ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිලිවන්ත සෙවීමකට විපාක ලැබිණි
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිලිවන්ත සෙවීමකට විපාක ලැබිණි

උන්වහන්සේව සොයන සියලුදෙනාගේම ජීවිත වෙනස් කරන ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල අඛණ්ඩව වැඩිකරගන්නා ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.

1846 පටන් දහස් ගණන් පුරෝගාමී පුරුෂයින්, කාන්තාවන්, සහ ළමුන් බටහිර දෙසට සයොනය වෙත ගමන් කළා. ඔවුන්ගේ මහත් ඇදහිල්ල ඔවුන්ගේ අසීමිත ධෛර්යය කැළඹුවා. අතරමගදී මියගිය නිසා සමහරුන්ට එම ගමන කිසිදිනෙක අවසන් වූයේ නෑ. තවත් සමහරු, මහත් දුෂ්කරතාවන්ට මුහුණදෙමින් ඇදහිල්ලෙන් ඉදිරියට ගියා.

ඔවුන් නිසා, පරම්පරා ගනණාවකින් පසු, මගේ පවුලට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශුභාරංචියේ ආශිර්වාද භුක්තිවිඳීමට හැකිවුණා.

මම පසුව සඳහන් කරන, වෙනත් යෞවනයෙකු මෙන්, මමත් ආගම සහ මගේ ඇදහිල්ල ගැන ප්‍රශ්න කිරීමට පටන්ගන්නා විට මට වයස අවුරුදු 14 යි. මම මගේ නිවසට නුදුරින් පිහිටි වෙනත් නිකායක සභාවකට ගිය නමුත් විවිධ සභා ගණනාවකට යෑමේ ආශාව මට දැනුණා.

එක් සැන්දෑවක, අඳුරු ඇඳුම් කට්ටලයක් සහ සුදු කමිස ඇඳගත් තරුණයන් දෙදෙනෙක් මගේ අසල්වැසියාගේ නිවසට ඇතුළු වන අයුරු මම දුටුවා. මේ තරුණයන්ගේ—විශේෂත්වයක් දක්නට ලැබුණා.

ඊළඟ දවසේ මම මගේ අසල්වැසියා වූ ලියනෝර් ලෝපෙස් හමුවී ඇයගෙන් ඒ පුද්ගලයන් දෙදෙනා ගැන විමසුවා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ධර්මදූතයින් බව ලියනෝර් පැහැදිලි කළා. වසරකට පෙර ඇගේ පවුල සභාවට බව්තීස්ම වූ බව ඇය මට සතුටින් පැවසුවා. මගේ උනන්දුව දුටු ලියනෝර් ධර්මදූතයන් හමුවීමට සහ සභාව ගැන ඉගෙනගැනීමට මට ආරාධනා කළා.

දින දෙකකට පසු, මම ධර්මදූතයන් හමුවීමට ලෝපෙස් පවුලට එකතු වුණා. ඔවුන් තමන්ව යූටා ඔග්ඩන් හි වැඩිහිටි ජෝන් මෙසර්ලි සහ කැලිෆෝනියාවේ වෝල්නට් ක්‍රීක් හි වැඩිහිටි ක්‍රිස්ටෝපර් ඔසෝරියෝ ලෙස හඳුන්වා දුන්නා. මට ඔවුන්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ.

රූපය
ධර්මදූතයින් රාත්‍රී ආහාර වේලක් අතරතුර උගන්වමින්

මට වයස 14 ක් වූ හෙයින්, වැඩිහිටි මෙසර්ලි තරයේ කියා සිටියේ ඔවුන් මට උගන්වන දේ මාගේ මවගේ දැනගැනීම පිණිස යාබද පිහිටි අපේ නිවසට යා යුතු බවයි. එහිදී ඔහු, ඔවුන් පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන පණිවිඩයක් බෙදාගැනීමට බවත් මට ඉගැන්වීමට ඇයගෙන් අවසර ඉල්ලා සිටි බවත් කාරුණිකව පැහැදිලි කළා. මව එයට එකඟ වූ අතර ඔවුන්ගේ ඉගැන්වීමටද සහභාගී වුණා.

ධර්මදූතයන් මුළින්ම ලියනෝර්ට යාච්ඤාවක් කරන ලෙස පැවසුවා. ඇගේ යාච්ඤාව මතකතබාගත් වචන නැවත නැවත උච්චාරණය කිරීමක් නොව ඇගේ හදවතින්ම ප්‍රකාශ වූ වචන බැවින් මෙය මගේ හදවතට තදින්ම කාවැදුණා. මට දැනුනේ ඇය සැබවින්ම ඇගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ කතා කරන බවයි.

ධර්මදූතයන් පසුව යේසුස්වහන්සේ ගැන අපට ඉගැන්වුවා. ඔවුන් පෙන්වූ උන්වහනේගේ පින්තූරය මරණින් නැවත නැගිටි, ජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් නිසා එය මාගේ සිත් ගත්තා.

රූපය
ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස්වහන්සේ උන්වහන්සේ සභාවේ හිස මෙන් කටයුතු කරමින් තවත් ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙකු සම්බන්ධ කරගෙන අතීතයේදී තම සභාව පිහිටවූ ආකාරය ඔවුන් තවදුරටත් කියාදුන්නා. ඇදහිල්ලෙන් වැටීම ගැන— එනම් උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ මරණයෙන් පසු සත්‍යය සහ ක්‍රිස්තුස්වහන්සේගේ අධිකාරය පොළොවෙන් නැතිවූ ආකාරය ඔවුන් අපට ඉගැන්නුවා.

1800 ගණන් වල මුල් භාගයේදී සත්‍යය සෙවීමට විවිධ සභා වලට ගිය ජෝසෆ් ස්මිත් නම් 14 හැවිරිදි තරුණ පිරිමි ළමයෙකු ගැන ඔවුන් අපට පැවසුවා. කාලය ගෙවී යත්ම ජෝසෆ් තවත් ව්‍යාකූල වී තිබුණා. ප්‍රඥාව සඳහා අපට “දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය” 1 හැකි බව බයිබලයෙන් කියවීමෙන් පසු, ජෝසෆ් ඇදහිල්ලෙන් ක්‍රියා කරමින්, කැළයකට ගොස් යාච්ඤා කර කුමන සභාවකට යා යුතු දැයි අසන්නට වුණා.

එක් ධර්මදූතයෙක් යාච්ඤාවේදී සිදුවූ දේ ගැන ජෝසෆ්ගේ වාර්තාව කියෙව්වා:

මාගේ හිසට උඩින්, හිරුගේ දීප්තිය ඉක්මවූ ආලෝක ස්ථම්භයක්, මම දුටුවෙමි, එය මා මත පතිත වනතුරු ක්‍රමයෙන් පහත් විය.

“… එම ආලෝකය මා මත පතිත වූ විට, අවකාශයේ මට ඉහළින් සිටගෙන සිටින. උන්වහන්සේලාගේ දීප්තිය සහ මහිමය වර්ණනා විෂය ඉක්මවන තරම් වූ, උත්තමයන් දෙදෙනෙකු මම දුටුවෙමි. එයින් කෙනෙක් මාගේ නමින් මට කතාකොට, අනෙක් තැනැත්තා පෙන්වා මෙසේ කීවේය—මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න! 2

එම පාඩමේදී ආත්මයාණන්වහන්සේ මට සත්‍යයන් කිහිපයක් තහවුරු කළා.

පළමුවෙන්ම, දෙවියන්වහන්සේ සිය දරුවන්ගේ සියලු අවංක යාච්ඤා වලට සවන්දෙන අතර ස්වල්ප දෙනෙක් පමණක් නොව—සියලුදෙනාටම ස්වර්ගය විවෘතව තිබෙනවා.

දෙවනුව, පියාණන් වන දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සහ ශුද්ධාත්මයාණන්වහන්සේ යනු මනුෂ්‍යයාගේ අමරණීයභාවය හා සදාකාල ජීවනය ගෙන ඒමේ අරමුණින් එක්සත් වූ වෙනම ජීවීන් තිදෙනෙක්.” 3

තෙවනුව, අපව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා තිබෙනවා. අපේ ස්වර්ගික පියාණන්ට සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපට මෙන් මස් හා ඇට සහිත ශරීරයක් ඇති නමුත් ඒවා මහිමයට පත්වී පරිපූර්ණ වී ඇති අතර ශුද්ධාත්මයාණෝ ආත්මයේ පුද්ගලයෙක්. 4

හතරවනුව, ජෝසෆ් ස්මිත් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ශුභාරංචිය සහ සත්‍ය සභාව නැවත පොළොවට ලබාදුන්නා. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට වසර 2,000 කට පෙර පිරිනමන ලද පූජකවරයම පේත්‍රැස්, යාකොබ්, සහ යොහාන් විසින් ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කව්ඩ්‍රි යන දෙදෙනාටත් පිරිනැමුවා. 5

අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් ගැන අපි ඉගෙනගන්නවා: මොර්මොන්ගේ පොත. පුරාණ අනාගතවක්තෘවරුන් විසින් ලියන ලද එය යේසුස්වහන්සේගේ උපතට පෙර, අතරතුර, සහ පසු අමෙරිකාවේ ජීවත් වූ මිනිසුන් ගැන පවසනවා. මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් ලෙස ඔවුන්ට පෙනී සිටි ක්‍රිස්තුස්වහන්සේව ඔවුන් දැනගෙන, ආදරය කර, නමස්කාර කළ ආකාරය එයින් අපි ඉගෙනගන්නවා.

ගැලවුම්කරුවාණන් ඔවුන්ට කළ ප්‍රකාශය ගැන දැනගත් විට ආත්මයාණන්වහන්සේ මා තුළ බලවත් ලෙස පෙලඹීමක් ඇතිකළා: “බලන්න, ලෝකය තුළට පැමිණෙන්නේ යැයි අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරුවාවූ මම එම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි.” 6

ධර්මදූතවරුන් මොර්මොන්ගේ පොතේ අපේම පිටපතක් අපට ලබාදුන්නා. මොර්මොන්ගේ පොතේ අවසානයේ මෙලෙස කියැවෙන ආරාධනය අපි කියවා පිළිගත්තා:

“තවද නුඹලා මෙම දේවල් ලබාගන්නා විට, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවියන්වහන්සේ වන සදාකාලික පියාණන්වහන්සේගෙන් මෙම පොත සත්‍ය බව ඇසීමට අපි ආරාධනා කරමු. මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් ඇදහිල්ලෙන් අසන අයට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එහි සත්‍යතාවය සහ දිව්‍යමය භාවය පිළිබඳ සාක්ෂිය ලැබෙනු ඇත.”

“ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් නුඹලා සත්‍ය සම්බන්ධව සියලු දේවල් දැනගන්නාහුය.” 7

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමේ ප්‍රීතිය හා බලය ගැන මම සහ මගේ මව මුලින්ම ඉගෙනගෙන දැන් වසර 45 ක් පමණ ගතවී තිබෙනවා. ලෝපෙස් පවුල ඔවුන්ගේ නව ඇදහිල්ල මා සමඟ බෙදාගත්තේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබූ ඇදහිල්ල නිසායි. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබූ ඇදහිල්ල නිසා මෙම ධර්මදූතයන් දෙදෙනා මගේ මව සහ මා සොයා අමෙරිකාවේ ඔවුන්ගේ නිවෙස් අතහැර පැමිණ සිටියා. මේ සියලු ආදරණීය මිතුරන්ගේ ඇදහිල්ල නිසා අප කෙරෙහි අබ ඇටයක් තරම් ඇදහිල්ලක් රෝපණය වී, එතැන් සිට එය සදාකාලික ආශිර්වාදයේ බලවත් ගසක් දක්වා වැඩී තිබෙනවා.

මෙම ආශිර්වාද ලත් වසර කිහිපය තුළදී, අපි දැන සිටින මෙම දේවල් සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “ජීවිතයේ යහපත් සෑම දෙයක්ම—සදාකාලික වැදගත්කමේ සෑම ආශිර්වාදයක්ම—ආරම්භ වන්නේ ඇදහිල්ලෙනි. අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම ආරම්භ වන්නේ උන්වහන්සේ අපට මගපෙන්වීමට කැමති බවට ඇති ඇදහිල්ල සමඟයි. සැබෑ පසුතැවිල්ල ආරම්භ වන්නේ අපව පවිත්‍ර කිරීමට, සුව කිරීමට හා ශක්තිමත් කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇති බවට වූ ඇදහිල්ල සමඟයි.” 8

මාගේ ආදරණීය මවගේ සහ මගේ ජීවිත වෙනස් කළ සහ උන්වහන්සේව සොයන සියලු දෙනාගේම ජීවිත වෙනස් කරන ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල අඛණ්ඩව වැඩිකරගන්නා ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. ජෝසෆ් ස්මිත් නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා බවත්, සභාපති නෙල්සන් අද අපේ අනාගතවක්තෘවරයා බවත්, යේසුස්වහන්සේ ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ සහ අපගේ මිදුම්කරුවාණන් බවත් ඒවගේම ස්වර්ගික පියාණන්වහන්සේ ජීවමාන වන අතර උන්වහන්සේගේ දරුවන්ගේ සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙන බවත් මම දන්නවා. මෙම සත්‍යයන් ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.