ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීම

ශුද්ධලියවිලි සහ දෙවියන්වහන්සේ පිළිබඳ අපගේ දැනුම ත්‍යාගයන් වන අතර—ඒවා අපි බොහෝවිට සුළු කොට තැකිය හැකි ත්‍යාගයන්. මෙම ආශිර්වාද අපි අගය කරමු.

වැඩිහිටි නීල්සන්, ඔබේ ලස්සන පණිවිඩයට බොහෝම ස්තූතියි. අපට එය අවශ්‍යයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී අපට මෙසේ ඉගැන්වුවා, “ඕනෑම දෙයක් හොඳින් කිරීමට උත්සාහය අවශ්‍යයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු වීමද එයින් වෙනස් වන්නේ නෑ. උන්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල හා විශ්වාසය වැඩි කිරීමට වෑයමක් දැරිය යුතුයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩිකරගැනීම සඳහා ඔහු අපට දුන් නිර්දේශ අතර අප ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවර හා දේවසේවය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා ශුද්ධලියවිලි තුළ ගිලී අපි ඉගෙනීමෙහි නිරත විය යුතුයි. (බලන්න “ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයි,” ලියහෝනා, මැයි 2021, 103.)

ලෙහිගේ පවුලට ශුද්ධලියවිලි යනු වැදගත් කොටසක් බව අපි මොර්මොන්ගේ පොතෙන් ඉගෙනගන්නවා—එය කොතරම්ද යත්, නෙපි සහ ඔහුගේ සහෝදරයන් පිත්තල තහඩු ලබාගැනීමට යෙරුසලමට ආපසු ගියා (බලන්න 1 නෙපි 3–4).

ලියහෝනාව නෙපි සහ ඔහුගේ පියා වෙනුවෙන් කළාක් මෙන්, දෙවියන්වහන්සේට අප කෙරෙහි වූ කැමැත්ත ශුද්ධලියවිලි වලින් එළිදරව් කරනවා. ඔහුගේ දුන්න කැඩීමෙන් පසු, ආහාර ලබාගැනීම සඳහා ඔහු කොහේ යා යුතුදැයි නෙපිට දැනගැනීමට අවශ්‍ය වුණා. ඔහුගේ පියා වූ ලෙහි, ලියහෝනාව දෙස බැලූ විට ලියා ඇති දේ දුටුවා. මෙම දඟර ක්‍රියාත්මක වන්නේ ඇද්හිල්ල, උනන්දුව, සහ අවධානය යොමුකිරීම අනුව බව නෙපි දුටුවා. කියවීමට පහසු සහ ස්වාමින්වහන්සේගේ මාවත ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදෙන ලිවීම්ද ඔහු දුටුවා. ස්වාමින්වහන්සේ සුළු දේ තුළින් විශාල දේ ගෙන එන බව ඔහු දැනසිටියා. ලියහෝනාව මගින් දෙන ලද උපදෙස් වලට ඔහු කීකරු වුණා. ආහාර හිඟය නිසා බොහෝ පීඩා විඳි තම පවුල සඳහා, ඔහු කන්ද උඩට ගොස් ආහාර රැස්කර ගත්තා. (බලන්න 1 නෙපි 16:23–31.)

මට පෙනෙන පරිදි නෙපි ශුද්ධලියවිලි සඳහා කැප වූ ශිෂ්‍යයෙක්. ශුද්ධලියවිලි වලින් නෙපි සතුටු වූ බවත්, ඒවා හදවතින් මෙනෙහි කළ බවත්, තම දරුවන්ගේ ඉගෙනීම සහ ලාභය සඳහා ඒවා ලියා ඇති බවත් අපි කියවනවා (බලන්න 2 නෙපි 4:15–16).

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස පැහැදිළි කළා:

“ක්‍රිස්තුස්වහන්සේගේ වචනය මත භුක්ති විඳිමින් අපි ඉදිරියටම ඇදෙනවානම්, සහ අවසානය තෙක් විඳදරාගන්නවා නම්, … [අපට] සදාකාලික ජීවිතය හිමිවනු ඇත’ [2 නෙපි 31:20].

“භුක්ති විඳීම යනු රස බලනවාට වඩා වැඩි දෙයක්. භුක්ති විඳීම යනු රසවිඳීමයි. ශුද්ධලියවිලි ප්‍රීතිමත්ව සොයාගැනීමේ ආත්මයෙන් හා ඇදහිලිවන්තව කීකරුකමින් අධ්‍යයනය කිරීමෙන් අපි ඒවා රසවිඳිනවා. අපි ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳින විට, ඒවා ‘හදවතේ මාංසමය වගු වලට’ කාවැදෙනු ඇත’ [2 කොරින්ති 3:3]. ඒවා අපේ ස්වභාවයේ අනිවාර්ය අංගයක් බවට පත්වෙනවා” (“Living by Scriptural Guidance,” ලියහෝනා, ජන. 2001, 21).

අපගේ ප්‍රාණයන් ශුද්ධලියවිලි වල සතුටට පත්වුවහොත් අප කළ හැකි සමහර දේවල් මොනවාද?

තිරය දෙපස ඊශ්‍රායෙලය එක්රැස් කිරීමේ කොටසක් වීමට අපගේ ආශාව වැඩි වෙයි. ධර්මදූතයින්ට සවන්දෙන ලෙස අපි අපේ පවුලට සහ මිතුරන්ට ආරාධනා කිරීම සාමාන්‍ය හා ස්වාභාවික දෙයක් වෙයි. හැකි සෑමවිටම දේවමාළිගාවට යාමට අපට සුදුසු වියහැකි අතර හැකි සෑමවිටම දේවමාළිගාවට යෑමට අපට වලංගු දේවමාළිගා නිර්දේශක් අපට තිබෙයි. අපි අපේ මුතුන්-මිත්තන්ගේ නම් සොයා, සූදානම් කර, දේවමාළිගාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරයි. අපි සබත් දිනය පැවැත්වීමේදී ඇදහිලිවන්තව සිටින අතර, සෑම ඉරිදාවකම සභාවට ගොස් ස්වාමින්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් අලුත් කරගැනීම සඳහා සක්‍රමේන්තුව ගැනීමට සුදුස්සන් ලෙස සහභාගී වෙයි. දෙවියන්වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයකටම එකඟව ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට අපි අදිටන් කරගනියි (බලන්න දහම සහ ගිවිසුම් 84:44).

ස්වාමින්වහන්සේගේ දේ ගැන සතුටුවීම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

ශුද්ධලියවිලි තුළ ප්‍රීතිවීම යනු දැනුම සඳහා ඇතිවන කුසගින්න හා පිපාසයට වඩා වැඩි දෙයක්. නෙපි ඔහුගේ ජීවිත කාලය තුළ මහත් ප්‍රීතියක් අත්විඳ තිබෙනවා. කෙසේවෙතත්, ඔහු දුෂ්කරතාවන්ට සහ ශෝකයටද මුහුණදුන්නා (බලන්න 2 නෙපි 4:12–13). “කෙසේවෙතත්,” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා, “මම විශ්වාසය තබා ඇති තැනැන්වහන්සේ කව්ද කියා මම දනිමි” (2 නෙපි 4:19). අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ගැලවීමේ හා උත්කර්ෂයේ දෙවියන්වහන්සේගේ සැලැස්ම හොඳින් අවබෝධ කරගත හැකි අතර, නූතන අනාගතවක්තෘවරුන්ගේ පොරොන්දු හා ආශිර්වාද මෙන්ම උන්වහන්සේගේ ශුද්ධලියවිලි තුළින් අපට දුන් පොරොන්දු කෙරෙහිද විශ්වාසය තබන්නට පුළුවන්.

රූපය
දාවිත් සහ ගොලියත්

එක් සැන්දෑවක, මට සහ මගේ බිරිඳට මිතුරෙකුගේ නිවසකට පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබුණා. ඔවුන්ගේ හත් හැවිරිදි පුත් ඩේවිඩ්, දාවිත් සහ ගොලියත්ගේ බයිබල් කතාව කිසිදිනෙක අසා නැති අතර ඔහුට එය ඇසීමට අවශ්‍ය වුණා. මම කතාව කියන්නට පටන් ගනිද්දී, දාවිත් ඔහුගේ ඇදහිල්ලෙන් සහ ඊශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ නාමයෙන්, අතේ කඩුවක් නොමැතිව පිලිස්තිවරයා ගල් පටියකින් සහ ගලකින් තුවාල කර මරා දැමූ ආකාරය ඔහුගේ හිතට තදින් කාවැදුණා (බලන්න 1 සාමුවෙල් 17).

ඔහුගේ විශාල කළු ඇස් වලින් ස්ථීර ලෙස මා දෙස බලා, “දෙවියන්වහන්සේ කවුද?” කියා ඔහු ඇසුවා. දෙවියන්වහන්සේ අපේ ස්වර්ගික පියාණන් බවත් උන්වහන්සේ ගැන අපි ශුද්ධලියවිලි වලින් ඉගෙනගන්නා බවත් මම ඔහුට පැහැදිලි කළා.

ඊට පසු ඔහු මගෙන් “ශුද්ධලියවිලි කියන්නේ මොනවාද?” කියා ඇසුවා. ශුද්ධලියවිලි යනු දෙවියන්වහන්සේගේ වචනය බවත් දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැන හඳුනාගැනීමට උපකාරී වන ලස්සන කතන්දර ඔහුට ඒවා තුළ දක්නට ලැබෙන බවත් මම ඔහුට කිව්වා. ඔවුන්ගේ නිවසේ තිබූ බයිබලය භාවිතා කර කතාවම කියවන තුරු ඩේවිඩ්ට නිදාගැනීමට ඉඩ නොතබන ලෙස මම ඔහුගේ මවට කියා සිටියා. ඔහු එයට සවන්දෙමින් සතුටු වුණා. ශුද්ධලියවිලි සහ දෙවියන්වහන්සේ පිළිබඳ අපගේ දැනුම ත්‍යාගයන් වන අතර—ඒවා අපි බොහෝවිට සුළු කොට තැකිය හැකි ත්‍යාගයන්. මෙම ආශිර්වාද අපි අගය කරමු.

තරුණ පිරිමි ළමයෙකු ලෙස ධර්මදූත සේවයේ යෙදී සිටියදී, ශුද්ධලියවිලි පිළිබඳ අපගේ ඉගැන්වීමෙන් බොහෝ මිනිසුන්ගේ ජීවිත වෙනස් වූ බව මම නිරීක්ෂණය කළා. ඒවා තුළ ඇති බලය ගැනත් අපේ ජීවිත වෙනස් කිරීමට ඒවාට හැකි ආකාරය ගැනත් මට දැනුවත්ව වීමට හැකිවුණා. නැවත පිහිටවූ ශුභාරංචිය අප ඉගැන්වූ සෑම පුද්ගලයෙකුම විවිධ අවශ්‍යතා ඇති අද්විතීය පුද්ගලයන්. ශුද්ධ වූ ශුද්ධලියවිලි—ඔව්, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් ලියන ලද අනාවැකි—ඔවුන් තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් ඇතිකිරීමට, පසුතැවිලි වීමට, හා ඔවුන්ගේ සිත් වෙනස් කිරීමට හේතු වුණා.

දිව්‍ය ඥානය, මගපෙන්වීම්, අස්වැසිල්ල, ශක්තිය, සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට පිළිතුරු ලැබුණු හෙයින්, ශුද්ධලියවිලි ඔවුන්ව ප්‍රීතියෙන් පිරෙව්වා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ජීවිතයේ වෙනස් කිරීමට තීරණය කළ අතර දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට පටන්ගත්තා.

ක්‍රිස්තුස්වහන්සේගේ වචන අප කළ යුතු සෑම දෙයක්ම අපට පවසන බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ වචන වලින් ප්‍රීති වීමට නෙපි අපව දිරිමත් කරනවා (බලන්න 2 නෙපි 32:3).

රූපය
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය

ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම සඳහා ස්ථිර සැලැස්මක් ඇතිකරගැනීමට මම ඔබට ආරාධනා කරනවා. එන්න, මා අනුගමනය කරන්න ශුභාරංචිය ඉගැන්වීම සහ අධ්‍යයනය සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීම සඳහා, සහ අපට උන්වහන්සේ මෙන් වීමට උපකාර කිරීමට අපට ඇති විශාල සම්පතක්. අපි ශුභාරංචිය අධ්‍යයනය කරන විට, අප සරලව අලුත් තොරතුරු සොයන්නේ නෑ; ඒ වෙනුවට, අපි උත්සාහ කරන්නේ “නව ජීවියෙකු” වීමටයි (2 කොරින්ති 5:17).

ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යයට මගපෙන්වන අතර එම සත්‍යය පිළිබඳව සාක්ෂි දරනවා (බලන්න යොහාන් 16:13). උන්වහන්සේ අපගේ මනසවල් ආලෝකමත් කරනවා, එමෙන්ම අපගේ අවබෝධය වේගවත් කරනවා, සියලු සත්‍යයන්ගේ උල්පත වන, දෙවියන්වහන්සේගේ එළිදරව් මගින් අපගේ හදවත් ස්පර්ශ කරනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් පවිත්‍ර කරනවා. සත්‍යය අනුව ජීවත්වීමේ ආශාව උන්වහන්සේ අප තුළ ඇති කරනවා, සහ මෙය කිරීම සඳහා ආකාර උන්වහන්සේ අපට මුමුණනවා. “සැබවින්ම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට සියල්ල උගන්වනු ඇත” (යොහාන් 14:26).

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට උන්වහන්සේ හෙළි කළ වචන ගැන කථා කරමින් අපේ ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“මෙම වචන මිනිසුන්ගෙන් හෝ මිනිසාගේ නොව, මගේය; …

“නුඹලා හට මෙම වචන කතා කරන්නේ මාගේ හඬය; මක්නිසාද ඒවා මාගේ ආත්මයෙන් නුඹලා හට දෙනු ලැබ ඇත්තේය … ;

“එසේහෙයින්, මාගේ හඬ ඇසුනේ යැයිද, මාගේ වචන දන්නේ යැයිද, සාක්ෂි දැරීමට නුඹලාට හැකිය” (දහම සහ ගිවිසුම් 18:35–36).

අපි ශුද්ධාත්මයාණන්ගේ සහය පැතිය යුතුයි. මෙම ඉලක්කය අපගේ තේරීම් පාලනය කළ යුතු අතර අපගේ සිතුවිලි හා ක්‍රියාවන්ට මගපෙන්විය යුතුයි. ආත්මයේ බලපෑමට ආරාධනා කරන සෑමදෙයක්ම අප සෙවිය යුතු අතර මෙම බලපෑමෙන් බැහැර වන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කළ යුතුයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ස්වර්ගික පියාණන්ගේ ආදරණීය පුත්‍රයා බව මම සාක්ෂි දරනවා. මම මගේ ගැලවුම්කරුවාණන්ට ආදරෙයි. උන්වහන්සේගේ ශුද්ධලියවිලි සහ උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරුන් ගැන මම ස්තූතිවන්ත වනවා. සභාපති නෙල්සන් උන්වහන්සේගේ අනාගතවක්තෘවරයායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.