ප්‍රධාන සම්මන්ත්‍රණය
නැවත විශ්වාස කරන්න
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නැවත විශ්වාස කරන්න

දෙවියන්වහන්සේ හා එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ස්වර්ගයේ ආශිර්වාද ලැබෙනවා.

වරක්, මම ඉතා කුඩා අවධියේදී, නිවසින් පැනයාම ගැන මම පොඩ්ඩක් හිතුවා. කුඩා පිරිමි ළමයෙකුගේ ආකාරයෙන්, මට දැනුනේ කිසිවෙකු මට ආදරය නොකරන බවයි.

මගේ සුපරික්ෂාකාරී මව මට සවන්දී මාව සැනසුවා. මම ආරක්ෂිතව ගෙදර සිටියා.

ඔබ නිවසින් පැනයන බවක් ඔබට කවදා හෝ දැනී තිබෙනවාද? බොහෝ විට ගෙදරින් පැනයාම යන්නෙන් අදහස් කරන්නේ විශ්වාසය—එනම් අප ගැන, එකිනෙකා ගැන, දෙවියන්වහන්සේ ගැන විශ්වාසය බිඳවැටී හෝ කැඩීගොස් තිබෙන බවයි. විශ්වාසය අභියෝගයට ලක්වූ විට, නැවත විශ්වාස කරන්නේ කෙසේදැයි අපි කල්පනා කරනවා.

අපි ගෙදර ආවත් ගෙදර ගියත්, දෙවියන්වහන්සේ අප හමුවීමට එන බව, අද මගේ පණිවිඩයයි. 1 අපට නැවත විශ්වාසය තැබීමට, උන්වහන්සේ තුළ ඇදහිල්ල සහ ධෛර්යය, ප්‍රඥාව සහ සියුම් නුවණ සොයාගන්නට පුළුවන්. එසේම, එකිනෙකා කෙරෙහි ආලෝකය දල්වා තබන ලෙසත්, අප සඳහාත් එකිනෙකාටත් වැඩියෙන් සමාව දී අඩුවෙන් විනිශ්චය කරන ලෙසත් උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ, එවිට අපි පළමු වතාවට පැමිණියත් හෝ ආපසු ආවත්, උන්වහන්සේගේ සභාවේදී අපට නිවස මෙන් හැඟෙන ස්ථානයක් වීමට පුළුවන් නිසයි.

විශ්වාසය යනු ඇදහිල්ලේ ක්‍රියාවක්. දෙවියන්වහන්සේ අප සමඟ ඇදහිල්ල තබනවා. එසේවුවත්, මේ දේවල් වලට මිනිස් විශ්වාසය දුර්වල කරන්නට හෝ බිඳ දමන්නට පුළුවන්:

  • මිතුරෙකු, ව්‍යාපාරික සහකරුවෙකු, හෝ අප විශ්වාස කරන කෙනෙකු අපට සත්‍යවාදී නොවී, රිදවමින්, හෝ අපෙන් ප්‍රයෝජන ගන්නා විට. 2

  • අවිශ්වාසවන්ත විවාහ සහකරුවෙකු.

  • සමහරවිට අනපේක්ෂිත ලෙස, අපි ආදරය කරන කෙනෙක් මරණයට, තුවාලයකට, හෝ අසනීපයකට මුහුණදුන් විට.

  • සමහරවිට සභාවේ ඉතිහාසය හෝ සභාවේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යමක්, සභාව විසින් සැඟවූ බවක් හෝ සත්‍ය නොකියූ බවක් යම් අයෙක් පවසද්දී, බලාපොරොත්තු නොවූ ශුභාරංචි ප්‍රශ්නයකට අපි මුහුණදුන් විට.

වෙනත් තත්වයන් නිශ්චිත නොවන නමුත් ඒවාටත් ඒ හා සමාන සැලකිල්ලක් දක්වන්න පුළුවන්.

සමහරවිට අපි අපිව සභාවේ නොදකිනවා වෙන්න පුළුවන්, අපි සුදුසු යැයි හැඟෙන්නේ නැතිවෙන්න පුළුවන්, අන් අය විසින් විනිශ්චය කරනු ලැබෙන බව සිතෙන්නට පුළුවන්.

නැතහොත්, අපි බලාපොරොත්තු වූ සියල්ල කළත්, තවමත් අවශ්‍ය දේවල් සිදුනොවී තිබෙන්නට පුළුවන්. ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ අපගේ පෞද්ගලික අත්දැකීම් තිබියදීත්, දෙවියන්වහන්සේ ජීවමාන බව හෝ ශුභාරංචිය සත්‍යයක් බව අපිට දැනෙන්නේ නැතිවෙන්න පුළුවන්.

මානව සබඳතා සහ නූතන සමාජය කෙරෙහි විශ්වාසය නැවත ඇතිකිරීමේ අවශ්‍යතාවයක් අද බොහෝ දෙනෙකුට දැනෙනවා. 3

අපි විශ්වාසය ගැන මෙනෙහි කරන විට, දෙවියන්වහන්සේ සත්‍යතාවයේ දෙවියන් බවත් “බොරු කීමට නොහැකි” බවත් අපි දන්නවා. 4 සත්‍යය යනු පවතින, පැවතුණු, සහ පැමිණෙන්නට ඇති දේ පිළිබඳ දැනුමක් බව අපි දන්නවා. 5 අඛණ්ඩ එළිදරව් සහ ආනුභාවය වෙනස් නොවන සත්‍යතාවයන්, වෙනස් වන තත්වයන් බවට ගලපන බව අපි දන්නවා.

කැඩුණු ගිවිසුම් හදවත් කඩන බව අපි දන්නවා. “මම මෝඩ වැඩ කළා,” ඔහු පැවසුවා. “ඔබට කවදා හෝ මට සමාව දිය හැකිද?” ස්වාමිපුරුෂයා සහ භාර්යාව නැවත විශ්වාසය තැබීමේ බලාපොරොත්තුවෙන් අත් අල්ලාගෙන සිටින්නට පුළුවන්. වෙනස් සැකසුමක් තුළ, බන්ධනාගාර රැඳවියෙකු මෙසේ ආවර්ජනය කළා, “මම ප්‍රඥාවේ වචනය තබාගත්තා නම්, මම අද මෙහි සිටින්නේ නෑ.”

ස්වාමින්වහන්සේගේ ගිවිසුම් මාවතේ මහත් ප්‍රීතිය මෙන්ම උන්වහන්සේගේ සභාවේ සේවය කිරීමට කැඳවීම්, අප කෙරෙහි හා එකිනෙකා කෙරෙහි දෙවියන්වහන්සේගේ විශ්වාසය හා ප්‍රේමය දැනීමට කරන ආරාධනාවක් බව අපි දන්නවා. තනිකඩ වැඩිහිටියන් ඇතුළු, සභාවේ සාමාජිකයින් සභාව පුරා සහ අපගේ ප්‍රජාවන් තුළ නිතිපතා සේවය කරනවා.

දේවානුභාවයෙන්, සභානායකවරයෙකු කොට්ඨාශයේ බාලාංශ පන්තියේ සේවය කිරීමට තරුණ යුවළක් කැඳවනවා. මුලදී සැමියා වෙන්වී සහ දුරස්වී, මුල්ලක වාඩි වී සිටිනවා. ටිකෙන් ටික ඔහු දරුවන් සමඟ සිනාසෙන්නට පටන්ගන්නවා. පසුව, එම යුවළ ස්තූතිය පළකළා. ඔවුන් පවසන පරිදි, කලින්, බිරිඳට දරුවන් අවශ්‍ය නමුත්; සැමියාට අවශ්‍ය වී තිබී නෑ. දැන්, සේවය කිරීම ඔවුන්ව වෙනස්කර එක්සත් කර තිබෙනවා. එය ඔවුන්ගේ විවාහයට සහ නිවසට දරුවන් සිටීමේ මහත් ප්‍රීතියද ගෙනත් තිබෙනවා.

වෙනත් නගරයක, කොට්ඨාශ සහන සමිති සභාපති ලෙස කැඳවීමක් ලැබුණු විට, කුඩා දරුවන් සිටින තරුණ මවක් ඇයගේ සැමියා සමඟ මවිතයටත් පුදුමයටත් පත්වුණ නමුත් එය පිළිගත්තා. ටික කාලයකට පසු, අයිස් කුණාටු හේතුවෙන් විදුලි බලය බිඳ වැටුණු අතර, ගබඩා රාක්ක හිස්වී එමෙන්ම නිවෙස් අයිස් පෙට්ටි මෙන් සීතල වුණා. ඔවුන්ට විදුලි බලය සහ තාපය තිබුණු නිසා, මෙම තරුණ පවුල කුණාටු කාලගුණය අතරතුරදී පවුල් සහ පුද්ගලයින් කිහිපදෙනෙකුට තම නිවස නොමසුරුව විවෘත කළා.

ඇදහිල්ලෙන් අමාරු දේවල් කරන විට විශ්වාසය සැබෑ වෙනවා. සේවය සහ පරිත්‍යාගය ධාරිතාව වැඩි කරන අතර හදවත් පිරිපහදු කරනවා. දෙවියන්වහන්සේ හා එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ස්වර්ගයේ ආශිර්වාද ලැබෙනවා.

පිළිකාවෙන් දිවි ගලවා ගැනීමෙන් පසු, ඇදහිලිවන්ත සහෝදරයෙකු මෝටර් රථ අනතුරකට පත්වුණා. ඔහු තමා ගැන අනුකම්පා කරනවා වෙනුවට “මේ අත්දැකීමෙන් මට ඉගෙනගත හැක්කේ කුමක්ද?” යනුවෙන් ඔහු යාච්ඤා කරමින් ඇසුවා. තම දැඩිසත්කාර ඒකකයේ සිටින අතරදී, හෙදියක් තම සැමියා සහ දරුවන් ගැන කනස්සල්ලට පත්ව සිටින බව දැකීමට ඔහු පෙලඹී තිබුණා. දෙවියන්වහන්සේව විශ්වාස කර අන් අය වෙත ළඟාවන විට වේදනාවෙන් සිටින රෝගියෙක් පිළිතුරු සොයාගන්නවා.

අසභ්‍ය දර්ශන සම්බන්ධ ගැටලුවක් ඇති සහෝදරයෙක් ඔහුගේ ස්ටේක සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට බලා සිටින විට, උදව් කරන්නේ කෙසේදැයි දැනගැනීමට එම ස්ටේක සභාපතිවරයා යාච්ඤා කරනවා. “දොර විවෘත කර එම සහෝදරයාට ඇතුළු වීමට ඉඩදෙන්න” යන පැහැදිලි හැඟීමක් පැමිණෙනවා. දෙවියන්වහන්සේ උදව් කරයි යන ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන්, පූජක නායකයා දොර විවෘත කර එම සහෝදරයාව වැළඳගත්තා. දෙවියන්වහන්සේ හා එකිනෙකා කෙරෙහි ඇති වෙනස් කරවන ආදරය සහ විශ්වාසය දෙදෙනාටම දැනුණා. ශක්තිමත් වූ පසු, එම සහෝදරයා පසුතැවිලි වී වෙනස් වීමට පටන්ගත්තා.

අපගේ පෞද්ගලික තත්වයන් පුද්ගලික වුවත්, අනෙක් අය කෙරෙහි නැවත විශ්වාස කරන්නේ කොහොමද සහ කවදාද යන්න ගැන අපට දැනගැනීමට, ශුභාරංචියේ මූලධර්ම සහ ශුද්ධාත්මයාණන්වහන්සේට උදව් කළ හැකියි. විශ්වාසය බිඳ දැමූ විට හෝ පාවාදුන් විට, බලාපොරොත්තු සුන්වීම සහ එපාවීම සැබෑයි; මනුෂ්‍ය සබඳතා කෙරෙහි නැවත විශ්වාසය තැබීමට, විශ්වාසය හා ධෛර්යය ලැබිය යුත්තේ කවදාදැයි දැනගැනීමට සියුම් නුවණ අවශ්‍ය වෙනවා.

කෙසේවෙතත්, දෙවියන්වහන්සේ හා පුද්ගලික එළිදරව් සම්බන්ධයෙන්, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ සහතික වෙනවා, “ඔබට ආරක්ෂිතව විශ්වාස කළ හැක්කේ කවුරුන්ද යන්න ගැන ඔබ පුදුම වියයුතු නෑ.” 6 අපට සැමවිටම දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකියි. අපි අපිව දන්නා තරමට හෝ අපිට ප්‍රේම කරන තරමට වඩා ස්වාමින්වහන්සේ අපිව හොඳින් දන්නා අතර අපිට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සහ අතීතය, වර්තමානය, සහ අනාගතය පිළිබඳ පරිපූර්ණ දැනුම උන්වහන්සේගේ ගිවිසුම් හා පොරොන්දු නියත හා ස්ථිර කරනවා.

ශුද්ධලියවිලි වල “කාලයේ ක්‍රියාවලිය” ලෙස හඳුන්වන දේ විශ්වාස කරන්න. 7 දෙවියන්වහන්සේගේ ආශිර්වාදය, කාලයේ ක්‍රියාවලිය, සහ අඛණ්ඩ ඇදහිල්ල සහ කීකරුකම තුළින් අපට අධිෂ්ඨානය සහ සාමය සොයාගන්නට පුළුවන්.

ගැලවුම්කරුවාණන් මෙසේ සනසනවා:

“රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදයේදී ප්‍රීතිය පැමිණෙන්නේය.” 8

“ස්වාමින්වහන්සේ [මත] ඔබේ බර තබා, උන්වහන්සේගේ නිරන්තර සැලකිල්ල කෙරෙහි විශ්වාසය තබන්න.” 9

“ස්වර්ගයට සුවකළ නොහැකි ශෝකයක් පොළොවට නැත.” 10

දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ හාස්කම් විශ්වාස කරන්න. 11 අපිට සහ අපේ සබඳතා වලට වෙනස් වෙන්නට පුළුවන්. ස්වාමින් වන ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, අපට අපගේ ආත්මාර්ථකාමී ස්වාභාවික ස්වභාවය අත්හැර දමා, මෘදු, නිහතමානී, 12 ඇදහිල්ලෙන් හා සුදුසු විශ්වාසයකින් යුතු දෙවියන්වහන්සේගේ දරුවෙකු වීමට පුළුවන්. අපි පසුතැවිලි වන විට, අප පාපයන් පිළිගෙන ඒවා අත්හැරිය විට, ස්වාමින්වහන්සේ පවසන්නේ උන්වහන්සේට ඒවා තවදුරටත් මතක නැති බවයි. 13 ඒ කියන්නේ උන්වහන්සේට අමතක වූ බව නොවේ; ඒ වෙනුවට, කැපීපෙනෙන අයුරින්, උන්වහන්සේ ඒවා මතකතබාගැනීමට තෝරාගන්නේ නෑ, අපිත් එසේ කළ යුතු නෑ.

ඥානවන්තව අවබෝධ කරගැනීමට දෙවියන්වහන්සේගේ පෙළඹවීම් විශ්වාස කරන්න. “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව” 15 සිටින අතර අපට නියම වෙලාවට සහ අප කළ යුතුම යැයි ස්වාමින්වහන්සේ පවසන ආකාරයට 14 අන් අයට සමාව දීමට පුළුවන්.

සමහර වෙලාවට අපගේ හදවත් වඩාත් බිඳුණු හා විඩාබර වූ විට, ශුද්ධාත්මයාණන්ගේ සැනසීම හා මගපෙන්වීම සඳහා අපි වඩාත් විවෘතයි. 16 දඬුවම් කිරීම සහ සමාවදීම යන දෙකම ආරම්භ වන්නේ වරදක් හඳුනාගැනීම තුළින්. බොහෝ විට දඬුවම් දීම අතීතය කෙරෙහි අවධානය යොමුකරනවා. සමාව දීම අනාගතය දෙස නිදහස්ව බලනවා. “මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගලවනු ලබන පිණිසයි.” 17

ප්‍රේරිත පාවුල් මෙසේ ඇසුවා, “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කරන්නේ කවුද?” ඔහුම පිළිතුරු දුන්නා, “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, … උසටවත්, ගැඹුරටවත් … අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කරන්ට නොහැකිවන්නේය.” 18 එසේවුවද, දෙවියන්වහන්සේගෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අපව වෙන් කළ හැකි කෙනෙකු සිටී—එනම් ඒ කෙනා අපිමයි. යෙසායා මෙසේ පැවසුවා, “නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.” 19

දිව්‍යමය ප්‍රේමය සහ දිව්‍යමය නීතිය අනුව, අපගේ තෝරාගැනීම් සහ ඒවායේ ප්‍රතිවිපාක සඳහා අපි වගකිව යුතුයි. නමුත් අපේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ප්‍රේමය “අසීමිත හා සදාකාලිකයි.” 20 අපට “තව බොහෝ දුරක්” 21 තිබියදීත්, අපි ගෙදර යාමට සූදානම් වූ විට, දෙවියන්වහන්සේ මහත් දයානුකම්පාවෙන් අපව පිළිගැනීමට සූදානම්ව සිටින අතර, උන්වහන්සේ සතු හොඳම දේ සතුටින් ලබාදෙනවා. 22

සභාපති ජේ. රූබන් ක්ලාක් මෙසේ කිව්වා, “අපේ ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සෑම දරුවෙකුම බේරාගැනීමට බවත්, … උන්වහන්සේගේ යුක්තිය සහ දයාව තුළින් උන්වහන්සේ අපේ ක්‍රියාවන්ට උපරිම විපාකය ලබාදෙන බවත්, උන්වහන්සේට දිය හැකි සෑමදෙයක්ම අපට දෙන බවත්, අනෙක් අතට, උන්වහන්සේට නියම කළ හැකි අවම දඬුවම උන්වහන්සේ අප මත පනවනු ඇති බවටත් මම විශ්වාස කරනවා.” 23

කුරුසියේදී, අපගේ ගැලවුම්කරුවාණන් තම පියාණන්වහන්සේට කළ කාරුණික ආයාචනය පවා කොන්දේසි විරහිත “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව” කියා නොව නමුත් “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔව්හු නොදනිති” යන්නයි. 24 අපගේ තෝරාගැනීමේ නිදහස සහ නිදහසට අරුතක් ඇත්තේ, අප කවුරුන්ද, අප දන්නා හා කරන කියන දේ සඳහා, දෙවියන්වහන්සේ සහ අප ඉදිරියේ අපි වගකිව යුතු නිසායි. ස්තූතිවන්ත වන්නට, අපගේ අභිප්‍රායන් හා ක්‍රියාවන් මැනවින් විනිශ්චය කිරීම සඳහා අපට දෙවියන්වහන්සේගේ පරිපූර්ණ යුක්තිය සහ පරිපූර්ණ දයාව කෙරෙහි විශ්වාසය තබන්නට පුළුවන්.

දෙවියන්වහන්සේගේ දයානුකම්පාවෙන් අපි එකිනෙකා උන්වහන්සේ වෙත හා එකිනෙකා වෙත නිවසට එන විට—අපි පටන්ගත් ආකාරයට අවසන් කරනවා.

පුතුන් දෙදෙනෙකු සිටි එක්තරා මිනිසෙකු ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපමාව ඔබට මතකද? 25 එක් පුතෙක් නිවසින් පිටව ගොස් ඔහුගේ උරුමය නාස්ති කළා. ඔහු තමාවම තේරුම්ගත් පසු, මෙම පුතා ගෙදර යාමට උත්සහ කළා. අනෙක් පුතා, “මේ අවුරුදු ගණනාව පුරාම” 26 ආඥා පිළිපැද්දා යැයි හැඟී ගියත්, තම සහෝදරයාව ගෙදරට පිළිගැනීමට කැමති වූයේ නෑ.

සහෝදර සහෝදරියනි, අපේ හදවත්, අවබෝධය, දයානුකම්පාව, සහ නිහතමානිකම විවෘත කර, මෙම භූමිකාවන් දෙකෙන්ම අපව දකින ලෙස යේසුස්වහන්සේ ඉල්ලා සිටින බව ඔබට සලකාබලන්නට පුලුවන්ද?

පළමු පුත්‍රයා හෝ දියණිය මෙන්, අපි ඉබාගාතේ ගොස් පසුව ආපසු ගෙදර යාමට උත්සාහ කරනවා වෙන්නට පුළුවන්. අපව පිළිගැනීමට දෙවියන්වහන්සේ බලාසිටිනවා.

එමෙන්ම අනෙක් පුත්‍රයා හෝ දියණිය මෙන්, අපි සැවොම නිවසට එන විට එකට එක්ව ප්‍රීති ප්‍රමුදිත වන ලෙස දෙවියන්වහන්සේ අපෙන් මෘදුව ආයාචනා කරනවා. අපේ සභාවන්, ගණපූරණයන්, පන්ති, සහ ක්‍රියාකාරකම් එකිනෙකාට විවෘතව, අව්‍යාජව, ආරක්ෂිතව—හැමකෙනෙකුටම නිවසක් මෙන් තැබීමට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. කරුණාවන්තකම, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් අපි සෑම කෙනෙක්ම නිහතමානීව ස්වාමින්වහන්සේව සොයා, යාච්ඤා කර සියලුදෙනාම සඳහා උන්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචියේ ආශිර්වාදය පිළිගනිමු.

අපගේ ජීවන ගමන් පුද්ගලිකයි, නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි, එකිනෙකා කෙරෙහි සහ අප කෙරෙහි ඇති විශ්වාසය තුළින්, අපට නැවත අපේ පියාණන් වන දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වෙතට පැමිණෙන්නට පුළුවන්. 27 යේසුස්වහන්සේ අපට මෙසේ ආයාචනා කරනවා “භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්න.” 28 අනාගතවක්තෘ ජෝසෆ් මෙන්, නිර්භීතව අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ රැකවරණය කෙරෙහි අපි විශ්වාසය තබමු. 29 ආදරණීය සහෝදරය, ආදරණීය සහෝදරිය, ආදරණීය මිතුර, ඇදහිල්ල සහ විශ්වාසය සඳහා කරුණාකර නැවත බලන්න—එය උන්වහන්සේ විසින් අද ඔබට ලබාදෙන ප්‍රාතිහාර්යයක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් හා ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.