ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීම

වෙන කවරදාකටත් වඩා වැඩියෙන්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට සමීප වෙමින් සිටින යථාර්ථයට මුහුණදීමට අපට සිදුව තිබෙනවා.

මොර්මොන්ගේ පොතේ සටහන් කර තිබෙන ආකාරයට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතට වසර හයකට පෙර, ධර්මිෂ්ඨ ලාමන්වරයෙකු වූ සාමුවෙල්, ඒ වන විටත් බොහෝ විට ඇදහිල්ලෙන් වැටී සිටි, නෙපි ජනතාවට, 1 අපගේ ගැලවුම්කරුවාණන්ගේ උපත සමඟ එන සංඥා පිළිබඳව අනාවැකි පැවසුවා. ඛේදජනක ලෙස, බොහෝ නෙපිවරුන් එම සංඥා ප්‍රතික්ෂේප කළේ “ක්‍රිස්තුස්වහන්සේ [වැනි] කෙනෙකු පැමිණීම සාධාරණ නොවන නිසායි.” 2

ඛේදජනක ලෙස, ශුද්ධලියවිලි වාර්තාවට අනුව, ඒ ආකාරයෙන්ම, බොහෝ යුදෙව්වන්ටද, එතරම් සැලකිල්ලක් නොදක්වන ගලීලය නම් පළාතේ යේසුස් නම් මිනිසෙක්, සත්‍ය වශයෙන්ම දිගු කලක් බලා සිටි මෙසියස්වහන්සේ බව පිළිගැනීමට නොහැකි වුණා. 3 මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ යාකොබ් ඉගැන්වූ ලෙස යුදෙව්වන් “සීමාව ඉක්මවා බලා” සිටි බැවින්, හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන් පැවසූ බොහෝ අනාවැකි ඉටුකිරීමට පැමිණි යේසුස්වහන්සේව, ප්‍රතික්ෂේප කර කුරුසියේ ඇණ ගසනු ලැබුවා. ඒ අනුව, යාකොබ් සාක්ෂි දැරූ ලෙස “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පැහැදිලි බව ඔවුන් වෙතින් ගෙන, ඔවුන්ට තේරුම්ගැනීමට නොහැකි බොහෝ දේ ඔවුන්ට දුන් සේක, මක්නිසාද ඔවුහු එයට කැමති වූහ. තවද එයට ඔවුන් අශා වූ නිසා ඔවුන් පැකිලෙන පිණිස දෙවියන්වහන්සේ එය ඔවුන්ට බාරදෙනු ලැබූ සේක.” 4

පෙනෙන ආකාරයට එය අමුතු දෙයක් වුවත්, ඉගැන්වීම් නොමැතිව, හාස්කම් නොමැතිව, ලාමන් සහ ලාමුවෙල් අත්දුටු ලෙස ස්වර්ගීය දේවදූතයෙකුගේ දර්ශනය වීමක්වත් නොමැතිව, 5 යම් දෙයක් සත්‍ය යැයි ඔවුන්ගේ ගමන් මග, දැක්ම, හෝ විශ්වාසය වෙනස් කිරීමට සමහර පුද්ගලයින්ට ඒත්තු ගැන්වීමේ බලයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මෙය සිදුවන්නේ ඉගැන්වීම් හෝ ප්‍රාතිහාර්යයන් පුද්ගලයෙකුගේ පූර්ව උපකල්පිත ආශාවන්, ප්‍රාර්ථනාවන් හෝ අදහස් සමඟ එකඟ නොවන විටයි.

කරුණාකර පහත සඳහන් ශුද්ධලියවිලි පද දෙක මොහොතකට සංසන්දනය කර බලන්න, පළමුවැන්න නම් මිනිසාගේ ආකාරය විස්තර කරමින්, අවසාන දින ගැන කථා කරන ප්‍රේරිත පාවුල්ගෙන්, සහ දෙවැන්න දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා අතර උන්වහන්සේගේ කාර්යය කරන ආකාරය පෙන්වන අනාගතවක්තෘ ඇල්මාගෙන්. පළමුව පාවුල්ගෙන්:

“නමුත් අන්තිම දවස් වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න.

“මක්නිසාද මනුෂ්‍යයෝ තමන්ට ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාස කරන්නෝව, මවුපියන්ට අකීකරු වන්නෝව, ස්තූතිවන්ත නොවන්නෝව,

“අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝය, කෲරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව,

“ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝව; …

“නිතර ඉගෙනගන්නා නමුත් කිසිකලෙකත් සත්‍ය දැනගැනීමට පැමිණෙන්නට බැරිවූ අය වෙති.” 6

දැන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පදනම් මූලධර්මයක් සඳහන් කරමින්, ඇල්මා මෙසේ ප්‍රකාශ කරනවා: “දැන් එනම් මෙය මාගේ අනුවණකම යැයි නුඹලා සිතන්නහුය; නුමුත් බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් කුඩා සහ සරල දේවල් මඟින් ශ්‍රේෂ්ඨ දේවල් සිදුකර ඇත; තවද කුඩා ක්‍රම වලින් බොහෝ අවස්ථා වලදී ප්‍රඥාවන්තයින්ව ලැජ්ජාවට පත්කරන්නේය.” 7

අපි ජීවත් වන්නේ මහත් දැනුමක් හා බොහෝ කුසලතාවන්ගෙන් පිරි නූතන ලෝකයකයි. කෙසේවෙතත්, මේ දේවල් බොහෝ විට ඒවා ගොඩනගන ලද අස්ථාවර වූ අත්තිවාරම සඟවනවා. ඒ අනුව, ඒවා දෙවියන්වහන්සේ කෙරෙහි සහ එළිදරව් ලබාගැනීමේ බලයට, අධ්‍යාත්මික දැනුම ලබාගැනීමට, සහ ගැලවීම සඳහා මගපෙන්වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල වර්ධනය කරගැනීමට සහ සැබෑ සත්‍යයට යොමුකරන්නේ නෑ. 8

උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සිදුවූ සන්ධ්‍යාවේ තෝමස්ට සහ අනෙකුත් ප්‍රේරිතවරුන්ට කියූ අපගේ ස්වාමින්වහන්සේගේ වදන් අපි දැඩි ලෙස සිහිපත් කරමු: “යේසුස්වහන්සේ ඔහුට කියන සේක: මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” 9

වෙන කවරදාටත් වඩා දැකීමට ඇස්, ඇසීමට කන්, සහ දැනෙන හදවත් ඇති අයට, එනම් අපට යේසුස් ක්‍රිරිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට සමීප වෙමින් සිටින යථාර්ථයට මුහුණදීමට සිදුවෙනවා. උන්වහන්සේ නැවත පැමිණෙන විට පොළොවේ සිටින අය සඳහා මහත් දුෂ්කරතා තවමත් බලා සිටින බව සත්‍යයි, නමුත් මේ සම්බන්ධයෙන් ඇදහිලිවන්තයින් බිය විය යුතු නෑ.

දැන් මම “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම” යන මාතෘකාව යටතේ සභාවේ ශුභාරංචි මාතෘකා වලින් කොටසක් උපුටා දක්වන්නම්:

“ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට, පොළොව උන්වහන්සේගේ රාජ්‍යය ලෙස ප්‍රකාශ කිරීමට උන්වහන්සේ බලයෙන් හා මහිමයෙන් පැමිණෙනු ඇත. උන්වහන්සේගේ දෙවන පැමිණීම සහස්‍රයේ ආරම්භය සනිටුහන් කරයි.

“දෙවනි පැමිණීම දුෂ්ටයන්ට බිය ගෙනදෙන, ශෝක කාලයක් වන නමුත්, ධර්මිෂ්ඨයන්ට එය සාමයේ දිනයක් වේ. ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“‘මක්නිසාද ප්‍රඥාවන්ත වූ සහ සත්‍යය ලබාගත් ඔවුන්, තවද ඔවුන්ගේ මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේ ලබාගත්, තවද රැවටීමට ලක්නොවූ ඔවුන්—සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ව කපා දමා ගින්දරට දමනු නොලබන්නේය, එහෙත් එම දවසේදී ජීවත් වන්නෝය.

“‘තවද පොළොව ඔවුන්ගේ උරුමයක් කොට දෙනු ලබන්නේය; තවද ඔවුහු වැඩි වී ශක්තිමත් වනු ලබන්නෝය, තවද ඔවුන්ගේ දරුවන් ගැලවීම වෙතට පාපයෙන් තොරව වැඩෙනු ලබන්නෝය.

“‘මක්නිසාද ස්වාමින්වහන්සේ ඔවුන් මධ්‍යයේ වන සේක, තවද උන්වහන්සේගේ මහිමය ඔවුන් මත වන්නේය, තවද උන්වහන්සේ ඔවුන්ගේ රජුන්ද තවද ඔවුන්ගේ නිතීදායකයාණන්ද වන සේක.’ (දහම සහ ගිවිසුම් 45:57–59).” 10

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අප සූදානම් වීමේදී, පරණ ගිවිසුමේ අනාගතවක්තෘ ආමොස්ගෙන් ලබාගත්, ඇදහිලිවන්තයන් සඳහා වන ඉතා වැදගත් සහ සැනසිලිදායක සටහනක් මම ලබාදෙන්නම්: “සැබවින්ම ස්වාමින් වූ දෙවියන්වහන්සේ, තමන්ගේ රහස තම මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.” 11

මේ ආකාරයෙන්, අද ලෝකයට ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් විසින්, මෑතකදී ආනුභාව ලත් මෙම අවවාදය අපට ලබාදුන්නා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නම් පසුතැවීමේ ශුභාරංචියකි. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, උන්වහන්සේගේ ශුභාරංචිය අපට වෙනස් වීමට, වර්ධනය වීමට, සහ වඩාත් පිරිසිඳු වීමට ආරාධනයක් ලබාදෙනවා. එය බලාපොරොත්තුව, සුවය, සහ ප්‍රගතිය පිළිබඳ ශුභාරංචියක්. මේ අනුව, ශුභාරංචිය ප්‍රීතියේ පණිවිඩයක්! අප ඉදිරියට යන සෑම කුඩා පියවරක් ගැනම අපගේ ආත්මයන් ප්‍රීති වෙනවා.” 12

ජීවිතයේ පහත් සහ ඉහළ ස්ථාන දෙකෙහිම සිටින අසංඛ්‍යාත මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේදී දෙවියන්වහන්සේගේ යථාර්ථය සහ ප්‍රාතිහාර්යයන් පිළිබඳව මම අනවශේෂයෙන් සාක්ෂි දරනවා. සත්‍ය වශයෙන්ම, බොහෝ පූජනීය අත්දැකීම් ගැන කතා කෙරෙන්නේ කලාතුරකින්, එයට එක හේතුවක් ඒවායේ දිව්‍යමය සම්භවය සහ අනෙක ඒ ගැන හොඳින් නොදන්නා සමහරුන්ගේ සමච්චලයට ලක්වීමේ ඉඩකඩ නිසායි.

මේ සම්බන්ධයෙන් මොර්මොන්ගේ පොතේ අවසාන අනාගතවක්තෘවරයා වන මොරෝනි අපට මෙසේ මතක්කරදෙනවා:

“තවද නැවතත් දෙවියන්වහන්සේගේ එළිදරව් ප්‍රතික්ෂේප කරන අයට ඒවා නැවතී ඇත්තේය. එනම් එහි එළිදරව් නැත්තේය, අනාවැකියන් නැත්තේය, දීමනා නැත්තේය, සුව කිරීම් නැත්තේය, අන්‍ය භාශා කතාකිරීමද, අන්‍ය භාශා පරිවර්තනයද, නැත්තේ යැයි පැවසීමට මම නැවත කථා කරන්නෙමි;

“බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොදනියි; එසේය, ඔහු ශුද්ධලියවිලි කියවා නොමැත්තේය; එසේවුවත් ඔහු ඒවා තේරුම් නොගන්නේය.

“මක්නිසාද එනම් දෙවියන්වහන්සේ ඊයේත්, අදත් සදාකාලයට ඒකාකාරය, තවද උන්වහන්සේ තුළ කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තේ යැයි අපි කියවා නොමැත්තෙමුද?” 13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ දේවසේවය අවසන් වන විට දුන් ඉතා ප්‍රබෝධමත් අනාවැකිමය ප්‍රකාශයකින් මම මගේ ප්‍රකාශය අවසන් කරන්නම්: “අපි එතරම් ශ්‍රේෂ්ඨ අරමුණකට නොයන්නෙමුද? පසුපසට නොව ඉදිරියට යන්න. ධෛර්යය ගන්න, සහෝදරවරුනි [සහෝදරියනි]; එමෙන්ම, ජයග්‍රහණය කරා යන්න! … ඔබේ හදවත් වලට ප්‍රශංසා කිරීමටත්, එමෙන්ම බොහෝ සේ ප්‍රීති වීමටත් ඉඩදෙන්න. 14 එයට මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මාගේ සාක්ෂිය එකතු කරනවා, ආමෙන්.