ප්‍රධාන සම්මන්ත්‍රණය
ශ්‍රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ශ්‍රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ

(1 නෙපි 14:14)

ගිවිසුම් වලට ගෞරව කිරීම තුළින් අප ධර්මිෂ්ඨකමෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් තේජසින් සන්නද්ධ වෙනවා.

සම්පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදයේ ගැලවීමේ සහ උත්කර්ෂයේ අපූරු කාර්යය පිළිබඳ අපි සලකාබලන විට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අප හැමදෙනාවම ආලෝකමත් කර දැනුමෙන් දියුණු කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.

ජෝසෆ් ස්මිත් වෙත මොරෝනිගේ පළමු සංචාරය

පළමු දර්ශනයෙන් වසර තුනකට පමණ පසු, 1823 සැප්තැම්බර් 21 වන දින රාත්‍රියේ, ඔහුගේ පව් සඳහා සමාව ලබාගැනීමට, සහ ඔහුගේ තත්වයත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහුගේ ස්ථාවරයත් දැනගැනීම සඳහා තරුණ ජෝසෆ් ස්මිත් යාච්ඤා කරමින් සිටියා. 1 ඔහුගේ ඇඳ අසල පුද්ගලයෙක් පෙනීසිටි අතර, ජෝසෆ්ට ඔහුගේ නමින් කතාකරමින්, “ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙන් එවන ලද පණිවිඩකරුවෙකු බවත් … ඔහුගේ නම මොරෝනි” බවත් ප්‍රකාශ කළා. ඔහු “දෙවියන්වහන්සේට [ජෝසෆ්] ලවා කරගැනීමට කාර්යයක් ඇති බවත්” 2 පැහැදිලි කළ අතර පසුව මොර්මොන්ගේ පොතේ එළඹීම ගැන ඔහුට උපදෙස් දුන්නා. සැලකිය යුතු කරුණක් නම්, මොරෝනිගේ පණිවිඩයේ සඳහන් වූ මුල්ම මාතෘකාවක් වූයේ මොර්මොන්ගේ පොතයි.

මොර්මොන්ගේ පොත යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන අතර පසුදවස් වල හැරීමේ ශ්‍රේෂ්ඨ මෙවලමක්. ශුභාරංචිය බෙදාගැනීමේ අපගේ අරමුණ වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, 3 නැවත පිහිටවූ ශුභාරංචියේ ආශිර්වාදය ලබාගැනීමට සහ, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල තුළින් අවසානය දක්වා විඳදරාගැනීමට සැමට ආරාධනා කිරීමයි. 4 පුද්ගලයින්ට හදවතේ සැබෑ වෙනසක් අත්විඳින්නට 5 සහ ඔවුන්ව ශුද්ධ වූ ගිවිසුම් සහ නියෝගයන් තුළින් දෙවියන්වහන්සේ වෙත බැඳෙන්නට උපකාර කිරීම ශුභාරංචිය දේශනා කිරීමේ මූලික පරමාර්ථයි.

මොරෝනි විසින් මොර්මොන්ගේ පොත ජෝසෆ් ස්මිත්ට හඳුන්වාදීමෙන්, පූර්ණ වූ කාලයේ කාලපරිච්ඡේදය තුළදී තිරයේ මේ පැත්තේ පුද්ගලයන්ගේ ගැලවීම සහ උත්කර්ෂයේ කාර්යය ආරම්භ කළා.

ජෝසෆ් හට දුන් උපදෙස් දිගටම කරගෙන යමින්, මොරෝනි විසින් ඊළඟට, ජේම්ස් රජුගේ අනුවාදයේ භාවිතා වූ භාෂාවේ සුළු වෙනසක් සහිතව, පැරණි ගිවිසුමේ මලාකිගේ පොතෙන් උපුටා දැක්වූවා:

“බලන්න, ස්වාමින්වහන්සේගේ මහත් සහ භයානක දවස පැමිණෙන්නට පෙර, මම නුඹලා හට අනාගතවක්තෘ එලයිජාගේ අතින් පූජකවරය එළිදරව් කරන්නෙමි.

“… තවද ඔහු පියවරුන්ට දී ඇති පොරොන්දු දරුවන්ගේ හදවත් තුළ රෝපණය කරන්නේය, තවද දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙත හැරෙන්නේය. එය එසේ නොවන්නේ නම්, උන්වහන්සේගේ පැමිණීමේදී මුළු පොළොවම සම්පූර්ණයෙන්ම නාස්ති වන්නේය.” 6

දේවමාළිගා ගොඩනැගීමේ අපේ අරමුණ වන්නේ, ජීවත් වන සහ මරණයට පත්ව ඇති දෙගොල්ලන්ටම, මනුෂ්‍යය පවුලේ ගැලවීම සහ උත්කර්ෂය සඳහා අවශ්‍ය වන ශුද්ධ වූ ගිවිසුම් සහ නියෝගයන් ක්‍රියාත්මක කළ හැකි ශුද්ධ වූ ස්ථානයන් ලබාදීමයි. එලයිජාගේ සහ පූජකවර අධිකාරියේ වැදගත් කාර්යභාරය පිළිබඳ මොරෝනි විසින් ජෝසෆ් ස්මිත්ට ලබාදුන් උපදෙස් තිරයෙන් මේ පැත්තේ ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යය පුළුල් කළ අතර, තිරයෙන් අනෙක් පැත්තේ මළවුන් සඳහා වූ කාර්යය අපේ කාලපරිච්ඡේදයේදී ආරම්භ කළා.

සාරාංශයක් වශයෙන්, 1823 සැප්තැම්බර් මාසයේදී මොර්මොන්ගේ පොත සහ එලයිජාගේ ධර්මදූතය ගැන මොරෝනිගේ ඉගැන්වීම්, තිරය දෙපසම ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යය සඳහා මූලධර්ම පදනම ස්ථාපිත කළා.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ ඉගැන්වීම්

මොරෝනිගෙන් ජෝසෆ් ස්මිත් ඉගෙනගත් පාඩම් ඔහුගේ දේවසේවයේ සෑම අංශයකටම බලපෑම් ඇතිකළා. නිදසුනක් වශයෙන්, 1837 අප්‍රියෙල් 6 වෙනිදා කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ පැවති ශුද්ධ වූ රැස්වීමකදී අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කළා: “පවසා ඇති සියල්ලටම පසු, ශ්‍රේෂ්ඨතම හා වැදගත්ම රාජකාරිය නම් ශුභාරංචිය දේශනා කිරීමයි.” 7

හරියටම වසර හතකට පමණ පසු, එනම් 1844 අප්‍රියෙල් 7 වෙනිදා, ජෝසෆ් ස්මිත් විසින් කිංග් ෆොලට් දේශනය ලෙස හැඳින්වෙන දහම් දේශනාවක් පැවැත්වුවා. එම දේශනයේදී ඔහු මෙසේ ප්‍රකාශ කළා, “දෙවියන්වහන්සේ විසින් අප මත තබා ඇති මේ ලෝකයේ ඇති ලොකුම වගකීම වන්නේ අපගේ මළවුන්ව සෙවීමයි.” 8

නමුත් ශුභාරංචිය දේශනා කිරීම සහ අපගේ මළවුන්ව සෙවීම යන දෙකම දෙවියන්වහන්සේ විසින් අපට පැවරූ එකම ශ්‍රේෂ්ඨතම යුතුකම හා වගකීම වන්නේ කොහොමද? අධිකාරිත්වය සහිත පූජකවර නියෝගයන් තුළින් ඇතුළත් වන ගිවිසුම් වලට, අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බැඳ තැබීමට හැකි බවත්, එමෙන්ම එය තිරයෙන් දෙපස ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යයේ අත්‍යවශ්‍යම හරය බවත් යන මෙම මූලික සත්‍යය, මෙම ප්‍රකාශයන් දෙකෙහිදීම ජෝසෆ් ස්මිත් විසින් අවධාරණය කරන බව මම විශ්වාස කරනවා.

ධර්මදූත හා දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය යනු, අපගේ ජිවිත වල දේවත්වයේ බලය ලැබීමටත්, අවසානයේදී, ස්වර්ගික පියාණන්වහන්සේගේ අභිමුඛයට නැවත යාමටත් අපට හැකියාව ලබාදෙන, ශුද්ධ වූ ගිවිසුම් සහ නියෝග වලට අවධානය යොමුකරන, එක ශ්‍රෙෂ්ඨ කාර්යයක අනුපූරක සහ අන්තර් සම්බන්ධිත අංශ වෙනවා. මේ අනුව, මුලින් පරස්පර විරෝධී යැයි පෙනෙන්නට ඇති අනාගතවක්තෘවරයාගේ මෙම ප්‍රකාශ දෙක, ඇත්තවශයෙන්ම, මෙම ශ්‍රේෂ්ඨ පසුදවස් වල කාර්යයෙහි කේන්ද්‍රීය ලක්ෂ්‍යය ඉස්මතු කරනවා.

ගිවිසුම් හා නියෝග තුළින් ගැලවුම්කරුවාණන්ට බැඳී ඇත

ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” 9

ශුද්ධ වූ ගිවිසුම් හා නියෝග ගැන ඉගෙනගෙන, සුදුසුව ලබාගනිමින්, හා ගෞරව කරන විට අපි ගැලවුම්කරුවාණන්ගේ වියගහ අප මත ලබාගන්නවා. අප පිළිගත් යුතුකම් වලට එකඟව ජීවත් වීමට අපි ඇදහිලිවන්තව මතකතබාගන්නා විට සහ අපගේ උපරිමය කරන විට අපි ගැලවුම්කරුවාණන්ට සහ උන්වහන්සේ සමඟ ආරක්ෂිතව බැඳී සිටිනවා. ඒවගේම උන්වහන්සේ සමඟ ඇති එම බැඳීම අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අධ්‍යාත්මික ශක්තියේ ප්‍රභවයයි.

ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ජනතාව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුම් තබන අනුගාමිකයින්ට පොරොන්දු වී ඇති ආශිර්වාද පිළිබඳ සලකා බැලීමට මම ඔබට ආරාධනා කරනවා. උදාහරණයක් වශයෙන්, නෙපි “[පසුදවස් වල] දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ සභාව දුටුවේය, තවද එහි සංඛ්‍යාවන් කුඩා විය, … දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්, පොළොවේ මුහුණ මත සියලු තැන්හි සිටිනු දුටුවෙමි, … තවද ඔවුන්ගේ ආධිපත්‍ය කුඩා විය.” 10

ඔහු තවදුරටත් “දෙවියන්වහන්සේගේ බෑටළු පැටවාණන්ගේ බලය [දුටුවේය], එනම් එය බැටළු පැටවාණන්ගේ සභාවේ ශුද්ධවන්තයන් මතද, තවද ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ජනතාව මතද පතිත විය, … තවද ඔවුහු ධර්මිෂ්ඨ භාවයෙන් සහ බලවත් මහිමයෙන් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වූහ.” 11

“ධර්මිෂ්ඨ භාවයෙන් සහ බලවත් මහිමයෙන් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වූහ” යන වැකිය ශුද්ධලියවිලිමය භාෂාවේ ඉතා හොඳ අදහසකට සරල උදාහරණයක් පමණක් නෙමෙයි. ඒ වෙනුවට, මෙම ආශිර්වාද ස්වාමින්වහන්සේගේ ගණන් කළ නොහැකි පසුදවස් වල අනුගාමිකයන්ගේ ජීවිත තුළ පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

දොළොස්දෙනාගේ සාමාජිකයෙකු වශයෙන් මගේ පැවරුම් මාව ලොව පුරාම ගෙන යනවා. ඒවගේම ඔබෙන් බොහෝ දෙනෙකුව මුණගැසී සහ අමතක නොවන පාඩම් ඉගෙනගැනීමට ලැබීම මට ආශීර්වාදයක් වී තිබෙනවා. අද ස්වාමින්වහන්සේගේ ගිවිසුම් ජනතාව සැබැවින්ම ධර්මිෂ්ඨකමෙන් හා මහත් මහිමයකින් යුතුව දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධව සිටින බවට මම සාක්ෂි දරනවා. ඇදහිල්ල, ධෛර්යය, ඉදිරිදර්ශනය, නොපසුබට උත්සාහය, සහ දෙවියන්වහන්සේට පමණක් ලබාදිය හැකි—ලෞකික හැකියාවෙන් ඔබ්බට විහිදෙන ප්‍රීතිය මම දැක තිබෙනවා.

බිහිසුණු මෝටර් රථ අනතුරකින් අර්ධ වශයෙන් අංශභාග රෝගයට ගොදුරු වූ සභාවේ තරුණ සාමාජිකයෙකුගේ ජීවිතයේ, ගිවිසුම් හා නියෝග වලට ඇදහිලිවන්ත බව තුළින් ලබාගෙන තිබූ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ බලය මහත් තේජසින් මම දැක තිබෙනවා. මෙම පුද්ගලයාගේ සුවය ලැබීම කරා යන කටුක මාස සහ සංචලනය සීමා සහිත නව ජීවන රටාවකට අනුගත වීමෙන් පසුව, මම මෙම දැඩි ප්‍රාණය සමඟ හමුවී කතා කළා. අපේ කතාබහේදී මම මෙසේ ඇසුවා, “මෙම අත්දැකීම ඔබට ඉගෙනගැනීමට උපකාරී වූයේ කුමක්ද?” ක්‍ෂණික ප්‍රතිචාරය වූයේ මෙයයි, “මට දුකක් නෑ. මට තරහක් නෑ. ඒවගේම හැමදෙයක්ම හොඳ විදිහට වෙයි.”

අලුතින් බව්තීස්ම වී ස්ථිර වූ සභාවේ සාමාජිකයින්ගේ ජීවිතයේ, ගිවිසුම් හා නියෝග වලට ඇදහිලිවන්ත බව තුළින් ලබාගෙන තිබූ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ බලය මහත් තේජසින් මම දැක තිබෙනවා. මෙම හැරී ආ අය ඉගෙනීමට හා සේවය කිරීමට උනන්දුවෙන් සිටි අතර, කැමැත්තෙන් සිටි නමුත් පැරණි පුරුදු හා ශක්තිමත් සම්ප්‍රදායන් කෙසේ වෙන්කළ යුතුද යන්න පිළිබඳව බොහෝ විට අවිනිශ්චිතව සිටියා, නමුත් එමෙන්ම “ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අය ලෙස සිටීම” ගැන ප්‍රීතිමත්ව සිටියා. 12

මාරාන්තික රෝගයකින් පෙළෙන සහකරු සහ දෙමාපියෙකුව ආදරයෙන් රැකබලා ගත් පවුලක ජීවිත වල, ගිවිසුම් හා නියෝග වලට ඇදහිලිවන්ත බව තුළින් ලබාගෙන තිබූ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ බලය මහත් තේජසින් මම දැක තිබෙනවා. තම පවුලට තනිකම දැණුනු අවස්ථා—ඒවගේම ස්වාමින්වහන්සේගේ හස්තය තමන්ව ඔසවමින් ශක්තිමත් කරන බව ඔවුන් දැන සිටි අවස්ථාද පිළිබඳ මෙම නිර්භීත අනුගාමිකයන් විස්තර කළා. අපට වර්ධනය වෙමින්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට ඉඩ සලසන දුෂ්කර ලෞකික අත්දැකීම් සඳහා මෙම පවුල අවංක ස්තූතිය ප්‍රකාශ කළා. දෙවියන්වහන්සේ මෙම පවුලට ශුද්ධාත්මයාණන්වහන්සේගේ අනුග්‍රහය සමඟින් ආශිර්වාද කරමින් උපකාර කළ අතර ඔවුන්ගේ නිවස රැකවරණ ලබාදෙන ස්ථානයක් වන දේවමාළිගාව මෙන් ශුද්ධ වූ ස්ථානයක් බවට පත්කළා.

දික්කසාදයේ හෘද වේදනාව අත්විඳි සභාවේ සාමාජිකයෙකුගේ ජීවිතයේ, ගිවිසුම් හා නියෝග වලට ඇදහිලිවන්ත බව තුළින් ලබාගෙන තිබූ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ බලය මහත් තේජසින් මම දැක තිබෙනවා. ඇයගේ සහකරුගේ ගිවිසුම් බිඳීම සහ ඔවුන්ගේ විවාහය දෙදරා යාමේ අසාධාරණ හැඟීම මගින්, මෙම සහෝදරියගේ අධ්‍යාත්මික හා චිත්තවේගී පීඩාව උත්සන්න වී තිබුණා. ඇයට යුක්තිය සහ වගවීම අවශ්‍ය වුණා.

මෙම ඇදහිලිවන්ත කාන්තාව ඇයට සිදුවූ සියල්ල සමඟ පොරබදමින් සිටි අතරතුර, ඇගේ ජීවිතයේ වෙන කවරදාටත් වඩා ඇය ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන වඩාත් උනන්දුවෙන් හා දැඩි ලෙස අධ්‍යයනය කර මෙනෙහි කළා. ක්‍රිස්තුස්වහන්සේ අපේ පව්, ඒවගේම අපගේ වේදනාවන්, දුර්වලකම්, බලාපොරොත්තු සුන්වීම්, සහ ශෝකය උදෙසා විඳි දුක් වේදනා වන—උන්වහන්සේගේ මිදීමේ මෙහෙවර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ක්‍රමානුකූලව ඇගේ ප්‍රාණය මත වගුරුවනු ලබා තිබුණා. ඒවගේම ඇයගෙන්ම ඉතා සියුම් ප්‍රශ්නයක් ඇසීමට ඇය පෙලඹී තිබුණා: එම පව් සඳහා දැනටමත් මිල ගෙවා ඇති හෙයින්, එම මිල දෙවරක් ගෙවන ලෙස ඔබ ඉල්ලනවාද? එවැනි අවශ්‍යතාවක් සාධාරණ හෝ දයානුකම්පිත නොවන බව ඇය තේරුම්ගත්තා.

ගිවිසුම් හා නියෝග තුළින් ඇයව ගැලවුම්කරුවාණන් වෙතට බැඳීම මගින්, තව කෙනෙකුගේ ලෞකික තෝරාගැනීම අධර්මිෂ්ඨව ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවූ තුවාල සුවකළ හැකි බවත්, එමෙන්ම සමාව දීමට සහ සාමය, දයාව, සහ ප්‍රේමය ලබාගැනීමේ හැකියාව සොයාගැනීමට ඇයට හැකියාව ලැබුණු බවත් ඇය ඉගෙනගෙන තිබුණා.

පොරොන්දුව සහ සාක්ශිය

ගිවිසුම් පොරොන්දු හා ආශිර්වාද ලැබිය හැක්කේ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා පමණයි. උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ගිවිසුම් හා නියෝග තුළින් උන්වහන්සේ දෙස බැලීමටත්, 13 උන්වහන්සේ වෙතට පැමිණෙන්නටත්, 14 උන්වහන්සේ ගැන ඉගෙනගන්නටත්, 15 එමෙන්ම අපව උන්වහන්සේ සමඟ බැඳීමටත් 16 උන්වහන්සේ අපට ආරාධනා කරනවා. ගිවිසුම් වලට ගෞරව කිරීම තුළින් අප ධර්මිෂ්ඨකමෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් තේජසින් සන්නද්ධ වන බවට මම සාක්ෂි දරනවා. ඒවගේම ජීවමාන ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. මෙම සත්‍යයන් පිළිබඳ මහත් ප්‍රීතියෙන් යුතුව මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.