිය හැකියි.” 18

“දේව භක්තියේ බලය ප්‍රත්‍යක්‍ෂ” වන දේවමාළිගා ගිවිසුම් සහ ආඥා මඟින්ද අපි ආශිර්වාද ලබනවා. 19 දරුණු අනතුරකින් නව යොවුන් වියේ දියණිය අහිමි වූ, සහ පසුව ඇගේ සැමියා පිළිකාවට ගොදුරු වුණු, කාන්තාවක් බැලීමට මම ගියා. ඇය මෙතරම් අහිමිවීමක් හා දුකක් විඳදරා ගන්නේ කෙසේද කියා මම ඇසුවා. නිතිපතා දේවමාළිගා වන්දනා කිරීමේදී සදාකාලික පවුලක අධ්‍යාත්මික සහතික කිරීම් තුළින් ශක්තිය ලැබුණු බවට ඇය පිළිතුරු දුන්නා. පොරොන්දු වී ඇති පරිදි, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නියෝග ඇයව දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ කර තිබෙනවා. 20

හතරවනුව, සෑම දිනකම ප්‍රීතිය සෙවීමට තෝරාගන්න. දුක්විඳින අයට නිතරම දැනෙන්නේ රාත්‍රිය ගෙවී යන අතර දිවා ආලෝකය කිසිදිනෙක නොපැමිණෙන බවයි. අඬන එක කමක් නැහැ. 21 එසේවුවද, ඔබ අඳුරු රාත්‍රියේ දුක් විඳිමින් සිටින්නේ නම්, ඇදහිල්ල තෝරාගැනීමෙන් ඔබට ප්‍රීති ප්‍රමුදිත වෙමින් දීප්තිමත් උදෑසනකට අවදි වෙන්නට පුළුවන්. 22

නිදසුනක් වශයෙන්, පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබන ඇයගේ වේදනාව සහ කෙස් හිඟකම නොතකා ඇගේ පුටුවේ සිනාසෙමින් සිටින තරුණ මවක් බැලීමට මම ගියා. දරුවන් පිළිසිඳ ගැනීමට නොහැකි වූ යෞවනයින්ගේ නායකයින් ලෙස සතුටින් සේවය කරන මැදි වයසේ යුවළක් මට හමුවුණා. දින කිහිපයකින් මියයන—ලාබාල ආච්චි කෙනෙක්, මවක්, සහ බිරිඳක් වූ—ආදරණීය කාන්තාවක් සමඟ මම වාඩි වී සිටියා, නමුත් පවුලේ කඳුළු අතර සිනහව හා ප්‍රීතිමත් මතකයන් තිබුණා.

මෙම දුක් විඳින ශුද්ධවන්තයින් සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ දෙයට හොඳ උදාහරණයක්:

“අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නැත.

“අපගේ ජීවිතයේ අවධානය යොමුවී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමෙ සැලැස්ම … හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය මත නම්, අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකියි.” 23

අපේ ස්වර්ගික පියාණන්වහන්සේ තම දුක් විඳින ශුද්ධවන්තයින් සිහිකරන බවත්, ඔබට ප්‍රේම කරන බවත්, එමෙන්ම ඔබ ගැන ඉතා ලෙන්ගතුව දන්නා බවත් මම සාක්ෂි දරනවා 24 . ඔබට හැඟෙන ආකාරය ගැන අපේ ගැලවුම්කරුවාණන් දන්නවා. “සැබවින්ම උන්වහන්සේ දරාගත්තේ අපේ දුකය, දරාගත්තේ අපේ ශෝකයය.” 25 දුක් විඳින ඔබට ශක්තිය සහ ප්‍රීතිය පවා ලබාදීම සඳහා, ගිවිසුම් තබාගැනීම මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ බලය අගුළු හරින බව—දිනපතා එය ලබන්නෙකු ලෙස 26 —මම දන්නවා.

දුක්විඳින සෑමදෙනෙක්ම වෙනුවෙන්, මම මෙසේ යාච්ඤා කරනවා, “උන්වහන්සේගේ පුත්‍රයාගේ ප්‍රීතිය තුළින් ඔබේ බර සැහැල්ලු වන පිණිස දෙවියන්වහන්සේ ඔබට ලබාදෙන සේක්වා.” 27 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න 1 පේත්‍රැස් 4:12–13.

  2. බලන්න යොහාන් 9:1–3.

  3. බලන්න මෝසෙස් 1:39.

  4. අනුන්ව දුකට පත්කරන තෝරාගැනීමේ නිදහසේ පව්කාර භාවිතය ලැයිස්තුගත කිරීමට නොහැකි තරම් නමුත්, කාමමිත්‍යාචාරයේ යෙදෙන සහකරු හෝ සහකාරිය, ළමයෙකු හෝ වැඩිහිටියෙකු අපයෝජනයට ලක්කරන පුද්ගලයෙක්, ආදරය කරන කෙනෙකුට තුවාල සිදුකරන හෝ ඝාතනය කරන බීමත් රියදුරෙකු, බොහෝ දෙනෙකුව ආබාධිත හෝ මරණයට පත්කරන සමූහ තුවක්කුකරුවෙකු හෝ ත්‍රස්තවාදී බෝම්බකරුවෙකු එයට අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා.

  5. යෙසායා 48:10; තවත් බලන්න සෙකරියා 13:9.

  6. බලන්න 2 නෙපි 2:1–2.

  7. වැඩිහිටි රොබර්ට් ඩී. හේල්ස් මෙසෙ ඉගැන්වූවේය: “අපි දුක් විඳින විට අන් අය ගැන සැලකිලිමත් වීමේ හැකියාව අප වර්ධනය කරගත යුතුමයි. එය අපගේ අධ්‍යාත්මික වර්ධනයේ ප්‍රධාන අංගයක්. අපගේ සෙසු මිනිසුන්ගේ සේවය තුළ අපගේ ජීවිතය අපි අහිමි කරගන්නා විට, අපි අපවම සොයාගන්නෙමු” (“Your Sorrow Shall Be Turned to Joy,” Ensign, Nov. 1983, 66).

  8. බලන්න එළිදරව් 7:13–17; 21:3–4.

  9. දහම සහ ගිවිසුම් 121:1, 6.

  10. දහම සහ ගිවිසුම් 121:7–8.

  11. බලන්න මතෙව් 10:29–31.

  12. See Bible Dictionary, “Grace.”

  13. බලන්න පිලිප්පි 4:13, 19; ඇල්මා 26:12; තවත් බලන්න 2 ලේකම් 32:7–8.

  14. බලන්න ඇල්මා 7:11–13; තවත් බලන්න 2 නෙපි 9:21.

  15. See General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 3.5, ChurchofJesusChrist.org.

  16. බලන්න මොසායා 24:13–15.

  17. දහම සහ ගිවිසුම් 6:36.

  18. James E. Faust, “Where Do I Make My Stand?,” Liahona, Nov. 2004, 21.

  19. දහම සහ ගිවිසුම් 84:20.

  20. බලන්න දහම සහ ගිවිසුම් 109:22; තවත් බලන්න 1 නෙපි 14:14.

  21. බලන්න යොහාන් 11:35; දහම සහ ගිවිසුම් 42:45.

  22. මෙම අදහසට ආභාෂය ලැබෙන්නේ වැඩිහිටි ජෝසෆ් බී. වර්ත්ලින්ගේ පණිවිඩයකිනි “Sunday Will Come,” Liahona, Nov. 2006, 28–30. තවත් බලන්න යොහාන් 1:2–4 (including the Joseph Smith Translation in footnote 2a); 5:10–11.

  23. Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82.

  24. අවුරුදු 20 කට පෙර, ප්‍රේරිතවරයෙකු සහ වැඩිහිටියෙකු වූ නීල් ඒ. මැක්ස්වෙල් ඔහුගේ වේදනාකාරී හා ජීවිතයෙන් කෙළවර වන අසනීපය ගැන කල්පනා කරමින් සිටියේය. ආත්මයාණන් මෙසේ මිමිණුවා, “මගේ මිනිසුන්ට අව්‍යාජ බව ඉගැන්වීමට මම ඔබට ලියුකේමියාව ලබාදුනිමි” (see Bruce C. Hafen, A Disciple’s Life: The Biography of Neal A. Maxwell [2002], 562).

  25. මොසායා 14:4; තවත් බලන්න යෙසායා 53:4.

  26. ලබන්නා සඳහා වඩාත් උචිත ශුද්ධලියවිලි වචනය කොටස්කරුවා යන්නයි (බලන්න ඊතර් 12:6–9).

  27. ඇල්මා 33:23.