ප්‍රධාන සම්මන්ත්‍රණය
දිනපතා නැවත පිහිටුවීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දිනපතා නැවත පිහිටුවීම

අපට ස්වර්ගීය ආලෝකයේ අඛණ්ඩ දෛනික සාරය අවශ්‍යයි. අපිට “ප්‍රබෝධමත් වීමට කාලය” අවශ්‍යයි. පුද්ගලික නැවත පිහිටුවීමේ කාලයන්.

ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කිරීමට, උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ප්‍රීතිවීමට, සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ “මාවතේ” ගමන් කරන විට එකිනෙකාට සහයෝගය දැක්වීමට සහ එකිනෙකාව අනුමත කිරීමට අපි මෙම සුන්දර සබත් උදෑසන එකතු වී සිටිනවා. 1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් වශයෙන්, අපි අවුරුද්ද පුරාම, සෑම සබත් දිනයකම එකතු වන්නේ මේ අරමුණ සඳහායි. ඔබ සභාවේ සාමාජිකයෙකු නොවේ නම්, අපි ඔබව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා අතර ගැලවුම්කරුවාණන්ට නමස්කාර කිරීමට සහ උන්වහන්සේ ගැන ඉගෙනගැනීමට අප හා එක්වීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ මෙන්, අපිත් අසම්පූර්ණ වුවත්—හොඳ මිතුරන්, අසල්වැසියන්, සහ මනුෂ්‍යයින් වීමට 2 —උත්සාහ කරමින් සිටින අතර, අපගේ ආදර්ශමත් තැනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරමින් මෙය කිරීමට අපි උත්සහ කරනවා.

රූපය
ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

අපගේ සාක්‍ෂියේ අවංකභාවය ඔබට දැනේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි! උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන අතර, උන්වහන්සේ විසින් අපේ කාලයේ පොළොවේ අනාගතවක්තෘවරුන්ව මෙහෙයවනවා. පැමිණ, දෙවියන්වහන්සේගේ වචනය අසා, උන්වහන්සේගේ යහපත්කමට සහභාගී වන ලෙස අපි සැමට ආරාධනා කරනවා! දෙවියන්වහන්සේ අප අතර සිටින බවටත්, උන්වහන්සේට ලංවන සෑම කෙනෙකුටම උන්වහන්සේත් නිසැකවම ලංවන බවටත් මම මගේ පෞද්ගලික සාක්ෂිය දරනවා. 3

ඔබ සමඟ ස්වාමියාණන්ගේ අනුගාමිකතාවයේ දුෂ්කර හා පටු මාවතේ ගමන් කිරීම ගෞරවයක් ලෙස අපි සලකනවා.

සරල රේඛාවක ඇවිදීමේ කලාව

අතරමං වූ මිනිසුන් රවුමේ ඇවිදින බවට පුන පුනා පවසන සිද්ධාන්තයක් තිබෙනවා. ජීව විද්‍යාත්මක සයිබර්නෙටික් විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ විද්‍යාඥයන් එම සිද්ධාන්තය පරීක්‍ෂා කළේ වැඩි කලකට පෙර නොවේ. ඔවුන් සහභාගිවන්නන්ව ඝණ කැලෑවකට කැඳවාගෙන ගොස් සරල මගපෙන්වීම් ලබාදුන්නා: “සරල රේඛාවක ගමන් කරන්න.” එහි දෘශ්‍යමාන සලකුණු තිබුණේ නෑ. පරීක්‍ෂණ විෂයයන්ට ඔවුන්ගේ දිශානතිය පිළිබඳ හැඟීම මත පමණක් විශ්වාසය තැබීමට සිදුවුණා.

ඔවුන් කෙසේ කරන්නට ඇත්දැයි ඔබ සිතනවාද?

විද්‍යාඥයින් මෙසේ නිගමනය කළා, “ඇවිදීමේ දිශාවට විශ්වාසදායක ඉඟි නොමැති වූ විට මිනිසුන් ඇත්තෙන්ම රවුමට ඇවිදිති.” 4 පසුව ප්‍රශ්න කළ විට, සමහර සහභාගිවන්නන් ආත්ම විශ්වාසයෙන් කියා සිටියේ තමන් අංශු මාත්‍රයකින්වත් වෙනස් නොවූ බවයි. ඔවුන්ගේ දැඩි විශ්වාසය නොතකා, ගෝලීය තැන් සෙවුම් (GPS) දත්ත වලින් පෙනීගියේ ඔවුන් විෂ්කම්භයෙන් මීටර් 20 ක් තරම් තදින් වූ වළලු වල ඇවිද ගිය බවයි.

සරල රේඛාවක ගමන් කිරීමට අපට එතරම් අමාරු ඇයි? භූමියේ සුළු, බැලූ බැල්මට පෙනෙන අපගමනයන් වෙනසක් ඇතිකරන බව, සමහර පර්යේෂකයන් උපකල්පනය කරනවා. අප සියලුදෙනාටම අනෙක් කකුලට වඩා තරමක් ශක්තිමත් එක කකුලක් ඇති බව අනෙක් අය පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත්, “බොහෝ දුරට” අපි සෘජුව ඉදිරියට යාමට පොරබදින්නේ, “[මොකද] කෙලින්ම ඉදිරිය කොතැනද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය වැඩිවීම නිසායි.” 5

හේතුව කුමක් වුවත්, මනුෂ්‍ය ස්වභාවය එයයි: විශ්වාසදායක සලකුණු නොමැතිව, අපිව එම ගමනින් ඈතට යැවෙනවා.

මාර්ගයෙන් ඈත්වීම

කුඩා, නොවැදගත් සාධක වලට අපේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළ හැකි බව පුදුම සහගතයි නේද?

මම මෙය ගුවන් නියමුවෙකු ලෙස පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා. මම ගුවන් තොටුපලක් වෙත පිවිසීමට පටන්ගත් සෑම අවස්ථාවකදීම, මගේ ඉතිරි වූ වැඩ වලින් බොහෝමයක් ගුවන් යානය අපේක්‍ෂිත ගොඩබෑමේ ගුවන් පථය වෙත ආරක්ෂිතව යොමුකිරීම සඳහා සුළු සුළු කාර්යයන්ගේ නිවැරදි කිරීම් වලින් සමන්විත වන බව මම දැනසිටියා.

වාහනයක් පැදවීමේදී ඔබට ඒ හා සමාන අත්දැකීමක් තිබෙන්නට පුළුවන්. සුළං, මාර්ග අක්‍රමිකතා, අසම්පූර්ණ රෝද පෙලගැසීම, නොසැලකිලිමත්කම—සඳහන් නොකළ අනෙක් රියදුරන්ගේ ක්‍රියාවන් පවා—මේ සියල්ලම ඔබ අපේක්‍ෂා කළ මාවතින් ඔබව ඈත් කළ හැකියි. මෙම සාධක කෙරෙහි අවධානය යොමුකිරීමට අපොහොසත් වීමෙන් ඔබට නරක දවසක් උදාවිය හැකියි. 6

රූපය
තටාකයක ඇති කාරය

මෙය අපට ශාරීරිකව අදාළ වෙනවා.

ඒවගේම එය අපට අධ්‍යාත්මිකවත් අදාළ වෙනවා.

අපගේ අධ්‍යාත්මික ජීවිතයේ—ධනාත්මක මෙන්ම සෘණාත්මක—බොහෝ වෙනස්කම් එක් අවස්තාවක එකක් බැගින්, පියවරෙන් පියවර සිදුවෙනවා. මැක්ස් ප්ලෑන්ක් අධ්‍යයනයට සහභාගී වූවන්ට මෙන්, අපි මාවතෙන් ඈත් වන විට අපට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි සෘජු මාවතක ගමන් කරන බවට අපට දැඩි ආත්ම-විශ්වාසයක් වුවත් තිබෙන්නට පුළුවන්. නමුත් කාරණය නම් අපට මගපෙන්වීම සඳහා බිම් සලකුණු වල උදව් නොමැතිව, අපි නොවැලැක්විය හැකි ලෙසම අපගමනය වී අප කිසිදිනෙක නොසිතන ස්ථාන වලට පත්වෙනවා.

පුද්ගලයන් සඳහා මෙය සත්‍යයක්. එය සමාජ හා ජාතීන් සඳහාද සත්‍යයක්. ශුද්ධලියවිලි මේ සඳහා උදාහරණ වලින් පිරිලා තිබෙනවා.

විනිශ්චයකාරයන්ගේ පොත මෙසේ වාර්තා කරනවා යෝෂුවාගේ මරණයෙන් පසු, “… ඔවුන්ට පසුව ස්වාමින්වහන්සේවත් ඊශ්‍රායෙලය උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.” 7

මෝසෙස් සහ යෝෂුවාගේ ජීවිත කාලයන් තුළ ඊශ්‍රායෙල් දරුවන් දුටු විශ්මයජනක ස්වර්ගීය මැදිහත් වීම්, දර්ශනයන්, ගැලවීම්, සහ ආශ්චර්යමත් ජයග්‍රහණ නොතකා, එක් පරම්පරාවක් තුළ මිනිසුන් මාර්ගය අතහැර තමන්ගේ ආශාවන් අනුව ගමන් කිරීමට පටන්ගත්තා. එමෙන්ම, ඇත්තවශයෙන්ම, එම හැසිරීම සඳහා ඔවුන්ට වන්දිගෙවීමට වැඩි කාලයක් ගතවුණේ නෑ.

සමහර වෙලාවට මෙය කඩාවැටීමට පරම්පරා ගණනාවක් ගතවෙනවා. සමහරවිට එය වසර කිහිපයක් හෝ මාස ගණනක් තුළ සිදුවෙනවා. 8 නමුත් අපි සියල්ලෝම එයට ගොදුරු වෙන්නට ඉඩ තිබෙනවා. අතීතයේදී අපගේ අධ්‍යාත්මික අත්දැකීම් කෙතරම් ප්‍රබල වුවත්, මනුෂ්‍යයන් වශයෙන් අපි ඉබාගාතේ යාමට පුරුදු වී සිටිනවා. ආදම්ගේ කාලයේ සිට මේ දක්වාම පැවති රටාව එයයි.

සුභ පණිවිඩය මෙන්න

නමුත් සියල්ල නැති වී නෑ. ඉබාගාතේ යන පරීක්‍ෂණ විෂයයන් මෙන් නොව, අපගේ ගමන ඇගයීමට අපට භාවිතා කළ හැකි විශ්වාසදායක, දෘශ්‍යමාන සලකුණු අප සතුව තිබෙනවා.

එසේනම් එම මාර්ග සලකුණු මොනවාද?

නිසැකයෙන්ම ඒවාට දිනපතා යාච්ඤා කිරීම සහ ශුද්ධලියවිලි මෙනෙහි කිරීම සහ එන්න, මා අනුගමනය කරන්න වැනි දේවානුභාවයෙන් යුත් මෙවලම් භාවිතා කිරීම ඇතුළත් වෙනවා. සෑම දිනකම, අපට නිහතමානීව හා අවංකව දෙවියන්වහන්සේගේ සිංහාසනය වෙත ලඟාවෙන්නට පුළුවන්. උන්වහන්සේගේ ආලෝකය තුළ අපගේ කැමැත්ත සහ ආශාවන් පිළිබඳ සලකාබලමින්—අපගේ ක්‍රියාවන් සහ අපගේ දවසේ අවස්තාවන් අපට සමාලෝචනය කරන්නට පුළුවන්. අපව ගසාගෙන ගොස් ඇත්නම්, අපව යථා තත්වයට පත්කරන ලෙස අපි දෙවියන්වහන්සේගෙන් අයදින අතරතුර, වඩා හොඳින් කිරීමට අපි කැපවෙමු.

රූපය
ගැලවුම්කරුවාණන් තම බැටළුවන්ට මගපෙන්වයි

මෙම ස්වයං පරීක්‍ෂණ කාලය නැවත සකස් වීම සඳහා අවස්ථාවක්. එය අපට ස්වාමින්වහන්සේ සමඟ ගමන් කරමින්, උපදෙස් ලබාගත හැකි, දියුණු විය හැකි, සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ලිඛිත හා ආත්මයාණන් විසින් එළිදරව් කළ වචනය මගින් පාරිශුද්ධ විය හැකි මනස්කාර උද්‍යානයක්. එය, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් උදෙසා සපයා ඇති අධ්‍යාත්මික මාර්ග සංඥා සමග පෙළගැසෙමින්, අපි අපේ වර්ධනය තක්සේරු කරන විට, මෘදු ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීම සඳහා අපගේ ඒකමතික ගිවිසුම් අප මතකතබාගන්නා ශුද්ධ වූ මොහොතක්.

එය ඔබේ පුද්ගලික, දෛනික නැවත පිහිටුවීමේ ක්‍රියාවලියක් ලෙස සිතන්න. මහිමය සඳහා යන මාවතේ වන්දනාකරුවන් ලෙස අපේ ගමනේදී, ඉවතට වැටීම කෙතරම් පහසුදැයි අපි දන්නවා. නමුත් සුළු අපගමනයන් අපව ගැලවුම්කරුවාණන්ගේ මාවතෙන් ඉවතට ඇද දමන්නාක් මෙන්, කුඩා හා සරල ලෙස නැවත සකස් කිරීමේ ක්‍රියාවන්ටද නිසැකවම අපව ආපසු ගෙන යාමට පුළුවන්. බොහෝ විට සිදුවන පරිදි, අන්ධකාරය අපේ ජීවිත තුළට ඇතුළු වන විට, දිනපතා සිදුවන නැවත පිහිටුවීම තුළින් අපේ හදවත් ස්වර්ගික ආලෝකයට විවර වී එමඟින් සෙවනැලි, බිය සහ සැකයන් දුරු කරමින් අපේ ප්‍රාණයන් ආලෝකමත් කරනවා.

කුඩා සුක්කානම්, විශාල නැව්

අපි එය සොයන්නේ නම්, නිසැකවම “ශුද්ධාත්මයාණන්ගේ විස්තර කළ නොහැකි දීමනාව තුළින්, එසේය, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් [අපට] දැනුම ලබාදෙයි.” 9 අපි අසන සෑමවිටම, උන්වහන්සේ අපට මාර්ගය කියාදෙන අතර එය අනුගමනය කිරීමට අපට උපකාර කරයි.

ඇත්තෙන්ම, මේ සඳහා, අපේ පැත්තෙන් නියත උත්සාහයක් අවශ්‍යයි. අතීත අධ්‍යාත්මික අත්දැකීම් වලින් අපට සෑහීමකට පත්වෙන්නට බැහැ. අපිට ස්ථාවර ප්‍රවාහයක් අවශ්‍යයි.

අපිට සදාකාලයටම අන් අයගේ සාක්ෂි මත රැඳී ඉන්නට බැහැ. අපි අපේම ඒවා ගොඩනැගිය යුතුයි.

අපට ස්වර්ගීය ආලෝකයේ අඛණ්ඩ දෛනික සාරය අවශ්‍යයි.

අපිට “ප්‍රබෝධමත් වීමට කාලය” අවශ්‍යයි. 10 පුද්ගලික නැවත පිහිටුවීමේ කාලයන්.

“ගලායන ජලය” දිගු කාලයක් “අපිරිසිඳු ලෙස” පවතින්නේ නෑ. 11 අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් පිරිසිඳුව තබාගැනීමට නම්, අපි ඉදිරියට ගලා යා යුතුයි!

හැමදේකින්ම පසු, ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවීම එක් වරක් සිදුවූ හා අවසන් වූ දෙයක් නොවේ. එය දිනකට එකක් බැගින්, මොහොතකට එක හදවතක් බැගින්—දිගටම සිදුවන ක්‍රියාවලියක්.

අපේ දවස් ගෙවී යද්දී, අපේ ජීවිතද එසේමයි. එක් කතුවරයෙක් එය මෙසේ පැවසුවා: “දවසක් යනු මුළු ජීවිතයම වැනිය. ඔබ එක් දෙයක් කිරීමට පටන්ගනියි, නමුත් අවසානයේදී වෙනත් දෙයක් කරමින් අවසාන කරයි, දෙයක් කිරීමට සැලසුම් කරයි, නමුත් කිසිවිටෙකත් එය සම්පූර්ණ නොකරයි. … ඒවගේම ඔබේ ජීවිතයේ අවසානයේදී, ඔබේ මුළු පැවැත්මේම එම පදනම් විරහිත ගුණාංගය තිබෙනවා. ඔබේ මුළු ජීවිතයම එක් දවසක හැඩයට සමානය.” 12

ඔබේ ජීවිතයේ හැඩය වෙනස් කිරීමට ඔබට අවශ්‍යද?

ඔබේ දවසක හැඩය වෙනස් කරන්න.

ඔබේ දවසක වෙනස් කිරීමට ඔබට අවශ්‍යද?

මේ පැය වෙනස් කරන්න.

මේ මොහොතේ ඔබ සිතන දේ, ඔබට දැනෙන දේ සහ කරන දේ වෙනස් කරන්න.

කුඩා සුක්කානමකට විශාල නැවක් ගෙන යාමට පුළුවන්. 13

කුඩා ගඩොල් වලට විශ්මය ජනක මන්දිර බවට පත්විය හැකියි.

කුඩා බීජ වලට බලවත් සීකුවියා ගස් බවට පත්වෙන්නට පුළුවන්.

හොඳින් ගතකළ මිනිත්තු සහ පැය හොඳින් ජීවත් වූ ජීවිතයක් ගොඩනැගීම සඳහා වන මෙවලම් වෙනවා. යහපත්කමට අනුබල දීමටත්, අඩුපාඩුකම් වල වහල්භාවයෙන් අපව ඔසවා තැබීමටත්, ඒවගේම සමාවදීමේ හා පාරිශුද්ධ බවේ මිදීමේ මාවතට අපව යොමුකිරීමටත් ඒවාට පුළුවන්.

නව ආරම්භයන් වල දෙවියන්වහන්සේ

නව අවස්ථාව, නව ජීවිතය, නව බලාපොරොත්තුව යන මහිමාන්විත ත්‍යාග ගැන ඔබ සමඟ මම මගේ හදවත ඔසවමින් කෘතඥතාව පළකරනවා.

අපගේ ත්‍යාගවන්ත හා සමාවදෙන දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි හඬනගමු. නිසැකවම උන්වහන්සේ නව ආරම්භයක දෙවියන්වහන්සේයි. උන්වහන්සේගේ සියලු ශ්‍රමයේ උත්තරීතර අවසානය නම් අමරණීයභාවය සහ සදාකාල ජීවනය සඳහා වූ අපගේ උත්සහය සාර්ථක කරගැනීමට අපට, එනම් උන්වහන්සේගේ දරුවන්ට උපකාර කිරීමයි. 14

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට නව ජීවීන් බවට පත්විය හැකියි, මන්ද දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති පරිදි, “මාගේ ජනතාව නිතර පසුතැවිලි වන තරමටම, ඔවුන් මට විරුද්ධව කරන පාපයන්ට මම ඔවුන්ට සමාව දෙමි” 15 සහ “ඒවා තවදුරටත් සිහි නොකරන්නෙමි.” 16

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, හිතවත් මිත්‍රයිනි, අපි සැමදෙනාවම විටින් විට ගසාගෙන යනවා.

නමුත් අපට නැවතත් ඒ ගමනට අවතීර්ණ වෙන්න පුළුවන්. උන්වහන්සේ සපයා දී ඇති අධ්‍යාත්මික මාර්ග සංඥා සොයමින් සහ ඒවා පිළිගනිමින්, පුද්ගලික එළිදරව් වැළඳගනිමින්, එමෙන්ම දෛනික නැවත පිහිටුවීම සඳහා වෙරදරන්නේ නම්, අපිට මෙම ජිවිතයේ අඳුර සහ අභියෝග තුළින් ගමන් කරමින් අපේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ වෙත අපගේ මාර්ගය සොයාගන්නට පුළුවන්. අපි අපේ ආදරණීය ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් බවට පත්වන්නේ මේ ආකාරයටයි.

අපි එසේ කරන විට, දෙවියන්වහන්සේ අප දෙස බලා සිනාසෙයි. “… නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශිර්වාද කරන සේක. ස්වාමින්වහන්සේ නුඹව උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹව ස්ථිර කරන සේක. 17

අපි දිනපතා නැවත පිහිටුවීම උත්සහ කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාවතේ ගමන් කිරීමට අඛණ්ඩව උත්සාහ කිරීම මාගේ යාච්ඤාවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වීය “මාර්ගයද, සත්‍යද, ජීවනයද මම වෙමි” (යොහාන් 14:6). NIV පළමු සියවසේ බයිබල් අධ්‍යයනයේ මෙම පැහැදිලි කිරීම ඇතුළත් වේ: “හේබ්‍රෙව් බයිබලයේ මාර්ගයක් හෝ මාර්ගයක් පිළිබඳ රූපයකින් බොහෝ විට පෙනීගියේ දෙවියන්වහන්සේගේ ආඥා හෝ ඉගැන්වීම් පිළිපැදීමයි [බලන්න ගීතාවලිය 1:1; 16:11; 886:11]. විශ්වාසයන්, ඉගැන්වීම් හෝ භාවිතයන් මාලාවකට සක්‍රීයව සහභාගී වීම සඳහා මෙය පොදු පුරාණ උපමාවක් විය. මළ මුහුදේ ලියවිලි ප්‍රජාව තමන්ව ‘මාවතේ’ අනුගාමිකයන් ලෙස හැඳින්වූ අතර එයින් අදහස් කළේ ඔවුන් දෙවියන්වහන්සේ සතුටු කරන මාවතේ තමන්ගේම අර්ථ නිරූපනයේ අනුගාමිකයන් බවයි. පාවුල් සහ පළමු ක්‍රිස්තියානුවන්ද තමන්ව හැඳින්වූයේ ‘මාර්ගයේ අනුගාමිකයන්’ ලෙසය [ක්‍රියා 24:14]” (in “What the Bible Says about the Way, the Truth, and the Life,” Bible Gateway, biblegateway.com/topics/the-way-the-truth-and-the-life).

    1873 දී, යේරුසලමේ කොන්ඩාන්ටිනෝපල් හි ආදිපීතෘවරුන්ගේ පුස්තකාලයෙන් ඩිඩාචේ නම් වූ පැරණි පොතක් සොයාගන්නා ලදි. බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ එය ලියන ලද්දේ සහ භාවිතා කළේ පළමු සියවසේ අග භාගයේදී (ක්‍රි.ව. 80–100) බවයි. ඩිඩාචේ මෙම වචන වලින් ආරම්භ වේ: “ජීවිතයේ ආකාර දෙකක් ඇත, එකක් ජීවිතය සහ අනෙක මරණයයි, නමුත් මෙම ක්‍රම දෙක අතර විශාල වෙනසක් ඇත. එසේ නම් ජීවනයේ මාර්ගය මෙයයි: පළමුව, ඔබව මැවූ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න; දෙවනුව, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” (Teaching of the Twelve Apostles, trans. Roswell D. Hitchcock and Francis Brown [1884], 3).

    එක්ස්පෝසිටර්ගේ බයිබල් අටුවාව වැනි වෙනත් මූලාශ්‍රයන් පෙන්වා දෙන්නේ “සභාවේ මුල් අවධියේදී යේසුස්වහන්සේගේ ගැලවුම්කාරකම පිළිගෙන උන්වහන්සේව තම ස්වාමියා යැයි කියාගත් අය තමන්ව ‘මාවතේ’ අය ලෙස හැඳින්වූ බවයි [බලන්න ක්‍රියා 19:9, 23; 22:4; 24:14, 22]” (ed. Frank E. Gaebelein and others [1981], 9:370).

  2. බලන්න මොසායා 2:17.

  3. බලන්න දහම සහ ගිවිසුම් 88:63.

  4. “Walking in Circles,” Aug. 20, 2009, Max-Planck-Gesellschaft, mpg.de.

  5. “Walking in Circles,” mpg.de. මෙම රූපයේ දැක්වෙන්නේ අධ්‍යයනයට සහභාගී වූ සිව් දෙනෙකුගේ ගෝලීය තැන් සෙවුම් පද්ධතියේ (GPS) ලුහුබැඳීමයි. ඔවුන්ගෙන් තිදෙනෙක් ඇවිද ගියේ වළාකුළු පිරි දිනයකය. ඔවුන්ගෙන් එක් කෙනෙක් (SM) ඇවිදීමට පටන් ගත්තේ සූර්යයා වලාකුළු වලින් වැසී ගිය අවස්තාවක නමුත් මිනිත්තු 15 කට පසු වලාකුළු විසුරුවා හරින ලද අතර සහභාගිවන්නාට හිරු එළිය දැකගත හැකිවිය. සූර්යයා දිස් වූ පසු, ඇවිදින්නා සරල රේඛාවක් ඔස්සේ ගමන් කිරීමේදී වඩාත් සාර්ථක වූ ආකාරය බලන්න.

  6. ඇන්ටාක්ටිකාවේ එරෙබස් කන්දට අංශක දෙකක පාඨමාලාවේ වැරදීමක් නිසා මගී ජෙට් යානයක් කඩා වැටීමෙන් මිනිසුන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ආකාරය පිළිබඳ එක් ඛේදජනක උදාහරණයක් සඳහා, බලන්න Dieter F. Uchtdorf, “A Matter of a Few Degrees,” Liahona, May 2008, 57–60.

  7. විනිශ්චයකාරයන්ගේ පොත 2:10.

  8. ක්‍රිස්තුස්වහන්සේගේ අමෙරිකාවේ සංචාරයෙන් පසු, මිනිසුන් තමන්ගේ පව් ගැන ඇත්තෙන්ම පසුතැවිලි වී, බව්තීස්ම වී, ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගත්හ. වරෙක ඔවුන් වාද භේද හා ආඩම්බරකාර මිනිසුන් වූ තැන, දැන් “ඔවුන් අතර වාද විවාද හා වාද විවාද නොතිබූ අතර සෑම මිනිසෙකුම එකිනෙකා සමඟ සාධාරණව කටයුතු කළහ” (4 නෙපි 1:2). උඩඟුකම මිනිසුන්ව එම මාවතෙන් හැරවීමට පෙර, මෙම ධර්මිෂ්ඨකමේ කාලය සියවස් දෙකක් පමණ පැවතියේය. කෙසේවෙතත්, අධ්‍යාත්මික ඈත්වීම වඩාත් වේගයෙන්ද සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන්, දශක ගණනාවකට පෙර, මොර්මොන්ගේ පොතේ විනිසුරුවන්ගේ පාලන සමයේ 50 වන අවුරුද්දේදී, මිනිසුන් තුළ “අඛණ්ඩ සාමය සහ මහත් ප්‍රීතිය” ඇතිවිය. නමුත් සභාවේ සාමාජිකයින්ගේ හදවත් තුළට ඇතුළු වූ ආඩම්බරය නිසා, වසර හතරක කෙටි කාලයකට පසු “සභාවේ බොහෝ මතභේද ඇති වූ අතර, ලේ වැගිරීම් සිදුවන තරටම, මිනිසුන් තුළ මතභේදයක් ඇතිවිය” (බලන්න හිලමන් 3:32–4:1).

  9. දහම සහ ගිවිසුම් 121:26.

  10. ක්‍රියා 3:19.

  11. දහම සහ ගිවිසුම් 121:33.

  12. Michael Crichton, Jurassic Park (2015), 190.

  13. “උදාහරණයක් ලෙස නැව් ගන්න. ඒවා එතරම් විශාල වූවත් තද සුළං මගින් මෙහෙයවනු ලැබුවද, නියමුවාට යාමට අවශ්‍ය ඕනෑම තැනකට ඔවුන්ව ගෙන යන්නේ ඉතා කුඩා සුක්නකාමෙනි” (යාකොබ් 3:4, නව ජාත්‍යන්තර අනුවාදය).

  14. බලන්න මෝසෙස් 1:39.

  15. මොසායා 26:30.

  16. දහම සහ ගිවිසුම් 58:42.

  17. ද්විතීය කතාව 28:8–9; තවත් බලන්න 1–7 පද.