ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රාතිහාර්යයන්
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රාතිහාර්යයන්

උන්වහන්සේගේ ශුභාරංචියට අපට බලාපොරොත්තුව, සාමය, සහ ප්‍රීතිය ගෙනදිය හැකි බවත්, නමුත් දැන් පමණක් නොව එය අනාගත පරම්පරාවේ ගණන් කළ නොහැකි තරම් අයට ආශිර්වාද කරනු ඇති බවත් මම දන්නවා.

මබූහායි! පිලිපීනයේ අපූරු ශුද්ධවන්තයින්ගෙන් මම ඔබට ආදරය හා උණුසුම් සිනහවන් ගෙන එනවා. පළමු ධර්මදූතයින් පිලිපීනයේ දූපත් වෙත පැමිණ මේ වසරට වසර 60 ක් සපිරෙනවා. අද වන විට ධර්මදූතයන් 23 සහ සභාවේ සාමාජිකයින් 800,000 කට වැඩි සංඛ්‍යාවක් ස්ටේක 123 ක සිටිනවා. දැන් ක්‍රියාත්මක වෙමින් පවතින, ඉදිකෙරෙමින් පවතින හෝ නිවේදනය කරන ලද දේවමාළිගා හතක් තිබෙනවා. මෙය සැබැවින්ම ආශ්චර්යයක්. 2 නෙපි 10:21 අනාවැකියේ සම්පූර්ණ වීම අපි දකිමින් සිටිනවා: “එහෙත් මුහුදේ දූපත් මත සිටින්නන් හට ස්වාමින්වහන්සේගේ පොරොන්දු බලවත්ය.”

රූපය
සභාපති හින්ක්ලි පිලිපීනයේ

මෙම ප්‍රාතිහාර්යය, 1961 මැනිලා හිදී එවකට වැඩිහිටි ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් යාච්ඤාවකින් දුන් අනාවැකියේ සම්පූර්ණ වීමක්ද වෙනවා. එම යාච්ඤාවේදී, සභාපති හින්ක්ලි මෙලෙස සඳහන් කළා: “මෙහි පැමිණෙන අයට මිත්‍රශීලී, ආගන්තුක සත්කාරයෙන් හා කරුණාවෙන් හා දයාන්විතව කටයුතු කළ හැකිවන පිණිස, අපි මේ රටේ ජනතාවට ඔබේ ආශිර්වාදය අයැද සිටිමු, ඒ වගේම බොහෝ දෙනෙකුට, එසේය, ස්වාමිනි, [බොහෝ දෙනෙකුට] මෙම පණිවිඩය ලැබ එයින් ආශිර්වාද ලබන බොහෝ දහස් ගණනක් සිටිය යුතු යැයි අපි යාච්ඤා කරමු. පිළිගැනීමේ මනසින් සහ තේරුම්ගැනීමේ හදවතින්, ඒ වගේම ලබාගැනීමට ඇදහිල්ලෙන්, සහ ශුභාරංචියේ මූලධර්ම අනුව ජීවත් වීමට ධෛර්යයෙන් ඔබ ඔවුන්ට ආශිර්වාද කරනු මැනව” (dedicatory prayer at American War Memorial Cemetery, Philippines, Apr. 28, 1961).

රූපය
රිවිලියෝ පවුල

බොහෝ දහස්-ගණන් ඇදහිලිවන්ත පසුදවස් වල ශුද්ධවන්තයින් හැරුණු කොට, ශුභාරංචියේ ප්‍රාතිහාර්යයන් මෙම රටට සහ එහි ජනතාවට යහපත් වෙනස්කම් ගෙනදී තිබෙනවා. මම මේ පිළිබඳව ජීවමාන සාක්ෂිකරුවෙක්. මින්දනව් හි දකුණු දූපතේ සිට මගේ දෙමාපියන් සභාවට සම්බන්ධ වන විට මට වයස අවුරුදු හයයි. එකල, මුළු රටේම තිබුණේ එක් ධර්මදූතයක් පමණක් වූ අතර එහි කිසිඳු ස්ටේකයක් තිබුණේ නැහැ. ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට මගේ දෙමාපියන්ට තිබූ ධෛර්යය සහ කැපවීම ගැන මම සදාකාලිකව ස්තූතිවන්ත වෙනවා. මම ඔවුන්ට සහ පිලිපීනයේ සභාවේ සියලුම පුරෝගාමීන්ට ගෞරව කරනවා. ඔවුන් ඊළඟ පරම්පරාවන්ට ආශිර්වාද ලැබීම සඳහා මාර්ගය සකස් කළා.

මොර්මොන්ගේ පොතේ බෙන්යමින් රජ මෙසේ පවසනවා: “තවද, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාදිත හා ප්‍රීතිමත් රාජ්‍යය පිළිබඳව සලකා බැලිය යුතු යැයි මම කැමැත්තෙමි. මක්නිසාද බලන්න, ඔවුහු සියලු දෙයෙහිම අශිර්වාද ලද්දෝය, ලෞකික සහ ආත්මික දෙකෙහිම” (මොසායා 2:41).

අපි ශුභාරංචියේ මූලධර්ම හා නියෝග වලට කීකරු වන විට සහ ඒ අනුව ජීවත් වන විට, අපි ආශිර්වාද ලබා, වෙනස් වී, එමෙන්ම තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට පරිවර්තනය වෙනවා. මගේ පවුලද ඇතුළුව, පිලිපීන ශුද්ධවන්තයින්ව ශුභාරංචිය වෙනස් කළේ සහ ආශිර්වාද කළේ එලෙසයි. ශුභාරංචිය ඇත්තෙන්ම සන්තෝෂය, සහ බහුල ජීවිතයක් සඳහා මාර්ගයයි.

ශුභාරංචියේ පළමු මූලධර්මය නම් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි. බොහෝ පිලිපීන ජාතිකයින්ට දෙවියන්වහන්සේ කෙරෙහි ස්වාභාවික විශ්වාසයක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට සහ අපගේ යාච්ඤා වලට පිළිතුරු ලැබිය හැකි බව දැනගැනීම අපට පහසුයි.

රූපය
ඔබෙඩෝසා පවුල

ඔබෙඩෝසා පවුල මෙයට කදිම උදාහරණයක්. මම තරුණයෙක්ව සිටියදී මගේ ශාඛාවේ සභාපති වූයේ ඔබෙඩෝසා සහෝදරයායි. ඔබෙඩෝසා සහෝදරයා සහ එම සහෝදරිගේ ලොකුම ආශාව වූයේ මැනිලා දේවමාළිගාවේ තම පවුල සමඟ මුද්‍රා වීමයි. ඔවුන් ජීවත් වූයේ මැනිලා සිට සැතපුම් 1000 ක් (1,600 km) දුරින් පිහිටි ජෙනරල් සැන්ටෝස් නම් නගරයේයි. නව දෙනෙකුගෙන් යුත් පවුලට දේවමාළිගාවට යන ගමන කළ නොහැකි දෙයක් මෙන් පෙනෙන්නට වුණා. නමුත් විශාල මිලකට එක් මුතු ඇටයක් මිලදී ගැනීමට ගොස් ඔහු සතුව තිබූ සියල්ල විකුණා දැමු වෙළෙන්දා මෙන් (බලන්න මතෙව් 13:45–46), මෙම යුවළ ගමනට ගෙවීම සඳහා තම නිවස විකිණීමට තීරණය කළා. ඔවුන්ට ආපසු යාමට නිවසක් නොමැති නිසා ඔබෙඩෝසා සහෝදරිය කනස්සල්ලට පත්වුණා. නමුත් ස්වාමින්වහන්සේ සපයනු ඇති බවට සහෝදර ඔබෙඩෝසා ඇයට සහතික වුණා.

1985 දී මෙළොව සහ සදාකාලය සඳහා ඔවුන් දේවමාළිගාවේ පවුලක් ලෙස මුද්‍රා වුණා. දේවමාළිගාවේදී ඔවුන්ගේ මිල කළ නොහැකි මුතු ඇටය වන—කිසිවකට සමකළ නොහැකි ප්‍රීතිය සොයාගත්තා. එමෙන්ම සහෝදර ඔබෙඩෝසාගේ වචන සැබෑ කරමින් ස්වාමින්වහන්සේ සැපයුවා. මැනිලා සිට ආපසු පැමිණි පසු, කාරුණික හඳුනන අය ඔවුන්ට නවාතැන් ගැනීමට ස්ථාන ලබාදුන්නා, සහ අවසානයේදී ඔවුන් තමන්ගේම නිවසක් ලබාගත්තා. ස්වාමින්වහන්සේ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන අයව රැකබලා ගන්නවා.

ශුභාරංචියේ දෙවන මූලධර්මය නම් පසුතැවීමයි. පසුතැවීම යනු පාපයෙන් ඉවත් වී සමාව සඳහා දෙවියන්වහන්සේ වෙතට හැරීමයි. එය මනසේ හා හදවතේ විශාල වෙනසක්. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වන පරිදි, එය “සෑම දිනකම ටිකක් යහපත් වීම සහ කිරීමයි” (“අපට වඩාත් හොඳින් කළ හැකි අතර හොඳ විය හැකියි,” ලියහෝනා, මැයි 2019, 67).

පසුතැවීම සබන් වගෙයි. තරුණ රසායනික ඉංජිනේරුවෙකු ලෙස, මම පිලිපීනයේ සබන් කර්මාන්ත ශාලාවක වැඩ කළා. සබන් සාදාගන්නා ආකාරය සහ එය ක්‍රියාකරන ආකාරය මම ඉගෙනගත්තා. ඔබ ක්ෂාර පදනමක් සමඟ තෙල් මිශ්‍ර කර එයට ප්‍රතිබැක්ටීරීයා කාරක එකතු කළ විට, එය බැක්ටීරියා සහ වෛරස් ඉවත් කළ හැකි බලවත් ද්‍රව්‍යයක් නිර්මාණය කරනවා. සබන් මෙන්, පසුතැවීමද පිරිසිඳු කාරකයක්. “කිසිම අපවිත්‍ර දෙයකට [දෙවියන්වහන්සේගේ] රාජ්‍යය උරුම කරගත නොහැකි බැවින්” අපි දෙවියන්වහන්සේ සමඟ සිටීමට සුදුසු වන පිණිස අපගේ අපද්‍රව්‍ය සහ අපගේ පැරණි සුන්බුන් ඉවත් කිරීමට එය අපට ඉඩසලසනවා (ඇල්මා 11:37).

පසුතැවීම තුළින් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්‍ර කිරීමේ හා පාරිශුද්ධ කිරීමේ බලය කෙරෙහි යොමුවෙනවා. එය පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක්. මොර්මොන්ගේ පොතේ විරුද්ධ-නෙපි-ලෙහිවරුන්ට සිදුවූයේද මෙයයි. ලාමන්වරුන් වන ඔවුන් කෙතරම් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වූවාද කිවහොත් “ඔවුන් කිසිදිනෙක වැටුණේ නෑ” (බලන්න ඇල්මා 23:6–8). ඔවුන් තම යුද ආයුධ වළ දැමූ අතර නැවත කිසිදිනෙක ඒවා අතට ගත්තේ නෑ. ඒ ගිවිසුම කඩකරනවාට වඩා ඔවුන් මරණයට මුහුණදීමට සූදානමින් සිටියා. ඒ වගේම ඔවුන් එය ඔප්පු කළා. ඔවුන්ගේ පරිත්‍යාගය ප්‍රාතිහාර්යයන් ගෙනදුන් බව අපි දන්නවා; ඔවුන්ට විරුද්ධව සටන් කළ දහස් ගණනක් ආයුධ බිම හෙළා හැරුණා. වසර ගණනාවකට පසු, බලවත් ගැටවර සෙබලුන් ලෙස අප දන්නා, ඔවුන්ගේ පුතුන්ව, ඇදහිය නොහැකි අන්තරායන්ට එරෙහිව සටනේදී ආරක්ෂා කෙරෙනු ලැබුවා!

රූපය
වඩිහිටි රිවිලියෝගේ පියා

මගේ පවුල සහ බොහෝ පිලිපීන ශුද්ධවන්තයින් ඒ හා සමාන හැරීමේ ක්‍රියාවලියක් හරහා ගියා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගෙන සභාවට සම්බන්ධ වූ විට, අපි ශුභාරංචියට අනුගත වීම සඳහා අපගේ ක්‍රමය හා සංස්කෘතිය අපි වෙනස් කළා. අපට වැරදි සම්ප්‍රදායන් අත්හැරීමට සිදුවුණා. මගේ පියා ශුභාරංචිය පිලිබඳ ඉගෙනගෙන පසුතැවිලි වීමේදී, මම මෙය මාගේ පියා තුළ දුටුවා. ඔහු අධික ලෙස දුම් පානය කරන්නෙකු වූ නමුත්, ඔහුගේ දුම්වැටිය ඉවතට විසිකළ අතර නැවත කිසිදිනෙක එය ස්පර්ශ කළේ නෑ. ඔහු වෙනස් වීමට ගත් තීරණය නිසා, ඔහුගෙන් පසු පරම්පරා හතරක් ආශිර්වාද ලබා තිබෙනවා.

රූපය
රෙවිලියෝ පවුලේ පරම්පරාවන්

පසුතැවීම ශුද්ධ වූ නියෝග තුළින් ගිවිසුම් ඇතිකරගැනීමට හා පවත්වා ගැනීමට අපව යොමුකරනවා. ගැලවීම සහ උත්කර්ෂයේ පළමු ආඥාව නම් පව් සමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම වීමයි. බව්තීස්මය තුළින් අපට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබාගැනීමට සහ ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුමක් ඇතිකරගැනීමට ඉඩ සලසනවා. සක්‍රමේන්තුව ගන්නා විට අපට සෑම සතියකම බව්තීස්ම වීමේ මෙම ගිවිසුම අලුත් කරන්නට පුළුවන්. මෙයද ප්‍රාර්තිහාර්යයක්!

සහෝදර සහෝදරියනි, මෙම ප්‍රර්තිහාර්යය ඔබේ ජීවිතයට ගෙන එන ලෙසට මම ඔබට ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමටත්; පසුතැවිලි වී, ගැලවීම සහ උත්කර්ෂය පිළිබඳ නියෝග වල ඇති ගිවිසුම් ඇතිකර තබාගැනීමටත් තෝරාගන්න. මෙය ඔබට ක්‍රිස්තුස්වහන්සේ සමඟ සම්බන්ධ වීමටත් දේවත්වයේ බලය හා ආශිර්වාද ලබාගැනීමටත් ඉඩ සලසනවා (බලන්න දහම සහ ගිවිසුම් 84:20).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යථාර්ථය ගැනත්, උන්වහන්සේ ජීවත් වන බවටත්, උන්වහන්සේ අප සෑම කෙනෙකුටම ආදරය කරන බවටත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ ශුභාරංචියට අපට බලාපොරොත්තුව, සාමය, සහ ප්‍රීතිය ගෙනදිය හැකි බවත්, නමුත් දැන් පමණක් නොව එය අනාගත පරම්පරාවේ ගණන් කළ නොහැකි තරම් අයට ආශිර්වාද කරනු ඇති බවත් මම දන්නවා. පිලිපීන ශුද්ධවන්තයින්ගේ ලස්සන හා උණුසුම් සිනහවන් වලට හේතුව එයයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සහ දහමේ ප්‍රාර්තිහාර්යය එයයි. මම මේ දේවල් ගැන සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.