ප්‍රධාන සම්මන්ත්‍රණය
ගිලියද් හි ආලේපය නැත්ද?
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගිලියද් හි ආලේපය නැත්ද?

ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය යනු අපගේ ශරීර සුවකිරීමේ හැකියාව පමණක් නොවේ, නමුත්, සමහරවිට වඩාත් වැදගත් දෙය නම්, අපේ හදවත් සුවකිරීමේ උන්වහන්සේගේ හැකියාවයි.

මගේ ධර්මදූත සේවයෙන් ටික කලකට පසු, බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයෙහි සිසුවෙකු ලෙස සිටියදී, මගේ පියාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. අග්න්‍යාශ පිළිකාවක් තමාට වැළඳී ඇති බවත්, ඒ තුළින් ඔහුට ජීවත් වීමට ඇති ඉඩ යහපත් නොවුනත් ඔහු සුවවී ඔහුගේ සාමාන්‍ය ජීවන රටාවට ආපසු යාමට අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු මට පැවසුවා. එම දුරකථන ඇමතුම මට සිහි කැඳවූ අවස්ථාවක් වුණා. මගේ තාත්තා තමයි මගේ සභානායකවරයා, මගේ මිත්‍රයා, සහ මගේ උපදේශකයා. මගේ මව, මගේ සහෝදර සහෝදරියන්, සහ මම අනාගතය ගැන කල්පනා කළ විට එය අඳුරු ලෙස පෙනෙන්නට තිබුණා. මගේ බාල සොහොයුරු ඩේව්, නිව් යෝර්ක්හි ධර්මදූත සේවයක යෙදී සිටි අතර මෙම අසීරු පවුල් සිදුවීම් සඳහා බොහෝ දුර සිට සහභාගී වුණා.

පිළිකා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකරන ලෙසට ඒ දවස් වල සිටි වෛද්‍යවරුන් යෝජනා කළා. ප්‍රාතිහාර්යයක් සඳහා අපේ පවුල ඉතා උනන්දුවෙන් නිරාහාරව සිටිමින් යාච්ඤා කළා. මගේ පියාව සුවකළ හැකි බවට අපට ප්‍රමාණවත් ඇදහිල්ලක් ඇති බව මට හැඟුණා. ශල්‍යකර්මයට මොහොතකට පෙර, මම සහ මගේ අයියා නෝර්ම්, මගේ පියාට ආශිර්වාදයක් ලබාදුන්නා. අපට රැස්කරගත හැකි සෑම ඇදහිල්ලක්ම සමඟ එකතු වී, ඔහු සුවපත් වන ලෙස අපි යාච්ඤා කළා.

සැත්කම පැය ගණනාවක් පුරා පැවත්වීමට නියමිතව තිබූ නමුත්, සුළු වේලාවකට පසු, වෛද්‍යවරයා අපේ පවුල හමුවීමට පොරොත්තු කාමරයට පැමිණියා. ඔහු අපට පැවසුවේ ඔවුන් ශල්‍යකර්මය ආරම්භ කරන විට, පිළිකාව මගේ පියාගේ ශරීරය පුරා ව්‍යාප්ත වී ඇති බව ඔවුන්ට දැකගත හැකි වූ බවයි. ඔවුන් නිරීක්ෂණය කළ කරුණු මත පදනම්ව, මගේ පියාට ජීවත් වීමට තිබුණේ මාස කිහිපයක් පමණයි. අපි බොහෝ කනස්සලු වුණා.

ශල්‍යකර්මයෙන් පසු මගේ පියා අවදි වූ විට, සැත්කම සාර්ථක වූවාදැයි දැනගැනීමට ඔහු උනන්දු වුණා. අපි ඔහු සමඟ ඒ කටුක පුවත බෙදාගත්තා.

ප්‍රාතිහාර්යයක් සඳහා අපි නිරාහාරව සිටීම සහ යාච්ඤා කිරීම දිගටම කරගෙන ගියා. මගේ පියාගේ සෞඛ්‍ය තත්වය ඉක්මණින් පිරිහී ගිය හෙයින්, ඔහු වේදනාවෙන් නිදහස් වන ලෙස අපි යාච්ඤා කරන්නට පටන්ගත්තා. අවසානයේදී, ඔහුගේ තත්වය ඉතාමත් නරක අතට හැරෙන විට, අපි ඔහුට ඉක්මණින් යාමට අවසර දෙන ලෙස ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටියා. ශල්‍ය වෛද්‍යවරයා විසින් පුරෝකථනය කළ පරිදි, සැත්කමින් මාස කිහිපයකට පසු මගේ පියා මියගියා.

කොට්ඨාශයේ සාමාජිකයින් සහ පවුලේ මිතුරන් විසින් අපේ පවුලට බොහෝ ආදරය හා සැලකිල්ල වැගිරෙව්වා. මගේ පියාගේ ජීවිතයට ගෞරව කරන ලස්සන අවමංගල්‍ය උත්සවයක් අපි පැවැත්වුවා. කෙසේවෙතත්, කාලය ගෙවීයත්ම, මගේ පියා නොමැතිවීමේ වේදනාව අපි අත්විඳීමට පටන්ගත් අතර, මගේ පියා සුව නොවුණේ ඇයි කියා කල්පනා කිරීමට මම පටන්ගත්තා. මගේ ඇදහිල්ල ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවේදැයි මම කල්පනා කළා. සමහර පවුල් වලට ප්‍රාතිහාර්යය ලැබුණත් අපේ පවුලට එසේ නොවුණේ ඇයි? පිළිතුරු සෙවීම සඳහා ශුද්ධලියවිලි වෙත යොමුවීම පිළිබඳව මගේ ධර්මදූත සේවයේදී මම ඉගෙනගෙන තිබූ අතර, ඉතින් මම ශුද්ධලියවිලි සෙවීමට පටන්ගත්තා.

පරණ ගිවිසුමේ ගිලියද් ප්‍රදේශයේ වැඩුණු පඳුරකින් සාදන ලද, තුවාල සුවකිරීම සඳහා භාවිතා කරන සුවඳ කුළුබඩු හෝ ආලේපයක් ගැන උගන්වනවා. පැරණි ගිවිසුමේ කාලයේදී, මෙම ආලේපනය හැඳින්වුනේ “ගිලියද් හි ආලේපය” ලෙසයි. 1 අනාගතවක්තෘ යෙරමියා තම ජනතාව අතර සිදුවූ විපත් ගැන දුක්වූ අතර සුවය උදෙසා බලාපොරොත්තු වුණා. යෙරමියා මෙසේ ප්‍රශ්න කළා, “ගිලියද් හි ආලේපය නැද්ද; එහි වෙදෙක් නැද්ද?” 2 ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවිශේෂී සුවකිරීමේ බලය නිසා බොහෝ විට සාහිත්‍යය, සංගීතය, සහ කලාව තුළින් උන්වහන්සේව ගිලියද් හි ආලේපය ලෙස හඳුන්වනවා. යෙරමියා මෙන්ම, මමත් පුදුම වෙමින් සිටියා, “නීල්සන් පවුල සඳහා ගිලියද් හි ආලේපය නැත්ද?”

අලුත් ගිවිසුමේ මාර්ක් 2 වන පරිච්ඡේදයේ, ගැලවුම්කරුවාණන්ව කපර්ණවුමේදී අපට හමුවෙනවා. ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය පිළිබඳ ආරංචිය මුළු රට පුරාම පැතිරී තිබූ අතර, බොහෝ මිනිසුන් ගැලවුම්කරුවාණන්ගෙන් සුවය ලැබීම සඳහා කපර්ණවුම වෙත ගියා. ගැලවුම්කරුවාණන් සිටි නිවස අවට බොහෝ දෙනෙක් රැස්ව සිටි අතර, ඒ සියල්ලන්ම පිළිගැනීමට උන්වහන්සේට ප්‍රමාණවත් ඉඩක් තිබුණේ නෑ. ගැලවුම්කරුවාණන් ලවා සුවකරගැනීම සඳහා මිනිසුන් හතර දෙනෙක් අංශභාග රෝගයෙන් පෙළෙන මිනිසෙකුව ඔසවාගෙන ආවා. සෙනඟ අතරින් යාමට ඔවුන්ට නොහැකි වූ බැවින්, එම නිවසේ වහලය නිරාවරණය කොට ගැලවුම්කරුවාණන්ව හමුවීම සඳහා එම මිනිසාව එතනින් බිමට පහත් කළා.

මම මෙම වාර්තාව කියවන විට, ගැලවුම්කරුවාණන්ට මෙම මිනිසා මුණගැසුණු විට උන්වහන්සේ කී දෙයින් මම පුදුමයට පත්වුණා, “පුත්‍රය, නුඹේ පව් කමාකරන ලද්දේය.” 3 මේ මිනිසා රැගෙන ගිය මිනිසුන් හතර දෙනාගෙන් කෙනෙක් මම නම්, මම ගැලවුම්කරුවාණන්ට “අපි ඇත්තටම මොහුව රැගෙන ආවේ සුවකරගැනීමටයි” ලෙස කියන්නට ඉඩ තිබුණු බව මට සිතුණා. මම හිතන්නේ එවිට ගැලවුම්කරුවාණන් මෙසේ පිළිතුරු දෙයි, “මම ඔහුව සුවකළා.” ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය අපගේ ශරීර සුවකිරීමේ හැකියාව පමණක් නොව, නමුත් සමහරවිට වඩාත් වැදගත් දෙය නම්, අපේ හදවත් සහ මගේ පවුලේ බිඳුණු හදවත් සුවකිරීමේ උන්වහන්සේගේ හැකියාව වන බව—මම සම්පූර්ණයෙන්ම තේරුම්නොගත්තා වෙන්න පුලුවන්ද?

ගැලවුම්කරුවාණන් අවසානයේ එම මිනිසාව ශාරීරිකව සුවකිරීම මගින්, උන්වහන්සේ මෙම අත්දැකීම තුළින් වැදගත් පාඩමක් ඉගැන්වූවා. උන්වහන්සේට අන්ධ අයගේ දෑස් ස්පර්ශ කරන්නට හැකිවූ අතර ඔවුන්ට දැකීමට හැකිවුණා යන උන්වහන්සේගේ පණිවිඩය මට පැහැදිලි වුණා. උන්වහන්සේට බිහිරි අයගේ කන් ස්පර්ශ කරන්නට හැකිවූ අතර, ඔවුන්ට ඇසීමට හැකිවුණා. උන්වහන්සේට ඇවිදීමට නොහැකි අයගේ පාද ස්පර්ශ කරන්නට හැකිවූ අතර, ඔවුන්ට ඇවිදීමට හැකිවුණා. උන්වහන්සේට අපේ දෑස් සහ අපේ කන් සහ අපේ පාද සුවකළ හැකි නමුත්, සියල්ලටත් වඩා වැදගත්ම දෙය නම්, උන්වහන්සේ අපව පාපයෙන් පවිත්‍ර කර දුෂ්කර පීඩා වලින් අපව ඔසවා තබන විට අපගේ හදවත් සුවකිරීමට උන්වහන්සේට පුළුවන්.

ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ මොර්මොන්ගේ පොතේ ජනයාට දර්ශනය වූ විට, උන්වහන්සේ නැවතත් උන්වහන්සේගේ සුවකිරීමේ බලය ගැන කථා කළා. ස්වර්ගයේ සිට පැමිණි උන්වහන්සේගේ හඬ නෙපිවරුන්ට මෙසේ ඇසුණා, “මා නුඹලාව සුවකරන පිණිස, නුඹලා දැන් මා වෙතට හැරී නොඑන්නෝද, තවද නුඹලාගේ පාපයන්ට පසුතැවිලිව, තවද හැරී නොඑන්නෝද?” 4 පසුව ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්වුවා, “මක්නිසාද ඔවුන් දවසක හැරී විත් පසුතැවිලිව, තවද හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව මා වෙතට පැමිණෙන්නේ දැයි නුඹලා නොදන්නෙහුය, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි.” 5 ගැලවුම්කරුවාණන් එයින් අදහස් කළේ ශාරීරික සුවයක් ගැන නොවේ නමුත් ඔවුන්ගේ ප්‍රාණයන්ගේ අධ්‍යාත්මික සුවය ගැනයි.

මොරෝනි තම පියා වන මොර්මොන්ගේ වචන බෙදාගන්නා විට අමතර අවබෝධයක් ලබාදුන්නා. ප්‍රාතිහාර්යයන් ගැන කථා කිරීමෙන් පසු, මොර්මොන් මෙසේ පැහැදිලි කළා, “තවද ක්‍රිස්තුස්වහන්සේ මෙසේ කී සේක: නුඹලාට මා තුළ ඇදහිල්ල ඇත්නම් නුඹලාට මා තුළ උචිත වන කවරාකාර දෙයක් වුවත් කිරීමට බලය ඇත්තේය.” 6 මගේ ඇදහිල්ලේ පරමාර්ථය විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මම ඉගෙනගත් අතර, එමෙන්ම මම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ විට, උන්වහන්සේ තුළ ඇති උචිත දේ පිළිගැනීමට මට අවශ්‍ය වුණා. මගේ පියාගේ අභාවය දෙවියන්වහන්සේගේ සැලැස්මට උචිත බව මට දැන් තේරෙනවා. දැන්, මම වෙනත් කෙනෙකුගේ හිස මත අත් තබා ඔහුට හෝ ඇයට ආශිර්වාද කරන විට, මගේ ඇදහිල්ල ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළයි, එය ක්‍රිස්තුස්වහන්සේ තුළ උචිත නම්, එම පුද්ගලයාට ශාරීරිකව සුවවිය හැකි බව සහ සුවවන බව මම තේරුම්ගත්තා.

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ මිදීම සහ බලය සක්‍රීය කිරීමේ බලය යන දෙකම ලබාදෙන අතර, එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැමට ලබාදෙන පරම ආශිර්වාදයයි. අපි හදවතේ සම්පූර්ණ අරමුණක් සහිතව පසුතැවිලි වන විට, ගැලවුම්කරුවාණන් අපව පාපයෙන් පවිත්‍ර කරනවා. ඉතාමත් දුෂ්කර අවස්ථා වලදී පවා, අපි කැමැත්තෙන්ම පියාණන්වහන්සේට අපගේ කැමැත්ත ඉදිරිපත් කරන විට, ගැලවුම්කරුවාණන් අපගේ බර උසුලාගෙන ඒවා සැහැල්ලු කරයි. 7

නමුත් මෙන්න මම ඉගෙනගත් ලොකුම පාඩම. ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය මගේ පවුල වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බව මම වැරදියට විශ්වාස කළා. මම දැන් වඩාත් පරිණත දෑසින් සහ අත්දැකීම් වලින් ආපසු හැරී බලන විට, ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය මගේ පවුලේ සෑම සාමාජිකයෙකුගේම ජීවිත තුළ පැහැදිලිව දක්නට ලැබෙන බව මට පේනවා. මම ශාරීරික සුවය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබූ නිසා, සිදුවූ ප්‍රාතිහාර්යයන් දැකීමට මට නොහැකි වුණා. මෙම දුෂ්කර අභියෝගය තුළින් ස්වාමින්වහන්සේ මාගේ මවව අයගේ හැකියාවටත් වඩා ශක්තිමත් කර එසවූ අතර, ඇය දීර්ඝ-කාලීන හා ඵලදායි ජීවිතයක් ගතකළා. ඇගේ දරුවන් සහ මුණුබුරන් කෙරෙහි ඇය අපූරු ධනාත්මක බලපෑමක් ඇතිකළා. ස්වාමින්වහන්සේ මට සහ මගේ සහෝදර සහෝදරියන්ට ආදරය, සමගිය, ඇදහිල්ල, සහ ඔරොත්තු දීමේ හැකියාව සමඟ ආශිර්වාද කළ අතර එය අපේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත්වුණා එය අදටත් එහෙමයි.

නමුත් මගේ තාත්තා ගැන? පසුතැවිලි වන සියල්ලන් මෙන්, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා ලබාගත හැකි ආශිර්වාද සෙවූ නිසා සහ ඒවා ලබාගත් නිසා ඔහු අධ්‍යාත්මිකව සුවවුණා. ඔහුට ඔහුගේ පව් සඳහා සමාව ලැබුණු අතර දැන් නැවත නැගිටීමේ ප්‍රාතිහාර්යය එනතෙක් බලා සිටිනවා. ප්‍රේරිත පෝල් මෙසේ ඉගැන්වුවා, “ආදම් ලෙස හැමදෙනාම මරණයට පත්වෙන බැවින්, එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ සෑමදෙයක්ම ජීවමාන කළ හැකියි.” 8 බලන්න, මම ගැලවුම්කරුවාණන්ට කිව්වේ, “අපි අපේ තාත්තව ඔබ ළඟට ගෙන ආවේ සුවකිරීම සඳහායි,” ලෙසයි ඒවගේම දැන් ගැලවුම්කරුවාණන් ඔහුව සුවකළ බව මට පැහැදිලියි. ගිලියද් හි ආලේපය නීල්සන් පවුල සඳහා හරි ගියා—අප සිතූ ආකාරයට නොවේ නමුත්, අපේ ජීවිත වලට ආශිර්වාද කළ සහ අඛණ්ඩව ආශිර්වාද කරන ඊටත් වඩා සැලකිය යුතු ආකාරයකින්.

අලුත් ගිවිසුමේ යොහාන් 6 වන පරිච්ඡේදයේ, ගැලවුම්කරුවාණන් ඉතාමත් සිත්ගන්නා සුළු ප්‍රාතිහාර්යයක් කළා. ගැලවුම්කරුවාණන් මාළු ස්වල්පයක් සහ පාන් පෙති කිහිපයක් සමඟ 5000 ක් පෝෂණය කළා. මම මෙම වාර්තාව බොහෝ වාරයක් කියවා ඇති නමුත්, මට අහිමි වූ එම අත්දැකීමේ කොටසක් තිබෙනවා, එයින් මට දැන් මහත් අරුතක් තිබෙනවා. ගැලවුම්කරුවාණන් 5,000 ක් පෝෂණය කළ පසු, කැඩුණු කැබලි, ඉතිරි කොටස් එකතු කරගන්නා ලෙස උන්වහන්සේ තම ගෝලයන්ගෙන් ඉල්ලා සිටියා, ඒවායින් කූඩ 12 ක් පිරවුණා. ගැලවුම්කරුවාණන් ඒ සඳහා කාලය ගතකළේ ඇයි කියා මම කල්පනා කළා. එම අවස්ථාවෙන් අපට ඉගෙනගත හැකි එක් පාඩමක් මට පැහැදිලි වී තිබෙනවා එය නම්: උන්වහන්සේට 5000 ක් පෝෂණය කළ හැකි අතර ඉතිරි වූ ඒවාද තිබුණා. “සියලු මනුෂ්‍යයන්ට මාගේ අනුග්‍රහය සෑහෙන්නේය.” 9 ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ සහ සුවකිරීමේ බලයෙන්, කෙතරම් විශාල වුවත් කොතරම් අමාරු වුවත් ඕනෑම පාපයක්, තුවාලයක්, හෝ අභියෝගයක් ආවරණය කළ හැකි අතර—තවත් ඉතිරිද වෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රමාණවත්.

එම දැනුමත් සමඟ, අපිට ඇදහිල්ලෙන් යුතුව ඉදිරියට යා හැකි අතර, දුෂ්කර කාලයන් පැමිණෙන විට, නිසැකවම ඒවා පැමිණෙයි, හෝ පාපය අපේ ජීවිත ආවරණය කරන විට, ගැලවුම්කරුවාණන් “උන්වහන්සේගේ පියාපත්වල සුවකිරීම ඇතුව” 10 සිටගෙන අපට උන්වහන්සේ වෙත ආරාධනා කරනවා.

ගිලියද් හි ආලේපය ගැනත්, අපගේ මිදුම්කරුවාණන් වන, ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත්, එමෙන්ම උන්වහන්සේගේ පුදුමාකාර සුවකිරීමේ බලය ගැනත් මම ඔබට සාක්ෂි දරනවා. ඔබව සුවකිරීමේ උන්වහන්සේගේ අභිප්‍රාය පිළිබඳව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.