ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරමින් අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට මුහුණදීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරමින් අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට මුහුණදීම

ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමෙන් හා උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් අපිට අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට හොඳින් මුහුණදීමට හැකිවෙනවා.

පසුගිය වසර හය තුළ, මම සහ මගේ බිරිඳ ඈන්, ඇමරිකා එක්සත් ජනපදයේ විශාල විනාශයන් සහ ජීවිත හානි පවා සිදුවූ විශාලතම සුළි කුණාටු සමහරක් සිදුවූ ගල්ෆ් වෙරළ ආසන්නයේ ටෙක්සාස් වල ජීවත් වෙමින් සිටිනවා. කණගාටුවට කරුණක් නම්, මෑත මාස වල එවැනි විනාශකාරී සිදුවීම් ආගන්තුක නොවීමයි. ඕනෑම ආකාරයකින් බලපෑමට ලක්වූ සැමට අපගේ ආදරය ප්‍රකාශ කරන අතර යාච්ඤා කරනවා. 2017 දී හාවි සුළි කුණාටුව අපි පෞද්ගලිකවම අත්දුටු අතර එහිදී වර්ෂාපතනය අඟල් 60ක (150 cm) වර්තාගත අගයක් ගත්තා.

සුළි කුණාටු ඇතිවීම ස්වාභාවික නීති මගින් පාලනය වෙනවා. සාගරයේ උෂ්ණත්වය අවම වශයෙන් ෆැරන්හයිට් අංශක 80 ක් (27 degrees C) විය යුතු අතර එය සාගර මතුපිට සිට අඩි 165 ක් (50 m) පහළට විය යුතුයි. සුළඟ උණුසුම් සාගර ජලය හමුවන විට, එමඟින් ජලය වාෂ්ප වී වායුගෝලයට ඉහළ යන අතර එහිදී එය ද්රව බවට පත්වෙනවා. එවිට වලාකුළු සෑදෙන අතර සුළං සාගර මතුපිට සර්පිලාකාර රටාවක් නිපදවනවා.

රූපය
සුළි කුණාටු

සුළි කුණාටු විශාලත්වයෙන් විශාල වන අතර එය අඩි 50,000 ක් (15,240 m) හෝ ඊට වැඩි ප්‍රමාණයක් වායුගෝලයට ඇතුළු වන අතර අවම වශයෙන් සැතපුම් 125 ක් (200 km) දුරට විහිදෙනවා. සිත්ගන්නා කරුණ නම්, සුළි කුණාටු ගොඩබිමට පැමිණෙන විට ඒවා දුර්වල වීමට පටන්ගැනීමයි, මන්ද ඒවායේ ශක්තිය වැඩිකිරීම සඳහා අවශ්‍ය උණුසුම් ජලය මතුපිට ඒවා තවදුරටත් නොතිබීමයි. 1

විනාශකාරී භෞතික සුළි කුණාටුවකට ඔබ කිසිදිනෙක මුහුණනොදෙන්නට පුළුවන්. කෙසේවෙතත්, අප සෑම කෙනෙකුම අපගේ සාමයට තර්ජනයක් වන සහ අපගේ ඇදහිල්ල අභියෝගයට ලක්කරන අධ්‍යාත්මික චණ්ඩ මාරුතයන්ට ලක්වී තිබෙනවා, නැතිනම් ලක්වෙයි. වර්තමාන ලෝකය තුළ, ඒවා සංඛ්‍යාතයෙන් හා තීව්‍රතාවයෙන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. ස්තූතිවන්ත වන්නට, ඒවා ප්‍රීතියෙන් යුතුව ජයගැනීමට ස්වාමින්වහන්සේ අපට නිසැක මාර්ගයක් සපයා දී තිබෙනවා. “අඳුරු කරදර වළාකුළු අප තුළ එල්ලී අපේ සාමය විනාශ කරන බවට තර්ජනය කරන විට, බලාපොරොත්තුව අප ඉදිරියේ දීප්තිමත්ව සිනාසෙන” බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ජීවත් වීමෙන් අපට සහතිකයක් ලැබෙනවා. 2

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස පැහැදිළි කළා:

“ඕනෑම තත්වයක් යටතේ ශුද්ධවන්තයන්ට සතුටු වෙන්නට පුළුවන්. අයහපත් දවසක්, අයහපත් සතියක්, හෝ අයහපත් අවුරුද්දක් තිබියදීත් අපට ප්‍රීතිය දැනිය හැකියි!

“… අපට දැනෙන ප්‍රීතියට අපේ ජීවිතයේ තත්වයන් හා සමඟ එතරම් සම්බන්ධයක් නැති නමුත් අපගේ ජීවිතයේ අවධානය සමඟ සෑම සම්බන්ධයක්ම එයට තිබෙනවා

“අපගේ ජීවිතයේ අවධානය … යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට යොමුවී ඇති විට, අපගේ ජීවිතයේ—සිදුවෙමින් පවතින දේ හෝ සිදු නොවෙන දේ—කුමක් වුවත් අපට ප්‍රීතිය අත්විඳින්නට පුළුවන්.” 3

භෞතික සුළි කුණාටු ස්වාභාවික නීති මගින් පාලනය වනවා සේම, අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලදී ප්‍රීතිය දැනිය යුතු ආකාරය දිව්‍යමය නීති මගින් පාලනය වෙනවා. ජීවිතයේ කුණාටු අභිබවා යද්දී අපට දැනෙන ප්‍රීතිය හෝ දුක, දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද නීති සමඟ බැඳී තිබෙනවා. සභාපති නෙල්සන් මෙසේ බෙදාගත්තා: “ඒවා ආඥා ලෙස හඳුන්වනවා, නමුත් එසවීමේ නීතිය, ගුරුත්වාකර්ෂණ නීතිය, [සහ] හෘද ස්පන්දනය පාලනය කරන නීතිය මෙන්ම ඒවා සත්‍යයි.”

සභාපති නෙල්සන් තවදුරටත් මෙසේ පවසනවා: “එය ඉතා සරල සූත්‍රයක් බවට පත්වෙනවා: ඔබට සතුටු වීමට අවශ්‍ය නම්, ආඥා පිළිපදින්න.” 4

සැකය යනු, ඇදහිල්ල හා ප්‍රීතියේ සතුරෙක්. උණුසුම් සාගර ජලය සුළි කුණාටු උත්පාදනය වන තෝතැන්න වන්නාක් මෙන්, ආත්මික සුළි කුණාටු උත්පාදනය වන ස්ථානය සැකයයි. විශ්වාසය තෝරාගැනීමක් වනවා සේම සැකයද තෝරාගැනීමක්. අපි සැක කිරීමට තෝරාගන්නා විට, සතුරාට බලය ලබාදෙමින්, අපි පාලනය වීමට තෝරාගන්නවා, එමඟින් අපි දුර්වල වී අවදානමට ලක්වෙනවා. 5

සාතන් උත්සහ කරන්නේ අපව සැකය උත්පාදනය වන භූමියට ගෙන යාමටයි. අපි විශ්වාස නොකරන පිණිස ඔහු අපේ හදවත් දැඩි කිරීමට උත්සාහ කරනවා. 6 සැකය උත්පාදනය වන පදනම සිත්ගන්නා ලෙස දිස්වෙන්නට පුළුවන්, මොකද බැලූ බැල්මට එම සාමකාමී, උණුසුම් ජලයට “දෙවියන්වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයක්ම අනුව අප ජීවත්වීම” අවශ්‍ය වන්නේ නෑ. 7 එවැනි ජලය තුළ අපගේ අධ්‍යාත්මික සුපරීක්‍ෂණය ලිහිල් කිරීමට සාතන් අපව පොළඹවනවා. අපි “වඩාත් සීතලව හෝ උණුසුම්ව” සිටීමට අවශ්‍ය නොවන, අධ්‍යාත්මික විශ්වාසයේ නැතිවීම ඇතිකරන්නට එම නොසැලකිලිමත්කමට පුළුවන්. 8 අපි ක්‍රිස්තුස්වහන්සේ මත නැංගුරම් ලා නොමැති නම්, සැකය සහ එහි ආකර්ෂණයන් අපව උදාසීනභාවයට ගෙන යන අතර, එහිදී අපට ප්‍රාතිහාර්යයන්, හෝ සදාකාලික සතුට, හෝ “[අපගේ] ප්‍රාණයන්ට සහනයක්” ලැබෙන්නේ නෑ. 9

පොළොව මත සුළි කුණාටු දුර්වල වනවාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ පදනම ගොඩනගාගන්නා විට සැකය වෙනුවට ඇදහිල්ල ආදේශ වෙනවා. එවිට අධ්‍යාත්මික සුළි කුණාටු ඒවායේ නියම ඉදිරිදර්ශනය තුළින් දැකගැනීමට හැකිවන අතර, ඒවා ජයගැනීමේ අපගේ හැකියාව වැඩිවෙනවා. එවිට, “එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටුවන්, එසේය, සුළි සුළඟින් ඊතල පමුණුවන විට, … දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය, එය ස්ථිර අත්තිවාරමක් නිසාවෙනි.” 10

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු සියලු විශ්වාසයන්ගේ පදනම සහ දිව්‍ය බලයේ ප්‍රණාලයයි. …

“ස්වාමින්වහන්සේගේ පරිපූර්ණ බලයට ප්‍රවේශ වීමට අපට පරිපූර්ණ ඇදහිල්ලක් අවශ්‍ය යැයි ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ විශ්වාස කරන ලෙසයි.” 11

අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේ සිට, මම සහ මගේ පවුලේ අය “අපගේ අභියෝග අසමසම වර්ධනයකට සහ අවස්ථාවක් බවට පත්කරගැනීමට” අපට උපකාර කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උත්සාහ කළා. 12

අපේ මිණිබිරිය වන රූබි ඕනෑම අවස්ථාවක් ශක්තිමත් ලෙස, කැමැත්තෙන් භාරගැනීමට ආශිර්වාද ලබා තිබෙනවා. ඇය ඉපදෙන විට ඇගේ අන්නනාලිකාව ආමාශයට සම්බන්ධ වී තිබුණේ නෑ. ළදරුවෙකු ලෙස සිටියදී පවා, රූබි ඇගේ දෙමාපියන්ගේ උදව් ඇතිව අසාමාන්‍ය අධිෂ්ඨානයකින් මෙම පරික්ෂාව සඳහා මුහුණදුන්නා. රූබිට දැන් වයස අවුරුදු පහයි. ඇය තවමත් ඉතා කුඩා වුවත්, ඇයගේ සන්තෝෂය තීරණය කිරීමට ඇගේ වාතාවරණයට ඉඩ නොතැබීමට ඇය බලවත් උදාහරණයක්. ඇය සැමවිටම සිටින්නේ සතුටින්.

පසුගිය මැයි මාසයේදී, රූබි තම ජීවිතයේ අතිරේක සුළි කුණාටුවකට ඇදහිල්ලෙන් යුතුව මුහුණදුන්නා. ඇය ඉපදුණේ ප්‍රතිසංස්කරණ සැත්කමක් අවශ්‍යය වන, සම්පූර්ණයෙන්ම දියුණු වූ අතකට වඩා අඩු වර්ධනයක් සහිත අතක් සමඟයි. මෙම තරමක් සංකීර්ණ සැත්කමට පෙර, අපි ඇය බැහැදැකීමට ගොස්, දරුවෙකු ගැලවුම්කරුවාණන්ගේ අත උණුසුම් ලෙස අල්ලාගෙන සිටින අයුරු ඉතා අලංකාර ලෙස නිරූපනය කරන ලද චිත්‍රයක් අපි ඇයට ලබාදුන්නා. ඇය කලබලයෙන් සිටිනවාදැයි අපි ඇයගෙන් විමසූ විට, ඇය පිළිතුරු දුන්නේ, “නැහැ, මම සතුටින්!” කියායි.

රූපය
රූබි, ගැලවුම්කරුවාණන්ගේ හස්තය සහිත පින්තූරය සමඟ

පසුව අපි “රූබි, එහෙම කොහොමද වෙන්නේ?” ලෙස ඇයගෙන් ඇසුවා.

රූබි විශ්වාසයෙන් මෙසේ කියා සිටියා, “යේසුස්වහන්සේ මාගේ අතින් අල්ලා ගන්නා බව මම දන්නවා.”

රූබිගේ සුවය ආශ්චර්යමත් වූ අතර, ඇය දිගටම සතුටින් සිටිනවා. දරුවකුගේ ඇදහිල්ලේ පාරිශුද්ධ භාවය, අප වයසට යත්ම නිතරම අපව පොළඹවන සැකයේ අඥානකමට වඩා වෙනස් වන්නේ කොහොමද! 13 නමුත් අපි සියලුදෙනාටම කුඩා දරුවන් මෙන් වී අපේ අවිශ්වාසය පසෙක තැබීමට තීරණය කරන්නට පුළුවන්. එය සරල තෝරාගැනීමක්.

බොහෝ සැලකිලිමත් පියෙක් උනන්දුවෙන් ගැලවුම්කරුවාණන්ගෙන් මෙසේ අයැද සිටියා, “ඔබට යමක් කරන්නට පුළුවන් නම්, … අපට පිහිටවුව මැනව.” 14

එවිට යේසුස්වහන්සේ ඔහුට මෙසේ පැවසුවා:

“ඔබට විශ්වාස කරන්නට පුළුවන් නම්, විශ්වාස කරන්නාට සියල්ල පුළුවන.

“එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාස කරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි කඳුළු අතරින්, මොරගසා කීවේය.” 15

මෙම නිහතමානී පියා තම සැකයට වඩා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඥානවන්තව තෝරාගත්තා. සභාපති නෙල්සන් මෙලෙස බෙදාගත්තා, “ඔබේ ජීවිතයේ කඳු චලනය කිරීමට ප්‍රාතිහාර්යයන් තුළින් ආශිර්වාද කිරීමෙන් දෙවියන්වහන්සේව වළක්වන්නේ ඔබගේ අවිශ්වාසය පමණයි.” 16

දැනගැනීමේ මට්ටමින් නොව විශ්වාස කරන මට්ටමින් සීමාව සකස් කිරීමට තරම් අපගේ දෙවියන්වහන්සේ කොතරම් දයාවන්තද!

ඇල්මා මෙසේ උගන්වනවා:

“දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කළාවූ ඔහු ආශිර්වාද ලද්දෙක්ය.” 17

“[එනම්] උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට දෙවියන්වහන්සේ කරුණාවන්ත වන සේක; එසේහෙයින් උන්වහන්සේ කැමති වන්නේ, සියල්ලටම පළමුවෙන්, නුඹලා විශ්වාස කළ යුතු වීමටය.” 18

ඔව්, පළමුවෙන්ම, දෙවියන්වහන්සේ කැමති අපි උන්වහන්සේව විශ්වාස කිරීමයි.

අපිට අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට හොඳින් මුහුණදීමට හැකිවන්නේ, ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමෙන් හා උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙනුයි. “අපේ ජීවිතයේ [කුමක් වුවත්]—සිදු නොවුනත්” අපගේ විශ්වාසය සහ කීකරුකම අපේම බලයට වඩා ඔබ්බට ගිය බලයකට අපව සම්බන්ධ කරනවා. 19 ඔව්, විශ්වාස කිරීම සහ කීකරු වීම නිසා දෙවියන්වහන්සේ “[අපට] එසැණින් ආශිර්වාද කරයි”. 20 ඇත්තවශයෙන්ම, අපි උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ක්‍රියාත්මක කර උන්වහන්සේගේ ආඥා පිළිපදින විට, අපේ පවතින තත්වය සතුටට, පරිවර්ථනය වී “අපව ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවමාන කරවනවා.” 21

සහෝදර සහෝදරියනි, අපි අද “සැක නොකර විශ්වාස කිරීමට” තෝරාගනිමු. 22 “නිවැරදි මාර්ගය ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කිරීමයි.” 23 අපව “[උන්වහන්සේගේ] දෑත්වල අත්ලෙහි කොටා … තිබෙනවා.” 24 අපගේ දොර ලඟ සිට, තට්ටු කරන උන්වහන්සේ, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. 25 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.