ප්‍රධාන සම්මන්ත්‍රණය
ගැලවුම්කරුවාණන්ගේ නොවෙනස් වන දයානුකම්පාව
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගැලවුම්කරුවාණන්ගේ නොවෙනස් වන දයානුකම්පාව

අන් අය කෙරෙහි දයානුකම්පාව දැක්වීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ හරයයි.

දයානුකම්පාවෙන් යුතුව අන් අයට සැලකීම ගැලවුම්කරුවාණන් විසින් උන්වහන්සේගේ මේ ලෝකයේ දේවසේවය තුළදී ඉගැන්වූ ඉතාමත් කැපීපෙනෙන මූලධර්මයක්. පරිසිවරයා වූ, සීමොන්ගේ නිවසට යේසුස්වහන්සේගේ පැමිණීම පිළිබඳ වාර්තාව සලකා බැලීමෙන් මෙම මූලධර්මය සහ එහි ප්‍රායෝගික භාවිතය ගැන අපි මෙනෙහි කරමු.

පව්කාරියක් ලෙස සැලකෙන එක්තරා කාන්තාවක්, යේසුස්වහන්සේ එහි සිටින අතරතුරදී සීමොන්ගේ නිවසට ඇතුළු වූ බව, ලූක්ගේ සුවිශේෂයෙහි සඳහන් වෙනවා. මෙම කාන්තාව නිහතමානී ලෙස යේසුස්වහන්සේ වෙතට පැමිණ, ඇයගේ කඳුළු වලින් උන්වහන්සේගේ පාද සෝදා, ඇයගේ හිසකෙස් වලින් ඒවා පිස දමා, පසුව ඒවා සිපගෙන විශේෂ විලවුන් වලින් ආලේප කළා. 1 කාන්තාවට වඩා සදාචාරාත්මකව උසස් යැයි සැලකූ එම ආඩම්බර සත්කාරකයා, අපකීර්තියෙන් හා අධිමානයෙන් යුතුව තමාටම මෙසේ සිතාගත්තා, “මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම්, තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත: මක්නිසාද ඈ පව්කාරියකි.” 2

පරිසිවරයාගේ ඔබට-වඩා-ශුද්ධය යන ආකල්පය යේසුස්වහන්සේවත් ස්ත්‍රියවත් අසාධාරණ ලෙස විනිශ්චය කිරීමට ඔහුව පෙළඹුවා. නමුත් ඔහුගේ සර්වඥතාඥානයේදී, ගැලවුම්කරුවාණන් සීමොන්ගේ මනස දැන සිටි අතර, ඉතා ප්‍රඥාවෙන් යුතුව, සීමොන්ගේ පහත් ආකල්පය අභියෝගයට ලක්කළා, එමෙන්ම ගැලවුම්කරුවාණන් වැනි විශේෂ අමුත්තෙකු තම නිවසට පිළිගැනීමේදී නොතිබූ ආචාරශීලීත්වය ගැන ඔහුට අවවාද කළා. ඇත්තවශයෙන්ම, පරිසිවරයාට යේසුස්වහන්සේගේ සෘජු තරවටු කිරීම, යේසුස්වහන්සේට සැබවින්ම අනාවැකිමය දීමනාව හිමි බවත් එමෙන්ම යටහත්පහත් සහ බිඳුණු සිතක් ඇති මෙම කාන්තාව පසුතැවිලි වී ඇගේ පව් වලට සමාව ලබාගත් බවත් සාක්ෂියක් ලෙස සේවය කරනවා. 3

වෙනත් බොහෝ සිදුවීම් මෙන්ම යේසුස්වහන්සේගේ මේ ලෝකයේ දේවසේවයේදීත්, ගැලවුම්කරුවාණන් විසින් උන්වහන්සේ වෙත පැමිණෙන සියලුදෙනා කෙරෙහි—වෙනසක් නොමැතිව—විශේෂයෙන්ම උන්වහන්සේගේ උපකාරය අවශ්‍ය වූවන්ට දයානුකම්පාව දැක්වූ බව මෙම වාර්තාවෙන් තවත් වරක් පෙන්නුම් කරනවා. මෙම කාන්තාව විසින් යේසුස්වහන්සේට දැක්වූ පසුතැවිල්ල සහ ගෞරවනීය ආදරය ඇයගේ අවංක පසුතැවිල්ල සහ ඇගේ පව් වලට සමාව ලබාගැනීමට ඇති ආශාව පිළිබඳ සාක්ෂියක්. කෙසේවෙතත්, සීමොන්ගේ දැඩි හදවත සමඟ එකතු වූ, ඔහුගේ උසස්බවෙහි සංකීර්ණත්වය, 4 එම පසුතැවිලි වූ ආත්මය කෙරෙහි අනුකම්පාව දැක්වීම වළක්වාලූ අතර, ඔහු විසින් ලෝකයේ ගැලවුම්කරුවාණන් ගැන පවා උපේක්ෂාවෙන් හා අවඥාවෙන් යුතුව සඳහන් කළා. ඔහුගේ ජීවන රටාව දැඩි හා හිස් නීති රීති පිළිපැදීම සහ ආත්ම අභිමානය හා ව්‍යාජ ශුද්ධකම තුළින් ඔහුගේ විශ්වාසයන් හෙළිකිරීම හැර වෙනත් දෙයක් නොවන බව ඔහුගේ ආකල්ප තුළින් ප්‍රකාශ වුණා. 5

මෙම වාර්තාවේ යේසුස්වහන්සේගේ දයානුකම්පිත හා පුද්ගලීකෘත දේවසේවය තුළින් අපි අපේ අසල්වැසියන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක් විදහා දක්වනවා. ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ගැඹුරු සහ ස්ථීර දයානුකම්පාවෙන් පෙලඹී, උන්වහන්සේගේ කාලයේ මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය සහ, “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින්, සිහිමුර්ජා වෙමින්, විසිරී සිටි” අයට උපකාර කළ ආකාරය ගැන ශුද්ලිධයවිලි වල ගණන් කළ නොහැකි උදාහරණ තිබෙනවා. 6 ශාරීරිකව හා අධ්‍යාත්මික වශයෙන්, තම බරෙන් සහනයක් අවශ්‍ය අයට උන්වහන්සේ තම දයානුකම්පිත හස්තය දිගු කළා. 7

යේසුස්වහන්සේගේ දයානුකම්පිත ස්වභාවය, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ සාරය වන, උන්වහන්සේගේ පිවිතුරු සහ පරිපූර්ණ ප්‍රේමය ලෙස හඳුන්වන, නිර්මල ප්‍රේමය 8 තුළ මුල්බැසගෙන තිබෙනවා. දයානුකම්පාව යනු, පාරිශුද්ධභාවය සහ මෙම දිව්‍යමය ගුණාංගය සඳහා වෙරදරන, සහ වැලපෙන අය සමඟ වැලපීමටත්, සංවේදනය, දයාව, සහ කරුණාව ඇතිකරගැනීමත් වැනි අනෙකුත් ක්‍රිස්තියානි ගතිලක්ෂණ සමඟ බැඳී සිටින අයගේ මූලික ලක්ෂණයක්. 9 අන් අය කෙරෙහි දයානුකම්පාව ප්‍රකාශ කිරීම, ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ හරය වන අතර ගැලවුම්කරුවාණන් සමඟ අපගේ අධ්‍යාත්මික හා චිත්තවේගීය සමීපභාවය පිළිබඳ කැපීපෙනෙන සාක්ෂියක්. තවදුරටත්, එය අපගේ ජීවන රටාව කෙරෙහි උන්වහන්සේ දක්වන බලපෑමේ මට්ටම පෙන්නුම් කරන අතර අපගේ ආත්මයේ ප්‍රමාණය විදහා දක්වනවා.

යේසුස්වහන්සේගේ දයානුකම්පිත ක්‍රියාවන්, සම්පූර්ණ කළ යුතු කාර්යයන් ලැයිස්තුවක් මත පදනම්ව තිබූ හෝ වරින් වර සිදුකළ යුතු හා අනිවාර්ය ප්‍රකාශයන් නොවන අතර, එහෙත් දෙවියන්වහන්සේ හා උන්ගේවහන්සේ දරුවන් කෙරෙහි උන්වහන්සේගේ නිර්මල ප්‍රේමයේ සහ ඔවුන්ට උපකාර කිරීමේ උන්වහන්සේගේ නොවෙනස් වන ආශාවේ නිරන්තර ප්‍රකාශනයක් බව නිරීක්ෂණය කිරීම අර්ථවත්.

මිනිසුන්ගේ අවශ්‍යතා දුරස්ථව සිටියදී වුවද හඳුනාගැනීමට යේසුස්වහන්සේට හැකියාවක් තිබුණා. ඒනිසා, උදාහරණයක් ලෙස, එක් ශතාධිපතියෙකුගේ සේවකයෙකු සුවකළ විගස, 10 යේසුස්වහන්සේ කපර්ණවුමේ සිට නායින් නම් නගරය දක්වා ගමන් කිරීම පුදුමයක් නොවේ. වැන්දඹු මවකගේ එකම පුත්‍රයා වූ මියගිය තරුණයෙකුට, නැඟිට ජීවත් වන ලෙස ආඥා කළ විට යේසුස්වහන්සේ උන්වහන්සේගේ මේ ලෝකයේ දේවසේවයේ ඉතාමත් මුදු මොළොක් ප්‍රාතිහාර්යයන් වලින් එකක් සිදුකළේ එහිදීයි. එම දුප්පත් මවගේ දැඩි විඳවීම පමණක් නොවේ නමුත් ඇගේ ජීවිතයේ දුෂ්කර තත්වයන්ද යේසුස්වහන්සේට දැනුණ නිසා, උන්වහන්සේට ඇය කෙරෙහි අවංක දයානුකම්පාවක් දැනුණා. 11

පව්කාර කාන්තාව සහ නායින් හි වැන්දඹුව මෙන්, අපේ බලපෑම් කවය තුළ සිටින බොහෝ අය සැනසිල්ල, අවධානය, ඇතුළත් වීම, සහ අපට කළ හැකි ඕනෑම උපකාරයක් සොයමින් සිටිනවා. යේසුස්වහන්සේ කළාක් මෙන්, අපි සැමටත් ස්වාමින්වහන්සේගේ හස්තයන්හි මෙවලම් විය හැකි අතර අවශ්‍යතා ඇති අය කෙරෙහි දයානුකම්පිතව ක්‍රියා කළ හැකියි.

ඉතා බැරෑරුම්ව දෙකට බෙදුණු තොල් සහ දෙකට බෙදුණු තල්ලක් සහිතව ඉපදුණු කුඩා ගැහැණු ළමයෙක්ව මම දන්නවා. ඇයගේ ජීවිතයේ දෙවන දිනයේදී බොහෝ සැත්කම් මාලාවක පළමුවැන්න සිදුකිරීමට ඇයට සිදුවුණා. මෙම අභියෝගයම අත්විඳින අය කෙරෙහි අවංක දයානුකම්පාවකින් පෙලඹී, මෙම අසීරු යථාර්ථයට මුහුණදෙන අනෙක් අයට සහයෝගය, අවබෝධය, සහ චිත්තවේගී සහනය ලබාදීමට මෙම දැරිය සහ ඇගේ දෙමාපියන් උත්සාහ කරනවා. මෑතකදී ඔවුන් මට ලියමින් මෙසේ බෙදාගත්තා: “අපේ දුවගේ අභියෝගය තුළින් අපට සැනසිල්ල, සහයෝගය, සහ දිරිගැන්වීම අවශ්‍ය පුදුමාකාර පුද්ගලයන් හමුවීමට අවස්ථාව ලැබුණා. කලකට පෙර, දැන් අවුරුදු 11 ක් වන අපේ දියණිය එම අභියෝගය සමඟම සිටි ළදරුවෙකුගේ දෙමාපියන් සමඟ කතා කළා. මෙම සංවාදය අතරතුර, එම ගැටලුව විසඳාගැනීම සඳහා ඉදිරි වසර කිහිපය තුළදී එම දරුවාට තවමත් බොහෝ දුර යා යුතුව තිබුණත්, එම දෙමාපියන්ට බලාපොරොත්තුවක් ඇති බව දැකගත හැකිවන ලෙස, අපේ දියණිය වසංගතය හේතුවෙන් තමා පැළඳ සිටි මුහුණු ආවරණය මොහොතකට ගලවා දැමුවා. ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කරන ලෙසම, දුක් විඳින අයට අපගේ සංවේදනය පළකිරීමට අවස්ථාවක් ලැබීම ගැන අපි ඉතා ස්තූතිවන්ත වෙනවා. අපි වෙනත් කෙනෙකුගේ වේදනාවක් සමනය කරන සෑම අවස්ථාවකම අපි අපගේ වේදනාව සමනය කරන බව අපට දැනෙනවා.”

මාගේ ප්‍රිය මිත්‍රයිනි, ගැලවුම්කරුවාණන් විසින් විදහා දැක්වූ පරිදි, අපේ ජීවිත ක්‍රමයට දයානුකම්පිත ආකල්පයක් ඇතුළත් කරගැනීමට අපි හිතාමතාම උත්සාහ කරන විට, අපි මිනිසුන්ගේ අවශ්‍යතා කෙරෙහි වඩාත් සංවේදී වෙනවා. එම සංවේදීතාව වැඩිවීමත් සමඟම, අවංක උනන්දුවක් හා ආදරයක හැඟීම් අපගේ සෑම ක්‍රියාවකම පැතිරී යයි. ස්වාමින්වහන්සේ අපගේ උත්සාහයන් හඳුනාගන්නා අතර, “දෑත් … පහළට එල්ලෙන” 12 අයගේ හදවත් මෘදු කිරීමට සහ සහනයක් ලබාදීම සඳහා උන්වහන්සේගේ හස්තයන්හි මෙවලම් වීමේ අවස්ථා වලින් අපට නිසැකවම ආශිර්වාද කරයි.

පරිසිවරයා වන සීමොන්ට යේසුස්වහන්සේ දුන් අවවාදයෙන් පැහැදිලි වන්නේ අප කිසිවිටෙකත් අපේ අසල්වැසියන් දැඩි හා කුරිරු ලෙස විනිශ්චය නොකළ යුතු බවයි, මක්නිසාද අපට අපගේ අසම්පූර්ණකම් සඳහා තේරුම්ගැනීම, සහ දයාව අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගෙන් අප සැමටම අවශ්‍යයි. ගැලවුම්කරුවාණන් තවත් අවස්ථාවක “නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?” ලෙස ඇසූ විට ඉගැන්වූයේ මෙයම නොවේද? 13

කෙනෙකුගේ ආකල්පයට හෝ ප්‍රතික්‍රියාවකට දායක වන සියලු තත්වයන් තේරුම්ගැනීම පහසු නොවන බව අප සලකා බැලිය යුතුයි. පෙනුම රැවටිලිකාර විය හැකි අතර බොහෝවිට කෙනෙකුගේ හැසිරීම පිළිබඳ නිවැරදි මිනුමක් නියෝජනය කරන්නේ නෑ. ඔබ සහ මම මෙන් නොව, ක්‍රිස්තුස්වහන්සේට යම් තත්වයක සියළුම පැති පැහැදිලිව දැකගැනීමට හැකියාව තිබෙනවා. 14 ගැලවුම්කරුවාණන් අපේ සියලු දුර්වලතා දැන සිටියත්, උන්වහන්සේ අපව දැඩිලෙස හෙළාදකින්නේ නෑ, නමුත් අපේ ඇසේ ඇති දැවය ඉවත්කිරීමට උදව් වෙමින්, කාලයත් සමඟ දයානුකම්පාවෙන් යුතුව අපිත් සමඟ දිගටම ක්‍රියාකරනවා. යේසුස්වහන්සේ නිතරම බලන්නේ හදවත දෙස මිස, පෙනුම දෙස නොවේ. 15 උන්වහන්සේ විසින්ම මෙසේ ප්‍රකාශ කළා, “පෙනීමේ හැටියට විනිශ්චය නොකරල්ලා.” 16

දැන්, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නෙපිවර ගෝලයන් දොළොස්දෙනාට ගැලවුම්කරුවාණන්ගේ ඥානවන්ත උපදෙස් සලකා බලන්න:

“තවද සාධාරණ වූද, මා විසින් නුඹලා හට ලබාදෙන්නාවූද විනිශ්චයට අනුව, නුඹලා මෙම ජනතාව මත විනිශ්චයකරුවන් වන බව නුඹලා දන්නෙහුය. එසේහෙයින්, නුඹලා කවරාකාර මනුෂ්‍යයන් විය යුතුද? සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මා මෙන්ම විය යුතු වන්නෝය.” 17

“එසේහෙයින් මා මෙන්, හෝ ස්වර්ගයෙහි වැඩසිටින නුඹලාගේ පියාණන්වහන්සේ පරිපූර්ණ වන්නාක් මෙන්, නුඹලාත් පරිපූර්ණ වීම මාගේ කැමැත්තය.” 18

මෙම සන්දර්භය තුළ, අන් අයගේ අඩුපාඩු අයුක්තිසහගත ලෙස විනිශ්චය කිරීම භාරගන්නා අය මත ස්වාමින්වහන්සේ විනිශ්චය නියම කරනවා. ධර්මිෂ්ඨ විනිශ්චයන් දීමට අපව සුදුස්සන් කිරිමට නම්, ගැලවුම්කරුවාණන් මෙන් වීමටත්, මිනිසුන්ගේ අඩුපාඩුකම් අනුකම්පා සහගතව, උන්ගේවහන්සේ දෑස් තුළින් බැලීමටත් අප දැඩිව උත්සාහ කළ යුතුම වෙනවා. පරිපූර්ණත්වය කරා ලඟාවීම සඳහා අපට තවත් බොහෝ දුරක් ඇති බව සලකාබලා, අන් අයගේ වටහාගත් අසම්පූර්ණකම් නැවත සකස් කිරීමට බොහෝ කාලය සහ ශක්තිය වැයකරනවාට වඩා, පරිසිවරයාගේ නිවසේ පසුතැවිලි වූ කාන්තාව කළාක් මෙන්, යේසුස්වහන්සේගේ පාද පාමුල හිඳගෙන දයාව සඳහා අයැදීම වඩා හොඳයි.

මාගේ ප්‍රිය මිත්‍රයිනි, ගැලවුම්කරුවාණන්ගේ දයානුකම්පිත ආදර්ශය අපේ ජීවිතයට ඇතුළත් කරගැනීමට අපි උත්සාහ කරන විට, අපගේ අසල්වාසීන්ගේ ගුණ වර්ණනා කිරීමේ අපගේ හැකියාව වැඩි වන අතර ඔවුන්ගේ අඩුපාඩුකම් විනිශ්චය කිරීමේ අපගේ ස්වාභාවික සහජ පෙළඹවීම අඩු වන බව මම සාක්ෂි දරනවා. දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධය වර්ධනය වෙනවා, නිසැකවම අපේ ජීවිත මිහිරි වෙනවා, අපගේ හැඟීම් වඩාත් මුදු මොළොක් වෙනවා, ඒවගේම අපට නිමක් නැති සන්තෝෂයක මූලාශ්‍රයක් ලැබෙනවා. වසන්ත උදෑසනක පිණි මෙන් මෘදු වදන් ඇති අය මෙන්, අපිව සාමය පතුරුවන්නන් 19 ලෙස හඳුනාගැනෙනවා.

අපි අනෙක් අය ගැන බොහෝ ඉවසීම සහිත සහ අවබෝධය සහිත වීමටත්, එමෙන්ම ස්වාමින්වහන්සේගේ දයාව මගින්, ඔවුන්ගේ අඩුපාඩුකම් කෙරෙහි අපගේ නොඉවසීම පරිපූර්ණ යටහත්බවින් යුතුව සමනය කිරීමටත් හැකිවේවායි මම යාච්ඤා කරනවා. අප සඳහා වූ ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය මෙයයි. උන්වහන්සේ ජීවමාන බව මම සාක්ශි දරනවා. දයානුකම්පිත සහ ඉවසිලිවන්ත අනුගාමිකත්වයේ පරිපූර්ණ ආදර්ශය උන්වහන්සේයි. මෙම සත්‍යන් පිළිබඳ මම මගේ සාක්ශිය දරන්නේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.